ආන්ඩුව ජාතික අගුලු දැමීමකට සමාන තත්වයක් ප්‍රකාශයට පත් කරයි! සමාජ ව්‍යසනය අවසන් කිරීමට සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරමු!

[මෙය Sri Lankan government declares virtual national lockdown! Fight for a socialist program to end the social calamity මැයෙන් 2022 ජූනි 30 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය “මුලුමනින්ම කඩා වැටී ඇති” බව ප්‍රකාශ කිරීමෙන් යන්තම් දින හතරකට පසු, රට තුල ඉන්ධන තොග අවසන්ව ඇති හෙයින් ජූලි 10 දක්වා සති දෙකක් නිවසේ රැඳී සිටින ලෙස ජනතාවට දන්වමින්, ආන්ඩුව නිල නොවන ජාතික අගුලු දැමීමක් පනවා තිබේ.

2022 අප්‍රේල්, ශ්‍රී ලංකාවේ කොලඹ රිජ්වේ ආර්යා රෝහලෙන් පිටත හෙද විරෝධතාවයක් [ඡායාරූපය ලෝසවෙඅ වෙත ලබා දුන්නේ හෙද කාර්ය මන්ඩලයේ අනුග්‍රහයෙනි]

අත්‍යවශ්‍ය කාර්ය මන්ඩලයට හැර අනෙකුත් සේවකයන් සඳහා රජයේ කාර්යාල වසා දමා ඇත. පුද්ගලික අංශයට, එහි සේවකයින් සඳහා “නිවසේ සිට වැඩ කිරීමේ” ක්‍රමය භාවිතා කරන ලෙස ඉල්ලා තිබේ. මිලියන සංඛ්‍යාත දෛනික කම්කරුවන් සහ ස්වයං රැකියා නියුක්තිකයන් කිසිවක් කරකියාගත නොහැකි තත්වයකට ඇද දමා ඇත. ප්‍රධාන නගරවල පාසල් වසා දැමීමට නියෝග කර තිබේ. පොදු ප්‍රවාහනය අඩාල වී ඇත.

මෙම රුදුරු පියවර පටවා ඇත්තේ දැනටමත් අතිමහත් දුෂ්කරතාවයන්ට මුහුන දී සිටින වැඩ කරන ජනතාව මතට ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ජනගහනයෙන් සියයට 70 ක් අවම වශයෙන් දිනකට එක් ආහාර වේලක්වත් මග හරිමින් සිටින අතර, උද්ධමනය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය මධ්‍යයේ බොහෝ දෙනෙක් කුසගින්නේ සිටිති. ඉන්ධන අර්බුදය මධ්‍යයේ, ජීවිතාරක්ෂක ඖෂධ නොමැතිව රජයේ රෝහල් ගරාවැටෙමින් පවතී.

ධනපති පන්තියට මෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන එහි ආන්ඩුවට මෙම දැවැන්ත සමාජ අර්බුදයට විසඳුමක් නැත. සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීමෙන් මෙම දැවැන්ත සමාජ ගැටලු විසඳිය හැක්කේ කම්කරු පන්තියට පමනක් බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ කැලඹීමෙහි මූලය වන්නේ, කොවිඩ්-19 වසංගතය මගින් අවුලුවාලන ලද සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ වක්‍ර යුද්ධය මගින් අතිශයින් උත්සන්න කරන ලද ගෝලීය ධනේශ්වර අර්බුදයයි.

මහජනතාවට සමාජ ව්‍යසනයක් නිර්මානය කිරීමෙන් පසු රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව දැන් ගෙන එන විසඳුම කුමක්ද? එය කප්පාදුවේ නිර්දය වැඩපිලිවෙලකි.

පසුගිය සතියේ වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට මෙසේ පැවසීය: “දැන් අප ඉදිරියේ ඇති එකම ආරක්‍ෂිත විකල්පය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමයි. ඇත්ත වශයෙන්ම, මෙය අපගේ එකම විකල්පයයි.”

රාජ්‍ය අංශයේ දැවැන්ත කප්පාදුවක්, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය හා වානිජකරනය සහ බදු වැඩිකිරීම වැනි යෝජනා කොලඹ සිටින ජාමූඅ නියෝජිත පිරිස යෝජනා කරයි.

වරාය, විදුලිබල හා ඛනිජ තෙල් සේවකයෝ 2021 දෙසැම්බර් 08 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පා ගමනින් යති (ලෝසවෙඅ මාධ්‍ය)

දැනටමත් රාජ්‍ය අංශයේ රැකියා 800,000 කට වැඩි ප්‍රමානයක් දංගෙඩිය මත තබා ඇත. ඉන්ධන නොමැති වුවද ආන්ඩුව නැවතත් සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහල දමා තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන කැල්ටෙක්ස්, ෂෙල් සහ එසෝ වැනි බහුජාතික සමාගම් වෙත පැවරීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඉන්දියානු තෙල් සමාගම දැනටමත් තමාගේම ජාලයක් ක්‍රියාත්මක කරයි. දීර්ඝ දෛනික විදුලි කප්පාදුව මධ්‍යයේ විදුලිබල මන්ඩලය සියයට 87 කින් ගාස්තු වැඩි කිරීමට නියමිතය.

පෙනෙනතෙක් මානයක අවසානයක් නොමැති බව දැන සිටියද, වික්‍රමසිංහ නරුම ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ, “මෙම දුෂ්කරතා සහ පීඩාවන් කෙටි කාලයකට දරාගෙන ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයට දායක වන” ලෙසයි.

විරුද්ධ පක්ෂවල විසඳුම් මොනවාද?

දරාගත නොහැකි තත්වයන් පිලිබඳ මහජන කෝපය මධ්‍යයේ, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) මෙම සතියේ නිවේදනය කලේ, “ආන්ඩුව මාරු කිරීමට මෙම සතියේ සිට වීදි සටන් ආරම්භ කරන” බවයි.

මේ මහජනතාව රැවටීම සඳහා ය. මෙම ධනේශ්වර පක්ෂය පසුගිය වසරේ සිට රාජපක්ෂ පාලනයෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නා ලෙසයි. එය ජීවන තත්වයන්ට තදින්ම බලපාන බව ඔවුහු හොඳින්ම දනිති. එහි නායකයින් 2001 සිට 2004 දක්වා සහ 2015 සිට 2019 දක්වා බලයේ සිටින විට, ජාමූඅ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමූ වික‍්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ කොටසක් විය.

අනෙක් ධනේශ්වර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මේ සතියේ, “ආන්ඩුව පන්නමු! පාරට බහිමු!” යනුවෙන් වෙනම උද්ඝෝෂනයක් දියත් කලේය.

කෙසේ වෙතත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර ආයතනවලින් නය ලබා ගැනීම, නය ප්‍රතිව්‍යුහගත කිරීම සහ “ප්‍රධාන අංශ නොවන” රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම හැර “ආර්ථික අර්බුදයට වෙනත් ක්ෂනික විසඳුමක් නොමැති” බව පවසා තිබේ. වෙනත් වචන වලින් කිවහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ ද විසඳුම වේ.

සජබ හෝ ජවිපෙ රාජපක්ෂ තන්ත‍්‍රය විසින් ක‍්‍රියාවට නංවන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කුරිරු ඉල්ලීම් එකකටවත් විරුද්ධ වී නැත. දෙපාර්ශ්වයම, කෙටි කාලීන අන්තර්වාර සර්ව-පාක්ෂික පාලනයක් සහ නව ආන්ඩුවක් පිහිටුවීම සඳහා මැතිවරනයක් ඉල්ලා සිටිති.

මෙම පක්ෂවලින් ප්‍රවේශම් වන්න! ඔවුන්ගේ අරමුන වන්නේ, ආන්ඩුවට එරෙහි මහජන විරෝධය ආරක්ෂිත පාර්ලිමේන්තු මාවත් ඔස්සේ හරවා යවා, එය මර්දනයකොට, ධනපති පාලනය රැක ගැනීමයි.

සසප පැහැදිලි කර ඇති පරිදි, ධනේශ්වර ක‍්‍රමය තුල කම්කරුවන්ගේ සහ දුගීන්ගේ ආර්ථික හා සමාජ අර්බුදයට විසඳුමක් නැත, එසේම ජාතික විසඳුම් ද නැත. කෙතරම් බලපෑම් කල ද ආන්ඩුව හෝ පාලක පන්තිය ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැත. එය පසුගිය මාස දෙක තුල කටුක ලෙස පෙන්නුම් කර තිබේ.

අප්‍රේල් මස මුල සිට, රාජපක්ෂ තන්ත‍්‍රය පමනක් නොව සමස්ත දේශපාලන සංස්ථාපිතයම සොලවාලමින් ශ‍්‍රී ලංකාව තුල විරෝධතා සහ වැඩ වර්ජන පුපුරා ගියේය. සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කරමින් අප්‍රේල් 28 සහ මැයි 6 දා පැවති මහා වැඩ වර්ජන වලට මිලියන ගනන් සහභාගී විය, ඒවාට පීඩිතයන්ගේ සෑම කොටසකම පාහේ සහයෝගය ලැබිනි.

ජනතාව ඉල්ලා සිටින්නේ ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හරින ලෙසය. ඔවුන් ඉල්ලා සිටින්නේ මිල වැඩිවීම, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය සහ දීර්ඝ විදුලි කප්පාදුව නවතා දමන ලෙසයි.

වෘත්තීය සමිති, අකමැත්තෙන් වුවද මෙම වැඩ වර්ජන කැඳවූයේ, කම්කරුවන්ගේ උතුරා යන කෝපය අපසරනය කර දැමීම සඳහා ය. ඔවුන් වහාම මෙම වැඩ වර්ජන අන්තර්වාර පාලන තන්ත‍්‍රයක් සහ මහා මැතිවරනයක් සඳහා වන කැඳවීම—සජබ සහ ජවිපෙහි ඉල්ලීම්—වෙත හරවා යවමින් කම්කරු පන්තියේ අව්‍යාජ අවශ්‍යතා ද්‍රෝහී ලෙස පාවා දුන්හ.

ප්‍රධාන ධනේශ්වර පක්ෂවල ආවතේවකාර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වාම කන්ඩායම් මෙම අරගල පාවා දීමේ දී වෘත්තීය සමිතිවලට සහාය දුන්හ.

කම්කරුවන් සඳහා විකල්පය කුමක්ද? කම්කරු පන්තිය සිය දැවෙන අවශ්‍යතා සපුරාගැනීම සඳහා සමාජවාදී විසඳුමක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

ධනේශ්වර ප්‍රහාරයට එරෙහිව සිය දැවැන්ත සමාජ බලය බලමුලු ගැන්වීම සඳහා කම්හල්වල, වතුකරයේ, වැඩපලවල සහ කම්කරු පන්තික අසල්වැසි ප්‍රදේශවල, වෘත්තීය සමිති හා දේශපාලන සංස්ථාපිතයෙන් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වන ක්‍රියාකාරී කමිටු ජාලයක් සංවිධානය කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. අපි මෙම ප්‍රයත්නයට සහාය වන අතර, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ආරම්භ කරන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රික-ජාස) සමඟ මෙම කමිටු සම්බන්ධ කිරීමට කටයුතු කරන්නෙමු.

ක්‍රියාකාරී කමිටුවලට දේශපාලන අරගලයක් දියත් කල හැකි පහත සඳහන් ප්‍රතිපත්ති සසප ඉදිරිපත් කරයි. මේවා, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ මහා ව්‍යාපාරිකයන්ගේ ලාභයට නොව, මානව අවශ්‍යතාවලට මුල් තැන දෙමින් ආන්ඩුවේ සහ විරුද්ධ පක්ෂවල නිර්දය කප්පාදු වැඩපිලිවෙලට සෘජුවම අභියෝග කරයි.

  • මහජනතාවගේ ජීවිතවලට තීරනාත්මක, සියලුම අත්‍යවශ්‍ය භාන්ඩ හා සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට! බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!
  • සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකුකරුවන් සහ මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු ඉල්ලීම් එපා!
  • බිලියනපතියන්ගේ සහ සංගතවල දැවැන්ත ධනය අත්පත් කර ගනු!
  • දිලිඳු හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලුම නය අවලංගු කරනු! ගොවීන් සඳහා පොහොර ඇතුලු සියලු මිල සහනාධාර නැවත ලබා දෙනු!
  • සැමට යහපත් සහ ආරක්‍ෂිත සේවා කොන්දේසි සහිත රැකියා සහතික කරනු! ජීවන වියදමට අනුව ඉහල යන වැටුප්!

කම්කරු පන්තිය සිය ක්‍රියාකාරී කමිටු හරහා මෙම ප්‍රතිපත්ති සඳහා කරන අධිෂ්ඨානශීලී අරගලයක්, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි දුප්පත් ගොවීන් සහ පීඩිත ප්‍රජාවන් තම පැත්තට පෙලගස්වනු ඇත. එය සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා පදනම දමනු ඇත.

2020 සහ 2021 වසරවලදී මාරාන්තික කොවිඩ්-19 වසංගතයෙන් ජනගහනය ආරක්ෂා කර ගැනීම සඳහා රට වසා දැමීමට එතරම් මැලි වූ ආන්ඩුවක්, දැන් රට බංකොලොත්භාවයෙන් බේරා ගැනීමට නිවසේ රැඳී සිටින ලෙස ජනතාවට පවසයි. ධනපති පන්තියටට සහ එහි ආන්ඩුව මිනිස් ජීවිත ගැන කවර හෝ තැකීමක් නොමැත. ඔවුන්ගේ එකම උත්සුකය මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ ලාභ ආරක්ෂා කිරීමයි.

ජාමූඅ නියෝග ක්‍රියාත්මක කිරීමේදී, ඕනෑම විරුද්ධත්වයක් තලා දැමීම සඳහා හමුදාව සහ පොලිස් රාජ්‍ය පියවර බලමුලුගැන්වීම ද ඇතුලු කිසිවකින් පාලක පන්තිය නතර නොවනු ඇතැයි සසප අනතුරු අඟවයි. ඒකාධිපති පාලනයක් වන විධායක ජනාධිපති ක‍්‍රමය ද, ඒ හා බැඳුනු සියලූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති සම්පාදනය සහ හදිසි බලතල ද වහා අවසන් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

මෙම දැවැන්ත අර්බුදය මධ්‍යයේ එක්සත් ජනපදය හා ඉන්දියාව සිය නියෝජිතයන් ශ්‍රී ලංකාවට එවන්නේ මන්දැයි කම්කරුවන් හා තරුනයින් බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුය. වොෂින්ටනය සහ නවදිල්ලිය ශ්‍රී ලාංකීය ජනතාවගේ දුක්ඛිත තත්වය ගැන සැලකිලිමත් වන බවට කරන ප්‍රකාශයන් විකාරයකි. ඔවුන්ගේ සැබෑ උත්සුකය වන්නේ, ගෝලීය ධනවාදයේ ප්‍රගාඪ අර්බුදයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය මගින් කලාපයේ සහ ජාත්‍යන්තරව වඩාත් පුලුල් විප්ලවවාදී නැගිටීම් අවුලුවාලීමේ හැකියාව යි. ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත්‍රයට පිටුබලය දෙන අතරම, චීනය සමග තම ගැටුම සමග මුලුමනින්ම පෙල ගැසෙන ලෙස කොලඹට පීඩනය යෙදීම සඳහා අර්බුදය භාවිතා කිරීමට මාන බලයි.

රුසියාවට එරෙහි නේටෝවේ වක්‍ර යුද්ධය සඳහා යුක්‍රේනයට බිලියන ගනනක මිලිටරි ආධාර සපයන අතරම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 20 ක සොච්චම් ආධාරයක් පිරිනමා ඇත. ස්පාඤ්ඤයේ ජී7 හමුව සහ නේටෝ සමුලුව වනාහි, න්‍යෂ්ටික-සන්නද්ධ බලවතුන් අතර ගෝලීය ගැටුමකට තර්ජනය කෙරෙන, රුසියාව සමග ගැටුම දීර්ඝ කිරීමේ යුධ කවුන්සිලයකි, එය චීනයට එරෙහිව ද එල්ල වේ.

එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ පිටුබලය ලබන ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ කුමන්ත‍්‍රනයට එරෙහි අරගලයේ දී ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සහකරුවා වන්නේ, දැනටමත් සිය ජීවන තත්වයන්ට එල්ල වන සමාන ප‍්‍රහාරවලට එරෙහිව සටන් වදින ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

පන්ති අරගලය දකුනු ආසියාවේ, මැද පෙරදිග, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ පමනක් නොව, එක්සත් ජනපදය හා යුරෝපය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන තුල ද තීව්‍ර වෙමින් පවතී.

කෙටි ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේ නම් ඉන්දියාවේ ෆෝඩ් කම්කරුවන්, දකුනු අප්‍රිකානු පතල් කම්කරුවන්, වෙනිසියුලාවේ වානේ කම්කරුවන්, ඊශ්‍රායල ගුරුවරුන් සහ බස් රියදුරන්, බ්‍රිතාන්‍ය දුම්‍රිය කම්කරුවන්, ජර්මනියේ නැව් තටාක කම්කරුවන්, ඕස්ට්‍රේලියානු හෙදියන් සහ ගුරුවරුන්, ග්‍රීසියේ සෞඛ්‍ය සේවකයින්, කැනඩාවේ ක්විබෙක් පතල් කම්කරුවන් සහ එක්සත් ජනපදයේ සීඑන්එච් කාර්මික කම්කරුවන් එයට ඇතුලත් වේ.

ක්‍රික-ජාස යනු ලොව පුරා කම්කරුවන්ගේ මෙම අරගල ඒකාබද්ධ කිරීමේ මාධ්‍යයයි. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය, ඔවුන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයට එරෙහි පොදු අරගලයේදී ගෝලීය වශයෙන් තම පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුව ගොඩනැගීම සඳහා ක්‍රික-ජාස සමග සම්බන්ධතා ඇති කර ගත යුතුය.

මෙම වැඩපිලිවෙල සාකච්ඡා කිරීමට සහ මෙම අත්‍යාවශ්‍ය දේශපාලන අරගලයට සම්බන්ධ වීම සඳහා සසප සහ සසජාතශි සංවිධානය කර ඇති, ජූලි 3 වෙනිදා සවස 4 ට පැවැත්වෙන ඔන්ලයින් රැස්වීමට සහභාගී වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading