ඉදිරිදර්ශන

කම්කරු පන්තියට විවෘත ලිපියක්: වසංගතය අවසන් කර 2022 දී ජීවිත බේරා ගත යුතුය!

[මෙහි පලවන්නේ, An open letter to the working class: The pandemic must be ended and lives saved in 2022! මැයෙන් 2021දෙසැම්බර් 30 වැනි දින පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියයි.]

දයාබර සහෝදරවරුනි, සහෝදරියනි,

අප වසර අවසානයට ලඟා වෙද්දී, එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින කම්කරුවන් සාමූහිකව කටයුතු කරමින් අවසාන වශයෙන් කෝවිඩ්-19 වසංගතය අවසන් කිරීමට තීන්දු කල යුතුය. 2022, මහා ආසාදන, රෝග සහ මරන වලින් ගහන තවත් බියකරු වසරක් නොවිය යුතුය!

පසුගිය දෙවසරේ සමාජ ව්‍යසනය වනාහි, අඛන්ඩව සංගතවල ලාභ සහ මහා කොටි-ප්‍රකෝටි පතියන්ගේ පුද්ගලික ධනය රැස් කිරීම සඳහා මහජන සෞඛ්‍යය සාපරාධි ලෙස යටත් කිරීමේ ප්‍රතිඵලයයි.

මිනිස් ජීවිතවල වියදමේ කොන්දේසි අනුව ගත් කල මෙම වසංගතය නිසැකවම ඇමරිකානු ඉතිහාසයේ විශාලතම ඛේදවාචක අතර ලා ගැනෙනු ඇත. මෙම වසර ආරම්භ වන විට ඇමරිකානුවන් 373,356 ක් වෛරසයෙන් මියගොස් තිබුනි. අද වන විට එය 842,493 ක් වන අතර, ජීවිතාරක්ෂක එන්නත් ක්‍රියාත්මක වුව ද ඉන් පෙන්නුම් කෙරෙන්නේ 2021 දී මරන 469,137 කින් වැඩිවීමකි.

2021 දෙසැම්බර් 21 වැනි අඟහරුවාදා නිව් යෝර්ක්හි PS 64 Earth School පිටත, කෝවිඩ් -19 පරීක්ෂන ඉහල නැංවීම කැඳවුම් කරන සංඥා සහිතව ගුරුවරු විරෝධතාවයේ යෙදෙති. (AP ඡායාරූපය/Brittainy Newman) [AP Photo/Brittainy Newman]

වයස අවුරුදු 65 ට වැඩි සෑම වැඩිහිටි 100 දෙනෙකුගෙන් එක් අයෙක් මිය ගොස් ඇත. මහජන සෞඛ්‍ය පිලිබඳ වඩාත්ම තීරනාත්මක දර්ශකය වන ආයු අපේක්ෂාව දැන් වසර දෙකක් තිස්සේ අඛන්ඬව පහත වැටී ඇත. බොහෝ තරුන ජීවිත අහිමි වීමෙන්, ආයු අපේක්ෂාව පහත වැටීමට හේතු වූ දෙවන ලෝක යුද්ධ සමයේ දී හැර මෙය කිසි විටෙකත් සිදු වී නොමැත.

නමුත් වසංගතයේ බලපෑම පෙර පැවති කිසිදු යුද්ධයකදී තිබුනාට වඩා නරක ය. ඇමරිකානු සිවිල් යුද්ධය අවධියේ (දල වශයෙන් 700,000) හෝ එක්සත් ජනපදය දෙවන ලෝක සංග්‍රාමයට මැදිහත්වුන (407,000) වසර හතරක කාලයට වඩා වැඩි ඇමරිකානුවන් සංඛ්‍යාවක් දැන් කෝවිඩ්-19න් මිය ගොස් ඇත. සෑම දිනකම තවත් ඇමරිකානුවන් 1,500ක් අනවශ්‍ය ලෙස වසංගතයෙන් මිය යති.

නිල වශයෙන්, 2021 දී ඇමරිකානුවන් මිලියන 33.3 කට කෝවිඩ් -19 ආසාදනය වී ඇත ද අප්‍රමානවත් පරීක්ෂන හේතුවෙන් සැබෑ සංඛ්‍යාව බෙහෙවින් වැඩි ය. වැඩිවන මරන සංඛ්‍යාවට අමතරව, මිලියන සංඛ්‍යාත ජනතාවක් දිගු කාලීන කෝවිඩ් හි බලපෑම් සමඟ පොරබදමින් සිටිති. මෙම පීඩාව ශරීරයේ සෑම ඉන්ද්‍රිය පද්ධතියකටම බලපාමින් දශක ගනනාවක් පැවතිය හැකි අතර, ඊයම් විෂ වීම හා සම්බන්ධ ප්‍රමානයට වඩා දරුනු ආකාරයෙන් ආසාදිත පුද්ගලයින්ට බරපතල ශාරීරික සෞඛ්‍ය ගැටලු සහ මොලයට හානි සිදුවිය හැක.

සෑම කෙනෙකුටම පාහේ මෙම භයානක වෛරසයෙන් මියගිය මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු සිටී. මෙය කියවන ඔබමත් ඇතැම් විටක වෛරසය ආසාදනය වී සහ දිගුකාලීන කොවිඩ් තත්ත්වයෙන් පෙලෙනවා විය හැකි ය.

නමුත් වසර දෙකකට පසුව වුව ද ඔමික්‍රෝන් (Omicron) හි සීග්‍ර ව්‍යාප්තිය, එලඹෙන වසර, 2020 සහ 2021 ට වඩා නරක අතට හැරීමේ අන්තරාය දරා සිටියි. එක්සත් ජනපදය බදාදා, දෛනිකව නව රෝගීන් 484,377 ක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීය. සෞඛ්‍ය ප්‍රමිති කරන සහ ඇගයීම් ආයතනය ඇස්තමේන්තු කරන්නේ, ඉදිරි මාස තුන තුලදී ඇමරිකානුවන් මිලියන 140 ට ඔමික්‍රොන් ආසාදනය විය හැකි බවත්, ජනවාරි අග වන විට සෑම දිනකම ආසාදන මිලියන 2.8 ක උපරිමයකට ලඟා වනු ඇති බවත් ය.

රෝහල් පද්ධති දැනටමත් බිඳවැටීමේ තැනට වැටී ඇති තත්වය තල, රට පුරා රෝහල්ගතවීම් නැවත වරක් ඉහල යමින් පවතී. ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් වැඩි අවදානමක් ඇති වාර්තාගත ලමුන් සංඛ්‍යාවක් ඇතුලුව ඇමරිකානුවන් 84,000 කට වැඩි පිරිසක් දැනට කෝවිඩ් -19 ආසාදිතව රෝහල් ගත කර ඇත.

මෙම පෙර නොවූ විරූ අර්බුදය මධ්‍යයේ කොටස් වෙලඳපොල දිගටම ඉහල නඟින්නේ, බයිඩන් පරිපාලනය සහ ප්‍රාන්ත ආන්ඩු, ඒවා ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකානුවන් විසින් පාලනය කරනු ලැබුව ද, ව්‍යාපාරික අවශ්‍යතා යටපත් කෙරෙන කිසිදු පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කරන බැවිනි.

ආන්ඩුවෙන් පතුරවා හරිනු ලබන සාවද්‍ය සහ අසත්‍ය තොරතුරු, අධෛර්යමත් කිරීමේ හැඟීමක් පෝෂනය කරනවා සේම එය වසංගතය කෙරෙහි සම්පූර්න පරාජකවාදී ආස්ථානයක් ප්‍රවර්ධනය කිරීමට යොදා ගනී. සංස්ථාපිත පාලිත මාධ්‍ය දැන් තර්ක කරන්නේ, අප “කෝවිඩ් සමඟ ජීවත් විය යුතු” බව හා පසුව එය ස්ථානගත වසංගතයක් වනු ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? මෙම ප්‍රතිපත්තියේ අවසාන ඉලක්කය කුමක්ද, මිලියන ගනනකගේ අනවශ්‍ය දුක් වේදනා සහ මරන නතර වන්නේ කවදාද?

ඇත්ත වශයෙන්ම, සුදුසු ක්‍රියාමාර්ග ගතහොත් වෛරසය තව මාස කිහිපයක් තුල තුරන් කල හැකිය. චීනයේ, ශුන්‍ය කෝවිඩ් (Zero COVID) මූලෝපාය 2020 අප්‍රේල් වන විට වෛරසය තුරන් කිරීමට දායක විය, 2020 මැයි මාසයේ සිට වාර්තා වූයේ මරන දෙකක් පමනකි. චීනයේ භාවිතා කරන ක්‍රමවේදයන් බෝවන රෝග වලට එරෙහිව සටන් කිරීමේ සියවසකට වැඩි කාලයක අත්දැකීම් වලින් ප්‍රචලිත සහ ප්‍රවර්ධනය වූ ඒවාය.

ව්‍යාපාර සහ ආර්ථිකය සම්පූර්නයෙන්ම නැවත විවෘත කිරීම යුක්ති සහගත කිරීම සඳහා ආඛ්‍යානයක් පැටවීමට, විද්‍යාවේ සහ මහජන සෞඛ්‍යයේ මූලධර්ම නිරන්තරයෙන් නොසලකා හැර, මුසාකරනය කරනු ලැබේ.

නිරෝධායන සහ හුදකලා කාලය දින 10 සිට පහ දක්වා අඩු කිරීම යන රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය (CDC) වෙතින් එන නව මාර්ගෝපදේශ, නොනවතින විනාශකාරී ක්‍රියා මාලාවක අලුත්ම පියවරයි. කොවිඩ්-19 දින නියමයක් නොමැතිව පැතිරීමට ඉඩ දීම තම ප්‍රතිපත්තිය බව ආන්ඩුව විවෘතවම ප්‍රකාශ කර ඇත.

කර්මාන්තශාලා සහ අනෙකුත් සේවා ස්ථාන විවෘතව තැබීමටත් ලමුන් පාසල් යැවීමටත් ඉවබව නැතිව කෙරෙන අවධාරනය, බෝවන රෝගවලට එරෙහි සටනේදී උගත්තාවූ සෑම දෙයකටම මුලුමනින්ම එරහිව පිහිටයි. සියවස් ගනනාවක විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් මනුෂ්‍ය වර්ගයාට, රෝගවලට එරෙහිව සටන් කරන දැනුමේ අවි ගබඩාවක් සම්පාදනය කර ඇත. පෝලියෝ, වසූරිය, සරම්ප, මැලේරියාව සහ කහ උන ඇතුලු කලක් මාරාන්තික යයි සැලකූ රෝග තුරන් කිරීම සඳහා මෙම දැනුම, 20 වන සියවසේදී එක්සත් ජනපදය ඇතුලු රටවල භාවිතා කරන ලදී.

කම්කරු පන්තිය තීන්දු ගැනීමේ අයිතිය සියතට ගත යුතුය. වසංගතය අවසන් කිරීමේ සටන පහත සඳහන් මූලධර්ම මත පදනම් විය යුතුය:

  1. “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ වර්තමාන ප්‍රතිපත්තිය - එනම්, කෝවිඩ්-19 ජනගහනය පුරා පැතිරීමට ඉඩ දීම - ප්‍රතික්ෂේප කල යුතුය. සාර්ස්-කොව්- 2 (SARS-CoV-2) තුරන් කිරීම සහ මුලිනුපුටා දැමීම කෙරෙහි යොමු කරන ලද නව මූලෝපායක් අනුගමනය කල යුතුය.
  2. වෛරස් සම්ප්‍රේෂනය වීම නැවැත්වීම සඳහා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති මහජන සෞඛ්‍ය අවශ්‍යතා අනුව තීන්දු කල යුතුය. මිනිස් ජීවිත ආරක්ෂා කිරීම, සියලු ව්‍යාපාරික-මූල්‍ය අවශ්‍යතාවලට වඩා නිරපේක්ෂ සහ කොන්දේසි විරහිත ප්‍රමුඛතාවයක් ගත යුතුය. වසංගතයට එරෙහිව සටන් කිරීමේ වියදම් - වැටුප් හා වේතන ගෙවීම, කුඩා ව්‍යාපාර හිමියන්ට වන්දි, රෝගීන් සඳහා සම්පූර්න වෛද්‍ය ආවරන සහ පීඩාවට පත් පවුල් සඳහා ගෙවීම් ඇතුලු වියදම් - සංගත විසින් දරනු ලැබිය යුතු අතර, කොටස් වෙලඳපොල නැඟීම හරහා විශාල ආයෝජකයින් අසීමිතව උපයා ගත් වසංගත ලාභයෙන් සියයට 100ක බද්දක් ඒ වෙනුවෙන් ගෙවිය යුතුය.
  3. වසංගතයට එරෙහි සටන ගෝලීය පරිමානයෙන් ගෙන යා යුතුය. සාර්ස්-කොව්- 2 (SARS-CoV-2) සෑම රටකින්ම තුරන් නොකලහොත් වසංගතය නැවැත්විය නොහැක. අඩු සංවර්ධිත රටවල තම පංති සහෝදර සහෝදරියන්ට අවශ්‍ය ප්‍රමානයෙන් නොමිලයේ එන්නත් ලබා දෙන ලෙස ඇමරිකානු කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය.

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන්, මහා ව්‍යාපාරිකයන් සහ සංගත පාලිත මාධ්‍ය මෙම ප්‍රතිපත්ති පලමුව ක්‍රියාත්මක කල නොහැකි බවද, දෙවනුව, පවතින ධනේශ්වර ක්‍රමයට නොගැලපෙන බව ද ප්‍රකාශ කරනු ඇත.

පලමු විරෝධයට පිලිතුර නම් මිලියන ගනනක් ආසාදනය වීම සහ විශාල ජීවිත හානි පිලිගත නොහැකි බවයි.

දෙවන විරෝධය සම්බන්ධයෙන් පිලිතුර සරලවම මෙයයි: ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ ජීවිත හා යහපැවැත්මට තර්ජනයක් වන අර්බුදයකට ධනවාදයෙන් විසඳුමක් ලබා දිය නොහැකි නම්, එය ඉවත් කර ලාභයට වඩා ජීවිතයට මුල්තැන දෙන සමාජවාදී ක්‍රමයක් ස්ථාපනය කල යුතු බවයි.

සාරාර්ථ වසයෙන් ගත්කල, කොවිඩ් වසංගතයට එරෙහි සටන, ධනවාදයට එරෙහි අරගලයකි. පසුගිය දෙවසරේ ඛේදවාචකයන්, කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව මතු කර ඇත.

මෙම ප්‍රකාශය බෙදා හරින ලෙසත්, ඔබේ සේවා ස්ථානයේ සාකච්ඡා ආරම්භ කරන ලෙසත්, ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙසත්, වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග සඳහා සහයෝගය දිනා ගන්නා ලෙසත් අපි සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය හා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය අමතන්න. ඔබගේ සේවා ස්ථානයේ තත්ත්වය ඔබ සමඟ සාකච්ඡා කිරීමට සහ වසංගතය අවසන් කිරීමේ සටන සංවිධානය කිරීමට ඔබට සහාය වීම සඳහා අපි උදක්ම අපේක්ෂාවෙන් සිටිමු.

සහෝදරත්වයෙන්,

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)

Loading