වසංගතය පැතිරීමට කොන්දේසි සපයමින් ආන්ඩුව සීමිත සෞඛ්‍ය ආරක්ෂන සීමා තවත් ලිහිල් කරයි

ලංකාව තුල ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර පැතිරීම පැවතියදීත් ආන්ඩුව එය තීව්‍ර වීමට ඉඩ හරිමින්, පැවති සීමාවන් පවා ඉවත්කොට රට මුලුමනින් විවෘත කර ඇත. මාර්තු 01 වනදා පටන් ආපන ශාලා, වෙලඳ සැල්, සිනමා ශාලා, උත්සව සඳහා පැවතුනු සීමා තවදුරටත් ලිහිල් කෙරිනි. ඒ විශේෂඥ වෛද්‍යවරුන් විසින් “රට පීරා යන දැවැන්ත ඔමික්‍රොන් රැල්ලක් මධ්‍යයේ” සිටින බවට අනතුරු අඟවා තිබියදීය.

මෙම පියවර ගලාගෙන එන්නේ ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කිරීම වෙනුවෙන් මහජනතාව හැකිතාක් වසංගතයට ගොදුරු වීමට ඉඩ හරින ආන්ඩුවේ “කෝව්ඩි සමග ජීවත්වීමේ” නරුම පිලිවෙතිනි. කෝවිඩ් පතුරුවා හරින මධ්‍යස්ථාන බඳු වැඩපලවල්, ප්‍රවාහන සේවා සහ අධ්‍යාපන ආයතන තුල මහජනතාවට මීටරයේ අවම පරතරය කෙසේවත් තබා ගැනීමට නොහැකිය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව තුල මේ වන විට මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 647,699 කි. සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 22,140 වන අතර දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක තුල 72 දෙනෙක් ප්‍රතිකාර ලබති. නිල කොවිඩ් මරන සංඛ්‍යාව 16,267 කි.

කෝවිඩ්-19 කාරකය වන SARS-CoV-2 වෛරසයේ අනුක ඡායාරූපයක් (Source: NIAID-RML) [Photo: NIAID-RML]

පවතින කොන්දේසි ආසාදන සහ මරන වේගයෙන් ඉහල යාමකට තුඩු දී ඇත. පෙබරවාරි 25 වනදා දක්වා සති දෙකක පමන කාලයක් අඛන්ඩවම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1200 ඉක්මවා ගියේය. දෛනික මරන සංඛ්‍යාව 20 ඉක්මවා සෑම දිනකම වාර්තා වේ. අවම පීසීආර් පරීක්ෂන මට්ටම යටතේ ඉදිරිපත් කෙරෙන මෙම සංඛ්‍යා වසංගතයේ සැබෑ බලපෑම බෙහෙවින් අවතක්සේරු කෙරුනු ඒවාය.

ගතවූ අවසාන දින පහ තුල ක්ෂනිකවම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දහසේ සීමාවෙන් පහලට බැස්සේ පීසීආර් පරීක්ෂන කපා හැරීම මගිනි. එම දින හතර තුල දෛනික පීසීආර් පරීක්ෂන වල සාමාන්‍යය 5,222 ක් තරම් වූ සොච්චම් අගයකි. කෙසේ නමුත් පරීක්ෂන වලින් ආසාදිතයින් හමුවන ප්‍රතිශතය සියයට 18 ක් දක්වා ඉහල නැග ඇත. මෙය පෙන්නුම් කරන්නේ ආසාදන පැතිරීමේ ඉහල වේගයයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 25 වනදා එක්සත් ජාතීන්ගේ මන්ඩලය අමතා කල කතාවේදී “රට තුල ඇතිවීමට ගිය විනාශකාරී තත්වය කොවිඩ් එන්නත්කරනය මගින් පාලනයට හැකිවුනා” යනුවෙන් පම්පෝරි ගැසුවේය. ඒ ඔස්සේම යමින් ධනපති මාධ්‍යයක් වන ලංකාදීප පුවත්පත ඊයේ දිනයේදි මෙය වාර්තා කලේ “කොරෝනා ආසාදිතයන් ටික ටික පහළට” යනුවෙනි.

කෙසේ වෙතත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ වෙබ් අඩවියට අනුව ලංකාවේ නිල කොවිඩ් මරන ප්‍රතිශතය සියයට 2.51 කි. ගෝලීයව එය සියයට 1.36 ක් වන අතර ඇමරිකාව, එංගලන්තය ඉන්දියාවට වඩා ලංකාවේ මරන ප්‍රතිශතය ඉහලය. මෙම සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ විනාශකාරී තත්වය “පාලනයට හැකි වුනා” යනුවෙන් කරන ප්‍රකාශ වලට විපරීතව පවත්නා යතා ස්වභාවයයි.

අනෙක් අතට රාජපක්ෂ ආන්ඩුව, කොවිඩ් රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් සහ මියගිය අය සඳහා කෙරෙන පීසීආර් පරීක්ෂන සීමා කිරීම මගින් ද ආසාදන වාර්තා වීම සීමා කොට ඇත. ආන්ඩුව පසුගිය මාසයේ නිකුත් කල චක්‍රලේඛයකින් කියා සිටියේ, මරන සඳහා පීසීආර් පරීක්ෂන කල යුත්තේ අවශ්‍ය නම් පමනක් බවයි.

මෙය 'වසංගතය සමග ජීවත්විය යුතු' බවට ධනපති පන්තිය ජාත්‍යන්තරවම ගෙනයන ප්‍රතිගාමි උද්ඝෝෂනය සමග පෙල ගැසී පවතී. පසුගිය අඟහරුවාදා රාජ්‍යයේ තත්වය පිලිබඳ දේශනයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සෞඛ්‍ය ආරක්ෂන සීමා ඉවත දැමීම පිලිබඳ ඉඟි කරමින් සඳහන් කලේ “කොවිඩ් 19 ට තවදුරටත් අපගේ ජීවිත පාලනයට ඉඩ දීම අවශ්‍ය නොවන” බවයි. ඒ හා එක පෙලට සිටිමින් ඇමරිකාවේ වසංගත පැතිරීම පාලනය කිරීමේ මධ්‍යස්ථානය ආසාදන සහ මරන සීඝ්‍රයෙන් ඉහල යද්දී පවා මුව ආවරන පැලඳීමේ රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගත්තේය.

මෙම ප්‍රකාශ පෙන්නුම් කරන්නේ ධනපති පාලක පන්තියට මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් පවතින සාපරාධී නොතකා හැරීමයි. මහජනතාව මිලියන ගනනින් මරනයට පත් කල සහ මිලියන ගනනින් ආසාදනයට ලක් කල වෛරසයක් පිලිබඳව ධනපති පන්තියේ තැකීම එබඳුය.

රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත් හේතුකාරක වී ඇත්තේ ව්‍යසනය තව දුරටත් තියුනු කිරිමටය. වසංගතය වේගයෙන් පැතිරෙන තතු තුල ඔමික්‍රෝන් ප්‍රභේදයේ වඩා ව්‍යසනකාරී BA. 2 උපප්‍රභේදය(sub-lineage) BA. 1 අභිභවමින් පැතිරෙමින් පවති. පසුගිය 24 වනදා සිය පර්යේශනාගාරයට ලැබෙන සාම්පල වල පර්‍යේශනාගාර ප්‍රතිඵල ට්විටර් හරහා ප්‍රකාශයට පත් කරමින් වෛද්‍ය චන්දිම ජීවන්දර පෙන්වා දුන්නේ ඔමික්‍රෝන් සාම්පල වලින් සියයට 80 ට ආසන්න සංඛ්‍යාවක් BA. 2 සහිත බවයි. එය අනෙක් ඒවාට වඩා සීඝ්‍රයෙන් පැතිරෙමින් විශාල විනාශයක් ඇති කිරීමට තුඩු දිය හැක.

එම ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ ආසාදන පැතිරීම වැලැක්වීමට පියවර නොගැනීම මගින් වසංගතයේ වඩා ව්‍යසනකාරී ප්‍රභේද පැතිරීමට ඉඩ සැලසෙන ආකාරයයි. ජනවාරි මස 15 වනදා ලැබුනු සාම්පල වලින් සියයට 80 ක් පැවතී ඇත්තේ BA. 1 ය. ඒ වන විට ඉතා සුළු ප්‍රතිශතයකින් හමුවූ BA. 2, පෙබරවාරි 19 වනදා වන විට ක්‍රමයෙන් ප්‍රමුඛ උප ප්‍රභේදය බවට පත්ව ඇත.

ඉහත තතු යලි යලිත් පෙන්නුම් කරන්නේ ආන්ඩුව පම්පෝරි ගසමින් සිටින “එන්නත්කරනය එකම විසඳුම” යන තර්කයේ ව්‍යාජ භාවයයි. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ප්‍රභවයටම හේතු වූයේ මෙම පිලිවෙත වන අතර එහිදී එන්නත්කරනය උත්කර්ශයට නංවමින් සෞඛ්‍ය ආරක්ෂන සීමා ඉවත දැමුනි.

වසංගතය පාලනයේදී එන්නත්කරනය තීරනාත්මක වන නමුත්, වසංගතය පැතිරීම වැලැක්වීමට යොදන අගුළු දැමීම්, ආසාදිතයින් හුදෙකලා කිරීම, පරීක්ෂන ඉහල නැංවීම සමග එය අනුබද්ධ විය යුතුය. මෙම තතු යටතේ එන්නත් වලට ප්‍රතිරෝධී නව ප්‍රභේදයක් බිහිවීම පිලිබඳව වෛද්‍ය විශේෂඥයෝ සැක පහල කරති.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවෙස්ගත ප්‍රතිකාර සේවාවේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පසුගිය සඳුදා දිවයින පුවත්පතට සඳහන් කර සිටියේ “ජනතා ඒකරාශී වීම් ඉහල යාමත් සමඟ කෝවිඩ් වයිරසයේ නව ප්‍රභේද නිර්මානය වී කොවිඩ් මර්දන එන්නතට ඔරොත්තු නොදෙන වයිරසයක් බිහිවීමේ අවදානමක් රට තුල පවතින” බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන එදිනම සඳහන් කලේ “බිම් මට්ටමේ කොවිඩ්-19 රෝගය ඉතාම තදින් පැතිර යනවා. විශාල ප්‍රමානයේ පොකුරු හමුවෙලා තියෙනවා” යනුවෙනි. වසංගතය පාලනය කර නොගෙන වසංගතය මේ ආකාරයෙන් පැතිරීමට ඉඩ හැරීමෙන් “අහිතකර කොවිඩ්-19 ප්‍රභේද වර්ධනය වීමේ” අවදානම ඇති කොට ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දෙසට ඇදී යන යුක්‍රේනය කේන්ද්‍ර කරගත් නේටෝ සහ රුසියාව අතර ගැටුම ලංකාවේ ආන්ඩුවේ ආර්ථික අර්බුදය වඩාත් නරක අතට හරවා ඇත. කප්පාදු සහ පුද්ගලීකරන පියවරයන් හරහා, ආන්ඩුව මෙම අර්බුදය මහජනතාවගේ කර මත පටවා ධනපතියන්ගේ ලාභ ඉහල නැංවීමට කටයුතු කරමින් සිටී.

ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කිරීමට ඇප කැපවී සිටින පාලකයන්ට, එම ලාභ උත්පාදනය කර දෙන කම්කරුවන් වැඩපලවල් වලට ගෙන ඒමට බාධා කෙරෙන වසංගත පාලන පියවර ගන්නා ලෙස කරන අවධාරනයන් බීරී අලින්ට වීනා වාදනය කිරීමක් බඳුය.

ආන්ඩුවේ මෙම පිලිවෙත් ධනපති පන්තියේ ප්‍රසාදයට ලක්වී ඇත. පසුගිය 21 වනදා මහා ව්‍යාපාරිකයින් රාජපක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන් සඳහන් කලේ රජයේ ඊනියා “කොවිඩ් පාලන වැඩපිලිවෙලේ” සාර්ථකත්වය හේතුවෙන් “තම ව්‍යාපාර ආරක්ෂා වූ” බවයි.

වසංගතයේ ගතවූ දෙවසරකට අධික කාල පරිච්ඡේදය තුල මහා ව්‍යාපාරිකයින් තම ලාභ කඳු ගැසෙනු අත් දකිද්දී ලොවපුරා කම්කරු-පීඩිත මහජනතාවගේ අත්දැකීම වී ඇත්තේ මිලියන ගනනින් ආසාදන සහ මරන වලට ලක්වීම, ආසාදිතව සුවවූවන් ලෝන්ග් කොවිඩ් වැනි දීර්ඝ කාලීන පීඩාකාරී තත්වයන්ට මුහුන දීම මෙන්ම, රැකියා සහ ජීවන කොන්දේසි දැවැන්ත පරිමානයෙන් කප්පාදු වීමයි.

වසංගතය ක්‍රමයෙන් ආවේනික (endemic) තත්වයට පත්වන බවටද සෞඛ්‍ය ආරක්ෂන සීමා අනවශ්‍ය බවට ද ධනපති පන්තිය ගෙනයන ප්‍රචාර පසුපසින් පවතින්නේ ලාභ ගැරීමේ මෙම මිනීමරු පිලිවෙත වඩා තියුනු ආකාරයෙන් ක්‍රියාවට දැමීමේ අවශ්‍යතාවයයි. මෙම ප්‍රචාර වල යථා ස්වභාවය සහ එය නිමාවකට ගෙන ආ හැක්කේ කෙසේද යන්න අවධාරනය කරමින් ලෝක සමාජවාදී වෙබ් අවඩවිය “වසංගතය සැබෑවටම අවසන් වී ඇත්ද?” යන ශීර්ෂය යටතේ බ්‍රහස්පතින්දා පල කල ඉදිරි දර්ශනයේ මෙසේ සඳහන් කලේය.

“එක්සත් ජනපදය පුරා මිලියන සිය ගනනක් සහ ලොව පුරා බිලියන ගනන් කම්කරුවන් මුහුන දෙන වෛෂයික යථාර්ථය, වසංගතය අවසන් වී ඇති බවට කෙරෙන ප්‍රචාරනයේ ව්‍යාජ භාවය හෙලි කරයි. ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන ප්‍රධාන කර්තව්‍යය වන්නේ, වසංගතය සහ ලෝක යුද්ධය කරා උත්සන්න වන තල්ලුව යන දෙකම නැවැත්වීමට සටන් කරන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.”