කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව ගැන වර්ජිත කම්කරුවෝ කතාකරති

බ්‍රහස්පතින්දා මහ වැඩවර්ජනයට, රාජ්‍ය සහ අර්ධ-රාජ්‍ය අංශයේ, නිදහස් වෙලඳ කලාප (නිවෙක) ඇතුලු පුද්ගලික අංශයේ සහ වතුකරයේ මිලියන සංඛ්‍යාත කම්කරුවෝ සහභාගිවුහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට වහාම ඉල්ලා අස්වන ලෙසත්, ඉහල යන ජීවන වියදමට සහන සපයමින් අත්‍යවශ්‍ය භාන්ඩ හිඟය අවසන් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

අප්‍රේල් 28දා මහනුවර රෝහලෙන් පිටත බලමුලු ගැන්වී සිටින සෞඛ්‍ය කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

කොලඹ, ගාල්ල, කුරුනෑගල, අනුරාධපුරය, මහනුවර, හලාවත, සහ යාපනය ඇතුලු සෑම දිස්ත්‍රික්කයකම පාහේ ප්‍රධාන නගරවල, උද්ඝෝෂන, පෙලපාලි සහ රැලි පැවැත් වුනි.

වෘත්තීය සමිති, රජයේ රෝහල් වල සෞඛ්‍ය සේවකයන් වර්ජනයට සහභාගිවීමෙන් වලකා ලු නමුත් ඔවුහු දස දහස් ගනනක් තම රෝහල් පරිශ්‍රයන් තුල උද්ඝෝෂනයන් හි නිරත වූහ.

කොලඹ පෙලපාලි සහ උද්ඝෝෂන වලට 15,000-20,000 අතර සංඛ්‍යාවක්, ගාල්ලේ 2000ක්, මහනුවර 5000 ක්, කුරුනෑගල 2000 ක්, හලාවත 2000 ක්, කොග්ගල, කටුනායක සහ වතුපිටිවල ඇතුලු නිදහස් වෙලඳ කලාප වල සහ වතුකරයේ තවත් දස දහස් ගනනක් කම්කරුවෝ මෙම උද්ඝෝෂන වලට සම්බන්ධ වූහ.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ කොලඹ, මහනුවර, හලාවත , යාපනය නගරවල සහ කටුනායක නිවෙක උද්ඝෝෂනයේ යෙදුන කම්කරුවන් අතර බලගතු මැදිහත්වීමක් කලහ.

කොලඹ, හලාවත, යාපනය නගරවල සහ මහනුවර රෝහලේ පැවති උද්ඝෝෂන වලට සහභාගී වූ ඔවුහු රාජපක්ෂ ආන්ඩුව පලවා හරිනු!, කම්කරු -ගොවි ආන්ඩුවකට සටන් කරනු!, අන්තර්කාලීන ආන්ඩුව ප්‍රතික්ෂේප කරනු!, කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු! ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයකට සටන් කරනු! ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එම සටන් පාඨ හඬ නැගුහ.

වර්ජිත කම්කරුවන්ට සමාජවාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමින් එදින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකෙරුනු ලිපියෙහි මුද්‍රිත පිටපත් දහස් ගනනක්, කොලඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට, ගාලුමුවදොර, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ, නුවර සහ හලාවත උද්ඝෝෂනයේ යෙදුන කම්කරුවන් අතර බෙදා හල සසප සාමාජිකයෝ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි අරගලය තුල කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්න පිලිබඳව සාකච්ඡා කලහ.

කම්කරුවෝ රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි බරපතල කෝපය ප්‍රකාශ කල අතර වෘත්තීය සමිති වල ප්‍රතිගාමී භූමිකාව හෙලාදුටුවෝය. නිරන්තරව ඉහල යන ජීවන වියදම තුල ඔවුන් මුහුන දෙන අසීමිත දුෂ්කරතා ද ඔවුහු විස්තර විස්තර කලහ.

රාජ්‍ය කලමනාකාර සේවයේ නිලධාරියෙකු වන චතුර දහනායක, 'ආන්ඩුව පටි තදකර ගන්න කීවට අහසඋසට ඉහල යන ජීවන වියදම හමුවේ කම්කරුවන්ට එය තවදුරටත් කල නොහැකි බව පැවසීය.

“ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,000 ක්. කිලෝවේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 2000 යි. පෙට්‍රෝල් ලීටරය රුපියල් 340 යි. අනික්වත් එහෙමයි. එතකොට අපි කොහොම ද ලැබෙන වැටුපෙන් වියදම පිරිමහ ගන්නේ? කලමනාකාර නිලධාරියෙක් වුනාට මගේ සම්පූර්න වැටුප රුපියල් 35,000 යි.

“රාජපක්ෂගෙ ආන්ඩුව එලෙව්වට පස්සේ කරන්නේ මොකක් ද කියල මට පැහැදිලි අදහසක් තිබුනේ නැහැ. වෘත්තීය සමිති කියන්නේ අන්තර්වාර පාලනයක් ගැන. නමුත් ඔබ පැහැදිලි කලාට පස්සේ මට වැටහුනා තවත් ධනපති ආන්ඩුවකින් අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියල. මට දැන් වැටෙහෙනවා වෘත්තීය සමිති කියන විදිහට හුදෙක් රාජපක්ෂ ආන්ඩුවේ දූෂනය, වංචාව සහ දුර්වල ආර්ථික කලමනාකරනය නෙමෙයි මූලික ප්‍රශ්නය ධනවාදයේ අර්බුදය බව. ඒ ගැන වෘත්තීය සමිති කතා කරන්නේ නැහැ. මේ විදිහට කම්කරුවන්ට කරුනු පැහැදිලි කිරීම ඉතාමත් ම වැදගත්”.

මහනුවර දී අදහස් දැක්වූ විදුහල්පතිවරයකු වන අමරසූරිය රාජපක්ෂ, ආන්ඩුව පලවාහැරිය යුතු බවත් මහජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි විකල්ප පාලන ක්‍රමයක් අවශ්‍ය බවත් සඳහන් කලේ ය.

“අපි රාජපක්ෂ හොරු ගෙදර යවනකම් නොනවත්වා අරගලය කරනවා. වැඩිකරපු වැටුපෙන් වැඩකුත් නැහැ. අපිට ක්‍රමයේ වෙනසක් ඕනැ. ඒ කියන්නෙ යුක්තිසහගත සාධාරන ක්‍රමයක්. බලයේ හිටපු උන් ඔක්කොම හොරු. ජවිපෙ ගැනත් විශ්වාසයක් නැහැ. ඒ අයගෙ කැරැට්ටුව අපි හොඳට දන්නවා. සජබයෙ ඉන්නෙත් හොරු. අන්තර්වාර පාලනයක් අපිට එපා. ඒක කොහොම ද විසඳුමක් වෙන්නෙ? ආයෙමත් ඒ හොරු ම තමා පාලනය කරන්නෙ. ජනාධිපති සර්වපාක්ෂික ආන්ඩුවක ට කතා කරනවා. අගමැති කියනවා මිනිහ ගියොත් රට අරාජක වෙනවලු, ඇයි දැන් හරි පාලනය ද තියෙන්නේ? කොච්චර දවස් ද රජය අහෝසි වෙලා. අපි ට තේරෙනවා මේ දෙන්නා දෙපැත්තෙන් කතා කරන්නේ සර්වපාක්ෂික ආන්ඩුවක් හදාගන ආය වටයකින් මිනිස්සු රවටන්න. ඒවට රැවටෙන් නැහැ අපි මේ වතාවෙ” ඔහු පැවසීය.

යුක්තිසහගත සාධාරන සාමාජ ක්‍රමයක් ඇති කල හැක්කේ ධනපති පන්ති පාලනය අහෝසි කර සමාජවාදී ආර්ථික සැලැස්මක් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක ට සටන් කිරීමෙන් බවත් ඒ සඳහා වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගත යුතු බවත් සසප සහෝදරවරු පැහැදිලි කිරීමෙන් පසු සසප ක්‍රියාමාර්ගය ගැන වැඩි දුරටත් දැන ගැනීමට කැමති බව ඔහු ප්‍රකාශ කලේ ය.

ගාලුමුවදොර උද්ඝෝෂනයට සහභාගී වී සිටි හැටනව වියැති එම්. සත්‍යනාදන් විශ්‍රාමික ලිපිකරුවෙකි. 'මම ගාලුමුවදොර තරුනයන්ගේ උද්ඝෝෂනයට ආකර්ශනය වුනා. ඔවුන් වර්ගවාදයට විරුද්ධව ජනවර්ගයන් අතර එකමුතුව ගැන කතාකරනවා. මම ඔවුන් ව දිරිමත් කරන්න දවස් කිහිපයක් ම මෙතෙන්ට ආව”.

“මම ජීවත් වෙන්නේ බැංකුවේ දාලා තියෙන මුදලට ලැබෙන සුලු පොලියෙන්. අහස උසට ඉහල යන ජීවන වියදමත් සමග මිනිසුන් ට ජීවිත ගැටගහ ගන්න අමාරුයි. මට රැකියා කරන දරුවො දෙන්නක් හිටියත් මේ තත්වය තුල ඔවුන්ටත් අපට උදව් කරන්න අමාරුයි. මම ඔබලගෙ පත්‍රිකාව කියෙව්වා. එය වර්තමාන අර්බුදයට සංයුක්ත විසඳුමක් ඉදිරිපත් කරනවා. ඔබ පැවසූ පරිදි මෙය ලෝක ධනවාදයේ අර්බුදයක් බවත් මම පිලිගන්නවා. ලෝකය පුරාම කම්කරුවෝ ඉහල යන ජීවන වියදමට විරුද්ධව අරගල කරන බව ත් ඔබ සඳහන් කලා. සෑම රටකම කම්කරුවො මෙම අරගලයට එකාබද්ධ වියයුතුයි. ඒවගේම මහජනතාව, විශේෂයෙන් ම තරුන පරම්පරාව ඓතිහාසික දේශපාලන පාඩම් වලින් අධ්‍යාපන ගත කල යුතුයි කියන එකට මම එකඟයි”.

තලවකැලේ පදිංචි හතලිස් දෙහැවිරිදි මුනුසාමි කොලඹ රෙදි සාප්පුවක සේවය කරන කම්කරුවෙකි. ඔහු මෙසේ කීවේය. “ මම රෑ 10 ට වැඩ ඉවර වෙලා හැමදාම මෙතෙන් ට එනවා. මගේ බිරිඳයි, දරුවෝ දෙන්නයි, අම්මයි නඩත්තු කරන්නේ මට ලැබෙන සුලු පඩියෙන්. වර්තමාන බඩුමිල ඉහලයාම සහ බඩුවල හිඟය අනුව අනාගතයක් අපිට තියෙයි ද කියල හිතා ගන්න බැහැ. අද දහවල් මම ආවේ වෘත්තීය සමිති වල උද්ඝෝෂනයට සහභාගී වෙන්න. නමුත් මට කිසිම සමිතියක් එක්ක සම්බන්ධකමක් නැහැ. වතුකරයේ වෘත්තීය සමිති ගැන මට කටුක අත්දැකීමක් තියෙනවා සමහර සමිති තොන්ඩමන්ලා විවේචනය කරනවා ආන්ඩුවත් එක්ක ඉන්නව කියලා. නමුත් අන්තිමට ඔවුන් කරන්නෙත් ඒකමයි. ඒ නිසා කිසිම දේශපාලන පක්ෂයක් එක්ක මගේ සම්බන්ධ කමක් නැහැ. මම ඔබේ පත්‍රිකාව සීරුවෙන් කියවල, වෙබ් අඩවියත් කියවල පක්ෂයට බැදීම ගැන තීරනයක් ගන්නවා”

හලාවත උද්ඝෝෂනයට සම්බන්ධ වූ ආනමඩුව පාසලක ඉතිහාස ගුරුවරයෙක් මෙසේ සිය අදහස් ප්‍රකාශ කලේ ය: “දේශපාලන ප්‍රශ්න ගැන මහ ජනතාව අතර ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ආන්ඩුව හා විපක්ෂය දෙකම මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. මිනිස්සු විකල්පයක් හොයනවා. නමුත් වෘත්තීය සමිති නායකයො කියන්නෙ රාජපක්ෂ ආන්ඩුව ගෙදර යනු කියලා විතරයි. මොනම වැඩපිලිවෙලක්වත් ඉදිරිපත් කරන්නේ නැහැ. අඩු තරමේ උද්ඝෝෂනයට එකම වෙලාවට කම්කරුවන්ව සංවිධානය කරන්න වත් ඔවුන් වැඩ කලේ නැහැ. සසප විතරයි වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ.

“දිනකට පෙර මිල දී ගත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 4,890 ක් වූ බවත් භාන්ඩ මිල ඉහල යෑම උහුලා ගත් නොහැකි බව පැවසූ ඔහු පසුගිය වසරාවසානයේ ගුරුවරුන්ට සිදු කල වැටුප් වැඩිවීම ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල බොරු මවාපෑමක් පමනක් බව පැවසීය.

“විදේශ නය උගුලෙන් බේරෙන්න ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගෙන ගොඩ එන්න බැරිදැයි ඔහු විමසීය. ”

ධනවාදී ගෝලීය ආර්ථිකය තුල එවන් ජාතිකවාදී විසඳුමක් නැති බවත් ධනපති පාලක පන්තිය විසින් ලබාගෙන ඇති දැවැන්ත විදේශ නය කන්දරාව ගෙවීම කම්කරු පන්තිය විසින් ප්‍රතික්ෂේප කල යුතු බවත් එය කල හැක්කේ කම්කරු -ගොවි ආන්ඩුවක් යටතේ බවත් පැහැදිලි කිරීමෙන් පසු එයට එකඟ වූ ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ මාක්ස්වාදී පොත් කියවීමට යොමු වන බව ද සඳහන් කලේ ය.

වැඩිදුර කියවන්න

Loading