මීගමුව සුලු පන්න ධීවරයෝ මුහුදු යෑම නැවැත්වීමට සැරසෙති

[මෙය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෙකු විසින් සම්පාදනය කරන ලද වාර්තාවකි.]

ලංකාවේ උග්‍ර ඉන්ධන හිඟයෙන් වැඩියෙන් ම බැට කන වෘත්තීය කන්ඩායම වන්නේ, ධනපති ආන්ඩු විසින් මෑත කාලයේදී කිසිදු සහනයක් ලබා නොදුන්, එක් දින සුලු පන්න ධීවර ප්‍රජාවයි.

මීගමුවේ කම්මල්තොට සිට වැල්ල වීදීය දක්වා සුලු පන්න ධීවරයෝ ජූනි 2 වැනි දා මුහුදු නොයාමට තීරනය කලෝය. කුඩා ධීවර බෝට්ටු 1230 ක ධීවරයන් සහ සහාය සපයන්නන් 5000 - 6000 ක් පමන සහභාගි වූ එම වර්ජනය තම ඉල්ලීම් ඉටු කරන තුරු අඛන්ඩ ව කරගෙන යෑමට ඔවුහූ අදිටන් කරගෙන සිටිති.

ලංකාවේ විශාලත ම ධීවර මධ්‍යස්ථානය ලෙස සැලකිය හැකි මීගමුවේ සිටින සියලු ම සුලු පන්න ධීවරයන් 4 වැනිදා සිට මෙම වර්ජනයට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටියහ. සති අන්තය වන විට කුඩා බෝට්ටු සහ තෙප්පම් භාවිතා කරන එක් දින ධීවරයන් 25,000 ක් පමන මීගමුවේ ධීවර වර්ජනයට එක්විය හැකි ව තිබින.

නමුත්, පැන නැංවිය හැකි බලගතු ධීවර විරුද්ධත්වය සමනය කිරීමේ මංමුලා සහගත ප්‍රයත්නයක යෙදුනු කතෝලික පල්ලියේ පූජකවරු මීගමුව මහ වීදිය අසල ඉන්ධන පිරවුම්හලක් ඉදි කර දීමටත් අත්අඩංගුවට ගැනීම් නතර කිරීම සඳහා මානව හිමිකම් කොමිසම වෙත පැමිනිලි කරන බවටත් පොරොන්දු දී 04 දා පැවැත්වීමට තිබූ ධීවර විරෝධය නතර කර ඇත. මේ සඳහා ප්‍රාදේශීය ධීවර වෘත්තීය සමිති නිලධරයේ ද සහයෝගය හිමි ව තිබේ.

මෙම ධීවරයන් පලමුකොට ම ඉල්ලා සිටින්නේ තම බෝට්ටුවල පිට-සවි එංජින් සඳහා භාවිතා කරන ප්‍රධාන ඉන්ධනය වන භූමිතෙල් අඛන්ඩ ව දිනපතා මුහුදු යෑමට අවශ්‍ය තරමින් තමන්ට ලබාදෙන ලෙසයි.

එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා භූමිතෙල් වලට ලිහිසි තෙල් එක් කරනු ලැබේ. එක් වරක් මුහුදු යාමට අඩුම වශයෙන් තෙල් ලීටර 10 - 20 ක් පමන වැයවේ. නමුත් මසුන් ඇල්ලීමේ ක්‍රමවේදය (පන්නය) සහ මසුන් අල්ලන ප්‍රමානය අනුව එම අගය ලීටර් 30 සිට 100 දක්වා ඉහල යා හැක.

කෝවිඩ් වසංගතයට පෙර ධීවරයන්ට ලිහිසි තෙල් එක්කල භූමිතෙල් ලීටරයක් රු 100 කට ලබාගත හැකිවිය. අද එම මිල රු 160 කි. කලු කඩයෙන් ඉන්ධන ලබාගන්නවා නම් එය රු 250 දක්වා ඉහල යයි. නැවතත් ඉහල යන්නට නියමිත භූමිතෙල් ලීටරයක දැනට මිල රු 88 කි. කලු කඩ මිල රු 150 - 200 පමන වේ.

වර්ජනයේ යෙදෙන මීගමුව සුලු පන්න ධීවරයන්ගේ දෙවැනි ඉල්ලීම භූමිතෙල් ලීටරය රු 88 කට තමන්ට දිගට ම ලබාදෙන ලෙසයි.

වත්මන් ඉන්ධන අර්බුදය නිසා ලංකාවේ වෙලඳපොලට ලැබෙන මුලු මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට70 ක් පමන සපයන සුලු පන්න, එක් දින ධීවරයෝ වෘත්තීය ව විනාශ වී යාමේ අද්දරට පැමින සිටිති. මත්ස්‍ය සැපයුම කඩා වැටීම ලංකාවේ මහජනතාවගේ ප්‍රෝටීන පෝෂන ඌනතාවයන් මෙතෙක් නොවූ විරූ දරුනුත ම මට්ටමකින් පහත වැටීම සඳහා ද සෘජු ව ම හේතු විය හැකි ය.

පාන්දර 2 ට පමන මුහුදට යන සුලු ධීවරයන් නැවත ගොඩට එන්නේ රාත්‍රී 7 ට පමන ය. එසේ එන ධීවරයන්ට දැන් සිදු වී තිබෙන්නේ භූමිතෙල් සහ පෙට්‍රල් ලබාගැනීම සඳහා ඉන්ධන පෝලිම් වල රාත්‍රී කාලයේ සිට පසු දා උදය වන තුරු ගත කරන්නටයි. සුලු ධීවරයන් පැය කිහිපයක හෝ විවේකයක් නොලබන ධීවර වහල්ලුන්ගේ මට්ටමට ඇද වැටී ඇත.

ඉහල ම ජීවිත අවදානමක් ගනිමින්, අඩු තාක්ෂනය භාවිතයෙන් දිනපතා මුහුදු යන එක් දින ධීවරයන්, ඉතා කුඩා මාලු ප්‍රමානයක් සමග ගොඩට පැමිනීම වරින් වර සිදුවන්නකි. එම අලාභය වෙනත් දිනවල ලබන ඉහල ආදායමෙන් පියවා ගැනේ.

නමුත් පසුගිය අවුරුදු දෙක තුල, කුඩා බෝට්ටුවක මිල රු150,000 සිට රු 500,000 දක්වා ද එන්ජිමක් රු 330,000 සිට රු 550,000 දක්වා ද මාලු දැල් වල මිල රු 12,000 සිට රු 25,000 දක්වා ද ඉහල ගොස් ඇත. නිවසේ දෛනික වියදම සීග්‍රයෙන් ඉහල යයි.

ඉතා වේගයෙන් උග්‍ර වන ආර්ථික පීඩනය තුල මාලු අඩුවෙන් හසුවෙන කාලයන් විසින් ධීවර පවුල් හිඟමනට ඇද දමන තත්වයට පත්කල හැකිය. මේ සියල්ල දැන් සිදුවන්නේ නොගැඹුරු මුහුදේ දී උපරිම මත්ස්‍ය ඵලදාවක් නෙලා ගනිමින් එක් දින ධීවරයන් ඉහල ම ආදායමක් උපයන වාරකන් සමය වේගයෙන් ගෙවෙමින් පවතින අතරතුර ය.

වැල්ල වීදිය-කුඩාපාඩුව ධීවරයන්ගේ තුන්වැනි ඉල්ලීම මැයි 9 දා ආන්ඩු විරෝධී මහජන අරගලය තූලදී මීගමුව ප්‍රදේශයේ ධනපති දේශපාලකයන් හා මහ ධනපතියන් කිහිප දෙනෙකුගේ දේපොල වලට හානි කලා යැයි බොරු චෝදනා නගමින් වැල්ල වීදියේ ධීවර තරුනයන් සහ ධීවර ක්‍රියාකාරීන් පොලිස් අත් අඩංගුවට ගැනීම වහා නවතනු යන්නයි.

දැනට මෙලෙස 10 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් 03 දෙනෙකු බන්ධනාගාර ගතකොට 07 දෙනෙකුට ඇප ලබා දී ඇත. ධීවරයන් පවසන්නේ පිලිගත හැකි සාක්ෂි නොමැතිව පොලීසිය විසින් මෙම අත් අඩංගුවට ගැනීම් සිදුකරන්නේ, මීගමුවේ සිදුකල ආන්ඩු විරෝධී උද්ඝෝෂන වලදී සහ දීප ව්‍යාප්ත ධීවර උද්ඝෝෂන වලදී ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට කරන වැල්ල වීදිය ධීවරයන් බිය ගැන්වීමට බවයි.

මීගමුවෙන් ආරම්භ වූ මෙම ස්වයංසිද්ධ ධීවර වර්ජනය, ලංකාව වටා වෙරල තීරයේ සුලු පන්න ධීවරයන් හා වෙරලේ සහාය සපයන්නන් අතර පැතිරී යාමේ සෑහෙන ඉඩකඩක් පවතී.

Loading