වෘත්තීය සමිති කම්කරු අරගල වලට වල කපයි

[මෙය Sri Lankan trade unions undermine workers struggles මැයෙන් 2022 මැයි 20 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (වෘසසම) සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව (වෘබසඑ) - වෘත්තීය සමිති පෙරමුනු දෙකක් - බදාදා සහ බ්‍රහස්පතින්දා විරෝධතා කැඳවූහ. “හොරුන් ආරක්ෂා කරන ආන්ඩුවක් එපා,!” “නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් නවත්වනු!,” “ජනතාවගේ ඉල්ලීම්වලට අවනත වන්න!,” “ගෝඨාභය [රාජපක්ෂ]-රනිල් [වික්‍රමසිංහ] කුමන්ත්‍රනය පරාජය කරනු!” වැනි සටන් පාඨ ඔවුහු මතු කලහ.

කොලඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ගොඩගමට නුදුරු ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ඉල්ලා කෙරුන විරෝධතාවක්

වෘත්තීය සමිති විරෝධතා කැඳවූයේ, එන්ට එන්ටම වැඩිවන මිල ගනන් හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සම්බන්ධයෙන් කම්කරුවන්, තරුනයින් හා දුගීන් අතර නැගෙන කෝපය මග හැරීමට ය. පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල්වල උග්‍ර හිඟය නිසා කෝපයට පත් ජනතාව රට පුරා ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථාන අසල දිනපතා විරෝධතාවන්හි යෙදෙති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලුමුවදොර පිටිය පුරා සිටි ආන්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට මැයි 9දා මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ආන්ඩු විරෝධය උග්‍ර වී ඇත. මෙම ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) විසිනි.

මහජන විරෝධය හමුවේ මහින්ද රාජපක්ෂ සිය කැබිනට් මන්ඩලය සමග අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඔහු වෙනුවට එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ පත්කෙරිනි. වෙලඳපොල ගැති සහ එක්සත් ජනපද ගැති බවට ප්‍රකට හිටපු අගමැතිවරයෙකු වන වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නියෝග කරන ලද කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමේ මූලිකත්වය ගනු ඇත.

වෘත්තීය සමිති මේ සතියේ සීමිත විරෝධතා සංවිධානය කලේ, කම්කරුවන්ගේ දැවෙන අවශ්‍යතා සඳහා සටන් කිරීමට නොව තමන් මුහුන දෙන පීඩනයෙන් මිදීම සඳහාය. ආන්ඩුවේ වෘත්තීය සමිති නායකයින් සහ නව අගමැති විසින් විරෝධතා වාචාල ලෙස හෙලාදකිනු ලැබුනි. ජාත්‍යන්තරව ගැඹුරු අර්බුදයක ගිලී ඇති, කම්කරු පන්තිය මත වෙන කවරදාටත් වඩා විශාල බර පටවන ධනේශ්වර ක්‍රමයට කිසිවකු චෝදනා කලේ නැත.

වෘසසම නායකයෙකු සහ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ බදාදා විරෝධතාකරුවන්ට පැවසුවේ, මැයි 9 ප්‍රහාරයට වගකිව යුත්තන්ට නඩු පවරන ලෙස වෘත්තීය සමිති අඛන්ඩව බල කරන බවයි. ඔහු කම්කරුවන් මුහුන දෙන දුෂ්කරතා වෙනුවෙන් දොස් පැවරුවේ, බලයේ සිටින අයගේ සොරකම්වලට මිස ලාභ පද්ධතියට නොවේ.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ්, වැඩකරන ජනතාව සඳහා සහන ලබා දෙන ලෙස වික්‍රමසිංහට බලපෑම් කල හැකිය යන මිත්‍යාව වගා කලේ ය. වික්‍රමසිංහ බලයට පත්වූයේ ජනතා අරගලය නිසා බවත්, ජනාධිපති රාජපක්ෂ සමඟ එකඟත්වයක් (ඩීල් එකක් ) ඇතිකර ගනිමින් ඔවුන්ට පිටුපා නො යා යුතු බවත් ඔහු පැවසීය/

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටැලින් බ්‍රහස්පතින්දා විරෝධතා කරුවන් අමතමින් කියා සිටියේ, වික්‍රමසිංහ අගමැති කරවීමෙන් ජනාධිපති රාජපක්ෂ බලයේ රැඳී සිටීමට උත්සාහ කරන බවයි. “ගෝඨා-රනිල් ආන්ඩුව ගෙදර යන තුරු අපි මේ අරගලය දිගටම කරගෙන යනවා,” ඔහු ප්‍රකාශ කලේ ය.

කොලඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ගොඩගමට නුදුරින් ඉන්ධන පිරවුම්හල අසල ඉන්ධන ලැබෙන තුරු බලා සිටින දිගු වාහන පෝලිමක්

මැයි 6දා එක්දින මහා වැඩවර්ජනයෙන් පසු පැනවූ කුරිරු හදිසි නීතිය ඉවත් කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ නැත. දැනටමත් ජනතාව බිය ගැන්වීම සඳහා ජනාධිපති ඇඳිරි නීතිය පනවා හමුදාව වීදිවලට කැඳවා ඇත.

මැයි 6 වැඩ වර්ජනයට මිලියන ගනන් කම්කරුවෝ සහභාගී වූහ. ග්‍රාමීය හා නාගරික දුගී ජනතාව ද සුලු ව්‍යාපාරිකයන් ද හර්තාලය තුල කම්කරු පන්තිය පිටුපස පෙල ගැසුනි. ඒ අපේ්‍රල් 28 දා පැවැත්වුන එක්දින මහා වැඩ වර්ජනයෙන් පසුවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මැර කල්ලි විසින් ආන්ඩු වට එරෙහි විරෝධතාකරුවන්ට පහර දීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ ද මැයි 10 වෙනිදා අඛන්ඩ වර්ජනයට එකවූහ. නමුත් එය සිදුකෙරුනේ පැය 24 පුරා ඇඳිරි නීතිය පනවා තිබූ කොන්දේසි යටතේ කම්කරුවන්ට රැකියාවට යාමට නොහැකි තත්වයක් තුලය. සීමිත විරෝධතාවලට කොටුකර වෘත්තීය සමිති මැයි 11 දින එය අත්හිටුවන ලදී.

කම්කරුවන්ගේ දැවැන්ත බලමුලු ගැන්වීම ආන්ඩුව හා දේශපාලන සංස්ථාපිතය පමනක් නොව වර්ජන කැඳවූ වෘත්තීය සමිති ද කම්පනයට පත් කලේ ය. වෘත්තීය සමිති නායකයින්ගේ ප්‍රතිචාරය වූයේ, ඔවුන් සියල්ලන්ම බැඳී සිටින ධනේශ්වර පාලනයට තර්ජනයක්වීම වැලැක්වීම සඳහා කම්කරු පන්තිය ආපසු හරවා යැවීමට උත්සාහ කිරීමයි.

පසුගිය වසරේ දින 100 ගුරු වැඩවර්ජනය, සෞඛ්‍ය සේවකයින්ගේ වැඩ වර්ජන හා විරෝධතා ඇතුලු කම්කරු අරගල පාවා දීමේ දීර්ඝ වාර්තාවක් මෙම සියලු වෘත්තීය සමිති සතුව ඇත.

වැඩ කරන ජනතාව මුහුන දී සිටින සමාජ ව්‍යසනය තුරන් කරනවා වෙනුවට වික්‍රමසිංහ සූදානම් වන්නේ, දුෂ්කරතා වඩාත් නරක අතට හරවන කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට ය. මැයි 16දා ජාතිය අමතා කල කතාවක දී ඔහු අනතුරු ඇඟවූයේ ඉදිරි මාස කිහිපය “අපේ ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය වන අතර අප සැමට කැපකිරීම් කිරීමට සිදුවන” බවයි.

බදාදා පාර්ලිමේන්තුව අමතමින් අගමැති කියා සිටියේ, ඉන්ධන හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවාවන්හි යෙදී සිටින සියලුම රාජ්‍ය සේවකයින් දින දෙකක් සේවයට පැමිනීම අවශ්‍ය නොවන බව ය. එම හේතුව නිසාම ඊයේ සිට පාසල් වසා දැමින. බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ඔහු එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය උපුටා දක්වමින් ආහාර හිඟය සහ දුර්භික්ෂය ගැන අනතුරු ඇඟවීය.

එදිනම මාධ්‍ය හමුවක් පවත්වමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අවධාරනය කලේ විදුලිය, ජලය සහ ඉන්ධන මිල   නැංවීමට සිදු වන බවයි.

ආන්ඩුව සහ මහා ව්‍යාපාර නව බර පටවද්දී, වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය ගැන කම්කරුවෝ කෝපයෙන් සිටිති. කම්කරුවන් ගනනාවක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට කතා කලේ ය:

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ඒටිජි සමාගමේ කම්කරුවෙකු ආන්ඩුව, මෑතදී සියලුම නිදහස් වෙලඳ කලාපවලට ආරක්ෂක හමුදා යෙදවීම හෙලා දුටුවේය.

“වික්‍රමසිංහත් හිටපු මහින්ද රාජපක්ෂ වගේමයි. ඉන්ධන ඇතුලු භාන්ඩ හිඟය දුරු කිරීමේ කිසිඳු වෙනසක් ගැන කීම අපහසු” බව ඔහු කියා සිටි අතර, සේවක අරගලවලට වෘත්තීය සමිති ප්‍රමානවත් සහයෝගයක් ලබා නොදුන් බව ද අවධාරනයෙන් සඳහන් කලේ ය.

ඉහල යන ජීවන වියදම කලමනාකරනය කර ගැනීමට තම වැටුප ප්‍රමානවත් නොවන බව මහනුවර මහ රෝහලේ සාත්තු සේවිකාවක් පැවසුවාය. “අපේ ගමන් වියදම් වැඩි වෙනවා. රුපියල් 60ක්ව පැවති පාන් ගෙඩියක මිල මාස කිහිපයක් ඇතුලත රුපියල් 170 දක්වා ඉහල ගොස් තිබෙනවා. දරාගත නොහැකි ජීවන වියදම වැඩිවීම මෙයින් පමනක් වුවත් පෙන්නුම් කරන” බව ඇය පැවසුවාය.

“අපේ අයිතීන් ආරක්ෂා කිරීමට වැඩපිලිවෙලක් නැති නම් වෘත්තීය සමිතිවල විරෝධතා පලක් නැති' බව ඇය තවදුරටත් කියා සිටියාය. “වෘත්තීය සමිති බලාපොරොත්තු වූවාට වඩා මැයි 6 වැනිදා හර්තාලය සහ වැඩවර්ජනය සාර්ථක වූ නිසා මැයි 11දාට සැලසුම් කල මහා වැඩවර්ජනය ඔවුන් අත්හැරිය. මම හිතන්නේ මේක ආන්ඩුවේ අත ශක්තිමත් කලා කියලයි” ඇය සඳහන් කලාය.

හලාවත විදුලි බල මන්ඩලයේ උපපොලක සේවකයෙක් පැවසුවේ, “ලංවිම පරිපාලනය සිය කප්පාදු පියවරවල කොටසක් ලෙස අතිකාල වැඩ බොහොමයක් අත්හිටුවා ඇති බවය. අපගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමානවත් ආදායමක් උපයා ගන්නේ අතිකාල වැඩ වලින්”

“සංගම් හැමදාම කරන්නාක් මෙන් සාමාජිකයින්ගේ අදහස් විමසීමකින් තොරවම මෑත වැඩ වර්ජන නතර කලා. අප මුහුන දී සිටින සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට ඇත්තෙන්ම බැරෑරුම් සාකච්ඡාවක් අවශ්‍ය නමුත් එවැනි සාකච්ඡාවක් කෙරෙන්නේ නැහැ' ඔහු පැවසීය.

ප්‍රාථමික පාසල් ගුරුවරියක් වන ශ්‍යාමා මෙසේ පැවසුවාය: “ඇත්ත වශයෙන්ම, අපි වැඩවර්ජනවලට සහභාගි වුනේ වෘත්තීය සමිති කී නිසා නොවෙයි. මම කවදාවත් වෘත්තීය සමිතියක සාමාජිකාවක් වෙලා ඉඳලා නැහැ. අපි බොහෝ දෙනෙක් වැඩවර්ජන කලේ, මේ රටේ මහජනතාව මුහුන දෙන දුෂ්කරතා අවසන් කිරීමේ අරගලයට අපේ සහභාගිත්වය දායක වේ යැයි සිතූ නිසයි.”

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා ඇති පරිදි, කම්කරුවන්ට වෘත්තීය සමිතිවලින් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් හා ඔවුන්ගේ හෙංචයියන්ගෙන් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවීම අත්‍යවශ්‍ය වේ. එවැනි කමිටු රට පුරා වැඩබිම්, කර්මාන්තශාලා, වතුකරයේ සහ කම්කරු පන්ති නිවහන් ප්‍රදේශවල ගොඩනැගිය යුතුය.

එවැනි ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනැගීමෙන් මෙරට කම්කරුවන්ට, ආන්ඩුවට එරෙහිව ඒකාබද්ධ කාර්මික හා දේශපාලන අරගලයක් සංවිධානය කල හැකි අතර, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජයීය හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ඒ හා සමාන ප්‍රහාරයන්ට මුහුන දෙන තම පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරිය හැක..

එවැනි අරගලයක් පදනම් විය යුත්තේ වැඩකරන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය මත ය.

Loading