විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා එක්දින සංකේත වර්ජනයක් කරති

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ අද දීපව්‍යාප්ත එක් දින සංකේත වර්ජනයක නිරත වූ අතර ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල වල 15,000කට ආසන්න සේවකයෝ ඊට සම්බන්ධ වුහ. අනධ්‍යන සේවකයන් වර්ජනයට එලැඹ ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව විසින් රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව කම්කරු පන්තිය තුල පුලුල් විරෝධයක් වර්ධනය වන කොන්දේසි තුල ය.

2022 පෙබරවාරි 10 වැනි දින යාපනය විශ්ව විද්‍යාලයේ පැවති අනධ්‍යන සේවක වැඩවර්ජනයේ පිකට් විරෝධතාවක්

එමෙන් ම, එය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව වර්ධනය වන පන්ති අරගලයන්ගේ කොටසකි. ශ්‍රී ලංකාවේ 60,000 ට අධික සෞඛ්‍ය සේවකයෝ වැටුප් හා සේවා කොන්දේසි පිලිබද ඉල්ලීම් මුල් කර ගනිමින් අඛන්ඩ වර්ජනයක යෙදී සිටිති. සඳුදා මධ්‍යම පලාතේ දහසකට අධික රාජ්‍ය කලමනාකරන සේවකයන් වර්ජනයක නිරත වී මහනුවර නගර මාධ්‍යයේ උද්ඝෝෂනයක යෙදුන අතර අඟහරුවාදා 1000 කට වැඩි ඩෙංගු මර්දන සේවකයෝ සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කොලඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක යෙදුනාහ.

අනධ්‍යන සේවක වර්ජනය කැඳවුම් කලේ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව විසිනි. වෘත්තීය සමිති එකමුතුව පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ වෘත්තීය සමිති සහ ඊනියා ස්වාධීන සමිති වල සන්ධානයකි.

2016 අයවැය යෝජනා අනුව සිදුකල වැටුප් වැඩි වීමේ දී රජයේ සේවයට සියයට 107 කින් වැටුප් වැඩිකිරීමක් සිදු වන විට විශ්ව විද්‍යාල සේවයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රේනියට හැර අනෙකුත් තනතුරු සඳහා වැටුප් වැඩිවී ඇත්තේ සියයට 97 කි. මෙම විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලා පසුගිය වසර පහ තුල අනධ්‍යන සේවකයෝ වර්ජන, පෙලපාලි සහ උද්ඝෝෂන වල නිරත වූහ. එහෙත් වෘත්තීය සමිති ඒ සියලු අරගල මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ සහ වර්තමාන රාජපක්ෂ ආන්ඩුවේ පච පොරොන්දු වලට යටත් කොට පාවා දුන්හ.

2022 පෙබරවාරි 10 වැනි දින මොරටුව විශ්ව විද්‍යාලයේ පැවති අනධ්‍යන සේවක වැඩවර්ජනයේ පිකට් විරෝධතාව

ඔවුන් අද දින වර්ජනය කැඳවුම් කලේ, වසර ගනනාවක් පුරා වැටුප් ගැටලුව නො විසඳි තිබීම, වේගයෙන් ඉහල යන බඩුමිල හමුවේ ජීවන තත්වයන් ට එල්ල කෙරී ඇති රුදුරු ප්‍රහාරය සහ වසංගතයයෙන් ඇති කෙරී ඇති ව්‍යසනය කෙරෙහි අනධ්‍යන සේවකයන් අතර කැකෑරෙන කෝපය යලිත් ධනපති ආන්ඩුවේ බොරු පොරොන්දුවකට යටත් කොට වාෂ්ප කිරීමේ එල්ලය ඇතිවය.

වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ තමන් සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යන කම්කරුවන් කොලඹ ට කැඳවා 'විශාල' උද්ඝෝෂනයක් සැලසුම් කොට තිබුනත් වසංගතයේ සීඝ්‍ර පැතිරීම නිසා අනධ්‍යන සේවකයන් ආරක්ෂා කරගනුවස් එම උද්ඝෝෂනය, විශ්ව විද්‍යාල ඉදිරිපිට කරන විරෝධතාවයකට සිමා කර ඇති බවයි. සත්‍යය ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධය .

හුදෙක් එන්නත්කරනයට සීමාවෙමින්, විශ්ව විද්‍යාල තුල කෝවිඩ්-19 පරීක්ෂන සඳහා හෝ ආසදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා කිසිදු පහසුකමකින් තොරව විශ්ව විද්‍යාල ආරම්භ කරන විට, එයට එරෙහිව නැගුනු කම්කරු විරෝධය යටපත් කරමින් සහයෝගිත්වය පුදකල වෘත්තීය සමිති, දැන් වසංගතය පිට දමමින් අනධ්‍යන සේවකයන්ගේ අරගලය හැකි තරම් සීමා කර විසුරුවා හැරීමට උත්සාහ කරති.

2018 මාර්තු මාසයේ අනධ්‍යයන සේවක අඛන්ඩ වැඩ වර්ජනයේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර ගැටලුව විසඳන බවට ආන්ඩුව පොරොන්දු විය. අගමැති මහින්ද රාජපක්ෂ ඒ සඳහා ඇමති අනු කමිටුවක් ද පත් කලේ ය. පසුගිය මැයි මාසයේ මෙම කමිටුව සිය වාර්තාව අගමැති වෙත ලබාදී තිබේ. ආන්ඩුවේ මෙම උපාමාරු, වැටුප් ප්‍රශ්නය කෙරෙහි ආන්ඩුවේ 'සාධනීය ප්‍රතිචාරයක්' ලෙස වෘත්තීය සමිති විසින් ඔජ වඩවනු ලැබුව ද අනධ්‍යන සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳී නැත.

එහෙත් වෘත්තීය සමිති තවමත් පවසන්නේ අගමැති වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව ක්‍රියාත්මක කරගැනීම සඳහා ආන්ඩුවට බලපෑම් දැමීම මගින් අනධ්‍යන සේවකයන් ට තම වැටුප් විෂමතා නිවැරදි කරගත හැකි බවයි. එමෙන්ම එම විෂමතාව නිවැරදි කිරීමේදී පහලම සේවකයෙකුට රුපියල් දෙදහස් පන්සියයේ සිට ඉහල ශ්‍රේනි සඳහා රුපියල් පන්දහසක් පමන මුදලක් වැඩිවන බව ද සමිති නායකයෝ කියති.

ඉහල යන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් වෙනුවට විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මෙන් ම, පොදුවේ සියලුම වෘත්තීය සමිති වැටුප් විෂමතාවන් ඉවත් කිරීමකට කම්කරුවන් කොටු කිරීමෙන් කම්කරු පන්තිය තුල එක් ක්ෂ්ත්‍රයක් තවත් ක්ෂේත්‍රයකට හතුරු ව පිහිටුවමින් ක්ෂේත්‍රවාදී භේදයන් නිර්මානය කර ඇත.

ඇත්ත වශයෙන්ම සිදු වී තිබෙන්නේ ආන්ඩුව සහ වෘත්තීය සමිති විසින් ජීවන තත්වයන් කඩා වැටීමට එරෙහිව අනධ්‍යන සේවකයන් අතර මතු වූ කෝපය සහ නොසන්සුන්කම බොරු පොරොන්දු වලට යටත් කොට යලි යලිත් වාෂ්ප කර දැමීමකි. ඊනියා වැටුප් විෂමතාවය විසඳුන ද ඉන් ලැබෙන සොච්චමෙන් කම්කරුවන්ට ඉහල යන ජීවන වියදම පියවා ගැනීමට හැකියාවක් නැත. 2016 අංක 115 ක් වූ කොලඹ පාරිභෝගික දර්ශකය 2022 වනවිට 160 දක්වා 45 කින් පමන ඉහලගොස් තිබේ. ජනවාරි මාසයේ මිල උද්ධමනය සියයට 14 දක්වා ඉහල නැගුනි.

කම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ ආන්ඩුවේ වැඩපිලිවෙල ආරක්ෂා කිරීමට බව එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරනබව නිවේදනය කරමින් මොරටුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ රැස්වීමේදී සන්ධාන සභාපති අසන්ත ඩි මෙල් පැවැත්වූ කතාවෙන් පැහැදිලි විය. පාලක පොදුජන පෙරමුනේ වෘත්තීය සමිතියේ සාමාජිකයෙකු හා පසුගිය වැඩවර්ජනයේ දී වෘත්තීය සමිති වැඩපිලිවෙල ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී සාමජිකයෙකු වූ මංගල ප්‍රසන්න එම අරගලය අවසාන වුයේ කොන්ත්‍රාත් පදනමේ සේවය කල කම්කරුවන් 200ක් පමන සේවයෙන් ඉවත්කිරීමෙන් බවත් වෘත්තීය සමිති ඔවුන් ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පලකරන බවත් පැවසුවේය. එයට පිලිතුරු දුන් ඩි මෙල් එය රජයේ ප්‍රතිපත්තිය නිසා එයට එරෙහි වීමට නොහැකි වූ බව කියා සිටියේය.

වැටුප් විෂමතා විසඳීම හැර වෙනත් කිසිදු ඉල්ලීමක් සමිති ඉදිරිපත් නොකරති. විශ්ව විද්‍යාල තුල තාවකාලික, අනියම් හා කොන්ත්‍රාත් පදනමේ සේවය කරන කම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටින නමුත් ඔවුන්ගේ රැකියා ස්ථීර කිරීම හෝ වැටුප් පිලිබඳ කිසිදු අරගලක් කිරීම සමිති විසින් හිතා මතාම පැහැර හැර තිබේ. වෘත්තීය සමිති වල මෙම පිලිවෙත කම්කරු පන්තියේ එකමුතුවට සහ පාලක පන්තියේ සහ ධනපති හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට ද වල කපන ප්‍රතිගාමී පිලිවෙතකි.

අනධ්‍යන සේවකයන් වෘත්තීය සමිති වල මෙම ද්‍රෝහී පිලිවෙත ද රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම මගින් ඉල්ලීම් දිනාගත හැකිය යන මිත්‍යාව ද ප්‍රතික්ෂේප කලයුතුය. අනධ්‍යන කම්කරුවන්ට වේවා කම්කරු පන්තියේ සෙසු කොටස්වලට වේවා තම අයිතීන් සඳහා සටන් කල හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගොඩනගා ගන්නා කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා සිංහල, දෙමල හා කම්කරුවන්ගේ එකමුතුව පිහිටුවා ගනිමින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය ඇතිව කරන ඒකාබද්ධ අරගලයකින් පමනි.

Loading