සමස්ත දකුනු ආසියානු කම්කරුවන්ට විවෘත ලිපියක්: 2022 දී වසංගතය අවසන් කර ජීවිත බේරා ගත යුතුය!

[මෙය 2022 ජනවාරි 07 වැනි දින An open letter to all South Asian workers: The pandemic must be ended and lives saved in 2022! යන මැයෙන් පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය ජුනි මාසයේදී, මහනුවරදී, සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධතාවයක් [ලෝසවෙඅ මාධ්‍ය]

ප්‍රිය සහෝදර සහෝදරියනි,

නව වසර ආරම්භ ‌වනවිට, දකුනු ආසියාවේ සහ ලොව පුරා කම්කරුවන් සාමූහිකව ක්‍රියා කරමින් කොවිඩ්-19 වසංගතයට තිත තැබිය යුතුය. 2022, මහා ආසාදන, රෝග සහ මරන වලින් ගහන තවත් බියකරු වසරක් නොවිය යුතුය!

පසුගිය දෙවසරේ සමාජ ව්‍යසනය වනාහි, අඛන්ඩව සංගතවල ලාභ සහ මහා කොටි-ප්‍රකෝටි පතියන්ගේ පුද්ගලික ධනය රැස් කිරීම සඳහා මහජන සෞඛ්‍යය සාපරාධි ලෙස යටත් කිරීමේ ප්‍රතිඵලයයි.

මිනිස් ජීවිතවල පිරිවැය අනුව, වසංගතය දකුනු ආසියාවේ සහ විශේෂයෙන් ඉන්දියානු ඉතිහාසයේ විශාලතම ඛේදවාචක අතරට පැමිනේ. 2021 ආරම්භ වන විට ඉන්දියාවේ පුද්ගලයින් 148,994 කට වැඩි පිරිසක් වෛරසයට ගොදුරු වී තිබුනි. අද, එම අගය 482,000 ඉක්මවන අතර, ජීවිතාරක්ෂක එන්නත් හඳුන්වා දී තිබුනද, වසරක් තුල තුන් ගුනයක වැඩි වීමකි.

එක්සත් ජනපදය පදනම් කරගත් ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය විසින් පසුගිය ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතයේ සැබෑ මරන සංඛ්‍යාව නිල සංඛ්‍යාව මෙන් දස ගුනයක්, එනම් මිලියන තුනත් පහත් අතර වේ.

ජනවාරි 4 වන විට, ඉන්දියාව සහ අනෙකුත් දකුනු ආසියාවේ රටවල්—ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්ථානය, භූතානය, මාලදිවයින—නිල වශයෙන් ඒකාබද්ධ සමස්ත කොවිඩ් මරන 573,300 කට අධික සංඛ්‍යාවක් සහ රෝගීන් මිලියන 39.51 ක් වාර්තා කර ඇත.

ආයු අපේක්ෂාව—මහජන සෞඛ්‍ය පිලිබඳ වඩාත්ම තීරනාත්මක දර්ශකය—විශාල ලෙස පහත වැටී ඇත. ජනගහන අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයට (අයිඅයිපීඑස්) අනුව, ඉන්දියාවේ පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ උපතේදී ආයු අපේක්ෂාව “2019 දී අවුරුදු 69.5 සහ අවුරුදු 72 සිට 2020 දී පිලිවෙලින් අවුරුදු 67.5 සහ අවුරුදු 69.8 දක්වා අඩු වී ඇත.”

අයිඅයිපීඑස් සහකාර මහාචාර්ය සූරයාකාන්ත් යාදව් ප්‍රකාශ කලේ පසුගිය වසර දෙක තුල ඉන්දියාව ‌කෙරෙහි කොවිඩ්-19 හි බලපෑම “ආයු අපේක්‍ෂාව වැඩි කිරීම සඳහා පසුගිය දශකය තුල අප ලබා තිබූ ප්‍රගතිය අතුගා දැමූ” බවයි.

නිල වශයෙන්, පලමු වසර තුල, 2020 දෙසැම්බර් 31 දක්වා, ඉන්දියානුවන් මිලියන 10.26 ක් වෛරසයෙන් ආසාදනය වී ඇත. අගුලු දැමීම අවසන් වීම සහ ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේදවල පැතිරීම නැවැත්වීමට කිසිවක් කිරීම මෝදි ආන්ඩුව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, 2021 අවසානය වන විට ආසාදන සංඛ්‍යාව අතිවිශාල ලෙස ඉහල යමින් මිලියන 34.83 දක්වා ලඟා විය—එය, මිලියන 24 කට වඩා වැඩි වීමකි.

2021 අප්‍රේල් 8 බ්‍රහස්පතින්දා ඉන්දියාවේ මුම්බායි හි කොවිඩ්-19 එන්නත ලබාගැනීම සඳහා මිනිසුන් පෝලිම් ගැසී සිටිති. (ඒපී ඡායාරූප/රෆීක් මක්බූල්)

ශ්‍රී ලංකාව තුල, එහි නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඇතුලු වෛරසය රට පුරා ව්‍යාප්ත වෙමින් තිබියදීත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව එහි සීමිත කොරෝනා වෛරස් සීමාවන් තවදුරටත් ලිහිල් කරමින් සිටී. ජනවාරි 3 වනදා සිට ආන්ඩුව සියලුම රාජ්‍ය අංශයේ සේවකයින්ට කායිකවම සහභාගී වී නැවත වැඩ ආරම්භ කරන ලෙස නියෝග කරන ලද අතර, ගර්භනී කාන්තාවන් සහ වසරකට අඩු ලදරුවන් සිටින මව්වරුන් සඳහා කොවිඩ් සම්බන්ධ නිවාඩු අවලංගු කලේය. මංගල උත්සව, එලිමහන් සංදර්ශන සහ ක්‍රීඩා උත්සව සඳහා පනවා තිබූ සීමා සියල්ලම පාහේ ඉවත් කර ඇත. සංචාරක කර්මාන්තය, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර, පාසල් සහ සාප්පු සංකීර්න දැන් සම්පූර්නයෙන්ම විවෘතව පවතී.

ආන්ඩුව “සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ” සියලු වගකීම ජනතාව මත පටවා ඇති අතර වසංගතය පාලනය කිරීම සඳහා මොනයම් හෝ පියවරක් ගැනීමේ වගකීමෙන් අත සෝදා ගෙන ඇත.

රාජපක්ෂ තම “වසංගතය පාලනය කිරීමේ සාර්ථකත්වය” ගැන පුරසාරම් දොඩමින් සිටියද, අවගනනයන් සහිත නිල සංඛ්‍යාලේඛනවලට අනුව පවා ශ්‍රී ලංකාවේ මරන 15,000 ඉක්මවා සහ ආසාදන 600,000 ට ලඟා වෙමින් තිබේ. රාජපක්ෂ ආන්ඩුව, දකුනු ආසියාවේ එහි සගයන් මෙන්, 'වෛරසය සමඟ ජීවත් වීම' අවශ්‍ය බව ප්‍රකාශ කරමින් වසංගතයට ඇති එකම විසඳුම ලෙස එන්නත්කරනය ප්‍රවර්ධනය කරයි—එය මිනිස් ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙන සාපරාධී ප්‍රතිපත්තියකි.

ඔක්තෝබර් 31 සංඛ්‍යාලේඛනවලට අනුව, ආසියාවේ කොවිඩ්-19 ආසාදනය වී දිවි ගලවා ගත් අයගෙන් සියයට 49 ක්—මිලියන ගනනක්—දිගුකාලීන කොවිඩ් වලින් පීඩා විඳිති. මෙම පීඩාව ශරීරයේ සෑම ඉන්ද්‍රියයකටම බලපෑම් කල හැකි අතර, වසර ගනනාවක් පැවතිය හැකිය. මෙම තත්ත්වය ඇති වීම ඊයම් විෂ වීමට සම්බන්ධ ප්‍රමානයට වඩා බරපතල ශාරීරික ගැටලු සහ මොලයට හානි සිදුවිය හැකිය.

සෑම කෙනෙකුගේම පාහේ මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු මෙම භයානක වෛරසයෙන් මියගොස් තිබේ. මෙය කියවන ඔබගෙන් බොහෝ දෙනෙකු ආසාදනය වී හෝ දිගුකාලීන කොවිඩ් වලින් පීඩා විඳ තිබේ.

ඔමික්‍රෝන් හි ශීඝ්‍ර ව්‍යාප්තිය, 2022 වසර 2020 සහ 2021 ට වඩා දරුනු කරනු ඇත. ජනවාරි 4 වන දින ඉන්දියාව නව කොවිඩ් රෝගීන් 37,379 කට අධික සංඛ්‍යාවක් වාර්තා කලේ දින 116 කින් ඉහලම අගය ලෙස ය, එදින මරන 124 ක් සිදුව තිබේ. අතිරේක ක්‍රියාමාර්ග නොගතහොත් ඉන්දියාවේ කොවිඩ් ආසාදන දිනකට මිලියන 1.4 දක්වා ලඟා විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව, දකුනු ආසියාව පුරා සිටින එහි සගයන් මෙන්, ඔමික්‍රෝන් “ඩෙල්ටාවට වඩා දරුනු බවින් අඩුය” යන මන්ත්‍රය ජප කරමින් කරමින් සිටින නමුත් වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ මාරාන්තික ඔමික්‍රෝන් විසින් මෙහෙයවනු ලබන, කොවිඩ් හි තුන්වන රැල්ලක් ඉන්දියාව ගිලගනු ඇති බවයි. ඩෙල්ටා ප්‍රභේදයේ මෙන්, මිලියන ගනනක් නොවේ නම්, සිය දහස් ගනනක් රෝහල් ගත වනු ඇත.

පසුගිය වසර දෙක තුල ඉන්දියාව මුහුන දුන් විශාල රෝගීන් සංඛ්‍යාව සමඟ කටයුතු කිරීමට ඉන්දියාවේ අඩු අරමුදල් සහ පිරිහුනු වෛද්‍ය යටිතල ව්‍යුහය අසමත් විය. එන්නත් නොලද පුද්ගලයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටීම, දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඉහල මට්ටමින් පැවතීම සහ ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් වයෝවෘද්ධ පුද්ගලයින් වීම ඇතුලු අනෙකුත් අයහපත් සාධක, මේ වසරේ ඝාතීය ලෙස ඉහල යා හැකි කොවිඩ්-19 මරන සංඛ්‍යාවකට දායක වනු ඇත.

මෙම පෙර නොවූ විරූ අර්බුදය මධ්‍යයේ, කොටස් වෙලඳපොල දිගටම ඉහල යන්නේ, ඉන්දීය ජාතික කොංග්‍රසයේ සහ අනෙකුත් සංස්ථාපිත විරුද්ධ පක්ෂවල පූර්න පිටුබලය ඇතිව මෝඩි ආන්ඩුව, සංගත ලාභය සීමා කරන කිසිදු මහජන සෞඛ්‍ය පියවරක් ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කරන බැවිනි.

ආන්ඩුවෙන් ලැබෙන සාවද්‍ය තොරතුරු සහ අසත්‍යයන් අධෛර්යමත් කිරීමේ හැඟීමක් පෝෂනය කරයි, එය වසංගතය කෙරෙහි සම්පූර්න පරාජිකවාදයක් ප්‍රවර්ධනය කිරීමට යොදා ගනී. සංගත පාලිත මාධ්‍ය දැන් තර්ක කරන්නේ මහජනතාව 'කොවිඩ් සමග ජීවත් විය යුතු' බවයි, ඔවුන් ප්‍රකාශ කරන්නේ, එය ප්‍රාදේශීය වසංගත තත්ත්වයක් බවට මාරු වනු ඇති බවයි. මෙයින් පවා අදහස් කරන්නේ කුමක්ද? මෙම ප්‍රතිපත්තියේ අවසාන ඉලක්කය කුමක්ද? මිලියන ගනනකගේ අනවශ්‍ය දුක් වේදනා සහ මරන නතර වන්නේ කවදාද?

ඇත්ත වශයෙන්ම, සුදුසු පියවර සමඟ, වෛරසය තවමත් මාස කිහිපයකින් තුරන් කල හැකිය. චීනයේ, ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ගය 2020 අප්‍රේල් වන විට වෛරසය තුරන් කිරීමට හේතු විය, 2020 මැයි සිට වාර්තා වූ මරන දෙකක් පමනි. චීනයේ භාවිතා කරන ක්‍රම, බෝවන රෝගවලට එරෙහිව සටන් කිරීමේ සියවසකට වැඩි අත්දැකීම් වලින් උකහාගෙන වර්ධනය කර ඇත.

විද්‍යාවේ සහ මහජන සෞඛ්‍යයේ මූලධර්ම නිරන්තරයෙන් නොසලකා හරිනු ලබන අතර ව්‍යාපාර සහ ආර්ථිකය සම්පූර්නයෙන් නැවත විවෘත කිරීම සාධාරනීකරනය කිරීමට කතාවක් ගොතා ගැනීමට ඒවා මුසාකරනය කරනු ලැබේ.

ඉන්දියානු ආන්ඩුව තවමත් එහි කොවිඩ් නිරෝධායනය සහ හුදකලා මාර්ගෝපදේශ සඳහා කිසිදු වෙනසක් සිදු කර නැතත්, ආරම්භයේ සිටම සාපරාධී “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. මෙම වසර මුලදී ප්‍රාන්ත සභා මැතිවරනය පැවැත්වීමට නියමිත ප්‍රාන්ත පහක ආන්ඩුව සහ විරුද්ධ පක්ෂ විසින් දැවැන්ත දේශපාලන රැස්වීම් පවත්වනු ලබන්නේ ඒවා නොපවත්වන ලෙස කරන ලද අධිකරන ඉල්ලීමට පිටුපාමිනි.

මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත කෙරෙහි සමස්ත පාලක ප්‍රභූවේ නොසැලකිලිමත් උදාසීනත්වය සහ කර්මාන්ත ශාලා සහ අනෙකුත් වැඩබිම් විවෘතව පවතින අතර ලමයින් පාසල් යවන බවට එහි අවධාරනය, බෝවන රෝගවලට එරෙහි සටනේදී උගත් සෑම පාඩමකටම එරෙහිව යයි. සියවස් ගනනාවක විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් මනුෂ්‍ය වර්ගයාට රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා දැනුමේ අවි ගබඩාවක් ලබා දී ඇත. පෝලියෝ, වසූරිය, සරම්ප, මැලේරියාව සහ කහ උන ඇතුලුව, එක් කලෙක මරනයට ප්‍රධාන හේතු වූ වෛරස් තුරන් කිරීම සඳහා මෙම දැනුම 20 වන සියවසේදී භාවිතා කරන ලදී.

සියලුම අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමීම සහ මාස දෙකක කාලයක් සඳහා සියලුම පාසල් දුරස්ථ ඉගෙනීම වෙත සංක්‍රමනය වීම මගින් වෛරස් සම්ප්‍රේෂනය ඉක්මනින් පාලනය කල හැකි අතර කොවිඩ්-19 පූර්න පරිමානයෙන් තුරන් කිරීමට පදනම දැමිය හැකි බව නවීන විද්‍යාව පෙන්වා දී ඇත. මෙම අත්‍යවශ්‍ය අගුලු දැමීම් සිදු කල යුත්තේ බලපෑමට ලක් වූ සියලුම කම්කරුවන් සහ කුඩා ව්‍යාපාරිකයින් සඳහා පූර්න මූල්‍ය හා සමාජ ආධාර සැපයීම සමඟ ය.

මාස දෙකක අගුලු දැමීම්, ගෝලීයව සම්බන්ධීකරනය කරන ලද එන්නත් නිෂ්පාදනය සහ බෙදා හැරීම සහ සියලුම රටවලට උසස් තත්වයේ මුහුනු ආවරන සමඟ ඒකාබද්ධ කල යුතුය, එමෙන්ම මහා පරිමාන පරීක්ෂන භාවිතය, සම්බන්ධතා සොයා ගැනීම, ආසාදිත රෝගීන් ආරක්ෂිතව හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම සමග සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් නාටකාකාර ලෙස පුලුල් කල යුතුය. සෑම අත්‍යවශ්‍ය සේවා ස්ථානයක සහ රෝහලකදීම, සේවකයන්ට ඉහලම තත්ත්වයේ FFP3 හෝ වඩා හොඳ මුහුනු ආවරන මෙන්ම නවීන පෙරන සහ වාතාශ්‍ර පද්ධති තිබිය යුතුය. සෑම රටකම වෛරසය තුරන් කිරීමට අවකාශ සැලසීමට අත්‍යවශ්‍ය නොවන සියලුම දේශීය හා ජාත්‍යන්තර සංචාර වහාම නතර කල යුතුය.

කම්කරු පන්තිය තීන්දු ගැනීමේ අයිතිය සියතට ගත යුතුය. වසංගතය අවසන් කිරීමේ සටන පහත සඳහන් මූලධර්ම මත පදනම් විය යුතුය:

1. “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ වර්තමාන ප්‍රතිපත්තිය—එනම්, කෝවිඩ්-19 ජනගහනය පුරා පැතිරීමට ඉඩ දීම—ප්‍රතික්ෂේප කල යුතුය. සාර්ස්-කොව්- 2 (SARS-CoV-2) තුරන් කිරීම සහ මුලිනුපුටා දැමීම කෙරෙහි යොමු කරන ලද නව මූලෝපායක් අනුගමනය කල යුතුය.

2. වෛරස් සම්ප්‍රේෂනය වීම නැවැත්වීම සඳහා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති මහජන සෞඛ්‍ය අවශ්‍යතා අනුව තීන්දු කල යුතුය. මිනිස් ජීවිත ආරක්ෂා කිරීම, සියලු ව්‍යාපාරික-මූල්‍ය අවශ්‍යතාවලට වඩා නිරපේක්ෂ සහ කොන්දේසි විරහිත ප්‍රමුඛතාවයක් ගත යුතුය. වසංගතයට එරෙහිව සටන් කිරීමේ වියදම් - වැටුප් හා වේතන ගෙවීම, කුඩා ව්‍යාපාර හිමියන්ට වන්දි, රෝගීන් සඳහා සම්පූර්න වෛද්‍ය ආවරන සහ පීඩාවට පත් පවුල් සඳහා ගෙවීම් ඇතුලු වියදම්—සංගත විසින් දරනු ලැබිය යුතු අතර, කොටස් වෙලඳපොල නැඟීම හරහා විශාල ආයෝජකයින් අසීමිතව උපයා ගත් වසංගත ලාභයෙන් සියයට 100ක බද්දක් ඒ වෙනුවෙන් ගෙවිය යුතුය.

3. වසංගතයට එරෙහි සටන ගෝලීය පරිමානයෙන් ගෙන යා යුතුය. සාර්ස්-කොව්- 2 (SARS-CoV-2) සෑම රටකින්ම තුරන් නොකලහොත් වසංගතය නැවැත්විය නොහැක.

මෙම ප්‍රතිපත්ති 1) ක්‍රියාවට නැංවිය නොහැකි බවත් 2) පවතින ධනේශ්වර ක්‍රමයට නොගැලපෙන බවත් පාලක ධනේශ්වර පක්ෂ, මහා ව්‍යාපාරිකයන් සහ සංගත පාලිත මාධ්‍ය තර්ක කරනු ඇත.

පලමු තර්කයට පිලිතුර නම් මිලියන ගනනක් ආසාදනය වීම සහ විශාල ජීවිත හානි පිලිගත නොහැකි බවයි.

දෙවන විරෝධය සම්බන්ධයෙන් පිලිතුර සරලවම මෙයයි: ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ ජීවිත හා යහපැවැත්මට තර්ජනයක් වන අර්බුදයකට ධනවාදයෙන් විසඳුමක් ලබා දිය නොහැකි නම්, එය ඉවත් කර ලාභයට වඩා ජීවිතයට මුල්තැන දෙන සමාජවාදී ක්‍රමයක් ස්ථාපනය කල යුතු බවයි.

සාරාර්ථ වසයෙන් ගත්කල, කොවිඩ් වසංගතයට එරෙහි සටන, ධනවාදයට එරෙහි අරගලයකි. පසුගිය දෙවසරේ ඛේදවාචකයන්, කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව මතු කර ඇත.

මෙම ප්‍රකාශය බෙදා හරින ලෙසත්, ඔබේ සේවා ස්ථානයේ සාකච්ඡා ආරම්භ කරන ලෙසත්, ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙසත්, වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග සඳහා සහයෝගය දිනා ගන්නා ලෙසත් අපි සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය හා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය අමතන්න. ඔබගේ සේවා ස්ථානයේ තත්ත්වය ඔබ සමඟ සාකච්ඡා කිරීමට සහ වසංගතය අවසන් කිරීමේ සටන සංවිධානය කිරීමට ඔබට සහාය වීම සඳහා අපි උදක්ම අපේක්ෂාවෙන් සිටිමු.

සහෝදරත්වයෙන්,

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

Loading