ඉදිරිදර්ශන

ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු! විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු! කප්පාදුව හා කුසගින්න එපා! සියල්ලන්ට ආහාර, ඉන්ධන හා ඖෂධ සුරක්ෂිත කරගැනීම සඳහා සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

වැඩකරන ජනයා මුහුන දෙන යෝධ දුෂ්කරතාවන්ට ඍජු ව වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ධනපති ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින්, ලංකාව පුරා වැඩකරන ජනයා මිලියන ගනන් වීදිවලට බැස සිටිති. තමන් ඉල්ලා අස් නො වන බවත්, ආන්ඩුව විසුරුවා හරින්නේ නැති බවත්, රාජපක්ෂ උද්ධච්ඡ ලෙස ප්‍රකාශ කර ඇත. තම පාර්ලිමේන්තු බහුතරය අහිමි වුවත්, තමන් ජනාධිපති ධුරයේ දිගට ම සිටිමින් මිලිටරියේ හා පොලීසියේ පාලනය අරා සිටින බව ඔහු දැඩිව කියා තිබේ.

2022 අප්‍රේල් 6 දින කොලඹ තදාසන්න ප්‍රදේශයක් වන හෝමාගම පැවති පිකට් වැටක සසප පුවරු අතැතිව සිටින ගුරුවරු (ලෝසවෙඅ මාධ්‍ය)

සමාජවාදී සමානතා පක්ෂය (සසප) “ගෝඨා යා යුතුයි!” යනුවෙන් වැඩකරන ජනයා කරන ඉල්ලීම් සමග එකට සිටගනී: එහෙත් ඔහු ව විස්ථාපනය කරන්නේ කුමකින් ද? රාජපක්ෂ ව ඉවත් කිරීම ඉල්ලා සිටීම පමනක් ප්‍රමානවත් නැත. ඔහු වනාහි, දිවයින පුරා කම්කරුවන් හා ගොවීන් සූරාකෑමට හා දුගී භාවයට ඇදහෙලමින් ධනපති පන්තියේ ධනය හා අවශ්‍යතා සුරක්ෂිත කිරීමට සංවිධිත වන, දූෂිත හා ප්‍රතිගාමී ජනාධිපති රාජ්‍ය පද්ධතියක වර්තමාන අසික්කිත මුහුනත්තහඩුව පමනි.

වර්තමාන දේශපාලන අර්බුදය විසඳීමේ මූලික පියවරක් ලෙස, දරුනු ඒකාධිපති බලතල සහිත ව, කම්කරු පන්තියේ ඔලුවට තුවක්කුව මානාගෙන සිටින ජනාධිපති ධුරය වහා ම අහෝසි කල යුතු යයි සසප ඉල්ලා සිටී. 1978 දී ජයවර්ධන විසින් ස්ථාපනය කල තැන් පටන්, ධනපති ප්‍රභූවේ විධානයන් අත්තනෝමතික ලෙස පැටවීම සඳහා, ජනාධිපති ධුරය දරන ඕනෑම කෙනෙකුට හැකියාව ලබා දෙන බලතලවලින් සන්නද්ධ විධායක ජනාධිපති ධුරය යොදාගනු ලැබ ඇත්තේ කම්කරුවන්, දුගීන් හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රුදුරු ලෙස මැඩීම පිනිස ය.

පසුගිය සතියේ දී, මහජන විරෝධතා වැලැක්වීම සඳහා මංමුලා සහගත උත්සාහයක යෙදෙමින්, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කොට ඇඳිරි නීතිය පනවා, පොලීසිය, සොල්දාදුවන් හා සන්නද්ධ රථ වීදිවලට බැස්සීම සඳහා රාජපක්ෂ ඔහුගේ ජනාධිපති බලතල යලි වතාවක් ගසාකෑවේ ය. දසදහස් ගනන් වැඩකරන ජනයා ධෛර්යය සම්පන්න ලෙස එම තර්ජනය ප්‍රතික්ෂේප කිරීම නිසා පමනක් ඔහු අසාර්ථක විය.

එහෙත් රාජපක්ෂ සිටින්නේ කල්යල් බලමිනි. ඔහුට අනතුරු ඇඟවීමකින් තොර ව ම හදිසි නීතිය පනවා යලිත් මිලිටරිය බලමුලු ගැන්විය හැකි ය. කම්කරුවන්ගේ කාර්මික ක්‍රියා තහනම් කර, සංවිධාන හා දේශපාලන පක්ෂ නීති-විරෝධී කොට, මාධ්‍ය වාරනය කරමින් හා පුද්ගලයන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම ඔහුට කල හැකි ය. මෙම ජනාධිපති ධුරය ම අහෝසි කරනු ලැබිය යුතු ය. ගෝඨාභය සමගින්, විධායක ජනාධිපති ධුරය හා ආන්ඩුව අත තිබෙන ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති රොත්ත ද උදුරා දැමිය යුතු ය.

රාජ්‍ය අංශ කම්කරුවන්ගේ වැඩ වර්ජන සාපරාධීකරනයට යොදා ගනු ලැබ ඇති අත්‍යවශ්‍ය මහජන සේවා පනත හකුලා ගත යුතු යයි සසප කියා සිටී. ආරක්ෂක හමුදාවන්ට පොලිස් රාජ්‍ය බලතල ලබා දෙන මහජන ආරක්ෂක පනත හා කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ද හකුලා ගත යුතු යයි අපි ඉල්ලා සිටිමු.

කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ අධිෂ්ටානවත් අරගලයක් හරහා පමනක් ලඟා කරගත හැකි මෙම අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනස්කම්වල අභිප්‍රායය වන්නේ, සමාජවාදී පිලිවෙත් ඔස්සේ ආර්ථිකය මූලික ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමකට ආරම්භය ලබා දීම බව, සසප අවධාරනය කරයි.

ආන්ඩුවේ මෙන් ම විරුද්ධ පක්ෂවල ද කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ ව, කම්කරු පන්තියට තම සමාජ බලය බලමුලු ගන්වමින්, දරුනු සමාජ හා ආර්ථික අර්බුදයට සිය විසඳුම ඉදිරිපත් කිරීම සඳහා, ආයෝජකයන්ගේ ලාභවලට ඉහලින් මානව අවශ්‍යතා ඉදිරියෙන් තබා ක්‍රියාකාරී වීමේ වැඩපිලිවෙලක් අපි ඉදිරිපත් කරමු.

සෑම රටක ම ධනපති ආන්ඩුවලට, වැඩකරන ජනයා මත තවතවත් දරුනු බර පැටවීම හැරෙන්නට වෙනත් පිලිතුරක් නැත. මැද පෙරදිග, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව මෙන් ම එක්සත් ජනපදය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල ද මෙම වැඩපිලිවෙල නිසා පන්ති අරගල ඇවිලෙමින් තිබේ. තමන්ගේ අරගලවල දී ශ්‍රී ලංකාවේ කම්කරුවෝ තනි වී නැත. මෝදි ආන්ඩුවේ කප්පාදුවලට හා පුද්ගලීකරන න්‍යාය පත්‍රයට එරෙහි ව, පසුගිය සතියේ දී දවස් දෙකක මහා වැඩ වර්ජනයක නියැලුනු ඉන්දියානු කම්කරුවන් ප්‍රමුඛ, සිය ජාත්‍යන්තර පන්ති සගයන් වෙත අන්‍යොන්‍ය සහයෝගය පතා කම්කරුවන්ට හැරී ගත හැකි ය.

2022 අප්‍රේල් 6 දින පේරාදෙනියේ ගලහ හන්දියේ පැවති ශිෂ්‍ය විරෝධතාවක් (ලෝසවෙඅ මාධ්‍ය)

කල යුත්තේ කුමක් ද? කම්කරුවන්ගේ හා දුගීන්ගේ දැවෙන සමාජ අවශ්‍යතා කිසිවක් ලබා දීමට, ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය සම්පූර්නයෙන් ම අසමත් ය. තම ලාභ හා ධනය පරදුවට තැබී ඇති විට, මොන ම ආයාචනයක් හෝ පීඩනයක් නිසා ඔවුන් තම ගමන් මාවත වෙනස් නො කරනු ඇත.

ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් ද පසුගිය වසර දෙක පුරා මහා වැඩ වර්ජන හා විරෝධතා රැල්ල මැඩීමේ ද්‍රෝහී භූමිකාවක් ඉටුකර ඇති වෘත්තීය සමිතිවලින් ද ස්වාධීන ව, තමන්ගේ ම සංවිධාන ස්ථාපිත කරගැනීමෙන් පමනක්, කම්කරු පන්තියට තම අවශ්‍යතා සඳහා සටන් කල හැකි ය.

කම්කරු පන්තියේ තමන්ම සංවිධානය වීමේ පලමු පියවර ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සසප කැඳවුම් කරයි. අනෙකුත් කම්කරුවන්ට ද එම පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. රට පුරා කම්හල්, වැඩපොලවල්, වතු හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා ගන්නා ස්වාධීන ක්‍රියාකාරී කමිටු ස්ථාපනය කරන්න. කම්කරු පන්තියේ එවන් සටන් සංවිධාන ගොඩනැගීමට අපි සෑම දේශපාලන සහයෝගයක් ම දෙන්නෙමු.

ධනපතියාගේ ජාතික රාජ්‍ය හා පුද්ගලික දේපොල පද්ධතිය ඇතුලත, ඔහුට දරා සිටිය හැකි දෙයට ගැලපෙන ලෙස කම්කරු පන්තිය පටි තද කරගත නො යුතු යයි සසප අවධාරනය කරයි. ඒ වෙනුවට, කම්කරු පන්තිය සමාජ හා ආර්ථික අර්බුදයට තමන්ගේ ම පන්ති විසඳුම ඉදිරිපත් කල යුතු ය.

මහජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීම සඳහා වන ක්‍රියාකාරී කමිටු වැඩකටයුතුවලට ජීවය සැපයීම පිනිස, අපි පහත දැක්වෙන ක්‍රියා මාර්ගය යෝජනා කරමු:

  • මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා! බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

ධනපති පන්තිය, යෝධ ලාභ කඳුගසා ගැනීම සඳහා නිෂ්පාදන මාධ්‍යවල හා බෙදාහැරීමේ තම අයිතිය ගසාකයි. සිය අත්‍යවශ්‍ය අවශ්‍යතා සම්පාදනය කරගැනීමට කම්කරු පන්තියට පවතින එක ම මාවත වන්නේ, ධනපතියන් අතින් ඒවා උදුරාගෙන, වර්තමාන පීඩාව හා කාලකන්නිකම අවසන් කිරීම සඳහා යොදාගත හැකි ආකාරයට සම්පත් ඒකාග්‍ර කර ගැනීමයි.

  • සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

රාජපක්ෂ ආන්ඩුව එහි කටුක කප්පාදු පියවරයන් පිලිබඳ ව දොස් පවරන්නේ, ගෝලීය බැංකු වෙත බිලියන ගනන් ඩොලර් ආපසු ගෙවීමේ අවශ්‍යතාවට ය. විරුද්ධ පක්ෂ ද මෙයට එකඟ වෙති. මේ වසරේ දී ජාත්‍යන්තර බැංකුවල පෙට්ටගම් වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ගෙවීම වෙනුවට, වැඩකරන ජනයාට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා ගෙවීමට එම මුදල් යොදාගත යුතු ය.

  • බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

ලෝක අසමානතා දත්ත ගොනුවට (World Inequality Database) අනුව, 2021 දී ලංකාවේ සමාජයේ ඉහල ම ධනවත් සියයට 10 දිවයිනේ ධනයෙන් සියයට 63.8ක යෝධ ප්‍රමානයක් අත්කර ගෙනසිටි අතර, පහල සියයට 50 සතුව තිබුනේ යන්තම් සියයට 4.3ක් පමනි. කම්කරු පන්තිය විසින් නිර්මිත මෙම දැවැන්ත ධනය අත්පත් කරගෙන, සමාජ අවශ්‍යතාවේ පදනම මත බෙදාහරිනු ලැබිය යුතු ය.

  • දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු!

තම තියුනු ආර්ථික ගැටලුවලින් එලියට මාවතක් සම්පාදනය කිරීම මගින්, පීඩිත ගම්බද ජනයා සහ සිය අත්‍යවශ්‍ය උවමනා කම් ඉටු කර ගැනීමට අසමත් සිටින ඉහල නය බරින්, වියදම් අධික සැපයුම් හා මිල ගනන් හේතුවෙන් පීඩනයට පත් ව සිටින කුඩාව්‍යපාර හිමියන් ආකර්ශනය වන ධ්‍රැවයක් බවට කම්කරු පන්තිය පත්වනු ඇත.

  • ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිත ව සියලු දෙනාට රැකියා සහතික කරනු! ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!

ජාමූඅ හා ජාත්‍යන්තර බැංකුකරුවන් සාර්ථක වුවහොත්, රැකියා විනාශ කිරීමේ සුලිකුනාටුවක් පැමිනෙනු ඇත. දැනට මත් ඉසිලිය නො හැකි උද්ධමනය වැටුප් ගිල දමයි. වසර ගනනාවක් තිස්සේ සිදු වී ඇති පරිදි රැකියා, වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම වෘත්තීය සමිතිවල හස්තයේ තිබීමට ඉඩ හැරියහොත් ඒවා තව දුරටත් විනාශභාග් වනු ඇත.

මෙම ක්‍රියා මාර්ගය සඳහා වන සටන, කම්කරු පන්තියට ඉදිරි මාවතක් සම්පාදනය කරමින්, එහි ධාරිතාවන් පිලිබඳ විශ්වාසයකින් එය සන්නද්ධ කොට, එය වෙතට ගම්බද ජනයා අද්දවා, ක්‍රියාකාරී කමිටු ජාලයක් වර්ධනය කිරීම හරහා, කම්කරු පන්තිය අතට බලය ගෙන, සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කිරීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සංවිධානාත්මක පදනම් සම්පාදනය කරනු ඇත.

ශ්‍රී ලංකාව තුල සටන් වදින කම්කරුවෝ, පොදු පන්ති හතුරන්ට විරුද්ධව, ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග පොදු අරගලයකට මුහුන දෙති. ලොව පුරා නැගෙන පන්ති අරගල රැල්ල, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට, විභව සගයන් ද සෑම තැනක ම කම්හල්, වැඩපොලවල් හා කාර්යාල තුල සහයෝගී පදනම් ද සම්පාදනය කරයි. ධනවාදය අවසානයකට ගෙන ඒම සඳහා, ගෝලීය සංගත, බැංකු හා මූල්‍ය ආයතනවල ආර්ථික ආධිපත්‍යයට එරෙහි ජාත්‍යන්තර ව සම්බන්ධීකෘත අරගලයක් බවට මෙය වර්ධනය කල හැකි ය.

සමාජවාදී සමානතා පක්ෂය අනතුරු ඇඟවිමක් ද නිකුත් කරයි. 1948 නාමික නිදහසේ පටන් පැවති එහි පූර්වාගමීන් මෙන් රාජපක්ෂ පාලන තන්ත්‍රය සහ එහි වර්ගවාදී සගයෝ, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා වන මංමුලා සහගත උත්සාහයේ දී වාර්ගික ප්‍රකෝපකරනයන් සහ සිංහල ස්වෝත්තමවාදී හලා හල විෂ පැතිරීම කරා යොමු වනු ඇත. එහෙත්, සියලු කම්කරුවෝ හා දුගීහු එක ම මංමුලා සහගත ආර්ථික අර්බුදයට මුහුන දෙමින් සිටිති. සියලු ආකාරවල ජාතිකවාදයන් හා වර්ගෝත්තමවාදයන් ප්‍රතික්ෂේප කිරීම, ලංකාවේ හා ජාත්‍යන්තර ව කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැගීමේ දී අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවට සමාජවාදී විප්ලවයක් අවශ්‍ය වෙයි. ඒ සඳහා විප්ලවවාදී නායකත්වයක් අත්‍යවශ්‍ය ය. පසුගිය ශතවර්ෂයේ සමස්ත ඉතිහාසය ම ප්‍රදර්ශනය කර ඇත්තේ, විප්ලවවාදී පක්ෂයකින් තොර වූ විට, කම්කරු පන්තියේ වඩාත් ම සටන්කාමී හා අධිෂ්ටානවත් අරගල පවා අනිවාර්යයෙන් පරාජය වී, ප්‍රතිවිප්ලවයට හා රුදුරු මර්දනයට මාවත විවෘත කරන බවයි.

මෙම ක්‍රියා මාර්ගය සමග එකඟ වන කම්කරුවන්ට හා තරුනයන්ට සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය කම්කරු පන්තියේ මහජන පක්ෂය ලෙස ගොඩනගන ලෙස අපි ඉල්ලමු.

Loading