කම්කරුවනි, දුගීනි, රාජපක්ෂ-වික්‍රමසිංහ කප්පාදු වැඩපිිලිවෙලට එරෙහි ව බලමුලු ගැන්වෙනු!

[මෙය Sri Lankan workers and rural poor must mobilize against the Rajapakse-Wickremesinghe austerity agenda! මැයෙන් 2022 මැයි 20 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයින්ගේ ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අයිතීන් මත නිර්දය ප්‍රහාරයක් එල්ල කිරීමට යොමු වූ තම ආන්ඩුවේ සැලසුම් කැටිකොට දක්වමින්, නව අගමැති රනිල් වික්‍රමසිංහ සඳුදා ජාතිය අමතා කතා කලේ ය.

කෝවිඩ්-19 වසංගතය හා රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් බරපතල ලෙස තීව්‍ර කරනු ලබන ආර්ථික අර්බුදයේ සමස්ත බර, කම්කරුවන්ගේ උරමත පැටවීමට ලංකාවේ පාලක පන්තිය උත්සාහ දරමින් සිටී. අහස උසට නගින මිල ගනන්, දෛනික විදුලිබල කප්පාදු සහ ඉන්ධන, ආහාර, කිරිපිටි, පිසීමට ගන්නා ගෑස් හා අනෙකුත් මූලික භාන්ඩවල හිඟයන් විසින් දැනට මත් උද්ගත කෙරී ඇති දැරිය නො හැකි කොන්දේසි, සැලසුම් කෙරෙන මෙම රුදුරු කප්පාදු පියවර මගින් වඩාත් ගැඹුරු කරනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරන යෝධ මහජන විරෝධතා හේතුවෙන්, මැයි 9දා ඔහුගේ සහෝදර මහින්ද රාජපක්ෂට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. ඔහු වෙනුවට වික්‍රමසිංහ පත්කිරීමට ජනාධිපති රාජපක්ෂ ගත් තීරනය ධනේශ්වර පාලනය ස්ථාවර කිරීමේ මංමුලා සහගත ප්‍රයත්නයකි.

පලල් ලෙස වෛරයට පාත්‍ර වී ඇති වික්‍රමසිංහ යනු, ඔහුගේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එක ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය. අගමැති තනතුර සඳහා ඔහුට පවතින මූලික සුදුසුකම වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විධානය කරන කප්පාදු පියවර ආක්‍රමනශීලී ලෙස ක්‍රියාවට දැමීම සහ එක්සත් ජනපදයේ හා එහි සගයන්ගේ ප්‍රතිගාමී භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සේවය කිරීම පිලිබඳ කුප්‍රකට වාර්තාව යි.

2022 අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා කොලඹ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරන වැඩ වර්ජනයක්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

ජාමූඅ නියෝග කරනු ලබන කප්පාදු පියවර ක්‍රියාවට දැමීම හරහා, ලංකාවේ පාලක පන්තිය කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරයේ හැරුම් ලක්ෂ්‍යයක්, වික්‍රමසිංහ පත් කිරීම මගින් සලකුනු කරයි. දැනට පැවතීගෙන යන මහජන විරෝධතා මර්දනය කිරීමට අසමත් වී ඇති රාජපක්ෂ, එම කාර්යය ඉටු කිරීමේ ලා වඩාත් ම අත්දැකීම් සහිත ධනේශ්වර දේශපාලනඥයා වික්‍රමසිංහ බවට ගනන් බලමින්, ඔහු ඉදිරියට ගෙනැවිත් ඇත.

ලංකාව මුහුන දෙන පෙර නුවූ විරූ ආර්ථික අර්බුදය “අතිශයින් අවිනිශ්චිත” එකක් ලෙස වික්‍රමසිංහ විස්තර කලේ ය. විදෙස් මුදල් සංචිත ක්ෂය කරමින් සහ ඉන්ධන හා අත්‍යවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් ඇති කරමින්, අයවැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 13ක් දක්වා නැගීම ඔහු ගෙනහැර දැක්වී ය. පැය 15ක දෛනික විදුලි කප්පාදු ක්‍රියාවට දැමීමට ද ඔහු තර්ජනය කලේ ය.

අර්බුදයෙහි සමස්ත බර කම්කරුවන් හා ගම්බද දුගීන් මත පැටවීම සාධාරනීකරනය කිරීම පිනිස, දරුනු ආර්ථික අර්බුදය උපයෝගී කරගැනීමට වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටී. රාජපක්ෂ විසින් දැනට මත් ක්‍රියාවට දමා ඇති පියවරයන් ඉස්මත්තේ, කම්කරුවන්ට අපේක්ෂා කල හැක්කේ කවරක් ද යන්න ඔහුගේ කතාව පැහැදිලි ව පෙන්නුම් කලේ ය.

ආන්ඩුවේ අභිලාෂය “සහන අයවැයක් ඉදිරිපත් කිරීම” බව වික්‍රමසිංහ කීවේ ය. “සහන” යන්නෙන් අර්ථවත් වන්නේ, රැකියා මෙන්ම, වැඩ කොන්දේසි හා ජීවන කොන්දේසි වැඩිදුර විනාශ කිරීම යි.

ශ්‍රී ලංකන් එයාලයින්ස් මුහුන පාන සුවිශාල අලාභ ගෙනහැර දැක්වූ වික්‍රමසිංහ, ජාතික ගුවන් සේවාව පුද්ගලීකරනය කිරීම යෝජනා කල අතර, එය අනිවාර්යයෙන් ම ගුවන් සේවා කම්කරුවන්ගේ රැකියා හා වැඩ කොන්දේසි මතට ප්‍රහාරයක් එල්ල කරනු ඇත. ජාමූඅ ලබා දෙන ඕනෑ ම ඇප නයක කොන්දේසි ලෙස විධානය කෙරෙන, ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම), ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) හා ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය ඇතුලු රාජ්‍ය අංශයේ අනෙකුත් ආයතන ද වැඩිදුර පුද්ගලීකරනය හෝ වානිජකරනය සඳහා මෙමගින් මග පාදනු ඇත.

සිපෙට්කෝ හා ලංවිම පාඩු පිලිබඳ වික්‍රමසිංහගේ කනිපින්දම, ඉන්ධන හා විදුලි මිල ගනන් තවදුර වැඩිකරනු ඇති බවට අනතුරු ඇඟවීමකි. ජල ගාස්තු වැඩිකිරීම් ද ඒ හා සමාන ව සිදුවනු ඇත. ඉහල යන ඉන්ධන මිල ගනන්, දෛනික ගමන් බිමන් සඳහා බොහෝ කම්කරුවන් භාවිතා කරන පොදු ප්‍රවාහන වියදම් තවදුර වැඩිවීමට තුඩු‌දෙනු ඇත. ආහාර ඇතුලු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් වැඩි කිරීමට ද එය හේතු වනු ඇත.

වැඩකරන ජනයා මුහුන දෙන බරපතල තත්ත්වය පිලිගනිමින් වික්‍රමසිංහ මෙසේ අනතුරු ඇඟවී ය: “යම් කැපකිරීම් කිරීමට අපි ම සූදානම් විය යුතුයි. කෙටි කාලයක් සඳහා, අපි දැනට පසුකර ඇවිත් තිබෙන දුෂ්කර කාලයන්ට වඩා අපේ අනාගතය දුෂ්කර වේවි.”

වික්‍රමසිංහ “අපි” ගැන කතා කල ද රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත් යොමු වනු ඇත්තේ, සුපරි ධනවතුන් හා ගෝලීය ආයෝජකයන් ආරක්ෂා කරමින් ද ඔවුන්ගේ ලාභ අවශ්‍යතා සුරකිමින් ද කම්කරු පන්තිය මත පමනක් “කැපකිරීම්” පැටවීමට ය.

“එලඹෙන මාසවල දී, අපේ විදේශීය මිතුරන් අපට උදවු කරනු ඇති” නිසා “මෙම (අසීරු) කාලපරිච්ඡේදය වැඩිකල් නො පවතිනු ඇතැ” යි කියමින්, වැඩකරන ජනයා සැනසීමට වික්‍රමසිංහ උත්සාහ කලේ ය. මෙය බේගලයකි. සුපිරි ධනවතුන් හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය වෙනුවෙන්, අඛන්ඩ ව පීඩා විඳීමට වැඩකරන ජනයාට හා ගම්බද පීඩිතයින්ට සිදු වනු ඇත.

“විදේශීය මිතුරන්ගෙන්” -එනම්, අධිරාජ්‍යවාදී බලයන්, ගෝලීය බැංකු හා ඔවුන් විසින් පාලනය කරන ජාමූඅ ඇතුලු අනෙකුත් නය දෙන ආයතන- ලැබෙන ඊනියා සහයෝගය ලැබෙනු ඇත්තේ, සහනාධාර වැඩිදුර කැපීම, බදු ඉහල දැමීම සහ රැකියා, වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ කප්පාදු කිරීම් සමගින් රාජ්‍ය අංශය “ප්‍රතිව්‍යුහකරනය” - එනම්, පුද්ගලීකරනය හෝ වානිජකරනය- ඇතුලු රුදරු කොන්දේසි සමගිනි. තව ද එක්සත් ජනපදය, ජපානය හා ඉන්දියාව, චීනයට එරෙහි ප්‍රකෝපකාරී මිලිටරි-මූලෝපායික ප්‍රහාරය තුලට මුලුමනින් කොලඹ ඒකාග්‍ර කරගැනීම පිනිස එය මත පීඩනය යෙදීමට ඔවුන්ගේ සහයෝගය යොදාගනු ඇත.

ලංකාවේ ධනේශ්වර පාලනය මුහුන දෙන යෝධ අර්බුදය, තමන්මත් අර්බුදයේ ගිලී සිටින ආන්ඩු හා බැංකුවලින් ලැබෙන ඊනියා “සහයෝගය” හරහා විසඳාගත නො හැකි, ධනවාදයේ ගෝලීය අර්බුදයෙහි කොටසකි.

සූදානම් කරනු ලැබෙන පියවර පිලිබඳ ඉඟි දැනට ම පවතී. බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව ඇමතූ වික්‍රමසිංහ, දැනට පවතින ඉන්ධන හිඟය ගෙනහැර පාමින්, අත්‍යවශ්‍ය නො වන රාජ්‍ය අංශ සේවකයන්ට සේවයට වාර්තා නො කරන ලෙස ඉල්ලීමක් කලේ ය. “අත්‍යවශ්‍ය නො වන” සේවකයන් ඉවත් කිරීමේ කඩතුරාව යටතේ, රාජ්‍ය අංශයේ රැකියා හා වැටුප් කප්පාදු කිරීමට මෙය තුඩු දෙනු ඇත.

රජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු පන්තිය හා පීඩිත මහජනයා මත මුදාරිමින් සිටින පන්ති යුද්ධය ඔවුන් අක්‍රීය ව පිලි නො ගනු ඇත. දැනට මත් ක්‍රියාවට දමා ඇති පියවර හේතුවෙන්, මේ වන විටත්, ආන්ඩුවට එරෙහි නැගී සිටීමක ඔවුන් මාසයක දිගු කාලයක් නියැලී ඇත.

අප්‍රේල් 28 හා මැයි 6 දෙදිනෙහි පැවති එක් දින වැඩ වර්ජන දෙකක් හා වෘත්තීය සමිති විසින් ද්‍රෝහී ලෙස පාවාදෙන ලද මැයි 9දා ආරම්භ කල තවත් මහා වැඩ වර්ජනයක් ඇතුලු වූ, කම්කරු පන්තියේ බලගතු මැදිහත් වීමක් සමග, මෙම මහජන ව්‍යාපාරය හැරුම් ලක්ෂ්‍යයක් කරා ලඟා වී තිබේ. සිංහල, දෙමල, මුස්ලිම්, හින්දු, බෞද්ධ හා ක්‍රිස්තියානි යන සියලු වාර්ගික රේඛා කපාගෙන එක්සත් වූ රාජ්‍ය, පුද්ගලික හා අර්ධ-රාජ්‍ය අංශවල කම්කරුවන් මිලියන ගනනක් මෙම අරගලවලට ඒකාබද්ධ වූ හ.

කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සමාජ කෝපය හා විරෝධය තීව්‍ර කරන වැඩිදුර කප්පාදු පියවර, රාජපක්ෂ ආන්ඩුවේ හා ධනේශ්වර පාලනයේ යෝධ දේශපාලනික අර්බුදය පුපුරා යවනු ඇත.

එයට ප්‍රතිචාර වසයෙන් මිලිටරි-පොලිස් කඩාපැනීමක් සඳහා සූදානම් වන රාජපක්ෂ ආන්ඩුව, ආඥාදායක පාලන රූප කරා එහි මාරුවීම් වේගවත් කරමින් සිටී. මහා වැඩ වර්ජනයක මුව විට, රාජපක්ෂ මැයි 5දා රට පුරා හදිසි නීතිය පැනවී ය. ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට ම්ලේච්ඡ මැර ප්‍රහාරයක් දියත් කරමින් ද ඇඳිරි නීතිය පැනවීම හා දිවයින පුරා මිලිටරිය වීදි බැස්සවීම පිනිස තත්ත්වය ගසා කමින් ද ඉන්පසු මැයි 9දා, එවකට අගමැති වූ ඔහුගේ සහෝදර මහින්ද රාජපක්ෂ සමග ඔහු කුමන්ත්‍රනය කලේ ය.

රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව ද සමස්ත ධනේශ්වර පර්යාය සමග ද ඍජු ගැටුමකට කම්කරු පන්තිය සූදානම් විය යුතු ය.

ආන්ඩුව හා හාම්පුතුන් වෙනුවෙන් වැඩකරන කාර්මික පොලිස් බලකායක් ලෙස, වෘත්තීය සමිති දැනට මත් ඔවුන්ගේ ද්‍රෝශී භූමිකාව පෙන්නුම් කර ඇත. සති ගනනක් තිස්සේ ආන්ඩුවට එරෙහි විරෝධතා තුලට කම්කරු පන්තියේ කිසිදු මැදිහත් වීමක් මැඩගෙන සිටි වෘත්තීය සමිතිවලට, අප්‍රේල් 28 හා මැයි 6 එක් දින වැඩ වර්ජන කැඳවීමට සිදුවූයේ පහලින් පැමිනි යෝධ පීඩනය හේතුවෙනි. එහෙත්, මෙම සීමිත ක්‍රියා මාර්ග ඔවුන් කැඳවූයේ ද කම්කරු පන්ති ව්‍යාපාරය වඩා හොඳින් සීමා කිරීමට සහ ජාමූඅ ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත පැටවීමට සැදීපැහැදී සිටින විරුද්ධ පක්ෂවලට කම්කරු පන්තිය ගැටගැසීමට පමනි.

මැයි 11දාට කැඳවා තිබූ අඛන්ඩ මහා වැඩ වර්ජනය නොපැවැත්වීම‌ට වෘත්තීය සමිති ගත් තීරනය, මැයි 9 දින විරෝධතාකරුවන්ට එරෙහි මැර ප්‍රහාරය ක්‍රියාවට දැමීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ශක්තිමත් කලේ ය. එදින ම (මැයි 9), තැපැල් දෙපාර්තමේන්තුව හා කොලඹ ජාතික රෝහල ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක කම්කරුවන්, තමන්ගේ ම ආරම්භකත්වය මත වැඩ වර්ජනයකට ගිය විට, තවත් මහා වැඩ වර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිතිවලට සිදු විය. එහෙත් දවස් දෙකකින් පසුව වෘත්තීය සමිති එය ද අත් හලහ.

රුදුරු කප්පාදු පියවර වලට හා ආන්ඩුවේ මර්දනයට එරෙහි ව තමන්ගේ අරගලය සංවිධානය කරමින් ඉදිරියට ගෙන යාම සඳහා, කම්කරුවන් සියලු කම්හල්, වැඩපොලවල්, වතු හා නිවහන් ප්‍රදේශවල, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය. ආන්ඩුව මෙහෙයවන මැර කල්ලිවලට මුහුන දීමට ආරක්ෂක කමිටු හා ආරක්ෂ භට කන්ඩායම් ස්ථාපිත කරගත යුතු ය.

එවන් කමිටු ගොඩනැගීමේ දී, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට සහයෝගය දෙනු ඇත. මෙම කමිටුවල අරගලයන් වර්ධනය කල යුතු දේශපාලනික හා සමාජීය ඉල්ලීම් මාලාවක් සසප ඉදිරිපත් කර තිබේ.

සමාජවාදී පිලිවෙත් සඳහා කැපවුනු කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම පිනිස, ක්‍රියාකාරී කමිටු හරහා සංවිධානය කරනු ලබන කම්කරු පන්තියේ අරගලය වර්ධනය කරන සටනට සසප නායකත්වය දෙමින් සිටී. ලංකාවේ කම්කරුවන්ට ලොව පුරා ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් එකමුතු වීමෙන් පමනක් ගෙන යා හැකි මෙය, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා වන පලල් අරගලයක කොටසකි.

Loading