ජාමූඅහි කප්පාදු වැඩපිලිවෙලට එරහිව සටන් කිරීම සඳහා ලංකාවේ කම්කරුවන් පසුගිය මාස දෙකෙහි මහජන නැගිටීමේ පාඩම් උකහා ගත යුතුය

[මෙම ප්‍රකාශය To oppose IMF austerity, Sri Lankan workers must draw the lessons of past two months of popular uprising මැයෙන් ද පල කර ඇත.]

ගෝලීය ධනේශ්වර අර්බුදය විසින් නිර්මානය කරන ලද නොඉවසිය හැකි ජීවන තත්වයන්ට එරෙහිව කැරලි ගසමින් නැගීසිටි කම්කරුවන්, ග්‍රාමීය දුගීන් සහ තරුනයන් ගේ මහජන විරෝධතා, පෙලපාලි සහ වැඩ වර්ජන වලින් ලංකාව අප්‍රේල් මුල සිට දෙදරුම් කෑවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් 2022 අප්‍රේල් 28 වැනි බ්‍රහස්පතින්දා කොලඹදී පැවති වැඩවර්ජනයක් (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

මෙම මහජන නැගිටීම තුල කම්කරු පන්තිය පෙරට පැමිනියේ තම අතිමහත් සමාජ බලය ප්‍රදර්ශනය කරමිනි. දශක ගනනාවක් තිස්සේ පාලක පන්තිය විසින් ක්‍රමානුකූලව උසිගන්වා ඇති ජාතික-වාර්ගික බෙදීම් කපාගෙන, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එක්සත්ව නැගී සිටි අප්‍රේල් 28 සහ මැයි 6 දා එක්දින මහා වැඩවර්ජන වලට මිලියන ගනන් කම්කරුවෝ සහභාගී වූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහ කල යුතුය යන ඉල්ලීම සමග පෙර නොවූ විරූ මිල ඉහල යාම, අත්‍යාවශ්‍ය භාන්ඩ හිඟය සහ විදුලිය ඇනහිටීම් අවසන් කිරීමට හදිසි පියවර ගත යුතුය යන ඉල්ලීම මගින් මෙම මහජන නැගිටීම පන්නර ගැන්වී තිබුනි.

වෛෂයිකව, මෙම ව්‍යාපාරය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට පමනක් නොව, ධනේශ්වර අර්බුදයට වැඩකරන ජනතාව වන්දි ගෙවිය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින සමස්ත දේශපාලන සංස්ථාපිතයට සහ ඔවුන්ගේ වැටුප් හිමියන්ට, මහා ව්‍යාපාරිකයින්ට සහ ගෝලීය ප්‍රාග්ධනයට ද අභියෝගයකි.

මහජන නැගිටීම ආන්ඩුව සහ සමස්ත ශ්‍රී ලංකා පාලක පන්තිය කම්පනයට පත්කර ඇත. එය, ප්‍රථමයෙන් කොවිඩ්-19 වසංගතයෙන් සහ, දැන් රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් ද උත්සන්න කෙරී ඇති ගෝලීය ධනේශ්වර අර්බුදය විසින් අවුලුවන මහජන විරෝධය පුපුරා යාම පිලිබඳ භීතිය ලොව පුරා ප්‍රධාන නගර තුල මතු කර ඇත.

එහෙත් මෙම මහජන ව්‍යාපාරයේ පරිමාව, බලය සහ සටන්කාමීත්වයට විපරීතව, ජනාධිපති රාජපක්ෂ තවමත් බලයේ රැඳී සිටින අතර වැඩකරන ජනතාව පෙර නොවූ විරූ ප්‍රහාරයකට ලක්ව සිටී. ජාමූඅහි කප්පාදු වැඩපිලිවෙල හා පන්ති යුද පිලිවෙත් පැනවීමට කැපවූ එක්සත් ජනපද ගැත්තෙකු වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එකම පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ වෙනුවට අගමැති ලෙස පත් කෙරුනි.

මහජනයා දැනටමත් අත්විඳිමින් සිටින ව්‍යසනකාරී තත්වයන් ඉක්මවා ගිය ඉමහත් සමාජ විනාශයක් නිර්මානය කරන්නාවූ නව සමාජ ප්‍රහාර වටයක් රාජපක්ෂ-වික්‍රමසිංහ තන්ත්‍රය විසින් දැන් ආරම්භ කර ඇත.

සති දෙකකට පෙර, ආන්ඩුව, එකතු කල අගය මත බද්ද (වැට්) සියයට 4 කින් ඉහල දමා සියයට 25 ත් 850 ත් අතර අධිභාර පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය භාන්ඩ රැසක මිල අහස උසට නැගුනි. අඩු ආදායම් හේතුවෙන් මෙතෙක් බදු අයකර ගැනීමෙන් බැහැර කර තිබූ වැඩකරන ජනතාවගේ සැලකිය යුතු කොටස් ඇතුලත් වන පරිදි ආදායම් බදු ජාලය පුලුල් කර ඇත.

රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ 8 ක් සහ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ කප්පාදු කිරීමේ ක්‍රියාවලිය ආන්ඩුව ආරම්භ කර ඇත. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය සහ සමාගම්කරනය න්‍යාය පත්‍රයේ ඇත. ජාතික ගුවන් සේවය වන 'ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්' මේ වන විටත් දංගෙඩිය මත තබා තිබේ.

මෙම පියවරයන්, උද්ධමනය තවතවත් අවුලුවා, කම්කරුවන්ට හා ගම්බද දුප්පතුන්ට ජීවිතයේ අත්‍යාවශ්‍ය දෑ ලබා ගැනීමට නොහැකි තත්වය තවත් උග්‍ර කරයි. නිල වශයෙන්, මැයි මාසයේ උද්ධමන අනුපාතය සියයට 38ට ලඟා විය, ආහාර උද්ධමනය සියයට 57 කි. සාගින්න බහුලව පැතිර තිබේ. මෑත එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සඳහන් කලේ ජනගහනයෙන් අවම වශයෙන් සියයට 70කට ආහාර ගැනීම අඩු කර, දිනකට එක් ආහාර වේලක්වත් මග හැරීමට සිදුව ඇතිබවයි.

ලෝක බැංකුවට අනුව, රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් සහ සහනාධාර කප්පාදු කිරීම නිසා දරිද්‍රතා අනුපාතය අවම වශයෙන් සියයට 22.8 දක්වා නැගෙනු ඇත. ගෝලීය අර්බුදයේ සහ රාජ්‍ය වියදම්වල දැවැන්ත කප්පාදුවේ ඒකාබද්ධ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ සියයට 6 කින් සංකෝචනය වනු ඇතැයි ජාමූඅ තක්සේරු කරයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මහජන නැගිටීම පිලිගෙන එයට සම්බන්ධ වූයේ සමාජ ව්‍යසනයට තමන්ගේම විසඳුමක් ඉදිරිපත් කරමින් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ ආස්ථානයේ සිට ය. එවැනි විසඳුමක් ආරම්භ වන්නේ මහජනතාවගේ අවශ්‍යතාවලින් මිස, බංකොලොත් ශ්‍රී ලංකාවේ සහ ගෝලීය ධනවාදයේ සීමාවන් තුල දැරිය හැකි යැයි දේශපාලනඥයන් සහ ව්‍යාපාරික ප්‍රභූන් පවසන දෙයින් නොවේ.

සමාජවාදී ක්‍රියාකාරිත්වයේ වැඩපිලිවෙලක් සඳහා අරගලය තුලින් තම පන්ති ශක්තිය බලමුලු ගැන්වීම සඳහා සෑම වැඩපලකම සහ අසල්වැසි ප්‍රදේශයකම තමන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියෙමු.

මේ අරගලයේ හදිසිභාවය වෙන කවරදාටත් වඩා අද වැදගත් ලෙස ඉස්මතුවී තිබේ. මහජන නැගිටීම දැවැන්ත සමාජ විමුක්ති විභවයකින් යුක්තය. එහෙත් එම විභවය සාක්ෂාත් කර ගැනීමට නම්, සහ ලංකාවේ පාලක පන්තිය හා ජාමූඅ තම වැඩපිලිවෙලට එරෙහි සියල්ල නැසීම සඳහා පෙරට දමා ඇති ආර්ථික න්‍යාය පත්‍රය පරාජය කිරීමට නම් කම්කරු පන්තිය, පසුගිය මාස දෙකේ පාඩම් උකහා ගත යුතුය. එය, ධනේශ්වර දේශපාලනයේ යකඩ සැට්ටය තුල කොටු කිරීමට උත්සාහ කරන්නාවූත් සොච්චම් සාගත සලාකයන් හිඟා ගැනීමට පාලක පන්තිය ඉදිරියේ දනින් වැටෙන්නාවූත් සියලු බලවේග වලින් දේශපාලනිකව වෙන් විය යුතුය.

සාරභුත පාඩම් මොනවාද?

කම්කරු පන්තියේ එක්සත් කෙරුනු ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීමට හරස්කපන බලවේග පිලිබඳ තක්සේරුවක් කිරීම අවශ්‍ය වේ.

වෘත්තීය සමිති

මුලින්ම සිටින්නේ, පන්ති අරගලය ගෙනයාමේ උපකරනයන් ලෙස නොව, එය මැඩලීම සඳහා හාම්පුතුන්ගේ සහ දේශපාලකයින්ගේ උපාංග බවට පත්ව ඇති වෘත්තීය සමිති ය.

සති ගනනාවක් වෘත්තීය සමිති උත්සාහ කලේ ආන්ඩු විරෝධී විරෝධතා වලින් කම්කරු පන්තිය ඈත් කිරීමට ය. මහජන කෝපය හමුවේ සහ කම්කරුවන් දේශපාලනිකව පීලි පැන්නවීමේ අරමුන ඇතිව එක්දින මහා වැඩ වර්ජනවලට ඒවා අනුමැතිය දුන්නේ ඉතා අකමැත්තෙනි.

ධනේශ්වර ගැති වෘත්තීය සමිති පෙරමුනු දෙකකින් සංවිධානය වී ඇත: ඒවා වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව (ටීයූසීසී) සහ එක්සත් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන (යූටීයූඑම්ඕ) වේ. ඒවා 'ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව යා යුතුය' යන ඉල්ලීම, පාර්ලිමේන්තුවේ ධනේශ්වර පක්ෂවල අන්තර්වාර පාලන තන්ත්‍රයක් සහ සහ මහ මැතිවරනයක් ඉල්ලා සිටීම සමග ගැට ගැසූහ. විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), දෙමල ජාතික සන්ධානය සහ මහා ව්‍යාපාරිකයන් විසින් මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ, මහජන විරුද්ධත්වය පීලි පැන්නීමට සහ කුනු වූ පාර්ලිමේන්තු රාමුවට ගැටගැසීම සඳහා ය.

ඒවායේ පෙර පාවාදීම් ගැන සඳහන් නොකලත්, මෙම වෘත්තීය සමිති වලට ඇත්තේ, 2021 දී සහ මේ වසරේ දී පුපුරා ගිය වැඩ වර්ජන සහ විරෝධතා යටපත් කිරීමේ නීච ඉතිහාසයකි. දුගීන්, පීඩිතයින් සහ කුඩා ව්‍යාපාරිකයින් සම්බන්ධ හර්තාලයකින් පිටුබලය ලැබූ මිලියන ගනනක් කම්කරුවන් සම්බන්ධ වූ මැයි 6 මහා වැඩ වර්ජනය දේශපාලන සංස්ථාපිතය සහ වෘත්තීය සමිති අරටුවටම සොලවා දැමීය.

වෘත්තීය සමිති පෙරමුනු, මෙම කම්කරු පන්තියේ බලය ප්‍රදර්ශනය කිරීමට ප්‍රතිචාර දැක්වූයේ මැයි 11දා ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛන්ඩ මහා වැඩ වර්ජනය අවලංගු කිරීමෙනි. මෙය ජනාධිපති රාජපක්ෂට දේශපාලන හිඩැසක් ලබා දුනි, වහාම ඔහු හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් කම්කරු පන්ති සහ ආන්ඩු විරෝධී විරෝධතා මර්දනය කිරීමට පුලුල් බලතල ලබා ගත්තේය.

මැයි 9 දා ගනන් බලා ප්‍රකෝපකරනයක් සිදු කරමින්, එවක අගමැති මහින්ද රාජපක්ෂ විසින් උසිගන්වන ලද මැර නඩයක් කොලඹ ගාලු මුවදොර පිටිය වාඩිලාගත් ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට එරෙහිව මුදා හරින ලදී. පොලිසියේ බාධාවකින් තොරව ඔවුහු පෙලපාලිකරුවන්ට අමානුෂික ලෙස පහර දෙමින් ඔවුන්ගේ තාවකාලික කුටි කඩා දැමූහ. මෙම මැර ප්‍රහාර සම්බන්ධයෙන් කෝපයට පත් වරාය සහ සෞඛ්‍ය සේවකයෝ වහා වැඩ වර්ජනවලට එලැඹ ගාලු මුවදොර පිටියට පෙලපාලියෙන් ගියහ. මෙම ස්වයංසිද්ධ ක්‍රියාව තම පාලනයෙන් බැහැරව තීව්‍ර විය හැකි බවට භීතියට පත් වෘත්තීය සමිතිවලට අඛන්ඩ වැඩවර්ජනයක් කැඳවීමට සිදු විය.

මැයි 9 දා, විරෝධතාකරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරවලට එරෙහිව රට පුරා පලිගැනීමේ කෝලාහල ඇවිලී යද්දී, 'කැරලිකරුවන්ට' එරෙහිව “දුටුතැන වෙඩි තැබීමේ” නියෝග නිකුත් කරමින් රාජපක්ෂ හමුදාව යෙදවීය. තම අඛන්ඩ වැඩවර්ජනය ආන්ඩුව සමග සෘජු දේශපාලන ගැටුමක් ඇති කරනු ඇතැයි බියෙන් යටත් වූ වෘත්තීය සමිති සියලු කාර්මික ක්‍රියාමාර්ග නවතා දැමූහ.

කොලඹ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරද්දී, දැඩි ලෙස ආයුධ සන්නද්ධ සෙබලුන් සහ හමුදා වාහනයක්. [ඡායාරූප: ෆේස්බුක්]

දින තුනකට පසුව, මැයි 12 දා, රාජපක්ෂ එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කලේය. පසුදා ප්‍රකාශයක් නිකුත්කරමින් සසප මෙසේ අනතුරු ඇඟවූයේය: “රාජපක්ෂ සම්බන්ධයෙන් ගත් කල, වික්‍රමසිංහ අගමැති ධූරයට පත්කිරීමට පවතින එක ම සුදුසුකම වන්නේ, මන්ත්‍රීවරයෙකු හා හය වතාවක් අගමැති ධූරය දැරූ අයෙකු ලෙස ඇති කුප්‍රකට වාර්තාව සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා ජාමූඅ කප්පාදු පියවරයන්ගේ ඒජන්තයෙකු වීම යි. ජාමූඅ රුදුරු කප්පාදු වැඩසටහනක් ක්‍රියාවට දැමීමට සහ කම්කරුවන්ගේ හා දුගීන්ගේ වැඩෙන කෝපය මැඩීම සඳහා, රාජපක්ෂ දැන් මේ දූෂිත දේශපාලන කුලී අශ්වයා වෙත හැරෙයි.'

මේ අනුව, කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට එරෙහි මෙම නව වටයක ප්‍රහාර සඳහා දේශපාලන කොන්දේසි නිර්මානය කලේ, රාජපක්ෂ පාලනයට එරෙහිව ඒකාබද්ධ දේශපාලන හා කාර්මික අරගලයකින් කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවහිර කල වෘත්තීය සමිති විසිනි.

සජබ හා ජවිපෙ භූමිකාව

ප්‍රධාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ වන සජබ, ජවිපෙ සහ දෙමල ජාතික සන්ධානයට (ටීඑන්ඒ) රාජපක්ෂගේ කප්පාදු පිලිවෙත් පිලිබඳව මූලික මතභේදයක් නැත. සජබ 'සර්ව පාක්ෂික අන්තර්වාර පාලන තන්ත්‍රයක්' යෝජනා කරන අතර, ජනාධිපති රාජපක්ෂ බලයෙන් ඉවත් වීමෙන් පසු අනෙකුත් පක්ෂ සමග 'සම්මුති පාලනයක්' ඇටවීමට ජවිපෙ කැඳවුම් කරයි.

මෙම ඉල්ලීම්, කොලඹ පාලක ප්‍රභූව සමග ඔවුන්ගේ මූලික එකමුතුව වසං කිරීමේ සහ ජාමූඅ නියෝග වලට විකල්පයක් ඔවුන්ට නොමැති බව වසං කර ගැනීමේ උපාමාරුවකි. වික්‍රමසිංහගේ වැට් බද්ද සහ අනෙකුත් බදු වැඩි කිරීමට ඔවුන් දෙගොල්ලන්ම සහාය දීමෙන් මෙය හෙලිදරව් විය.

ව්‍යසනය පුද්ගලයන්ගේ දූෂනයේ සහ වංචාවේ ප්‍රතිඵලයක් බව වර්ගවාදී ජවිපෙ කියා සිටින්නේ, අර්බුදයේ සැබෑ මූලාශ්‍රය ධනවාදය බව වසං කිරීමට ය. එය නව කප්පාදු පියවරයන් ගැන කුහක ලෙස නිශ්ශබ්දව සිටින නමුත්, යුරෝපීය සංගමය සහ ජාමූඅ විසින් නියෝග කරන ලද පරිදි 2015 සිට ග්‍රීසියේ ක්‍රියාත්මක කල පන්නයේ කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වාමාංශික විකල්පයක් ලෙස පෙනී සිටින අතර, එහි වැඩපිලිවෙල පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂවලට වඩා මූලික වශයෙන් වෙනස් නොවේ. මහජන විරෝධතා මගින් පාලක තන්ත්‍රයට බලපෑම් කිරීමෙන් කම්කරුවන්ට හා තරුනයින්ට තම ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගත හැකි බව අවධාරනය කරමින්, ජනාධිපති රාජපක්ෂ බලයෙන් පහවීමෙන් පසු පාර්ලිමේන්තු පක්ෂවල ඊනියා සම්මුති තන්ත්‍රයක් පෙසප යෝජනා කරයි.

කම්කරු පන්තිය විප්ලවවාදී දිශාවකට ගමන් කිරීම වැලැක්වීමට වෘත්තීය සමිති දරන ප්‍රයත්නය සමග ව්‍යාජ වාම පෙසප සෘජුව පෙල ගැසි සිටී. එහි ඊනියා “පන්ති අරගල කන්ඩායම” වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවෙ හි කොටසක් ලෙස, සේවා ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වෙමින්, එහි පාවාදීම්වලට පිටුබලය දෙයි.

'ගෝඨා ගෝගම' විරෝධතා

'ගෝඨා ගෝගම' නමින් හඳුන්වා ගන්නා ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්, අප්‍රේල් මස මුල සිට ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්විය යුතු යැයි බලකරමින් සිටිය ද, රාජපක්ෂ වෙනුවට ආදේශ කල යුත්තේ කුමන ආකාරයේ පාලනයක්දැයි ඔවුහු නොපවසති. ජනතාව මුහුන දෙන දැවැන්ත සමාජ ප්‍රශ්න විසඳීමට කිසිදු වැඩපිලිවෙලක් ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ ද නැත.

කෙසේ වෙතත් ගාලු මුවදොර විරෝධතාවයේ ආධිපත්‍යය දරන මධ්‍යම පන්තික කන්ඩායම් ඔවුන්ගේ දේශපාලන බංකොලොත්භාවය හෙලිදරව් කර ඇත. එක් කන්ඩායමක් ජනාධිපති සහ අගමැති 'ගෙදර යා යුතු' යැයි ඉල්ලා සිටින නමුත් ඊලඟට කුමක් ද? යන ප්‍රශ්නයට පිලිතුරු දීම ප්‍රතික්ෂේප කරයි. දැන් වඩාත් ප්‍රමුඛ භූමිකාවක් රඟ දක්වන තවත් කන්ඩායමක්, ජවිපෙ සහ පෙසප ඉල්ලීම් ප්‍රතිරාවය කරමින් අන්තර්කාලීන ධනේශ්වර පාලන තන්ත්‍රයක්, නය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දූෂනය අවසන් කිරීම ඉල්ලා සිටියි.

සමාජවාදී ක්‍රියාකාරිත්වයේ වැඩපිලිවෙලක්

රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව දැන් එහි පන්ති යුද ප්‍රහාර උත්සන්න කරමින් සිටී. පසුගිය සතියේ එය විදුලි හා සෞඛ්‍ය සේවකයින්ගේ සියලුම වැඩ වර්ජන සහ කාර්මික ක්‍රියාමාර්ග තහනම් කිරීමට කුරිරු අත්‍යවශ්‍ය මහජන සේවා පනත බලාත්මක කලේය.

ධනේශ්වර ප්‍රභූව සහ එහි රාජපක්ෂ-වික්‍රමසිංහ තන්ත්‍රය, කුරිරු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලේ මීලඟ අදියර සාමකාමීව ක්‍රියාවට නැංවිය නොහැකි බවත් ඒ සඳහා ඒකාධිපති පියවරයන් අවශ්‍ය බවත් හොඳකාරවම දනිති.

අප්‍රේල් 28දා මහනුවර රෝහලෙන් පිටත බලමුලු ගැන්වී සිටින සෞඛ්‍ය කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

ආන්ඩු විරෝධී මහජන අරගල පුපුරා යාමට ප්‍රතිචාර දක්වමින් සසප, ජනතාවගේ දැවෙන අවශ්‍යතා සපුරාලීම, සමාජ ව්‍යසනය විසඳීම සහ ආන්ඩුවේ ආඥාදායක පියවර පරාජය කිරීම සඳහා සංක්‍රමන ඉල්ලීම් මාලාවක් වටා කම්කරුවන් බලමුලු ගැන්වීමේ සටන ගැඹුරු කර ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ හදිසි නීතිය, මහජන ආරක්ෂක පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි ශ්‍රී ලංකාවේ සියලුම කුරිරු ක්‍රියාමාර්ග අවලංගු කිරීම මෙයට ඇතුලත් වේ.

සසප අප්‍රේල් 7 ප්‍රකාශය පැහැදිලි කල පරිදි:

'කල යුතුව ඇත්තේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය, කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ කිසිදු දැවෙන සමාජ අවශ්‍යතාවයක් විසඳීමට මුලුමනින්ම අසමත් ය. සිය ලාභය සහ ධනය පරදුවට තැබෙන විට, කුමන අයැදීමකින් හෝ පීඩනයකින් ඔවුන්ගේ ගමන් මග වෙනස් කරනු නොලැබේ.

'කම්කරු පන්තියට තම අවශ්‍යතා සඳහා සටන් කල හැක්කේ, පසුගිය දෙවසර පුරා මහ වැඩ වර්ජන හා විරෝධතා රැල්ල මැඩලීමේ දී එවන් ද්‍රෝහී භූමිකාවක් ඉටු කර ඇති ධනේශ්වරයේ සහ වෘත්තීය සමිතිවල සියලු කන්ඩායම්වලින් ස්වාධීනව තමන්ගේම සංවිධාන පිහිටුවා ගන්නේ නම් පමනි.

'සසප, රට පුරා කම්හල්, සේවා ස්ථාන, වතුකරයේ සහ කම්කරු පන්තික නිවහන් ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා වන එහි ඉල්ලීම් වේගවත් කරයි. මෙම සටන් සංවිධාන, ග්‍රාමීය දුගීන් සහ සියලු පීඩිතයන් පෙලගස්වා ගනිමින් කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය මුදා හරිනු ඇත.'

සමාජ විනාශයට විසඳුම් සඳහා සසප ඉල්ලා සිටින්නේ, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් තීරනාත්මක සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම මත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකි. මෙම ඉදිරිදර්ශනය සඳහා විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කිරීම අවශ්‍ය කෙරේ.

අති උද්ධමනයට එරෙහිව සටන් කිරීම සඳහා ජීවන වියදමට සරිලන වැටුප්; යහපත් සහ ආරක්ෂිත සේවා කොන්දේසි සහිත සැමට රැකියා සහතික කිරීම; දුප්පත් හා ආන්තිකව දුප්පත් ගොවීන්ගේ සහ සුලු ව්‍යාපාරවල නය අවලංගු කිරීම; පොහොර ඇතුලු සහනාධාර නැවත ස්ථාපිත කිරීම, අනෙකුත් අත්‍යාවශ්‍ය පියවර අතරට ගැනේ.

මෙම වැඩපිලිවෙල සඳහා වන අරගලය සහ සියලු වාර්ගික හා ආගමික රේඛා කපාගෙන යන කම්කරුවන්ගේ එකමුතුකම වඩාත් හදිසි වේ. සියලු ආකාර ස්වෝත්තමවාදය සහ වර්ගවාදය පිටු දකිනු!

සසප මෙම සමාජවාදී වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන්නේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස සහ දකුනු ආසියාව පුරා සහ එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, යුරෝපයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල අරගලයට ඇදෙන ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතුවෙන් ය.

වසංගතයේ, අධිරාජ්‍යවාදී යුද්ධයේ සිට මිල ඉහල නැඟීම් දක්වා, ලොව පුරා වැඩකරන ජනතාව මුහුන දෙන දැවැන්ත සමාජ ගැටලු වලට ධනේශ්වර පද්ධතිය තුල සහ ජාතික පදනමක් මත විසඳුමක් නොමැත.

සමාජ අසමානතාවයට, යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහිව සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ දී ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට සහ ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටුවලට, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග සිය සටන ඒකාබද්ධ කර සම්බන්ධීකරනය කල හැකිය.

සමාජවාදය සඳහා මෙම සටනට උර දෙන්න! මෙම අරගලයට නායකත්වය දීමට සසප හා එක්වන්න!

Loading