දුටු තැන වෙඩි තැබීමේ නියෝග දී ජනාධිපතිවරයා මිලිටරිය වීදි බස්සයි

[මෙය Sri Lankan president mobilises military with orders to shoot on sight මැයෙන් 2022 මැයි 12 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

“කැරලිකරුවන්ට එරෙහි ව නීතිය අකුරට ම ක්‍රියාත්මක කිරීමේ” නියෝග දෙමින් රටපුරා මිලිටරිය බලගැන්වීමෙන් අනතුරු ව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ සන්ධ්‍යාවේ ජාතිය ඇමතී ය.

ගෝඨාභය රාජපක්ෂ (ස්තුතිය: ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

සඳුදා කොලඹ දී ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට එල්ල කරන ලද මැර ප්‍රහාරය පිලිබඳ ව සඳහන් කල රාජපක්ෂ, එම “අවාසනාවන්ත තත්ත්වය” කුහක ලෙස හෙලාදකිමින්, සම්පූර්න විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දී ඇතැයි කීවේ ය.

පොලිස්-රාජ්‍ය පියවර පැනවීම සඳහා කඩතුරාවක් ලෙස යොදා ගැනීමට, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) විසින් එම ප්‍රහාරය ක්‍රියාවට දමන ලදී. අගමැති මහින්ද රාජපක්ෂ විසින් අමතනු ලැබීමෙන් පසුව, පොලු හා මුගුරුවලින් සන්නද්ධ ශ්‍රීලපොපෙ මැරයන් සිය ගනනක්, ඔහුගේ නිල නිවසින් පිටත රැඳී සිටි ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට ද පසුව මාසයක පමන කාලයක් තිස්සේ කොලඹ ගාලු මුවදොර පිටියේ විරෝධතා දක්වන්නන්ට ද එරෙහි ව මුදාහරිනු ලැබී ය.

දැවැන්ත මිල ඉහල යාම්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධවල හිඟයන් සහ දීර්ඝ දෛනික විදුලි කප්පාදු විසින් නිර්මානය කරන ලද සමාජ ව්‍යසනයක්, ජනාධිපති රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙන ජාතික පරිමාන පුලුල් විරෝධතාවන් අවුලුවා ඇත.

රාජපක්ෂ ජාතිය අමතා කල කතාව කේන්ද්‍රගත කෙරුනේ, ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරු ව, රට පුරා ශ්‍රීලපොපෙ ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලින් පිටත පුපුරා ගිය ප්‍රචන්ඩ ගැටුම් වලට විය. මෙම ගැටුම්වල දී, නිවාසවලට ගිනි තබන ලද අතර, පුද්ගලයන් කිහිප දෙනෙක් මිය ගිය හ.

මැයි 10දා සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිකුත් කල ප්‍රකාශයක් තුල අනතුරු ඇඟවූ පරිදි, මෙම ගැටුම් වලින් රාජපක්ෂගේ හා රාජ්‍ය යන්ත්‍රයේ අත් ශක්තිමත් කෙරී ඇත. “කැරලිකරුවන්ට එරෙහි ව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස' ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවන්ට හා පොලීසියට 'නියෝග කරනු ලැබ ඇතැ” යි ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ ය.

පසුගිය සිකුරාදා පැවති යෝධ එක් දින වැඩ වර්ජනය හා ව්‍යාපාර වසා දැමීම්, රටෙහි ආර්ථිකය නතරකොට, පාලක පන්තිය භීතියෙන් වෙවුලුම් කැවීමෙන් පසු, රාජපක්ෂ ඒ වන විටත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට තිබුනි. බලතල සහිත ව සන්නද්ධ හමුදා දිගේලි කිරීම, වරෙන්තුවලින් තොර ව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, වැඩ වර්ජන, විරෝධතා හා රැස්වීම් තහනම් කිරීම, ඇඳිරි නීතිය හා මාධ්‍ය වාරන පැනවීම සහ දේශපාලන පක්ෂ තහනම් කිරීම ඇතුලු විස්තීර්න බලතල, හදිසි නීතිය විසින් ජනාධිපතිවරයාට ලබා දෙයි.

ඊයේ දිවයින පුරා මිලිටරිය දිගේලි කිරීම, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 26-අවුරුදු ප්‍රතිගාමී වාර්ගික යුද්ධය සිහිගන්වයි. කොලඹ පුරා, සන්නද්ධ රථ හා යතුරුපැදිවල නැගුනු සොල්දාදුවෝ වීදි පුරා මුර සංචාරය කරමින් සිටිති. වාහන හා මහජනයා නවත්වා පිරික්සීමට තනා ඇති බැරිකේඩ සහිත මුරපොලවල, දැඩිව-සන්නද්ධ සොල්දාදුවන් රඳවනු ලැබ සිටී.

කොලඹ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන දැවැන්ත ලෙස සන්නද්ධ සොල්දාදුවන් හා මිලිටරි රථ වාහන (ඡායාරූපය: ෆේස්බුක්)

රටෙහි සෑම ප්‍රදේශයක ම, ප්‍රධාන නගර හා මහාමාර්ග වල පිහිටි මූලෝපායික ව වැදගත් ස්ථානවල, මිලිටරි භටයන් මුර කපොලු පිහිටුවා ඇත.

සඳුදා නැවත දැනුම් දෙන තුරු පනවන ලද ඇඳිරි නීතිය, අද උදේ 7ට ඉවත් කල ද ඉන් පැය හතකට පසුව යලි සිකුරාදා උදෑසන දක්වා පනවනු ලබන බව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

සඳුදා ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට එල්ල කරන ලද මැර ප්‍රහාරයෙන් පසුව, ඇඳිරි නීතිය හා ආරක්ෂක හමුදා නො තකමින්, තම සහයෝගය පෙන්වීම සඳහා, පුද්ගලයන් දහස් ගනනක් ගාලු මුවදොරට රැස් වූ හ. එහෙත්, යලි එක්‍ රැස් වී ඇති විරෝධතාකරුවන් ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියා කරන බව ඊයේ හවස පොලීසිය ප්‍රකාශ කලේ, ඔවුන් ව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සූදානම ගැන ඉඟි කරමිනි.

ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්ට එල්ල කල මැර ප්‍රහාරයට එරෙහි ව මහනුවර දී පාගමනින් යන සිය ගනනක් සෞඛ්‍ය කම්කරුවන්

සමාජ මාධ්‍ය මත කඩාපැනීමක් ද න්‍යාය පත්‍රයෙහි පවතී. මර්දනීය පරිගනක අපරාධ පනත හා අනෙකුත් අපරාධ නීති යටතේ විමර්ශන අරඹනු ලැබ ඇති සමාජ මාධ්‍ය වේදිකා 59ක් හඳුනාගනු ලැබ ඇති බව ඊයේ පොලීසිය කියා සිටියේ ය.

සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ අධිෂ්ටානය දැනට මත් ප්‍රදර්ශනය කර ඇති කම්කරු පන්තිය මතට කඩා පැනීම පිනිස රාජපක්ෂ ක්‍රමානුකූල ව සූදානම් වෙමින් සිටින බවට, පුලුල් මිලිටරි දිගේලි කිරීම හා පොලිස්-රාජ්‍ය පියවරයන් කරා යොමු වීම තියුනු අනතුරු ඇඟවීමකි.

අප්‍රේල් 28දා හා මැයි 6දා පැවති මහා වැඩ වර්ජනයන්ට මිලියන ගනන් කම්කරුවන් සහභාගි වූයේ, ඒවා සීමිත විරෝධතා වෙතැයි සිතූ වෘත්තීය සමිති ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය කම්පනයට පත්කරමිනි.

හදිසි ඇප නයක් සහ එයට හිලවු ලෙස විෂඝෝර කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ (ජාමූඅ) සමග ගනුදෙනුවකට, ආන්ඩුවේ මෙන් ම විපක්ෂයේ සියලු ධනපති පක්ෂ කැප වී සිටිති. “ස්ථාවරත්වය” -වෙනත් වචනවලින් කියතොත්, කම්කරු-පන්තික විරෝධය මැඩීම- සඳහා ජාමූඅ කරන විධානයට, ඒ සියලු පක්ෂ සහයෝගය දෙති.

පාර්ලිමේන්තුවේ සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවලට පිලිගත හැකි අගමැතිවරයෙක් හා කැබිනට්ටුවක් පත්කරන ලෙස කැඳවුම් කරමින්, ලංකා වානිජ මන්ඩලය, ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මන්ඩල සම්මේලනය හා ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය ඇතුලු ව්‍යාපාරික සංවිධාන කන්ඩායම් දොලහක් මේ සතියේ දී ජනාධිපතිවරයාට ලියූ හ.

“රට තුල නීතිය හා සාමය ද ආර්ථික ක්‍රියාකාරීත්වය ප්‍රතිස්ථාපනය කිරීමට ද ජාමූඅ සමග සාකච්ඡා ‘අවදානමේ නො හෙලීමට’ ද වහා ම ක්‍රියාත්මක වන පරිදි” මෙම පියවරයන් ක්‍රියාත්මක කල යුතු බව, මහ-ව්‍යාපාරික කන්ඩායම් ප්‍රකාශ කල හ.

මිලිටරිය දිගේලි කල ද ජනාධිපති රාජපක්ෂ සිටින්නේ දුර්වල තත්ත්වයක ය. ආන්ඩු-ගැති මැරයන්ගේ ප්‍රහාරය වැඩකරන ජනයා කෝපගැන්වූ බව ද කම්කරු පන්තියේ කොටස් වැඩ නැවැත්වූ බව ද පැහැදිලි වූ විට, අගමැති මහින්ද රාජපක්ෂ සිය කැබිනට්ටුව සමගින් ඉල්ලා අස් විය. සිය දුරදිග යන විධායක බලතල යොදාගන්නා ජනාධිපතිවරයා, වර්තමානයේ සියලු කැබිනට් ඇමති තනතුරු දරයි.

“පාර්ලිමේන්තුව තුල බහුතරයක් දරන හා මහජනයාගේ විශ්වාසය සුරක්ෂිත කරගන්නා” නව අගමැතිවරයෙක් හා කැබිනට්ටුවක් සතියක් ඇතුලත පත්කරන බව, ජාතිය අමතා කල කතාවේ දී රාජපක්ෂ කීවේ ය. “පාර්ලිමේන්තුව බලගැන්වීම සඳහා” 19වන ව්‍යවස්ථා සංශෝධනය කරා යලි යොමු වීමට පියවර ගැනෙනු ඇත. වර්තමානයේ දී, ජනාධිපතිවරයාට ඔහුගේ අභිමතය පරිදි, ඇමතිවරු හෝ සමස්ත ආන්ඩුව ම නෙරපා හැරිය හැක.

එහෙත්, දැනට පාර්ලිමේන්තු බහුතරයක් කිසිදු පක්ෂයකට නොමැති අතර, ඒ සියලු පක්ෂ ගැඹුරින් ම අපකීර්තියට පත් ව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් 65ක් සිටින විපාර්ශවික සමගි ජන බලවේගයට (සජබ) ආන්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ලබාදුන් නමුත්, ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව එය කියා සිටියේ ය.

ඒ හා සමනා ව, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) ද අන්තර්වාර ආන්ඩුවක් පත්කිරීමට තමන්ට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටි නමුත්, එය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු යයි කියා සිටී. එයට සිටින්නේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමනක් වන අතර, සහයෝගය දෙන ලෙස එය අනෙකුත් පක්ෂවලින් ඉල්ලා සිටියේ ය. පිටත සිට අන්තර්වාර පාලනයකට සහයෝගය දෙන බව ද එය ප්‍රකාශ කර ඇත.

තමන් ඉල්ලා අස් නො වන බව ජනාධිපති රාජපක්ෂ යලි යලිත් අවධාරනය කර ඇති අතර, කුමන ආකාරයේ හෝ අන්තර්වාර ආන්ඩුවක් තනා ගැනීමටත්, ජාමූඅ න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීම සඳහා කාලය ලබා ගැනීමටත්, තිරය පිටුපස කරන සාකච්ඡා පැහැදිලි ව ම නො ඉවසිලිවන්ත ය.

වෘත්තීය සමිති විසින් දේශපාලනික ව සාපරාධී භූමිකාවක් ඉටු කෙරේ. සඳුදා ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රහාරයට හා පලල් කම්කරු කොටස්වල කෝපයට ප්‍රතිචාර වසයෙන්, සඳුදා සවස සිට අඛන්ඩ මහා වැඩ වර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිති ක්‍රියා කල හ.

එහෙත්, පැය 24 ඇඳිරි නීතියක් ක්‍රියාත්මක ව පවතිද්දී, බොහෝ කම්කරුවන් යතාර්ථයේ දී “වැඩ වර්ජිත ව” සිටියේ, ඔවුන්ට වැඩට යාමට අවසර නොදුන් බැවිනි. වතු හා නිදහස් වෙලඳ කලාප ඇතුලු මූලික කම්කරු කොටස් වැඩට වාර්තා කලේ, පොලීසියේ හා වෘත්තීය සමිතිවල අවසරය සහිතවයි.

දැන් රාජපක්ෂ ඇඳිරි නීතිය ලිහිල් කර තිබෙද්දී, රට “අරාජිකත්වයට” ඇද වැටීමෙන් වැලැක්වීම සඳහා, “මහජන සේවාවන් සාමාන්‍ය තත්ත්වයට ගෙන ආ යුතු” බව මාධ්‍ය වෙත කියමින්, ඔවුන්ගේ “මහා වැඩ වර්ජනය” ආපසු කැඳවන බව වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව (වෘසසක) ඊයේ කීවේ ය. “මහජනයාගේ අරගලයට තමන් නව ආකාරයකින් ප්‍රතිපදානය කරන” බව ඔවුහු ප්‍රකාශ කල හ.

කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කිරීම වෙනුවට, වෘත්තීය සමිති ක්‍රියා කර ඇත්තේ, කම්කරු පන්තිය තුල පවතින මහා විරුද්ධත්වය සීමා කොට, අපසරනය කර, මර්දනය කිරීමට හා ධනපති පාලනයට මුක්කුව දීමට යි. විරුද්ධ පක්ෂවල ඉල්ලීම වන ආන්ඩුව ඉල්ලා අස්වී, නව ධනපති ආන්ඩුවක් තැනීම සමග, ඔවුන්ගේ ඉල්ලීම් තථ්‍ය වසයෙන් අනන්‍ය වේ.

ජාමූඅ හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ වෙලඳපොල-ගැති න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමේ වාර්තාවක් සහිත සංස්ථාපිතයේ සියලු පක්ෂ කෙරෙහි මෙන් ම, පසුගිය වසර දෙක පුරා කම්කරුවන්ගේ සෑම අරගලයක් ම යටත් කර පාවා දී ඇති ඒවායේ පක්ෂ, ඔවුනගේ වෘත්තීය සමිති පන්දම්කරුවන් කෙරෙහි ද කම්කරු පන්තිය කිසිදු විශ්වාසයක් නො තැබිය යුතු ය.

කම්කරු පන්තිය දේවල් තමන්ගේ ම අතට ගැනීමේ හදිසි අවශ්‍යතාව සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරයි. වෘත්තීය සමිතිවලින් හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු තැනීම අරඹා ඇති අපි, සිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කිරීමට, ක්‍රියාකාරී කමිටු ජාලයක් ඉක්මනින් ස්ථාපිත කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලමු.

ආන්ඩු-ගැති මැරයන්ගේ ප්‍රහාරවලින් වැඩකරන ජනයා හා ගම්බද මහජනයා ආරක්ෂා කිරීම පිනිස, ක්‍රියාකාරී කමිටු සමග ඒකාබද්ධ ව ආරක්ෂක කමිටු හා ආරක්ෂක භට කන්ඩායම් තනන ලෙස ද මැයි 10දා නිකුත් කල ප්‍රකාශයෙන් සසප කැඳවුම් කරයි.

සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, ජාමූඅ කප්පාදු ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු, මහා සංගත හා වතු ඇතුලු නිෂ්පාදන හා බෙදාහැරීම් මාධ්‍යවල කම්කරු-පන්තික පාලනය පිහිටුවීම ඇතුලු වැඩකරන ජනයාගේ දැවෙන සමාජ අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කරන පිලිවෙත් මාලාවක් විදාරනය කිරීමට සසප පියවර ගෙන ඇත.

කම්කරු පන්තිය මුහුන දෙන සමාජ ව්‍යසනයට, සමාජවාදී ක්‍රියා මාර්ගයක් සඳහා සටන් වැදීමෙන් පිටත විසඳුමක් නැත. නාගරික හා ග්‍රාමීය දුගීන් කම්කරු පන්තියේ පාර්ශවයට රැලි කරදෙනු ඇති කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයක්, සමාජය සමාජවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමට කැපවුනු කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පදනම දමයි.

Loading