අත්‍යාවශ්‍ය බඩු මිල ඉහලයාමෙන් මහජනතාව ඉමහත් ව්‍යසනයකට මුහුන දෙති

ආහාර ද්‍රව්‍ය, ඉන්ධන,ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ඉහලයාම හා හිඟය හේතුකොටගෙන කම්කරු-පීඩිත ජනයා මරනයට සහ සාගතයට මුහුන දී සිටිති. ඉන්ධන හිඟය නිසාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගනන් පෝලිම් වල ගතකිරීම හේතුවෙන් පුද්ගලයන් හතර දෙනෙක් පසුගිය දෙසතිය තුල මරනයට පත් වූහ. නුවර කටුගස්තොට, කඩවත, මීරිගම සහ මාකොල ඉන්ධන පිරවුම්හල් අසල දී මියගිය මොවුහු පිලිවෙලින් වයස අවුරුදු 71,70, 70 සහ 84 ක් වූ වයෝවෘද්ධයෝ වෙති.

නිට්ටඹුව හොරගොල්ලේ පිරවුම්හලක පෝලිමක දී ඇති වූ ගැටුමක් හේතුකොට ගෙන 29 හැවිරිදි තරුනයකු මාර්තු 20 වෙනිදා ඝාතනයට ලක්විය.

මෙම මරන අහඹු මරන නොව, රාජපක්ෂ ආන්ඩුව විසින් ධනපති ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත ජනයා මත පැටවීම මගින් නිර්මානය කරන ලද ව්‍යසනයක ඍජු ප්‍රතිඵලයකි.

කොලඹ ඉන්ධන පිරවුම්හලක රැඳී සිටින රථවාහන පෝලිම [මූලාශ්‍රය: ෆේස්බුක්]

ගෘහස්ත ගෑස් හිඟයට විරුද්ධව මහනුවර, ගාල්ල , අම්බලන්ගොඩ සහ කොටගල ඇතුළු ප්‍රදේශ ගනනාවක සියගනන් ජනයා මහා මාර්ග හරස් කරමින් විරෝධතා වල නිරත වුහ. නැගෙන මහජන විරෝධය මැඩීමේ පෙර සුදානමක් ලෙස ආන්ඩුව ඉන්ධන හල සහ ගෑස් අලෙවිහල් අසල හමුදාව සහ පොලීසිය සීරුවෙන් තබා ඇත.

සහල්, පරිප්පු, එලවලු ඇතුළු සියලු ආහාර ද්‍රව්‍ය කම්කරු-පීඩිත ජනයාට දැරිය නොහැකි මට්ටමට මිල ඉහල ගොස් ඇත. පසුගිය දෙමස තුල අසීමිත ඉහල නැගුන අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක මිල ගනන් මෙසේ ය:

  • රුපියල් 130 -140 මට්ටමේ පැවතී නාඩු, සුදු සහ රතු කැකුළු හාල් කිලෝවක මිල රුපියල් 200 දක්වාත්, සම්බා කිලෝවක් රුපියල් 220 දක්වාත් ඉහල ගොස් ඇත. අප්‍රේල් මාසය තුල සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහල යනු ඇතැයි සුළු පරිමාන සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
  • රුපියල් 160 ට පැවති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 180-190 කි. ග්‍රෑම් 450 සාමාන්‍ය පාන් එකක මිල රුපියල් 110 කි.
  • පොල් ගෙඩියක් රුපියල් 90-100 සහ පරිප්පු කිලෝවක් 400-440 වන අතර සුදු සීනි කිලෝවක් රුපියල් 200 ක් සහ රතු සීනි කිලෝවක් 220 වේ. .
  • කිරි පිටි කිලෝවක මිල රුපියල් 1345 සිට 1945 දක්වාත් ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 540 සිට 790 දක්වාත් ඉහල දමා ඇත.
  • කිලෝ 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2840 සිට 4199 දක්වා ඉහල දමා ඇති අතර රුපියල් 2750 වන එම ප්‍රමානයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2000 වැඩි කරන බව ලිට්රෝ සමාගම පවසා ඇත. ඉන්දියන් තෙල් සමාගම මෙම මාසය තුල පමනක් තෙල් මිල තුන් වතාක් ඉහල දැමීය.

බඩු මිල ඉහලයාම උද්ධමනය සීඝ්‍රයෙන් ඉහලයාමට තුඩු දී ඇත. ජනවාරි මාසයේ සියයට 14 ක් වූ උද්ධමනය පෙබරවාරි මාසයේ දී සියයට 15 දක්වා ඉහල නැගුනි. ආහාර මිල උද්ධමනය සියයට 25.7ක් වි ය.

ඇමරිකාවේ ජොන්සන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ හෑන්ක් ඉන්ෆ්ලේෂන් ඩෑෂ්බෝර්ඩ් මාර්තු 24 වෙනිදා නිකුත් කල දත්ත වලට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අධි උද්ධමනය පවතින රටවල් අතර 6 වන ස්ථානයේ පවතින අතර ආසියාවේ උද්ධමනය ඉහලම රට බවට පත් වී තිබේ.

ජනාධිපති රාජපක්ෂ මාර්තු 16 වෙනිදා ජාතිය අමතා කල කතාවේ දී ; “මහජනයා අත්දකිමින් සිටින දුෂ්කරතාවන්ට විසඳුම් සොයා ගැනීමට” තමන් “දැඩි තීන්දු ගන්නා” බව ප්‍රකාශ කලේ ය. මෙම 'දැඩි තීන්දු' වනාහි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජිත කප්පාදු පිලිවෙත් හා ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම ය. එමගින් මහජනයාගේ ජීවන තත්වයන්ට එරෙහි ප්‍රහාරය තවත් තීව්‍ර කරනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල කම්කරුවෝ සහ ගොවීහු මෙම තත්වය තුල තමන් මුහුන පා ඇති දුෂ්කරතා සහ රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි කෝපය ප්‍රකාශ කලහ.

මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකු බඩු ඉහල යාම හේතුකොටගෙන තම ජීවිතය හාත්පසින් ම දුෂ්කර වී ඇති බව පැවසීය.

'වැටුපෙන් විශාල ප්‍රමානයක් වියදම් වෙන්නේ නය ගෙවීම සඳහා. මම වාහනයක් ගන්නත්, විවාහ මංගල උත්සවයටත් නය අරගෙන තිබෙනවා. ඒවා ගනිද්දී හිතුවේ මගේ පඩියෙන් ගෙවන්න පුළුවන් කියලා. ඒ විතරක් නොවෙයි පඩි වැඩිවෙයි කියලත් හිතුවා. නමුත් මේ බඩු මිල ඉහල යන හැටියට නය ගෙවීම දුෂ්කර කටයුත්තක්. දිනපතා ඉහල යන කෑම බීම වල මිල නිසා පඩිය හැරෙන්නවත් මදි. වෙනදා මම මාසෙකට ගන්න බඩු සඳහා වියදම දෙගුනයක් වෙලා'

අවුරුදු කිහිපයක පටන් හවසට පෞද්ගලික පන්ති කිරීම කරගෙන යන බවත් ඔහුගේ සමකාලින මිතුරන් බොහෝ දෙනෙකු අමතර රැකියාවක නිරත වෙන බවත් පැවසූ ඔහු පවතින තත්වය තුල එවැන්නක් කිරීමට ද හැකියාවක් නැති බව කීවේ ය.

'ධනපතියො ඉසුරුමත් ලෙස ජිවත් වෙනවා. පසුගිය දවසක මම දැක්කා මිනිස්සු තෙල් ගන්න පෝලිම්වල ඉන්න අතරේ ලංකාවේ ඉහල ධනපති කන්ඩායමක් හලාවත පැත්තේ සුපිරි වාහන පෙලපාලියක් යනවා. ඔවුන් විනෝද වීම සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. ඉතාම සුළු කොටසක් සැප විඳින අතරේ විශාල පිරිසක් අන්ත දුක් විඳිනවා' ඔහු සඳහන් කලේ ය.

'ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කරනවා වගේ මහජනතාව මුහුන දෙන ප්‍රශ්න ලංකාවට සීමා වෙලා නැහැ. වසංගතයෙන් ලෝක ආර්ථික අර්බුදය වැඩිදියුනු වුනා. රුසියානු-යුක්රේන යුද්ධය අධිරාජ්‍යවාදය විසින් අවුලවපු එකක් කියන එක පැහැදිලියි. යුද්ධය නිසා කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න තවත් උග්‍ර වෙනවා. යුද්ධයට විරුද්ධවත්, රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධවත් කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය කලයුතුයි කියන කාරනාවට මම එකඟයි'

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ මිනිස් බල කම්කරුවෙකු මෙසේ පැවසීය. “මෙහෙ දැන් මිනිස්සුන්ට වැඩත් නැහැ, මටත් අද වැඩ ලැබුනේ නැහැ., ජනවාරි සහ පෙබරවාරි මාසවල වැඩ ලැබුනේ දින 15 බැගින්. කෙතරම් බඩුමිල ඉහල ගියත් දෛනික වැටුප රුපියල් 1,000 - 1,200 පමනයි ගෙවන්නේ. රක්ෂාවක් සොයා ගැනීම අපහසු නිසා අඩු වැටුපකට වුනත් වැඩ කිරීමට දිනපතා 500 කට වැඩිය වැඩ සොයාගෙන එනවා . ගැහැනු අය වැඩියි'

ඔහු තම බිරිඳත් සමග ජීවත් වන්නේ තනි කාමරයක් සහිත කුලි නවාතැනකය. “කන්න බොන්නත් හරි අමාරුයි. එකට එකක් මිල වැඩියි. මිනිස්සු නන්නත්තාරයි. ඉස්සෙල්ලා සීනි කිලෝ එකක් රුපියල් 80 යි, දැන් 200 යි. මිනිහෙකුට පඩිය රු. 1,000 ක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ. සතොසෙ බඩු තියෙනවා කිව්වට ගියා ම නැහැ. ගෑස් ගන්න තැනැක් නැහැ, භූමිතෙලුත් නැහැ. දරලිපක් කාමරය තුල තියා ගන්න බැහැ.' ඔහු පැවසීය

කම්කරුවන් බොහොමයක් ආහාර අහේනියෙන් පෙලෙන බව ඔහු පැවසීය. 'ඊයේ පෙරේදාත් ගැහැනු අය තුන්දෙනෙක් කන්නේ නැතිව ඇවිල්ලා කලාපයේ පිවිසුන් දොරටුව අසල කලාන්තේ හැදිලා වැටුන . ඒගොල්ල දවසම බඩගින්නේ ඉඳල තියෙන්නේ. කිසිම ධනපති ආන්ඩුවකට මහජනයාගේ ප්‍රශ්න විසඳන්න බැහැ' ඔහු කීවේ ය.

'පසුගිය මැතිවරනවලදී මම කිසිම පක්ෂයකට ඡන්දෙ දුන්නේ නැහැ. දැන් ඡන්දය දාපු අයටත් තිත්ත වෙලායි තියෙන්නේ. මට කිසිම දේශපාලන පක්ෂයක් ගැන විශ්වාසයක් නැහැ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලාට ජනතා විමුක්ති පෙරමුන 1988-89 කාලයේදී කල සාහසික ක්‍රියාවන් ගැන මට හොඳට මතකයි' ඔහු කීවේ ය.

තිදරු පියෙක් වන හතලිස් දෙහැව්රිදි සීලන් පුදූකුඩිඉරුප්පුවේ පදිංචි ගොවියෙකි. ප්‍රමානවත් ජලය නොමැතිකම සහ රසායනික පොහොර තහනම හේතුවෙන් ගොවිතැන විනාශවීම නිසා ඔහු ගොවිකම අත්හැර දැමීය. බිරිඳ සමග කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නවාතැන් ගෙනසිටින ඔහු මිනිස් බල කම්කරුවෙකු ලෙස විවිධ තැන්වල දෛනික රැකියා කරයි. ඔහුගේ බිරිඳ ද කටුනායක ඇඟලුම් කම්හලක සේවිකාවකි.

දිනපතා වැඩ නොලැබෙන බවත් වැඩක් ලැබුනොත් දිනක කුලිය රුපියල් 1300-1500 අතර ලැබෙන බවත් ඔහු සඳහන් කලේ ය. 'දවස් පහක් කිසිම වැඩක් ලැබුනේ නැහැ. දවල් කෑම විතරක් වැඩ කරන තැනින් ලැබෙනවා. උදේ වේල කඩෙන් කෑවොත් රුපියල් 200 ට වැඩියි. රුපියල් 20 ට තිබුනු පරාටා රොටියක් දැන් රු 45 යි. මස් මාලු වැනි පෝෂ්‍යදායී ආහාර කෑමට එක් කර ගැනීම සීමා කරන්න වෙලා. ගමන් වියදමත් ඉහල ගිහින් වැඩකට ගිහින් ආපහු නවාතැනට එන්න ගමන් වියදම රුපියල් 500 ට කිට්ටුව යනවා. කටුනායක ඉඳල ගමේ යන්න එක්කෙනෙකුට දැන් රුපියල් 1000 ක් වැය වෙනවා. කාමරයට මාසයකට කුලිය රුපියල් 5,000 ක්. ජීවන වියදම වැඩි වුනාට දෛනික කුලීය අඩුයි.'

මහියංගනය, ගින්නෝරුවේ පදිංචි ගොවියකු වන, පී.පී. අබේරත්න පොහොර නොලැබීම නිසා වී අස්වැන්න අඩුවීමෙන් බරපතල ආර්ථික දුෂ්කරතාවකට මුහුන දී සිටින බවත් ඉන්ධන සහ බඩු මිල වැඩිවීමත් සමග එම තත්වය තවත් නරක අතට හැරී ඇති බවත් පැවසීය.

'සීනි කිලෝව උදේ ට 200 යි සවස වෙනකොට 230 යි. කිසිම පාලනයක් නැහැ. කිරිපිටි කිලෝවක් දෙදාහයි. සිමෙන්ති මිටියක මිලයි කිරිපිටි කිලෝවක මිලයි එක සමානයි. ගිය කන්නේ ගොයම් කපන මැෂිමට අක්කර දෙකහාමරට කුලිය 22,000 යි. මේ සැරේ 33,000 යි. යුක්‍රේනෙ යුද්ධෙත් එක්ක තෙල් මිල තවත් ඉහල යයි. අපිට උන්හිටි තැන් නැතිවෙයි. මේ ආන්ඩුවට ඡන්දෙ දීලා අපි රැවටුනා. ඡන්දෙ ඉල්ලන්න එනකම් ඉන්නේ සලකන්න. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුනත් අපිට කිසි ම විශ්වාසයක් නැහැ. උන් ඔක්කොම මේ විනාශයේ හවුල් කාරයෝ. අරක දෙන්නම් ,මේක දෙන්නම්, තෙල් ප්‍රශ්නෙට විසඳුම් මට තියනවා කියනවා. අපි ඔය පච අහල හැමදා ම රැවටුනා, ආයෙ කවදාවත් රැවටෙන්නෙ නැහැ'.

අම්පිටියේ පදිංචි රෙජිනෝල්ඩ් ත්‍රීරෝද රථ රියදුරෙකි. ඉන්ධන මිල වැඩිවීමත් සමග උපයන ආදායම පවුලේ නඩත්තුවට කිසිසේත් ප්‍රමානවත් නොවන බව ඔහු පැවසීය “වෙනදට සාමාන්‍යයෙන් දිනකට රුපියල් 3000-4000ක් හොයා ගන්නවා. දැන් එහෙම නැහැ. පෙට්‍රල් 1500 ගහනවා ඉතිරිවෙන ගානෙන් ගෙදරට අවශ්‍ය දේ ගත්තම ඉතුරුවක් නැහැ. ෆිනෑන්ස් එකට 21000ක් මාසෙකට ගෙවන්න ඕන. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. වෙනදට හැමදා ම දරුවන්ට යෝගට් අයිස් ක්‍රීම් අරගන ගියා දැන් ඒවා ගෙනියන්න ශක්තියක් නෑ. හරිම වේදනාකාරී ජීවිතයක් අපි කවුරුත් ගෙනියන්නෙ.' ධනපති පක්ෂවලට විසඳුම් නැහැ කියන එක පැහැදිලියි. ඔක්කොම හොරු අපි ගැන කිඹුල් කඳුලු හෙලනවා. සමාජවාදී සමානතා පක්ෂයේ වැඩපිලිවෙල ගැන දීර්ඝ ව සාකච්චා කරන්න කැමතියි'.

පි .එල්.එස්. ප්‍රසන්ත දෙනුවර අධ්‍යාපන කලාපයේ ගුරුවරයෙකි. බඩු මිල ඉහලයාමත් සමග ගුරුවරුන්ට ලැබුන සොච්චම් වැටුප් වැඩි වීම වාෂ්ප වී ඇති බව ඔහු පැවසී ය.

“තත්ත්වය බොහොම භයානකයි. ජීවිතයත් මරනයත් එක්ක සටනක් කරන්න වෙලා තියෙන්නේ. කඩේට ගිහින් රුපියල් දෙකේ මල්ලකට ගන්න සිල්ලර බඩු ටිකට රුපියල් දෙදහකට වැඩිය යනවා. මේවගේ තත්වයක් අත්විඳින්නේ පලමු වතාවට ගුරුවරු මැදිහත් වෙලා ලබාගත් හිඟ වැටුපෙන් තුනෙන් එක ලොකුවට දැක්කත්, බඩු මිල එක්ක එය වාෂ්ප වෙලා ගිහින්, හිටියටත් වඩා අමාරු තත්ත්වෙන් අපි ඉන්නේ. හාල් දෙසීය පැනලා. පරිප්පු,සීනි ,කිරි පිටි කීප ගුනයකින් මිල වැඩි වෙලා' ඔහු සඳහන් කලේ ය.

'සමාජවාදී සමානතා පක්ෂය කියන කතාව නිවැරදියි. පෙරටුගාමි සමාජවාදී පක්ෂය වැනි පක්ෂ කියන විදියට ආන්ඩුවට බලපෑම් කරල ජනතාව මුහුන දෙන ප්‍රශ්න විසඳා ගන්න බැහැ. ජවිපෙ හැමදාම කලේ විනාශකාරී දූෂිත ආන්ඩු හදන්න පන්දම් අල්ලපු එක. මැති ඇමතිකම් ගත්ත. භීෂන වකවානු දෙකක් ඇති කලා. තරුනයන් දහස් ගනනක් මරනයට පත් කලා. දැන් කියනවා අපි දූෂනයෙන්, නාස්තියෙන් තොර සුපිරිසිදු ආන්ඩුවක් හදනවලු, ඕවා පිලිගන්න තරම් අපි මන්දබුද්ධිකයෝ නොවෙ යි” ඔහු කීවේ ය.

Loading