බංග්ලාදේශයේ බහාලුම් අංගනයේ ගින්නෙන් හා පිපිරීමෙන් දුසිම් ගනනක් මිය ගොස් සිය ගනනක් තුවාල ලබති

[මෙය Dozens dead and hundreds injured after fire and explosion at Bangladesh container depot මැයෙන් 2022 ජූනි 6 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

බංගලිදේශයේ චිතගොං දිස්ත්‍රික්කයේ බීඑම් අභ්‍යන්තර බහාලුම් අංගනයේ [BM Inland Container Depot] ඇති වූ දැවැන්ත ගින්නකින් සහ පිපිරීමකින් සෙනසුරාදා 50 දෙනෙකු පමන මිය ගිය අතර තවත් සිය ගනනක් තුවාල ලබා ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු බරපතල තත්ත්වයේ පසු වෙති.

සිටකුන්ද ප්‍රදේශයේ පිහිටා ඇති වරායේ දී ජීවිත අහිමි වූවන් අතරට ඩිපෝවේ කම්කරුවෝ, පොලිස් නිලධාරීහු සහ අවම වශයෙන් ගිනි නිවන භටයන් පස් දෙනෙක් ඇතලත් වෙති. මරන සංඛ්‍යාව ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගිනි නිවන භටයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

2022 ජූනි 5 ඉරිදා මුල, බංග්ලාදේශයේ අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 216ක් (සැතපුම් 134ක්) දුරින් පිහිටි චිතගොං හි ලන්දේසි-බංග්ලාදේශ හවුල් ව්‍යාපාරයක් වන බීඑම් අභ්‍යන්තර බහාලුම් අංගනයේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් කටයුතු කරති. (AP ඡායාරූපය)

සෙනසුරාදා රාත්‍රී 9 ට පමන ගින්න හටගන්නා විට බහාලුම් අංගනයේ තක්සේරුවලට අනුව පුද්ගලයන් 600 ක් සේවය කරමින් සිටි බව වාර්තා වේ. සිය ගනනක් ගිනි නිවන භටයන්, පොලිසිය සහ අවට ජනතාව කඩිනමින් එම ස්ථානයට පැමිනියත් ඔවුන් ගින්න නිවා දැමීමට උත්සාහ කරද්දී, විශාල පිපිරීමකින් ප්‍රදේශය කම්පනය කරවමින්, තවත් බහාලුම් ගනනාවක පිපිරීම් සිදු විය.

සුන්බුන් සහ මිනිසුන් ගුවනට විසි කෙරුනු ආරම්භක පිපිරුමෙන් ආපදා සහන සේවකයින් සහ අනෙකුත් අය ගිනිදැල්වලින් ගිලී ගිය අතර, විෂ දුමාරයෙන් ප්‍රදේශයේ වාතය අපවිත්‍ර විය.

පුද්ගලයන් 450 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 30 දෙනෙකුගේ තත්ත්වය බරපතල ය. අවට රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තා වේ. ලොරි රථ රියදුරෙකු වන ටොෆායෙල් අහමඩ් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට මෙසේ පැවසීය: “පිපිරීම නිසා මා සිටගෙන සිටි ස්ථානයට මීටර් 10ක් පමන ඈතට මා විසිවී ගියා. මගේ අත පය පිච්චිලා.”

චිතගොං ගිනි නිවන සේවයේ සහ සිවිල් ආරක්ෂක පාලන මැදිරියේ සේවයේ නියුතු නිලධාරියෙක් ඩේලි ස්ටාර් පුවත්පතට පැවසුවේ, ඩකා අගනුවර සිට කිලෝමීටර් 240 ක් පමන ගිනිකොන දෙසින් පිහිටා ඇති දැවැන්ත ගබඩාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ඒකක [යන්ත්‍ර] 25 ක් බහාලුම් පර්යන්තය වෙත වහාම එවන ලද බවයි.

තවමත් මූලික ගින්නට හේතුව කුමක්ද යන්න පිලිබඳව සවිස්තරාත්මක තොරතුරු කිසිවක් නිකුත් කෙරී නොමැත. බීඑම් අභ්‍යන්තර බහාලුම් අංගනයේ අධ්‍යක්ෂ මුජිබර් රහමන් මාධ්‍යයට අවඥාසහගත ලෙස බහාලුමක ගින්න ආරම්භ වන්නට ඇතැයි ප්‍රකාශ කිරීම හැර අන් කිසිදු තොරතුරක් ලබා දී නැත. බංග්ලාදේශ ගිනි නිවන සහ හමුදා නිලධාරීන් වාර්තා කර ඇත්තේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ අනෙකුත් අන්තරාදායක රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් එම ස්ථානයේ ගබඩා කර තිබුනු බවයි.

බීබීසී පුවත් සේවයේ ඩකා වාර්තාකරු අක්බාර් හොසේන් පැවසූ පරිදි, බංග්ලාදේශ ජාතිකයෝ මෙම පිපිරීම 2020 අගෝස්තු මාසයේ බේරූට් හි 200 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින්ද, 7,500 කට තුවාල සිදු කරමින්ද සහ 300,000 පමන නිවාසවලට හානි සිදු කරමින්ද ඇති වූ දැවැන්ත ඇමෝනියම් නයිට්‍රේට් [රසායනික ද්‍රව්‍ය] පිපිරීමට සමාන කරති.

බංගලිදේශ අගමැතිනි ෂීක් හසීනා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සොච්චම් වන්දි ගෙවීම් ඉදිරිපත් කරන අතරතුර ව්‍යාජ කනස්සල්ල දැක්වූහ. “ජීවිත අහිමි වීම ගැන ගැඹුරු කම්පනයක් සහ කනගාටුව” මූනිච්චාවට ප්‍රකාශ කල ඇය වියෝ වූ පවුලේ සාමාජිකයන්ට ශෝකය පල කලාය. ඩකා ට්‍රිබියුන් පුවත්පතට අනුව ඇය “මියගිය ආත්මයන්ගේ සදාකාලික ගැලවීම” සඳහා යාඥා කරන බව ප්‍රකාශ කලාය.

මියගිය අයගේ ඥාතීන්ට ඩොලර් 560 ක් (ටකා 50,000 ක්) ලබා දෙන අතර තුවාලකරුවන්ගේ පවුල් සඳහා ඩොලර් 224 ක් (ටකා 20,000 ක්) ලබා දෙන බව චැටෝග්‍රාම් ප්‍රාදේශීය කොමසාරිස් අෂ්රෆ් උද්දීන් පැවසීය. අන්ත දුප්පතුන් වූ වින්දිතයන්ට මෙය සොච්චම් මුදලකි.

බීඑම් අභ්‍යන්තර බහාලුම් අංගනයේ අධ්‍යක්ෂ රහමන් පැවසුවේ තුවාල ලැබූවන් සඳහා සියළුම ප්‍රතිකාර වියදම් සමාගම විසින් ගෙවන බවයි. 'අනතුරින් තුවාල ලැබූවන්ට උපරිම වන්දි ලබා දෙන අතර, විපතට පත් වූ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාගේ වගකීම අපි භාර ගනිමු,' ඔහු පැවසීය.

හසීනා සහ ඇගේ චැටෝග්‍රාම් ප්‍රාදේශීය කොමසාරිස් විසින් දෙන ලද පොරොන්දු මෙන්ම රහ්මාන්ගේ පොරොන්දුද, ව්‍යසනය සහ මූලික සුරක්ෂිතතාවන් පිලිබඳව සිදු කරනු ලබන සාපරාධී උල්ලංඝනයන් සම්බන්ධයෙන් මහජන කෝපය අවමංගත කොට ඉවතට හරවා යැවීමේ මංමුලා සහගත උත්සාහයකි. රට පුරා හිමිකරුවෝ සහ කලමනාකරුවෝ මෙම උල්ලංඝනයන් කරන්නේ ආන්ඩුවේ බලධාරීන්ගේ අනුමැතිය ඇතිවය.

බීඑම් අභ්‍යන්තර බහාලුම් අංගනයේ ගින්න හුදකලා සිදුවීමක් නොවේ.

ලාභය උපරිම කර ගැනීම සඳහා කම්කරුවන්ගේ ජීවිත බිල්ලට දෙමින්, අදාල [කාර්මික අනතුරු වැලැක්වීම පිලිබඳව] සුරක්ෂිතතා නිලධාරීන්ගේ [safety officials] නොතකාහැරීම මධ්‍යයේ, ප්‍රාථමික සුරක්ෂිතතා ප්‍රමිතීන් උල්ලංඝනය කරන ආකාරය හෙලිදරවු කරමින් කාර්මික ව්‍යසන ගනනාවක් සිදුවී ඇත. රසායනික ද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස ගබඩා කිරීම නිසා ඇති වන කාර්මික ගිනි ගැනීම් බංග්ලාදේශයේ බහුලව දක්නට ලැබේ.

වඩාත්ම මෑතකාලීන ඒවාට ඇතුලත් වන්නේ:

  • 2021 ජුලි මස දී වැඩි වශයෙන් නව යොවුන් වියේ කම්කරුවන් අවම වශයෙන් 52ක් ජීවිතක්ෂයට පත්කල ගින්න. එයට හේතු වූයේ ඩකා නගරයෙන් පිටත පිහිටි බහු මහල් ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අධික ලෙස ගිනි ගන්නාසුලු රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් අනාරක්ෂිත ලෙස ගබඩා කිරීමයි.
  • 2019 පෙබරවාරි මස, ඩකා අගනුවරේ 81 දෙනෙකුට මරු කැඳවූ රසායනික ගින්නක් සහ පිපිරීමක්.
  • 2010 දී මිනිසුන් 123 කට වැඩි පිරිසක් මරුමුවට පත් කෙරුනු අධික ජනගහන සහ දරිද්‍රතාවයෙන් පෙලෙන ඩකාහි දිස්ත්‍රික්කයක නීති විරෝධී ලෙස රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක ඇති වූ ගින්නක්.

බීඑම් අභ්‍යන්තර බහාලුම් අංගනය යනු බහාලුම් 5,000ක් පමන ගබඩා කිරීමේ හැකියාව ඇති 2011 වසරේ සිට ක්‍රියාත්මක වන ලන්දේසි-බංග්ලාදේශ පුද්ගලික හවුල් ව්‍යාපාරයකි. මේවායින් [බහාලුම්වලින්] බොහොමයක් ඇඟලුම් කර්මාන්තයට අයත් වන අතර ඇතැම් ඒවායේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඇතුලු විවිධ අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය ද අන්තර්ගත කර ගනී. බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය [Bangladesh Garment Manufacturers and Exporters Association] පැවසුවේ, ව්‍යසනයෙන් අවම වශයෙන් නිමි ඇඳුම් බහාලුම් 1000ක් පමන පිලිස්සී ඇති බවයි.

ප්‍රධාන වශයෙන් කාන්තා කම්කරුවන් දරුනු ලෙස සූරාකමින් ප්‍රාථමික සුරක්ෂිතතා ප්‍රමිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇඟලුම් කර්මාන්තය කුප්‍රකට ය.

කම්කරු අයිතිවාසිකම් පිලිබඳ සංවිධානයක් වන සොලිඩැරිටි සෙන්ටර් [Solidarity Center] පවසන පරිදි, 2012 සහ 2019 අතර, රටේ ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධිතව ගිනි ගැනීම් සහ විවිධ සුරක්ෂිතතා පිලිබඳව අතුරු සිද්ධීන් 150 කට වැඩි ප්‍රමානයක් සිදුවී ඇති අතර, කම්කරුවන් 1,300 කට වැඩි පිරිසක් මිය ගොස්, 3,800 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම කර්මාන්තය බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන් සූරාකමින් අධික ලාභ ලබා ගන්නා අතර, ඔවුන්ට ගෙවනු ලබන්නේ මසකට ඩොලර් 94 සහ 112 අතර පමනි.

බංග්ලාදේශයේ දරුනුතම කාර්මික ව්‍යසනය සිදු වූයේ 2013 දී ඩකා නගරයෙන් පිටත පිහිටි තට්ටු අටකින් යුත් රානා ප්ලාසා ඇඟලුම් කම්හල් සංකීර්නය කඩා වැටීමෙන් පුද්ගලයන් 1,200කට වඩා මිය ගිය විටය. දහස් ගනන් කම්කරුවන් සේවයේ නියුක්ත කෙරුනු ඇඟලුම් කම්හල් පහකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ව්‍යසනය, වහල් ශ්‍රම කොන්දේසි පවත්වා ගනිමින් සහ මූලික සුරක්ෂිතතා අවශ්‍යතාවන් උල්ලංඝනය කරමින් නිර්දය ලෙස වැඩි ලාභයක් හඹා යන ගෝලීය සංගතවල, ප්‍රධාන වශයෙන් සිල්ලර භාන්ඩ වෙලඳාමේ යෙදෙන යෝධ සංගතවල, අවශ්‍යතා ඉටු කිරීම පිලිබඳව සංකේතයකි.

කොවිඩ්-19 වසංගතය පැවැති කාලය පුරාවටම, හසීනා රජයේ ආශිර්වාදය ඇතිව, බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය, පූර්නකාලීන ව අඛන්ඩ ව ක්‍රියාත්මක වී ඇත. කර්මාන්තය මුලු අපනයන ආදායමෙන් සියයට 80කට වැඩි දායකත්වයක් සපයන අතර එහි වටිනාකම ඩොලර් බිලියන 30 ඉක්මවයි.

වසංගත අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් එක් අයෙකුගේ රැකියාව අහිමි වූ කුටුම්භ මිලියන 14.7ක් සිටින බව ජූනි 1දා බංග්ලාදේශයේ නිව් ඒජ් පුවත්පත වාර්තා කලේය. තක්සේරු කෙරී ඇති මිලියන 2.1 කුටුම්බයන්, එනම් රටේ සමස්ථ කුටුම්බවලින් සියයට හයක්, සෘජුවම කොවිඩ් ආසාදනවලට ගොදුරු වී ඇත.

බංග්ලාදේශ ආර්ථිකය වසංගතයෙන් යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇති බව පවසන හසීනා රජය පෙර වසරේ සියයට 6.94 ට සාපේක්ෂව 2021-22 මුදල් වර්ෂය තුල දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 7 දක්වා ලඟා වී ඇති බව පවසයි.

statista.com වෙබ් අඩවියට අනුව, පසුගිය වසරේ ඇඟලුම් කර්මාන්තය ඩොලර් බිලියන 31.46ක් උපයා ගත්තේ පෙර වසරේ ඩොලර් බිලියන 28 ඉක්මවමිනි. මෙම ඊනියා වර්ධනය යන්නෙන් අදහස් කරන්නේ, දරිද්‍රතා මට්ටමේ වැටුප් යටතේ සුපිරි සූරාකෑමකට ගොදුරු කෙ‍ෙරමින් සහ ඔවුන්ගේ මූලික සුරක්ෂිතතාවන් උල්ලංඝනය කරමින්, වැඩකරන ජනතාවගේ වියදමින් මූල්‍ය හා සංගත ප‍්‍රභූව තවදුරටත් පොහොසත් කරනු ලැබීමයි.

Loading