රාජපක්ෂ ආන්ඩුවට ඉවත්වන ලෙස බලකිරීමට ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ මහ වැඩ වර්ජනයට එක්වෙති

[මෙහි පලවන්නේ Millions join Sri Lankan general strike to demand ouster of Rajapakse government මැයෙන් 2022 අප්‍රේල් 29දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින්, ලංකාව පුරා මිලියන ගනනක් කම්කරුවෝ ඊයේ පැවති මහ වැඩ වර්ජනයට සහභාගි වූ හ. සමස්ත කම්කරුවන් ම පාහේ සහභාගි වූ මෙම වැඩ වර්ජනයට, ආන්ඩුවේ හා රජයට අයත් සංස්ථාවල මෙන් ම පුද්ගලික අංශයේ සමාගම්වල කම්කරුවෝ සම්බන්ධ වූ හ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් 2022 අප්‍රේල් 28 වැනි බ්‍රහස්පතින්දා කොලඹදී පැවති වැඩවර්ජනයක් (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

වරාය, විදුලිබල, ඛනිජ තෙල්, ජල සම්පාදන, සෞඛ්‍ය, දුම්රිය හා අධ්‍යාපන මෙන් ම රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා ප්‍රාදේශීය සභා යන අංශවල රාජ්‍ය අංශයේ කම්කරුවෝ මෙම කාර්මික ක්‍රියාව හා එක් වූ හ. වරාය හා ඛනිජ තෙල් සංස්ථාවල සේවකයන් අතලොස්සක් -පාලක පක්ෂයේ සාමාජිකයෝ- පමනක් වැඩට වාර්තා කල හ.

රාජ්‍ය හා පුද්ගලික බැංකුවල බහුතර කම්කරුවෝ සහ දිවයිනේ මධ්‍යම වතු දිස්ත්‍රික්කවල වතු කම්කරුවන් ලක්ෂ ගනනක් වැඩ වර්ජනය කල හ. ලංකාවේ කම්කරු පන්තියේ වඩාත් ම පීඩිත කොටස් අතරට අයත් වන වතු කම්කරුවන්ට, ආර්ථික අර්බුදය හේතුවෙන් තදින් පහර වැදී තිබේ.

කටුනායක, වතුපිටිවල හා කොග්ගල ඇතුලු රටෙහි බොහෝ නිදහස් වෙලඳ කලාපවල (නිවෙක) කම්කරුවෝ ද වර්ජනයට එක් වූ හ. බොහෝ නිවෙක කම්කරුවෝ තරුන-තරුනියෝ වෙති.

වෘත්තීය සමිති විසින් එක් දිනකට සීමා කල ද ඊයේ පැවති මහා වැඩ වර්ජනය ලංකාවේ ගැඹුරු වෙමින් පවතින දේශපාලන හා සමාජ අර්බුදය තුලට කම්කරු පන්තියේ බලගතු හා වැදගත් මැදිහත් වීමක් විය.

නය බරින් මිරිකෙන ලංකාවේ ආර්ථිකය, කෝවිඩ්-19 වසංගතයේ හා යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ කුලීකාර යුද්ධයේ බරපතල බලපෑමට ලක් ව තිබෙන්නේ, සිදු කෙරෙමින් පවත්නා තියුනු මිල ඉහල දැමීම් වලට සහ ආහාර, ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන්ට තුඩු දෙමිනි.

ලක්ෂ ගනන් මහජනයා නියැලී සිටින ජාතික පරිමාන ආන්ඩු-විරෝධී විරෝධතා හා පෙලපාලි සහ ඊයේ පැවති මහා වැඩ වර්ජනය, පිරිවැය කැපීම් හා කප්පාදු පියවර පැටවීමට ආන්ඩු දරන උත්සාහයන්ට විරුද්ධ ව ජාත්‍යන්තර පරිමානයෙන් පලල් ලෙස පුනර්ජීවනය වන කම්කරු-පන්තික අරගලවල කොටසකි.

වේගයෙන් ඉහල යන උද්ධමනය, ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන් සහ දීර්ඝ දෛනික විදුලි කප්පාදු හේතුවෙන් මෙම විරෝධතා පුපුරා ගියේ ය.

අප්‍රේල් මුල පැවති මහජන විරෝධතාවල දී, ජනාධිපති රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස, දිවයින පුරා කම්කරුවෝ හා තරුනයෝ බලකිරීම ආරම්භ කල හ. කොලඹ ගාලු මුවදොර පිටිය සති තුනක් වාඩිලාගෙන සිටීම ඇතුලු මෙම විරෝධතා, අප්‍රේල් මාසය පුරා ම අඛන්ඩ ව පැවතුනි.

ලංකාවේ නිල උද්ධමන අනුපාතය සියයට 18.7ක් වන අතර, ආහාර උද්ධමනය සියයට 30.2කි. එහෙත්, ජෝන් හොප්කින්ස් විශ්ව විධ්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පසුගිය සතියේ තක්සේරු කල පරිදි, රටෙහි සැබෑ වාර්ෂික උද්ධමන අනුපාතය ඇඟ කිලිපොලා යන සියයට 119ක් වූයේ, විශාලත්වය අතින් ලෝකයේ තුන්වැනි ස්ථානයට පත්වෙමිනි.

ඊයේ, වැඩ වර්ජිත කම්කරුවන් සෑම ප්‍රධාන නගරයක ම විරෝධතා දැක්වූ අතර, දුගී ගම්බද ගොවීන් සමහර පෙලපාලිවලට සහභාගි වෙද්දී, බොහෝ නගරවල කුඩා වෙලෙන්ඳෝ තම කඩ සාප්පු වසා දමමින් සහයෝගය පලකල හ.

අප්‍රේල් 28දා මහනුවර රෝහලෙන් පිටත බලමුලු ගැන්වී සිටින සෞඛ්‍ය කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

කොලඹ දී, කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත විරෝධතා දැක්වූ 5,000ට අධික වරාය, ඛනිජ තෙල්, දුම්රිය, විදුලිබල හා බැංකු කම්කරුවෝ මෙන් ම ගුරුවරු, පෙලපාලියකින් ගාලු මුවදොර පිටිය වෙත ලඟා වූ හ.

කටුනායක කම්කරු කාන්තාවක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට කියා සිටියේ, ඔවුන්ගේ වෘත්තීය සමිති නිශ්ශබ්ද ව සිටි නිසා, ඇය හා සහෝදර කම්කරුවන් වැඩ වර්ජනයට එක් වීමට තීරනය කල බවයි. “අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල යාම්වලින් මේ රටෙහි මහජනයා දුක් විඳිමින් සිටිනවා. අපි ඇති තරම් දරාගෙන සිටියත්, අපිට දැන් ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න බැහැ. රට පුරා මහජනයා විරෝධතා දැක්වීම පටන් ගත්ත ම නිකන් බලා ඉන්න බැහැ කියල අපි හිතුවා” යි ඇය කීවා ය.

කොලඹ විරෝධතාවට එක් වූ ගුරුවරයෙක් මෙසේ කීවේ ය: “ජීවන වියදම දරාගන්න බැහැ. හාල්, පරිප්පු, පෙට්‍රල් හා ගෑස් වගේ ම හැම දෙයක ම මිල වැඩි කරලා තියෙනවා. අපි දැන් හම්බ කරන පඩියෙන් අපේ පවුලේ වියදම වත් සපුරාගන්න බැහැ. මෑතක දී කල සොච්චම් වැටුප් වැඩි කිරීම උද්ධමනය නිසා හෝදපාලු වෙලා. අතලොස්සක් මහ ධනපතියන් ජාතික ධනයෙන් විශාල කොටසක් ගිල දමද්දී, රට තුල සමාජ අසමානතාව පලල් වෙලා.”

ඊයේ පැවති මහා වැඩ වර්ජනයට කම්කරුවන් මිලියන ගනනක් සහභාගි වූ අතර, රාජපක්ෂ ආන්ඩුව වැඩකරන ජනයා මතට වඩාත් ගැඹුරු සමාජ ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙමින් සිටී. අප්‍රේල් 12දා එය ඩොලර් බිලියන 52ක විදේශ නය පැහැර හැරිය අතර, ඇප නයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මුදල් ඇමති අලි සබ්රිගේ නායකත්වයෙන් යුත් ආන්ඩුවේ කන්ඩායමක්, පසුගිය සතියේ දවස් හතරක් පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග සාකච්ඡා පැවැත්වූ හ.

බදු වැඩි කිරීම, රාජ්‍ය වියදම් තියුනු ලෙස කපාහැරීම සහ විස්තීර්න පුද්ගලීකරන වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීම ආදිය, ජාමූඅ කොලඹ ආන්ඩුවට විධානය කරමින් සිටී. මෙම පියවර, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තවත් විශාල ලෙස ඉහල යාම් සහ රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් හා ඉතිරි ව පවතින සුභසාධන වැඩසටහන් රුදුරු ලෙස කපාදැමීමට හේතුවනු ඇත.

ආන්ඩු-විරෝධී විරෝධතා රැල්ල සහ කම්කරු-පන්තික අරගල, රාජපක්ෂ ආන්ඩුවට දේශපාලන අර්බුදයක් නිර්මානය කර ඇත. පාලක සභාගයේ සමහරු ඉවත් වීමෙන් පසුව, දැන් එයට තිබෙන්නේ ඉතා තුනී බි‌ඳෙනසුලු බහුතරයකි.

ජාමූඅ නියෝග කරන ප්‍රහාරය වැඩකරන ජනයා මතට සාමකාමී ව කඩාපාත් කල නො හැකි බව දන්නා ජනාධිපති රාජපක්ෂ, ආන්ඩුවේ දුර්වල තත්ත්වය නො තකා, කම්කරු පන්තිය මතට කඩා පැනීමට කල් යල් බලමින් හා සූදානම් වෙමින් සිටී.

එක් පුද්ගලයෙකු ඝාතනය කරමින් හා තවත් විසි ගනනකට තුවාල සිදු කරමින්, අප්‍රේල් 19දා රඹුක්කන දී, පොලීසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබී ය. විරෝධතාකරුවෝ කලින් මිලට ඉන්ධන ඉල්ලා සිටිය හ. පසුගිය සතියේ දී, “නීතිය හා සාමය පවත්වා ගැනීමට” යයි කියමින්, ජනාධිපති රාජපක්ෂ ලංකාවේ දිස්ත්‍රික්ක 25ට ම මිලිටරිය බලමුලු ගැන්වීමට නියෝග කලේ ය.

මෙම ප්‍රතිගාමී සූදානම් වීම් මධ්‍යයේ, වෘත්තීය සමිති, කම්කරුවන් දේශපාලනික ව නිරායුධ කිරීමට හැකි සියල්ල කරමින් සිටිති.

ඊයේ වැඩ වර්ජනය කැඳවූ, වෘත්තීය සමිති හා ඒවාට සහයෝගය දෙන සංවිධාන 100ක් ඊයේ නිකුත් කල පත්‍රිකාවක් මෙසේ ප්‍රකාශ කලේ ය: “එබැවින් වැඩ කරන ජනතාව ලෙස මේ මොහොතේ අප විසින් මෙම අසාර්ථක පාලකයින් ඉවත්කර ජනතා අපේක්ෂා ඉටු කල හැකි ජනතා බලයක් සහිත ආන්ඩුවක් පිහිටුවීමට බලකර සිටිය යුතුය.”

එහෙත්, කම්කරුවන් “බලකර සිටිය යුත්තේ” කාට ද? ඊ ලඟ ආන්ඩුව ගෙන එනු ඇත්තේ කවුරුන් ද, එය ජනතා අපේක්ෂාවන් “ඉටුකරනු” ඇත්තේ කෙසේ ද? මෙම පැහැදිලි ප්‍රශ්න කිසිවකට පිලිතුරු දෙනු නො ලැබේ.

දැවැන්ත කම්කරු-පන්තික විරුද්ධත්වය පාර්ලිමේන්තු මාවත් වෙතට අපසරනය කොට, ධනපති පාලනය ආරක්ෂා කිරීම පිනිස, අන්තර්වාර පාලන තන්ත්‍රයක් හා මැතිවරන සඳහා, ප්‍රධාන ධනපති පක්ෂ වන සමගි ජන බලවේගයට (සජබ) හා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ), යතාර්ථයේ දී මෙම වෘත්තීය සමිති ආයාචනා කරමින් සිටිති.

මෙම පක්ෂවලට මෙන් ම, ඒවා බිහිකරනු ඇති ඕනෑ ම අන්තර්වාර ආන්ඩුවකට, අතීතයේ දී ප්‍රදර්ශනය කර ඇති පරිදි, ජාමූඅ කප්පාදු පිලිවෙත්වලට විකල්පයක් නැත. ඒවා රාජපක්ෂ පාලන තන්ත්‍රය මෙන් ම අනුකම්පා විරහිත වනු ඇත.

අප්‍රේල් 28දා විරෝධතාවේ යෙදෙන කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියට ඉදිරිපත් කරන ක්‍රියාකාරී සමාජවාදී ක්‍රියා මාර්ගය ගෙනහැර දක්වන ප්‍රකාශනවල පිටපත් දහස් ගනනක් බෙදාහරිමින්, සසප සාමාජිකයෝ හා ආධාරකරුවෝ ඊයේ වැඩ වර්ජනය අවස්ථාවේ දී බොහෝ ප්‍රදේශවල බලගතු ලෙස මැදිහත් වූ හ.

ඒකාධිපති විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස හා සියලු මර්දන නීති හකුලා ගන්නා ලෙස කැඳවුම් කල එම ප්‍රකාශය මෙසේ කියා සිටියේ ය:

රාජපක්ෂ ආන්ඩුව මෙන් ම විරුද්ධ පක්ෂද ඉදිරියට ගෙන යාමට උත්සාහ දරන ලේ වැකි කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව, මහ ධනපති ආයෝජකයන්ගේ දැවැන්ත ලාභවලට ඉහලින් මානව අවශ්‍යතා තබා ක්‍රියාකාරී වීමේ වැඩපිලිවෙලක් අපි ඉදිරිපත් කරමු.

* මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා! බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

* සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

* බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

* දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු!

* ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිත ව සියලු දෙනාට රැකියා සහතික කරනු! ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!

සියලු ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් දේවල් තමන් අතට ගන්නා ලෙස, සසප ප්‍රකාශය කම්කරුවන්ට කැඳවුම් කලේ ය. ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කරනු ලබන මෙම කමිටු, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමටත්, සමාජය සමාජවාදී ව ප්‍රතිසංවිධානය කිරීම ඇරඹීමටත්, සංවිධානාත්මක පදනම් සම්පාදනය කරමින්, ගම්බද දුගීන් රැලි කරගැනීමේ හැකියාව කම්කරුවන්ට ලබා දෙනු ඇත.

කොලඹ දී, සසප සාමාජිකයෝ වැඩ වර්ජනයේ විරෝධතාවට එක් වී, සසප ප්‍රකාශන පිටපත් 2,500ට අධික සංඛ්‍යාවක් බෙදා හරිමින්, පක්ෂයේ සමාජවාදී ක්‍රියා මාර්ගය සාකච්ඡා කල හ.

මධ්‍යම වතු දිස්ත්‍රික්කයේ දී, වතු කම්කරු ක්‍රියාකාරී කමිටු හා සසප සාමාජිකයෝ, සාර්ථික විරෝධතා දෙකක් සංවිධානය කල හ. අනෙකුත් ප්‍රධාන වතු ප්‍රදේශවල මෙන් ම අප්කොට්හි වැඩ වර්ජනය සියලු නිෂ්පාදන නතරතර දැමී ය.

අප්‍රේල් 28දා විරෝධතාවේ යෙදෙන කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

කම්කරුවන් හා තරුනයන් 200ක පමන සහභාගීත්වයෙන් යුතු ව, ඕල්ටන් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව අප්කොට් නගරයේ දී විරෝධතා පාගමනක් සංවිධානය කලේ ය. මස්කෙලිය ප්‍රදේශයේ දී, කම්කරුවන් 750ට අධික පිරිසක්, ග්ලෙනුයිජ් කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සසප විසින් සංවිධානය කල විරෝධතාවකට එක් වූ හ.

හලාවත දී, ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ කැඳවුම්කරු හා සසප සාමාජික කපිල ප්‍රනාන්දු, වැඩ වර්ජිත ගුරුවරුන් හා රජයේ සේවකයන් සිය ගනනක් අමතා කතා කලේ ය. රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාර හා සමස්තයක් ලෙස ධනපති පන්තියේ ප්‍රහාරවලට එරෙහි ව සටන් වැදීමේ සසප ක්‍රියාකාරී වැඩපිලිවෙල ප්‍රනාන්දු විස්තර කලේ ය.

Loading