කප්පාදුවලට එරෙහි මහජන විරෝධතා මර්දනය කිරීමට ජනාධිපතිවරයා හදිසි නීතිය ප්‍රකාශයට පත්කරයි

[මෙය Sri Lankan president declares state of emergency to suppress mass protests over austerity මැයෙන් 2022 අප්‍රේල් 2දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ඉන්ධන හා ගෑස් හිඟය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අහස උසට නගින මිල ගනන් හා දීර්ඝ දෛනික විදුලි කප්පාදුවලට එරෙහි ව, කොලඹ හා රටපුරා වැඩෙමින් පවතින ආන්ඩු-විරෝධී උද්ඝෝෂනවලට ප්‍රතිචාර දක්වමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (අප්‍රේල් 1) හදිසි නීතිය පැනවී ය.

2022 මාර්තු 31 බ්‍රහස්පතින්දා කොලඹ තදාසන්න ප්‍රදේශයක පිහිටි ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවාසයෙන් පිටත පැවති විරෝධතාවක දී ආන්ඩු-විරෝධී සටන් පාඨ හඬ නගන අයෙක් (ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

“මහජන ආරක්ෂාව, මහජන සාමය හා ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවාවන් පවත්වාගෙන යාම” සඳහා හදිසි තත්ත්වය අවශ්‍ය බව හදිසි නීති ප්‍රකාශයේ සඳහන් වේ. “සැපයුම් හා සේවාවන් පවත්වාගෙන යාම” පිලිබඳ ව කරන සඳහනෙන් පැහැදිලි වන්නේ, රාජපක්ෂගේ හදිසි නීතියේ සැබෑ අභිප්‍රායය හුදෙක් වර්තමාන විරෝධතා මර්දනය කිරීම පමනක් නො ව, ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට විරුද්ධ ව නැගෙමින් පවතින වැඩ වර්ජන හා විරෝධතා රැල්ලට එරෙහිව ද යොදාගැනීම බව යි.

අපනයන ආදායම් හා සංචාරකයන්ගේ පැමිනීම් තියුනු ලෙස පහත වැටීම්, විදෙස් ප්‍රේෂන ඛාදනය වීම් හා ඉහල යන විදේශ නය හේතුවෙන්, රාජපක්ෂ ආන්ඩුව දරුනු ආර්ථික අර්බුදයකට මුහුන පා සිටී. කෝවිඩ්-19 වසංගතය හා දැන් පවතින යුක්‍රේන යුද්ධය විසින් මෙම තත්ත්වය වඩාත් නරක අතට හරවා ඇත.

ඉන්ධන, කෑම පිසීමට ගන්නා ගෑස් හා ඖෂධ පවා සම්පාදනය කිරීම් කෙරෙහි තියුනු ලෙස බලපාමින් පෙබරවාරියේ දී ලංකාව සතුවුයේ මාස එකහමාරකට පමනක් ගෙවීමට ප්‍රමානවත් විදෙස් විනිමය සංචිතයක් පමනි. විදුලි බලාගාර සඳහා ඉන්ධන හිඟ වීම විදුලිබල කප්පාදුවට තුඩු දී ඇති අතර, ඉන්ධන හා ඉවීමට ගන්නා ගෑස් අපේක්ෂාවෙන් කොලඹ හා අවශේෂ ප්‍රදේශවල දීර්ඝ පෝලිම් පැවතීම සාමාන්‍ය දෙයක් වී තිබේ.

රුපියල තව දුර අවප්‍රමානය කිරීම, සහනාධාර කපා හැරීම් හා රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහකරනය කිරීම ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කරන රුදුරු පිලිවෙත් වැලඳ ගැනීමට ආන්ඩුව පසුගිය මාසයේ දී ගත් තීරනය, කම්කරු පන්තියේ රැකියා, ජීවන‌‌ කොන්දේසි හා වැටුප් වලට වඩාත් දරුනු ප්‍රහාර එල්ල කිරීමට තුඩු දෙනු ඇත.

රාජපක්ෂ ආන්ඩුවට එරෙහි වර්තමාන විරෝධතා වඩ වඩා ස්වයං-සිද්ධ හා මහා පරිමාන ස්වභාවයක් ගනිමින් පවතී. මාර්තු 31වැනි දා, ජනාධිපතිවරයාගේ නුගේගොඩ මිරිහානේ පුද්ගලික නිවහනට යන මාවත, විරෝධතාකරුවන් 100 දෙනෙකු පමන විසින් අවහිර කරනු ලැබී ය. ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදීමට උත්සාහ කල විරෝධතාකරුවෝ, “ගෝඨා, ගෙදර පලයන්” යයි හඬ නැගුවේ ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකරමිනි.

එම විරෝධතාවයේ යෙදුනු වීඩියෝ ජනමාධ්‍යවේදියෙකු වන සංජීව ගාල්ලගේ ඇතුලු පුද්ගලයන් 50 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලීසියේ ප්‍රහාරයට ලක් ව තුවාල ලැබූ ගාල්ලගේ, තමන් ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට යාම පොලීසිය විසින් වැලැක්වූ බවට පැමිනිලි කර තිබේ.

විරෝධතාව ආවරනය කල ඩේලි මිරර් පත්‍රයේ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙක් වන නිසල් බදුගේ ගේ හා වරුන වන්නිආරච්චි ගේ හිස්වලට හා අත්වලට බරපතල තුවාල සිදු වූයේ ගල් හා තියුනු ආයුධවලින් පහර දීමට ලක් වීම නිසාය. සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට විරෝධතාකරුවන් සමග වූ ගැටුම්වල දී තුවාල සිදු විය.

අත්අඩංගුවට ගත් අයගෙන් විසි අට දෙනෙකු උසාවිය හමුවට ඉදිරිපත් කරනු ලැබ, 22 දෙනෙකුට ඇප ලැබී අනෙක් හය දෙනා අප්‍රේල් 4දා දක්වා රිමාන්ඩ් භාරයේ තබා ඇත. පොලිස් කඩාපැනීම හේතුවෙන් තුවාල ලත් අනෙකුත් අය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

පොලිස් බස් රථයක් හා ජීප් රථයක් ඇතුලු වාහන කිහිපයකට මිරිහාන විරෝධතාවේ දී ගිනි තබන ආකාරය දැක්වෙන වීඩියෝ පටයකින් පෙන්නුම් කෙරෙන්නේ එහි ඒජන්ත ප්‍රකෝපකාරීන් සිටි බවයි. සමාජ මාධ්‍යවල පලකරනු ලැබ ඇති මෙම වීඩියෝ පටය, බස් රථය තිබුනේ විරෝධතාකරුවන් සිටි පැත්තේ නො ව, පොලීසිය සිටින පැත්තේ ම බව පැහැදිලි ව පෙන්නුම් කරයි. හඳුනා නො ගත් පුද්ගලයෙක් බස් රථයට ගිනි තබනු දක්නට ලැබේ. එම පුද්ගලයා වැලැක්වීමට පොලීසිය ක්‍රියා නො කල අතර, විරෝධතාකරුවන් මතට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ඇතුලු පසු ව සිදු වූ පොලිස් ප්‍රහාරය සාධාරනීකරනය කිරීමට එම සිද්ධිය යොදාගනු ලැබූ බව බලගතු ලෙස පෙන්වා දෙයි.

මිරිහානේ විරෝධතාවට සහභාගි වූ 26 හැවිරිදි අජිත් පෙරේරා අල් ජසීරා පුවත් සේවයට මෙසේ පැවසී ය: “දරාගත නො හැකි ජීවන වියදමට, ඉන්ධන හිඟයන්ට හා විදුලි කප්පාදු කිරීම්වලට විරෝධය පලකිරීමටයි අපි පැමිනියේ...ජනාධිපතිවරයාගේ නිවස වෙත පා ගමනින් යාමට ගත් තීරනය ස්වයං-සිද්ධ ව සිදු වූ දෙයක්. මහා විනාශයක් සිදු කර ඇති ජනාධිපති ඉල්ලා අස් වීමයි අපට අවශ්‍ ය.” තවත් විරෝධතාකරුවෙකු වූ 21 හැවිරිදි මොහොමඩ් අස්රි මෙසේ කීවේ ය: “ආර්ථිකය කොයිතරම් පහල අඩියකට වැටිල ද කියනව නම්, (දවසකට) අපි වේල් දෙකක් කන්නේ නැති තරම්. මගේ ජීවිත කාලය තුල කවදාවත් මේ තරම් තත්වය නරක් වෙලා නැහැ. ගෝඨා යා යුතු යි.”

කැලනිය හා ගල්කිස්ස ඇතුලු කොලඹ ප්‍රදේශයේ අනෙකුත් තැන්වල ද ආන්ඩු-විරෝධී විරෝධතා පුපුරා ගියේ ය. කැලනියේ විරෝධතාකරුවෝ කොලඹ-මහනුවර මහා මාර්ගය මත කොටන් පුළුස්සමින් එය අවහිර කලහ. විරෝධතාකරුවෙක් වූ සමන් වනසිංහ මාධ්‍ය වෙත මෙසේ කීවේ ය. “මම ඉන්නේ කේන්තියෙන්, හැම කෙනෙක්ම ඉන්නේ කෝපයෙන් ... මොනව වෙයි ද කියල කවුරුත් දන්නෙ නෑ? හැම තැනක ම විරෝධතා පැන නගීවි.”

I

විරෝධතා පැතිරී යාම වැලැක්වීමට උත්සාහ කරමින්, කොලඹ උතුර, දකුන හා මධ්‍යම ප්‍රදේශවලට මෙන් ම නුගේගොඩ, කැලනිය හා ගල්කිස්ස ප්‍රදේශවලට වහා ම ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය ක්‍රියා කලේ ය. සිකුරාදා උදෑසන 5ට ඇඳිරි නීතිය ඉවත් කෙරුනු අතර, පොලිස්පතිවරයා මුලු බස්නාහිර පලාතට ම මධ්‍යම රාත්‍රීයේ සිට සෙනසුරාදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත් කලේ ය.

සියලු විරෝධතා සාපරාධීකරනය කිරීමට රාජපක්ෂ ආන්ඩුව පියවර ගන්න බව පෙන්නුම් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සිකුරාදා ප්‍රකාශ කලේ රාජපක්ෂගේ නිවහන අසල විරෝධතා පිටුපස “අන්තවාදී කන්ඩායමක්” සිටි බව ය. මෙම චෝදනාව සනාථ කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නො කලේ ය. අත්අඩංගුවට පත් බොහෝ දෙනා “සංවිධිත අන්තවාදීන්” බව ද එය කියා සිටියේ ය.

“අන්තවාදී” චෝදනාවන් වාර්ගික නාම විශේෂනයක් ඈඳා නැති නමුත්, මහජන විරෝධතා පීලිපැන්නවීමට හා රාජ්‍ය මර්දනය සාධාරනීකරනය කිරීමට දරන ප්‍රයත්නයේ දී ප්‍රජාගනවාදය යොදාගැනීම වැඩි ඈතක නැත. 2019 පාස්කු ඉරිදා ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කල ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය, මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීමට ඩැහැගත් රාජපක්ෂ, ඔහු තේරී පත් වූ තැන් පටන් දෙමල-විරෝධී මනෝගතීන් ද අවුලවා ඇත.

අප්‍රේල් 3දා කොලඹ හා අනෙකුත් නගරවල දී රටපුරා රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව පවත්වනු ලැබීමට නියමිත විරෝධතා සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරනු ලැබෙමින් පවතී. එය සංවිධානය කරන්නෝ “අපි, අපේ රට හා අපේ අනාගතය” වෙනුවෙන් පාරට බසින ලෙස මහජනයාගෙන් ඉල්ලා ඇත. කිසිදු දේශපාලන පක්ෂයක නම රහිත ව අතින් ලියන ලද සටන් පාඨ පුවරු රැගෙන පැමිනෙන ලෙස ඔවුන් කැඳවුම් කර තිබේ.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි පාර්ලිමේන්තු විපක්ෂ සහ ආන්ඩුවේ සගයෙකු වන ජාතික නිදහස් පෙරමුන (ජානිපෙ) මෙම විරෝධතාවන්ගෙන් දුරස්ථ වුහ. ඔවුන්ගේ ප්‍රතිචාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ මහජනතාවගේ ආන්ඩු-විරෝධී කැලඹිල්ල තමන්ගේ පාලනයෙන් පිටත වර්ධනය වෙමින් පැවතීම ගැන දේශපාලන සංස්ථාපිතය තුල පැතිර පවත්නා භීතිය යි.

“පොදු මහජනයාට මෙම අර්බුදයට එරෙහි ව විරෝධය පලකිරීමට අයිතියක් ඇත” යි ජවිපෙ කනස්සලු සහගත ලෙස ප්‍රකාශ කර ඇතිමුත් මෙම විරෝධතා “හඳුනාගත හැකි හා වගවීමක් සහිත සංවිධායකයෙකුට හෝ කන්ඩායමකට පැවරිය නො හැකි” බවට උත්සුකතා පලකලේ ය.

බ්‍රහස්පතින්දා සවස් භාගයේ නිකුත් කරන ලද එජාප ප්‍රකාශයක සඳහන් වූයේ, තමන් “නිර්නාමික කන්ඩායම් විසින් සංවිධානය කරනු ලබන කිසිදු විරෝධතාවකට සහභාගි නො වන” බවයි. මෙම විරෝධතා “අරාබි වසන්තයේ ලාංකික ප්‍රභේදය” ලෙස විස්තර කල ජානිපෙ, තමන් ඇතුලු ආන්ඩු සභාගයේ පක්ෂ 11 අප්‍රේල් 3 විරෝධතාවන්ට සහයෝගය නො දෙන බව වැඩි දුරටත් පැවසී ය.

ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), ආන්ඩුවට එරෙහි ව වැඩෙමින් පවතින මහජන විරෝධය තමන්ගේ ම දේශපාලන වාසිය තකා ගසාකෑමට උත්සාහ දරමින් සිටියි. තමන් විරෝධතාවන්ට සහයෝගය දෙන බව කියා සිටි සජබ, ඒවාට තමන්ගේ සංවිධානය කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කලේය.

රාජපක්ෂ ආන්ඩුවට විවේචන එල්ල කල ද එජාප, සජබ හා ජවිපෙට එහි ආර්ථික පිලිවෙත් හා ජාමූඅ-නියෝග කරන ලද කප්පාදු පියවරයන් සමග කිසිදු මූලික මතභේදයක් නැත. ජාමූඅට යන ලෙස එජාපය හා සජබ කලින් ම ආන්ඩුවට කියා සිටියහ. ජාමූඅ පියවරයන් පිලිබඳ ව ජවිපෙ නිශ්ශබ්දතාවක් පවත්වාගෙන යන්නේ, බලයට පත්වුව හොත් තමන් ද එම පිලිවෙත් ම ක්‍රියාවට දමන බවට ඉඟිකරමිනි.

රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පියවරයන් පහසුවෙන් ක්‍රියාවට දැමිය නො හැකි බවත්, ඒවා කම්කරු පන්තියේ හා ගම්බද දුගීන්ගේ මහජන විරෝධය අවුලුවනු ඇති බවත්, එය හොඳින් දනී. හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත්තේ ද පොලිස් රාජ්‍ය පාලන විධික්‍රම මත එය වඩ වඩා රැඳී ගන්නේ ද මේ නිසා ය.

සියලු ප්‍රධාන පක්ෂ කෙරෙහි මහජනයා අතර පලව පැතිරී ඇති හතුරුකම පිලිබිඹු කරමින් අප්‍රේල් 3 විරෝධතා “අදේශපාලනික” විය යුතු ව ඇතැයි සංවිධායකයෝ ඉල්ලා ඇත. එහෙත්, තමන් මුහුන දී සිටින්නේ හුදෙක් ආන්ඩුවට එරෙහි ව පමනක් නො ව, ධනවාදය ආරක්ෂා කරන හා කප්පාදු පියවරයන්ට සහයෝගය ‌දෙන සමස්ත දේශපාලන සංස්ථාපිතයට ද එරෙහි දේශපාලන සටනකට බව කම්කරුවෝ හඳුනාගත යුතු ය.

කොතරම් විශාල හා සටන්කාමී වුවත් හුදු විරෝධතා වැඩකරන ජනයා මුහුන දෙන අර්බුදය විසඳීමට සමත් නැත. කේන්ද්‍රීය කාරනය වන්නේ “දේශපාලන එපා” යන්න නො ව, කම්කරු පන්තියේ සෞඛ්‍යය හා ජීවිත ඇතුලු සෑම දෙයකට ම ඉහලින් ලාභය තබන ධනේශ්වර පද්ධතියට අවසාන තිත තැබීම පිනිස සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයකට සටන් කිරීම යි.

සමාජවාදී සමානතා පක්ෂය මාර්තු 30දා නිකුත් කරන ලද ප්‍රකාශය කියා සිටින පරිදි: “වැඩකරන ජනතාවට තවත් ධනේශ්වර ආන්ඩුවකට බලයට ඒමට ඉඩදිය නොහැක. මොනම බලපෑම් දැමීමකින් හෝ කේවල් කිරීමකින් ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාර නතර වන්නේ නැත. කම්කරුවන් තින්දු තීරන ගැනීමේ අයිතිය තමන්ගේ අතට ගෙන, නාගරික හා ගම්බද දුගීන් පෙලගස්වා ගනිමින්, සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් කල යුතු ය.

“සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ, රාජපක්ෂ තන්ත්‍රය වෙනත් ධනේශ්වර ආන්ඩුවකින් නොව, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීමට කැපවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කල යුතු බවයි.”

Loading