මහජන අරගලය පාර්ලිමේන්තු දේශපාලනයේ ආවෘත අන්තය තුලට අපසරනය කිරීමට ජවිපෙ උත්සාහ කරයි

[මෙය Sri Lanka: Opposition JVP seeks to divert mass struggle into dead-end of parliamentary politics මැයෙන් 2022 මැයි 3 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි වැඩකරන ජනයාගේ මහා පරිමාන නැගිටීම, ධනපති පාලනයට තර්ජනය කරනු ඇතැයි බිය වන ලංකාවේ විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති හා මහා සංගත, එය පීලි පන්නවා, අපසරනය කොට මර්දනය කිරීමට මංමුලා සහගත ලෙස සෑම ප්‍රයත්නයක් ම දරමින් සිටිති.

ජනාධිපති රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින්, අප්‍රේල් මුල දී පුපුරා ගිය මහජන විරෝධය, පොලීසිය හා මිලිටරිය යොදාගනිමින් විරෝධතා මැඩීම සඳහා දැරූ උත්සාහයන්ට අභියෝග කලේ ය.

කම්කරු පන්තිය දැන් පන්තියක් ලෙස අරගලයට අවතීර්නවීම ආරම්භ කර තිබේ. වෘත්තීය සමිති විසින් තබන ලද මාර්ග බාධක නො තකා, අප්‍රේල් 28දා එක් දින මහා වැඩ වර්ජනයට මිලියන සංඛ්‍යාත කම්කරුවෝ සහභාගි වූ හ. කම්කරුවන් අතර පවතින කෝපාග්නිය මධ්‍යයේ, තවත් එක් දින වැඩ වර්ජනයක් මැයි 6දා කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරී ඇත.

මූලික ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා ඉන්ධනවල වේගයෙන් ඉහල යන මිල ගනන්, ඒවායේ හිඟයන් සහ දීර්ඝ දෛනික විදුලි කප්පාදු විසින් මහජන විරෝධතා අවුලුවා තිබේ. ගෝලීය කෝවිඩ්-19 වසංගතයෙන් සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් ප්‍රේරනය කරන ලද ආර්ථික කලබැගෑනියට අන් සෑම රටක් මෙන් ලංකාව ද මුහුන දෙමින් සිටී.

අනුර කුමාර දිසානායක (මූලාශ්‍රය: අනුර කුමාර දිසානායක ෆේස්බුක් පිටුව)

පසුගිය අඟහරුවාදා මාධ්‍ය ඇමතූ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක, රටෙහි අර්බුදය “විසඳීම” සඳහා ඔහුගේ පක්ෂයේ ඊනියා යෝජනා ඉදිරිපත් කලේ ය. “දේශපාලනික අස්ථාවරත්වය ශමනය කිරීමෙන් තොර ව ආර්ථික අර්බුදය විසඳිය නො හැකි” යයි -එනම්, මහජන විරෝධතා හා වැඩ වර්ජන මර්දනය කිරීමට මාර්ගයක් සොයාගත යුතු යයි- ඔහු අවධාරනය කලේ ය.

ජනාධිපතිවරයා හා ආන්ඩුව ඉල්ලා අස් වී, කෙටි-කාලීන අන්තර්වාර ආන්ඩුවකට, මහ මැතිවරනයකට හා “ස්ථාවර ආන්ඩුවක් ‌ගොඩනැගීමට” අවස්ථාව ලබා දිය යුතු යයි, ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) හා අනෙකුත් කන්ඩායම් කරන ලද යෝජනාවන්ට ජවිපෙ සහයෝගී ය.

මෙම යෝජනා 'සාධාරන' විසඳුම් ලෙස පෙනීයන බව දිසානායක පැවසූ නමුත් ජවිපෙ අන්තර්වාර ආන්ඩුවකට කැපවන  බව ප්‍රකාශකිරීමෙන් වැලකුනේය. ඔහු සඳහන් කලේ එවැනි පාලන තන්ත්‍රයකට සම්බන්ධවන පක්ෂ 'ඕනෑම අවස්තාවක එකඟතාව බිඳ දැමිය හැකි' බවයි.

දිසානායක එයින් යන්තමින් පමනක් වෙනස් වන යෝජනාවක් ඉදිරිපත් කලේ ය. ජනාධිපතිවරයා හා ආන්ඩුව ඉල්ලා අස්වීමෙන් පසුව, “අපි ඉතා කෙටි කාලයකට අන්තර්-පාර්ලිමේන්තු පරිපාලනයක් ගොඩ නගා, ඉතා ඉක්මනින් මැතිවරනයක් වෙත යා යුතු වෙමු.” “අන්තර්-පාර්ලිමේන්තු පරිපාලනයක්” තනන්නේ කෙසේ ද එයට සහභාගි වන්නේ කවුරුන් ද හෝ එය “අන්තර්වාර ආන්ඩුවකින්” වෙනස් වන්නේ කෙසේ ද යන්න පිලිබඳ ව ඔහු විස්තරයක් සම්පාදනය නො කලේ ය.

කෙසේ නමුත්, ජවිපෙහි යෝජනාවේ දේශපාලනික අභිප්‍රාය විරෝධතා ව්‍යාපාරය මැඩීම බව අතිශයින් පැහැදිලි ය. සජබ මෙන් ම, එහි අභිප්‍රාය වන්නේ ද ගැඹුරු වෙමින් පවතින සමාජ අර්බුදය ධනපති පක්ෂවල නව එකමුතුවක් විසින් ශමනය කරනු ඇතැයි යන ව්‍යාජ බලාපොරොත්තුව මත, කම්කරුවන්, තරුනයන් හා දුගීන් අතර පවතින කෝපය පාර්ලිමේන්තු මැතිවරනවල ආවෘත අන්තරයට අපසරනය කිරීම යි.

ජවිපෙහි මැදිහත්වීමට සුවිශේෂී වැදගත්කමක් තිබේ.  දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) බිඳී ගිය දක්ෂිනාංශික කන්ඩායමක් වන සජබට වෙනස් ව, 1960 ගනන් හා 1970 ගනන්වල සුලුධනේශ්වර රැඩිකල් ව්‍යාපාරය තුල  සම්භවයන් තිබුනු ජවිපෙ, මාඕවාදය, කස්ත්‍රෝවාදය හා සිංහල දේශප්‍රේමයේ විෂකුරු මිශ්‍රනයක් මත පාදකව “සන්නද්ධ අරගලය” වෙනුවෙන් පෙනී සිටියේ ය.

එහි විනාශකාරී “සන්නද්ධ අරගලය” සහ සමාජවාදී හා මාක්ස්වාදී ව්‍යාජයන් බොහෝ කාලයකට පෙර ම අත හැර දමා ඇති ජවිපෙ, ධනපති පන්තියේ හා එහි පන්ති පාලනයේ ගැලවුම්කරු ලෙස දැන් තමා ම ඉදිරියට දමාගනිමින් සිටී.

ඉරිදා පැවති ජවිපෙ මැයි දින රැලිය ඇමතූ දිසානායක, 2001දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා ඇගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආන්ඩුව අරක්ෂා කරගත් බවට විලිලජ්ජා රහිත ව පාරම්බෑවේ ය. 2004 දී, එජාප ආන්ඩුව නෙරපා හැරීම සඳහා ජනාධිපතිනිය ලෙස ඇය ගත් තීරනයට ජවිපෙ පිටුබලය දී තිබුනි. ජවිපෙ නායකයා මෙසේ පුරසාරම් කීවේය: “රට තුල දේශපාලන ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා අපි ඒ අවස්ථාවේ ඇයට සහයෝගය දුන්නා.” 

2001 දී, කුමාරතුංගගේ ආන්ඩුව හැරගිය මන්ත්‍රී කන්ඩායමක්, විපාර්ශවික එජාපයට සම්බන්ධ වූයේ, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) සමග සාම සාකච්ඡා සඳහා එය කල කැඳවුමට පිටුබලය දීමට ය. විෂඝෝර සිංහල ස්වෝත්තමවාදී පක්ෂයක් වන ජවිපෙ, එල්ටීටීඊය සමග කරන කිසිදු සාම සාකච්ඡාවකට විරුද්ධ වී, වාර්ගික යුද්ධය අඛන්ඩ ව පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටිමින්, “පිටත සිට” කුමාරතුංග පරිපාලනයට සහයෝගය දුන්නේ ය. 

එල්ටීටීඊය සමග සාම සාකච්ඡා කඩාකප්පල් කිරීම පිනිස, 2004 දී එජාප ආන්ඩුව නෙරපා හැරීමට කුමාරතුංග ගත් තීරනයට ද ජවිපෙ සහයෝගය දුන්නේ ය. ඉන්පසු නව මහ මැතිවරනයට තරඟ කිරීම සඳහා කුමාරතුංග සමග මැතිවරන සන්ධානයකට ඇතුල් වූ එය, ඇගේ ආන්ඩුවට සම්බන්ධ වූයේ ඇමති තනතුරු හතරක් පිලිගනිමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) වෙලඳපොල-ගැති නියෝග පැටවීමේ දී එහි ඇමතිවරු මූලික භූමිකාවක් ඉටු කල හ.

ජවිපෙහි ද්‍රෝහී අතීතය පිලිබඳ ව දිසානායක සඳහන් කරන්නේ, වැඩකරන ජනයා මුහුන දෙන වත්මන් සමාජ අර්බුදයෙන් එලියට කිසිදු මාවතක් සම්පාදනය කිරීම වෙනුවට, “දේශපාලන ස්ථාවරත්වය” සුරක්ෂිත කරමින් ධනපති පාලනය ආරක්ෂා කර දීම පිනිස ඔහුගේ පක්ෂය සෑමවිට ම සූදානම් බවට පාලක පන්තිය ඒත්තු ගැන්වීමට ය.

“තත්ත්වය වෙනස් වී ඇති” බව ජවිපෙ නායකයා ප්‍රකාශ කලේ ය. ජනතාව ජනාධිපතිවරයා හෝ ආන්ඩුව පිලි නො ගන්නා බව ඔහු කීවේ ය. අන්තර්වාර ආන්ඩුවක් හෝ සර්ව-පාක්ෂික ආන්ඩුවක් බිහිකිරීම මගින් අස්ථාවරත්වය නො විසඳනු ඇත. එක ම විසඳුම වන්නේ මහ මැතිවරනයකට යාම යි.

නව මැතිවරන සඳහා කරන කැඳවුම, පසුගිය මාසය තුල ඉස්මතු කෙරී ඇති විරෝධතා සටන් පාඨ බොහොමයක් සමග නො පෑහේ. එම සටන් පාඨ අතරට, “74-වසරක පාලනයේ ශාපය එපා,” “74 වසරක් ර‌ට පාලනය කල අය අද පවතින අර්බුදයට වගකිව යුතුයි!” හා “පාර්ලිමේන්තුවේ 225 දෙනා අර්බුදයට වගකිව යුතුයි” ආදිය ඇතුලත් වේ.

වර්තමාන අර්බුදයට සියලු පාර්ලිමේන්තු පක්ෂ වගකිව යුතු බවත්, සමස්ත ධනේශ්වර සංස්ථාපිතය වැඩකරන ජනයාගේ වියදමින් පොහොසතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන බවත්, 1948 නාමික නිදහසේ පටන් එසේ කර ඇති බවත් පිලිබඳ වැඩෙන දැනුවත් භාවය මෙම සටන් පාඨ මගින් පිලිබිඹු කෙරේ.

සංස්ථාපිතයේ අනෙකුත් පක්ෂ මෙන් ජවිපෙ ද මෙම ව්‍යාපාරය රැවටීමට හා අපසරනය කිරීමට මංමුලා සහගත ව ක්‍රියා කරයි. මතිවරනයකින් පසු බලයට එන කුමන හෝ ආන්ඩුවක්  කරනු ඇත්තේ කුමක් ද යන්න ගැන දිසානායක මුනිවත රකී. ඊට හේතුව, එය අනිවාර්යයෙන්ම ජාමුඅ විධානයන්ට අනුව මහජනයා මත වඩාත් දැවැන්ත බර පැටවීමට ක්‍රියාකරනු ඇති හෙයිනි. 

හදිසි ඇප නය පැකේජයක් සඳහා ජාමූඅ සමග සාකච්ඡා කිරීමට, දැනටමත් වොෂින්ටනයට නියෝජිත පිරිසක් යවා ඇති රාජපක්ෂ ආන්ඩුව, දැන් එහි නියෝගයන් මුලුමනින් ක්‍රියාත්මක කිරීමට තල්ලුව යොදමින් සිටී. රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් හා සමාජ සහනාධාර කප්පාදු කිරීම ද රජයට අයත් ව්‍යවසායයන් ලාභ උපදවන සමාගම් බවට ප්‍රතිව්‍යුහගත කිරීම ද හරහා කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ජීවන කොන්දේසි මතට වඩා විශාල ප්‍රහාරයක් එල්ල කිරීම මේ තුල අඩංගු වේ.

ජාමූඅ වෙත මීට වඩා කලින් නො යාම ගැන, සජබ හා එජාප, ආන්ඩුවට දොස් පවරා ඇති අතර, එය වැඩකරන ජනයාට විනාශකාරී විපාක ගෙන එනු ඇතැයි හොඳින් ම දන්නා ජවිපෙ හා එහි නායකයක් ඒ පිලිබඳ ව කිසිවක් කියා නැත. ඒ වෙනුවට, ආර්ථික අර්බුදය පිලිබඳ චෝදනාව, නිෂ්පාදන බලවේගවල පුද්ගලික අයිතිය සහ ලාභොත්පාදනය මත පදනම් වන ධනපති ක්‍රමය කෙරෙන්, රාජපක්ෂ ආන්ඩුවේ දූෂනයට හා දුෂ්කලමනාකරනය වෙත හැරවීමට ජවිපෙ උත්සාහ කරයි.

“තම ගජමිතුරන්ට ලක්ෂ ගනන් මුදල් හම්බ කරගැනීමට ඉඩදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුලු කල්ලියක් විසින් ගත් තීන්දු මේ අර්බුදයට හේතුවයි” යි දිසානායක මෑතක දී පාර්ලිමේන්තුවට කීවේ ය.

එහි සියලු පූර්වගාමීන් මෙන් රාජපක්ෂ ආන්ඩුව ද නොයෙක් ආකාරයෙන් දූෂනයේ ගිලී සිටින නමුත්, සමස්ත ආර්ථික අර්බුදය පිලිබඳ වරද “දූෂනයට” පැටවීම විකාර සහගතය. නව ආන්ඩුවක් විසින්, ගෝලීය ධනවාදයේ යෝධ අර්බුදය ද ඒ අනුව, වැඩකරන ජනයා මුහුන දෙමින් සිටින සියලු සමාජ ව්‍යාධීන් ද සරල ව ඉවත් කෙරෙනු  ඇතැයි යන මනඃකල්පිතය ඉදිරියට දැමීමට ජවිපෙ කටයුතු කරමින් සිටී.

ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වාම කන්ඩායම්වල සහයෝගය ලබන විරුද්ධ පක්ෂ, රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකිරීමට විරෝධතා සීමාකිරීම හා පවතින සමාජ ව්‍යසනයට විසඳුමක් ධනපති ක්‍රමය ඇතුලත පවතිනු ඇතැයි යන මිථ්‍යාව තොරොම්බල් කිරීම හරහා, වැඩකරන ජනයා දේශපාලනික ව නිරායුධ කරමින් සිටිති.

රාජපක්ෂ ඉල්ලා අස් නො වුනහොත්, ජවිපෙ සහ (බුද්ධිමතුන්ගේ හා වෘත්තිකයන්ගේ මැතිවරන පෙරමුනක් වන) එහි ජාතික ජන බලවේගය (ජාජබ), එහි වෘත්තීය සමිති හා ගොවි සංවිධානය, ඔහු ඉවත් කිරීම සඳහා උද්ඝෝෂන විශාල සංඛ්‍යාවක් පවත්වන බවට, පසුගිය සතියේ දී දිසානායක බෙරිහන් දුන්නේ ය. එහෙත්, එහි විරෝධතා සියල්ලට ම ඇත්තේ, මහජනයා මැතිවරන දේශපාලනයේ ආවෘත අන්තරයට අපසරනය කිරීමේ එක ම ඉලක්කයකි. 

ජවිපෙ වෘත්තීය සමිති දැනටමත්, නව අන්තර්වාර පාලන තන්ත්‍රයක් හා මැතිවරන ඉල්ලා සිටීමට කම්කරුවන්ගේ අරගල  සීමා කරමින් සිටිති. පසුගිය වසරේ දී, වඩා හොඳ වැටුප් හා කොන්දේසි ඉල්ලා කම්කරු කොටස් නියැලුනු අරගල මාලාවක් ම පාවා දෙමින් රාජපක්ෂ පාලනයෙහි හස්තය ශක්තිමත් කිරීමේ පෙරමුනේ ම, ජවිපෙ වෘත්තීය සමිති ද සිටිය හ.

ජවිපෙ ද ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතයට ම විරුද්ධ ව, සමාජවාදී සමානතා පක්ෂය (සසප), කම්කරුවන්ට හා දුගීන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් ආරක්ෂා කරගැනීම පිනිස, ක්‍රියාකාරී වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇත. ධනපති ක්‍රමය ඇතුලත වැඩකරන ජනයාට විසඳුම් නැත. කම්කරු පන්තියට තම අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ එහි ස්වාධීන දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලු ගන්වා ගැනීමෙන් පමනි.

සෑම වැඩපොලකම, සෑම විශාල වත්තකම හා සෑම කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශයක ම, වෘත්තීය සමිති, ධනපති පක්ෂ හා ඒවායේ අත්ගෙඩිවලින් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කැඳවුම් කරයි.

ක්‍රියාකාරී කමිටු හරහා වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් ආරක්ෂා කරගැනීමේ සටන ඉදිරියට ගැනීමේ වැඩපිලිවෙලක් අපි විස්තාරනය කර ඇත්තෙමු.

විධායක ජනාධිපති ධූරය සමගින් හදිසි නීතිය, අත්‍යවශ්‍ය මහජන සේවා පනත හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු සියලු මර්දන නීති වහා ම හකුලා ගන්නා ලෙස අපි ඉල්ලමු.

වර්තමාන සමාජ ව්‍යසනය අවසන් කිරීම සඳහා, ධනවත් සුලුතරයකගේ ලාභ වෙනුවට බහුතරයේ දැවෙන අවශ්‍යතා සන්තර්පනය කිරීම පිනිස, අත්‍යවශ්‍ය භාන්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීම මුලුමනින් ම ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය කරයි. බැංකු, මහා සංගත හා විශාල වතු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරනු! සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු!

මේ වැඩපිලිවෙල සඳහා සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනට පදනම සම්පාදනය කරයි. මේ අරගලයේ දී, සමාජ අසමානතාවට, කෝවිඩ් වසංගත ව්‍යසනයට හා අධිරාජ්‍යවාදී යුද්ධයේ මූලාශ්‍රය වන ධනවාදයට එරෙහි ව පොදු අරගලයක් තුල, ලංකාවේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්සත් වීම අවශ්‍ය ය.

සසපට බැඳී මේ ක්‍රියා මාර්ගය සඳහා සටන් කරන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading