“ජන අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම” ගැන සාකච්ඡාව: කම්කරු-පීඩිත ජනයා ධනේශ්වර රාජ්‍යයට ගැට ගැසීමේ දුෂ්ට උගුලක්

“ගාලු මුවදොර අරගලකරුවෝ”, “අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම” නම් වූ ඔවුන්ගේ වැඩපිලිවෙල සාකච්ඡා කිරීමේ රැස්වීමක් ජූලි 12 වෙනිදා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වූහ. එම සාකච්ඡාවට සමගි ජන බලවේගය (සජබ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුළු විපක්ෂයේ ධනපති දේශපාලන පක්ෂ වලට, ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ට (පෙසප), වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන වලට ආරාධනය කර තිබුනි.

ජන පීඩක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව පලවා හැරීම සඳහා පසුගිය මාස තුන තුල ගාලු මුවදොර උද්ඝෝෂනයේ නිරත කම්කරුවන්, තරුන ජනයා, විශ්ව විද්‍යාල සිසුන් සහ ගම්බද දුගී ගොවීන් සහ නාගරික දුප්පතුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අරගලය ශ්‍රී ලංකාවේ සමස්ත ධනපති පාලක පන්තියට සහ ධනේශ්වර රාජ්‍යයට එරෙහි අරගලයකි. රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව පලවා හැරීම පමනක් නොව,පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

එහෙත් එම අරගලයේ මුදුනත අරක්ගෙන සිටින සුළු ධනේශ්වර නායකත්වය යෙදීගන සිටින්නේ අරගලයේ නිරත ජනයා දේශපාලනිකව අවමංගත කොට ධනේශ්වර රාජ්‍යයේ ප්‍රතිගාමී ව්‍යවස්ථාමය සහ දේශපාලන රාමුවට කොටුකර කිරීමේ ව්‍යයාමයකය. “හෙට දවස අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම” ධනේශ්වර රාජ්‍ය පිරිපහදු කිරීමෙන් සහ එයට බලපෑම් කිරීමෙන් ධනපති පන්ති පාලනය තුල කම්කරු-පීඩිත ජනයා මුහුන දී සිටින සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය ගැටළු විසඳා ගත හැකිය යන ප්‍රතිගාමී මිත්‍යාවකට යටත් කිරීමේ ජාතිකවාදී හා ධනේශ්වර ගැති වැඩපිලිවෙලකි.

ජීවන්ත පීරිස් (ෆේස්බුක් පිටුවෙනි)

ගාලු මුවදොර අරගලකරුවෝ පාර්ලිමේන්තුවට පිටත සිට එයට බලපෑම් දමන “ප්‍රෙසර් ගෘප්” එකක් බව එහි ප්‍රමුඛයෙකු වන ජීවන්ත පීරිස් සාකච්ඡාවේ දී සඳහන් කලේ ය. ඒ සඳහා සියලුම වෘත්තීය සමිති නියෝජිතයන්, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන සහ ගාලු මුවදොර සහ රටපුරා අරගලකරුවන්ගේ සංයුතියක් සහිත මහජන සභාවක් ලෙස ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කලේ ය:

“අපි කොහේවත් පාර්ලිමේන්තුගත වෙන්නේ නැහැ. මැතිවරනයක් තිබ්බහම ඒ අදාල පාර්ශ්වයන් =මැතිවරනයට මුහුන දෙනවා. අරගලකරුවෝ විදිහට අපි එකතු වෙලා ඉන්නේ විශේෂ සංයුතියක් ලෙස. මහජන කවුන්සිලයේ සියලු දෙනාගේ නියෝජනයක් සහිත ව්‍යුහයක් ලෙස අපි ඒ ඇතුලාන්ත ව්‍යුහයට (ධනපති පාර්ලිමේන්තුවට ) බලපෑම් කරනවා ප්‍රෙසර් ගෘප් එකක් විදිහට” පීරිස් පැවසීය.

අරගලකරුවන්ගේ මහජන සභාවේ මුලික ඉල්ලීම් මෙසේය:

* ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වීමෙන් හා ගෝඨා-රනිල් ආන්ඩුව ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජීය, දේශපාලන අරමුනු වලට අනුකුලව මාස 12 ක උපරිමයකට යටත්ව අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම හා ඒ යටතේ ආහාර, ගෑස්, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය,අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු ප්‍රවාහන හා බලශක්ති ආදී පහසුකම් ලබාදීමට වැඩපිලිවෙලක් සකස්කිරීම.

* දැනට අත්අඩංගුවේ පසුවන සාමකාමී අරගලකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා දේශපාලන පලි ගැනීම් වලට ලක්වූවන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම, ඝාතන සහ අතුරුදහන් කිරීම් වලට සම්බන්ධ සියලු වින්දිතයන් ට සාධාරනයක් ඉටු කලහැකි ක්‍රමවේදයක් සකස් කිරීම.

* විමර්ශනයක් සහිත විගනනය තුලින් රෙජීමය ( රාජපක්ෂ) විසින් සොරා කන ලද මුදල්සහ දේපල නැවත රජයට පවරා ගැනීම සහ දඬුවම් කිරීම.

* ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමෙන් අනතුරුව ජනතා බලය තහවුරු කරෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තෙක් විධායක බලය කප්පාදු කිරීම, නීතිය සැමට සාධාරන කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ආදිය සඳහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල කලහැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන කඩිනමින් කිරීම, ජනතා බලය සහතික කෙරෙන නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරනයක් මගින් කඩිනමින් සම්මත කිරීම හා ඒ යටතේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.

මෙම යෝජනා අන්තර්කාලීන ආන්ඩුව විසින් ක්‍රියාවට දැමිය යුතුය. අන්තර්කාලීන ආන්ඩුව යනු තවත් ධනපති ආන්ඩුවකි. ධනපති පන්ති පාලනය මුහුන දී සිටින බරපතල දේශපාලන අස්ථාවරත්වය සමනය කිරීම සඳහා විපක්ෂයේ සියලු ධනපති පක්ෂ විසින් ඉදිරිපත් කරන යෝජනාව ද එයයි. බහු පක්ෂ අන්තර්වාර පාලනයක් පිහිටුවිය යුතුයයි ඔවුහු කියා සිටිති. ගාලු මුවදොර අරගලයේ නායකයන් මෙන් ම පෙසප, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන පෙල ගැසී සිටින්නේ ධනේශ්වර පන්ති පාලනය ස්ථාවර කර ගැනීමේ මෙම ධනපති දේශපාලන පක්ෂ වල ප්‍රතිගාමී පිලිවෙත සමගය.

සාකච්ඡාවට සහභාගී වූ ධනපති දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ව්‍යාජ වාම පෙසප සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ඉහලින් හුවා දැක්වූ අතර ධනපති රාජ්‍යයට බලපෑම් දැමීමේ වැඩ පිලිවෙල පුළුල් කිරීමේ තවත් යෝජනා ඉදිරිපත් කලහ.

මෙම සාකච්චාවට සහභාගී වූ සියලුම පක්ෂ හා සංවිධාන, වසංගතයේ ව්‍යසනය හා ආර්ථික අර්බුදයේ බර කම්කරු- පීඩිත ජනයා මත පැටවීමට රාජපක්ෂ ආන්ඩුවට සහයෝගය දුන්හ. ඔවුන් සියලුදෙනා රාජ්‍ය ආයතන පුද්ගලීකරනය, රාජ්‍ය වියදම් කප්පාදු කිරීම, බදු වැඩි කිරීම ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට එකඟ ය.

දෙජාස යේ ටි.ඒ. සුමන්දිරන් වැඩ පිලිවෙල කෙරෙහි ඔහුගේ බලවත් සතුට ප්‍රකාශ කල අතර “ලියවිල්ලේ ඉදිරිපත් කර තිබෙන සියලුම කරුනු වලට තම සන්ධානය එකඟ” බව පැවසීය.

“ගෑස්, ඉන්ධන ප්‍රශ්න විසඳ ගන්න ජාත්‍යන්තරය පිලිගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕන' බව සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා පැවසීය. “අපි වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්න ඕන. ඒක අපි ලෝකෙට ජනගත කරන්න ඕන. සර්වපාක්ෂික රජයක් සහ මහජන කවුන්සිලය එකතු වෙලා ලෝකෙට අපේ වැඩපිලිවෙල ඉදිරිපත් කරලා ආයෝජන වලින් ඒ අවශ්‍ය මුදල් ලබාගෙන හිඟන තත්වයෙන් උඩට ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න අපිට වැඩ පිලිවෙලක් හදා ගන්න ඕන”.

සිල්වා ආයෝජන ගෙන්වා ගැනීමේ වැඩ පිලිවෙල ගැන විස්තර නොකලේ ය. එහෙත් ආයෝජන ගෙන්වා ගැනීමේ ධනපති පාලක පන්තියේ වැඩ පිලිවෙල වන්නේ බදු සහන දීම, උපරිම ලාභ උත්පාදනය සඳහා කම්කරු පන්තියේ ශ්‍රමය ඇටපොත්තටම සූරාකෑමට අවශ්‍ය කොන්දේසි සකසා දීම ඇතුළු පියවරයන් ය. සිල්වා මෙම පියවරයන් ක්‍රියාවට දැමීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව තුල සිට සහභාගිවූවෙකු සහ අනුප්‍රාප්තික රාජපක්ෂ ආන්ඩු වලට සහයෝගය දුන්නෙකි.

“පුළුල් ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරන අවශ්‍ය” බව ඔහු පැවසීය. සිල්වා යෝජනා කරන පුළුල් ප්‍රතිසංස්කරන වනාහි ජාමුඅ විධානයන් ක්‍රියාවට දැමීමය.

“සිස්ටම් එක චේන්ජ් කිරීම” සඳහා බලයට පත්වෙන කවුරු එක්ක හරි මහජන සභාව “අත්වැල් බැඳ ගතයුතු” බව ශ්‍රීලනිප නියෝජිත දුමින් ද සිල්වා පැවසීය. “අපි ඔබ බලාපොරොත්තු වෙන මේ රටේ අනාගත පරපුර සඳහා වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්න ඕන. මහජන සභාවට අපි ඉල්ලීමක් කරනවා ඒ පත්වෙන (ආන්ඩු බලයට) කාත් එක්ක හරි අත්වැල් බැඳ ගත යුතුයි. ඒ අනුව සෑම ක්ෂේත්‍රයකම ඒ සිස්ටම් චේන්ජ් එක ඇති කල යුතු” යැයි ඔහු සඳහන් කලේ ය.

පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් මෙසේ පැවසීය: “රටේ දේශපාලන දේශපාලන ස්ථාවරත්වය රැක ගන්න පුළුවන් වෙන්නේ ජනතා අරගලයත් සමග සම්මුති ගත වෙන අන්ඩුවකට විතරයි. නව ව්‍යවස්ථාව කියන කාරනය දෙවැනි තැනකට දාන්න එපා. මේ ජනතා සම්මුතිය නව ව්‍යවස්ථාවක් බවට පත්කර ගැනීම මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල වගකීමක් වෙනවා. පක්ෂ පාට වලට බෙදලා මේ ජනතාවාදී ව්‍යාපාරය විසුරුවා හරින්නේ නැතිව ජනතාවාදී ව්‍යවස්ථාව තහවුරු කරලා ජාතික ප්‍රශ්නය විසඳිය යුතු” බව ප්‍රකාශ කලේ ය.

ගුනරත්නම් සහ පෙසප තටමන්නේ “ජනතා අරගලය” සමග ධනපති ආන්ඩුව සම්ම්මුති ගැස්සවීමට නොව ධනපති ආන්ඩුව සමග ජනතාව සම්මුති ගැස්සවීමටය.

ජවිපෙ විසින් පාලනය කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහමෙසේ කිවේය: “අපේ ඉලක්කය වුනේ ගෝඨාගෝහොම් සහ මේ ආන්ඩුව ගෙදර යන්න කියන එක. ඒ නිශ්චිත කරුනු දෙක අපි ජයග්‍රහනය කලාට පසුව ක්ෂනිකව අපි ඉටුකරගත යුතු ප්‍රතිසංස්කරන තියෙනවා. සියලු කන්ඩායම් එකතුකර ගත්ත පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් අපි හදමු. කෙටි කාලයකින් පාර්ලිමේන්තු මැතිවරනයකට ගියොත් තමයි මේකේ තියෙන බොහෝ කරුනු ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ”.

ජවිපෙට සහ එහි වෘත්තීය සමිති වලට ඇත්තේ ධනපති ආන්ඩු වලට මුක්කු ගැසීමේ සහ ඒවා විසින් කම්කරු-පීඩිත ජනයාට එරෙහිව ක්‍රියාවට දැමුනු ප්‍රහාරයන් ට සහයෝගය දීමේ කුප්‍රකට ඉතිහාසයකි. එය දැන් රාජපක්ෂ ආන්ඩුවට හා ඉක්බිතිව අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගැඹුරින් ම වර්ධනය වී ඇති මහජන වෛරය ගසාකමින් ආන්ඩු බලයට පොර වැදී සිටින තවත් ධනපති පක්ෂයකි.

ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් හෝ එය සමග සම්මුතු වලින් කම්කරු-පීඩිත ජනයාට තමන් මුහුන දෙන කිසිදු දැවෙන ප්‍රශනයකට විසඳුම් සම්පාදනය කර ගැනීමට හෝ අයිතියක් තහවුරු කර ගත නොහැකිය.

ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය මුහුන දී සිටින තිව්‍රතර ආර්ථික අර්බුදය කොවිඩ් වසංගතය සහ රුසියාවට එරෙහිව එකසත් ජනපදය සහ නැටෝව යුක්රේනය මෙහෙයවාගෙන දියත් කර ඇති යුද්ධයෙන් ගැඹුරු කෙරුනු ලෝක ධනවාදයේ අර්බුදයේ කොටසකි.

කවර උපායාත්මක මත භේද පැවතිය ද ජාමුඅ විධානයන් ක්‍රියාවට දැමීම ඇතුළු ආර්ථික කප්පාදු පිලිවෙත් සහ කම්කරු-පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ට එරෙහි ප්‍රහාරයන් ක්‍රියාවට දැමීම සම්බන්ධයෙන් සියලු ධනපති පක්ෂ ඒකමතිකය.

ධනපති පාලක පන්තිය දැන් යෙදීගන සිටින්නේ මෙම ප්‍රහාරයන් ට එරෙහිව වර්ධනය වී ඇති පුළුල් මහජන විරෝධය රුදුරු ලෙස තලා දැමීමේ දේශපාලන ගනන් බැලීමකය. අගමැති වික්‍රමසිංහ විසින් මහජන විරෝධය මර්දනය කිරීමේ බලතල පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට පැවරීම මෙම ප්‍රතිගාමී සැලසුම් වල කොටසකි.

සියලු ධනපති පක්ෂ සහ ධනේශ්වර ගැති සංවිධාන වලින් වෙන්ව ධනපති පාලක පන්තියේ ප්‍රහාර වලට එරෙහි අරගලය සඳහා කම්කරු-පීඩිත ජනයාට විකල්ප වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. “පාලනය යතා තත්වයට පත් කිරීමට අවශ්‍ය දේ කරන ලෙස” ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපති, හමුදාවට නියෝග කරයි' මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකෙරුන ලිපියෙහි එය මෙසේ අවධාරනය කලේ ය.


“ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියෙන් දිගින් දිගට ම ඉල්ලා සිටියේ තත්ත්වය තමන්ගේ අතට ගන්නා ලෙස සහ තම අරගල අවහිර කර පාවා දී ඇති ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, කර්මාන්තශාලා, නිවහන් ප්‍රදේශ සහ වතුකරය තුල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ය”.

“සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත තම පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට කම්කරු පන්තිය මැදිහත් වීම හැර, වැඩකරන ජනතාව මුහුන දෙන කිසිදු දැවෙන ප්‍රශ්නයක් විසඳා ගත නොහැකි බව සසප අවධාරනය කරයි. ආඥාදායක පාලන ක්‍රමයන්ට පාර කපන ධනේශ්වර අන්තර්වාර ආන්ඩුවක් සඳහා කවර හෝ සහාය ලබා දීමක් සසප එකහෙලා ම ප්‍රතික්ෂේප කර ඇත. එවැනි දේශපාලන අරගලයක පදනම ලෙස සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, බැංකු සහ ප්‍රධාන සංගත ජනසතු කිරීම සහ බිලියනපතියන්ගේ ධනය අත්පත් කර ගැනීම ඇතුලු ප්‍රතිපත්ති මාලාවක් පක්ෂය ඉදිරිපත් කර ඇත.

“ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල වර්තමාන වේදනාකාරී අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් නොමැති බව සසප අවධාරනය කරයි. සසප පදනම් වන්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය මත ය”.

Loading