ඉදිරිදර්ශන

යුක්‍රේනයේ යුද්ධය: ඇසිය යුතු ප්‍රශ්න

[මෙය The war in Ukraine: The questions that must be asked
යන මැයෙන් 2022 මාර්තු 4 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

යුද්ධයක ගැඹුරට මුල් බැසගත් සහ සාරභුත හේතූන් හෙලිදරව් වන්නේ යුද්ධයක් ආරම්භ වන්නේ කෙසේද යන්නෙන් නොව එය වර්ධනය වන ආකාරය සහ එය ගමන් කරන්නේ කුමක් කරාද යන්න මත ය. ඇමරිකානු සිවිල් යුද්ධය ඇතිවූයේ ෆොර්ට් සම්ටර් වෙත (Fort Sumter) වෙඩි තැබීමෙන් නොවේ. ඔස්ට්‍රියානු මහා ආදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය පලමු ලෝක යුද්ධයට හේතු වූයේ නැත.

සිවිල් යුද්ධය, අවසානයේ වහල්ක්‍රමය විනාශ කිරීම සඳහා කෙරුනු බව (සහ ඉන් ඇති කෙරුනු එක්සත් ජනපදයේ නූතන ධනවාදයේ අසීමිත වර්ධනයට තුඩුදුන් බව) ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී පැහැදිලි වනු ඇත. සරජේවෝහිදී මහාආදිපාද ඝාතනය දිගු කලක් තිස්සේ ඇවිලෙමින් තිබූ අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් පුපුරා යාමේ ප්‍රේරක සිදුවීමකට වඩා නොඅඩු දෙයක් බව 1914 දී දැකගනු ලැබුවේ, ඉතාමත් දූරදර්ශී මාක්ස්වාදීන්, විශේෂයෙන්ම ලෙනින්, ට්‍රොට්ස්කි සහ ලක්සම්බර්ග් පමනි.

යුක්‍රේන ආක්‍රමනය එක්සත් ජනපද-නේටෝව සහ රුසියාව අතර ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව දැන් පැහැදිලිය. කෙසේ වෙතත්, යුක්‍රේන-රුසියානු යුද්ධය පිලිබඳ උමතු විවරන ගොන්න තුල, ගැටුම පිපිරී යාම පුලුල් භූ දේශපාලනික හා ඓතිහාසික සන්දර්භයක් තුල තැබීමට දරන මොනම උත්සාහයක් වත් - ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් පිටත - සොයා ගත නොහැකි තරම් ය .

නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් 2022 මාර්තු 1 වන අඟහරුවාදා, ටැලින් හි ගුවන් කඳවුරකදී නේටෝ හමුදා හමුවෙයි. (ඡායාරූපය ලියොන් නීල්, AP ඒපී ) [AP Photo/Leon Neal]

ගැටුම වාර්තා කිරීමේදී, මාධ්‍යවේදය සහ ප්‍රචාරනය අතර වෙනස අකාමකා දමා ඇත. සෑම දෙයක්ම කලු සහ සුදු පාටින් ඉදිරිපත් කර ඇති මාධ්‍ය මොලය වෙහෙසීමට ඉඩක් ලබා නොදේ. විශ්ව ආඛ්‍යානයට අනුව රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කලේ, සදාම් හුසේන්, ඔසාමා බින් ලාඩන් සහ ස්ලොබොඩාන් මිලොසෙවික් නම් යක්ෂයින් සිටි ආකාරයටම පුටින් නම් යක්ෂයෙක් එහි ද සිටින නිසාය.

ඓතිහාසික හේතුපල සම්බන්ධය පිලිබඳ සංකීර්න ගැටලු සමඟ දශක ගනනාවක් පොරබදමින් සිටින අය ද ඇතුලු උගත් ශාස්ත්‍රඥයෝ, බුද්ධිමය බිඳවැටීමේ තත්වයක සිටිමින් සීඑන්එන්, එම්එස්එන්බීසි සහ ඇත්ත වශයෙන්ම, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, ඔවුන් වෙනුවෙන් සිතීමට ඉඩ දීමෙන් සෑහීමකට පත්ව සිටිති. පිලිතුරු දීම කෙසේ වෙතත් බැරෑරුම් ප්‍රශ්න අසන්නේ වත් නැත.

නො ඇසිය යුතු නමුත් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් පමනක් මෙහි ඇත:

1) රුසියාව ද ඇතුලුව සෑම රටකම, වසංගතයෙන් උග්‍ර කරන ලද දේශීය අර්බුදය සහ යුද්ධය පුපුරා යාම අතර සම්බන්ධය කුමක්ද?

මාධ්‍ය විසින් යුද ධාවනය ඉදිරිපත් කරන්නේ, එය පසුගිය වසර දෙකේ ප්‍රමුඛ සිදුවීම වන කෝවිඩ්-19 වසංගතයට කිසිදු සම්බන්ධයක් නැති ආකාරයට ය. ඉකොනොමිස්ට් (Economist) සඟරාවෙහි ඇස්තමේන්තුවකට අනුව, වසංගතය ලොව පුරා මිලියන 20 ක ජනතාවක් මරා දමා ඇත. එය එක්සත් ජනපදයේ මෙන් වෙනත් කිසිම තැනක නැති පරිදි, අභ්‍යන්තර ආතතීන් පිටතට හරවා යැවීමට පාලක පන්තියේ මංමුලා සහගත ප්‍රයත්නයකට තුඩු දෙන අයුරු, සෑම රටකම දේශපාලන ජීවිතය ගැඹුරින් අස්ථාවර කර ඇත.

2) නිරතුරුව නේටෝ වේ සහයෝගීතාවය ද ඇතිව පසුගිය වසර 30 පුරා එක්සත් ජනපදය විසින් නොනැවතී දියත් කර ඇති යුද්ධ හා රුසියාව සමග වේගයෙන් උත්සන්න වන ගැටුම අතර සම්බන්ධය කුමක්ද?

1992 දී එක්සත් ජනපදය, 'ඕනෑම අනාගත ගෝලීය තරඟකරුවෙකුගේ මතුවීම' අවහිර කිරීමේ සිය අභිප්‍රාය ප්‍රකාශ කරන මූලෝපායික ලේඛනයක් සම්මත කලේ ය. 1990-91 පර්සියානු ගල්ෆ් යුද්ධයෙන් පසුව 1999 දී සර්බියාවට එරෙහි යුද්ධය, 2001 දී ඇෆ්ගනිස්ථාන ආක්‍රමනය, 2003 දී ඉරාකයට එරෙහි දෙවන යුද්ධය, 2011 දී ලිබියාවට එරෙහි යුද්ධය සහ සීඑයිඒ සහාය ලබාගත් සිරියාවේ සිවිල් යුද්ධය පැමිනියේය.

රුසියාව හා චීනය සමග සෘජු ගැටුමක් සඳහා එක්සත් ජනපදය වසර ගනනාවක් තිස්සේ සැලසුම් කරමින් සිටි බවට, මූලෝපායික ලේඛනවල සඳහන් වන කරුන පිලිබඳ කිසිදු සඳහනක් මාධ්‍යයේ කොතැනකවත් සොයාගත නොහැක. 2016 දී ආරම්භ කර එක්සත් ජනපදය, සිය න්‍යෂ්ටික අවි ගබඩාව ඩොලර් ට්‍රිලියන ගනනක දැවැන්ත මුදල් වැය කරමින් ප්‍රසාරනයක් සිදු කරන ලද අතර, ඊට, යුද පිටිවල භාවිතා කල හැකි කුඩා ප්‍රමානයේ න්‍යෂ්ටික අවි නිර්මානය කිරීම ද ඇතුලත් විය. 2018 දී, එක්සත් ජනපදය අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා (INF) ගිවිසුමෙන් ඉවත් වූ අතර නැගෙනහිර යුරෝපයේ රටවල සිට ප්‍රධාන රුසියානු නගරවලට පහර දිය හැකි මිසයිල සංවර්ධනය කිරීමට සහ අත්හදා බැලීමට පටන් ගත්තේය.

3) නේටෝව විශාල ලෙස ව්‍යාප්ත කර එහි හමුදා සැතපුම් සිය ගනනක් නැගෙනහිර දෙසට මෙහෙයවා ඇති එක්සත් ජනපදය, යුද්ධය සලකන්නේ, රුසියාවට දැවැන්ත පරාජයක් අත්කර දී, අවසානයේ එය බිඳ දැමීමට තුඩු දෙන අවස්ථාවක් ලෙස ද? චීනය සමඟ ගැටුමට මෙම ගැටුමේ සම්බන්ධය කුමක්ද?

ඇමරිකානු මූලෝපායඥයින් දිගු කලක් තිස්සේ, එරට ස්වාභාවික සම්පත් වෙත සෘජු ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා රුසියාව බිඳ දැමීමට සිහින මැවූ බව රූපවාහිනී විකාශන නැරඹීමෙන් සහ ප්‍රධාන පුවත්පත් කියවීමෙන් දැන ගන්නේ කවුරුන් ද? වසර ගනනාවක් තිස්සේ එක්සත් ජනපද ප්‍රධාන චින්තන පර්ෂද, අවසානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කල හැකි පරිදි 'රුසියානු තන්ත්‍රය අස්ථාවර කිරීම' වෙනුවෙන් පෙනී සිටියේය. මෙම ප්‍රයත්නයන් සාර්ථක වූයේ නම්, ඇමරිකානු පාලක පන්තිය එහි කේන්ද්‍රීය මූලෝපායික තරඟකරුවා ලෙස සලකන චීනය ඉලක්ක කර ගනිමින්, ලෝක යුද්ධයක් සඳහා වේදිකාවක් සහ සම්පත් කේන්ද්‍රස්ථානයක් බවට රුසියාව පරිවර්තනය කරනු ඇත.

4) ජර්මනියේ මිලිටරි අයවැය තුන් ගුනයකින් වැඩි කිරීමට සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි සන්නද්ධ හමුදාවන්ට පැනවුනු සියලු සීමා කිරීම් ක්‍රියාත්මක ලෙස ඉවත් කිරීමට ගත් තීරනය, යුක්‍රේන යුද්ධයට ස්වයංසිද්ධව දැක්වූ ප්‍රතිචාරයක් ද? එසේත් නැතිනම් යුද්ධය, දිගුකාලීනව සැලසුම් කරමින් සිටි පරිදි යලි සන්නද්ධ වීම සඳහා ජර්මනියට කඩතුරාවක් සපයා තිබේ ද?

ඓතිහාසිකව මාරුවක් ගනිමින් මේ සතියේ ජර්මනිය, සිය මිලිටරි වියදම්වල දැවැන්ත ප්‍රසාරනයකට සමගාමීව, යුක්‍රේනයට ප්‍රහාරක අවි යැවීම මගින්, ගැටුම් කලාපවලට අවි නොයැවීමේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කලේය. ජර්මනිය 'ලෝක දේශපාලනය ගැන පැත්තකින් සිට පමනක් අදහස් දැක්වීමට තරම් ලොකු වැඩි' බව මියුනිච් ආරක්ෂක සමුලුවේ දී ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මියර් ප්‍රකාශ කරමින් 2014 දී ආරම්භ කරන ලද ප්‍රතිපත්තියක කුලුගැන්වීම මෙය විය. එතැන් සිට, නාසි යුද අපරාධ සුලු කොට තැකීමේ ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් ජර්මනිය, යලි මිලිටරිකරනයේ ක්‍රමානුකූල උත්සාහයක නිරත විය.

එසේ කලේ ජර්මනිය පමනක් නොවේ. ජපානයේ සමස්ත පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම ඉතිහාසයෙන් බිඳී යාමක් ලෙස, එවකට ජපාන අගමැති ෂින්සෝ අබේ යෝජනා කලේ, එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තම භූමියේ ස්ථානගත කල යුතු බවයි. පසුගිය සතියේ ස්විට්සර්ලන්තය, වසර සිය ගනනක මධ්‍යස්ථභාවය බිඳ දමා, රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම ආරම්භ කලේය, එය සහස්‍ර භාගයක තරම් පෙර නොවූ විරූ පියවරකි.

දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරන ලද භූ දේශපාලන සබඳතාවල මෙම දැවැන්ත වෙනස්කම්, හුදෙක් රුසියාවේ යුක්‍රේන ආක්‍රමනයට ප්‍රතිචාරයක් වූ බව කෙනෙකුට විශ්වාස කල හැකි ද?

5) යුද්ධයෙන් ප්‍රතිලාභ ලබන සහ රුසියාව බිඳී යාමෙන් පසුව යුරේසියානු භූ ස්කන්ධයේ අතිවිශාල සම්පත් වෙත නිර්බාධක ප්‍රවේශයෙන් ලාභ ලබන ගෝලීය සංගත සහ මූල්‍ය ව්‍යාපාරයන් මොනවා ද?

රුසියානු කතිපයාධිකාරීන් හෙලා දකින මාධ්‍ය, රුසියාව බිඳී යාමේ සහ කලු මුහුද සහ කැස්පියන් මුහුද අතර මූලෝපායික කොරිඩෝවට සෘජු ප්‍රවේශයක් සහතික කර ගැනීම හරහා ඇමරිකානු කතිපයාධිකාරීන්ට විවෘත වන අවකාශය ගැන කතා නොකරයි. ලෝකයේ විශාලතම ස්වභාවික ගෑස් සැපයුම්කරු, දෙවන විශාලතම තෙල් අපනයනකරු, විශාලතම තිරිඟු අපනයනකරු, තුන්වන විශාලතම ගල් අඟුරු අපනයනකරු, සහ යකඩ, රන්, ප්ලැටිනම්, ඇලුමිනියම්, තඹ සහ දියමන්ති වැනි, තීරනාත්මක යුද ආම්පන්න නිෂ්පාදනය ද ඇතුලු, සියලුම වර්ගයේ නවීන නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ගේ සැපයුම්කරු රුසියාව වන්නේ ය.

6) සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු 'ඉතිහාසයේ අවසානය' සහ සාමයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනය ගැන කරන ලද ප්‍රකාශයන් සමඟ රුසියාව සහ නේටෝව අතර ගැටුමක් පුපුරා යාම පිහිටන්නේ කෙසේ ද?

සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ චීනයේ ධනේශ්වර සංවර්ධනය, සාමයේ සහ ගෝලීය සමෘද්ධියේ නව යුගයකට තුඩු දෙනු ඇතැයි යන ව්‍යාජ ප්‍රකාශයන් මෙම ගැටුමේ පිපිරීම මඟින් සුනුවිසුනු කර ඇත. ඒ වෙනුවට පසුගිය දශක තුනක කාලය තුල අධිකාරිත්වය දැරුවේ, තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනයක් මතු කිරීමේ පෙරනිමිත්තක් ලෙස, යුද්ධය සහ ගෝලීය ගැටුමයි.

7) නමුත් අසන්නේ නැති වැදගත්ම ප්‍රශ්නය නම්: මෙම ගැටුම න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වුවහොත් එහි ප්‍රතිවිපාක මොනවා ද? ග්‍රහ ලෝකයෙන් කුමක් ඉතිරි වේ ද?

යුක්‍රේන යුද්ධය ගැන සියලු හුස්ම හිරකෙරෙන මාධ්‍ය ආවරනයන් හමුවේ, මේ සියල්ල කොතැනට යොමුවන්නේදැයි විමසීමට එම මාධ්‍ය කිසිවක් කිසිදු තැකීමක් නොකරයි. රුසියාවට එරෙහි නේටෝ මිලිටරි සන්ධානයට බැඳීමට යුක්‍රේනයට ඉඩ දිය යුතුය යන “පූජනීය මූලධර්මය” ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කම්කරුවන්ට න්‍යෂ්ටික යුද්ධය සහ මානව වර්ගයාගේ විනාශය අවදානමට ලක් කිරීමට අවශ්‍ය ද? කම්කරු පන්තිය මුහුන දෙන සියලු සමාජ ගැටලු මධ්‍යයේ, මායිම ඇඳිය යුතු ස්ථානය මෙය ද?

මෙම ප්‍රශ්න කිසිවක් ඇසීමට හෝ පිලිතුරු දීමට නොහැකි වන්නේ, යුද්ධය පැන නගින්නේ ලෝක ධනේශ්වර ක්‍රමයේ විසඳිය නොහැකි අර්බුදයකින් බව ඒවා පෙන්නුම් කරන බැවිනි. රුසියානු කතිපයාධිකාරයේ ප්‍රතිගාමී ජාතිකවාදය මත පදනම් වූ රුසියාවේ යුක්‍රේනෙ ආක්‍රමනයට සමාජවාදීන් හා පන්ති සවිඥානික කම්කරුවන් විරුද්ධ විය යුතුය. කෙසේ වෙතත්, වර්තමාන අර්බුදය එහි පුලුල් ඓතිහාසික හා දේශපාලන සන්දර්භය තුල නොතබන ඕනෑම විශ්ලේෂනයක් සේවය කරන්නේ, එහි ගැඹුරු මූලයන් වැසීමට පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, යුක්‍රේනයේ, රුසියාවේ, එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ ලොව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ ඇස් ඉදිරිපිට දිගහැරෙන ව්‍යසනයේ පාඩම් උකහා ගන්නා ලෙසත්, යුද්ධයේ මූලික හේතුව වන ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අවසන් කර, සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා අරගලයට සම්බන්ධ වන ලෙසත් ය.

Loading