සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ ලංකාවේ විකල්ප ආන්ඩුව ලෙස තමන් ම ඉදිරියට දමා ගනී

[මෙය Sinhala chauvinist JVP promotes itself as alternative Sri Lankan government මැයෙන් 2022 ජනවාරි 25දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

මේ මස මුල දී ඩේලි මිරර් පත්‍රය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී, ශ්‍රී ලංකාව විනාශයෙන් ආරක්ෂා කරගැනීම සඳහා, “දේශපාලනික බලය ගැනීමේ හදිසි අවශ්‍යතාවක්” පවතින බව, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක සඳහන් කලේ ය. “නායකත්වය ගැනීමට අපි සූදානම්” යයි ඔහු ප්‍රකාශකර සිටියේය.

සැබවින් ම, ගෝලීය කෝවිඩ්-19 වසංගතය විසින් ඇවිලවූ ගැඹුරු ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයක් තුල ලංකාවේ ධනවාදය ගිලී සිටී. ආර්ථික වර්ධනය ඇද වැටී තිබේ. අපනයන, සංචාරක කර්මාන්තය සහ විදේශගත කම්කරුවන්ගේ ප්‍රේෂන දැවැන්තව ඛාදනය වී ගොස් ඇති තතු තුල, විදෙස් සංචිත වියලී ගොස් විදේශ නය ගෙවීම පැහැර හැරීමේ තර්ජනය මතුව ඇත.

අනුර කුමාර දිසානායක (මූලාශ්‍රය: අනුර කුමාර දිසානායක ෆේස්බුක් පිටුව)

ආර්ථිකයට මුක්කුව දීමේ මංමුලා සහගත උත්සාහයක යෙදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව අර්බුදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, අත්‍යවශ්‍ය භාන්ඩ ඇතුලු ආනයන කපා හරිමින් සහ නව කප්පාදු මගින් කම්කරු පන්තිය මතට බර පටවමිනි.

මෙම ප්‍රහාරවලට එරෙහි ව රාජ්‍ය හා පුද්ගලික අංශවල කම්කරුවන් ලක්ෂ ගනන් නියැලෙන බොහෝ වැඩ වර්ජන හා විරෝධතා ඇවිලී ඇත. පොහොර ඇතුලු මූලික කෘෂිකාර්මික ආනයනයන් ගෙන්වීම තහනම් කිරීමට එරෙහි ව, විනාශයට මුහුන දෙමින් සිටින ගම්බද දිස්ත්‍රික්කවල ගොවීහු යලි යලිත් විරෝධතාවන් පවත්වා තිබේ.

පන්ති අරගලයෙහි මෙම පුපුරා යාම නිසා, පාලක පන්තිය භීතියෙන් වෙවුලුම් කා ඇත. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ දෙක -එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප)- බෙදී, නො වැදගත් ශේෂ බවට පත්කර තිබේ.

ශ්‍රීලනිපයෙන් බිඳී ගිය පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට හෝ එජාපයෙන් බෙදී ගිය සමගි ජන බලවේගයට (සජබ) පලල් මහජන සහයෝගයක් නැත. මිලිටරිය මත තදින්ම රැඳී සිටින රාජපක්ෂ පාලනයට මහජනයා අතර වැඩෙන අතෘප්තියට ඇති පිලිතුර මර්දනය පමනි.

ලංකාවේ ධනවාදය ව්‍යසනයෙන් බේරා ගැනීම පිනිස වේදිකාවට නැගගෙන සිටින ජවිපෙ ඒ සඳහා තමන් ප්‍රවර්ධනය කර ගනිමින් සිටියි.

1960 ගනන්වල දී ජවිපෙ සංවිධානය කෙරුනේ, සිංහල ස්වෝත්තමවාදය සමග කලතාගත් මාඕවාදී හා කස්ත්‍රෝවාදී ගොවිජන ගරිල්ලාවාදයේ පදනම මත, අතෘප්තියට පත් දිවයිනේ දකුනේ තරුනයන් බඳවා ගනිමිනි. එහි “සන්නද්ධ අරගලය” එක් ව්‍යසනයකට පසු තව ව්‍යසනයක් ගෙන ආවේය.

ජවිපෙ, සමාජවාදය සඳහා සටන් වදින බවට කල ව්‍යාජ දෙඩවිලි අත්හැර දැම්මේ බොහෝ කලකට පෙරය. ලොව පුරා තමන් හා සමාන සංවිධානයන් මෙන් ජවිපෙ ද බොහෝ කලකට පෙර දේශපාලන සංස්ථාපිතයට ඒකාග්‍ර වුයේ, සුවපහසු පාර්ලිමේන්තු ආසන වෙනුවෙන් ස්වයංක්‍රීය ආයුධ හුවමාරු කරමිනි.

ඉහල තැනක් දෙමින් ජවිපෙ නායකයා සමග ඩේලි මිරර් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව, ආන්ඩුවේ දුෂ්කලමනාකරනය හා දූෂනය ගැන එය විසින් “කෙරෙන හෙලිදරව් කිරීම්” ගැන පලල් මාධ්‍ය ප්‍රචාරයක කොටසකි. රටෙහි අර්බුදය ගැන මෑතක දී ලියූ එක් ලේඛකයෙක්, අනුරකුමාර දිසානායකට පක්ෂපාතීව මෙසේ ප්‍රකාශ කලේ ය: “පිලිතුර ඔහු ද? ඇයි නැත්තේ?”

ඩේලි මිරර් සමග දිසානායකගේ සම්මුඛ සාකච්ඡාවේ කැපී පෙනන දෙය නම්, කෝවිඩ්-19 වසංගතය විසින් නිර්මිත සමාජ ව්‍යසනය මධ්‍යයේ වැඩ කරන ජනයාගේ ඉරනම ගැන කිසිදු උත්සුකයක් නො තිබීමයි. ජීවිතවලට ඉහලින් ලාභවලට ප්‍රමුඛත්වය දීමේ ආන්ඩුවේ පිලිවෙතට සහයෝගය දෙන ඔහු, මුහුනු ආවරන, පරීක්ෂන හා රෝගීන් හඳුනාගැනීම, අගුලු දැමීම් වැනි මූලික මහජන සෞඛ්‍ය පියවරයන් ක්‍රියාවට දමන ලෙස ඉල්ලීමක් කරන්නේ නැතුවාක් මෙන්ම “ආර්ථිකය විවෘත කිරීමේ” ආන්ඩුවේ සාපරාධී පිලිවෙත විවේචනය කරන්නේ ද නැත. 2020 අප්‍රේල් මාසයේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවන ලද සර්ව-පාක්ෂික සම්මේලනයට සම්බන්ධ වූ ජවිපෙ, ආන්ඩුවේ පිලිවෙත්වලට සිය සහයෝගය පුදකලේ ය.

දිසානායක සුවිශේෂීව අවධානය යොමු කරන්නේ හුදෙක්ම දූෂනය, නාස්තිය හා දුෂ්කලමනාකරනය නිසා ලංකාවේඅර්බුදය ඇතිවී තිබෙන බවට චෝදනාකරමින්, අර්බුදයේ ප්‍රපාතයෙන් ලංකාවේ ආර්ථිකය ගලවා ගැනීම ගැන මිස බංකොලොත් ලාභ පද්ධතිය ගැන නොවේ. දිසානායක තාක්ෂනික විශේෂඥයන්ගේ ආන්ඩුවක් ඉදිරිපත් කරන්නේ හරියට වසංගතය විසින් අපරිමිත ලෙස තීව්‍ර කරනු ලබන ගෝලීය ධනවාදයේ අර්බුදය තුල මුල් බැස තිබෙන ආර්ථික වියවුල අලුත් මුහුනු දමා ගැනීමෙන් විසඳීමට හැකි වන්නාක් මෙනි!

ජවිපෙට හා එයට අනුබද්ධ ජාතික ජන බලවේගයට (ජාජබ) -මෙය පක්ෂයෙහි පෙරමුනු සංවිධානයන්ගේ සහ වෘත්තීය සමිතිවල මෙන් ම අනුග්‍රහශීලී වෘත්තිකයන්ගේ හා හිටපු රැඩිකලුන්ගේ වෛවාරන්න එකතුවකි- “පැවති හා වර්තමාන පාලන තන්ත්‍රයන් සමග සසඳන විට... අදාල විෂය ක්ෂේත්‍රයන්හි අතිශයින් සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ කැබිනට්ටුවක්” තමන්ට පත්කල හැකි යයි දිසානායක පාරම්බෑවේ ය.

දිසානායක ඉදිරිපත් කල පක්ෂයේ “ජාතික සැලැස්ම” ජවිපෙ ඉදිරි දර්ශනයෙහි බංකොලොත්කම ප්‍රකට කරයි. එය පුහු බලාපොරොත්තු හා වාගාලාපවල මිශ්‍රනයකට වැඩි දෙයක් නො වේ. ඔහු ලෝක ආර්ථික අර්බුදය පිලිබඳ සඳහනක් වත් නො කරයි.

  • නය පැහැර හැරීමක් අද්දර සිටින රට බේරා ගැනීම සඳහා, නය ආපසු ගෙවීමේ තුන් අවුරුදු සහන කාලයක් ලබා ගැනීමට ජවිපෙ සූදානම් වෙයි. එසේ කිරීම පිනිස, ජාත්‍යන්තර ආයතන හා බැංකු ඒත්තු ගැන්වීමට එය උත්සාහ කරන්නේ කෙසේදැයි ඔහුපැහැදිලි කර නැත.
  • කප්පාදු විධානයන් පැනවීම පිලිබඳ ව කුප්‍රකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) නයක් ලබා ගැනීමට විරුද්ධ නැති බව දිසානායක ප්‍රකාශ කලේ ය. එවන් ප්‍රවිෂ්ටයකදී “ප්‍රවේසම් සහගත” විය යුතු යයි ඔහු කල්පනා කරන්නේ, එසේ නය ගැනීමකදී ජාමූඅ නො ව, බංකොලොත්භාවයේ අද්දර සිටින ලංකාව විසින් කොන්දේසි පනවන්නාක් මෙනි!
  • විදේශයන්හි සේවය කරන ලාංකිකයන්ගේ ප්‍රේෂන බරපතල ලෙස ඛාදනය වීම ගැන සටහන් කිරීමෙන් පසු, රට තුලට පෙරලා එවන අරමුදල්වලට දිරි දීමනා ලබා දීමට ජවිපෙ ක්‍රියා කරන බව දිසානායක ප්‍රකාශ කරයි. රටට අරමුදල් එවීමට පවතින අකමැත්ත පිටුපසින් පවතින මූල හේතුව වන පාලනයෙන් පිටපැන ඇති රුපියලේ අවප්‍රමානය වීම ජවිපෙ විසින් වලක්වන්නේ කෙසේදැයි ඔහු පැහැදිලි නො කරයි.
  • ජවිපෙ ලොව පුරා සිටින ධනවත් ලාංකිකයන්ට රට තුල ආයෝජනය කරන ලෙස ආයාචනා කිරීමට යෝජනා කරයි. මෙය වනාහි, ජවිපෙහි පන්ති දිශානතිය පිලිබඳ අනාවරනීය ප්‍රදර්ශනයක් කරන යෝජනාවකි. ඔවුන් ආයෝජනය කරන්නේ කුමන අංශවල දැයි පැහැදිලි කරමින් සාම්ප්‍රදායික ලාංකික බෝගවලට හා මෘදුකාංග කර්මාන්තයට ලාභ ඉපැද්දීමේ විභවය පවතීය යන දිදුලන අදහස ජවිපෙ ඉදිරිපත් ඇත්තේ, මෙම විකල්පයන් මීට පෙර කිසිවෙක් අත්හදා නො බැලූ පරිද්දෙනි.

සැබවින්ම නම්, උජාරුවෙන් ඉදිරිපත් කරන මෙම ජාතික සැලැස්ම වනාහි, ජවිපෙ ලංකාවේ ධනවාදයට සහයෝගය දෙන බවටත්, සෑමවිට ම එහි අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන බවටත්, මහ ව්‍යාපාරිකයට දෙනු ලබන සහතිකයකි. ජවිපෙ කෙරෙහි පාලක පන්තිය සැබැවින්ම උනන්දුවී සිටින්නේ, වැඩෙන කම්කරු පන්තික ව්‍යාපාරයක් අපසරනය කොට, බෙදා, අවමංගත කිරීමේ උපකරනයක් ලෙස එය යොදාගනු ලැබිය හැකි ද යන්න ගැනයි.

ජවිපෙ “සමාජයේ සෑම කොටසක් අතර ම සිය ජනප්‍රියත්වය අතින් සිත් කාවදින ප්‍රගතියක් පෙන්නුම් කර ඇත” යි, දිසානයක සමග සම්මුඛ සාකච්ඡාවට ඩේලි මිරර් ඉදිරිපත් කරන හැඳින්වීම තුල සටහන් කර තිබේ. සත‍යය නම්, ලංකාවේ ධනේශ්වරයේ සාම්ප්‍රදායික පක්ෂ සමග පසුගිය දශක තුන පුරා ගඳගසන උපාමාරු දැමීම් හා සන්ධානගතවීම් හේතුවෙන් ජවිපෙට තිබූ සහයෝගය කිඳී යාමක් සිදුවීමයි.

2004 දී පාර්ලිමේන්තු ආසන 39ක් දිනාගත් ජවිපෙ, ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සභාග ආන්ඩුවට එක් වූ අතර, එහි ඇමතිවරුන් හතරදෙනා වෙලඳපොල-ගැති න්‍යාය පත්‍රයක් පැටවීමට වගකිව යුතු විය. ආසන්නතම මැතිවරනයට ජාතික ජන බලවේගය යටතේ ජවිපෙ තරඟ කල අතර, ජාජබ දිනාගත්තේ ආසන තුනක් පමනි. ඉන් ආසන දෙකක් ජවිපෙ සාමාජිකයන්ට හිමි විය.

ජවිපෙ දැනට ආසන තුනක් පමනක් දරන හා “දූෂිත” සාම්ප්‍රදායික පක්ෂ සන්ධාන ප්‍රතික්ෂේප කරන තතු යටතේ, වර්තමාන ආන්ඩුවට තවත් වසර තුනක කාලයක් තිබෙද්දී ආන්ඩුවක් තැනීමට එය යෝජනා කරන්නේ කෙසේදැයි විමසූ විට, ජවිපෙ බලයට පත්වන්නේ වෙනත් ක්‍රමයකින් බව දිසානායක යෝජනා කලේ ය.

“ආන්ඩුව වෙනස් කිරීමේ දී අපේ පලමු විකල්පය වන්නේ මැතිවරන. එහෙත් ලෝකය ගැන සලකන විට, මෙවන් දූෂිත හා ව්‍යසනකාරී පාලන තන්ත්‍රයන් වීදිවලට බසින මහජනයා විසින් පෙරලා දමා ඇත්තේ කෙසේදැයි අප දැක තිබෙනවා. එය ද ප්‍රජාතන්ත්‍රවාදය තමයි. දැන් අපි සූදානම් වන සැලසුම එය නො වුනත්... එම නිසා තවත් වසර තුනක් යන තෙක් බලා සිටීමේ අවශ්‍යතාවක් නැහැ.”

එවන් තත්ත්වයක් පැනනැගුනහොත් ජවිපෙ මැදිහත් වන්නේ දැයි විමසූ විට දිසානායක මෙසේ ප්‍රකාශ කලේ ය: “ඔව්. රට අසාර්ථක රාජ්‍යයක් වීමේ අනතුර හා සමාජ ආයතන බිඳ වැටීමක් පවතින්නේ නම්, දේශපාලන ව්‍යාපාරයක් ලෙස එසේ කිරීමේ වගකීමක් අපට තිබෙනවා.”

කම්කරුවන්ගේ හා දුගීන්ගේ වැඩෙන මහජන ව්‍යාපාරයක් මධ්‍යයේ, ධනේශ්වර පාලනයට අභියෝගයක් නොවන පරිදි සිය සේවය ලබා දෙන බව ලංකාවේ පාලක පන්තියට ජවිපෙ එලෙස සහතික වෙයි. මේ දක්වා ජවිපෙ කර ඇති සෑම ක්‍රියාවකින්ම ප්‍රදර්ශනය කර ඇත්තේ එය ධනවාදය පෙරලා දැමීමට එරෙහිව එය ආරක්ෂා කිරීමට අධිෂ්ටානවත් ව සිටින බවයි.

පසුගිය මාස කිහිපය තුල, ගුරුවරුන්, සෞඛ්‍ය කම්කරුවන්, විදුලිබල කම්කරුවන්, වරාය හා නිදහස් වෙලඳ කලාප කම්කරුවන් අතර තම වෘත්තීය සමිති මගින් ජවිපෙ ක්‍රියාකොට ඇත්තේ, ඉහල වැටුප් හා හොඳ කොන්දේසි සඳහා කම්කරුවන් එක දිගට දියත්කල අරගල සීමා කරමින්, සහන ලබා ගැනීමට ආන්ඩුවට හා මහ ව්‍යාපාරිකයට පිඩනය යෙදිය හැකිය යන මිථ්‍යාව වගාදිගා කිරීමට යි.

පසුගිය වසරේ නොවැම්බර් 24දා මහ ව්‍යාපාරික නායකයන් විසින් සංවිධානය කරන ලද සූම් රැස්වීමක් ඇමතූ ජවිපෙ නායකයෙක් හා මන්ත්‍රීවරයෙක් වන විජිත හේරත්, “ගැඹුරු ආර්ථික අර්බුදය ජයගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට තාවකාලික ව සහාය වීමට පක්ෂය සූදානම්” බව කීවේ ය.

ආන්ඩුව සූදානම් නම්, “අත්‍යාවශ්‍ය මූල්‍ය විනය හා කලමනාකරනය පිලිබඳ එකඟතාවකට” ජවිපෙ පැමිනෙන බවට හේරත් පොරොන්දු විය. එවන් “මූල්‍ය විනයේ” අනිවාර්ය අර්ථය වනු ඇත්තේ, වැඩ කරන ජනයා මත නව කප්පාදු පියවරයන් හා නව බර පැටවීම යි. රාජපක්ෂ පාලන තන්ත්‍රය එම යෝජනාව පිලි නොගත් නමුත්, හේරත්ගේ අදහස් පැහැදිලි ව ප්‍රදර්ශනය කරන්නේ, මහ ව්‍යාපාරිකයට හා ජීවිතවලට ඉහලින් ලාභවලට ප්‍රමුඛතා දීම්වලට ජවිපෙ දක්වන සහයෝගය යි.

ඩේලි මිරර් සම්මුඛ සාකච්ඡාවේ දී ජාතියේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිටීමට උත්සාහ කල දිසානායක, ප්‍රතිගාමී සිංහල ස්වෝත්තමවාදී දේශපාලනයට තම පක්ෂයේ සම්බන්ධයක් නැතිබව ද ජවිපෙ අලුත් පිටුවක් පෙරලා ගෙන, දෙමල හා මුස්ලිම් ජාතිකයන්ට සමාන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බව ද කියාපෑමට තැත් කලේ ය.

සෑමවිට ම සිංහල අධිපතිවාදයේ රුදුරු නියෝජිතයෙක් වූ ජවිපෙ, දෙමල-විරෝධී සංහාරයකින් අනතුරු ව 1983 දී ඇරඹුනු දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධය ආරම්භ කල තැන් පටන් ම එයට සහයෝගය දුන්නේ ය.

2005 දී, සටන් විරාමය ඒකපාර්ශවික ව බිඳ දමා ප්‍රතිගාමී වාර්ගවාදී යුද්ධය යලි ඇරඹූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනයට ජවිපෙ පිටුබලය දුන්නේ ය. දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දමා යටත් වෙමින් සිටි එල්ටීටීඊ නායකයන් ඝාතනය කරමින් 2009 මැයි මාසයේ දී මිලිටරියේ යුද අපරාධ ම්ලේච්ඡ අවසානයට පැමිනීමෙන් පසු, මිලිටරිය ට හුරේ දමන්නන් ලෙස ද එහි යුද අපරාධවල ක්ෂමාලාපකයන් ලෙස ද පක්ෂය ක්‍රියාකාරී විය.

පක්ෂය “සාමාන්‍ය දෙමල වැසියන් මුහුන දෙන දුෂ්කරතාවන් පිලිබඳ වඩා ගැඹුරින් සිතා බැලිය යුතු ව තිබුනා...අපේ වගකීම්වල දී අපි අසාර්ථක වුනා. ඒ පිලිබඳ ව අපට ස්වයං-විශ්ලේෂනයක් තිබෙනවා” යි දිසානායක කල ස්වාර්ථකාමී ප්‍රකාශය කිසිවෙකු විශ්වාස නො කට යුතු ය. ඔහු සඳහන් කරන්නේ කවර දුෂ්කරතාවන් ගැන ද? ජවිපෙ දරා සිටීමට අසමර්ථ වූ වගකීම් මොනවා ද? එය කර ඇති ස්වයං-විශ්ලේෂනය කවරක් ද?

කිසිවක් පැහැදිලි නොකරන දිසානායකගේ පාපොච්චාරනයන් මුලුමනින් ම අර්ථ විරහිත පුස්සකි. සාමාන්‍ය දෙමල හා මුස්ලිම් වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමේ අදහසක් ජවිපෙට නැත; ඊට පටහැනිව, ජවිපෙ දිශාගතව සිටින්නේ, එකට වැඩ කිරීමට සූදානම් යයි දිසානායක හුවා දැක්වූ දෙමල ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන දෙමල හා මුස්ලිම් ප්‍රභූන්ගේ අපකීර්තිමත් පක්ෂ වෙතට යි.

කොටියා පුල්ලි මාරු කර නැත. 2019 අප්‍රේල් 21දා ඉස්ලාමීය අන්තවාදීන් විසින් පල්ලි හා සුඛෝපභෝගී හෝටවල් වෙත එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ඉක්බිති ව, ජවිපෙ සම්බන්ධ වූයේ සිංහල බෞද්ධ වර්ගවාදීන් විසින් අවුලුවන ලද නින්දිත මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදයට අත්වැල් දීමටයි. ප්‍රහාරය සඳහා සමස්ත මුස්ලිම් ප්‍රජාව ම වගකිව යුතු වූවාක් මෙන්, දිසානායක හා අනෙකුත් ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී අනවා සිටියේ, සියලු මුස්ලිම්වරු ප්‍රහාරය හෙලා දකිමින් මිලිටරියේ නායකත්වයෙන් සිදුවන පරීක්ෂනයට සහයෝගය දිය යුතු බව යි.

අවසන් අනතුරු ඇඟවීමක් ද කල යුතු ය. ජවිපෙ වෙත පාලක පන්තිය ආකර්ශනයවී සිටින ප්‍රධාන හේතුවක් වන්නේ, කම්කරු පන්තියට එරෙහි ව එය දියත් කල මිනීමරු කායික ප්‍රහාරවල අතීත වාර්තාවයි. එවකට පැවති ආන්ඩුව, එල්ටීටීඊය නිරායුද කිරීම සඳහා ඉන්දියානු සාම සාධක හමුදා උතුරට හා නැගෙනහිරට ගෙන්වීමේ ගිවිසුමට එලඹීම මගින්, දිවයින බෙදන බවට චෝදනා කරමින් ජවිපෙ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ විය.

තුවක්කු මානමින් තමන් කැඳවූ වැඩ වර්ජන හා විරෝධතාවලට කම්කරුවන් සම්බන්ධ විය යුතු යයි නියෝග කරමින් ජවිපෙ වනචර සිංහල වර්ගවාදී උද්ඝෝෂනයක් ඇවිලවී ය. “ජාතිය බේරාගැනීමට”යයි ඔවුන් ගෙන ගිය උද්ඝෝෂනයේ දී කම්කරුවන් හා වෘත්තීය සමිති නිලධාරීන් ඇතුලු තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් ලෙස සැලකූ ඕනෑ ම අයෙකු එහි තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දැමී ය.

සසප පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයන් තිදෙනෙකු ද ජවිපෙ විසින් මරා දැමී ය. ඊට හේතුව වුයේ ජවිපෙහි “ජාතිය බේරීමේ” ප්‍රතිගාමී ආස්ථානයට එරෙහිව, ධනේශ්වරයේ සැලසුම්වල විරුද්ධ ව දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ ආස්ථානයෙන් ඉන්දු-ලංකා ගිවිසුමට විකොස විරුද්ධ වීමයි.

කෝවිඩ්-19 වසංගතය විසින් නිර්මානය කර ඇති ගැඹුරු වන අර්බුදයේ මුව විට, ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමේ විප්ලවවාදී කර්තව්‍යය දැන් බලගතු හදිසිභාවයක් අත් කරගනී. අතිශය මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් රැකගැනීම සඳහා, සමාජවාදී විකල්පයක් සඳහා වන සටන සියතට ගත යුතු කම්කරු පන්තිය, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ගම්බද හා නාගරික දුගී කොටස් තමන්ගේ පැත්තට දිනාගත යුතු ය. ජවිපෙ ඇතුලු ධනපති පන්තියේ සියලු ආයුධවලට එරෙහි ව සසප අද දින සටන් වදින ඉදිරි දර්ශනය එය යි.

Loading