ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂාකර ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

කොරෝනා වසංගතයෙන් තීව්‍ර වී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පටවා ලාභ තරකර ගැනීම පිනිස කර්මාන්තකරුවන් විසින් ඇඟලුම් කම්කරුවන්ගේ ශ්‍රමය ඇටපොත්තට ම සූරාකෑමේ සැලසුම් ක්‍රියාවට දමා ඇත. වසංගතය පෘතුලව පැතිර යද්දී අනාරක්ෂිතව හා ජීවිත පරදුවට තබා ධනපතියන්ගේ ලාභය සඳහා කැඹීරීමට ද, රැකියා අහිමිවීම, වැඩ වේගවත් කිරීම, වැටුප් හා දීමනා කප්පාදුව සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීමේ කොන්දේසි වලට ද ඔවුහු මුහුන දී සිටිති.

නිසි සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් වලින් තොරව සේවයේ යෙදවීම නිසා ඇඟලුම් සහ අපනයන කම්කරුවෝ දහස් ගනනක් පසුගිය දෙවසර තුල වසංගතයට ගොදුරු වුහ. කම්කරුවන් ගනනාවක් මිය ගියහ. රැකියා අහිමි වූ සංඛ්‍යාව 150,000 කි නිල සංඛ්‍යාව එසේ වුව ද රැකියා අහිමි වූ සැබෑ සංඛ්‍යාව ඊට බෙහෙවින් වැඩිය. වසංගතයේ පැතිරීමත් සමග 2020 අග වන විට ඇඟලුම් කම්කරුවන් ලක්ෂ තුනකට රැකියා අහිමි වූ බව වාර්තා විය. වැටුප්, අතිකාල හා ප්‍රසාද දීමනා ඇතුළු අනෙකුත් දීමනාද කප්පාදු කෙරුනි. වැඩ ඉලක්ක ඉහල දමා ඇත.

ඇඟලුම් කම්කරුවන්ට එරෙහි මෙම ප්‍රහාර රාජපක්ෂ ආන්ඩුව සහ හාම්පුතුන් විසින් කම්කරු පන්තියට එල්ල කරන පෘථුල ප්‍රහාරයක කොටසකි.

ඇඟලුම් කම්කරුවන්ට එරෙහි සකලවිධ ප්‍රහාරයන් මධ්‍යයේ ධනපති හාම්පුතුන්ගේ අත් තවදුරටත් ශක්තිමත් කිරීමේ 'ද්විපාර්ශ්වීය ගිවිසුමක්' නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස), ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලනිසේස), ශ්‍රී ලංකා සංක්‍රමනික සේවකයන්ගේ සංගමය සහ ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය අතර දෙසැම්බර් 23 වෙනිදා අත්සන් කෙරුනි.

2021 දෙසැම්බර් 21 වැඩවර්ජනයේ දී පිකට් උද්ඝෝෂනයක යෙදෙන ජාඇල එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ [ලෝසවෙඅ]

කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ 'ඓතිහාසික ගිවිසුමක්' ලෙස වෘත්තීය සමිති විසින් මෙම ගිවිසුම හුවා දක්වා ඇත. වෘත්තීය සමිති විසින් මෙම ගිවිසුම කම්කරුවන්ගෙන් වසන් කරගෙන සිටින නමුත් මාධ්‍ය විසින් උපුටා දැක්වූ එහි ඇතැම් කොටස් මගින් එහි යතා එල්ලය වන්නේ කම්කරු ශ්‍රමය සූරාකෑම තීව්‍ර කිරීමය. එහි මෙසේ සඳහන් වේ: ”ක්ෂේත්‍රය තුල පවතින බොහෝ දුෂ්කරතාවයන් ට ඉහලින් ශ්‍රී ලංකාවේ මානව සම්පත් ක්‍රියාකාරිත්වය ඔසවා තැබීමේ සහ වසංගතයෙන් පසු ව්‍යාපාරයේ අඛන්ඩතාවය සඳහා හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර සහයෝගය තීරනාත්මකය'.

මෙම ව්‍යසනයන් මධ්‍යයේ දැරිය නොහැකි මට්ටමට බඩුමිල ඉහලයාම තුල කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට එල්ල වී ඇත්තේ මරු පහරකි. වෘත්තීය සමිති මෙවර අයවැයෙන් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් හා දෛනික අවම වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා සිටියේ ජීවන වියදම පිම්මේ ඉහල නැගීමට එරෙහිව කම්කරුවන් අතර රාජපක්ෂ ආන්ඩුව සහ හාම්පුතුන් කෙරෙහි වර්ධනය වන බරපතල කෝපය හා නොසන්සුන්කම සමනය කිරීමේ එල්ලය ඇතිවය. වෘත්තීය සමිති මෙම වැටුප් ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ධනපති ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ සීමාවන්ට යටත් කොට නමුත් ආන්ඩුව සහ හාම්පුත්තු එම ඉල්ලීම ද එකහෙලා ප්‍රතික්ෂේප කලහ.

රුපියල් 10,000 වැටුප් වැඩිවීමක් ලැබුන ද ඇඟලුම් ඇතුළු පුද්ගලික අංශයේ කම්කරුවෙකුගේ අවම මාසික වැටුප රුපියල් 26,000 කි. එවන් සොච්චම් වැටුපක් ඉහල යන ජීවන වියදමට අලගු තැබීමටවත් නොසෑහෙයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2019 නිකුත් කල වාර්තාවකට අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් 63,000විය. යන්තම් දිවි ගැටගසා ගැනීම සඳහා අවශ්‍ය පවුලක මාසික වියදම උද්ධමනය නිසා ඊට වඩා බෙහෙවින් මේ වනවිට ඉහලගොස් තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සියයට 8.3 ක් වූ මිල උද්ධමනය මෙම වසරේ නොවැම්බර් මාසය වන විට සියයට 11.1 දක්වා ඉහල නැගී ඇත. ආහාරමිල 2020 අගෝස්තු සිට මෙම වසරේ නොවැම්බර් මාසය වනවිට සියයට 35 ඉහල ගොස් තිබේ. යලිවතාවක් තෙල් මිල ඉහල දැමීම හේතුකොට ගෙන භාන්ඩ මිල සහ සේවා ගාස්තු තව කිහිප ගුනයකින් ඉහල යනු ඇත.

එවන් තත්වයක් තුල කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම වියයුත්තේ ඉහල යන ජීවන වියදමට සරිලන ඉහල යන වැටුපකි. ඒ සමගම යහපත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්, ආරක්ෂක සේවා කොන්දේසි, හාම්පුතුන්ගේ වියදමින් නඩත්තු කෙරෙන පහසුකම් සහිත නවාතැන් ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇතුලත් විය යුතුය. එමෙන් ම, වසංගතය තුරන් කෙරෙන තුරු අත්‍යාවශ්‍ය නොවන කම්හල් වසා තැබීමේ කොටසක් ලෙස ඇඟලුම් කම්හල් වසා තැබිය යුතුය. එම කාලය තුල සම්පුර්න වැටුප කම්කරුවන්ට ගෙවිය යුතුය.

කර්මාන්තකරුවන් විසින් ඇඟලුම් කම්කරුවන්ගේ අයිතීන්ට එරෙහි ප්‍රහාරය තියුනු කර ඇත්තේ රාජපක්ෂ ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල සම්පුර්න පිටුබලය සහ සහයෝගය ඇතිවය. වසංගතයේ පැතිරීම තිබිය දී 'අත්‍යාවශ්‍ය' සේවාවක් ලෙස නම්කරමින් ඇඟලුම් සහ අපනයන කර්මාන්ත පවත්වාගෙන යාමටත්, ප්‍රමානවත් සෞඛ්‍ය පහසුකම් වලින් තොරව, අනාරක්ෂිතව හා බලහත්කාරයෙන් කම්කරුවන් සේවයේ යෙදවීමටත් ආන්ඩුව කර්මාන්තකරුවන්ට අවසර දුන්නේය.

වැටුප් හා රැකියා කප්පාදුව ඇතුළු ප්‍රහාරයන් ක්‍රියාවට දමනු පිනිස ආන්ඩුවේ මුලිකත්වයෙන් 2020 මැයි මාසයේ ආන්ඩුවේ බලධාරීන්, හාම්පුතුන් සහ වෘත්තීය සමිතිවල නියෝජනය සහිත ත්‍රෛපාර්ශ්වීය කාර්යසාධක බලකායක් පිහිටුවනු ලැබීය. නිවෙකපොසේසේස, ශ්‍රීලනිසේස, ලංකා වෙලඳ හා කාර්මික සංගමය (සීඑම්යු), ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන අන්තර් සමාගම් සේවක සංගමය, සහ එක්සත් කම්කරු සමිති සම්මේලනය ඇතුළුව මෙම කාර්ය සාධක බලකායට සම්බන්ධ වූ වෘත්තීය සමිති රාජපක්ෂ ආන්ඩුවේ “ආර්ථිකය විවෘත කිරීමේ” පිලිවෙත යටතේ කර්මාන්ත පවත්වාගෙන යාමටත් ධනපති හාම්පුතුන්ගේ ලාභ තරකර ගැනීමේ සැලසුම්වලට ඇඟලුම් සහ අපනයන කම්කරුවන් යටත් කිරීමටත් සහයෝගය දෙති.

වසංගතයෙන් තීව්‍ර කෙරුන ගෝලීය (ධනවාදයේ) අර්බුදය හමුවේ 'වැටුප් වැඩිවීම් ඉල්ලා නොසිටීමට වෘත්තීය සමිති වගබලා ගත්' බව ඔක්තෝබර් 19 වෙනිදා වෘත්තීය සමිති විසින් පවත්වනු ලැබූ ඔන්ලයින් රැස්වීමක දී නිවෙකපොසේසේස සමලේකම් ඇන්ටන් මාකස් සඳහන් කලේ ය. “ඒ අවස්ථාවේදී අපි හැමෝටම පාර්ශ්වකරුවන් හැටියට සේවා නියෝජිත පක්ෂයටවත්, ආන්ඩුවටවත්, වෘත්තීය සමිතිවලටවත්, තනිවම මුහුන දෙන්න බැරි අභියෝගයක් හැටියට අපි එය හඳුනගෙන හිටියෙ' යැයි ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

වැටුප් වැඩි නොකිරීමට පමනක් නොව, වැටුප් කප්පාදු කිරීමට ද, රැකියා අහෝසිය ඇතුළු ප්‍රහාරවලට එරෙහිව මතු වූ කම්කරු අරගල කඩාකප්පල් කිරීමටත් වෘත්තීය සමිති වගබලා ගත්හ. “ඒක නිසා අපි, (වෘත්තීය සමිති) තමයි ආන්ඩුවට යෝජනා කලේ මේ අරබූදය ජය ගන්නකම් අපි එකට එකතුවෙලා කටයුතු කරමුයි කියලා.” මාකස් උජාරුවෙන් පැවසීය. වැටුප් කප්පාදුවට කරබදු වෙමින් “අපේ පැත්තෙන් අපි සූදානම් සේවයට නො කැඳවන කාලයට සියයට පනහක් හෝ රුපියල් 14,500 ක් ලබාගන්න”

කිසිම සේවකයෙකු අස්කරන්නේ නැහැ කියල ආන්ඩුවෙන් 'සහතිකයක්” දුන් බව ද මාකස් සඳහන් කලේ ය. එහෙත් මාකස් ඔජවඩවන ආන්ඩුවේ 'සහතිකය' තිබිය දී ඇඟලුම් කම්කරුවන් ලක්ෂ ගනනකට රැකියා අහිමි වී ඇත.

වසංගතය තුල අනාරක්ෂිතව කම්කරුවන් සේවයේ යෙදවීමට උල්පන්දම් දෙමින් වසංගතය එතරම් ගනන් ගතයුතු රෝගයක් නොවන බව ඉහත සඳහන් ඔන්ලයින් රැස්වීමේ දී සීඑම්යු වේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි පැවසීය.“අපි මේ වසංගතය සලකන්නෙ නැහැ ඒ තරම් මිනීමරන භයානක වසංගතයක් හැටියට. කිහිපදෙනෙක් මලාට, ඒ මැරුනු අයත් වෙනත් සංකූලතා වෙනත් හේතු” නිසා මැරුනු බව ඔහු එහි දී පැවසීය. ජයකොඩි ප්‍රතිරාවය කරන්නේ 'වසංගතය ගනන්ගතයුතු නැත. වසංගතය සමග ජීවත් වියයුතුය. දිවි පරදුවට තබමින් කම්කරුවන් ධනවාදය වෙනුවෙන් කැඹීරිය යුතුය' යන රාජපක්ෂ ආන්ඩුවේත් ලොව පුරා ධනපති පාලක පන්තීන්ගේත් හඬයි.

ආනාරක්ෂිත ලෙස සේවයේ යෙදවීම හා වැටුප් හා රැකියා කප්පාදුව කෙරෙහි කම්කරුවන් තුල කෝපය සහ විරෝධය වර්ධනය වනවිට වෘත්තීය සමිති කලේ ජනාධිපතිට, අගමැතිට, කම්කරු ඇමතිට, වසංගත මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස සිටි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ට ලියුම් පිට ලියුම් ලියමින් හාම්පුතුන් ත්‍රෛපාර්ශවීය ගිවිසුමේ එකඟතාවයන් උල්ලංඝනය කරන බවට කනපින්දම් කීමය.

වසංගතය තුල රැකියා හා වැටුප් කප්පාදුවට, අනාරක්ෂිතව සේවයේ යෙදවීමට විරුද්ධව යක්කල එස්ක්වෙල්, කටුනායක ඔකායා ලංකා සහ නෙක්ස්ට් ඇතුළු ඇඟලුම් කම්හල් කම්කරුවන්ගේ අරගල හුදකලා කොට පාවාදීමෙන් කම්කරුවන් සිය ගනනකගේ රැකියා අහිමි කිරීමට සහ සෙසු අයිතීන් කප්පාදු කිරීම සඳහා හාම්පුතුන් ගේ අත් ශක්තිමත් කලේ මෙම වෘත්තීය සමිති විසිනි.

එහෙයින් වෘත්තීය සමිති තුලින් ඇඟලුම් කම්කරුවන්ට හෝ සමස්තයක් ලෙස කම්කරු පන්තියට තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනාගත නොහැකි බව අතිශයින් පැහැදිලිය.

තම අයිතීන් සඳහා අරගලය ශක්තිමත්ව සහ ඒකාබද්ධව සංවිධානය කිරීම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් පිහිටුවා ගන්නා ක්‍රියාකාරී කමිටු සෑම කම්හලක් තුලම පිහිටුවා ගතයුතුය. සමාජවාදී සමානතා පක්ෂය ඇඟලුම් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවක් සඳහා ආරම්භකත්වය ගෙන ඇත. එවන් ක්‍රියාකාරී කමිටු සියලු නිදහස් වෙලඳ කලාප තුලට හා ඉන් පිටත අපනයන කම්කරුවන් අතරට ප්‍රසාරනය කිරීමට අප හා එක්වන්න. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් තුලින් අනෙකුත් රටවල ඇඟලුම් හා අපනයන කම්කරුවන් සමග ද ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ද එකමුතුව තහවුරු කර ගත යුතුය.

ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අවශ්‍ය විස්තර සඳහා, 0773562327 දුරකථන අංකය හරහා අපව අමතන්න.

Loading