“පාලනය යතා තත්වයට පත් කිරීමට අවශ්‍ය දේ කරන ලෙස” ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපති, හමුදාවට නියෝග කරයි

[මෙය Sri Lanka’s acting president orders military, do “what is necessary to restore order” යන මැයෙන් 2022 ජූලි 14 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලාංකීය ජනතාවට එරෙහි දේශපාලන කුමන්ත්‍රනයක් දියත් කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ අලුයම හමුදා ගුවන් යානයකින් රටින් පලා යද්දී, අගමැති රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස නිල වශයෙන් පත් කලේ ය.

දීප ව්‍යාප්ත හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා වික්‍රමසිංහ වහාම රටේ විධායක ජනාධිපති ක්‍රමයේ පුලුල් බලතල භාවිතා කලේය. ඔහු කොලඹ සහ අවට පලාත්වල පැය 24 පුරා ඇඳිරි නීතිය පැනවූ අතර එය ක්‍රියාත්මක කිරීමට සොල්දාදුවන් සහ පොලිසිය බලමුලු ගැන්වීය. පසුව, ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මක වන ලෙස පුලුල් කරනු ලැබිනි.

කෙසේ වෙතත්, පසුගිය මාස තුන තුල නැවත නැවතත් සිදු වූ පරිදි, ආන්ඩු විරෝධී උද්ඝෝෂකයෝ ඇඳිරි නීතිය නොතකා පාරට බැස්සාහ. විරෝධතාකරුවන් දහස් ගනනක් අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම වැලැක්වීමේ අසාර්ථක උත්සාහයේ දී පොලිස් සහ හමුදා නිලධාරීන් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර භාවිතා කිරීමත් සමඟ දැඩි සටන් ඇති විය. ගැටුම්වලින් පුද්ගලයන් දහස් ගනනක් තුවාල ලබා ඇති අතර අවම වශයෙන් 84 දෙනෙකු රෝහල් ගත කරනු ලැබ ඇත.

2022 ජූලි 13 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත රැස්ව සිටි ජනකායෙන් කොටසක් (ලෝසවෙඅ මාධ්‍ය)

“පාලනය යතා තත්වයට පත් කිරීමට අවශ්‍ය දේ” කරන ලෙස තමා මිලිටරියට සහ පොලිසියට උපදෙස් දුන්නේ යැයි පවසමින් වික්‍රමසිංහ අනතුරු අඟවන ස්වරයේ රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කලේය. තම උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී, යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාගෙන් සමන්විත කමිටුවක් ඔහු විසින් පත් කරනු ලැබ ඇත.

කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර වලින් විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ අපොහොසත් ව ඇති තතු තුල, ජනාධිපති නිකුත් කල නියෝගයෙන් ඇඟවෙන්නේ නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීමට පොලිසියට හා හමුදාවට නියෝග කර ඇති බවයි.

“අපට අපේ ව්‍යවස්ථාව ඉරා දැමිය නොහැක,” වික්‍රමසිංහ ප්‍රකාශ කලේය. “ෆැසිස්ට්වාදීන්ට බලය ලබා ගැනීමට අපට ඉඩ දෙන්න බෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මේ ෆැසිස්ට් තර්ජනය අවසන් කල යුතුයි.” විරෝධතාකරුවන් විසින් අල්ලාගෙන සිටින රජයේ ගොඩනැගිලි රාජ්‍ය පාලනයට ආපසු භාර දිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මොනතරම් පිලිකුල් සහගත අපහාසයක්ද! දින කිහිපයකට පෙර, සිය දහස් ගනනකගේ දැවැන්ත ආන්ඩු විරෝධී විරෝධතාවය ඉදිරියේ, ඊයේ (13) වන විට තමන් ඉල්ලා අස්වන බව රාජපක්ෂ නිවේදනය කර තිබුනි. සර්ව පාක්ෂික අන්තර්වාර ආන්ඩුවක් ස්ථාපිත වූ පසු තමා ද ඉල්ලා අස්වන බව වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුනි.

කෙසේ වෙතත්, තිරය පිටුපසින්, දෙදෙනා ම බලයේ එල්ලී සිටීමට සන්නද්ධ හමුදාවන් සමඟ කුමන්ත්‍රනවල යෙදෙති. කොලඹ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විගමන නිලධාරීන් වානිජ ගුවන් යානයකින් පිටත්ව යාමට ගත් උත්සාහය මැඬ පැවැත්වීමෙන් පසු, රාජපක්ෂ පලා යන අපරාධකරුවෙකු ආකාරයෙන් හමුදාවේ සහාය ඇතිව රටින් පලා ගියේ ය. ඔහු සිංගප්පූරුවේ දේශපාලන රැකවරනය පතා මාලදිවයිනේ රැඳී සිටින අතර තවමත් ඉල්ලා අස්වීමක් ඉදිරිපත් කර නොමැත.

ඔහුගේ සහ-කුමන්ත්‍රනකරු වන වික්‍රමසිංහට අගමැතිවරයෙකු හෝ කැබිනට් මන්ඩලයක් හෝ නැත. ඔහු සෝදා පාලු වූ එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ එක ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන අතර, ජනාධිපති ධුරය සඳහා තමා පත්කලයුතු බවට ඔහු විසින් ම කරනු ලැබූ යෝජනාව ඉරිදා පැවති සර්ව පාක්ෂික රැස්වීමේදී පාර්ලිමේන්තු පක්ෂ අති බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

වික‍්‍රමසිංහ දැඩි ලෙස ආරක්ෂා කරන ව්‍යවස්ථාව, අත්තනෝමතිකයෙකුගේ බලතල ගැබ් කරගත් විධායක ජනාධිපති ක‍්‍රමය සහිත මුලුමනින්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලියවිල්ලකි: ඇමතිවරුන් සහ ආන්ඩු පත් කිරීම සහ නෙරපීම, ඇමතිකම් භාර ගැනීම, හදිසි නීතිය පැනවීම සහ හමුදාව කැඳවීම ආදී බලතල එය සතු ය.

පිලිකුලට ලක් වූ රාජපක්ෂ-වික්‍රමසිංහ කල්ලිය මිලිටරි ආඥාදායකත්වය දෙසට විශාල පියවරක් තබද්දී, වැඩබලන ජනාධිපති 'ෆැසිස්ට්වාදීන්ට' එරෙහි ව 'ප්‍රජාතන්ත්‍රවාදය' ආරක්ෂා කරන බව ප්‍රකාශ කරමින් නාසීන් විසින් හඳුන්වා දුන් මහා බොරුවේ (Big Lie) උපාය ක්‍රියාවට දමා ඇත. යතාර්ථයේ දී, වික්‍රමසිංහ ෆැසිස්ට්වාදීන් යැයි හංවඩු ගසා ඇත්තේ ජනාධිපති රාජපක්ෂ ඉල්ලා අස් විය යුතු යැයි ද තමන් මුහුන දෙන සමාජ ව්‍යසනය අවසන් කල යුතු යැයි ද බල කරමින් පසුගිය මාස තුන පුරා වීදි බැස සිටින මිලියන සංඛ්‍යාත කම්කරුවන්, ගම්බද දුගීන්, තරුනයින් සහ වෘත්තිකයන් ය.

ඉහල යන උද්ධමනය, ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ දෛනික දීර්ඝ විදුලිය කප්පාදු වැනි—නොඉවසිය හැකි කොන්දේසිවලට මුහුන දීමට කම්කරු පීඩිත මහජනතාවට සිදුව ඇත. කුසගින්න සුලභ වන අතර බොහෝ දෙනෙක් හාමතට වැටීමේ අද්දර සිටිති. මහජන සෞඛ්‍ය පද්ධතිය ඇත්තේ කඩාවැටෙන තත්වයක ය.

එපමනක් නොව, හදිසි නය සඳහා පූර්ව අවශ්‍යතාව වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින දැඩි කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට වික්‍රමසිංහ කැපවී සිටී. තවදුරටත් පුද්ගලීකරනය සහ රාජ්‍ය වියදම්වලට ගැඹුරු කප්පාදු ඇතුලත් මෙම ප්‍රතිපත්ති, ජනගහනයෙන් අතිමහත් බහුතරය මුහුන දෙන සමාජ අර්බුදය නාටකාකාර ලෙස නරක අතට හරවනු ඇත.

සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුලු සියලු ම විරුද්ධ පක්ෂ, රටේ ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමේ ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට සහයෝගය දක්වති. රාජපක්ෂ-වික්‍රමසිංහ කුමන්ත්‍රනයට පාර කපා දුන්නේ, මහජන නැගිටීම මැඬ පැවැත්වීමට සහ එය සර්ව පාක්ෂික, අන්තර්වාර ආන්ඩුවක දේශපාලන වංචාවකට අපසරනය කිරීමට ඔවුන් ගෙන ගිය ‍ප්‍රයත්නයන් ය.

වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ රැඳී සිටින අතරතුර පත්වන ඕනෑ ම අන්තර්වාර ආන්ඩුවක හැඩය මෙන්ම එහි ප්‍රතිපත්ති ද ඔහු විසින් තීරනය කෙරෙනු ඇත. රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර නොමැති බැවින්, ලබන බදාදා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු කථානායක විසින් මෙම සතිය මුලදී ප්‍රකාශයට පත් කරන ලද න්‍යාය පත්‍රය දැන් ප්‍රශ්නාර්ථයක් වී තිබේ. සියලු පක්ෂවලට පිලිගත හැකි අගමැතිවරයකු නම් කරන ලෙස වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත.

වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමට එරෙහි ව විපක්ෂ නායකයින් දුබල විරෝධතා පල කර ඇත. වික්‍රමසිංහ මෙන් ම ඔවුන් ද බියට පත් ව සිටින්නේ දැවැන්ත විරෝධතා සහ වැඩවර්ජනවල නව වටයක් මුදා හැරෙනු ඇත යන කාරනාව සම්බන්ධයෙනි. දක්ෂිනාංශික සජබ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “එක් ආසනයක් ඇති මන්ත්‍රීවරයෙක් අගමැති ලෙස පත් කරනු ලැබ තිබේ. දැන් එම පුද්ගලයා ම වැඩ බලන ජනාධිපති ලෙස පත් කරනු ලැබ ඇත. ... මොන විගඩමක් ද. මොනතරම් ඛේදවාචකයක් ද.” යනුවෙනි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක වික්‍රමසිංහට අනතුරු ඇඟවූයේ ඔහුගේ ක්‍රියාවන් “පෙර නොවූ විරූ අර්බුදයක්” අවුලුවාලීමේ තර්ජනයකට මග පාදනු ඇති බවටයි. ඔහු වැඩකරන ජනතාව විසින් ගත යුතු ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටිනවා වෙනුවට, රාජපක්ෂ-වික‍්‍රමසිංහ කුමන්ත‍්‍රනයට පහසුකම් සැපයූ මිලිටරියට ම ආයාචනයක් කලේ ය.

'අපි ත්‍රිවිධ හමුදාවෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට ඇහුම්කන් දෙන ලෙසයි' යැයි දිසානායක ප්‍රකාශ කලේ ය. 'ආරක්ෂක හමුදා, බලයේ එල්ලී සිටින කල්ලියක් ආරක්ෂා කිරීමට ආයුධ භාවිතා කරනවාට වඩා ජනතාව සමඟ සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.'

අතීතයේ දී තමන් විප්ලවවාදී සහ මාක්ස්වාදී යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කල, සිංහල වර්ගවාදී දේශපාලනයේ ගිලී ගිය පක්ෂයක් වන ජවිපෙ, දැන් ධනේශ්වර පාලනයට මුක්කු ගැසීමට වියරු වෑයමක යෙදී සිටී. දිසානායක, මහා ව්‍යාපාරිකයන්ගේ සහ රටේ ජාත්‍යන්තර නය හිමියන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා අන්තර්වාර ආන්ඩුවක නායකයා ලෙස ඉදිරියට එමින් සිටී.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියෙන් දිගින් දිගට ම ඉල්ලා සිටියේ තත්ත්වය තමන්ගේ අතට ගන්නා ලෙස සහ තම අරගල අවහිර කර පාවා දී ඇති ධනේශ්වර පක්ෂවලින් සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, කර්මාන්තශාලා, නිවහන් ප්‍රදේශ සහ වතුකරය තුල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ය.

සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත තම පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට කම්කරු පන්තිය මැදිහත් වීම හැර, වැඩකරන ජනතාව මුහුන දෙන කිසිදු දැවෙන ප්‍රශ්නයක් විසඳා ගත නොහැකි බව සසප අවධාරනය කරයි. ආඥාදායක පාලන ක්‍රමයන්ට පාර කපන ධනේශ්වර අන්තර්වාර ආන්ඩුවක් සඳහා කවර හෝ සහාය ලබා දීමක් සසප එකහෙලා ම ප්‍රතික්ෂේප කර ඇත. එවැනි දේශපාලන අරගලයක පදනම ලෙස සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, බැංකු සහ ප්‍රධාන සංගත ජනසතු කිරීම සහ බිලියනපතියන්ගේ ධනය අත්පත් කර ගැනීම ඇතුලු ප්‍රතිපත්ති මාලාවක් පක්ෂය ඉදිරිපත් කර ඇත.

ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල වර්තමාන වේදනාකාරී අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් නොමැති බව සසප අවධාරනය කරයි. සසප පදනම් වන්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය මත ය.

Loading