ජනාධිපති රාජපක්ෂ එක්සත් ජනපදයේ හා ජාමූඅ කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කරයි

[මෙය Sri Lankan President Rajapakse installs Ranil Wickremesinghe as prime minister to enforce austerity dictates of the US and IMF මැයෙන් 2022 මැයි 13 පල වූ සසප ප්‍රකාශයෙහි පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බ්‍රහස්පතින්දා සවස, එක්සත් ජනපද-ගැති එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කිරීම සමාජවාදී සමානතා පක්ෂය (සසප) හෙලා දකී.

රනිල් වික්‍රමසිංහ (මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් පිටුව) [Photo: United National Party Facebook]

මෙය වනාහි, ජනාධිපතිට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සහ තමන් මත කඩාපාත් කරනු ලබන සමාජ ව්‍යසනය අවසන් කරන ලෙස ඉල්ලමින් සිටින කම්කරුවන්, තරුනයන් හා දුගීන්ට එරෙහි ව රාජපක්ෂ සිදු කල තවත් ක්‍රියාවකි.

ආහාර, ඖෂධ හා ඉන්ධන ඇතුලු සියලු මූලික භාන්ඩවල තියුනු හිඟයන්ට හා ඉහල යන මිල ගනන්වලට මුහුන දෙමින් සිටින වැඩකරන ජනයා දීර්ඝ විදුලි කප්පාදුවලින් පීඩා විඳිති. කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය මැදි කරගෙන එක්සත් ජනපද-නැටෝ සන්ධානය රුසියාවට එරෙහි ව යෙදී සිටින වක්‍ර යුද්ධය විසින් මෙම අර්බුදය අවුලුවාලමින් පවතී.

වික්‍රමසිංහ යටතේ පවතින රාජපක්ෂගේ නව ආන්ඩුව මෙම කොන්දේසිවලට ආමන්ත්‍රනය නො කරනු ඇත. ඒ වෙනුවට එම ආන්ඩුව ඒවා ගැඹුරු කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් විධානය කරනු ලබන රුදුරු කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමීම සඳහා එම ආන්ඩුව අටවනු ලැබ තිබේ.

ජනාධිපතිවරයා හා ඔහුගේ නව ආන්ඩුව ඉවත්ව යා යුතු ය! කම්කරු පන්තිය සඳහා පවතින ඉදිරි මාවත වන්නේ, ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් එහි කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගන්වා සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කිරීම යි.

නීතිය බලාත්මක කිරීම සඳහා “දුටු තැන වෙඩි තැබීමේ” නියෝග දී මිලිටරිය වීදි බැස්සවීමෙන් යන්තම් දිනකට පසුව, රාජපක්ෂ මෙම පාපතර පියවර ගත්තේ ය. එක්දින මහා වැඩ වර්ජනයකින් හා හර්තාලයකින් පසුව, පසුගිය සිකුරාදා මර්දනීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට රාජපක්ෂ ක්‍රියා කලේ ය.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවන ලද රාජපක්ෂගේ පාලක පක්ෂයේ මැරයන්, ආන්ඩුවට එරෙහි නිරායුධ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා සඳුදා මුදාහරිනු ලැබී ය.

දේශපාලනික ව දුබල ජනාධිපතිවරයා, එක් පසෙකින් ජනාධිපති රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ අතරත්, අනෙක් පසින් එක්සත් ජනපදය හා ජාමූඅත් අතර අතරමැදියෙකු ලෙස වික්‍රමසිංහ සහභාගි කරගත් තිරයෙන් පිටුපස උපාමාරුවල නිමග්න විය.

2020 අගෝස්තු මාසයේ පැවති මහා මැතිවරනයේ දී, පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරු 225න්, එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ එක ම මන්ත්‍රීවරයා වික්‍රමසිංහ ය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය සම්මතයන්ට අනුව පවා, බහුතරයක් රහිත ඔහුට කිසිදු නීත්‍යානුකූල භාවයක් හෝ පිලිගැනීමක් නැත. ලංකාවේ දේශපාලන ප්‍රභූව දීර්ඝ කාලයක් තිස්සේ යෙදීගෙන සිටින අතයට ගනුදෙනු හා මන්ත්‍රීවරුන් මුදලට ගැනීම හරහා පමනක් පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගැනීමට ඔහුට හැකි වනු ඇත.

රාජපක්ෂ සම්බන්ධයෙන් ගත් කල, වික්‍රමසිංහ අගමැති ධූරයට පත්කිරීමට පවතින එක ම සුදුසුකම වන්නේ, මන්ත්‍රීවරයෙක් හා හය වතාවක් අගමැති ධූරය දැරූ අයෙක් ලෙස ඇති කුප්‍රකට වාර්තාව සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා ජාමූඅ කප්පාදු පියවරයන්ගේ ඒජන්තයෙකු වීම යි. ජාමූඅ රුදුරු කප්පාදු වැඩසටහනක් ක්‍රියාවට දැමීමට සහ කම්කරුවන්ගේ හා දුගීන්ගේ වැඩෙන කෝපය මැඩීම සඳහා, රාජපක්ෂ දැන් මේ දූෂිත දේශපාලන කුලී අශ්වයා වෙත හැරෙයි.

වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දීමෙන් යන්තම් මිනිත්තු ගනනකට පසුව, ඔහු පසසමින් කොලඹ එක්සත් ජනපද තානාපතිනි ජුලී චං සුභපැතුවා ය. “ඔහු අගමැති ලෙස පත්වීම හා සියලු පාර්ශවයන්ගෙන් යුත් ආන්ඩුවක් තැනීම, අර්බුදයට ආමන්ත්‍රනය කිරීමේ හා ස්ථාවරත්වයට දිරි දීමේ පලමු පියවරයන් වේ. ජාමූඅහි දී අර්ථවත් ප්‍රගතියකට හා සියලු ලාංකිකයන්ගේ අවශ්‍යතා ඉටු කරන දීර්ඝ-කාලීන විසඳුම් සඳහා අපි දිරිය දෙන්නෙමු.”

වික්‍රමසිංහ පත්කරන ලද්දේ, කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට සහ විශේෂයෙන් ම, චීනයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනය සමග ලංකාව පෙලගස්වා ගැනීමට බව, මෙම ප්‍රකාශය පැහැදිලි කරයි.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුවට යටතේ, 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ තැන් පටන් වික්‍රමසිංහගේ වාර්තාව කුප්‍රකට ය. විවෘත වෙලඳපොල ආර්ථික පිලිවෙත් අනුකම්පා විරහිත ව ක්‍රියාවට දැමූ එම ආන්ඩුව, සිය සමාජ අයිතීන් අතුගා දැමීමට ප්‍රතිරෝධය පලකල සේවකයන් 100,000ක් නෙරපමින්, 1980 රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ මහා වැඩ වර්ජනය තලා දැමුවේ ය. කම්කරු පන්තිය බෙදා, දුර්වල කොට මැඩීම සඳහා 26-අවුරුදු දෙමල-විරෝධී වාර්ගික යුද්ධයක් ද එය විසින් මුදාහලේ ය. ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් අනුකම්පා විරහිත ලෙස සූරාකන ලාභ ශ්‍රම වේදිකාවන් ලෙස නිදහස් වෙලඳ කලාප හඳුන්වා දීම හේතුවෙන් වික්‍රමසිංහ විශේෂයෙන් ම පැසසුමට ලක් කෙරේ.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත්කොට, ඔහු වෙනුවට එක්සත් ජනපද-ගැති මෛත්‍රීපාල සිරිසේන පත්කිරීමට, වොෂින්ටනයේ අනුග්‍රහයෙන් 2015 දී ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමේ දී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමගින් ප්‍රධාන භූමිකාව ඉටුකලේ වික්‍රමසිංහ ය. රාජපක්ෂට බෙයිජිනය සමග පැවති සබඳතාවන් බිඳ දැමීම හා සිය චීනය ඉලක්ක කරගත් “ආසියාවට හැරීම” සමග ලංකාව පෙලගස්වා ගැනීම එක්සත් ජනපදයට අවශ්‍ය විය.

අගමැති ලෙස දිවුරුම් දීමෙන් පසු, වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි අර්බුදයකට මුහුන දෙමින් සිටිනවා, අපි එයින් මිදීමට මාවතක් සොයාගත යුතු යි.”

එහෙත් මේ කවර ආකාරයෙන් ද? වික්‍රමසිංහට අනුව එය කල හැක්කේ, ජාමූඅ විධානයන් ක්‍රියාත්මක කිරීමෙන් පමනි. එනම්, රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම, බදු ඉහල දැමීම, රාජ්‍ය අංශයේ රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් හා ඉතිරි ව තිබෙන මිල සහනාධාර ගැඹුරු ලෙස කැපීම හරහා අයවැය පරතරය කපා දැමීම ඇතුලු රුදුරු කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීමෙනි.

මෙම පියවර හේතුවෙන් කම්කරු පන්තියට අත්වන වන සමාජ ව්‍යසනය, දැනට සිදුවෙමින් පවත්නා දෑ සමග සසඳන කල දැවැන්ත පරිමාන වනු ඇත. එය වනාහි, ජනගහනයේ අතිමහත් බහුතරයෙහි වියදමින්, විදේශීය නය දෙන්නන්ගේ සහ ශ්‍රී ලංකාවේ සංගත හා මූල්‍ය ප්‍රභූවේ විධානයන් පැටවීමේ ධාවනය යි.

වික්‍රමසිංහගේ වාර්තාව හොදින් දන්නා බැවින් සහ ඔහුගේ පිලිවෙත්වල විපාක විනාශකාරී වන බැවින්, ඔහු පත්කරනු ලැබීම කම්කරු පන්තියේ හා ගම්බද දුගීන්ගේ ඉමහත් විරෝධයට බඳුන් වනු ඇත.

ගාලු මුවදොර ප්‍රහාරයට එරෙහි ව 2022 මැයි 9දා විරෝධය පලකල වෛද්‍ය සිසුන්ට එක්වන කම්කරුවෝ (ඡායාරූපය: ලෝසවෙඅ)

අන්තර්වාර පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමේ සූදානම පලකර සිටි තමන්ට, ආන්ඩුවක් තැනීමට ආරාධනා නො කිරීම ගැන රාජපක්ෂට දොස් පවරමින්, විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) වික්‍රමසිංහට සහයෝගය නො දෙන බව ඊයේ ප්‍රකාශ කලේ ය. ජනාධිපතිවරයා වහා ම ඉල්ලා අස්විය යුතු යයි සජබ කලින් කල විධානය ඊයේ අපරභාගයේ සංශෝධනය කලේ, එලෙස ඉල්ලා අස්වීමට කාල රාමුවක් ඉල්ලා සිටිමිනි.

නව පක්ෂය තැනීම සඳහා 2020 මුල දී එජාපයෙන් බිඳී යාමට පෙර, සබජ සියලු නායකයන් එජාප සාමාජිකයෝ වූ හ. ජාමූඅ විධානයන් පැටවීම හැරෙන්නට, වෙනත් විකල්ප විසඳුමක් සජබට නැත.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ, ඔහුගේ පක්ෂය ජනාධිපතිට වැඩපිලිවෙලක් ඉදිරිපත් කර, අන්තර්වාර පාලනයක් තැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කල බව යි. ජවිපෙ සමග සාකච්ඡා කිරීමට රාජපක්ෂ මනාප නො වූ බවට දිසානායක වැලපුනු අතර, ජවිපෙට ද නිර්දය ලෙස කප්පාදු ක්‍රියාත්මක කිරීම හැර වෙනත් වැඩපිලිවෙලක් නැත.

පසුගිය සතියේ බෞද්ධ භික්ෂූන්ගේ සංවිධානයක් ඇමතූ දිසානායක, ග්‍රීක ආර්ථිකය බිඳ වැටුනු විට, එය ප්‍රකෘතිමත් කරගන්නා ලද්දේ “දැඩි තීන්දු” හරහා පමනක් බව ප්‍රකාශ කලේ ය. ඒ හා සමාන ව, ලංකාවට ද අර්බුදය විසඳාගත හැක්කේ, වසර දෙක තුනක් යන තෙක් “ජීවන විලාසිතාව වෙනස් කිරීම” හෙවත් ජීවන කොන්දේසි වැඩි දුර කප්පාදු කිරීමෙන් යයි ඔහු කීවේ ය.

වෘත්තීය සමිති කම්කරුවන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරනු ඇතැයි කම්කරු පන්තියට අපේක්ෂා කල නො හැක. විරුද්ධ පක්ෂ කරන ඉල්ලීම්වලට ම සමාන ව, කම්කරුවන්ගේ ඉල්ලීම් ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස හා නව ධනපති අන්තර්වාර ආන්ඩුවක් තනන ලෙස ඉල්ලා සිටීමට සීමා කරමින්, පසුගිය මාස දෙක තිස්සේ, වෘත්තීය සමිති උත්සාහ දරා ඇත්තේ කම්කරු අරගල අපසරනය කිරීමට ය. එමගින් ආන්ඩුවේ අත් ශක්තිමත් කිරීම සහ කම්කරුවන් ධනපති දේශපාලනයට ගැටගසා තැබීම පමනක් සිදු කෙරී ඇත.

වික්‍රමසිංහ පාලනය හා වෙනත් ඕනෑ ම ධනපති අන්තර්වාර පාලනයක් ප්‍රතික්ෂේප කරන ලෙස සසප කම්කරු පන්තියට කැඳවුම් කරයි.

දේවල් තමන්ගේ ම අතට ගන්නා ලෙස අපි කම්කරු පන්තියට කැඳවුම් කරමු. ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ හා වෘත්තීය සමිතිවලට විරුද්ධ ව හා ඒවායෙන් ස්වාධීන ව සෑම වැඩපොලක, කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශයක හා වත්තක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් මෙය කල හැක. සමස්ත කම්කරු පන්තිය සම්බන්ධීකරනය කොට ඒකාබද්ධ කිරීමට, දිවයින පුරා එවන් කමිටුවල ජාලයක් අත්‍යවශ්‍ය කරයි.

පහත දැක්වෙන ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස සසප මෙම කමිටුවලට කැඳවුම් කරයි:

• සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා මහජන ජීවිතයට අවශ්‍ය කරන අනෙකුත් තීරනාත්මක සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට. නිෂ්පාදන මාධ්‍ය හා බෙදාහැරීම ධනපති පන්තියේ අතෙහි තිබෙන තාක් කල්, ඔවුන් ඒවා යොදාගන්නේ ලාභ කඳුගසා ගැනීමට පමනි.

• බැංකු, මහා සංගත හා විශාල වතු ජනසතු කොට, කම්කරුවන්ගේ පාලනය යටතෙහි තැබිය යුතු ය. සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරමින්, එම අරමුදල් කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ සුභසාධනයට යොදාගනු ලැබිය යුතු ය.

• වේගයෙන් ඉහල යන උද්ධමනය මධ්‍යයේ, ජීවන වියදමට අනුව වැටුප් ඉහල දැමිය යුතු ය. ගොවීන් හා ස්වයං-රැකියාවල නියුක්ත අනෙකුත් අයට සහනාධාර සම්පාදනය කල යුතු අතර, ඔවුන්ගේ සියලු නය අහෝසි කල යුතු ය.

ක්‍රියාකාරී කමිටු ජාලයක් ස්ථාපිත කිරීමෙන්, සියලු භාෂාමය හා ආගමික භේදයන්‌ කපාගෙන, ලංකාවේ සමස්ත කම්කරු පන්තිය පොදු අරගලයක් තුල ඒකාබද්ධ කරනු ඇත. වතු හා සෞඛ්‍ය කම්කරුවන්, ගුරුවරුන් හා කලාකරුවන් අතර ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට දැනට මත් පියවර ගෙන ඇති සසප, අනෙකුත් වැඩපොලවල ඒවා තැනීම සඳහා සහයෝගය දීමට සූදානම් ය.

මැයි 10දා සසප නිකුත් කල ප්‍රකාශය තුල, ආන්ඩු-ගැති මැරවරයන්ගේ ප්‍රහාරවලින් කම්කරු පන්තිය හා ගම්බද ජනයා ආරක්ෂා කිරීම සඳහා, ක්‍රියාකාරී කමිටු සමගින් ආරක්ෂක කමිටු හා ආරක්ෂක භට කන්ඩායම් ද ගොඩනගන ලෙස කැඳවුම් කලේ ය.

මෙම පිලිවෙත් ඉදිරියට දැමීම මගින්, ගම්බද හා නාගරික දුගීන් තමන්ගේ පාර්ශවයට රැලි කරගෙන, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කම්කරුවන්ට සටන් වැදිය හැකි ය.

මෙම අරගලයට එක් වන ලෙසත්, සමාජවාදය සඳහා සටනට නායකත්වය දෙන මහජන පක්ෂය ලෙස සසප ගොඩනගන ලෙසත්, අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading