ආන්ඩු-විරෝධී උද්ඝෝෂකයන්ට එරෙහි රාජ්‍ය දඩයම පරාජය කරමු!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව, අරලියගහ මැදුර ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ, සාමකාමී උද්ඝෝෂනයක නිරතව සිටි විරෝධතාකරුවන්ට රාජපක්ෂගේ පොදුජන පෙරමුනේ (පොපෙ) මැර කන්ඩායමක් විසින් මැයි 09 දා එල්ල කල මුර්ග ප්‍රහාරය පිලිබඳ නීතිමය විමර්ශනයේ දී ඇසින්දුටු සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින විරෝධතාකරුවන් සත් දෙනෙකුට එරෙහිව රාජ්‍ය දඩයමක් දියත් කෙරී ඇත.

පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) කල ඉල්ලීමක් මත අධිකරනය ඔවුනට විදේශ ගමන් තහනමක් පනවා, විදේශ ගමන් බලපත්‍ර සීඅයිඩීයට භාරදෙන ලෙස නියෝග කර තිබේ. ශ්‍රී ලංකාවේ අධිකරනය, එය ඉදිරියේ පෙනී සිටින කවර හෝ සාක්ෂිකරුවෙකුට එරෙහිව මෙවන් විදේශ ගමන් තහනම් නියෝගයක් පැන වූ පලමු අවස්ථාව මෙය බව නීතිඥයෝ පවසති.

ඉහත තහනමට ලක්වූවන්ගෙන් සහ අනෙක් අයගෙන් ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සහ සාක්ෂි ලබා ගැනීමේ නාමයෙන්, ගාලුමුවදොර නිරන්තර ව සැරිසරන සීඅයිඩී නිලධාරීහු විරෝධතාකරුවන් ත්‍රස්ත කිරීමේ ව්‍යායාමයක ද ඒ සමගම නිරත ව සිටිති.

ගාලු මුවදොර දී විරෝධතා අට්ටාලයකට ප්‍රහාර එල්ල කරන දක්ෂිනාංශික මැරයෙක් (ඡායාරූපය: ෆේස්බුක්)

මීට අමතර ව, මැර ප්‍රහාරයෙන් ඉක්බිති රට පුරා ඇවිලුනු කලහකාරී තත්වය ගසා කමින් ආන්ඩුව දියත්කොට ඇති 'ප්‍රචන්ඩත්වයේ යෙදුනවුන්ට එරෙහි නීතිමය පියවර ගැනීමේ' කඩතුරාව යටතේ, දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පුද්ගලයන් 1808 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් 784 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මින් බහුතරයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොපෙ මැති-ඇමතිවරුන් සහ එහි ප්‍රාදේශීය නායකයන් විසින්, තම දේශපාලන විරුද්ධවාදීන්ගේ නම් ඇතුලත් කරමින් දෙන ලද ලැයිස්තු වලට අනුව බව වාර්තා වේ. තවත් අය අත් අඩංගුවට ගැනීමට සිටින බව ද පොලීසිය පවසයි.

මහජනතාව ත්‍රස්තකොට ආන්ඩුවට එරෙහි විරෝධතා මැඩීමේ අරමුනෙන් ගෙනයන මෙම රුදුරු රාජ්‍ය දඩයම සම්බන්ධයෙන්, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ තම දෘඪතර විරෝධය පල කර සිටී.

විරෝධතාකරුවන් දඩයම් කිරීම සම්බන්ධයෙන් මෙතරම් උත්සුක ආන්ඩුව සහ මෙතරම් කාර්යක්ෂම පොලීසිය, නිරායුධ සහ සාමකාමී විරෝධතාකරුවන්ට 09 දා එල්ල කල මැර ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඊට මුලුමනින්ම ප්‍රතිකූල ය.

ප්‍රහාරයට එරෙහි ව පැන නැගි දැවැන්ත මහජන විරෝධය හමුවේ, එය සැලසුම්කොට නායකත්වය දුන් පොපෙ හි හිටපු මැති-ඇමතිවරුන් ඇතුලු 22ක් වහා ම අත්අඩංගුවට ගෙන ඔවුනට විරුද්ධ ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කල නමුත් අද වන තෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් 08 දෙනෙකු පමනි. ප්‍රහාරය උසිගැන්වූ ප්‍රමුඛයෙකු වන හිටපු මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එම 22 ට අඩංගු නමුත්, මැයි 24 වෙනිදා පොලිස් මූලස්ථානයට කැඳවූ ඔහු පැය 5 ක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු මුදා හැරියේ ය.

ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට දී තිබූ නියෝගය පසුව වෙනස් කල නීතිපති ඔහුට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස පොලිස්පතිට නියෝග කලේය. අවසානයේදී පොලීසිය තෙන්නකෝන්ගෙන් ප්‍රකාශයක් පමනක් සටහන් කරගෙන ඇති අතර, ස්ථාන මාරුව ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.

ප්‍රහාරයට මූලික වශයෙන් වගකිවයුතු හිටපු අගමැති මහින්ද රාජපක්ෂට අවම වශයෙන් කැඳවීමක් හෝ නොකල පොලීසිය අවසානයේදී පසුගිය බදාදා ඔහු හමුවට ගොස් ප්‍රකාශයක් ලබා ගත්තේ, වින්දිතයන් දඩයම් කිරීමේ සහ වරදකරුවන් මුදා හැරීමේ මෙම නරුම උපාමාරු මාලාවේ කොටසක් ලෙසිනි.

ආන්ඩුවේ මෙම රාජ්‍ය දඩයම, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කිරීමට යන රුදුරුත ම ප්‍රහාර මාලාවක ආරම්භක ලක්ෂ්‍යය ලෙස බැරෑරුම් ව සැලකිල්ලට ගෙන, කම්කරු පංතියේ සියලු කොටස් තමා සතු දැවැන්ත සමාජ ශක්තිය මෙහෙයවා ගනිමින් එය පරාජය කිරීමට නැගී සිටිය යුතුය.

* මෙම රාජ්‍ය දඩයම යටතේ අත් අඩංගුවට ගත් සියලු දෙනාට එරෙහි චෝදනා ඉවත්කොට ඔවුන් වහා ම නිදහස් කරන ලෙසත්,

* ඇසින්දුටු සාක්ෂිකරුවන්ට පනවා ඇති විදේශ ගමන් තහනම වහා ඉවත් කරන ලෙසත්,

* ඔවුන්ට එරෙහි පොලිස් ඔත්තු බැලීම් නතර කරන ලෙසත්,

* 09 දා මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාට එරෙහි නීතිමය පියවර ගන්නා ලෙසත්

බල කරන පුලුල් උද්ඝෝෂනයක් කම්කරු පංතියේ නායකත්වයෙන් දියත් කිරීම මෙහි දී අත්‍යවශ්‍ය වේ.

මෙම රාජ්‍ය දඩයම ගලා එන්නේ, මහජනතාව ගේ දැවෙන ඉල්ලීම - ආහාර, ඖෂධ සහ ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩයන්ගේ දැවැන්ත හිඟය වහා අවසන් කොට ඒවායේ සුවිසල් මිල ගනන් පහත හෙලීම - ඉටු කිරීමේ ලා, රාජපක්ෂ ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පංතිය සතු පරිපූර්න නොහැකියාවෙනි. ආන්ඩුවට මෙන්ම, ඊනියා විරුද්ධ පක්ෂ වලට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම හැර අන් විකල්පයක් නොමැත.

එහි ප්‍රතිඵලය වනු ඇත්තේ, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුලු රාජ්‍ය ක්ෂේත්‍රයන්හි දැවැන්ත කප්පාදු, රාජ්‍ය ආයතනයන්හි වේගවත් පුද්ගලීකරනය සහ එමගින් ඇති කෙරෙන දහස් සංඛ්‍යාත රැකියා විනාශයන්, වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා කප්පාදු සහ දැවැන්ත බදු ඉහලයාම් ය. මෙම ප්‍රහාරය දැනටමත් ආරම්භ කෙරී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ යන දෙදෙනාම පවසන්නේ ඉදිරි කාලය 'දුෂ්කර ම' කාලය වනු ඇති බවයි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය මර ලතෝනියේ පසුවන තත්වය තුල, ජීවිතය වඩ වඩාත් දුෂ්කර කරමින්, ලොවපුරා පාලකයෝ, සාගතයේ, විරැකියාවේ සහ යුද්ධයේ අගාදයට ලොවපුරා කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් ඇදගෙන යමින් සිටිති.

කෝවිඩ්-19 වසංගතයෙන් සහ යුක්‍රේනය මැදිකරගෙන එක්සත් ජනපද-නැටෝ බලයන් රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයෙන් ගැඹුරු කෙරී ඇති ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ, එම අර්බුදයේ සමස්ත බර විවිධ කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාවගේ උරමත පැටවීමත්, එම ප්‍රහාරයන්ට එරෙහිව පැන නගින පංති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙත මාරුවීමත් ලොවපුරා පාලකයන්ගේ පිලිවෙත බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනයේ පිලිවෙත් මෙම ජාත්‍යන්තර ප්‍රපංචයේ බලගතුම ප්‍රකාශනයකි.

ලොව ශක්තිමත්ම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පංතිය ධනපති පාලකයන් විසින් තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව බලගතු පංති අරගල වලින් නැගී සිටිමින් පවතී.

අප්‍රේල් මුල පුපුරා ගිය ලංකාවේ මහජන නැගිටීමට තම සාමාජිකත්වය සහභාගි නොකොට සති ගනනක් කල් මරමින් සිටි වෘත්තීය සමිති නිලධරය අවසානයේදී, අප්‍රේල් 28 දා සහ මැයි 06 වන දා කැඳවූ මහ වැඩවර්ජන දෙක ධනපති පාලක පංතියේ පමනක් නොව ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන වෘත්තීය සමිති නිලධරයේ ද දෙපා සලිත කලේය.

වාර්ගික රේඛා කපාගෙන, සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් මිලියන ගනනක් සහභාගි වූ එම වර්ජන ලංකාවේ ඉතිහාසයේ මෙතෙක් පැවති දැවැන්තම වර්ජනයන් වූ අතර, ඒවා රටෙහි සමස්ත ආර්ථිකය ඇනහිටවීමට සමත් විය. ජනාධිපති රාජපක්ෂ 06 දා ම රුදුරු හදිසි නීතිය පනවමින් මර්දන යන්ත්‍රය දිගේලි කලේ එබැවිනි.

කම්කරුවන් සතු මෙම පංති විභවය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් හරහා මුදාහල යුතු ය. නමුත්, එයට ඇති ප්‍රධාන බාධකය වෘත්තීය සමිති ව්‍යාපාරය යි. සමිති නිලධරය විසින් ඉහත වර්ජනය අඛන්ඩව ඉදිරියට ගෙන නොගොස් එක්දින වර්ජන දෙකකට සීමා කලේ, එවන් අඛන්ඩ වර්ජනයක් රාජපක්ෂ ආන්ඩුවට පමනක් නොව ධනපති ක්‍රමයටම අභියෝග කෙරෙන අරගලයක් දක්වා වර්ධනය වෙතැයි යන භීතියෙනි.

මෙම සමිති, ධනපති ක්‍රමයට, ධනපති පක්ෂ වලට සහ ධනපති ආයතන වලට කම්කරුවන් ඇද බැඳ තබති. විරෝධතාකරුවන්ට එරෙහි රාජ්‍ය දඩයම සම්බන්ධයෙන් එහි ප්‍රතිචාරය මේ පිලිබඳ මෑතම උදාහරනයයි. සමිති ගනනාවක එකමුතුවක් වන 'වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව', 'ප්‍රචන්ඩ ලෙස හැසිරීමේ' චෝදනා යටතේ රඳවාගෙන සිටින පුද්ගලයන් මුදා හරින ලෙස සහ ඔවුනගේ මානව හිමිකම් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින්නේ, අධිරාජ්‍යවාදීන්ගේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විවෘත ව ම ආරක්ෂා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි රුදුරු රාජ්‍ය මර්දනය සම්බන්ධයෙන් කුප්‍රකට අනෙකුත් රටවල ධනපති පාලක පංතීන්ගෙනි.

වෘසබසඑ ඉදිරිපත් කරන මෙම ඉල්ලීම තුල මානව හිමිකම් රැකදීමේ කවර හෝ සැබෑ උත්සුකයක් නොමැත. මෙය ආන්ඩුවට එරෙහිව කම්කරුවන් සහ අනෙකුත් පීඩිත මහජනතාවන් අතර පැනනැගී ඇති විරෝධය අපසරනය කිරීමේ දැනුවත් උපාමාරුවකි.

ඒ සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඊයේ පලවූ ලිපියෙන් පෙන්වා දෙන පරිදි 'කම්කරු පන්තියට මෙම ප්‍රහාර පරාජය කලහැක්කේ ධනපති පාලක පන්තියේ ඒජන්සියක් හා කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වෙමින් පන්ති අරගලයට තිරිංග දමන මෙම වෘත්තීය සමිති වලින් ස්වාධීන ව සෑම වැඩපලක ම, කම්හලක ම, වතුකරයේ සහ කම්කරු නිවහන් ප්‍රදේශවල කම්කරු ක්‍රියාකාරී කමිටු සහ ආරක්ෂක කමිටු පිහිටුවා ගැනීමෙන් හා එවන් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් තුලින් පමනි.

'එම පදනම මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගනිමින්, රඳවාගෙන සිටින විරෝධතාකරුවන් නිදහස් කර ගැනීමට, තම සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීමට සහ රාජ්‍ය මර්දනය පරාජය කිරීමට ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම අවශ්‍යවේ.'

Loading