ඉදිරිදර්ශන

ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාජ විරෝධතා පුපුරා යයි: ගෝලීය පන්ති අරගලයේ තීරනාත්මක වර්ධනයක්

[මෙය Massive social protests erupt in Sri Lanka: A critical development in the global class struggle යන මැයෙන් 2022 අප්‍රේල් 04 වැනි දා පලවූ ඉදිරි දර්ශනයේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සිදුවීම් ලෝකය පුරා කම්කරුවන්ගේ සමීපතම අවධානය ඉල්ලා සිටී. මෙම මහජන විරෝධතා, ජාත්‍යන්තර පන්ති අරගලයේ අනාගත වර්ධනයන් කෙරේ අර්ථභාරී බලපෑමක් ඇති කරනු ඇත.

ආහාර හා පෙට්‍රල්වල අහස උසට නැඟ ඇති මිල ගනන්, පැය ගනන් දීර්ඝ විදුලිය කපා හෙලීම්, වෛද්‍යමය සැපයුම්වල උග්‍ර හිඟය හා, වඩාත් පොදුවේ ගත් කල කිසිදා නොවූ විරූ තරම් දරා සිටිය නොහෙන මට්ටමකට නැඟුනු කම්කරු ජනයාගේ ජීවන කොන්දේසි සම්බන්ධයෙන් වන අතිමහත් සමාජ කෝපය දිවයින පුරා මහජන විරෝධතා ලෙස පුපුරා ගොස් ඇත. දක්ෂිනාංශික, සිංහල ස්වෝත්තමවාදී රාජපක්ෂ තන්ත්‍රයට වහා ඉල්ලා අස් වන ලෙස කෙරෙන කැඳවීම්වලින් සිංහල බහුතරයක් වෙසෙන දකුනේ මෙන්ම වැඩි වශයෙන් දෙමල ජනයා වාසය කරන උතුරු නැඟෙනහිර ද මහජන සහයෝගයට ජවය ලබා දී ඇත.

ප්‍රතිචාර ලෙස ආන්ඩුව පසුගිය සිකුරාදා හදිසි අවස්ථාවක් නිවේදනය කලේය. හමුදාව පොලිස් බලතලවලින් සන්නද්ධ කර ඇති අතර, ජනයා චෝදනාවකින් තොරව දීර්ඝ කාල පරිච්ඡේදයන් සඳහා රඳවා ගැනීමේ අවසරය ඔවුන්ට ලබා දී ඇත.

මෙම පියවර හා, ආරක්ෂක හමුදාවල විශාල සංඛ්‍යාවක් අගනුවර වීදිවල යෙදවීම ද මඟින්, සෙනසුරාදා කොලඹ නගරාසන්න ප්‍රදේශවල හා විශ්ව විද්‍යාල මන්ඩපවල විරෝධතාවලට දසදහස් ගනනින් සම්බන්ධවීම වැලැක්වීමට හැකි වී නැත. එවිට බියෙන් සැලී ගිය ආන්ඩුවක් කටයුතු කොට ඇත්තේ, සඳුදා උදය දක්වා පැය 36 ක ඇඳිරි නීතියක් රට පුරා පැනවීමට ය. පොලීසිය පවසන පරිදි, කොලඹ අග නගරය පිහිටා ඇති බස්නාහිර පලාත තුල පමනක් ඇඳිරි නීතිය බිඳිමින් පෙලපාලි පැවැත්වීම නිසා 664 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විපක්ෂ දේශපාලන පක්ෂවලින් ස්වාධීනව ආන්ඩු විරෝධී උද්ඝෝෂන සංවිධානය කිරීමට ප්‍රමුඛ සමාජ මාධ්‍ය වේදිකා හා පනිවුඩ යැවීමේ යෙදැවුම් වඩවඩාත් යොදා ගැනෙමින් පවතින තතු තුල, ඒවා මඟින් සිදු කෙරෙන සන්නිවේදනය ඉරිදා උදෑසන සිට අවහිර කිරීමට බලධාරීහු කටයුතු කලෝය. එහෙත් මහජන විරෝධය හමුවේ රාත්‍රිය වන විට සිය ගොරතර වාරනය අතහැර දැමීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරන ලදැයි වාර්තා වී ඇත.

ඉරිදා කොලඹ හා රට පුරා නගර හා උප නගරවල ඇඳිරි නීතිය නොතකමින්, ආන්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් ලක්ෂ ගනනින් සහභාගී වූ විරෝධතා පැවැත්වින. ආන්ඩුවේ ශ්‍රේනි තුල වැඩෙන කලබැගෑනිය මධ්‍යයේ ඉරිදා සන්ධ්‍යාවේ කැබිනට් මන්ඩලයේ සියලු දෙනා ඉල්ලා අස් වූහ.

2022 අප්‍රේල් 3 වන ඉරිදා ශ්‍රී ලංකාවේ කොලඹ ආන්ඩුවට ඉල්ලා අස් වන ලෙස බල කරමින් ශ්‍රී ලාංකිකයෝ මහමාර්ගයක් අවහිර කරති. (AP Photo / එරංග ජයවර්ධන)

ශ්‍රී ලංකාව වසර දෙකකට වැඩි කාලයක් කොවිඩ්-19 වසංගතයෙන් ආර්ථික වශයෙන් සහ සාමාජයීය වශයෙන් කැලඹෙමින් පැවතිනි. බොහෝ සෙයින් අවශ්‍යව තුබූ විදේශ විනිමය ලබා දුන් ප්‍රභවයන්ව පැවැති අන්තර්ජාතික සංචාරක ව්‍යාපාරය හා විදේශවලින් ලැබෙන ප්‍රේෂන බිඳ වැටින. පසුගිය වසර තුල ගුරුවරුන්, සෞඛ්‍ය සේවා, තේ වැවිලි හා වරාය කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ විශාල කොටස්, පහත වැටෙන මූර්ත වැටුප්වලට, කොවිඩ්-19 න් ආරක්ෂා වීමේ වැඩ පිලිවෙලවල් නොමැතිවීමට හා පෞද්ගලීකරනයට එරෙහිව වර්ජන හා විරෝධතා දියත් කොට ඇත්තාහ. මෙකී සටන්කාමී අරගල වෘත්තීය සමිති විසින් හුදෙකලා කරනු ලැබ විකුනා දමන ලදී.

දැන් රුසියාවට එරෙහිව යුක්‍රේනයේ සිදු කෙරෙන නැටෝ යුද්ධය, ආහාර හා ඉන්ධනවල මිලෙහි විශාල ඉහල යාමකට ප්‍රේරනය දී ඇත. උද්ධමනය නිල වශයෙන් සියයට 17 කි. මේ තතු උදා වී ඇත්තේ, වසංගතයේ ආලාපාලුවට පූර්වයෙන්ම වාර්ෂික ඒක පුද්ගල ගෘහස්ථ ආදායම එජ ඩොලර් 1,420ක් වූ ද, රටේ ඉහලම ධනවතුන් සියයට 1 කට වත්කමෙන් හා ආදායමෙන් යන දෙ ආකාරයෙන්ම සියයට 20 කට වැඩි පංගුවක් හිමි වූ ද, පහල සියයට 50ක් ජනයා ජාතික ආදායමෙන් සියයට 14 ක හා වත්කම්වලින් සියයට 4.3 ක පංගුවකින් ජීවිත පවත්වා ගැනීමේ අරගලයක නියුක්ත වූ ද රටකට ය.

සමස්ත විදේශ මුදල් සංචිතය ඉන් අඩකට යන්තම් වැඩි අගයක් ව ඇති තතු තුල මේ වසරේ ඩොලර් බිලියන 4 ක පොලී ගෙවීම සඳහා ගෝලීය ප්‍රාග් ධනයෙන් එල්ල කෙරෙන පීඩනය යටතේ, අර්බුදයේ මුලු බර කම්කරු පන්තිය හා ග්‍රාමීය වැඩකරන ජනයා මත පැටවීමේ සිය ප්‍රයත්නය රාජපක්ෂ ආන්ඩුව හා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය යලි දෙගුන කරමින් සිටිති. මිල ඉහල යාම් හා විදුලිබල කප්පාදු යනු හුදෙක් එහි ආරම්භය පමනෙකි.

සමාජ පිරිවැය දැවැන්ත ලෙස කප්පාදු කිරීම් ද, රජය සතු සමාගම් හා යටිතල ව්‍යුහයන් කුනු කොල්ලයට විකුනා දැමීමක් ද නිසැකවම ඉල්ලා සිටීමට නියමිත ජාමූඅ 'ඇප දීමක්' ලබා ගැනීමට ආන්ඩුව ප්‍රයත්න දරයි. චීනය මූලෝපායික ලෙස වටලා ඊට තර්ජනය කිරීමේ සිය දිනෙන් දින තීව්‍ර කෙරෙන ප්‍රයත්නය තුලට තවතවත් ශ්‍රී ලංකාව සමෝධානය කිරීම සඳහා කොලඹ ආන්ඩුවට යෙදෙන පීඩනය උත්සන්න කිරීමට බයිඩන් පාලනය ජාමූඅ මත ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන අධිකාරය භාවිතා කරනු ඇත.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය, විප්ලවවාදී සමාජ වැඩ පිලිවෙලක පදනම මත ආන්ඩුවට හා පාලක පන්තියේ සියලු පක්ෂවලට එරෙහිව කම්කරු පන්තිය ඒකරාශී කිරීමට සටන් වැද සිටී.

ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති බවටත්, ජනයා ගෝලීය 'වෙලඳ පොල' බලවේගවලින් රැක ගැනීමට හා අත්‍යවශ්‍ය මහජන සේවා ලබාදීමට සම්පත් නොමැති බවටත් ධනේශ්වර ස්ථාපිතය එක හඬින් ඝෝෂා කරති. සමාජවාදී සමානතා පක්ෂය (සසප), අධෛර්යමත්භාවයේ හා අපේක්ෂා භංගත්වයේ මනෝභාවයන් වපුරා ලීම අරමුනු කර ගත් මෙම තර්ක ප්‍රතික්ෂේප කරයි. කම්කරු පන්තිය රටේ මූල්‍ය, කාර්මික හා ස්වාභාවික සම්පත් පවරා ගත යුතුයැයි එය අවධාරනය කරයි. ශ්‍රී ලංකාවේ සම්පත් සමාජයේ උත්සුකයන් සඳහා ඒකරාශී කර ගැනීමට නම්, කම්කරු පන්තියේ හා ග්‍රාමීය ජනයාගේ විප්ලවවාදී දේශපාලන බලමුලු ගැන්වීමක් හරහා ධනේශ්වර පාලක පන්තියේ ධනය අත්පත් කර ගත යුතුව ඇත. ග්‍රාමීය දුගීන් සමඟ සන්ධානගත කම්කරු ආන්ඩුවක් පිහිටුවා ගැනීම හරහා ධනේශ්වරය දේශපාලන බලයෙන් නෙරපා හල යුතුය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ පාලක පන්තියට එරෙහිව පන්ති අරගලයේ වර්ධනය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන අතරතුරම, රට තුල දිග හැරෙමින් පවත්නා අර්බුදය එහි ජාත්‍යන්තර සන්දර්භය තුල දැක ගත යුතුයැයි සසප අවධාරනය කරයි. එබැවින්, පක්ෂයේ මැදිහත්වීම ජාත්‍යන්තර මූලෝපායයක් මත පදනම් වේ.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් වර්ධනය වෙමින් පවතින ගෝලීය කම්කරු පන්ති නැඟිටීම දෙසට හැරවීමට සසපය සටන් වදින්නේ මේ නිසා ය. නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් බීජේපී ආන්ඩුවේ ආයෝජක හිතවාදී ප්‍රතිපත්තිවලට විරුද්ධව පසුගිය සතියේ දින දෙකක මහා වැඩ වර්ජනයට එක් වූ ලක්ෂ සිය ගනනක කම්කරුවන් ද ඇතුලු ඉන්දීය කම්කරුවන්ට එය පෝක් සමුද්‍ර සන්ධිය හරහා විශේෂ ආයාචනයක් කරයි.

ඉන්දීය විදේශ ඇමති එස්. ජයිෂන්කර් ශ්‍රී ලංකාවේ ධනපති පන්තියට දේශපාලන හා ආර්ථික සහාය පිදීමට පසුගිය සතියේ කොලඹට පැමිනියේය. ඉන්දියානු සාගරය තුල චීනයට එරෙහි ක්‍රියාන්විතයන් සඳහා වේදිකාවක් ලෙස මෙම දිවයිනේ සේවය ලබා ගැනීමේ තමන්ගේ හා වොෂින්ටනයේ ඉල්ලීම් සම්බන්ධයෙන් බල කර සිටීමට නව දිල්ලිය මෙම අර්බුදය භාවිතා කරයි. එහෙත් ඉන්දීය පාලක පන්තියේ මහත් ම භීතිය වන්නේ ශ්‍රී ලංකාවේ සමාජ පිපිරීම තමිල්නාඩුවේ හා ඉන්දියාව පුරා පන්ති අරගලවලට උත්තේජනයක් වනු ඇතිය යන්නයි. 1947 දී උපමහාද්වීපය වර්ගවාදී ආකාරයෙන් කැබැලි කිරීම හරහා නිර්මිත ප්‍රතිගාමී රාජ්‍ය පර්යාය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය විසින් අස්ථාවර කරනු ලැබෙතැයි ඉන්දීය පාලක පන්තිය බියපත් වූ 1987 දී, ඉන්දීය හමුදා මැදිහත් වූහ.

ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන අර්බුදය වූ කලී, ලෝක ධනේශ්වර ක්‍රමය ගිල ගත් අර්බුදයේ වඩාත් ඉහල ප්‍රකාශනයකි. සදා ගැඹුරු වෙමින් පැවැති සමාජ අසමානතාවයේ ද, යලියලිත් පැන නැඟුනු ආර්ථික අර්බුදවල ද, අධිරාජ්‍යවාදී ආක්‍රමනකාරීත්වයේ හා යුද්ධයේ ද දශක ගනනාවකින් ඒ වන විටත් වියවුල්ව පැවැති පන්ති සම්බන්ධතා, වසංගතයෙන් හා යුරෝපයේ යුද්ධය පැතිර යාමෙන් ආර්ථික වශයෙන් හා දේශපාලනික වශයෙන් අස්ථාවරත්වයට පත් ව ඇත.

සර්පිලාකාරව ඉහල නැඟෙන මිල ගනන් හා ආහාර හිඟකම නිසා අප්‍රිකාවේ, මැද පෙරදිග හා ආසියාවේ බිලියන සංඛ්‍යාත ජනයා දරිද්‍රතාවයට, සා ගින්නට හා දුර්භික්ෂයට පවා මුහුන දී සිටින තතු තුල, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ස්ථාපිත ආයතන මහජන සමාජ කැලඹිලි පිලිබඳ තැවුල් සහගත අනතුරු හැඟවීම් නිකුත් කරමින් සිටිති. ඉරාකයේ හා සුඩානයේ සිට ටියුනීසියාව දක්වා මැද පෙරදිග සිසාරා බහුජන වැඩ වර්ජන හා විරෝධතා දැනටමත් පුපුරා ගොස් ඇත.

එමෙන්ම, අධිරාජ්‍යවාදී කේන්ද්‍රස්ථාන තුල, වසංගතයට ද, යුක්‍රේනයේ බලල් අත් යොදවා රුසියාව සමඟ පවත්වා ගෙන යනු ලබන යුද ගැටුම හා එක පෙලට සිටිමින් දියත් කර ඇති ආර්ථික යුද්ධයේ ප්‍රතිවිපාකවලට ද, පාලක පන්තිය දක්වන අනර්ථකාරී ප්‍රතිචාරයෙන් තෙල් ඉසිනු ලැබ පන්ති අරගලය ශීඝ්‍රයෙන් තීව්‍ර වෙමින් පවතී. ස්පාඤ්ඤය තුල ට්‍රක් රථ රියැදුරෝ, PSOE - පොදෙමොස් ආන්ඩුවේ අන පරිදි සිදු කෙරුනු දැවැන්ත පොලිස් මර්දනයක් නොතකා ඉන්ධන මිල වැඩි වීමට එරෙහිව සති ගනනක වර්ජනයක් පැවැත්වූහ. එක්සත් ජනපදය තුල පසුගිය වර්ෂයේ ආරම්භ වූ වර්ජන රැල්ල තවතවත් ප්‍රසාරනය වෙමින් පවතී. මෙම පන්ති ව්‍යාපාරය ලක්ෂනනය වී ඇත්තේ, දශක ගනනාවක් පුරා පන්ති අරගලය මැඩ පවත්වා ගෙන සිටි කෝපරේට්වාදී වෘත්තීය සමිතිවලට එරෙහිව වර්ධනය වෙමින් පවතින කම්කරු කැරැල්ලක් මඟිනි.

මූලික අභියෝගය වන්නේ ලෝක ගෝලීය කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිරෝධය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන සවිඥානක හා ඒකාබද්ධ අරගලයක් බවට පරිවර්තනය කිරීමයි.

දැන් දිවයින කම්පනය කරමින් පවත්නා අර්බුදයට පිලිතුරු ලෙස, ශ්‍රී ලංකාවේ ධනපති පන්තියට, එහි පක්ෂවලට හා රාජ්‍යයට එරෙහිව වැඩකරන ජනයා තමා පසුපස ඒකරාශී කර ගනිමින්, කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලයක් ලෙස ක්‍රමානුකූලව බලමුලු ගැන්වීම සඳහා, සමාජවාදී සමානතා පක්ෂය සංක්‍රමනීය ඉල්ලීම්වලින් යුත් වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරයි.

ආහාර, ඖෂධ හා ඉන්ධන ඇතුලු තීරනාත්මක වැදගත්කමකින් යුත් භාන්ඩ බෙදා හැරීම කම්කරු පන්තියේ පරීක්ෂාව හා පාලනය යටතේ තැබිය යුතුය. සුපිරි ධනවතුන්ගේ ධනය ද, බැංකු සහ ප්‍රධාන දේශීය හා අන්තර්ජාතික සමාගම්වල ලාභ සහ මූල්‍ය වත්කම් ද අත්පත් කර ගෙන, සමාජ අවශ්‍යතා වෙනුවෙන් ඒවා යෙදවිය යුතුය. වෝල් වීදියේ, ලන්ඩනයේ හා ටෝකියෝවේ වසන ලේ උරා බොන රකුසන් තෘප්ත කරනු පිනිස සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනයේ අවසාන රුහිරු පොද දක්වා උකහා ගත යුතු නැත.

මෙම පියවර හා වැඩකරන ජනයාගේ මූලික සමාජ අවශ්‍යතා සපුරා ලීමට අවශ්‍ය සියලු පියවර සඳහා සටන් කිරීමට, වැඩපොලවල හා නිවහන් ප්‍රදේශවල, වෘත්තීය සමිතිවලින් ද, ධනේශ්වරයේ සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් හා ඔවුන්ගේ සුලු ධනපති සහායකයන්ගෙන් ද ස්වාධීනව, කම්කරු හා ක්‍රියාකාරී කමිටු ගොඩ නැඟීමට සසප සටන් වදී. මෙම කමිටු වර්ධනය වෙමින් අරගලය තුල උරගා බැලෙන කල්හි, නාගරික හා ග්‍රාමීය මහජනයාගේ පුලුල්තම කොටස් තමා පසුපස ඒකරාශී කර ගනිමින්, පාර්ලිමේන්තුව හා ධනේශ්වර ප්‍රභූවේ මර්දනකාරී ආයතනවලට ප්‍රතිවිරුද්ධව, ස්වාධීන කම්කරු පන්ති බලයේ ඉන්ද්‍රියයන් බවට ඒවා පත් වනු ඇත.

වඩවඩාත් අපේක්ෂාභංගත්වයට වැටී ඇති හා අර්බුද-ග්‍රස්ත පාලක පන්තිය පොලිස්-හමුදා ආඥාදායකත්වයක් ඇටවීමට ප්‍රයත්න දරනු ඇතැයි සසපය දිගටම මහජනයාට අනතුරු හඟවා ඇත. දෙමල සුලුතරයට එරෙහිව ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ දශක තුනක වර්ගවාදී යුද්ධයේ ඇතැම් දරුනුතම කෲරකම්වලට වගකිව යුතු යුද අපරාධකරුවෙකු වන රාජපක්ෂ, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය දල්වන අතරතුර ම, සිය ආන්ඩුව හමුදා නිලධාරීන්ගෙන් පුරවා ඇත.

ශ්‍රී ලංකාව මත දැන් පටවමින් තිබෙන සමාජ ව්‍යසනයට විරුද්ධ වීමේ දී කම්කරු පන්තිය අභියෝග කරන්නේ හුදු රාජපක්ෂ කල්ලියට හා ඔවුන්ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුවට පමනක් හෝ, ශ්‍රී ලංකාවේ ධනපති පන්තියට පමනක් හෝ නොව, ලෝක ගෝලීය ප්‍රාග්ධනයට හා අධිරාජ්‍යවාදයටය. වසංගතයේ හා බුර බුරා ඇවිලෙන සමාජ අසමානතාවයේ සිට, අධිරාජ්‍යවාදී මර්දනය හා යුද්ධය දක්වා වූ දැවෙන ප්‍රශ්න කිසිවක් හෝ, ධනේශ්වර ක්‍රමය ද, එය ඓතිහාසිකව මුල් බැස ඇති පරසතුරු ජාතික-රාජ්‍යවල යල්පිනූ පර්යාය ද ලෝක ගෝලීය වශයෙන් පෙරලා දැමීමෙන් පරිබාහිරව විසඳා ලිය හැකි නොවේ.

භීතියෙන් මුසපත් ශ්‍රී ලංකා ආන්ඩුවේ නිලධාරීහු, දිවයින තුල දැන් දිග හැරෙමින් පවත්නා සිදුවීම්, ඊජිප්තුවේ එජ සහාය ලත් මුබාරක් ඒකාධිපතිත්වය පෙරලා දැමූ මහජන නැඟිටීම - 2011 අරාබි වසන්තය - හා සංසන්දනය කරති.

අරාබි වසන්තයේ කේන්ද්‍රීය පාඩම වනුයේ විප්ලවවාදී නායකත්වයේ අත්‍යාවශ්‍යක කාර්යභාරයයි. වැඩෙන කම්කරු පන්ති ප්‍රතිරෝධය ශ්‍රී ලංකාවේ ද, ඉන්දියාවේ ද, ලෝකය පුරා ද පැතිර ගත් මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම රඳා පවතින්නේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීම මත ය.

Loading