සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය මුහුන දෙන අභියෝග ජය ගත හැක්කේ කෙසේද?

හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය ක්ෂේත්‍රයන්හි සේවකයන් ඉල්ලීම් ගනනාවක් මත, නොවැම්බර් 24-25 දෙදින තුල අසනීප නිවාඩු උද්ඝෝෂනයක යෙදෙන බව වෘත්තීය සමිති 16 කින් සැදුම් ලත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය නිවේදනය කර තිබේ.

උද්ඝෝෂනයෙහි ප්‍රධාන ඉල්ලීම් වන්නේ රනුක්ගේ වැටුප් කමිටු වාර්තාව ක්‍රියාත්මක කර විෂමතා ඉවත් කිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල ඩැට් නමින් හැඳින්වෙන ප්‍රවාහන දීමනාව රුපියල් 3,000 සිට 10,000 දක්වා ඉහල දැමීම, අතිකාල රේට්ටු මූලික වැටුපෙන් 1/80 බවට පත් කිරීම හා උසස්වීම් වලට අදාල චක්‍රලේඛ නිකුත් කිරීම ආදියයි.

මෙම අසනීප නිවාඩු වාර්තා කිරීම කැඳවා ඇත්තේ, ඉහත ඉල්ලීම් මත, නොවැම්බර් 17දින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට කල උද්ඝෝෂනයෙන් සතියකට පසුවය. අයවැයට පෙර නොවැම්බර් 9 දින ද සම්මේලනය විසින් අසනීප නිවාඩු වාර්තා කිරීමක් කැඳවීය. සිය ඉල්ලීම් “අයවැයෙන් ලබා දෙන බව කීවද ලැබුනු කිසිවක් නැතැ”යි සම්මේලනය මෙවර අසනීප නිවාඩු කැඳවුමේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයෝ 2021 ඔක්තෝම්බර් 8 වැනි සිකුරාදා දින ශ්‍රී ලංකාවේ කොලඹ පැවති වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් අතරතුර වඩා හොඳ වැටුප් සහ පුද්ගලික ආරක්ෂක උපකරන ඉල්ලා සටන් පාඨ කියති. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය “ඒකාබද්ධ හෙද සටනට මොකද වුනේ?” යන මාතෘකාව යටතේ සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහන් කරයි: 'නොවැම්බර් 9 සටන අතිසාර්ථක වැඩවර්ජනයක් විය. එය එක්තරා ආකාරයකින් පොරොන්දු වූ ඉල්ලීම් අයවැයට දැමීමට මතක් කිරීමේ උත්සාහයකි. නමුත් නොවැම්බර් 12 අයවැයෙන් පොරොන්දු වූ කිසිවක් නොතිබුනේය. සටන තවත් තීව්‍රර කිරීමේ අභිප්‍රායෙන් එහි තවත් පියවරක් ලෙස නොවැම්බර් 17 සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන ලදි. මෙම ඉල්ලීම් යථාර්ථයක් කරගැනීමට නම් සටන අඛන්ඩව දියත් කල යුතු අතර එහි මීලඟ අදියර ලෙස නොවැම්බර් 24/25 දෙදින වැඩවර්ජනයක් කැදවා ඇත.'

වෘත්තීය සමිති විසින් නැවත නැවතත් සිදු කරමින් සිටින්නේ, තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන් කිරීමට කම්කරුවන් තුල පවත්නා බලගතු අධිෂ්ඨානය ආන්ඩුවට බලපෑම් යෙදීමේ බංකොලොත් වැඩපිලිවෙල තුල දියකර හැර, ඔවුන් ආන්ඩුවේ ප්‍රහාරයන්ට යටත් කර දීමයි.

සෞඛ්‍ය සේවකයන් දිගින් දිගටම ප්‍රදර්ශනය කරන සටන්කාමීත්වය ලංකාවේ පමනක් නොව, ඇමරිකාව, ඔස්ට්‍රෙලියාව, ජර්මනිය, ඉන්දියාව, දකුනු අප්‍රිකාව ඇතුලු රටවල් වල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම වාහන නිෂ්පාදන, වානේ, පතල්, ප්‍රවාහන, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර ගනනාවක මෑත කාලයේ පැන නැගුනු සටන් මඟින් ජාත්‍යන්තරව සනිටුහන් වෙයි.

අයවැයෙන් ඉල්ලීම් ලබා නොදෙන බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අයවැයට පෙර කල සඳහන තිබියදීම, අයවැයෙන් ඉල්ලීම් ලැබේය යන මිත්‍යාවට සෞඛ්‍ය සේවකයින් යට කල සමිති දැන් අයවැයෙන් නොදුන් ඉල්ලීම් ලබා ගැනීම සඳහා කට්ටිවාදී-ශ්‍රේනිවාදී උද්ඝෝෂනයන්ට බැස ගෙන ඇත.

සමස්ත ලංකා හෙද සංගමය, ඒ්කාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය වැනි සටන්කාමී ලෙස පෙනී සිටීමට උත්සාහ දරන ජනතා විමුක්ති පෙරමුන හා ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂ වලින් මෙහෙයවෙන සමිති මෙම උද්ඝෝෂනයන්ට සම්බන්ධ නොවී වෙනත් කට්ටිවාදී-ශ්‍රේනිවාදී උද්ඝෝෂනයන් කැඳවමින් ආන්ඩුවට කනිපින්දන් කියයි. ආන්ඩුව බලයට ගෙන ඒ්මට මුල්වූ භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද නායකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, හෙද සටන් ඇතුලු කම්කරු පන්ති අරගල අවමංගත කිරීමට ආන්ඩුවේ සෘජු අත් ගෙඩියක් ලෙස ක්‍රියාත්මක වෙයි. අනෙක් සමිති ආනන්ද ගේ සමිතියෙන් වෙනස් වන්නේ හුදෙක් උපායාත්මකව පමනි.

මෙම වසර තුල පමනක් සෞඛ්‍ය සේවයේ සමිති වරින්වර පවත්වා ඇති උද්ඝෝෂන සංඛ්‍යාව 25 ඉක්මවයි. තනි සමිති මෙන්ම, වෘත්තීය සමිති පෙරමුනු ලෙස ඒ්කාබද්ධව කල සටන් ද, සෞඛ්‍ය සේවකයන්ගේ නොව ආන්ඩුවේ වුවමනාවන් ඉෂ්ඨ වෙන අයුරින් පාවාදීමට ලක් කෙරිනි. මෙම ඊනියා පෙරමුනු ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරන්නේ තථ්‍ය කම්කරු පන්ති ඒ්කාබද්ධතාවයකින් නොව සුවිශේෂී ශ්‍රේනිවාදී හා කට්ටිවාදී ඒ්කාබද්ධතාවයකිනි.

දරුනු කප්පාදු අයවැයක් ඉදිරිපත් කල මුදල් ඇමති ඉන් ක්ෂනික ඉක්බිත්තේ, 'රාජ්‍ය සේවය ආන්ඩුවට උහුලන්න බැරි බරක්' බවත් අවම වශයෙන් 'වසරක් යනතෙක්' හෝ රාජ්‍ය සේවයට කිසිවක් ලබා නොදෙන බවත් ප්‍රසිද්ධියේ පැවසීය. මේ වනවිට සෞඛ්‍ය සේවයේ නියුතු කම්කරුවන් ඇතුලු ඇතුලු සියලු රාජ්‍ය සේවකයන්ට එරෙහිව ආන්ඩුව කඩා පැන තිබේ.

එම ප්‍රහාරයන් දියත් කෙරෙන්නේ, සෞඛ්‍යය සඳහා 2022 වසරට වෙන් කෙරෙන ප්‍රතිපාදනය, 2021 සඳහා වෙන් කෙරුනු මුදලට සාපේක්ෂව රුපියල් බිලියන 6කින් කපා දමමිනි. වසංගතය තව දුරටත් පැතිරෙද්දී, “කොවිඩ් පාලනය කිරීමට” 2021 ට වෙන් කල රුපියල් බිලියන 18ක අතිරේක මුදලද ලබන වසර සඳහා බිලියන 12 දක්වා කප්පාදු කරමිනි.

මෙම පසුබිම තුල සෞඛ්‍ය වෘත්තීයවේදීන් මතු කර ගත යුතු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබේ.

ඉන් පලමුවැන්න නම්, සමිතිවල ඉල්ලීම් සම්පූර්නයෙන්ම ලබා දුන්නද එමගින් තම දරුපවුල් නඩත්තු කර ගැනීමට හැකිවේද? යන්නයි. ජීවන වියදමේ වේගවත් වැඩිවීමට, එවන් සොච්චම් වැටුප් වැඩිවීමක් අලගු තැබීමටවත් ප්‍රමානවත් නොවන බව අපි දනිමු.

ආන්ඩුව විසින් යලි යලිත් කිසිවක් ලබා නොදෙන්නේ යැයි සපත කරන තතු තුල, වරින් වර සමිති නායකයන් කැඳවන අසනීප නිවාඩු වැනි ක්‍රියාමාර්ගයන් ඉහත සොච්චම් ඉල්ලීම් දිනාගැනීම සඳහා පවා ප්‍රායෝගිකව කෙතරම් ඵලදායීද? යන්න දෙවැන්නයි. අසනීප නිවාඩු දැමීමම ගතහොත් එය කම්කරු පංතික සටන් ක්‍රමයක් නොව, සේවකයන් සතු සීමිත අයිතියක් වන තමන්ට අසනීපයකදී ගත හැකි නිවාඩු වියදම් කර ගැනීමකි. ආන්ඩුව විසින් එම ඉල්ලීම් නැවත නැවතත් ප්‍රතික්ෂේප කිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ එම ක්‍රියාමාර්ගයන්හි ආන්තික බංකොලොත්භාවයයි.

වෘත්තීය සමිති විසින් මෙම තීන්දු තීරන ගනු ලබන්නේ රැස්වීම් කැඳවා සිය සාමාජිකයින්ගේ අදහස් විමසීමකින් නොවන බව ප්‍රසිද්ධ රහසකි. ඉහත ආකාරයේ තීරනාත්මක ප්‍රශ්න සාමාජිකයන් විසින් මතු කිරීම සමිති නිලධරය විසින් වලකා තිබේ. සමිති වල මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියා කලාපය, ධනපති රාජ්‍යයට ඒවා බැඳී ඇති ස්වාභාවයෙන්ම ගලා එන අතර, ඒ්වායේ නායකයෝ ආන්ඩුවට පුහු තර්ජන එල්ල කරමින් රාජ්‍ය යන්ත්‍රයේම ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරමින් සිටිති.

වරින් වර ඉහල යමින් ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව හා සුවිසල් සේවක හා පහසුකම් හිඟය මැද සෞඛ්‍ය වෘත්තීයවේදීන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි වඩාත් උග්‍ර වී ඇත. ආන්ඩුව භාන්ඩ මත පනවා තිබූ මිල සීමාවන් ඉවත් කිරීමත් සමග ඒවායේ මිල සීඝ්‍රයෙන් ඉහල යන තතු තුල, සිය සොච්චම් වැටුපෙන් ජීවිතය ගැට ගසා ගැනීමේ අරගලයක නිරත වී සිටින අනෙකුත් කම්කරුවන් මෙන්ම සෞඛ්‍ය වෘත්තීයවේදීහු ද එම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමේ වුවමනාවෙන් දැඩිව පෙලී සිටිති.

ධනපති ආන්ඩුවේ අර්බුදය අප කර මත පැටවීමට එරෙහිව, ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් පවත්වා ගෙන යාම සඳහා, පහත ඉල්ලීම් මත සම්මුතියකින් තොරව සටන් කල යුතු බව සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) කියා සිටී.

  • රුපියල් 7,500 මාසික වසංගත දීමනාව වැටුපෙන් සියයට 78ක් ලෙස වැඩි කර දිගටම ලබා දෙනු!
  • නිසි පුද්ගල සෞඛ්‍ය ආරක්ෂක උපකරන (පීපීඊ) හා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් වහාම ලබා දෙනු!
  • පාරිභෝගික භාන්ඩ සහ සේවාවන්හි මිල ඉහල යාමට අනුපාතිකව ස්වයංක්‍රීය ලෙස වැටුප්වල ඉහල යාමක් වහාම ලබා දෙනු!
  • මහජන සෞඛ්‍ය සේවය වැඩි දියුනු කිරීමට සරිලන ලෙස බිලියන ගනනින් මුදල් සම්පාදනය කරනු!

මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සෞඛ්‍ය කම්කරුවන්ගේ ශක්තිය අවශේෂ කම්කරු පන්තියේ ශක්තිය සමඟ ඒකාබද්ධ කර සංවිධානය කර ධනපති පීඩකයන්ට එරෙහිව මුදා හැරිය යුතුය.

ඒ් සඳහා අපට කම්කරු පන්තියේම ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් අවශ්‍ය බවත් ධනපති ආන්ඩු විසින් නොනවත්වා එල්ල කෙරෙන ප්‍රහාරයන්ට අභියෝග කල හැක්කේ ඒ අයුරින් පමනක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් තේරුම් ගතයුතු වෙයි.

අපගේ ශ්‍රමය වඩවඩාත් සූරා කෑමට අවකාශ ලබාදීම මගින් මහධනපතියන්ගේ ලාභපොදි තරකර දීමට ධනපති ආන්ඩු ක්‍රියා කරද්දී, වෘත්තීය සමිති ඒ සඳහා අපව යටත්කර දෙන කාර්මික පොලීසි ලෙස ක්‍රියාත්මක වෙයි.

අප අපගේ බල සංස්ථා ඊට එරෙහිව සංවිධානය කල යුතුවෙයි. කට්ටිවාදී - ශ්‍රේනිවාදී බෙලහීන “උද්ඝෝෂන” පරයා ජාතික වශයෙන් පමනක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අප සහෝදර වැඩ කරන ජනතාව සමඟ අපගේම දේශපාලන ක්‍රියා මාර්ගය මත සංවිධානය වීම, එලෙස අපගේ බල සංස්ථා ගොඩ නගා ගැනීමේ පදනමයි.

ධනපතියන්ගේ ලාභය සඳහා නොව මානව අවශ්‍යතා සපිරෙන පරිදි, නිෂ්පාදනය හා සෞඛ්‍ය ඇතුලු සේවා ගෝලීය පරිමානව ප්‍රතිසංවිධානය කිරීම එම දේශපාලන වැඩ පිලිවෙලේ එල්ලයයි. ශිෂ්ඨ සම්පන්න ලෙස ජීවත්විය හැකි ලොව අප විසින්ම ගොඩ නගා ගත යුතුය. අතිශයින්ම තීරනාත්මක හා අතිශයින්ම ප්‍රායෝගික එම ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙල ක්‍රියාවට දැමීමට සෞකක්‍රික සමඟ අදම සාකච්ඡා අරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.

සියලු රෝහල් තුල ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් සඳහා පෙරට යමු!

Loading