සෞඛ්‍ය සේවක වර්ජනය වටා සහයෝගය බලමුලු ගන්වමු!

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) සියලුම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, තම සේවා සගයන්ගේ ප්‍රධාන කොටසක් සඳුදා ආරම්භ කල අඛන්ඩ වැඩවර්ජනයට ඒ්කාබද්ධ වන ලෙසයි. සෞඛ්‍ය කම්කරු අරගලය පිටුපස තම සහයෝගය බලමුලු ගන්වන ලෙස අප සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටිමු.

පිලිකා, මාතෘ, ලමා, හදිසි සේවා, ප්‍රධාන කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්තාන සහ මධ්‍යම ලේ බැංකුව වැනි හදිසි ආධාර අවශ්‍ය රෝහල් හැරුනු විට දිවයින පුරා හෙද-හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂනවේදින් සහ ඖෂධවේදීන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් 65,000 කට අධික පිරිසක් මෙම වර්ජනයට එක්ව සිටිති.

අඟහරුවාදා දිවයින පුරා සෞඛ්‍ය සේවකයින් 3,000 කට වැඩි පිරිසක් කොලඹ නගර මධ්‍යයේ රැස්වී පෙලපාලියෙන් ගොස් තම ඉල්ලීම් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා දැක්වූහ.

අඟහරුවාදා කොලඹ විහාරමහදේවි උද්‍යානයේ පැවති සෞඛ්‍ය සේවක විරෝධතාව

වෘත්තීය සමිති 15 ක පෙරමුනු සංවිධානයක් වන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය (එෆ්එච්පී) විසින් මෙම වර්ජනය කැඳවා ඇත. මෙම වෘත්තීය සමිති, පසුගිය වසර දෙක තුල එකම ඉල්ලීම් මත සිදුකල සටන් ක්‍රියාමාර්ග කිහිපයක් පාවා දී ඇත. දැවෙන ඉල්ලීම්වලට විසඳුම් දීම ආන්ඩුව නැවත නැවතත් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අපගේ සගයන් අතර කෝපය වර්ධනය වෙමින් පවතින බැවින්, වත්මන් වර්ජනය කැඳවීමට ඔවුන්ට බල කෙරී ඇත.

සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම්වලට වැටුප් විෂමතා නිවැරදි කිරීම, ඉහල ප්‍රවාහන සහ හදිසි රාජකාරි ඇමතුම් දීමනා—රුපියල් 3,000 සිට රුපියල් 10,000 දක්වා—අතිකාල ගාස්තු වැඩි කිරීම සහ උසස්වීම් ක්‍රියා පටිපාටි වැඩි දියුනු කිරීම ඇතුලත් වේ.

කොවිඩ්-19 ආසාදිත රෝගීන් රෝහල් වෙත ගලා එන බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අධික බරක් පැටවී ඇත. අනුප්‍රාප්තික පාලන තන්ත්‍රයන් විසින් පිරිහෙලන ලද සෞඛ්‍ය යටිතල ව්‍යූහයන්හි ප්‍රමානවත් නොවන පහසුකම් සමඟ හදිසි අවස්ථාවන්හි සාර්ථකව කටයුතු කිරීමට සෞඛ්‍ය සේවකයෝ අරගලයක යෙදී සිටිති.

සෞඛ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනය අත්‍යවශ්‍යයෙන්ම, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට සහ ධනේශ්වර පාලක පන්තීන්ගේ දුෂ්ට ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස වසංගතය විසින් අවුලුවන ලද සෞඛ්‍ය හා සමාජ ව්‍යසනයට විරුද්ධව ශ්‍රී ලංකාවේ සහ ගෝලීයව වැඩෙන පන්ති අරගලවල කොටසකි. මෙම පාලක පංතීහු, මිනිස් ජීවිත වලට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙමින් “වෛරසය සමඟ ජීවත් වීමේ” ප්‍රතිපත්තිය අනුගමනය කරති.

ආන්ඩුවට පක්ෂපාතී රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙස) සහ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවෙන සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය (සලසෞසේස) වර්ජනයට සහභාගී නොවෙති. මෙම තත්වය ප්‍රතික්ෂේප කර, තම සගයන් සමග එකතු වන ලෙස අපි මෙම සංගම්වල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමු.

බෞද්ධ භික්ෂුවක් වන රාසේඑහෙස නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද, වර්ජනය 'කඩාකප්පල්කාරී ක්‍රියාවක්' ලෙස නරුමාකාරයෙන් හංවඩු ගසා 'කඩාකප්පල්කාරීන්ට' දඬුවම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ඉල්ලා සිටියේය. වැඩවර්ජනය 'සාමූහික ක්‍රියාමාර්ගයක්' නොවන බැවින් තමන් සහභාගී නොවන බව සලසෞසේස පැවසීය. ඔවුහු තම ක්‍රියාවන් මගින් කම්කරුවන්ට එරෙහිව මර්දනයක් මුදා හැරීමට ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ දෑත් සෘජුවම ශක්තිමත් කරමින් සිටිති.

ඒ අතරම, අපි සෞඛ්‍ය සේවකයින්ට අනතුරු අඟවන්නේ එෆ්එච්පී ය ලැබෙන පලමු අවස්ථාවේදී ම අරගලය යටපත් කිරීමට උත්සාහ කරන බවයි.

ඊයේ පැවති සේවක උද්ඝෝෂනයෙන් අනතුරුව, ඔවුන්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවකට යුහුසුලු වූහ. අතිකාල දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කල හැකි බවට රඹුක්වැල්ල හිස් පොරොන්දුවක් දුන් නමුත් අනෙකුත් ඉල්ලීම් ගැන මුනිවත රැක්කේය.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කුමුදේශ් මෙසේ පැවසීය: “අපි සෞඛ්‍ය ඇමතිතුමාගෙන් අහනවා කරුනාකරලා කියන්න ඔබතුමා කැබිනට් මන්ඩලයට ගෙනියන යන තීරනය මොකක්ද කියලා..... හෙට හෝ අනිද්ද හෝ අමාත්‍යවරයා කියනව නම් මම මෙන්න මේ විසඳුම තමයි අමාත්‍ය මන්ඩලයට අරන් යන්නෙ කියල, අපිට අමාත්‍ය මන්ඩල තීරනය එනකම් වර්ජනය නවත්වන්න පුලුවන්.”

අඛන්ඩ වැඩවර්ජනය දියත් කිරීමෙන් පසු සඳුදා, පූර්වගාමීන් මෙන් තීරන ගැනීමට “නිර්භීත” නොවීම ගැන ඔහු සෞඛ්‍ය ඇමතිට සහ නිලධාරීන්ට දොස් පැවරීය. ඔවුන් සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳූ බව ද ඔහු පැවසීය.

මෙය බොරුවකි. සෞඛ්‍ය සේවකයින් හෝ වෙනත් කම්කරුවන් යම් දෙයක් දිනා ගත්තා නම්, ඒ ඔවුන් එදා පැවති ආන්ඩුවට එරෙහිව කල කටුක අරගල තුලින් පමනි.

එම හුස්මටම, කුමුදේශ් කියා සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ, වෙනත් වෘත්තීය සමිති සමඟ නොව, ඔවුන්ගේ වෘත්තීය සමිති සමඟ විසඳුමක් සඳහා කතා කරන ලෙසයි.

රාජපක්ෂට වෙනත් විසඳුම් තිබේය යන්න වෘත්තීය සමිති නිලධාරීන් පතුරවන තවත් මිත්‍යාවකි. ඇත්ත වශයෙන්ම, ඔහුගේ ආන්ඩුව සහ සමස්ත ධනේශ්වර පන්තිය වසංගතය විසින් ගැඹුරු කරන ලද ගෝලීය අර්බුදයේ තියුනු බලපෑම සමග ගැඹුරු ආර්ථික දුෂ්කරතාවයක ගිලී ඇත.

ජාත්‍යන්තර ආයතනයන්ට ගෙවිය යුතු දැවැන්ත නය කන්දරාව ආපසු ගෙවීම සඳහා, ආන්ඩුව අතමාරු ස්වරූපයෙන් තවත් විදේශ නය ලබා ගනිමින් සිටී. වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පිරවූ කන්ටේනර් දහස් ගනනක් මුදා හැරීම සඳහා ගෙවීමට එයට ඩොලර් නැත. දුරකථන සහ විදුලි ගාස්තු වැනි මූලික වියදම් කපා හැරීමට මුදල් අමාත්‍යාංශය විසින් සඳුදා රාජ්‍ය ආයතන වෙත තවත් චක්‍රලේඛයක් නිකුත් කලේය.

ආදායම් පරතරය පියවීම සඳහා ආන්ඩුව විසින් කරනු ලබන මුදල් අච්චු ගැසීම නිසා කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ ස්වයං රැකියාවල නිරත වූවන්ගේ ඉපැයීම් කා දමන ලෙසින් උද්ධමනය ඉහල යයි.

තව තවත් කප්පාදු කිරීම් සංඥා කරමින් රාජපක්ෂ ආන්ඩුව පසුගිය මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යවමින් ඊනියා තාක්ෂනික සහාය පැතීය. සෑම අංශයකම කම්කරුවෝ මෙම අන්තරායන්ට මුහුන දෙති.

කෙසේ වෙතත්, ආන්ඩුවට වැඩි පීඩනයක් යෙදීමෙන් සෞඛ්‍ය සේවකයින්ට විසඳුමක් ලබා ගත හැකිය යන මිත්‍යාව එෆ්එච්පී ය හිතාමතාම වපුරමින් සිටී.

ඊයේ, ගුරුවරුන්ගේ අරගලය ගැන සඳහන් කල කුමුදේශ්, නැවතත් අවධාරනයෙන් කියා සිටියේ, ඔවුන්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබා ගැනීමට හැකි වූයේ වඩවඩාත් විරෝධතාවන්හි යෙදීමෙන් බවයි. මෙය අමූලික බොරුවකි.

දින 100 ක අරගලය පීලි පැන්නවීමට අධ්‍යාපනඥයන්ගේ සංගම් එකකට පසු එකක් ආකාරයෙන් විරෝධතා සංවිධානය කල අතර, අවසානයේ මුල් වැටුප් ඉල්ලීමෙන් තුනෙන් එකකට පමනක් සමාන වූ ආන්ඩුවේ සොච්චම් වැටුප් වැඩි කිරීම පිලිගනිමින් ගුරුවරුන්ගේ අධිෂ්ඨානශීලී අන්තර්ජාල වැඩ වර්ජනය පාවා දුන්නේය.

ඒ අතරම, භයානක ලෙස කොරෝනා වෛරසය පැතිර යමින් තිබියදී, ආන්ඩුව විසින් පාසල් නැවත විවෘත කිරීමට ගත් තීන්දුවට ඔවුන් එකඟ විය. සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති, මෙම පාවාදීම දෙසට ගුරු සංගම් ගත් ක්‍රමානුකූල ක්‍රියාමාර්ගවලට පිටුබලය දුන්හ.

සෑම අංශයකම— කිහිපයක් පමනක් සඳහන් කරන්නේ නම්, සෞඛ්‍ය, අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය, දුම්‍රිය, විදුලිය, වරාය, ඛනිජ තෙල්, වතු ආදියෙහි—පසුගිය මාසවල අරගලයන්හි අත්දැකීම් එක හා සමානය. ආන්ඩුවේ සහ මහා ව්‍යාපාරිකයේ ප්‍රහාරයන් දේශපාලනිකව පරාජය කිරීමෙන් තොරව, කම්කරු පන්තියට තම සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගත නොහැක.

වෘත්තීය සමිති එවැනි ගැටුමකට බිය වෙති. ධනේශ්වර පාලනයට සහ ජාතික රාජ්‍යයට බැඳී සිටින ඔවුහු, අරගල කඩාකප්පල් කිරීමට සෑම දෙයක්ම කරති. මෙමඟින් ආන්ඩුවේ සහ ධනපති පන්තියේ දෑත් ශක්තිමත් කෙරී ඇත.

රාජපක්ෂ ආන්ඩුව සිය ප්‍රතිපත්තිවලට එරෙහි කිසිදු විරෝධයක් හෝ පන්ති අරගල ඉවසා සිටීමට සූදානම් නැත. පැසෙමින් පවතින සමාජ කෝපයට මුහුන දීම සඳහා ඒකාධිපති පාලනයක් පිලිබඳව ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තුල සාකච්ඡාවක් පවතී. වැඩවර්ජන සහ විරෝධතා නීත්‍යානුකූලව තහනම් කිරීමට අධිකරන අමාත්‍ය අලි සබ්‍රි යෝජනා කර තිබේ.

අඟහරුවාදා එෆ්එච්පී නායකයා පැවසුවේ වෘත්තීය සමිති සාමාජිකයින් එකම ඉල්ලීම් මත සංකේත වැඩවර්ජන 10 ක් පැවැත්වූ නමුත් විසඳුම් ලබා ගැනීමට නොහැකි වූ බවයි. කම්කරුවන් ඔවුන්ගේ බංකොලොත් ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කල යුතුය.

යහපත් වැටුප්, සේවා කොන්දේසි, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා මෙන්ම වසංගතයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වන අරගල වල ඉරනම කම්කරුවන් තම අතට ගත යුතුය. “මිනිස් ජීවිතවලට ඉදිරියෙන් ලාභය” නම් වූ ධනපති පන්ති පිලිවෙත මත ආර්ථිකය සාපරාධී ලෙස යලි විවෘත කිරීමට වෘත්තීය සමිති සහාය දක්වා ඇත.

වෘත්තීය සමිතිවලින් ස්වාධීනවූ සහ වෘත්තීය සමිති නිලධරයන්ට ඉඩක් නොමැති, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටු සෑම සෞඛ්‍ය ආයතනයකම ගොඩනැගිය යුතුය.

ඒවා, පිරිහෙමින් පවතින සෞඛ්‍ය සේවාව නගා සිටුවීම, කම්කරුවන්ගේ ඉල්ලීම් විසඳීම, නව සේවකයින් බඳවා ගැනීම් සහ යටිතල පහසුකම් දියුනු කිරීම සඳහා රුපියල් බිලියන ගනනක් ඉල්ලා සිටිය යුතුය.

එම ක්‍රියාකාරී කමිටු හරහා, සමිති සහ ශ්‍රේනි අනුව සේවකයින් බෙදීමට වෘත්තීය සමිති දරන උත්සාහයට එරෙහිව, සෞඛ්‍ය සේවකයින්ගේ එකමුතුව ස්ථාපිත කල යුතු අතර, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුකම ඇති කල යුතු ය.

මෙම ඉල්ලීම් ඉටුකර ගැනීම දේශපාලන සටනක් බව සෞකක්‍රික අවධාරනය කරයි. ආර්ථිකය කැපවී ඇත්තේ සුලු පිරිසකගේ ලාභය සඳහා මිස දුක් විඳින සමාජයේ බහුතරයකගේ යහපත සඳහා නොවේ. සමාජයේ බහුතරයකගේ අවශ්‍යතා ඉටුකල හැක්කේ ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. ඒ සඳහා, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන වැඩපිලිවෙලකට සටන් කරන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

එක්සත් ජනපදය, යුරෝපය, එක්සත් රාජධානිය, ඉන්දියාව යන රටවල් ඇතුලු ලොව පුරා සෞඛ්‍ය සේවකයින් වසංගතය මධ්‍යයේ අරගලවල පෙරමුන ගෙන ඇත. ඔස්ට්‍රේලියානු හෙද හෙදියන් පෙබරවාරි 15 වැනිදා වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතය.

දෙසැම්බර් 6 වැනි දා, තුර්කියේ ඉස්මිර් නගරයේ දී විරෝධතා පාගමනක යෙදෙන එරට සෞඛ්‍ය සේවකයෝ. "සෞඛ්‍ය සේවය යනු සාමුහික කර්තව්‍යයකි. දරිද්‍රතා රේඛාවට ඉහලින් ශිෂ්ඨසම්පන්න ජීවිතයක් ගත කිරීමට අපිට වැටුප් අවශ්‍යයි" යන්න ඔවුන් අත ඇති බැනරයේ ලියා ඇති පාඨයයි. [Credit: @sesgenelmerkezi on Twitter]

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයින් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් ගොඩනැගීමට සහාය වීම හරහා ඔවුන් සමඟ අත්වැල් බැඳගත යුතුය.

වසංගතය විසින් නිර්මානය කරන ලද තීරනාත්මක අර්බුදය මධ්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ආරම්භකත්වය මත 2020 දී එය පිහිටුවන ලදී. විකල්ප වැඩපිලිවෙලක් සපයමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අරගලවලට එය මැදිහත් වී ඇත. එය සෞඛ්‍ය ආයතන කිහිපයක හෙදියන්, වෛද්‍යවරුන් සහ අනෙකුත් සහායක සේවකයින්ගෙන් සමන්විත වේ. සියලුම සෞඛ්‍ය ආයතනවල ක්‍රියාකාරී කමිටු සංවිධානය කිරීමේ ලා සහාය වීමට අපි සූදානම්ව සිටින්නෙමු.

Loading