මැයි 06 දා මහ වැඩවර්ජනයෙන් පසු ජනාධිපති හදිසි නීතිය පනවයි

[මෙහි පලවන්නේ Following yesterday’s general strike, Sri Lankan president imposes state of emergency මැයෙන් 2022 මැයි 7 දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපතිට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සහ සමස්ත දිවයිනේ ආර්ථිකය පක්ෂඝාත කරමින් මැයි 06 දා පැවති එක් දින වැඩ වර්ජනයෙන් හා ව්‍යාපාර වසා දැමීමෙන් (හර්තාලයෙන්) අනතුරු ව, එදින රාත්‍රීයේ දී හදිසි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගත්තේ ය.

අනෙකුත් බලතලවලට අමතර ව, පොලීසිය මෙන් ම මිලිටරිය දිගේලි කිරීමට, වරෙන්තුවලින් තොර ව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට, වැඩ වර්ජන හා විරෝධතා තහනම් කිරීමට, ඇඳිරි නීතිය පැනවීමට හා මාධ්‍ය වාරනය කිරීමට, හදිසි නීතිය යටතේ රාජපක්ෂට දුර දිග යන බලතල ඇත.

“මහජන ආරක්ෂාව පවත්වා ගැනීම, මහජන සාමය ආරක්ෂා කිරීම, ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවාවන් පවත්වා ගැනීම” සඳහා හදිසි නීතිය පැනවූ බව ජනාධිපතිගේ හදිසි අවස්ථා ප්‍රකාශය සඳහන් කලේ ය.

2022 අප්‍රේල් 28 වැනි දින කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන් විරෝධතාවයේ [ඡායාරූප: WSWS මාධ්‍ය]

මෙම හදිසි නීතිය පැනවෙන්නේ, පුලුල් පරාසයක මර්දනීය නීති හා විධායක ජනාධිපතිවරයා ලෙස රාජපක්ෂට දැනට මත් තිබෙන විස්තීර්න බලතලවලට අමතර ව ය.

මෙය, යන්තම් මාසයකට වැඩි කාලයක් තුල සිදු කෙරුනු දෙවන හදිසි නීති පැනවීම යි. මාර්තු 31දා කල පලමුවැන්න, ආන්ඩුවට එරෙහි ව පැන නගිමින් පැවති විරෝධතා මර්දනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමට යොදාගනු ලැබීය. එහෙත් විරෝධතාකරුවන් ඇඳිරි නීතිය නොතැකූ තතු යටතේ, ආන්ඩුව අඩියක් පස්සට ගත් අතර, ජනාධිපතිවරයා ඔහුගේ හදිසි නීති රෙගුලාසි අප්‍රේල් 5දා ඉවත් කරගත්තේ ය.

වැඩකරන ජනයා මුහුන දෙන දැරිය නො හැකි ආර්ථික හා සමාජ අර්බුදය විසින් අවුලුවා ඇති විරෝධතා, පසුගිය මාසය පුරා අඛන්ඩ ව ඉදිරියට ඇදෙමින් දෛනික පදනමකට වර්ධනය වී ඇත. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් අහස උසට නැගී ඇති අතර, ආහාර, ඉන්ධන හා ඖෂධ හිගය හේතුවෙන් ඒවා ලබා ගැනීමට පැය ගනන් පෝලිම්වල සිටීමට මහජනයාට බලකෙරී ඇත. සෑම දිනක ම පැය ගනන් දිග විදුලිබල කප්පාදු පවතී.

ආන්ඩුවට එරෙහි අරගලය තුලට කම්කරු පන්තියේ මැදිහත් වීම විසින් ජනාධිපති රාජපක්ෂ පැහැදිලි ව ම වෙවුලුම් කවා ඇත. ඊයේ මහා වැඩ වර්ජනය පැවතියේ, අප්‍රේල් 28දා පැවති එක් දින මහා වැඩ වර්ජනයකින් පසුව ය.

කම්කරු පන්තියේ වැඩෙන ආන්ඩු-විරෝධී ව්‍යාපාරය තම පාලනයේ රඳවා තබා ගැනීමට මංමුලා සහගත ලෙස ක්‍රියාකරන වෘත්තීය සමිති, ජනාධිපතිවරයා හා ආන්ඩුව ඉල්ලා අස් නො වුනහොත්, මැයි 11දා සිට අඛන්ඩ වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

කයිට්ස් රෝහලේ සෞඛ්‍ය සේවකයින් 2022 මැයි 6 වන දින යාපනයේ විරෝධතාවයක නිරත විය [ඡායාරූපය: WSWS මාධ්‍ය]

කම්කරු පන්තියේ බලය ඊයේ සෑම තැනක දී ම ප්‍රදර්ශනය විය. කම්කරුවන්ගේ සෑම කොටසක් ම පාහේ ඊයේ මහා වැඩ වර්ජනයට සම්බන්ධ වූහ. දුම්රිය හා පුද්ගලික බස් ප්‍රවාහනය මුලුමනින් ම ඇද වැටුනි. විදුලිබල හා තැපැල් කම්කරුවෝ ද ආන්ඩුවේ සියලු පරිපාලන සේවකයෝ ද මහා වැඩ වර්ජනයට එක් වූ හ. රාජ්‍ය හා පුද්ගලික බැංකු වසා දැමුනි.

වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ අතුරු වෛද්‍ය සේවකයන් ඇතුලු සෞඛ්‍ය කම්කරුවෝ, හදිසි අවස්ථා සඳහා සේවාවන් සහ දරුනු ලෙස රෝගී වූවන්ට ප්‍රතිකාර කිරීම් සිදු කරන අතරතුර වර්ජනයට ඒකාබද්ධ වූ හ. සියලු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඊයේ වර්ජන ක්‍රියාවට සහභාගි වීම නිසා රජයේ පාසල් වසා දැමීමට බලකෙරුනි.

තේ හා රබර් වතු කම්කරුවෝ වැඩ වර්ජනය කල අතර, විරෝධතා දැක්වීම සඳහා ආසන්න නගරවලට දහස් ගනනින් පැමිනිය හ.

බොහෝ නිදහස් වෙලඳ කලාපවල කම්කරුවෝ වැඩ නතර කල හ. ඩේලිඑෆ්ටීට අනුව, කම්කරුවෝ දසදහස් ගනනක් වැඩ වැරූ හ. කටුනායක, බියගම හා සීතාවක යන මූලික නිදහස් වෙලඳ කලාපවල කර්මාන්ත ශාලා ක්‍රියාත්මක නො වූ අතර, සියලු වාහන ඇතුල් වීම හෝ පිටවීම වලක්වනු ලැබී ය.

තමන් පිටතට යාම වලක්වමින්, සමාගම් කලාපයේ ගේට්ටු වසා දැමූ බව, කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූ හ. දිවයිනේ වතු දිස්ත්‍රික්කයෙහි හැටන් හි ඇඟලුම් කම්කරුවන් දහස් ගනනක් වැඩ නවත්වා, නගරයට පැමින උද්ඝෝෂනය කල හ.

වරාය කම්කරුවන්ට වැඩ වර්ජනයට එක් වීම අවශ්‍ය කල ද වරාය වෘත්තීය සමිති ඔවුන් ව “අකුරට වැඩකිරීමේ උද්ඝෝෂනයකට” හා දහවල් විරෝධතාවකට සීමා කල හ. වර්ජන ක්‍රියාව සමග එක්වීමට අවසර දෙන ඉල්ලමින් වරාය සේවකයන් වෘත්තීය සමිති නිලධාරීන් සමග වාද කල බව ලෝසවෙඅ වාර්තාකරුවන්ට දැන ගන්නට ලැබුනි.

ලක්ෂ ගනනක් මහජනයා, රට පුරා බොහෝ නගර හා උප නගරවල දී විරෝධතාවන්ට සහභාගි වූයේ මාර්ග අවුරමින් හා ආන්ඩු-විරෝධී සටන් පාඨ හඬ නගමිනි. වෘත්තීය සමිති මහජන විරෝධතාවන්ට දිරි නොගැන්වූ අප්‍රේල් 28 මහ වැඩ වර්ජනයට වඩා ඊයේ වර්ජනයට ක්‍රියාකාරී ව සහභාගි වූ කම්කරුවන් සංඛ්‍යාව අතිශය විශාල විය.

ජයවර්ධනපුරා විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් ගිය දහස් ගනන් ශිෂ්‍යයෝ, බ්‍රහස්පතින්දා සිට ජාතික පාර්ලිමේන්තු සංකීර්නයට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කර තිබුනි. රැස්වෙමින් පැවති පාර්ලිමේන්තුවට ඊයේ ඔවුන් පෙලපාලියෙන් යාමට උත්සාහ කල විට, මාර්ග බාධක යෙදූ පොලීසිය විරෝධතාකරුවන්ට කඳුලු ගෑස් හා ජල ප්‍රහාරක යොදාගෙන පහර දුන්නේ ය.

2022 මැයි 6 වන දින කොළඹදී පොලිස් ජල ප්‍රහාරවලට සහ කඳුළු ගෑස් ප්‍රහාරවලට අභියෝග කරන විරෝධතාකරුවන් [ඡායාරූප: WSWS මාධ්‍ය]

සිය අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා අරගලයක් දියත් කිරීමට කම්කරුවන්ට පවතින අධිෂ්ටානය, මහජන ව්‍යාපාරය යලි පාර්ලිමේන්තු දේශපාලනයේ ආවෘත අන්තය තුලට යොමු කිරීමට උත්සාහ දරන වෘත්තීය සමිතිවල ඉදිරි දර්ශනයට ප්‍රතිකූල වේ.

ජාතික වෘත්තීය සමිති පෙරමුන හා මහජන සංවිධානයන් ද වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව ද ජනාධිපතිවරයා හා ඔහුගේ ආන්ඩුව අන්තර්වාර ආන්ඩුවකින් විස්ථාපනය කර, නව මැතිවරනයක් පවත්වන ලෙස කැඳවුම් කරමින් සිටිති.

සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන ප්‍රධාන ධනපති විරුද්ධ පක්ෂවල හා සංගත සංවිධාන කන්ඩායම්වල ඉල්ලීම් සමග මෙම ඉල්ලීම් මුලුමනින් ම පාහේ අනන්‍ය වේ. මෙම වෘත්තීය සමිති සමග පෙලගැසී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හා එහි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයට ඇත්තේ ඒ හා සමාන වැඩපිලිවෙලකි.

ආර්ථික අර්බුදයෙහි බර මහජනයාගේ කරමත පැටවීම හැර වෙනත් විකල්පයක් මෙම විරුද්ධ පක්ෂවලට නැත. විරුද්ධ පක්ෂවලින් සැදුම්ලත් ඕනෑ ම අන්තර්වාර ආන්ඩුවක්, හදිසි නයකට හිලවු ලෙස විෂඝෝර නව කප්පාදු පියවරයන් පැටවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) දෙන විධානයන් ක්‍රියාත්මක කරනු ඇත.

කොලඹ, යාපනය, ගාල්ල, මධ්‍යම වතු දිස්ත්‍රික්කයේ මස්කෙලිය සහ කටුනායක නිදහස් වෙලඳ කලාපය ඇතුලු රටෙහි බොහෝ ප්‍රදේශ තුල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ මැදිහත් වූ හ. වර්තමාන ආර්ථික අර්බුදයේ මූලාශ්‍රය වන්නේ ධනවාදය බව පැහැදිලි කල ඔවුහු, මහජනයාගේ අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීම සඳහා වන පක්ෂයේ සමාජවාදී ක්‍රියා මාර්ගය ඉදිරිපත් කල හ.

බොහෝ කම්කරුවෝ හුදෙක් ආන්ඩුවට පමනක් නො ව, සමස්ත දේශපාලන සංස්ථාපිතයට ම, ඔවුන්ගේ අත්‍යන්ත විරුද්ධත්වය ප්‍රකාශ කල හ.

කොලඹ පුද්ගලික බැංකුවක සේවකයෙක් වන ශානක මෙසේ අදහස් පලකලේ ය: “ලංකාවේ මහජනයා දැන් මුහුන දෙන අතිශයින් ම කාලකන්නි කොන්දේසි අවසන් කිරීම සඳහා සමස්ත දේශපාලන පද්ධතිය තුල ම වෙනසක් විය යුතු යයි බලගතු ලෙස විශ්වාස කරන නිසා මම මේ අරගලයට සහභාගි වෙනවා. මේ දක්වා ලංකාව පාලනය කර ඇති සියලු පාලකයෝ මහජනයා රවටා තිබෙනවා. ඔවුන් සියලු දෙනා ම එක ම පිලිවෙත ආරක්ෂා කරන බව පැහැදිලි යි.”

ගාල්ලේ සිල්ලර වෙලඳසැලක සහායකයෙක් මෙසේ කීවේ ය: “මට තව දුරටත් ඉවසන්න බැහැ. මගේ සොච්චම් පඩිය ජීවත් වෙන්න ප්‍රමානවත් නැහැ. මට මගේ ලමයින්ට උගන්නන්න වත් වියදම් කරන්න බැහැ. මූලික අවශ්‍යතා සඳහා මට මුදල් හොයාගන්න බැහැ. මගේ බිරිඳ රැකියාවක් කරන්නෙත් නැහැ. විකුනන්න කිසි දෙයක් මගේ ගෙදර නැහැ. අපි අසරන වෙලා. මේ ධනපති දේශපාලකයො ගැන මම විශ්වාස කරන්නෙ නැහැ.”

පුත්තලම දිස්ත්‍රික්කයේ කම්හල් කම්කරුවෙක් වන අමිල මෙසේ විස්තර කලේ ය: “සෑම කම්හලක් ම වගේ නියෝජනය කරන කම්කරුවන් සමගින් උදෑසන 4.30-5.00 විතර ඉඳන් මේ විරෝධතාවට ස්වාධීන ව සහභාගි වීම අපි ආරම්භ කලා. වෘත්තීය සමිති අප ව කැඳෙවුවේ නැහැ. මේ ආන්ඩුව ගෙදර යැවිය යුතු යි. (පාර්ලිමේන්තුවේ) දේශපාලනඥයන් 225 ම යා යුතු යි. ඔවුන් කොල්ලකාපු ධනය යලි අත්පත් කරගත යුතු යි. මහජනයාට ඉන්ධන, පොහොර වගේ ම කෑමට යමක් නැහැ. ඊලඟට මොන ආන්ඩුව ආවත් ඒගොල්ලොත් ඒක ම කරාවි.”

ඊයේ හදිසි නීතිය පැනවීම, සසප ප්‍රකාශය තුල කම්කරුවන්ට කරන ලද අනතුරු ඇඟවීම සනාථ කරයි. ජනාධිපතිවරයා, විරෝධතාවන්ට එරෙහි ව ආරක්ෂක හමුදා යොදා ගැනීමට, පූර්වයෙන් ඔහු දැරූ ප්‍රයත්නය පස්සට ගත්ත ද ජාමූඅහි විෂඝෝර නියෝග ප්‍රජාතන්ත්‍රවාදී ව හෝ සාමකාමී ව ක්‍රියාවට දැමිය නො හැකි බව ඔහු හොඳින් දනී.

අප්‍රේල් 7දා නිකුත් කල ප්‍රකාශය තුල සසප මෙසේ අනතුරු ඇඟවී ය: “එහෙත් රාජපක්ෂ සිටින්නේ කල්යල් බලමිනි. ඔහුට අනතුරු ඇඟවීමකින් තොර ව ම හදිසි නීතිය පනවා යලිත් මිලිටරිය බලමුලු ගැන්විය හැකි ය. කම්කරුවන්ගේ කාර්මික ක්‍රියා තහනම් කර, සංවිධාන හා දේශපාලන පක්ෂ නීති-විරෝධී කොට, මාධ්‍ය වාරනය කරමින් හා පුද්ගලයන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම ඔහුට කල හැකි ය. මෙම ජනාධිපති ධුරය ම අහෝසි කරනු ලැබිය යුතු ය. ගෝඨාභය සමගින්, විධායක ජනාධිපති ධුරය හා ආන්ඩුව අත තිබෙන ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති රොත්ත ද උදුරා දැමිය යුතු ය.”

විරෝධතා ව්‍යාපාරය ලේවැකි ලෙස මර්දනය කරනු ලැබීමේ තර්ජනයට එරෙහි ව සූදානම් වීම පිනිස, දේශපාලනික හා කාර්මික යන දෙවර්ගයේ ම ස්වාධීන ක්‍රියා මගින් කම්කරු පන්තිය නැගී සිටීමේ හදිසි භාවය, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම මගින් ඉස්මතු කරයි. චාමින්ද ලක්ෂාන් ඝාතනය කරමින් හා තවත් විසි ගනනකට බරපතල තුවාල සිදුකරමින්, රඹුක්කන දී කල පොලිස් වෙඩිතැබීම හරහා තමන් ප්‍රචන්ඩත්වය යොදාගනු ඇති බව, ආන්ඩුව දැනට මත් ප්‍රදර්ශනය කර ඇත.

කම්කරුවන්ගේ වියදමින් මහ ව්‍යාපාරිකයේ හා ආන්ඩුවේ අවශ්‍යතාවන්ට සේවය කිරීම පිනිස, වැඩ වර්ජන හා අරගල පාවාදීමේ මනාපය යලි යලිත් ප්‍රදර්ශනය කර ඇති වෘත්තීය සමිති අත දේවල් පැවතීමට ඉඩ දිය නො හැකි ය. වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන, තම අයිතීන් වලට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂා වීමටත්, තම ඉල්ලීම් සඳහා සටන් කිරීමටත්, ලංකාවේ අනෙකුත් කම්කරුවන් හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එම කමිටු සම්බන්ධීකරනය කරන ලෙස, සසප කම්කරුවන් උනන්දු කරයි.

කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් මතට එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ සමාජවාදී ක්‍රියා මාර්ගයක් සසප ප්‍රකාශය විදාරනය කලේ ය. කම්කරුවන්ගේ පාලනය යටතේ, බැංකු, මහා සංගත, විශාල වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කිරීම හරහා, සියලු අත්‍යවශ්‍ය භාන්ඩවල නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීම ඒවාට ඇතුලත් විය.

ධනවත් සුලුතරයකගේ ලාභ වෙනුවට, බහුතරයේ දැවෙන අවශ්‍යතා ඉටුකිරීම සඳහා, සමාජය සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කරනුවස්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට කරන සටන තුල, ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සිය පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම හරහා ගම්බද පීඩිතයින් හා නාගරික දුගීන් තමන්ගේ පාර්ශවයට දිනාගැනීමට කම්කරු පන්තියට හැකි වනු ඇත.

මෙම ඉදිරි දර්ශනය සඳහා සටන් වදින්නේ සසප පමනි. සසපට බැඳී, වේගයෙන් දිගහැරෙමින් පවතින අරගලවලට අවශ්‍ය දේශපාලන නායකත්වය සම්පාදනය කිරීමට අවශ්‍ය මහජන පක්ෂය ලෙස එය ගොඩනැගීමට එක් වන මෙන් අපි ඔබෙන් ඉල්ලමු.

Loading