ආන්ඩුවේ රුදුරු කප්පාදු වැඩපිලිවෙල පරාජය කරනු! සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කරනු!

[මෙය Defeat Sri Lankan regime’s brutal austerity measures! Fight for socialist policies යන මැයෙන් 2022 මාර්තු 31 වැනි දින පල වූ සසප ප්‍රකාශයේ පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන් හා දුගීන් දැනටමත් මුහුන පා සිටින දරුනු ජීවන කොන්දේසි තවත් ගැඹුරු කරවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) අනවා ඇති රුදුරු කප්පාදු පියවර ක්‍රියාවට දමමින් සිටී.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම කප්පාදු පියවරයන්ට එරෙහි ව සටන් කිරීමට මූලිකත්වය ගන්නා ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. කම්කරු පන්තිය සිය කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගන්වමින් සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට ගම්බද දුගීන් පෙල ගැස්විය යුතු ය. වැඩකරන ජනතාවට තමන් මුහුන දෙන මංමුලා සහගත තත්වයෙන් ගොඩ ආ හැක්කේ මේ ආකාරයෙන් පමනි.

කොවිඩ්-19 වසංගතය විසින් උග්‍ර කරන ලද ගෝලීය ආර්ථික පරිහානියක කිඳී සිටින ශ්‍රී ලංකාවේ ධනවාදය, 1948 නාමික නිදහසින් පසු අත්නොදුටු අර්බුදයකට ඇද වැටී ඇත. යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද ධාවනය ආර්ථිකයට තවදුරටත් බැට දෙමින් තිබේ.

පෙබරවාරි මාසය වන විට රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 2.21 දක්වා හැකිලී ඇත. මාස එකහමාරක ආනයනය සඳහා ප්‍රමානවත් වන මෙම සංචිතය මේ වසරේ නැවත ගෙවිය යුතු ඩොලර් බිලියන 7 ක දැවැන්ත විදේශ නය මුදලෙන් තුනෙන් එකකට වඩා අඩු ය. ඉන්දියාව, චීනය සහ බංගලාදේශය යන රටවලින් මුදල් අතමාරු ආකාරයෙන් නිරන්තර ව ලබා ගන්නා නය මත රට එදා වේල පිරිමසා ගනී.

ආර්ථිකය පරිහානියේ මාවතක ගමන් කරයි. සංචාරක ඉපැයීම්, අපනයන සහ විදේශයන්ගෙන් ලැබෙන අනෙකුත් ආදායම් පහත වැටෙද්දී, ආනයනයන්ගේ මිල අඛන්ඩ ව ඉහල යාම හේතුවෙන්, විදේශ විනිමය සංචිතවලට පහර වැදී ඇත.

පසුගිය දෙවසර තුල ජනාධිපති රාජපක්ෂ, තම ආන්ඩුව ජාතිය බේරා ගන්නා බව ප්‍රකාශ කරමින් වැඩකරන ජනතාවගේ උර මත ආර්ථික අර්බුදයේ බර නිර්දය ලෙස පටවා ඇත. මේ මාසයේ, රූපවාහිනී කථාවකදී, ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) වෙතට අංශක 180 ක හදිසි හැරීමක් ගනිමින්, එහි කප්පාදු ඉල්ලීම් සෘජු ව ම වැලඳ ගත්තේ ය.

2022 මාර්තු 18 වැනි දින ඉහල යන මිල සම්බන්ධයෙන් වතු කම්කරුවන් සහ ගොවීන් නුවරඑලිය රාගලදී විරෝධතාවයක (ඡායාරූපය: ෆේස්බුක් / මලයගකුරුවි)

ජාත්‍යන්තර මූල්‍ය ආයතන වන ජාමූඅ සහ ලෝක බැංකුව මෙන්ම ශ්‍රේනිගත කිරීමේ ආයතන සියල්ල ම මෙම හැරී ගැනීම ඉල්ලා ඇත. ජාත්‍යන්තර බැංකු තම නය මත ප්‍රතිලාභ අඛන්ඩ ව ගලා ආයුතු බව අවධාරනය කරයි. මෑතක දී ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, සුරිනාම් සහ සැම්බියාව වැනි රටවල ද එවැනි ම මැදිහත්වීම් සිදු කර ඇත.

පෙර වසරට සාපේක්ෂව ගත්කල, දැනටමත් ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේ සිට දෙගුනයක් වී ඇති අතර පෙබරවාරි මාසයේ දී එය සියයට 15 ක් දක්වා නැගුනි. ඉතා ඉහලට නැගී ඇති ආහාර උද්ධමනය සියයට 25.7 කි. අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ හිඟයෙන් මිලියන ගනනක් පීඩා විඳිති.

විදේශ විනිමය හිඟය ඉන්ධන ආනයනය කපා හැරීමට හේතු වී ඇති අතර පැය ගනන් විදුලිය විසන්ධි කෙරේ. පිසින ගෑස් සඳහා දිගු පෝලිම් මතු වී ඇත. ඉන්ධන නොමැතිව රාජ්‍ය හා පෞද්ගලික ප්‍රවාහනය අඩාල වී තිබේ. පිසින ගෑස් හෝ විදුලිය නොමැතිව බේකරි සහ ආපනශාලා ඇතුලු කුඩා පරිමාන ව්‍යාපාර දහස් ගනනක් වසා දැමීමට බල කෙරී ඇත. මෙම අර්බුදය කෙතරම් දරුනුද යත් තම ත්‍රිරෝද රථවලට පෙට්‍රල් ගැනීම සඳහා පෝලිම්වල සිටි වයෝවෘද්ධ පුද්ගලයන් හතර දෙනෙකු මිය ගිය අතර පෙට්‍රල් පෝලිමක ඇති වූ ආරවුලකින් තවත් පුද්ගලයෙක් මිය ගියේ ය.

ජාමූඅ මාර්තු 2 දා ශ්‍රී ලංකාව සඳහා සිය කප්පාදු වට්ටෝරුව නිවේදනය කලේ ය. එහි ම්ලේච්ඡ පියවර අතරට, අයවැය හිඟය ගැඹුරින් කප්පාදු කිරීම, පොලී අනුපාත ඉහල දැමීම, භාන්ඩ හා සේවා බදු වැඩි කිරීම, රුපියල අවප්‍රමානය කිරීම සහ රාජ්‍ය අංශය තවදුරටත් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලත් වේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජාමූඅ සහ ලෝක බැංකුව සමග ගිවිසුම් සම්පූර්න කිරීම සඳහා අප්‍රේල් මාසයේදී වොෂින්ටනයට යාමට නියමිතය.

ජාමූඅ නිවේදනයෙන් සති තුනක කාලය තුල, බලධාරීන් විසින් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 50 ක දැවැන්ත අගයකින් අවප්‍රමානය කර ඇත. ඉන්ධන මිල සියයට 50 කින් සහ දුම්රිය ප්‍රවාහන වියදම සියයට 58 කින් පමන ඉහල ගොස් ඇත. විදුලිය හා ජල ගාස්තු විශාල ලෙස ඉහල යාමට නියමිත ය. රාජ්‍ය අංශයේ රැකියා සහ වැටුප් කප්පාදුව න්‍යාය පත්‍රයේ ඇති අතර සමාජයේ “දුප්පත් කොටසට” උපකාර කිරීමේ මුවාවෙන් සමාජ සහනාධාර කප්පාදු කිරීමට නියමිතය.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ මිල ඉහල යාම “අපගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතූන් මත දිගට ම පවතිනු ඇතැ” යි රාජපක්ෂ සිය ජාතික දේශනය අතරතුර ප්‍රකාශ කලේ ය. මෙම තත්වය දරා ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත්, මෙම විනාශකාරී තත්වයට වගකිව යුත්තේ ඔහුගේ ආන්ඩුව සහ සමස්තයක් ලෙස පාලක පන්තිය විසින් ආරක්ෂා කරනු ලබන ලාභ පද්ධතියයි.

මෙම කප්පාදු පියවර සාමකාමී ව ක්‍රියාත්මක කල නොහැකි බව දන්නා රාජපක්ෂ ඒකාධිපති පාලනයකට මාරු වීමට සූදානම් වෙමින් සිටියි. තමන්ගේ මුලු ජනාධිපති ධුර කාලය තුල ම ඔහු රාජ්‍ය පරිපාලනය මිලිටරිකරනය කර ඇත. වැටුප් වැඩි කිරීම්, මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා අරමුදල් මෙන්ම ගොවීන් සඳහා පොහොර සහනාධාරය ද කපා හල ඔහු සන්නද්ධ සේවා සහ පොලිසිය සඳහා වියදම් ඉහල නංවා ඇත.

කෝපාවිෂ්ට ජනතාව පාලනය කිරීම සඳහා ආන්ඩුව පසුගිය සතියේ ඉන්ධන පිරවුම්හල් වලට හමුදා නිලධාරීන් යෙදවී ය.

ජාමූඅ වැඩපිලිවෙලට සහයෝගය ලබාගැනීම සඳහා රාජපක්ෂ පසුගිය සතියේ සර්ව පාක්ෂික සමුලුවක් කැඳවී ය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය, දෙමල ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුලු විරුද්ධ පක්ෂ සමග ආන්ඩුවේ සභාග හවුල්කරුවන් ඊට සහභාගී වී ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට ඔවුහු තම පිටුබලය ප්‍රකාශ කලහ.

ප්‍රධාන විරුද්ධ පක්ෂ - සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) - ආන්ඩුව සමග සාකච්ඡා කිරීමට කිසිවක් නැතැයි පවසමින් මෙම සමුලුවට සහභාගී වූයේ නැත. ජනතාව අතර පැතිර පවතින කෝපය ගසා කෑම අරමුනු කරගෙන ඔවුන් දෙසාබාන වාචාල කථා අමු ව්‍යාජයන්‍ ය.

ආන්ඩුව පලවා හැරීමට මහ මැතිවරනයක් පවත්වන ලෙස ඉල්ලමින් සජබ රට පුරා රැස්වීම් පවත්වයි. ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව සිය දැවෙන විරෝධය පල කිරීමට දහස් ගනනක් ඒවාට සහභාගී වූහ. කෙසේ වෙතත් ජාමූඅ වෙත ආන්ඩුව යාම ගැන සජබට කිසිදු ප්‍රශ්නයක් නැත. ඇත්තෙන්ම ඔවුන් ජාමූඅ වෙත යන ලෙස පසුගිය වසරේ  ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

ආන්ඩුවේ සාපරාධී ප්‍රතිපත්ති නිසා කොවිඩ්-19 වසංගතය පැතිරී යද්දී, පසුගිය වසරේ සජබ නායක සජිත් ප්‍රේමදාස, දේශපාලන සටන් විරාමයක් ද ඉල්ලා සිටියේ ය. නායකයින් අවධානය යොමු කල යුත්තේ “තමන්ගේ පුද්ගලික අභිලාෂයන් පසෙකින් තබා අපගේ පුරවැසියන් ජීවත් කරවීම සහ රට “අරාජිකත්වයට” වැටීම වැලැක්වීම කෙරෙහි” යයි ඔහු පැවසුවේ ය.

1980 ගනන්වල, බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් තන්ත්‍රයේ කම්කරු පන්ති විරෝධී පිලිවෙත් අනුයමින් “තේරී පත් වූ ආඥාදායකත්වයක්” ලංකාවේ ද පිහිටුවිය යුතු යයි ප්‍රේමදාස ජනවාරි මාසයේ කියා සිටියේ ය.

ජවිපෙ ද “ඉවසුවා ඇති, බලයෙන් ඉවත්වී ගෙදර යනු' යයි ආන්ඩුවට කියමින් රැස්වීම් පවත්වයි. නිදහසින් පසු ගෙවී ගිය වසර 74 තුල සෑම දේශපාලන පක්ෂයක්ම අසාර්ථක වූ බව පවසමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 'ජනතා ආන්ඩුවක්' පිහිටුවන ලෙස ඉල්ලා සිටියි.

'මහජන ආන්ඩුවක්' බලයට පත්වන්නේ කෙසේ ද යන්න හෝ එය කරන්නේ කුමක්ද යන්න ගැන දිසානායක කිසිවක් නො පැවසුවේ ය. ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය පිලිබඳ ඔහුගේ නිශ්ශබ්දතාවය, ජවිපෙ ද එවන් පියවර ගන්නා බවට පැහැදිලි ලකුනකි.

ඇත්තෙන්ම, වෙලඳපොල ගැති ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකල ආන්ඩුවලට ජවිපෙ යලි යලිත් පිටුබලය දී ඇත. 2004 දී ඔවුන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සභාගයට ඇතුලු වූ අතර ජවිපෙ ඇමතිවරු, ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට උදව් කලහ.

සජබ සහ ජවිපෙ ආන්ඩුවට “විරුද්ධ” වන්නේ, එහි ප්‍රතිගාමී ප්‍රතිපත්ති නිසා නොවේ. පාලක පන්තියේ සෙසු කොටස් මෙන්ම ඔවුහු ද වැඩෙන දැවැන්ත මහජන විරෝධය කෙරෙහි භීතියට පත්ව එය සමහන් කිරීමට වෙර දරති. මෑත පලවූ සන්ඩේ ටයිම්ස් කතුවැකියෙන් අනතුරු ඇඟවූ පරිදි, 'අඛන්ඩ ව නැගෙන මහජන උද්ඝෝෂන සමග දේශපාලන අස්ථාවරත්වය වැඩෙන තත්වයක ජාමූඅ හි කෝකටත් තෛලය [ක්‍රියාවට දැමීම] පහසු නොවනු ඇත.'

විපක්ෂ නායකයන්ගේ පුහු වාචාල කතාවලින් කිසිවකුත් මුලා නොවිය යුතු ය. ධනේශ්වර ක්‍රමය උපරිමයෙන් ආරක්ෂා කරන සජබ සහ ජවිපෙ වත්මන් අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමේ දී රාජපක්ෂ මෙන් ම නිර්දය වනු ඇත.

එසේම, විරුද්ධ පක්ෂවල ව්‍යාජ ව්‍යාපාර පිටුපස කම්කරුවන් හා තරුනයින් දැක්කීමට උත්සාහ කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ සමාජවාදී ජනතා සංසදය වැනි විවිධ ව්‍යාජ-වාම කන්ඩායම් කෙරෙහි ද විශ්වාසයක් නොතැබිය යුතු ය.

මෙම ද්‍රෝහී ව්‍යාජ වාම කන්ඩායම් පසුගිය සති අන්තයේ 'ජන අරගල ව්‍යාපාරයක්' ප්‍රකාශයට පත් කිරීම සඳහා මහජන රැස්වීමක් පවත්වා 'ආන්ඩුව පන්නා දමමු' යැයි පැවසූ හ. කුමක් කිරීමට ද! එහි ප්‍රකාශිත වැඩපිලිවෙල වන්නේ 'ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා බලයට පත්වන මීලඟ ආන්ඩුව කුමක් වුවත්, ඊට බලපෑම් දැමීමට සහ එය සමඟ කේවල් කිරීමට මහජන බලවේගයක්' ගොඩනැගීමයි.

ප්‍රබල බලවේගයක් වන කම්කරු පන්තිය දැනටමත් ඉස්මතුවෙමින් සිටියි. සෞඛ්‍ය, දුම්රිය, අධ්‍යාපනය, තැපැල්, ඛනිජ තෙල්, වරාය සහ වතුකරය ආදී අංශවල ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් පසුගිය වසර පුරා වැඩි වැටුප් හා දීමනා ඉල්ලා වැඩ වර්ජන ක්‍රියාමාර්ගයන්හි සහ විරෝධතාවන්හි නිරත වී ඇත. එහෙත්, මෙම අරගලවලින් නිශ්චිත ව කිසිවක් දිනාගෙන නැත්තේ, ආන්ඩුවට බලපෑම් කිරීමෙන් හා කේවල් කිරීමෙන් කම්කරුවන්ට ඉල්ලීම් දිනාගත හැකිය යන මිත්‍යාව ධනේශ්වර ගැති වෘත්තීය සමිති විසින් ප්‍රවර්ධනය කර ඇති බැවිනි.

බහුතරයක් රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැඩවර්ජන ක්‍රියාමාර්ග සාපරාධී ක්‍රියා බවට පත්කරමින් ආන්ඩුව පැන වූ මර්දනකාරී අත්‍යවශ්‍ය මහජන සේවා පනතට කිසිදු වෘත්තීය සමිතියක් විරුද්ධ වී නැත. සියලුම වෘත්තීය සමිති, දේශපාලන සංස්ථාපිතය සමඟ එක් හෝ වෙනත් ආකාරයකින් ගැට ගැසී කම්කරු පන්තියේ අරගල මර්දනය කිරීම සඳහා එහි කාර්මික පොලිස් බලකාය ලෙස ක්‍රියා කරයි.

වැඩකරන ජනතාවට තවත් ධනේශ්වර ආන්ඩුවකට බලයට ඒමට ඉඩදිය නොහැක. මොනම බලපෑම් දැමීමකින් හෝ කේවල් කිරීමකින් ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාර නතර වන්නේ නැත. කම්කරුවන් තින්දු තීරන ගැනීමේ අයිතිය තමන්ගේ අතට ගෙන, නාගරික හා ගම්බද දුගීන් පෙලගස්වා ගනිමින්, සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් කල යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ, රාජපක්ෂ තන්ත්‍රය වෙනත් ධනේශ්වර ආන්ඩුවකින් නොව, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීමට කැපවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කල යුතු බවයි.

එවන් අරගලයක පලමු පියවර වන්නේ, කම්කරුවන්ට තම පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම සඳහා කම්හල්, වැඩපල සහ කම්කරු පන්ති නිවහන් ප්‍රදේශවල, වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීන ව, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි. තමන් මුහුන දී සිටින බියකරු තත්වයන්ට විරුද්ධ වීමට මාර්ගයක් සොයන ග්‍රාමීය දුප්පතුන්ගේ ආකර්ශනීය ධ්‍රැවයන් බවට එවැනි කමිටු පත්වනු ඇත.

සසප දැනටමත් සෞඛ්‍ය, අධ්‍යාපන අංශවල සහ වතුකරයේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට මුලපුරා තිබෙන අතර මෙම ආරම්භක පියවර වේගයෙන් පුලුල් කල යුතුව ඇත. සිය රැකියා සහ කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමට එවැනි කමිටු පිහිටුවීමේ ලා, අනෙකුත් කම්කරු කොටස්වලට අවශ්‍ය දේශපාලන සහාය ලබා දීමට අපි සූදානම්ව සිටිමු.

සසප, පහත ඉල්ලීම් සඳහා සටන් කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී:

  • සියලු දෙනාට ම සුරක්ෂිත රැකියා සහ උද්ධමනය අනුව ඉහල යන යහපත් වැටුප්!
  • මහජන සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබසාධනය පුලුල් කිරීමට බිලියන ගනන් වෙන්කරනු! කොවිඩ්-19 තුරන් කිරීම සඳහා මහජන සෞඛ්‍ය ආරක්ෂන පියවර යලි ස්ථාපිත කරනු!
  • ගොවීන්ට යහපත් ජීවිතයක් සහතික කිරීම පිනිස කෘෂිකාර්මික යෙදවුම් සඳහා සහනාධාර නැවත ලබා දෙනු!
  • මුදල් නැතැයි කියන ලාභ ක්‍රමයේ ආරක්ෂකයන්ට එරෙහි ව අප අවධාරනය කරන්නේ, සුපිරි ධනවතුන්ගේ ලාභ සඳහා නොව බහුතර සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජය මුලුමනින්ම ප්‍රතිසංවිධානය කල යුතු බව ය.
  • සියලු විදේශ නය ගෙවීම් ප්‍රතික්ෂේප කරනු!
  • ප්‍රධාන සමාගම්, වතු සහ බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරනු!

දශක ගනනාවක් තිස්සේ සිංහල කම්කරුවන් දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගෙන් බෙදා වෙන්කිරීම සඳහා දූෂිත ධනේශ්වර දේශපාලනඥයින් විසින් ප්‍රවර්ධනය කරන ලද විසකුරු වර්ගවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. සිය සමාජ තත්වයන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන් කම්කරු පන්තියට පරාජය කල හැක්කේ, පොදු පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට එක්සත් වීමෙන් පමනි.

ශ්‍රී ලංකාවේ අර්බුදය ධනවාදයේ ගෝලීය අර්බුදයක කොටසකි. ලොව පුරා සිටින පාලක පන්තීහු ස්වකීය ප්‍රතිවාදීන්ට එරෙහි යුද්ධයට සහ දේශීය වශයෙන් පන්ති යුද්ධයට යොමු වෙමින් සිටිති. කොවිඩ්-19 සම්බන්ධයෙන් ගෙන ගිය 'එය පැතිරීමට ඉඩදෙන්න' යන සාපරාධී පිලිවෙත මිලියන ගනනකගේ මරනවලට තුඩුදුන් සේ ම, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය, තවත් මිලියන ගනනක් මරා දැමෙන ව්‍යසනකාරී ලෝක යුද්ධයක් දෙසට මනුෂ්‍ය වර්ගයා ඇදගෙන යනු ලබයි.

ශ්‍රී ලංකාවේ අර්බුදයට ජාතික විසඳුමක් නැත. මේ රටේ කම්කරුවන්ගේ සගයින් වන්නේ අපකීර්තියට පත් ධනේශ්වර විරුද්ධ පක්ෂ සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම සහකරුවන් නොව තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එක හා සමාන ප්‍රහාරවලට මුහුන දෙන ලොව පුරා කම්කරුවන් ය. ලොව පුරා සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරෙන ලෙස අපි ලංකාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

ජාත්‍යන්තර ව කම්කරු පන්ති අරගල එක්සත් කිරීමේ මාධ්‍යයක් ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට ශ්‍රී ලංකාවේ කම්කරුවන් ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු සම්බන්ධ කල යුතුය.

අන් සියල්ලටත් වඩා, සමාජවාදී විකල්පයක් සඳහා විප්ලවවාදී සටනට නායකත්වය දීමට අවශ්‍ය මහජනතාවගේ පක්ෂය ලෙස සසප ගොඩනගන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading