ඉදිරිදර්ශන

පුටින් ආන්ඩුවේ යුක්රේන ආක්‍රමනයට සහ එක්සත් ජනපද-නැටෝ යුද ඝෝෂාවට විරුද්ධ වනු! රුසියානු සහ යුක්රේන කම්කරුවන්ගේ එකමුතුව සඳහා!

[මෙය Oppose the Putin government’s invasion of Ukraine and US-NATO warmongering! For the unity of Russian and Ukrainian workers! යන මැයෙන් වැනි දින පල වූ හජාජාක ප්‍රකාශයේ පරිවර්තනයයි.]

1. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය යුක්‍රේනය තුලට රුසියානු මිලිටරි මැදිහත්වීම හෙලා දකී. එක්සත් ජනපද හා නැටෝ බලවතුන්ගේ ප්‍රකෝප කිරීම් සහ තර්ජන පැවතියේ වුවත්, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමනය කිරීම, සමාජවාදීන් හා පන්ති සවිඥානික කම්කරුවන් විරුද්ධ විය යුතුය. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඇරඹුනු මෙම ව්‍යසනය, ව්ලැඩිමීර් පුටින් විසින් නියෝජනය කරන ධනේශ්වර පාලක පන්තියේ අවශ්‍යතා සඳහා සේවය කරන තරයේම ප්‍රතිගාමී දෘෂ්ටිවාදයක් වන රුසියානු ජාතිකවාදයේ පදනම මත වලක්වා ගත නොහැක.

රුසියාවට අයත් ලෙස පෙනෙන මිලිටරි හෙලිකොප්ටර් යානා, යුක්රේනයේ කියෙව් නගරයට ඉහලින් පියාසර කරයි, පෙබරවාරි 24 බ්රහස්පතින්දා, 2022 (යුක්රේන පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සේවය ඒපී AP හරහා)

2. අවශ්‍ය වන්නේ, 1917ට පෙර පැවති සාර්වාදයේ විදේශ ප්‍රතිපත්තිය වෙත ආපසු යාම නොවේ. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් ආවේශය ලැබූ හා සෝවියට් සංගමය කම්කරු රාජ්‍යයක් ලෙස නිර්මානය කිරීමට තුඩු දුන් සමාජවාදී ජාත්‍යන්තරවාදය රුසියාව තුල සහ ලොව පුරා පුනර්ජීවනය කිරීමයි. යුක්රේනය ආක්‍රමනය කිරීමට පුටින් පාලන තන්ත‍්‍රය විසින් දෙන ලද කවර සාධාරනීකරනයක් වුව ද සේවය කරනු ඇත්තේ, රුසියානු හා යුක්‍රේන කම්කරු පන්තිය බෙදීමට ද ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට ද වේ.

3. පසුගිය සතියේ පුටින් විසින් කරන ලද ප්‍රධාන ප්‍රකාශ දෙක තුලින්ම සිය ක්‍රියාවන් යුක්ති සහගත කර ඇත්තේ එක්සත් ජනපදයේ ප්‍රකෝප කිරීම් සහ අපරාධ පෙන්නුම් කරමිනි. වොෂින්ටනයේ කුහකත්වය පිලිබඳ ඔහුගේ හෙලාදැකීම් බෙහෙවින් කරුනු වශයෙන් සත්‍ය බවට විවාදයක් නැත. එහෙත් ඔහු හුවා දැක්වූ දරුනු කොමියුනිස්ට් විරෝධී සහ විජාතික භීතිකාවේ දෘෂ්ටිවාදය ද ඔහු ආරක්ෂා කරන බව කියන අවශ්‍යතා ද තරයේම ප්‍රතිගාමී වේ. එය, යුක්රේනයේ සහ ලොව පුරා කම්කරුවන්ට තබා රුසියාවේ කම්කරු පන්තියේ පුලුල් කොටසකටවත් ආයාචනා කිරීමට අපොහොසත් ය. ඔක්තෝබර් විප්ලවය හා බහු ජාතික රාජ්‍යයක් ලෙස සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංඟමයේ පැවැත්ම හෙලා දකිමින්, දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය විසින් ගෙන ගිය වීරෝධාර අරගලය උත්කර්ෂයට නැංවීමේ පුටින්ගේ නරුමත්වය රුසියානු සහ යුක්රේන කම්කරු පන්තියේ සැලකිය යුතු කොටසකගේ පිලිකුලට ලක්වනු ඇත.

4. බයිඩන් පරිපාලනය, යුක්රේනය නේටෝවට ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් රුසියාවේ විරෝධතා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින්, යුක්‍රේනය ඇමක් ලෙස භාවිතා කරයි. එය ආක්‍රමනය උසිගන්වන ලද අතර, දැන් රුසියාව සමග ගැටුම උත්සන්න කිරීම සඳහා කඩතුරාවක් ලෙස භාවිතා කරනු ඇත.

5. 'රුසියානු ආර්ථිකය මත දරුනු වියදමක්' පැටවීම අරමුනු කරගත්බව කියමින් කොන්ද කැඩෙන නව සම්බාධක මාලාවක්, බයිඩන් අද පස්වරුවේ නිවේදනය කලේය. පුටින් මෙම යුද්ධය තෝරාගෙන ඇතැයි ද, 'දැන් ඔහු සහ ඔහුගේ රට එහි ප්‍රතිවිපාක දරනු ඇතැ'යි ද බයිඩන් ප්‍රකාශ කලේය.

6. 'අපගේ හමුදා යුක්රේනයේ රුසියාව සමඟ ගැටුමක යෙදී නැති බවට ද නොයෙදෙන බවට ද' බයිඩන් පුනපුන කල කියාපෑම් වල කිසිදු විශ්වසනීයත්වයක් නැත. එක්සත් ජනපදය හා නැටෝ බලවතුන් යුක්රේනයට ඩොලර් බිලියන ගනනක මිලිටරි මෙවලම් ලබා දී ඇති අතර, ගැටුම් දිග්ගැස්සීමේ සහ රුසියාවට සැලකිය යුතු පාඩු සිදු කිරීමේ අරමුන ඇතිව එහි ෆැසිස්ට් පැරාමිලිටරි හමුදාවන් සන්නද්ධ කර ඇත. 'භූමියේ ඉක්මන් ජයග්‍රහන, අවසානයේ දී මර්දනකාරී වාඩිලෑම් වලට, මහජන සිවිල් නීති කැඩීමේ ක්‍රියා වලට හා මූලෝපායික ආවෘත අන්තයන්ට මග සලසන්නේ කෙසේද යන්න ඉතිහාසය නැවත නැවතත් පෙන්වා දී ඇති' බව බයිඩන් පැවසීය.

7. එපමනක් නොව ඇමරිකාව හා නැටෝව, දැනටමත් නැගෙනහිර යුරෝපයට දහස් සංඛ්‍යාත හමුදා භටයන් යවා ඇත, ඔවුන්, නැටෝවේ සාමාජිකයින් වන පෝලන්තයේ සහ රුමේනියාවේ ද එස්තෝනියාව, ලිතුවේනියාව සහ ලැට්වියාව යන බෝල්ටික් ප්‍රාන්තවල ද සංකේන්ද්‍රනය කෙරෙනු ඇත. පෙන්ටගනය අද නියෝග කලේ, අමතර සෙබලුන් 7000ක් යුරෝපයට යෙදවීමටයි.

8. රුසියානු ආර්ථිකයෙහි ගෙල සිර කිරීමට දරන උත්සාහයන් සමඟ ඒකාබද්ධවන, වැඩෙන බාහිර තර්ජන, යුක්රේනයෙන් ඔබ්බට යුද්ධය පුලුල් කිරීමේ සම්භාවිතාව වැඩි කරයි. ඕනෑම නේටෝ රටක් සමග ගැටෙන රුසියාවට එරෙහිව, එක්සත් ජනපදය “පූර්න ඇමරිකානු බලය ” භාවිතා කරන බව බයිඩන් නැවතත් ප්‍රකාශ කලේය.

9. මෙහි තේරුම වනු ඇත්තේ, න්‍යෂ්ටික යුද්ධයක හැකියාව පමනක් නොව, අන්තරාය ඉතිහාසයේ පෙර කවර කාලයකටවත් වඩා වැඩි දියුනු සහ විශාල බවයි. එක්සත් ජනපදය හා රුසියාව අතර සබඳතා මුලුමනින්ම බිඳ වැටී ඇති බව බයිඩන් අද ප්‍රකාශ කර ඇති අතර, ව්‍යසනකාරී යුරෝපීය හා ගෝලීය යුද්ධයක අනතුර මධ්‍යයේ වුව ද පුටින් ඇමතීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව ඔහු පැවසීය.

10. වෙඩි තබාගන්නා යුද්ධයක් පැනනැගීමත් සමඟ සබඳතා බිඳවැටීමක් සිදුවන බව 20 වැනි සියවස පුරාම අත්දැක ඇත. එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටීම සීතල යුද්ධ සමයේදී කිසි විටෙකත් සිදු නොවීය. 1962 කියුබානු මිසයිල අර්බුදය හමුවේ පවා එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ් කෙනඩි සහ සෝවියට් අගමැති නිකිතා කෘෂෙව් සන්නිවේදන මාර්ගයක් පවත්වා ගෙන ගියහ. තමා පුටින් සමඟ කතා නොකරන බවට බයිඩන්ගේ කෝපාවිෂ්ඨ ප්‍රකාශය තරයේම වගකීම් විරහිත ය. 1962 අර්බුදයෙන් පසුව, එක්සත් ජනපද-සෝවියට් සබඳතාවල ප්‍රධාන තාක්ෂනික නවෝත්පාදන අතර, ධවල මන්දිරය සහ ක්‍රෙම්ලිනය සම්බන්ධ කරන 'සෘජු දුරකථන සම්බන්ධතාවක්' ස්ථාපනය කෙරුනි. එහි අරමුන වූයේ, ප්‍රති විරුද්ධ පාර්ශ්වයන්ගේ අභිප්‍රායන් පිලිබඳ වැරදි අර්ථකථනයක් වලක්වා ගැනීමයි.

11. ඇමරිකාව හා නැටෝව, සියලු බිහිසුනු ප්‍රතිවිපාක නොතකා, ලෝකය න්‍යෂ්ඨික යුද්ධයේ අද්දරට ඇද දැමීමට සූදානම් වීම, වර්තමානයේ ලෝක අධිරාජ්‍යවාදයේ සෑම මධ්‍යස්ථානයක්ම අරක්ගෙන ඇති සැහසිකමේ හා ආක්‍රමනශීලිත්වයේ දැවැන්ත මට්ටම පිලිබඳව සාක්ෂි දරයි.

12. මෙය පැහැදිලි කල යුත්තේ කෙසේද? සෑම විටම මෙන්, එක්සත් ජනපද මාධ්‍ය සතුරෙකු ලෙස සලකන ඕනෑම කෙනෙකුට පාපකාරී දුෂ්ටත්වයේ ප්‍රතිරූපය ප්‍රක්ෂේපනය කරයි. මෙන් කිසිවක් පැහැදිලි නොකෙරේ. රුසියාව සමග වත්මන් ගැටුම, වසර 30කට පෙර සෝවියට් සංගමය විසුරුවා හැරීමේ සිට එක්සත් ජනපදය විසින් අනුගමනය කරන ලද භූදේශපාලනික මූලෝපායක ප්‍රතිඵලයකි. එහි අරමුන වී ඇත්තේ, ආර්ථික පරිහානිය ජය ගැනීම සඳහා මිලිටරි බලය යොදා ගනිමින් එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යය ඇතිකර ගැනීම යි. ඉරාකය, සෝමාලියාව, සර්බියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාව ආක්‍රමනය කිරීම සහ/හෝ බෝම්බ දැමීම සම්බන්ධ එක්සත් ජනපදය විසින් දියත් කරන ලද නොයෙකුත් සහ නොනවතින යුද්ධ මාලාවේ මූලාශ්‍රය මෙයයි. ඇත්ත වශයෙන්ම, මෙම නීති විරෝධී යුද ඉතිහාසය අද මාධ්‍යවල සඳහන් නොවේ.

13. මෙම යුද්ධ සියල්ල අවසන් වී ඇත්තේ, ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ උත්සාහයට වලකපමින් ලද උපායික හා මූලෝපායික පරාජයන් ගෙනි. මෙම අසාර්ථකත්වයන්, එක්සත් ජනපදය ගිජුව සිටින මූලෝපායික වශයෙන් තීරනාත්මක ප්‍රදේශයක් වන යුරේසියාවේ විශාල කොටසක් අරා සිටින රුසියාව ඇතුලු මහ බලවතුන්ගෙන්, අන් සියල්ලටත් වඩා චීනයෙන්, තමන්ට මුහුන දෙන්නට වන අභියෝගය පිලිබඳව එක්සත් ජනපදයේ කාංසාව උත්සන්න කර තිබේ.

14. නමුත් මෙම අර්බුදය ප්‍රකුපිත කර ඇති ප්‍රධාන සාධකය වී ඇත්තේ, එක්සත් ජනපදය තුල සමාජ හා දේශපාලන අර්බුදය තාපාංකයට ගෙන ආ කෝවිඩ්-19 වසංගතයයි. වසංගතයෙන් එක්සත් ජනපදයේ මරන සංඛ්‍යාව මිලියනයකට ආසන්න වෙමින් ඇත. ඔමික්‍රොන් ප්‍රභේදය, එක්සත් ජනපදයේ නැගුනු කෝවිඩ් වසංගත රැලි අතුරින් දෙවන වැඩිම මරන සංඛ්‍යාවට හේතු වී ඇති අතර, පසුගිය මාසය තුල සෑම දිනකම 2,000 කට වඩා මිය ගියේය.

15. ගෝලීය වශයෙන්, පසුගිය මාස දෙකේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මිලියන 150 කට අධික ජනතාවකට ඔමික්‍රොන් ආසාදනය වී ඇති අතර ලොව පුරා 500,000 ක් මිය ගොස් ඇත. එක්සත් ජනපදය, රුසියාව සහ ජර්මනිය ආසාදන සම්බන්ධයෙන් පලමු රටවල් පහ අතරට පැමින තිබේ. කෙසේ වෙතත්, නිල සංඛ්‍යා යථාර්ථය පෙන්වීමට අසමත් ය. සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනය ඇස්තමේන්තු කරන්නේ, දෙසැම්බර් මැද සිට අවම වශයෙන් බිලියන 2 ක ජනතාවක් ආසාදනය වී ඇති බවය, එම කාලය තුල අවම වශයෙන් අතිරික්ත මරන මිලියන 2.2 ක් සිදුවී ඇති බව එකොනොමිස්ට් සඟරාව ඇස්තමේන්තු කරයි.

16. දැනටමත් ආන්තික සමාජ ගැටුමකින් ඉරා දැමූ සමාජයක් මත වසංගතය විසින් ඇති කරන ලද තීව්‍ර වූ ආතතිය, දේශපාලන පද්ධතිය බිඳවැටීමේ මට්ටමට ගෙන ගොස් ඇත. එය 2021 ජනවාරි 6 ප්‍රයත්නිත කුමන්ත්‍රනය මඟින් විදහා දැක්වුනි. එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය දශකයක් වත් පැවතිය නොහැකි බව පිලිබඳව ප්‍රසිද්ධියේ සිය භීතිය ප්‍රකාශ කල බයිඩන් පරිපාලනය, රටතුල එකමුතුව ඇති කිරීමට සහ යුද්ධය මගින් ගැටුම් පිටතට යොමුකිරීමට බලාපොරොත්තු වේ. එයට මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත.

17. ඇමරිකානු අර්බුදය ලෝක ධනවාදයේ අර්බුදයෙහි වඩාත්ම ආන්තික ප්‍රකාශනය යි. ධනේශ්වර රුසියාව, යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන් මෙන්ම ගැඹුරු වන දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින අතර, අභ්‍යන්තර ආතතීන් පිටතට හැරවීමට යුද්ධයේ මාධ්‍ය වෙත හැරෙමින් සිටී.

18. ව්‍යසනයක අන්තරාය වැලැක්විය හැක්කේ, විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, එක්සත් ජනපදය තුල හා ලෝකය පුරා කම්කරු පන්තියේ ක්‍රියාකාරිත්වයෙන් පමනි.

19. මෙම වැඩපිලිවෙලෙහි ප්‍රමුඛ මූලධර්මයක් වන්නේ, ලෝක ආර්ථිකයේ ආධිපත්‍යයට සහ නිෂ්පාදන බලවේගවල ගෝලීය අන්තර් රඳා පැවැත්මට පටහැනිව පවතින්නාවූ ද ඓතිහාසික වශයෙන් යල්පැන ගියා වූද දේශපාලන ව්‍යුහයක් වන “ජාතික රාජ්‍යය” ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.

20. ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවවාදියෙකු සහ හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියොන් ට්‍රොට්ස්කි, පලමුවන සහ දෙවන ලෝක යුද්ධ අතර අර්බුදකාරී වසරවල, 1934 දී පැහැදිලි කල පරිදි:

'අන් සියල්ලටත් පලමුව, ජාතික රාජ්‍යයේ තොටිල්ල වන, බෝල්කනීකරනය වූ යුරෝපයේ, ජාතික රාජ්‍ය ආරක්ෂා කිරීම සකලාර්ථයෙන්ම ප්‍රතිගාමිවේ. ජාතික රාජ්‍යය වනාහි, එය ආරක්ෂා කිරීම සඳහා පවත්නා එහි දේශ සීමා, ගමන් බලපත්‍ර, මුල්‍ය පද්ධතිය, රේගු සහ රේගු ආරක්ෂා කිරීම හමුදා සමගින් මනුෂ්‍ය වර්ගයාගේ ආර්ථික සහ සංස්කෘතිකමය වර්ධනයට එරෙහි බියකරු බාධකයක් වී ඇත. කම්කරු පංතියේ කර්තව්‍යය වන්නේ ජාතික රාජ්‍යය ආරක්ෂා කිරීම නොව එහි සම්පූර්න හා අවසන් දියකර හැරීමයි.

21. ට්‍රොට්ස්කි තවදුරටත් මෙසේ පැවසීය: “ඒ සඳහා යුද්ධයේ සිතියම නොව පන්ති අරගලයේ සිතියම අනුයා යුතුය, එය කල හැක්කේ, දැනටමත් එනම් සාමයේ අවධිය තුල, ජාතික රාජ්‍යයට එරෙහිව අශමනීය යුද්ධය ප්‍රකාශකොට ඇති එම පක්ෂයට පමනි. 'පන්ති අරගලයේ සිතියම' අනුයාමෙහි අර්ථය, සූරාකෑමට, අසමානතාවට හා ධනේශ්වර පර්යායටම විරුද්ධව, අධිරාජ්‍යවාදයට විපක්ෂව ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමේ සටන යි.

22. යුද්ධය වහා අවසන් කරන ලෙස ජාත්‍යන්තර කමිටුව ඉල්ලා සිටී. යුක්‍රේනය ආක්‍රමනයට විරුද්ධ වීමේදී, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කරන බවට ප්‍රකාශ කරන, ලෙයින් තෙත් වූ කුහකකමෙන් යුතු එක්සත් ජනපද/නේටෝ අධිරාජ්‍යවාදයේ ප්‍රතිපත්ති අපි හෙලා දකිමු.

23. දැන් මහජන මනෝභාවය 1990 ගනන්වල තිබූ ආකාරය නොවේ. මහා ජනතාවන් පසුගිය දශක තුනක නොනවතින යුද්ධයේ අත්දැකීම් තුලින් ගමන් කර ඇත. ලොව පුරා කම්කරු පන්තිය තුල පැතිර පවතින මනෝභාවය යුද්ධයට විරුද්ධ ය. අසමානතාවයේ දැවැන්ත වර්ධනය හා ඉහල යන උද්ධමනය සමග මිලියන 6 කට ආසන්න මිනිසුන්ගේ මරන වලට තුඩු දී ඇති, වසංගතය තුල පාලක පන්තියේ සාපරාධී පිලිවෙත්, ලොව පුරා සමාජ කෝපය හා විරෝධය අවුලුවාලමින් තිබේ.

24. කෙසේ වෙතත් මෙම විරුද්ධත්වය සමාජවාදය සඳහා සවිඥානික දේශපාලන ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතුය. මෙයින් අදහස් කරන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ සෑම රටකම ගොඩනැගීමයි.

පෙබරවාරි 26 සෙනසුරාදා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය “කොවිඩ් සමඟ සටන් කර ජීවිත සුරකිමු! තුන්වන ලෝක යුද්ධය කරා ධාවනය නවත්වනු!' යන හිසින් ජාත්‍යන්තර ඔන්ලයින් රැස්වීමක් පවත්වයි, එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයින් විසින් ආමන්ත්‍රනය කරනු ඇත. මෙම තීරනාත්මක ජාත්‍යන්තර අවස්ථාවට සහභාගී වීම සඳහා ලියාපදිංචි වී කාලය වෙන් කරගන්නා ලෙස අපි ලොව පුරා සිටින අපගේ සියලුම පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading