ඇඳිරි නීතිය හා පොලිස් මර්දනය ප්‍රතික්ෂේප කරමින් ලංකාවේ ආන්ඩු-විරෝධී විරෝධතා දිගට ම පැවැත්වෙයි

[මෙය Anti-government protests continue in Sri Lanka in defiance of curfew and police repression යන මැයෙන් අද දින පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමස්ත දිවයිනට ම බලපාන ලෙස ප්‍රකාශයට පත්කරන ලද පැය 36ක ඇඳිරි නීතිය, හදිසි නීතිය හා පොලිස් මර්දනය ප්‍රතික්ෂේප කරමින් ඊයේ (අප්‍රේල් 3) දහවල් කාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙසට බල කරන මහජන විරෝධතා පවත්වනු ලැබී ය.

අහස උසට නගින උද්ධමනය ද, ආහාර, ඖෂධ, කෑම පිසින ගෑස්, ඉන්ධන සහ දීර්ඝ විදුලි කප්පාදු ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය ද අරබයා දවස් කිහිපයක් තිස්සේ පැවති ස්වයං-සිද්ධ විරෝධතාවලින් අනතුරු ව, සමාජ මාධ්‍ය හරහා මෙම නිර්නාමික විරෝධතා සංවිධානය කරනු ලැබී ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂනයට බාධාකරමින් යොදවා තිබු කැරලි මර්දන පොලීසිය, 2022 අප්‍රේල් 3 (ලෝසවෙඅ මාධ්‍ය)

ඊයේ පැවති මෙම විරෝධතාවල විශාලත්වය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්විය. කොලඹට, එහි තදාසන්න ප්‍රදේශවලට හා අනෙකුත් ප්‍රාදේශීය නගරවලට කම්කරුවෝ, තරුනයෝ හා ශිෂ්‍යයෝ එක්‍රැස් වූ හ. දකුනේ ගාල්ල, හම්බන්තොට හා කරන්දෙනිය ද බස්නාහිර පලාතේ රාගම හා මීගමුව ද උතුරු මැද පලාතේ අනුරාධපුර ද එම නගර අතර විය.

ශ්‍රී ජයවර්ධනපුර, කැලනිය හා පේරාදෙනිය විශ්ව විද්‍යාලවල දී ශිෂ්‍යයන් සිය ගනනක් ද විරෝධතා පැවැත්වූ හ. වයඹ පලාතේ රෝහල් කම්කරුවෝ කුරුනෑගල හා නිකවැරටියේ දී විරෝධතාවන්ට සහභාගි වූ හ.

“විදුලිය නෑ, ගෑස් නෑ, ඉන්ධන නෑ”, “ඇඳිරි නීතිය විසඳුම ද?” “පලයන් ගෝඨා ගෙදර පලයන්! අපේ දරුවන්ට අනාගතයක් ඕන” යනාදී සටන් පාඨ සහිත පුවරු රැගෙන විරෝධතාකරුවෝ ගමන් කල හ. “අපේ ජනතාව හොඳ ජීවිතයක් ලැබීමට සුදුසුයි, හොරකම් කරපු සල්ලි ඔවුන් අතර බෙදා දෙනු” යනුවෙන් සඳහන් බැනරයක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවන් විසින් රැගෙන ගියේ ය. අනෙකුත් අය “මහජනතාවට බලය” යනුවෙන් සඳහන් සටන් පාඨ පුවරු රැගෙන ගිය හ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ, 2022 අප්‍රේල් 3 (ලෝසවෙඅ මාධ්‍ය)

විශාල පොලිස් කන්ඩායමක්කඳුලු ගෑස් හා ජල ප්‍රහාර යොදා ගෙන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම පිහිටා ඇති ගලහ හන්දියේ දී ශිෂ්‍යයන්ට ප්‍රචන්ඩ ලෙස පහර දුන් හ. විරෝධතාවේ යෙදුනු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුන් වැලැක්වීම සඳහා නුගේගොඩ විජේරාම හංදිය අසල දී ද පොලීසිය මාර්ග බාධකයක් ස්ථාපනය කලේ ය.

රාජපක්ෂ ආන්ඩුව ද එහි කප්පාදු පියවරයන් හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර ද හෙලාදකිමින් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ප්‍රන්සය හා ජපානය යන රටවල ලාංකික සංක්‍රමනිකයෝ ද ඉරිදා විරෝධතා පැවැත්වූ හ.

මහජන ක්‍රියා නැවැත්වීමේ මංමුලා සහගත උත්සාහයක් දරමින් රාජපක්ෂ, සෙනසුරාදා හවස 6 සිට සඳුදා උදෑසන 6 දක්වා පැය 36ක ඇඳිරි නීතියක් පැනවී ය. “කිසිදු ප්‍රධාන පාරක, දුම්‍රිය ස්ථානයක, ප්‍රසිද්ධ උද්‍යානයක, ප්‍රසිද්ධ විනෝද ක්‍රීඩා පිට්ටනියක හෝ එවන් ප්‍රදේශවල වෙනත් ප්‍රසිද්ධ පිට්ටනියක හෝ මුහුදු වෙරලක කිසිදු පුද්ගලයෙක් රැඳී නො සිටිය යුතු ය” යි ප්‍රකාශ කල ජනාධිපති ආඥාවක් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමෙන් පසු නිකුත් කරන ලදී.

කෝපාවිෂ්ට ජනයා ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවහන අසල මාර්තු 31 රාත්‍රීයේ පැවැත්වූ විරෝධතාවකින් අනතුරු ව අප්‍රේල් 1දා නීති තත්ත්වය ප්‍රකාශයට පත්කල රාජපක්ෂ ආන්ඩුවේ ඉන්පසු ඇඳිරි නීතිය දැමුවේය.. “මහජන ආරක්ෂාව” හා

ඉරිදා උදෑසන, ආරක්ෂක අමාත්‍යාංශය විදුලි සංදේශ නියාමන කොමිසමට සමාජ මාධ්‍ය වාරනය කරන ලෙස නියෝග කලේ ය. ඒ අනුව, ෆේස්බුක්, මැසෙන්ජර්, යූටියුබ්, වට්ස්ඇප් හා ට්විටර් ඇතුලු සියලු සමාජ මාධ්‍ය ජාලා මත වහාම අඛන්ඩ තහනමක් පනවන ලෙස සියලු අන්තර්ජාල සේවා සම්පාදකයන්ට නියෝග කෙරිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පිටත ශිෂ්‍යයෝ ඇඳිරි නීතිය ප්‍රතික්ෂේප කරමින් උද්ඝෝෂනයේ , 2022 අප්‍රේල් 3 (ලෝසවෙඅ මාධ්‍ය)

මෙවන් වාරනයක් පැනවීමට ආරක්ෂක අමාත්‍යාංශයට බලයක් නැතැයි ලංකාවේ මානව හිමිකම් කොමිසම නිගමනය කිරීමෙන් පසුව, එදින ම පශ්චාත් භාගයේ දී තහනම ඉවත් කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ සහෝදර අගමැති මහින්ද රාජපක්ෂට නව ආන්ඩුවක් බිහි කිරීමටඉඩ සලසමින් ඊයේ සවස, ආන්ඩුවේ ඇමතිවරු 26 දෙනෙක් කැබිනට් මන්ඩලයෙන් ඉල්ලා අස්වූහ. ඉල්ලා අස්වන්නන් අතර ජනාධිපතිගේ ඥාති පුත්‍ර නාමල් රාජපක්ෂ සිටි අතර, ඇමතිවරු සියල්ල ඉල්ලා අස්වීම “ මහජනයාට හා ආන්ඩුවට ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට” උදවු වනු ඇතැයි ඔහු ට්විටර් පනිවුඩයක සටහන් කලේ ය.

නව ආන්ඩුවේ සංයුතිය කවරක් වුවත්, ලංකාවේ පාලක ප්‍රභූව කම්කරු පන්තිය හා ගම්බද ජනයා මතට ම්ලේච්ඡ කප්පාදුකිරීම්, පොලිස් මර්දනය හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර තීව්‍ර කරනු ඇත.

පොලිස් මාධ්‍ය අංශයට අනුව, ආන්ඩුව අප්‍රේල් 2දා පටන් ආරම්භ කල පියවරයන් උල්ලංඝනය කිරීම නිසා පුද්ගලයන් 660ට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. “මහජන විරෝධතාවල කඩතුරාව යටතේ මහජන දේපොලවලට හානි පමුනුවන්නන්ට එරෙහි ව පොලීසිය දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇත” යි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර සිකුරාදා මාධ්‍ය හමුවක් අමතමින් පැවසී ය.

“මහජන කැලඹීම ඇති කිරීමට” සමාජ මාධ්‍ය යොදාගත්තේ යයි චෝදනා ලබා සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තිසර අනුරුද්ධ බන්ඩාර අත්අඩංගුවට ගත් එක් අයෙකි. සමාජ මාධ්‍ය උද්ඝෝෂනවල නිරත අනෙකුත් ක්‍රියාකාරිකයන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් ව බියවැද්දීමට පොලීසිය උත්සාහ දරන බව ද වාර්තා වී තිබේ.

ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), කලින් විරෝධතාවලින් ඈත් ව සිටියද ඊයේ විරෝධතාවල දේශපාලනික වාසිය ඩැහැගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ කලේ ය. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීන් දුසිමක් පමන, ඔවුන්ගේ ආධාරකරුවන් ද සමග, කොලඹ නිදහස් චතුරස්‍රය වෙත විරෝධතා පාගමනකින් ගිය හ.

නිදහස් චතුරස්‍රයේ දී සජබ නායක සජිත් ප්‍රේමදාස වාචාල ලෙස මෙසේ කීවේ ය: “ආන්ඩුව මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කර තිබෙනවා. මහජනයාට ජීවත් විය නො හැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. එයට එරෙහි ව සාමකාමී ව විරෝධතා දැක්වීමයි අපට අවශ්‍ ය.”

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විරෝධතාවේ යෙදුනු ශිෂ්‍යයන්ට පොලීසිය කඳුලු ගෑස් එල්ල කරයි, 2022 අප්‍රේල් 3 (ඡායාරූපය: ෆේස්බුක්)

ජවිපෙ සාමාජිකයෝ ද පන්නිපිටියේ සිට මහරගම දක්වා පෙලපාලියෙන් ගමන් ගත් හ. ජවිපෙ නායකයෙක් වන කේ. ඩී. ලාල්කාන්ත ඔහුගේ ආධාරකරුවන්ට මෙසේ කීවේ ය: “අපි ජනාධිපතිවරයාට කියන්නේ ගෙදර යන්න කියලා. පාලනය කරන්න පුලුවන් කෙනෙකුට ආන්ඩුව භාර දෙන්න.” ආන්ඩුව භාරගත යුත්තේ කවුරුන් ද හෝ ක්‍රියාත්මක කල යුතු ප්‍රතිපත්ති කවරක් ද යන්න පිලිබඳ ව ඔහු කිසිවක් කීවේ නැත.

රාජපක්ෂ සමග මූලික වෙනස්කම් නොමැති දේශපාලන සංස්ථාපිතයේ මෙම පක්ෂ, ආන්ඩු-විරෝධී මහජන ව්‍යාපාරය ඔවුන්ගේ පාලනයෙන් පිටත පනී යයි බිය වෙති.

රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව වැඩෙන මහජන ව්‍යාපාරයට සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැදිහත් වන්නේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක පදනම මත ය. “ආන්ඩුවේ ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් පරාජය කරනු! සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරනු!” යන එහි ප්‍රකාශය පලල් ලෙස බෙදා හරිමින් ද කම්කරුවන් හා තරුනයන් අතර සාකච්ඡාවක් අවුලුවමින් ද ඔවුහු ක්‍රියා කරති.

ලංකාවේ මහජනයා මුහුන දෙන මංමුලා සහගත තත්ත්වය පිලිබඳ උත්සුකතා පලකල රත්නපුර කහවත්තේ පාසල් ගුරුවරියක් වෘත්තීය සමිති හෙලාදැක්කා ය. “මෙම සංවිධාන පවතින තත්වයන් ගැන නිහඬ ව සිටිනවා” යි ඇය කීවා ය.

තමන්ට ප්‍රධාන ධාරාවේ කිසිදු විරුද්ධ පක්ෂයක් ගැන විශ්වාසයක් නැති බවත්, සසප ප්‍රකාශය කියවා සාකච්ඡා කිරීමට තීරනය කලේ ඒ නිසා බවත්, වැලිගම ප්‍රදේශයේ ගුරුවරියක් පැවසුවා ය.

මහනුවර රෝහලේ රසායනාගාර තාක්ෂන ශිල්පියෙක් මෙසේ කීවේ ය: “මෙම ගැටලුවල මූලාශ්‍රය නම් යෝධ සමාජ අසමානතාව තුල මට අවබෝධ වෙනවා. මර්දන නීති යොදාගනිමින් හා සමාජ මාධ්‍ය වාරනය කරමින් ආන්ඩුවට කුසගින්නේ සිටින මහජනයා මර්දනය කරන්න බැහැ. ඒත්, ධනපති දේපොල අස්වාමික කිරීම සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීමෙන් තොර ව, මෙම ගැටලු විසඳන්න බැහැ.”

Loading