ඉදිරිදර්ශන

විෂඝෝර හදිසි නීතියට විරුද්ධ වනු! ජනාධිපති ආඥාදායකත්වය එපා! විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු!

[මෙය Oppose the draconian State of Emergency! No to presidential dictatorship! Abolish the executive presidency! මැයෙන් 2022 මැයි 9 පල වූ සසප ප්‍රකාශයේ පරිවර්තනයයි.]

පසුගිය සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප), එය වහා ම ඉවත් කරන ලෙස කියා සිටී.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම වනාහි, ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස ද ඉහල නැගෙන උද්ධමනය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දරුනු හිඟයන් විසින් නිර්මිත සමාජ කාලකන්නි භාවය අවසන් කරන ලෙස ද බලකරමින් මසක් පුරා පැවැත්වෙන වැඩකරන ජනයාගේ අරගලය හා කම්කරු පන්තිය තලා දැමීම සඳහා සූදානම් වීමකි.

2022 මැයි 6 වන දින මහා වැඩවර්ජනය අතරතුර දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් කොළඹ පාර්ලිමේන්තු පාරේ රැස්ව සිටියහ [ඡායාරූප: WSWS මාධ්‍ය]

මෙම ඉල්ලීම් සඳහා අරගල කිරීමේ දී, කම්කරු පන්තියට පවතින යෝධ සමාජ බලය, අප්‍රේල් 28 හා මැයි 6දා පැවති එක් දින මහා වැඩ වර්ජනවල දී කම්කරු පන්තිය විසින් ප්‍රදර්ශනය කලේ ය. පසුගිය සිකුරාදා, ස්වයං-රැකියා නියුක්තිකයන්, ගම්බද දුගීන්, ධීවරයන් හා කුඩා ව්‍යාපාරිකයන් ද ඒකාබද්ධ මහා වැඩ වර්ජනයට හා සමස්ත දිවයිනේ ම ආර්ථිකය ඇනහිට වූ හර්තාලයට සම්බන්ධ විය.

මහා වැඩ වර්ජනය හා හර්තාලය, පාලක පන්තිය මෙන් ම වැඩ වර්ජනය කැඳවූ වෘත්තීය සමිති ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය ම -ආන්ඩුවේ මෙන් ම විපක්ෂයේ- භීතියට පත්කලේ ය.

පසුගිය සිකුරාදා වැඩ වර්ජනයට රාජපක්ෂගේ ප්‍රතිචාරය වූයේ, දැනට මත් ඔහුට පවතින පුලුල් ඒකාධිපති බලතල තවදුරටත් ශක්තිමත් කරගැනීමේ උපක්‍රමයක් ලෙස, ක්ෂනික හදිසි තත්ත්වයක් පැනවීම යි. හදිසි නීතිය යටතේ ඔහුට, වරෙන්තුවකින් තොර ව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මිලිටරිය හා පොලීසිය දිගේලි කිරීම, වැඩ වර්ජන, විරෝධතා හා රැස්වීම් තහනම් කිරීම, ඇඳිරි නීතිය හා මාධ්‍ය වාරනය පැනවීම සහ දේශපාලන පක්ෂ තහනම් කිරීම කල හැකි ය.

ආරක්ෂක හමුදාවල සියලු සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කිරීම මගින්, ජනාධිපතිවරයා දැනට මත් මිලිටරිය දිගේලි කිරීමේ පලමු පියවර ගෙන ඇත. 26-අවුරුදු දෙමල-විරෝධී වාර්ගික යුද්ධය සමයේ ගොඩනගන ලද මිලිටරිය, දකුනු ආසියාවේ විශාලතම ඒක ජන ඝනත්වයක් සහිත එක වන අතර, බොහෝ සෙයින් දේශපාලනීකරනය වී ඇත. පසුගිය වසර දෙක පුරා සිවිල් පරිපාලනයේ මූලික තනතුරුවලට ඉහල මිලිටරි නිලධාරීන් ඒකාග්‍ර කිරීමට රාජපක්ෂ පියවර ගෙන තිබේ.

තමන් හදිසි බලතල පනවා ඇත්තේ ' ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා” පවත්වාගෙන යාමට ය යන රාජපක්ෂගේ කියාපෑම අමු කෙප්පයකි. කම්කරුවන්ට හා දුගීන්ට දැරිය නො හැකි කොන්දේසි නිර්මානය කරමින්, ඔහුගේ පාලන තන්ත්‍රය හා ධනපති පන්තිය, “ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවාවන්” දැනට මත් මුලුමනින් ම කඩාකප්පල් කර ඇත.

රාජපක්ෂ පාලනය මිලිටරිය බලමුලු ගන්වන අතර, වෘත්තීය සමිති කම්කරු පන්තිය නිරායුධ කරමින් සිටිති. පසුගිය සිකුරාදා පැවති වැඩ වර්ජනයේ හා හර්තාලයේ “අනපේක්ෂිත සාර්ථකත්වය” යනුවෙන් ඔවුන් කියන දේ හේතුවෙන් වෙවුලුම් කැවී හා ආන්ඩුව සමග ගැටුමකට බියෙන් සිටින වෘත්තීය සමිති, ලබන බදාදා ආරම්භ කිරීමට නියමිත ව තිබූ අඛන්ඩ මහා වැඩ වර්ජනය අවලංගු කොට, ඒ වෙනුවට දෛනික ව කෑම පැයේ පවත්වන කම්කරු රැස්වීම්වලින් සමන්විත සංකේත විරෝධය පෑම් ආදේශ කර ඇත.

ජනාධිපතිවරයා හා ආන්ඩුව ඉල්ලා අස්වන්නේ නැති නම්, මැයි 17දා පාර්ලිමේන්තුව වෙත පාගමනක් සංවිධානය කොට විසඳුමක් ඉල්ලා සිටින බව ඔවුහු ප්‍රකාශ කරති. දැනට මත් පැහැදිලි කර ඇති ඔවුන්ගේ විසඳුම වන්නේ, ප්‍රධාන වසයෙන් සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු ධනපති විපක්ෂ අන්තර්වාර ආන්ඩුවක් බිහිකර, ඉන්පසුව නියමිත කලට පෙර මැතිවරනයක් පැවැත්වීම යි.

මෙය පාලක පන්තියට මිස කම්කරු පන්තිය සඳහා විසඳුමක් නො වේ. ආන්ඩුව හා විපක්ෂය ඇතුලු සියලු පාර්ලිමේන්තු පක්ෂ, හදිසි ඇප නයක් සඳහා හිලව් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විෂඝෝර නියෝග පැටවීමට කැපවී සිටිති. මුදල් ඇමති අලි සබ්‍රි ප්‍රකාශ කල පරිදි: “එය හොඳ වීමට පෙර වඩා නරක අතට හැරීමට නියමිත යි...ඉදිරයේ එලඹෙන වසර ගනනාවක් සදහා එය වේදනාකාරී වනු ඇති.”

මේ සතියේ මහා වැඩ වර්ජනය අවලංගු කිරීමට වෘත්තීය සමිති ගත් ද්‍රෝහී තීන්දුව සසප හෙලා දකියි. විරුද්ධ පක්ෂ සමග තිරයෙන් පිටුපස සිට කුමන්ත්‍රනය කරන අතරතුර, මිලිටරිය බලමුලු ගැන්වීමට ජනාධිපති රාජපක්ෂට කාලය ලබා දීම පමනක් මෙමගින් කරනු ඇත. ඔහු සජබ නායක සජිත් ප්‍රේමදාසට අගමැති ධූරය භාරගන්නා ලෙස දන්වා ඇති අතර, ප්‍රේමදාස එය ප්‍රතික්ෂේප කර තිබුනත්, පිටත සිට අන්තර්වාර පාලනයකට ඔහුගේ පක්ෂයේ සහයෝගය ලැබෙන බව ප්‍රකාශ කර ඇත.

දේවල් වෘත්තීය සමිතිවල හස්තයේ පැවතීමට ඉඩදීම විසින් කම්කරු පන්තිය පාවාදෙනු ලබනු ඇත. මෙම වෘත්තීය සමිති වනාහි, සෞඛ්‍ය කම්කරුවන් හා ගුරුවරුන් ඇතුලු කම්කරුවන් නියැලුනු සෑම අරගලයක් ම පාවා දී තිබෙන ඒවා ම ය. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ නායකයන් වන රවී කුමුදේශ් හා සමන් රත්නප්‍රිය, ඔවුන් වැඩ වර්ජන හා විරෝධතා කැඳවන්නේ කම්කරුවන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට නො ව, “ඔවුන්ගේ කෝපය කලමනාකරනය” කිරීමට බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.

රාජපක්ෂගේ මිලිටරි මර්දන තර්ජනය පරාජය කිරීමට හා සිය පන්ති අවශ්‍යතා සඳහා වන දේශපාලන ක්‍රියා මාර්ගයකට සටන් කිරීමට, සිය ශක්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම කම්කරු පන්තිය මුහුන දෙන හදිසි කර්තව්‍යය යි.

වෘත්තීය සමිතිවලින් ද ඒවා ගැටගැසී සිටින ධනපති පක්ෂවලින් ද ස්වාධීන ව, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු සෑම කම්හලක හා වැඩපොලක ම සහ කම්කරු නිවහන් ප්‍රදේශවල නොපමාව ගොඩනගා ගන්නා ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි.

වතු හා සෞඛ්‍ය කම්කරුවන් අතර අප දැනට මත් කර ඇති පරිදි, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සහයෝගය දීමට සසප සූදානම් ය. කම්කරුවන්ට හා තරුනයන්ට අප අමතන ලෙස අපි ඉල්ලමු.

ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව යා යුතු බවට අපි එකඟ වුව ද එය පමනක් ප්‍රමානවත් නො වේ.

  • මිලිටරියේ පිටුබලය ලබන ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කිරීමට දැන් යොදා ගැනෙමින් තිබෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස සසප ඉල්ලයි.
  • සියලු මර්දන නීති අහෝසි කරන ලෙස සසප ඉල්ලා සිටී. ජනාධිපතිට හදිසි තත්ත්වයක් පැනවීමට බලය ලබා දී ඇති මහජන ආරක්ෂක පනත; කාර්මික ක්‍රියා සාපරාධීකරනය කිරීමට යොදා ගැනෙමින් තිබෙන අත්‍යවශ්‍ය මහජන සේවා පනත; සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වලට හා නඩු ඇසීමකින් තොර ව දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට යොදා ගැනෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ද මේවාට අඩංගු වේ.

ලංකාවේ හා ජාත්‍යන්තර ධනවාදයේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ, වැඩකරන ජනයා මත විශාල නව බර පැටවීම් මගින් එහි ලාභ හා ධනය ආරක්ෂා කරගැනීමට පාලක පන්තිය අධිෂ්ටානවත් ව සිටී. සිය සමාජ අවශ්‍යතා සඳහා සටන් කිරීමට, කම්කරු පන්තියට සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලධර්ම මත පදනම් වන දේශපාලන වැඩපිලිවෙලක් අවශ්‍ය ය.

ක්‍රියාකාරී කමිටුවල දේශපාලන හා කාර්මික අරගලය සඳහා පදනම ලෙස සසප පහත දැක්වෙන ඉල්ලීම් යෝජනා කරයි:
  • මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

ධනපති පන්තිය, යෝධ ලාභ කඳුගසා ගැනීම සඳහා නිෂ්පාදන මාධ්‍යවල හා බෙදාහැරීමේ තම අයිතිය ගසාකයි. සිය අත්‍යවශ්‍ය අවශ්‍යතා සම්පාදනය කරගැනීමට කම්කරු පන්තියට පවතින එක ම මාවත වන්නේ, ධනපතියන් අතින් ඒවා උදුරාගෙන, වර්තමාන පීඩාව හා කාලකන්නිකම අවසන් කිරීම සඳහා යොදාගත හැකි ආකාරයට සම්පත් ඒකාග්‍ර කර ගැනීමයි.

  • සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

රාජපක්ෂ ආන්ඩුව එහි රුදුරු කප්පාදු පියවරයන් සාධාරනීකරනය කරන්නේ ගෝලීය බැංකුකරුවන් වෙත ඩොලර් බිලියන ගනන් යලි ගෙවීමට ය. මෙම නය සමුච්ඡය කර නො ගත් කම්කරු පන්තියට, ඒවා ගෙවන ලෙස බල නො කල යුතු ය. ඒ වෙනුවට ආපසු ගෙවීම් සඳහා වන මුදල් යොදා ගතයුතු වන්නේ, සාධාරන මිල ගනන්වලට ආහාර, ඉන්ධන, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වැඩකරන ජනයාට සැපයීම පිනිස ය.

  • බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

ලෝක අසමානතා දත්ත ගොනුවට (World Inequality Database) අනුව, 2021 දී ලංකාවේ සමාජයේ ඉහල ම ධනවත් සියයට 10 දිවයිනේ ධනයෙන් සියයට 63.8ක යෝධ ප්‍රමානයක් අත්කර ගෙනසිටි අතර, පහල සියයට 50 සතුව තිබුනේ යන්තම් සියයට 4.3ක් පමනි. කම්කරු පන්තිය විසින් නිර්මිත මෙම දැවැන්ත ධනය අත්පත් කරගෙන, සමාජ අවශ්‍යතාවේ පදනම මත බෙදාහරිනු ලැබිය යුතු ය.

  • දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සමාජ සහනාධාර යලි ස්ථාපිත කරනු!

තම තියුනු ආර්ථික ගැටලුවලින් එලියට මාවතක් සම්පාදනය කිරීම මගින්, පීඩිත ගම්බද ජනයා සහ සිය අත්‍යවශ්‍ය උවමනා කම් ඉටු කර ගැනීමට අසමත් ව සිටින ඉහල නය බරින්, වියදම් අධික සැපයුම් හා මිල ගනන් හේතුවෙන් පීඩනයට පත් ව සිටින කුඩා ව්‍යාපාර හිමියන් ආකර්ශනය වන ධ්‍රැවයක් බවට කම්කරු පන්තිය පත්වනු ඇත.

  • ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිත ව සියලු දෙනාට රැකියා සහතික කරනු!

ජාමූඅ හා ජාත්‍යන්තර බැංකුකරුවන් සාර්ථක වුවහොත්, රැකියා විනාශ කිරීමේ සුලිකුනාටුවක් පැමිනෙනු ඇත. දැනට මත් ඉසිලිය නො හැකි උද්ධමනය වැටුප් ගිල දමයි. වසර ගනනාවක් තිස්සේ සිදු වී ඇති පරිදි රැකියා, වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම වෘත්තීය සමිතිවල හස්තයේ තිබීමට ඉඩ හැරියහොත් ඒවා තව දුරටත් විනාශභාග් වනු ඇත.

  • ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!

උද්ධමනය වේගයෙන් ඉහල යාම -අප්‍රේල් මාසයේ දී වසරින්-වසර අනුපාතය ආසන්න වසයෙන් සියයට 30ක් විය- දැනට මත් වැටුප් ගිල දමා ඇත. අප්‍රේල් මාසයේ දී ආහාර උද්ධමනය සියයට 46.6 දක්වා ලඟා වූ අතර, බොහෝ කම්කරුවන්ට ඔවුන්ගේ පවුල් ප්‍රමානවත් ලෙස නඩත්තු කල නො හැකි ය. අතීත අහිමි වීම් යලි හිමි කරගැනීමට වැටුප් වහා ම ඉහල දමමින්, වැටුප් ජීවන වියදමට අනුව මාසික පදනමින් වැඩිකරනු!

  • සේවාවන් අවශ්‍ය සියලු දෙනාට ඉහල ගුනාත්මක සේවාවන් තහවුරු කරමින්, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යාරක්ෂනය ඇතුලු සමාජ සුභසාධන වැඩසටහන්වලට බිලියන ගනන් මුදල් වෙන්කරනු!

නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යාරක්ෂනයට මුදල් වෙන්කිරීම් අනුප්‍රාප්තික ආන්ඩු විසින් කපා දමා ඇත්තේ, මහජන විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට දැන් සූදානම් කරමින් පවතින මිලිටරියට හා පොලීසියට අරමුදල් පොම්ප කරමිනි.

රාජ්‍ය මර්දනයෙන් කම්කරු පන්තිය ආරක්ෂා කරගැනීම සඳහා ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම සහ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමමින් සුපිරි ධනවතුන්ගේ ලාභවලට ඉහලින් වැඩකරන ජනයාගේ අයිතීන්වලට ප්‍රමුඛතාව දීම පිනිස, ක්‍රියාකාරී කමිටු ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය විසින් ඉස්මත්තට පමුනුවා ඇත.

සිංහල, දෙමල හා මුස්ලිම් යන සියලු කම්කරුවෝ, ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතාවල පදනම මත, පසුගිය සිකුරාදා පැවති මහා වැඩ වර්ජනයට එක් වූ හ. වාර්ගික හතුරුකම් හා වෛරය ඇවිලවීම හරහා කම්කරු පන්තිය බෙදීමට දරන සෑම උත්සාහයකට ම විරුද්ධ විය යුතු ය.

මෙම දේශපාලන අරගලය අනිවාර්යයෙන් ම පාලනය කරන්නේ කවර පන්තිය ද යන ප්‍රශ්නය ඉස්මතු කරයි. රාජපක්ෂ පාලනය වේවා, අන්තර්වාර ආන්ඩුවක් වේවා, කවර වර්ගයේ හෝ ධනපති ආන්ඩුවක්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් පැනවීමේ දී කිසිවකින් නතර නො වනු ඇති බවත්, ඕනෑ ම විරුද්ධත්වයක් මැඩීම පිනිස මිලිටරි මර්දනය කරා යොමුවීමට මැලි නො වනු ඇති බවත්, අපි අනතුරු අඟවමු.

දිවයින පුරා ස්වාධීන ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කිරීම සහ ඒකාබද්ධ දේශපාලන අරගලයක් වර්ධනය කිරීම, ගම්බද ජනයාගේ සහයෝගය දිනාගනිමින්, සමාජය සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කිරීමට කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට පදනම සපයනු ඇත.

ලංකාවේ ආර්ථික අර්බුදයට ජාතික විසඳුමක් නැත. එය වනාහි, කෝවිඩ්-19 වසංගතය සහ දැන් යුක්‍රේනය මැදි කරගෙන රුසියාවට එරෙහි ව එක්සත් ජනපද-නැටෝ සන්ධානයේ යුද්ධය විසින් තීව්‍රව ගැඹුරු වන ගෝලීය ධනවාදයේ අර්බුදයෙහි කොටසකි.

ලොව පුරා කම්කරුවෝ එක හා සමාන ප්‍රහාරයන්ට මුහුන දී සිටිති. ධනවාදයට එරෙහි ඒකාබද්ධ අරගලයක් සඳහා, ලංකාවේ කම්කරු පන්තිය ඉන්දියාව, දකුනු ආසියාව හා ලොව පුරා එහි පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරීම අවශ්‍ය ය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මගින්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාස) සමග එක් වෙමින්, ලංකාවේ කම්කරුවන්ට ඔවුන්ගේ අරගල ලොව පුරා කම්කරුවන්ගේ අරගල සමග සම්බන්ධීකරනය කල හැකි ය.

සියල්ලට ඉහලින් පවතින අවශ්‍යතාව වන්නේ, ලංකාවේත් ජාත්‍යන්තර වත්, විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම යි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සසප ට බැදී එය එලඹෙන අරගලයට නායකත්වය දෙන මහජන පක්ෂය ලෙස ගොඩ නැගීමට එක් වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු

Loading