ග්ලිනුයිජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව වතු කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරයි

ඔක්තෝබර් 24 වෙනිදා රැස් වූ, මස්කෙලිය ග්ලිනුයිජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව, සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 6 දක්වා තමා ගෙනගිය අරගලයේ පාඩම් ද, සමස්තයක් ලෙස වතු කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න සහ ඒවා ජයගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ගය පිලිබඳව ද සාකච්චා කරනු ලැබීය. මෙම රැස්වීමට ග්ලිනුයිජ් වත්තට අයත් ග්ලිනුයිජ් සහ ඩීසයිඩ් කොටස්වල කම්කරුවෝ, ඕල්ටන් වත්තේ ක්‍රියාකාරී කමිටු සාමාජිකයෝ සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) නියෝජිතයෝ සහභාගී වූහ.

කටුකැලේ වත්තේ වැඩ වර්ජනයේ යෙදී සිටි කම්කරුවෝ [ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍යය]

ග්ලිනුයිජ් වත්තේ කම්කරුවන්ගේ අරගලය සැප්තැම්බර් 21 ආරම්භ කෙරුනේ, දෛනික වැඩ ඉලක්ක අසාමාන්‍ය ලෙස ඉහල දැමීම මගින් වැඩ වේගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිවය. දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකිරීමෙන් පසුව එය නොගෙවීමේ සහ නිෂ්පාදන ඵලදායිතාව ඉහල දැමීමේ උවමනාව මත, වතු පාලකයන් දෛනික ව නෙලන තේ දළු ප්‍රමානය කිලෝ 16 සිට 20 දක්වා ඉහල දැමූ අතර, එම වැඩ ඉලක්කය සම්පූර්න කිරීමට අසමත් වුවහොත් දෛනික වැටුප හරි අඩකින් හෝ කිහිප සියයකින් කප්පාදු කෙරෙයි.

වත්තේ කම්කරුවන් සාමාජිකත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සහ ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව් ) වර්ජනයට විරුද්ධ විය. කම්කරුවන් වර්ජනයට එලඹුනේ එම සමිතිවලට පිටිනි. ශාඛා සමිති මෙන් ම, මව් සමිති නිලධරය වර්ජනය කඩාකප්පල් කිරීම පිනිස වතු පාලනාධිකාරය සමග සමීපව කටයුතු කල අතර වත්තේ කම්කරුවන් අතර භේදයක් නිර්මානය කිරීමට ද උත්සාහ කලේ ය.

වර්ජනය ආරම්භ කලේ වත්තේ ඩීසයිඩ් කොටසේ කම්කරුවන් විසිනි.

වෘත්තීය සමිති ග්ලිනුයිජ් කොටසේ කම්කරුවන් ඊට ඒකාබද්ධ වීම වැලක්වීමට උත්සාහ කලහ. එම කොටසේ කම්කරුවන් වර්ජනයට සම්බන්ධ වූයේ තම වෘත්තීය සමිතිවල බේදකිරීම් කපාගෙන අයිතීන් සඳහා ඒකාබද්ධ අරගලයක් කලයුතු බව පැහැදිලි කරමින් ග්ලිනුයිජ් ක්‍රියාකාරී කමිටුව ඔවුන් අතර කල මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙසය.

කෙසේ නමුත් වර්ජනය මුළුමනින් ම හුදකලා කිරීමෙන් සහ වතු පාලකයන් සමග එක්ව කම්කරුවන් මත බරපතල පීඩනයක් යෙදීම මගින් වර්ජනය නතර කර කම්කරුවන් ආපසු වැඩට යැවීමට වෘත්තීය සමිති සමත් වූ නමුත් කම්කරුවන් අතර දැනුවත් එකමුතුකමක් තහවුරු කිරීමට ක්‍රියාකාරී කමිටුවට හැකිවිය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සටන් වදින්නේ වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී පාවාදීම් කපාගෙන කම්කරු පන්තියේ එකමුතුව තහවුරු කිරීමට සහ තම අයිතීන් සඳහා අරගලය දැනුවත්ව සංවිධානය කිරීමට අවශ්‍ය නායකත්වය සම්පාදනය කිරීමේ කොටසක් ලෙසය. එය තම අයිතීන් කප්පාදුවට සහ කොරෝනා වසංගතයේ ව්‍යසනයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු කම්කරු පන්තිය බලමුළු ගැන්වීමේ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීම සඳහා වන සටන සමග අත්‍යන්තයෙන් බැඳී ඇත.

ඔක්තෝබර් 24 වෙනිදා පැවති ක්‍රියාකාරී කමිටු රැස්වීමේ දී එහි සාමාජිකාවක් වන දයානිදි වර්ජනය තුල සිය අත්දැකීම් මෙසේ පැහැදිලි කලාය: “දවස් 15 වර්ජනයෙන් පසුව පාලනාධිකාරය කම්කරුවන්ගෙන් පලි ගන්න පටන් ගත්ත. ඔක්තෝබර් 21 වෙනිදා උදේ වැඩට ගියහම සහකාර වතු අධිකාරි මට කිව්වා වැඩ කොන්දේසි ගැන වත්තේ අනෙක් කම්කරුවන් සමග කතාකරන්න එපා කියල. මා ඔහුට කිව්වා කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා කිසිවෙකුට ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ කියල.ඉන් පසුව එදින මට වැඩ දීම ඔහු ප්‍රතික්ෂේප කලා.”

වහාම ක්‍රියාකාරී කමිටුව රැස්වෙලා මට වැඩ නොදීමට විරුද්ධව වර්ජනයක් සංවිධානය කල බවත්,. වත්තේ ඒ සහ බි කොටස්වල කම්කරුවන් වර්ජනයට සහභාගී වූ බවත් ඇය පැවසුවාය. “මෙම තීන්දුව ඩීසයිඩ් කොටසෙ කම්කරුවන්ටත් දුරකථනයෙන් දැනුම් දුන්නා. ඔවුනුත් වර්ජනයට සහයෝගය දීමට සූදානම් බව කිව්වා. වර්ජනය නිසා පැය දෙකක් ඇතුලත මට වැඩ දීමට පාලනාධිකාරයට බල කෙරුන. මම සීඩබ්ලිව්සී සාමාජිකාවක්. නමුත් ඔවුන් මාව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුනේ නැහැ.'

සාකච්ඡාවට සම්බන්ධ වූ ඩීසයිඩ් වත්තේ කම්කරුවෙක් මෙසේ සඳහන් කලේ ය: “ඒ වගේම සිද්ධියක් ඩීසයිඩ් කොටසෙත් වුනා. වැඩට ඒමට විනාඩි 5 ක් ප්‍රමාද වූ කම්කරුවන් 40 ට වැඩ දීම ප්රතික්ෂේප කලා. ඔවුන් නිවසේ ඉඳලා කිලෝ මීටර් දෙකක් දුර පයින් යන්න ඕනා. ඒ නිසා විනාඩි පහක් ප්රමාදාවීම ලොකු වැරැද්දක් නෙමෙයි. පසුව කම්කරුවො වැඩ නොදීමට විරුද්ධව වර්ජනයක් කරන්න සුදානම් වුනා. ක්ෂේත්ර නිලධාරියා ඒ ගැන පාලනාධිකාරයට දැනුම් දුන්න. පැය දෙකකට පසුව ඒ 40 දෙනාට වැඩ දුන්න'.

වෘත්තීය සමිති කම්කරුවන් භේද කරන බවත්, ඔවුන්ගේ අරගල පාවාදෙන බවත්, කම්කරුවන් එකමුතු වන්නේනම් වතු පාලකයන්ගේ ප්‍රහාරවලට විරුද්ධව සටන් කල හැකි බවත් කම්කරුවෝ සඳහන් කලහ. වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සෙසු වතුවලත් කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ උද්ඝෝෂනයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ගැන ඔවුහු සාකච්ඡා කලහ.

සාකච්ඡාවට මස්කෙලිය අප්-කොට් හි ඕල්ටන් වත්තේ විශ්‍රාමික කම්කරුවෙක් ද සම්බන්ධ විය. ඔහු මෙසේ පැවසීය: “පෙබරවාරි 5 වෙනිදා සිට දින 47 ක් පැවති වර්ජනයෙන් පසුව කම්කරුවන් 38 දෙනෙකු රැකියාවෙන් නෙරපුව. අනෙක් කම්කරුවන්ටත් දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ දරා ගන්න බැරි වැඩ කොන්දේසි යටතෙ”.

“කාන්තා කම්කරුවන් බරපතල ප්‍රශ්න වලට මුහුන දෙනවා. ඔවුන් වැඩ කිහිපයක් එකවර කරන්න ඕන. දළු කඩන ගමන් තනකොල කපල වත්ත සුද්ධ කරන්නත් ඕන. ඒ නිසා කිලෝ 18 ක දවසේ ටාගට් එක ඔවුන්ට දෙන්න බැහැ. ටාගට් එක අඩු වුනොත් පඩි කපනවා. දළු කිලෝ 17 ක් කැඩුවොත් කිලෝ 9 ට, ඒ කියන්නේ ටාගට් එකෙන් භාගෙකට පඩි භාගයක්, රුපියල් 500 ක් ගෙවනවා. ඉතිරි කිලෝ 8 ට කිලෝවකට රුපියල් 40 ගනනේ රුපියල් 320 ක් ගෙවනවා. එතකොට කිලෝ 17 ට ම ලැබෙන්නේ රුපියල් 820 යි. ඒ කියන්නේ එක කිලෝ එකක් අඩුවීම නිසා පඩියෙන් රුපියල් 180 ක් කැපෙනවා. එහෙම කරලා රුපියල් 1000 පඩිය ගෙවීම වතු පාලකයො මග හරිනවා. අර්ථසාධක අරමුදලට ගෙවන ගනනත් ඒ අනුව අඩුවෙනවා”.

සීඩබ්ලිව්සී, එන්යුඩබ්ලිව් සහ යුපිඑෆ් (කඳුරට ජනතා පෙරමුන) ඇතුලු සෑම වතු සමිතියක්ම මේ සඳහා වතු පාලකයන්ට සහයෝගය දෙන බවත්, දොට්ට දැමූ කම්කරුවන් නැවත රැකියාවේ පිහිටුවීම ගැන හෝ බොරු නඩු වලට පටලවා ඇති 24 දෙනා සම්බන්ධයෙන් හෝ මෙම සමිති කිසිවක් නොකරන බවත් ඔහු පැවසීය.

එම කම්කරුවන් 24 දෙනා නිදහස් කර ගැනීමට සහ දොට්ට දමා සිටින කම්කරුවන් 38 දෙනා යලි සේවයේ පිහිටුවීම සඳහා ක්‍රියාකාරී කමිටුව උද්ඝෝෂනය කලයුතු බව ද ඔහු අවධාරනය කලේ ය.

මෙම ප්‍රහාරයන්, විශේෂයෙන් ම, දෛනික වැටුප් රුපියල් 1000 කිරීමෙන් පසුව එල්ල කෙරෙන වැඩ වේගවත් කිරීම සහ වැටුප් කප්පාදුව ග්ලිනුයිජ් සහ ඕල්ටන් වත්තට පමනක් සීමා නොවන බවත් සියලුම වතු කම්කරුවන් මෙම ප්‍රශ්න වලට මුහුන දෙන බවත් සසප නියෝජිතයා පැහැදිලි කලේ ය. “පසුගිය මාසයේ වර්ජනය කල තලවකැලේ කටුකැලේ වත්තේ කම්කරුවන් 11 ක් අත්අඩංගුවට අරගෙන ඔවුන්ට විරුද්ධව බොරු චෝදනා මත නඩු පවරලා තියෙනවා.

“කම්කරුවන් 130 කගෙ වැඩ තහනම් කරලා. කිසිම වෘත්තීය සමිතියක් එම කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් හෝ එම දඩයමට විරුද්ධව ඔවුන් ව ආරක්ෂා කරන්න හෝ මැදිහත් වෙන්නේ නැහැ. වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවාගෙන තම අයිතීන් සඳහා සටන කම්කරුවන් තමන්ගේ අතට ගත යුතු බවට සසප කරන අවධාරනය මෙම අත්දැකීම් වලින් බලගතු ලෙස තහවුරු වෙනවා . වතු කම්කරුවන්ගේ අරගල ධනපති පාලක පංතීන්ගේ සහ හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල වල කොටසක්.

“ලංකාවේ ගුරුවරු මාස තුනක වර්ජනයක යෙදුන. සෞඛ්‍ය සේවකයො නිරන්තරව සටන් කරනවා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්. විදුලිබල, වරාය සහ තෙල් සංස්ථාවේ කම්කරුවෝ අතර පුද්ගලීකරනයට විරුද්ධව අරගල ඇවිලෙමින් තියෙනව. කම්කරුවන්ට තම අයිතීන් සඳහා බලගතු සටනක් කල හැක්කේ මේ රටේ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව තුලින් පමනයි. එම එකමුතුව ගොඩ නැගිය හැක්කේ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් තුලින්” යැයි ඔහු සඳහන් කලේ ය.

Loading