එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ජනතා විමුක්ති පෙරමුනට විවරන ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය මුහුනදී ඇති අතිශයින් ගැඹුරු අර්බුදය මධ්‍යයේ, ධනපති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක සහ මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුුලී චන්ග් අතර මෑතක දී පැවැති සාකච්ඡා යලි වතාවක් පෙන්නුම් කරන්නේ, අතීතයේ දී ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි වාචාල දෙඩ වූ මෙම පක්ෂය දැන් එහි ඉත්තෙක් ලෙස එලිපිට ම ක්‍රියාත්මක වෙමින් සිටින ආකාරයයි.

පසුගිය මැයි 14 දා ඇමෙරිකානු තානාපතිනිය සමග 'පැයක් පමන' පැවැති එම සාකච්ඡාවේදී, ඔවුන් 'රටේ වත්මන්, දේශපාලනික සහ සමාජ ආර්ථික අර්බුදය පිලිබඳ සාකච්ඡා පැවැත්වූ' බව කීමෙන් පමනක් සීමාවී ගැනීමට ජවිපෙ නිල වෙබ් අඩවිය වංචනික උත්සහායක් දරා තිබිනි.

ඇමෙරිකන් තානාපතිනි ජේවීපී නායක අනුර දිසානායක හා විජිත හේරත් සමග සාකච්ඡා පවත්වයි (ජේවීපී නිල වෙබ් අඩවියෙනි)

ඉන්දියන් සාගරයේ භූ-මූලෝපායිකව අතිශයින් වැදගත් ස්ථානයක පිහිටි දිවයින තුල, තමන්ගේ ප්‍රමුඛ ගෝලීය ප්‍රතිවාදියා වන චීනයේ වැඩෙන අනුහස මැඩීම සඳහා ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් එලිපිට සහ රහසිගතව වැඩකරන බව දේශපාලනයේ අ යන්න ආ යන්න දන්නා ඕනෑම කෙනෙකු හොඳින් දන්නා කාරනාවකි.

මෙයට ආසන්ත ම සහ ප්‍රමුඛ උදාරහනයක් වන්නේ, 2015 ජනාධිපතිවරනයේ දී, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පෙරමුනට වැඩමවා ඔහු බලයට ගෙන ඒම දක්වා, එජ තානාපති කාර්යලය තිරය පිටුපස සිට ඉටුකල කුමන්ත්‍රනකාරී ක්‍රියාකලාපය යි. අර්බුදයේ ගිලී සිටි රාජපක්ෂ, ආර්ථික ප්‍ර‍තිලාභ උදෙසා චීනය සමග ඇති කරගත් සම්බන්ධතා නිසා ඇමරිකාවෙන් දුරස්වීම හේතුවෙන්, වොෂිංටනය තමන්ට ගැති පාලනයක් අටවාගැනීමේ පාලන තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුම දියත් කලේ ය. දිසානායක සහ ජවිපෙ ඉත සිතින්ම එකී තන්ත්‍ර මාරු මෙහෙයුමට පූර්න සහය පල කලේ ය.

ලෝකය පුරාම තමන්ට අවනත නැති පාලනයන් නම්මා ගනිමින් තමන්ගෙන් ගිලිහෙමින් තිබෙන ලෝක ආධිපත්‍ය පවත්වා ගැනීමට එක්සත් ජනපදය විවිධ උපාමාරු දමයි: එක්කෝ, ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේදී මෙන් බෝම්බ හෙලා විනාශ කර යටත් කර ගැනීම; නැතිනම්, ලංකාව ද ඇතුලුව දීර්ඝ ලැයිස්තුවකින් යුත් රටවල් ගනනාවක කුමන්ත්‍රනකාරී ලෙස තමන්ට ගැති රූකඩ පාලන තන්ත්‍ර ඇටවීමෙන්. තුන්වැනි සහ බිහිසුනුම ක්‍රමය වනුයේ, දැන් යුක්රේනය දඩමීමා කරගනිමින්, ප්‍රතිවාදී රුසියාව යටත් කර ගැනීම හෝ එහි තමන්ට අවනත ආන්ඩුවක් අටවා ගැනීමේ අරමුනින්, ඇමෙරිකාව සහ නේටෝ බලවතුන් අරඹා ඇති බිහිසුනු යුද්ධය යි. ‍මෙම ගැටුම, සමස්ත මානව වර්ගයාම තුන්වැනි න්‍යෂ්ටික යුද්ධයකට ඇද දැමීමේ තර්ජනය මතු කරයි.

ඇමෙරිකාව ඇතුලු අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඉමහත් වෛරයට පාත්‍රව දශකයට අධික කාලයක් තිස්සේ අමානුෂිකව සිරගත කර සිටින මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ්ගේ විකිලීක්ස් වෙබ් අඩවිය හරහා කාන්දුකරන ලද දස ලක්ෂ සංඛ්‍යාත රහසිගත ඇමෙරිකානු රාජ්‍ය ලේඛන මගින් මෙම යටිකූට්ටු කුමන්ත්‍රන ඉස්මත්තට ගෙන ආවේ ය. ජවිපෙ නායකයින් විවිධ අවස්ථාවලදී එක්සත් ජනපද තානාපති කාර්යාලයට බඩගා ඇති ආකාරය ගැන ද මෙම ලේඛන හෙලිදරව් කරයි.

චන්ග්, ජවිපෙ නායක දිසානායක හමුවීම ගැන මාධ්‍යවේදීන් විමසූ අවස්ථවේදී, එක්සත් ජනපද තානාපතිනිය කීවේ, 'ඉතා පලදායි අව්‍යාජ සාකච්ඡාවක්' ඔවුන් අතර සිදුවූ බවයි. සිය කොල්ලකාරී අධිරාජ්‍යවාදී අවශ්‍යතා වෙනුවෙන් ඒ සා බිහිසුනු ක්‍රියාදාමයක නියැලෙමින් සිටින රටක තානාපතිනිය සමග ජවිපෙ 'පලදායි සාකච්ඡාවක්' සිදුකලා යැයි කියන විට එයට ඇත්තේ එකම අර්ථයකි. එනම්, මෙරට තුල එම අවශ්‍යතා සම්බන්ධයෙන් ජවිපෙ මුලුමනින්ම එකඟ බව යි.

ජවිපෙ නායකයින්ගේ මෙම නැමියාව අගේ කරමින් චන්ග් තවදුරටත් කීවේ, මෙම පක්ෂය හා තමන් අතර 'හොඳ අවබෝධයක් තිබෙන' බවත් ජවිපෙ 'ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශපාලන පක්ෂයක්' බවත් ය. ජවිපෙ, ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සැලකිල්ලට බඳුන්වන බවට මෙරට පාලක පන්තියේ කොටස්වලට ඇය පනිවුඩයක් ලබා දී ඇත.

සමස්ත ධනපති සංස්ථාපිතය කෙරහිම කලකිරී සිටින මිලියන සංඛ්‍යාත මහජනයාගේ වෛරය, ධනේශ්වර ක්‍රමයේ පැවැත්මට ම අභියෝගයක් නොවී, ජවිපෙ වැනි අධිරාජ්‍ය ගැති පක්ෂයක ජාතිකවාදී වාචාල තුල දියකර හැරිය හැකි බවට වොෂිංටනය ගනන් බලයි.

ඇමෙරිකානු අධිරාජ්‍යවාදය පිලිබඳ සිදුකල පුහු විවේචන පවා තවදුරටත් සිදුනොකරන ආකාරයේ එකඟතාවකට ජවිපෙ පැමින ඇති බව චන්ග් ඇඟවුම් කලේ, මෙරට තුල, ඇමෙරිකානු ආයෝජන සහ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ ගැටලුවක් ඇත්නම් හෝ පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් දුරක‍ථන ඇමතුමක් ලබා දෙන ලෙස සාකච්ඡාවේ දී තමා දිසානායකට පැවසූ බව සඳහන් කරමිනි. එවැනි සමීප සබඳතාවක් හරහා 'සමාජ මාධ්‍ය සහ කටකතා මාර්ගයෙන් සැරිසරන අසත්‍ය තොරතුරුවලින් ඈත්වීමට අවස්ථාව ලැබෙන බව' චන්ග් තවදුරටත් සඳහන් කර ඇත.

තානාපතිනිය ‌මෙලෙස අවධානය යොමුකොට ඇත්තේ, 2019 වසරේ දී එවක සිරිසේන-වික්‍ර‍මසිංහ ආන්ඩුව ඇමරිකාව සමග අත්සන් කිරීමට සූදානම්ව සිටි, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්සීසී) ගිවිසුම සම්බන්ධයෙන් ජවිපෙ දැක්වූ ව්‍යාජ විරෝධය වැනි දෑ සම්බන්ධයෙන් විය යුතුය. එම්සීසී ගිවිසුමේ සැබෑ අරමුන වනුයේ, චීනයට එරෙහි ඇමෙරිකානු මූලෝපායික වැඩකටයුතුවලට ලංකාව වඩවඩාත් ඒකාග්‍ර කර ගැනීමයි.

කෙසේවෙතත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ජවිපෙට පවතින සමීප සබඳතාව එක රැයකින් ඇතිවූවක් නොවේ. ජවිපෙ, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග පැවති මුල්ම ප්‍රමුඛ ගනයේ සාකච්ඡාවන් සිදු වූයේ 2005 අප්‍රේල් 20 තරම් ඈතකදී ය. ජවිපෙ නායක ව සිටි සෝමවංශ අමරසිංහ හා සංස්කෘතික ඇමති ලෙස කටයුතු කල විජිත හේරත්, එදින ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී දකුනු ආසියාව සඳහා එක්සත් ජනපද සහකාර ලේකම්ව සිටි ක්‍රිස්ටිනා රොකා හා එක්සත් ජනපද තානාපති ජෙෆ්රි ලන්ස්ටාඩ් හමුවී සාකච්ඡා කලහ.

එම හමුවේදී අමරසිංහ සිය අත්සනින් යුත් පිටු දෙකක ලිපියක් රොකා වෙත භාර දෙමින් දෙමල ජනයාට එරෙහිව කොලඹ ආන්ඩුව ගෙනියන යුද්ධයට ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ සහය ඉල්ලා සිටියේ ය. එමෙන්ම අමරසිංහගේ ලිපිය, ජනාධිපති ජෝර්ජ් ඩබ්ලියු බුෂ් විසින් ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය යටත් කරගැනීමට ගෙනගිය ලේවැකි නව විජිතකරන ආක්‍රමනය සාධාරනීකරන කිරීම සඳහා වොෂිංටනය ගෙතූ පචවලට ජුගුප්සාජනක ලෙස සහය පලකර සිටියේ ය.

මෙයින් පසු, ජවිපෙ නායකයින් හා ඇමෙරිකානු තානාපති කාර්යාලය අතර එලිපිට හා රහසිගත හමුවීම් නිරන්තරව සිදුවී තිබේ. උක්ත සඳහන් කල, විකිලීක්ස් කාන්දුකල ලංකාවට අදාල රාජ්‍ය තාන්ත්‍රික ලේඛනයකදී, අමරසිංහ හා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, එකල එජ තානාපතිනියව සිටි පැට්‍රිෂියා බුටෙනිස් සමග සිදුකල සාකච්ඡාවක් පිලිබඳ හෙලිදරව් කරයි.

කොලඹ ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය මිලිටරිමය ලෙස පරාජය කිරීමෙන් යාන්තම් වසරකට අඩු කාලයකදී, 2010 ජනවාරි 15දා පැවැති මෙම සාකච්ඡාවේදී ලංකාවේ මිලිටරියට එල්ල ව තිබූ යුද අපරාධ චෝදනා වසන් කිරීමේ අරමුනින් යුද අපරාධ නඩුවක් වෙනුවට ඊනියා 'සත්‍යවාදී කොමිෂමක්' පිහිටුවීම ඇතුලු තීරනාත්මක දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් අමරසිංහ සහ ඇමෙරිකානු තානාපතිනිය කතාබහ කර තබෙන බව විකිලීක්ස් වාර්තා කලේ ය.

මෙලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විස්වාසනීය සහකරුවෙකු ලෙස ඉස්මත්තට පැමින සිටින ජවිපෙ ගැන ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ මෙරට නියෝජිතවරියගේ වගවර්නනා බෙහෙවින් දුරදිග යන ඇඟවුම් සහිත ය. මෙය වටහා ගත යුත්තේ, ලංකාව තුල පුපුරාගොස් ඇති දේශපාලන අර්බුදය ඇමෙරිකාව ඇතුලු ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල තියුනු අවධානයට ලක්ව ඇතැයි යන කාරනය ද සමගිනි.

ලංකාවේ දේශපාලන වියවුල, ලෝක ධනේශ්වර අර්බුදයේ කොටසක් ලෙස රට තුල ගැඹුරු වී ඇති ආර්ථික අර්බුදයේ නිර්මිතයකි.

කෝවිඩ් වසංගතය සහ දැන් ඇමෙරිකාව විසින් රුසියාව යටත් කර ගැනීම සඳහා ගෙනයන විජිතකරන යුද්ධය මගින් ධනපති ක්‍රමයේ අර්බුදය තීව්‍ර කර ඇතිවා පමනි.

මේ තත්වය මධ්‍යයේ උත්සන්න කරනු ලැබූ විසකුරු කප්පාදු පිලිවෙත් හා ජීවන තත්වයන් කාබාසිනියා කිරීම්වලට එරෙහිව මිලියන සංඛ්‍යතා මහජනයා අතරින් පුපුරාගිය වෛරය රාජපක්ෂ මතු නොව, සමස්ත ධනපති සංස්ථාපිතය ම සොලවා දමා ඇත. ලෝකය පුරා ම මේ සමාන තත්වයන්ට මුහුන දී සිටින පාලක පන්තීහු ලංකාවේ වර්ධනයන් ඉතා සමීපව නිරීක්ෂනය කරමින් සිටිති.

ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් හා විශේෂයෙන්ම චීනයට එරෙහිව එක්සත් ජනපද යුද සූදානමේ ප්‍රමුඛ හවුල්කරුවෙකු වන ඉන්දියාව, ලංකාවේ වර්ධනයන් තම රටතුල තුල පන්ති අරගලයට කවරනම් බලපෑමක් ඇති කරයි ද, දිවයින තුල තම අවශ්‍යතාවලට එය කෙතරම් හානිකර වේද යන කරුනු සම්බන්ධයෙන් බලගතු ලෙස උත්සුක ය. ලංකාවේ සියලුම ධනපති හා ව්‍යාජ වාම පක්ෂ වැඩට බැස සිටින්නේ ද මෙම මහජන වෛරය ධනපති ක්‍රමය පෙරලා දැමීම කරා යොමු වීමෙන් වලක්වා ගැනීමට යි. විශේෂයෙන්ම අනුර දිසානායක ඇතුලු ජවිපෙ මෙම තත්වය ගසාකා බලයට ඒමට වෑයම් කරන්නේ එම අරමුනෙනි.

වත්මන් තත්වය තුල බලය ලබාගැනීමට නම්, ඇමෙරිකාවේ සහය ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බව දන්නා දිසානායක තමන් ඊට වඩාත්ම සුදුසු පුද්ගලයා බව වොෂිංටනයට ඔප්පු කිරීමේ නිර්ලජ්ජිත වෑයමක නිරතව සිටී. ජූලි 6දා ජාතික ජනබලවේගය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී තමන් බලයට පැමිනියහොත් 'ජාත්‍යන්තර සහයෝගය', එනම් එක්සත් ජනපදය ඇතුලු මහ බලවතුන්ගේ සහාය ලබා ගතහැකි බවට විශ්වාසයක් පවතින බව සඳහන් කලේ ය.

ඇමෙරිකාවේ විදේශ කටයුතු පිලිබඳ සෙනෙට් සභාව සඳහන් කර ඇති පරිදි ඔවුන්ගේ සහාය ලබා ගැනීමට සපුරාලිය යුතු කොන්දේසි වන 'මහබැංකු ස්වාධීන කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සහ දූෂන වංචා වැලක්වීම සඳහා වූ යාන්ත්‍රනයක් ගොඩනැගීම තමන්ට ඒ්කාන්තයෙන්ම කල හැකි බව' දිසානායක කීවේ ය.

දිසානායක විසින් උජාරුවෙන් ශපථ කරන එම නියෝග, උක්ත කමිටුව විසින් පනවා ඇත්තේ කිසියම් රටක මහජනයා පිලිබඳ මොන යම්ම හෝ සද් චේතනාවකින් නොවේ. ඒ වෙනුවට, එම නිර්දේශ පනවා ඇත්තේ, විවිධාකාර රටවල් ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවලට අනුකූලව හැඩගස්වා ගැනීම සඳහා යොදාගැනීමේ අරමුනිනි. එල්ටීටීඊය මිලිටරිමය වසයෙන් පරාජය කල 2009 වසරේ අගභාගයේදී, 'ලංකාව අහිමිකරගැනීමක් එක්සත් ජනපදයට දරාගත නොහැකි' බව අවධාරනය කරමින් 'ශ්‍රී ලංකාව: යුද්ධයෙන් පසුව එක්සත් ජනපද මූලෝපාය යලි සැලසුම් කිරීම' මැයෙන් වාර්තාවක් කෙටුම්පත් කර නිකුත් කලේ, මෙම කමිටුව යි.

ඇමෙරිකන් අධිරාජ්‍යවාදයේ සුවච කීකරු ගැත්තෙකු ලෙස තානාපති කාර්යාලය විසින් බෞස්තීම කරමින් ඇති දිසානායක හා ඔහුගේ ජවිපෙ පිලිබඳ හිතන මතන කම්කරුවන් දැඩි අවධානයෙන් සිටිය යුතු ය. එක්සත් ජනපදයේ සහාය ලැබ පාර්ලිමේන්තුව හරහා කෙරෙන කුමන්ත්‍රනයකින් වේවා වෙනත් මැතිවරනයකින් වේවා බලයට පැන ගැනීමට ලැබුනහොත් දිසානායක නායකත්වය දරන පාලනයක් අධිරාජ්‍යවාදී යුද ගිනිමැලය තුලට මෙම දූපත ඇදගෙන යාමේ ක්‍රියාවලිය වේගවත් කරනු ඇත. එ පමනක් නොව, එයට එරෙහි වන කම්කරු පීඩිත මහජනයාට එරෙහි ව රාජ්‍ය ත්‍රස්තවාදය යෙදවීමට කිසිසේත්ම පසුබට ද නොවනු ඇත.

Loading