ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා: ජාමූඅ හි විෂඝෝර කප්පාදු ක්‍රියාවට නැංවීමේ දේශපාලන යාන්ත්‍රනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු සමස්ත ධනපති පාලක පංතිය, එය මුහුන දී සිටින ප්‍රගාඪ දේශපාලන සහ ආර්ථික අර්බුදය කම්කරු-පීඩිත මහජනතාවගේ වියදමින් සමහන් කර ගැනීමට දරන මංමුලාසහගත ප්‍රයත්නය තුල, ශ්‍රී ලංකා නීතීඥ සංගමය (ශ්‍රීලනීස) ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරයි. රටෙහි “දේශපාලන සහ ආර්ථික ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය” කිරීමට යැයි කියම්න් ශ්‍රීලනීස ඉදිරිපත්කොට ඇති යෝජනා ඒ අතරින් සුවිශේෂී අර්ථභාරයක් ගැබ්කර ගනී.

අප්‍රේල් අග දී ඉදිරිපත් කෙරුනු මෙම යෝජනා මාලාවේ යතා අරමුන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය ඇතිකර ගැනීමයි. එසේ වුවද එය ඉදිරිපත් කෙරෙනුයේ, ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීමේ සැරසිලි වල දවටමිනි.

“මාස 18 ක නිශ්චිත කාල රාමුවක් තුල” විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලයුතු බවත්, එය සතුව පැවති විධායක බලතල පාර්ලිමේන්තුවට වගවන අගමැතිවරයෙකුට සහ කැබිනට් මන්ඩලයකට පැවරෙන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කලයුතු බවත් ශ්‍රීලනීස යෝජනා කරයි.

එතෙක්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අහෝසි වන පරිදි 21 වන සංශෝධනයක් ගෙන ආ යුතු බවද, එමගින් 19 වන සංශෝධනය වැඩි දියුනු කලයුතු බව ද එක් යෝජනාවකි. නව සංශෝධනයට අනුව, ව්‍යවස්ථා සම්පාදක සභාවක් ද, ස්වාධීන කොමිෂන් සභාවන් ද ස්ථාපනය කලයුතු වෙයි.

වත්මන් අර්බුදයෙන් ගොඩඒම සදහා, පාර්ලිමේන්තු‌ව නියෝජනය කරන පක්ෂවල අනුමැතිය දිනාගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අගමැති තනතුර දරන, කැබිනට් ඇමතිවරු 15 දෙනෙකුගෙන් යුත් අන්තර්වාර “ජාතික සමගි ආන්ඩුවක්” පිහිටුවා ගතයුතු යැයි ද ශ්‍රීලනීස කියා සිටී.

“ජාතික සමගි ආන්ඩුව මැතිවරන අධීක්ෂනය සඳහා භාරකාර රජයක් ලෙස උපරිම මාස 18ක කාලයක් පවතිනු ඇත. මාස 18 අවසන් වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 6කින් මහ මැතිවරනයක් පවත්වනු ලැබේ. මහ මැතිවරනය අවසන් වීමෙන් පසු ජාතික සමගි ආන්ඩුවේ පැවැත්ම නතර වේ.”

මෙම යෝජනා මාලාව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ඉදිරිපත්කොට සාකච්ඡා කල බවත්, ඔවුන් සියලුදෙනා එය “අගය කල බවත්” ශ්‍රීලනීස පවසයි.

මැයි 07 දා ඩේලි මිරර් පුවත්පත වාර්තාකලේ ශ්‍රීලනීස යෝජනා මාලාවට සහයෝගය දෙන බවට සජබ ප්‍රකාශයක් නිකුත් කොට ඇති බවයි. පුවත්පත එම ප්‍රකාශයෙන් මෙසේ උපුටා දක්වයි: “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත්කර ඇති යෝජනා, පවතින ජාතික අර්බුදය විසඳීම සඳහා ප්‍රධානතම අවශ්‍යතාවක් ලෙස සලකන බව අපි ප්‍රකාශ කරමු.” මෙම අර්බුදය විසඳීමේ “ජාතික වැඩපිලිවෙලකට සහය ලබාදීමට ” සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය තීරනය කර ඇති බව ද එහි සදහන් වෙයි.

ධනපති නායකයන්ගේ සහ මාධ්‍යයන්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක්වූ ඉහත යෝජනා මාලාවේ අඩංගු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීමේ යෝජනා හුදු ව්‍යාජයන් බව, විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ “නිශ්චිත කාල රාමුව” මාස 18 ක් වැනි කාලයකට දීර්ඝ කිරීමෙන්මත් ප්‍රකාශයට පත්වේ. එහි අර්ථය වනුයේ, භාරකාර ආන්ඩුවේ මාස 18 ක සමස්ත ආයු කාලය තුල ජනාධිපති රාජපක්ෂ‌ට විධායක බලතල භාවිතා කල හැකි බවයි.

ආන්ඩුවට එරෙහි මහජන විරෝධතා තලා දැමීමේ අරමුනෙන් රාජපක්ෂ මැයි 06 දා පැනවූ හදිසි නීතිය යටතේ දැනටමත් වෙඩි තැබීමේ නියෝග දී සන්නද්ධ හමුදාවන් වීදි බස්සා ඇත. ඔවුහු යුධමය තත්වයකදී මෙන් යුධ ටැංකි සහ යතුරුපැදි වලින් මුර සංචාරයේ යෙදෙන අතර, සෑම මර්මස්ථානයකම බැරිකේඩ් අටවා මහජනතාව දැඩිලෙස පරීක්ෂාවට ලක් කරති.

ඉහත ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර වලට අමතරව, වරෙන්තුවකින් තොර ව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මිලිටරිය හා පොලීසිය යෙදවීම, වැඩ වර්ජන, විරෝධතා හා රැස්වීම් තහනම් කිරීම, ඇඳිරි නීතිය හා මාධ්‍ය වාරනය පැනවීම සහ දේශපාලන පක්ෂ තහනම් කිරීම සදහා ඔහුට විධායක ජනාධිපති බලතල යොදාගත හැක. රාජපක්ෂට මෙම මර්දනය තවදුරටත් ගෙනයාම සදහා ශ්‍රීලනීස තම යෝජනාවෙන් අවකාශය ලබා දෙයි.

යෝජනා මාලාවේ සැබෑ අරමුන එලිමහනට පැමිනෙන්නේ එහි 10 වන සහ 12 වන කොටස් වලිනි.

10 කොටසට අනුව, යෝජිත ජාතික සමගි ආන්ඩුව, තම අන්තර් වාර පාලන කාලය තුල “පොදු අවම වැඩපිලිවෙලක්” ක්‍රියාත්මක කොට අවසන් කලයුතු වෙයි. මෙම පොදු අවම වැඩපිලිවෙල “නය ප්‍රතිව්‍යූහකරනය” සම්බන්ධයෙන් “ජාත්‍යන්තර මුල්‍ය අරමුද‌ල (ජාමුඅ) සමග කෙරෙන සාකච්ඡාවන්” මත පාදක වියයුතු ය.

එම සාකච්ඡාවන්හි දී, නය ප්‍රතිව්‍යූහකරනයට හිලවු ලෙස ජාමූඅ යෝජනා කර ඇත්තේ, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සදහා වන ප්‍රතිපාදන කපා දැමීම, සමෘද්ධි සහ ගොවි සහනාධාර කපා දැමීම, ජීඑස්ටී වැනි වක්‍රබදු සුවිසල් ලෙස ඉහල දැමීම (මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ගේ දැවැන්ත මිල ඉහල යාමකි), පුද්ගලීකරනය වේගවත් කිරීම සහ රාජ්‍ය අංශයේ දහස් සංඛ්‍යාත රැකියා කප්පාදු ආදී ව්‍යසනකාරී පියවරයන් ය.

ජාමූඅ හි විෂඝෝර කප්පාදු අන්තර්ගත මෙම පොදු අවම වැඩපිලිවෙල අනුව අන්තර්වාර ආන්ඩුවේ අයවැය යෝජනාව සකස්විය යුතු බව 12 වන කොටසෙන් කියැවෙයි.

“ජාතික” ආර්ථික ප්‍රතිපත්ති සැකසිය යුත්තේ මහ ධනපති පංතියේ අවශ්‍යතා මත බව සෘජුව ප්‍රකාශ කෙරෙන යෝජනාවක් ද 10 (8) යටතේ ඉදිරිපත් කෙරේ “ජාතික ආර්ථිකයෙ සංවර්ධනය කිරීමට සහ ආයෝජන ආකර්ෂනය කර ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා වෘත්තීමය සංවිධාන සහ වානිජ සංගම්වල ද්වි-පාර්ශ්වික සහාය සහ ඔවුනගේ අදහස්” ලබාගතයුතු බව යෝජනාව කියා සි‌ටී.

මේ අතර, ශ්‍රීලනීස යෝජනාවෙන් ප්‍රේරනය ලත්, ලංකා වානිජ මන්ඩලය, ශ්‍රී ලංකාවේ වානිජ හා කර්මාන්ත මන්ඩල සම්මේලනය හා ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය ඇතුලු ව්‍යාපාරික සංවිධාන කන්ඩායම් දොලහක් මේ සතියේ දී ජනාධිපතිවරයාට යැවූ ලිපියකින්,

පාර්ලිමේන්තුවේ සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවලට පිලිගත හැකි අගමැතිවරයෙක් හා කැබිනට්ටුවක් පත්කරන ලෙස ඉල්ලා සිටියහ.

බදාදා ජනාධිපති රාජපක්ෂ ජාතිය අමතා කල කතාවේදී කියා සිටියේ, “පාර්ලිමේන්තුව තුල බහුතරයක් දරන හා මහජනයාගේ විශ්වාසය සුරක්ෂිත කරගන්නා” නව අගමැතිවරයෙක් හා කැබිනට්ටුවක් සතියක් ඇතුලත පත්කරන බව යි. “පාර්ලිමේන්තුව බලගැන්වීම සඳහා” 19වන ව්‍යවස්ථා සංශෝධනය කරා යලි යොමු වීමට පියවර ගන්න‌ා බව ද ඔහු පැවසීය.

ව්‍යාපාරික ප්‍රභූවේ ඉල්ලීම්, රාජපක්ෂගේ ඉහත ප්‍රකාශයන් සහ ශ්‍රීලනීස යෝජනා තකටතක ගැලපේ.

අවසාන විග්‍රහයේදී, ශ්‍රීලනීස “දේශපාලන සහ ආර්ථික ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය” කිරීමට යත්න දරනුයේ, සියලු ධනපති පක්ෂ, ව්‍යාජ-වාම පක්ෂ සහ මහධනපති ව්‍යපාරිකයන් මෙන්ම, කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත මතිනි. ඔවුනගේ යෝජනා මුලුමනින්ම එල්ල කෙරී ඇත්තේ, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ රුදුරු ප්‍රහාරයන් කම්කරු- පීඩිත මහජනතාව මත පැටවීමේ සහ එම ප්‍රහාරයන්ට එරෙහිව පැන නගින පංති අරගල ම්ලේච්ඡ ආකාරයෙන් තලා දැමීමේ යාන්ත්‍රනයක් නිර්මානය කිරීමට යි.

Loading