ජූලි 9 විරෝධතාව – කම්කරුවන් හා තරුනයින් සඳහා සමාජවාදී වැඩපිලිවෙලක්

ශ්‍රී ලංකාවේ කම්කරුවන්, තරුනයන් සහ ග්‍රාමීය දුගීන් මුහුන දෙන ඉසිලිය නොහැකි කොන්දේසි හේතුවෙන් – ආහාර, ඉන්ධන සහ පිසින ගෑස් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ අහස උසට නඟින මිල ගනන්, පැය ගනන් දිගු දෛනික විදුලිය ඇනහිටීම් – රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ඇවිලුනු මහජන නැගිටීම දැන් උච්ඡස්ථානයකට පැමිනෙමින් තිබේ.

මහනුවර රෝහල් සෞඛ්‍ය සේවකයින් 2022 ජුලි 7 වන දින නගරය හරහා පාගමනක් පවත්වයි

ආහාර ද්‍රව්‍යවල ඉහල මිල ගනන් මහජනයා සාගින්නට ඇද දමමින් පවතී. ඉන්ධන අවසන් වී ඇති බැවින්, ආන්ඩුව, ජාතික අගුලු දැමීමක් හා සමාන තත්වයකට රට පත්කොට ඇත. පාසල් වසා දමා තිබේ. රාජ්‍ය අංශයේ ආයතනවලට “අත්‍යවශ්‍ය කාර්ය මන්ඩලය” පමනක් කැඳවන ලෙස උපදෙස් දී ඇත. ඉන්ධන හිඟය පොදු ප්‍රවාහනය බිඳවැටීමට හේතු වී තිබේ. මෙම තත්වයන් ආන්ඩුවට එරෙහි මහජන කෝපය පුපුරනසුලු මට්ටම් වලට නංවා ඇත.

මේ මොහොතේ, “ගෝඨා ගෝගම” නමින් හැඳින්වෙන ප්‍රධාන විරෝධතා භූමිය වන කොලඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයට නායකත්වය දෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, ජූලි 09 “ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ජනතා විරෝධය” වනු ඇති බව ප්‍රකාශයට පත් කර ඇත. මෙම දිනය, ගාලුමුවදොර පිටියේ ආරම්භ වූ විරෝධතාවයට මාස තුනක් සපිරීම සනිටුහන් කරයි.

කෙසේ වෙතත්, විරෝධතා නායකයින් විසින් ජූලි 05 දින නිකුත් කරන ලද 'අරගලයේ අනාගතය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම' මහජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න සඳහා කිසිදු වැඩපිලිවෙලක් සපයා නැත. එය, අරගලයේ යෙදෙන කම්කරුවන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගේ ඉසිලිය නොහැකි සියලු දුක් වේදනාවලට මූලික හේතුව වී ඇති ධනේශ්වර පාලනයට සහ ධනේශ්වර ලාභ පද්ධතියට කොටු කිරීමේ පියවරකි. ඔවුන්ගේ වැඩපිලිවෙල අන් කිසිවක් නොව, සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන ලද සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ලබන 'අන්තර්වාර ආන්ඩුවක්', එනම් විකල්ප ධනේශ්වර ආන්ඩුවකි.

මෙම විරෝධතාවන් හි ප්‍රමුඛ පෙලේ සංවිධායකයෙකු වන අනුරුද්ධ බන්ඩාර ඉකොනොමිනෙක්ස්ට් වෙත ප්‍රකාශ කල පරිදි, 09 දා විරෝධතාවට සහභාගිවීම සඳහා සජබ, ජවිපෙ සහ වෙනත් විරුද්ධ පක්ෂ 'දැනටමත් එකඟව' සිටිති. මෙම පක්ෂ එසේ එකඟව ඇත්තේ, බන්ඩාර ඇතුලු විරෝධතාකරුවන් ප්‍රවර්ධනය කරනුයේ, තම වැඩපිලිවෙල බැවිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මන්ඩලය ඇතුලු ආන්ඩුවේ ඉහල තනතුරුවල සිටින සියලුම දෙනාම ඉල්ලා අස්විය යුතු බවට කෙරෙන ඉල්ලීම් ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රමූලධර්මවලට ඇතුලත් වේ. ඔවුන්ගේ විකල්පය වනු ඇත්තේ 'අන්තර්වාර පාලනයක්' ය. මෙම 'අන්තර්වාර පාලනය' තුලට ඇතුලත් වන්නේ කවුරුන්ද යන්න පිලිබඳ කිසිදු ඇඟවීමක් නොමැත. විපාර්ශ්වයේ පක්‍ෂ විසින් ඉදිරිපත් කරන ලද පරිදි, සියලුම පාර්ලිමේන්තු දේශපාලන පක්‍ෂ මෙම අන්තර්වාර ආන්ඩුවට ඇතුලත් කර ගැනීමට නියමිත බව ඉන් ගම්‍ය වේ.

මෙම 'අන්තර්වාර පාලනය', 'ජන අරගලයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අරමුනු සහ අභිලාෂයන්' සඳහා දායක විය යුතුය. ඉන්ධන සහ ආහාර වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සුරක්ෂිත කිරීම ඔවුන්ගේ එම “ඉලක්ක සහ අභිලාෂයන්” පිලිබඳ දීර්ඝ ලැයිස්තුවට ඇතුලත් කර ඇතත්, ඒවා ලබාදිය යුතු ආකාරය පිලිබඳ කිසිදු සංයුක්ත වැඩපිලිවෙලක් ඔවුන් ඉදිරිපත් කර නැත. එසේ කිරීමට 'අන්තර්වාර පාලනයට' බලපෑම් කලහොත් ඒවා ලබාදෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති .

'මහජන සභා' පිහිටුවීමට යෝජනා කර ඇති අතර, එමගින් 'ජන අරගලයේ' නියෝජිතයින්ට 'අන්තර්වාර පාලනය සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට සහ මැදිහත් වීමට' හැකි වනු ඇත. ඉතින්, එම “මහජන සභාවේ” කාර්ය භාරය වනු ඇත්තේ නව ආන්ඩුවට එම කටයුතු කර ගැනීමට බලපෑම් කිරීමයි. ව්‍යාජ-වාම පෙසප විසින් ඉදිරිපත් කරන ලද්දේ ද එම වැඩසටහනම ය. “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන” සහ “සාධාරන මැතිවරනයක් සඳහා සුදුසු ක්‍රියාවලියක්” සමග වසරක් ඇතුලත ජනමත විචාරනයක් මගින් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට ක්‍රියාකාරී සැලැස්ම යෝජනා කරයි.

විකල්ප ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවීම සහ එය ඉටු කර ගැනීම සඳහා පීඩනය යෙදීම වෙනුවෙන් වූ ගාලු මුවදොර විරෝධතා නායකයින්ගේ වැඩපිලිවෙලට පටහැනිව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තිය සඳහා විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් වෙනුවෙන් පෙනී සිටී. එනම් රාජපක්ෂ ආන්ඩුවට හා ධනේශ්වර පාලනයට එරෙහිව කම්කරු පන්තිය තම මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පැහැදිලි ක්‍රියාමාර්ගයක් මත ස්වාධීනව බලමුලු ගැන්වීමයි. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ධනේශ්වර පාලනය සහ ධනේශ්වර ලාභ ක්‍රමය තුල විසඳුමක් නැති බව සහ එයට ජාතික විසඳුමක් නැති බව අපි කියා සිටින්නෙමු. මේ ආන්ඩුවට හෝ අනාගත ධනේශ්වර ආන්ඩුවකට කොතෙක් බලපෑම් කලත් ඔවුන් විසින් මහජනතාවගේ මූලික අවශ්‍යතා සම්පාදනය නොකරනු ඇත.

ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්වීම සඳහා අරගල කරන ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමට සහාය දෙන අතරම, සසප අවධාරනය කරන්නේ එය විස්ථාපනය කිරීම තවත් ධනේශ්වර ආන්ඩුවකින් නොව සමාජවාදී පිලිවෙත්වලට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් විය යුතු බවයි. මහජන නැගිටීම ආරම්භයේදීම අප්‍රේල් 7 දා නිකුත් කරන ලද ප්‍රකාශයේ පැහැදිලි කර ඇති පරිදි සහ ඉන් අනතුරුව නිකුත් කරන ලද ප්‍රකාශයන් තුලින් ද නැවත නැවතත් කියා ඇති පරිදි, අත්‍යාවශ්‍ය සේවා පනත, මහජන ආරක්ෂක පනත සහ ආරක්ෂක අංශවලට පොලිස් රාජ්‍ය බලතල ලබාදෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි මර්දන නීති සමග විධායක ඒකාධිපති ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරන ලෙස සසප ඉල්ලා සිටී. රාජපක්ෂ පසුගිය මාසයේ පවා විදුලිය හා සෞඛ්‍ය සේවකයින්ට එරෙහිව අත්‍යාවශ්‍ය සේවා නීති ගෙන ආ අතර, වීදිවලට හමුදාව යෙදවීමට, විශේෂයෙන්ම ඉන්ධන ලබාගැනීමට දින ගනන් පෝලිම්වල ගැවසෙන ජනතාව මර්දනය කිරීමට තම බලතල යොදා ගත්තේය.

රාජපක්ෂ-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය විස්ථාපනය කරන කුමන ධනේශ්වර ආන්ඩුවක් වුව ද තමන් මුහුන දෙන ආර්ථික අර්බුදයේ සම්පූර්න බර වැඩකරන ජනතාව හා ග‍්‍රාමීය දුගීන් මත පැටවීමේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන දැඩි කප්පාදු පිලිවෙත්ම දිගටම ක්‍රියාත්මක කරගෙන යනු ඇත. සියලුම විරුද්ධ පක්ෂ, සජබ, ජවිපෙ සහ දෙමල ජාතික සන්ධානය ජාමූඅ ප්‍රතිපත්ති සඳහා ඔවුන්ගේ විවෘත හෝ නිහඬ සහයෝගය ප්‍රකාශ කර ඇත. එබැවින් යෝජිත ක්‍රියාකාරී සැලැස්මට අනුව, ඊනියා අන්තර්වාර පාලනය, කම්කරු පන්තියේ සහ ගම්බද දුගීන්ගේ ඕනෑම විරෝධයක් තලා දමමින් එම ප්‍රතිපත්ති ම්ලේච්ඡ ලෙස ක්‍රියාත්මක කරන, ධනේශ්වර පාලක ප්‍රභූවේ මෙවලම බවට පත්වනු ඇත.

ජාමූඅ වැඩසටහනේ රුදුරුභාවය අගමැති වික්‍රමසිංහ අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කල කතාවෙන් ඇඟවුම් කෙරුනි. ජාමූඅ විධානයන්ට යටත් ඉදිරි කාලය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය: 'මෙය දුෂ්කර හා කටුක ගමනක් වනු ඇත... දේවල් වෙනස් නොවන්නේ නම්, මුලු රටම කඩා වැටෙනු ඇත.'

රාජ්‍ය අංශය බොහෝ සෙයින් කුඩා කිරීම, රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය සහ වානිජකරනය සහ වැඩි කල බදු සමග බදු පදනම පුලුල් කිරීම ඊට ඇතුලත් ය. ඒවා රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ කපා හැරීමට, විදුලිය හා ජල ගාස්තු වල උපයෝගිතා මිල ඉහල නැංවීමට සහ සහනාධාර තවදුරටත් කප්පාදු කිරීමට තුඩු දෙනු ඇත.

එම අන්තර්වාර ආන්ඩු උගුල් සහ ඒ ආශ්‍රිත ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් ප්‍රතික්ෂේප කරමින්, අප්‍රේල් 28, මැයි 6 සහ මැයි 10 වැනි දින මහා වැඩ වර්ජන වලදී පෙන්නුම් කරන ලද පරිදි, කම්කරු පන්තිය තම යෝධ සමාජ බලය මුදා හරිමින්, තමන්ගේ අවශ්‍යතා ආමන්ත්‍රනය කරන වැඩසටහනක් මත පදනම්ව තමන්ගේම ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් වර්ධනය කර ගත යුතුය. මෙම ක්‍රියාමාර්ගය, මහා ව්‍යාපාර සඳහා ලාභ ඉපයීම වෙනුවට වැඩකරන මහජනතාවගේ මානව අවශ්‍යතා ආමන්ත්‍රනය කරනු ඇත.

මෙම වැඩසටහන සඳහා සටන් කිරීමේ පලමු පියවර වන්නේ රට පුරා කර්මාන්තශාලා, වැඩපලවල්, වතුකරයේ සහ කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශවල කම්කරු පන්තියෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි. ක්‍රියාකාරී කමිටු, ධනේශ්වර පාලක සංස්ථාපිතයේ ගෝලබාලයන් සහ ක්ෂමාලාපකයන් ලෙස ක්‍රියා කරන ධනේශ්වර පක්ෂ සහ වෘත්තීය සමිති වලින් වෙන්වී ගත යුතුය.

ධනේශ්වර පන්තිය විසින් තීව්‍ර කරන ලද සමාජ-ආර්ථික අර්බුදයට කම්කරු පන්තියේ ම විසඳුම ඉදිරියට ගෙන යන මෙම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට දේශපාලනිකව දිරිමත් කරමින් සහය වීමට සසප සූදානම් ය. කම්කරු පන්තියේ අරගලය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ආරම්භ කරන ලද ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය හරහා ජාත්‍යන්තරව ඒකාග්‍ර කිරීම අවශ්‍ය වේ.

ධනවාදය විසින් නිර්මිත මහජන පීඩාව ජය ගැනීම සඳහා වන ක්‍රියාකාරී කමිටුවල සටන් ක්‍රියාමාර්ගය ලෙස සසප පහත ඉල්ලීම් ඉදිරිපත් කරයි;

* මහජනතාවගේ ජීවිතවලට තීරනාත්මක සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කරනු! බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

* සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකුකරුවන් සහ මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු ඉල්ලීම් එපා!

* අපනයන හා ආනයන ක්‍රියාවලීන්හි දූෂනය පිටුදැකීමට සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සහතික කිරීම සඳහා විදේශ වෙලඳාම තුල රාජ්‍ය ඒකාධිකාරය ස්ථාපිත කරනු!

* බිලියනපතියන්ගේ සහ සංගතවල දැවැන්ත ධනය අත්පත් කර ගනු!

* දිලිඳු හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලුම නය අහෝසි කරනු! ගොවීන් සඳහා පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර නැවත ලබා දෙනු!

* සැමට යහපත් සහ ආරක්ෂිත සේවා කොන්දේසි සහිත රැකියා සහතික කරනු! ජීවන වියදමට අනුව ඉහල යන වැටුප්!

ඉහත ඉල්ලීම් මත පදනම් වූ ක්‍රියාකාරී කමිටු හරහා සංවිධානය වන කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරය තුල ගම්බද දුගීන් සහ අනෙකුත් පීඩිත ජනතාව පෙලගස්වනු ඇති අතර එය සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා වර්ධනය කිරීම අවශ්‍ය වේ. එය ගෝලීය වශයෙන් කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් හරහා ගෙන යා යුතු, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා පුලුල් අරගලයේ කොටසක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම – අප්‍රේල් 28, මැයි 6 සහ 10 යන දිනවල මිලියන ගනනක් සහභාගී වූ මහා වැඩවර්ජන – සහ දැනට වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගිටීම, කම්කරු පන්තියේ එවැනි ස්වාධීන ව්‍යාපාරයක් සඳහා වූ විභවය පැහැදිලිව පෙන්නුම් කර ඇත. බ්‍රිතාන්‍ය දුම්රිය සේවකයින් 50,000 ක් පමන ජාතික වශයෙන් වැඩ වර්ජනය කිරීමෙන් පසු මෑත සතිවල වැඩ වර්ජනවලින් ජාත්‍යන්තර ගුවන් සේවා කර්මාන්තයට බලපෑම් එල්ල විය. ලතින් ඇමරිකාවේ සිට ආසියාව දක්වා ගුරුවරුන් සහ අධ්‍යාපනඥයින් වැඩවර්ජනයක යෙදී සිටින අතර ගෝලීය මොටර් රථ සහ බර උපකරන කර්මාන්තවල සටන්කාමී අරගල මතුවෙමින් තිබේ.

සමාජවාදී ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය සඳහා මෙම අරගලයට නායකත්වය දීමට සසප සමග එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading