පොලීසිය ආන්ඩු-විරෝධී ක්‍රියාධරයන්ට එරෙහි දඩයම උත්සන්න කරයි

[මෙය Sri Lankan police intensify witch hunt against anti-government activists මැයෙන් 2022 ජූනි 02 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙසත්, තීව්‍ර වන සමාජ ව්‍යසනය අවසන් කරන ලෙසත් ඉල්ලමින්, ආන්ඩුවට එරෙහිව ජාතික පරිමාන ව පැවැත්වෙන විරෝධතාවන්හි නිරත ක්‍රියාධරයන්ට එරෙහි මර්දනයක් පොලීසිය විසින් ක්‍රමානුකූලව මුදාහරිමින් පවතී.

ගෝඨාභය රාජපක්ෂ (ස්තුතිය: ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

අප්‍රේල් මුල දී ලංකාව පුරා පුපුරා ගිය මෙම විරෝධතාවන් අවුලුවන ලද්දේ, ආහාර, ඖෂධ හා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දරාගත නො හැකි මිල ඉහල යාම හා හිඟයන් ද දීර්ඝ විදුලි කප්පාදු ද විසිනි. කම්කරුවන්, තරුනයන් හා දුගීන් ඇතුලු දසදහස් ගනන් ජනයා ගාලු මුවදොර පිටියට ආකර්ශනය වී එහි වාඩිලා ගත්තේ එය ප්‍රධාන විරෝධතා මධ්‍යස්ථානය බවට පත්කරමිනි.

පුද්ගලයන් 100කට පමන තුවාල සිදු කරමින්, මැයි 9දා රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) මැරයන් දහස් ගනනක්, ගාලු මුවදොර පිටියේ සහ අගමැතිගේ නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටි නිරායුද විරෝධතාකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දුන් හ. මැරයන් ව නො නැවැත්වූ පොලීසිය ඔවුන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ දුන්නේ ය. පොලීසිය පසුව ප්‍රහාරකයන් විසුරුවා හැරීමට කඳුලු ගෑස් හා ජල ප්‍රහාරක යොදාගත් නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැත.

විරෝධතාකරුවන්ට එරෙහි පොලිස් මර්දනයේ මෑත ම ගොදුර වන්නේ, ගාලු මුවදොර පිටියේ ක්‍රියාකාරිකයන් අතරින් ප්‍රසිද්ධ තැනැත්තෙකු වන රතිඳු සෞම්‍ය සේනාරත්න ය. “රැට්ටා” නමින් ප්‍රකට සේනාරත්න නලුවෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා යූටියුබ් නාලිකාව මත නිරන්තරයෙන් වීඩියෝ පලකරන්නෙකු වේ.

මැයි 25දා කොලඹ කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී, නීති-විරෝධී හැසිරීම හා පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ, සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලද්දේ මැයි 30දා කොම්පඤ්ඤ වීදිය පොලීසියට කැඳවූ අවස්ථාවේ දී ය. මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට පමුනුවන ලද ඔහු මැයි 30දා රුපියල් 100,000ක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබී ය.

රතිඳු සෞම්‍ය සේනාරත්න (ඡායාරූපය: ෆේස්බුක්)

සේනාරත්න ඇතුලු කන්ඩායම කොලඹ කොටුව උසාවිය ඉදිරිපිට විරෝධතා පැවැත්වූයේ, මැයි 9 ප්‍රහාරය සම්බන්ධයෙන් බවයි. ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්ට සාධාරනය ඉටු කරන ලෙස ද ප්‍රහාරය මෙහෙයවූ අනෙක් අයවලුන් අත්අඩංගුවට ගන්නා ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

ඊට දින කිහිපයකට පෙර, මැයි 9 ප්‍රචන්ඩ ප්‍රහාරයෙහි ඇසින් දුටු සාක්ෂිකරුවන් වන විරෝධතාකරුවන් 14 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කර, ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර පොලිස් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) භාර දෙන ලෙස නියෝග කෙරුනි. එම තහනම උසාවිය විසින් පනවන ලද්දේ, පොලිස් ඉල්ලීමක් මත ය. එමගින් ඉලක්කයට ලක්වූවන් අතර, ප්‍රකට ටෙලිනාට්‍ය නලු ජගත් මනුවර්න හා කතෝලික පූජකයෙකු වන ජීවන්ත පීරිස් සිටින අතර, එම දෙදෙනා ම මැයි 9 මැර ප්‍රහාරයෙහි පැමිනිලිකරුවෝ වෙති.

ගමන් බලපත්‍ර බාර දෙන ලෙස සීඅයිඩීය උසාවියෙන් ලබාගත් නියෝගය, ශ්‍රී ලංකාවේ නීතියට අනුව නීති-විරෝධී බව, සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ ප්‍රධානියා හා පහරකෑමට ලක්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු වන සේනක පෙරේරා ඊයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසී ය. ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සීඅයිඩී නිලධාරීන් පැමිනෙන බව ඔහුට දැනුම් දුන්නේ ඊට මොහොතකට පෙර බව ද ඔහු කීවේ ය. මෙය දැනට කරගෙන යන දඩයමේ කොටසක් බව ඔහු සඳහන් කලේ ය.

වෙනත් සිද්ධියක දී, බෞද්ධ භික්ෂුවක් වන වෑකන්දවෙල රාහුල, මැයි 26දා වලස්මුල්ල පොලිස් ස්ථානයකට කැඳවනු ලැබ, එහි දී අත්අඩංගුවට ගනු ලැබී ය. ජනාධිපති රාජපක්ෂගේ දෙමාපියන් සිහිකිරීම සඳහා ඔවුන්ගේ පාරම්පරික නිවස අසල ඉදිකර තිබූ ස්මාරකයට හානි සිදුකිරීම, වලස්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිනිතැබීම හා තවත් සිද්ධීන් කිහිපයක් අරබයා පොලීසිය රාහුලගෙන් ප්‍රශ්න කර ඇත.

තමන් මෙම කිසිදු සිද්ධියකට සම්බන්ධ නැති බව ප්‍රකාශ කල රාහුල, 2005 පටන් පාරිසරික සංරක්ෂනය සඳහා ප්‍රමුඛ ලෙස උද්ඝෝෂනය කරන්නෙකි. මැයි 31දා ඔහු උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුනි.

මැයි 9 ප්‍රහාරයෙන් පසුව, පාලක පක්ෂයේ දේශපාලනඥයන්ගේ දේපොලවලට හානි කිරීම ඇතුලු, ප්‍රචන්ඩ ක්‍රියාවලට නිරත වීමේ චෝදනාවට ලක්වන්නන්ට නඩු පැවරීමේ කඩතුරාව යටතේ, පොලීසිය දිවයින පුරා පුද්ගලයන් 1,808 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මින් පුද්ගලයන් 780ක් පමන බන්ධනාගාරගත කර තිබේ. මාධ්‍ය වාර්තාවන්ට අනුව, මින් බහුතරයක් අත්අඩංගුවය ගෙන ඇත්තේ ශ්‍රීලපොපෙ දේශපාලනඥයින් හා පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් සැකසූ ලැයිස්තුවලට අනුව ය.

ජනාධිපති රාජපක්ෂගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවෙහි ආශීර්වාදය සහිත ව ක්‍රියාවට දමනු ලබන මෙම මර්දනීය පියවර, වැඩකරන ජනයාට හා තරුනයන්ට එරෙහි ව එම පාලන තන්ත්‍රය සූදානම් කරන පලල් කඩාපැනීමක කොටසකි.

මැයි 9දා මැර ප්‍රහාරය, විශේෂයෙන් ම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්‍රීලපොපෙ නායකත්වය විසින්, රාජ්‍ය මර්දනය දැඩි කිරීම සඳහා කඩතුරාවක් නිර්මානය කරගැනීම සඳහා, ආරම්භකත්වය ගන්නා ලද දැනුවත් ප්‍රකෝපකරනයක් විය.

ගාලු මුවදොර පිටියේ විරෝධතා ව්‍යාපාරය, රට පුරා ලක්ෂ ගනන් ජනයාගේ සහයෝගය ආකර්ශනය කරගත්තේ ය. අප්‍රේල් 28දා මහා වැඩ වර්ජනයට මිලියන ගනන් කම්කරුවන් සහභාගි වූ අතර, මැයි 6දා පැවති තවත් මහා වැඩ වර්ජනයකට හා හර්තාලයකට, කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ සෑම කොටසක් ම පාහේ සහභාගි වූ හ.

තම අයිතීන් රැකගැනීමේ අධිෂ්ඨානය කම්කරුවන් බලගතු ලෙස ප්‍රදර්ශනය කල නමුත්, වෘත්තීය සමිති මෙම වැඩ වර්ජන කැඳවන ලද්දේ, මෙම කෝපය සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යටතට අපසරනය කිරීම පිනිස ය. මෙම විරුද්ධ පක්ෂ අන්තර්වාර පාලන තන්ත්‍රයක් සඳහා කැඳවුම් කලේ, මහජන විරෝධය ආරක්ෂාකාරී පාර්ලිමේන්තු මාවත් තුල රඳවා තබාගැනීමට ය.

කම්කරු පන්තියේ මෙම පුපුරනසුලු ව්‍යාපාරය හේතුවෙන් භීතියට පත්වූ ජනාධිපති රාජපක්ෂ මැයි 6දා හදිසි අවස්ථාවක් පැනවූයේ, මිලිටරිය දිගේලි කිරීමේ, වැඩ වර්ජන තහනම් කිරීමේ, සංවිධාන තහනම් කිරීමේ සහ වාරන හා අනෙකුත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් පැනවීමේ බලතල සහිත ව ය.

මැයි 9දා සිදුකල දක්ෂිනාංශික මැර ප්‍රහාරයට විරෝධය පලකිරීම සඳහා, කම්කරුවන් හා ජනගහනයේ අනෙකුත් කොටස් දහස් ගනනක් ක්ෂනික ව ගාලු මුවදොර පිටියට පැමිනියහ. ප්‍රහාරයට වගකිව යුත්තන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිය හ. සෞඛ්‍ය, තැපැල් හා වරාය ක්ෂනික ව වැඩ වර්ජනයකට යද්දී, ඊලඟ දිනයේ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ඔවුන් සමග එකතු වූයේ, මහා වැඩ වර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිතිවලට බලකරමිනි.

මැයි 9 ප්‍රහාරයට ප්‍රතිචාර වසයෙන්, ලංකාවේ බොහෝ ප්‍රදේශවල පලිගැනීමේ ප්‍රචන්ඩත්වය ද පුපුරා ගියේ, ආන්ඩුවේ සමහර ඇමතිවරුනගේ හා මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තබමිනි.

මෙම තත්ත්වය ඩැහැගත් රාජපක්ෂ, කැරලිකරුවන් යයි සැලකෙන අයට දුටුතැන වෙඩිතැබීමේ නියෝග සමගින්, මිලිටරිය වීදි බැස්සවී ය. මෙම මර්දන පියවරයන්ට වහා දනගැසූ වෘත්තීය සමිති, මැර ප්‍රහාරයෙන් දිනකට පසු මැයි 10දා ඔවුන් කැඳවූ අඛන්ඩ වැඩ වර්ජනය මැය 11දා ආපසු කැඳවූ හ.

කොලඹ දී ඇඳිරි නීතිය බලාත්මක කරමින් සැරිසරන සන්නද්ධ සොල්දාදුවන් හා මිලිටරි වාහන (ඡායාරූපය: ෆේස්බුක්)

මැයි 9 මැර ප්‍රහාරය අරබයා ඉස්මතු වූ මහජන කෝපය කෙරෙහි බියට පත් නීතිපතිවරයා, ගාලු මුවදොර පිටියේ දී විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රචන්ඩ ප්‍රහාරය සැලසුම් කොට එයට නායකත්වය දුන්, හිටපු ඇමතිවරුන් ඇතුලු පුද්ගලයන් 22 දෙනෙකු වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කලේ ය. මේ දක්වා මින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 8 දෙනෙකු පමනි. උදාහරනයක් ලෙස, හිටපු මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මැයි 24දා පොලිස් මූලස්ථානයට කැඳවන ලද නමුත්, පැය පහක් තිස්සේ ප්‍රශ්න කරනු ලැබීමෙන් හා ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරු ව මුදාහරින ලදී.

කොලඹ භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති ආරම්භයේ දී නියෝග කලේ ය. එහෙත් මෙම නියෝගය පසුව තෙන්නකෝන් කොලඹින් මාරු කිරීමට වෙනස් කරනු ලැබිනි. ශ්‍රීලපොපෙ මැරයන් උසිගන්වමින් කතාවක් කල බවට චෝදනා ලබන හිටපු අගමැති මහින්ද රාජපක්ෂට කිසිවක් සිදු වී නැත. සීඅයිඩී නිලධාරීන් ඔහුගෙන් “ප්‍රශ්න කර” ඇතුවා පමනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) විරෝධතාකරුවන් හා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමටත්, සියලු චෝදනා ඉවත් කරන ලෙසටත්, කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා වහා ම කැඳවුම් කලේ ය. ඒ අතර ම ප්‍රතිප්‍රහාර පිලිබඳ ව එය අනතුරු ඇඟවී ය.

මැයි 11දා නිකුත් කරන ලද සසප ප්‍රකාශයක් මෙසේ සඳහන් කලේ ය: “සඳුදා රාත්‍රීයේ සිදුකල දේපොල හානිකිරීම්වලට හේතු වූ වැනි, ප්‍රගතිශීලී දේශපාලන ඉදිරි දර්ශනයකින් තොර ව කෝපය පුපුරා යාම සිදු කරනු ඇත්තේ, ආන්ඩුවේ හා ප්‍රතිගාමීත්වයේ අත් ශක්තිමත් කිරීම පමනි.”

සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), ආන්ඩුවට එරෙහි විරෝධතා මර්දනය කිරීම ඉලක්ක කරගන්නා ම්ලේච්ඡ රාජ්‍ය මර්දන පියවරයන් තරයේ හෙලාදකින අතර, ඒවාට විරුද්ධ වේ. සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමේ පලල් අරගලයක කොටසක් ලෙස, මෙම ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වන්නැයි අපි කම්කරුවන්ගෙන් ඉල්ලමු.

එහෙත් ගාලු මුවදොර විරෝධතාවන්ට නායකත්වය දෙන ධනපති-ගැති, මධ්‍යම-පන්තික කන්ඩායම්වල දේශපාලනයට සසප සහයෝගය නො දෙයි. මෙම සංවිධාන අන්තර්වාර පාලනයක්, ජනාධිපතිවරනයක් හා මැතිවරනයක් ප්‍රසිද්ධියේ ඉල්ලා ඇත්තේ, පවතින යෝධ සමාජ අර්බුදය විසඳන ලෙස එම පාලන තන්ත්‍රයෙන් ඉල්ලමිනි. ධනපති පාලනය ආරක්ෂා කිරීමට කැපවී සිටින සජබ, ජවිපෙ හා ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉල්ලීම් මෙම ඉල්ලීම් විසින් ප්‍රතිරාවය කරයි.

පවත්නා සමාජ පර්යාය ඇතුලත, යෝධ සමාජීය ගැටලුවලට විසඳුමක් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීමට අවසානයක් නැත. ලංකාවේ ගැඹුරු වෙමින් පවතින සමාජීය ව්‍යසනය වනාහි, කෝවිඩ්-19 වසංගතය සහ දැන් රුසියාවට එරෙහි ව යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ සන්ධානය යෙදී සිටින වක්‍ර යුද්ධය විසින් ප්‍රේරනය කරනු ලබන ගෝලීය ධනවාදී අර්බුදයෙහි නිෂ්පාදිතයකි.

කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන මැදිහත් වීමක් වලකා, ආන්ඩුවේ විෂඝෝර පියවරයන්ට පහසුකම් සැලසීමේ දී ප්‍රධාන භූමිකාව ඉටුකොට ඇත්තේ වෘත්තීය සමිති විසිනි.

සියලු සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම කල හැක්කේ, සෑම වැඩපොලක හා වත්තක ම ද සෑම කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශයක ම ද වෘත්තීය සමිතිවලින් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමෙන් පමනි.

සිය ස්වාධීන ශක්තිය බලමුලු ගන්වා ගනිමින්, කම්කරු පන්තියට සමාජවාදී පිලිවෙත් සඳහා - එනම්, බැංකු, මහා සමාගම් හා විශාල වතු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම සහ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සඳහා- කරන සටනේ දී ගම්බද හා නාගරික දුගින් රැලි කරගත හැකි ය. මෙම පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට, ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම අවශ්‍ය ය.

Loading