සසප සමගි ජන බලවේගයේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) 'සර්ව-පාක්ෂික එකගතාවක්' සදහා සාකච්ජාවකට සමාජවාදී සමානතා පක්ෂය වෙත කල ආරාධනය ප්‍රතික්ෂේප කරමින් සසප වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත යවන ලද ලිපිය මේ සමග පල කරමු.

පාර්ලිමේන්තු විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක,

සජිත් ප්‍රේමදාස මහතා වෙත,

මහත්මයානෙනි,

'සර්ව-පාක්ෂික එකඟතාවක්' සඳහා සමාජවාදී සමානතා පක්ෂයට කල ආරාධනය

ඔබ නායකත්වය දෙන සමගි ජන බලවේගයේ (සජබ) මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරන මහතා, 2022 ජූලි 05 දා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති විජේ ඩයස් දුරකථනයෙන් අමතා, රටේ වත්මන් අර්බුදයට විසඳුම් සඳහා 'සර්ව-පාක්ෂික එකඟතාවක්' ඇතිකර ගැනීම පිනිස සාකච්ඡාවකට පැමිනෙන ලෙස සසප ට ආරාධනා කර ඇත. එම සාකච්ඡාවට අප පක්ෂයේ සහභාගිත්වය තහවුරු කරගැනීම පිනිස, පසු දින ඔබගේ සම්බන්ධීකාරක ලේකම් දිනේශ් කුමාරගේ මහතා විජේ ඩයස් දුරකථනයෙන් ඇමතීය.

ප්‍රථමයෙන්ම, සසප එම ආරාධනය එකහෙලා ප්‍රතික්ෂේප කරන බව ඔබට දන්වා සිටිමි. ඒ සමග ම, ශ්‍රී ලංකාවේ ගැඹුරු වෙමින් පවත්නා සමාජ ව්‍යසනයට සසප දැනටමත් ඉදිරිපත්කොට ඇති විසඳුම කම්කරු-පීඩිත මහජනතාව හමුවේ යලි පැහැදිලි කිරීමට මෙම විවෘත ලිපිය අවස්ථාවක් කර ගනිමි.

ආහාර, ඖෂධ සහ ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්හි උග්‍ර හිඟයකින්, දෛනික විදුලි කප්පාදු වලින් සහ වේගයෙන් ඉහල යන උද්ධමනයෙන් දැඩි සේ පීඩා විඳින කම්කරු-පීඩිත මහජනතාව තෙමසකට අධික කාලයක් පුරා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස සහ ඉහත දුෂ්කරතා ඉවත් කරන ලෙස බල කරමින් ගෙනයන විරෝධතා උද්ඝෝෂනයට සසප ආරම්භයේ සිට ම, කම්කරු පංතික විසඳුමක් ඉදිරිපත් කරමින් මැදිහත් වී ඇත.

'ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු! විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු! කප්පාදුව හා කුසගින්න එපා! සියල්ලන්ට ආහාර, ඉන්ධන හා ඖෂධ සුරක්ෂිත කරගැනීම සඳහා සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!' යන මැයෙන් අප්‍රේල් 07 දා නිකුත් කල ප්‍රකාශයෙන් සසප මෙසේ කියා සිටියේ ය:

'සමාජවාදී සමානතා පක්ෂය (සසප) 'ගෝඨා යා යුතුයි!' යනුවෙන් වැඩකරන ජනයා කරන ඉල්ලීම් සමග එකට සිටගනී: එහෙත් ඔහු ව විස්ථාපනය කරන්නේ කුමකින් ද? රාජපක්ෂ ව ඉවත් කිරීම ඉල්ලා සිටීම පමනක් ප්‍රමානවත් නැත. ඔහු වනාහි, දිවයින පුරා කම්කරුවන් හා ගොවීන් සූරාකෑමට හා දුගී භාවයට ඇදහෙලමින් ධනපති පන්තියේ ධනය හා අවශ්‍යතා සුරක්ෂිත කිරීමට සංවිධිත වන, දූෂිත හා ප්‍රතිගාමී ජනාධිපති රාජ්‍ය පද්ධතියක වර්තමාන අසික්කිත මුහුනත්තහඩුව පමනි. '

ඒ අනුව, රාජපක්ෂගේ මූනත්තහඩුව වෙනස්කොට, ඒ වෙනුවට සජබ යෝජනා කරන ආකාරයේ 'සර්ව-පාක්ෂික ආන්ඩුවක' හෝ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඉදිරිපත් කරන ආකාරයේ 'සම්මුති ආන්ඩුවක' හෝ නව මුහුනත්තහඩුවක් මෙම ධනපති රාජ්‍ය යන්ත්‍රයට සවි කිරීමෙන් වැඩ කරන මහජනතාව මුහුනදෙන මෙම ව්‍යසනයට විසඳුමක් නොලැබෙන බව අපි යලිත් අවධාරනය කරමු.

ජනාධිපති රාජපක්ෂගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව මෙන්ම, එය විස්ථාපනය කරන කවර හෝ ධනපති ආන්ඩුවක් ක්‍රියාවට නංවනු ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු න්‍යාය පත්‍රය යි. එලෙසම, එම ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් මැඩීමට පවත්නා රාජ්‍ය යන්ත්‍රයේ සියලු මර්දන අවයව භාවිතා කරනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඩොලර් බිලියන 4 ක නයක් යදින රාජපක්ෂ ආන්ඩුව, ඒ වෙනුවෙන් පනවා ඇති විධානයන් ක්‍රියාවට දැමීම දැනටමත් අරඹා ඇත. රාජ්‍ය සේවයේ රැකියා අඩකින් කපා දැමීම, පුද්ගලීකරනය වේගවත් කිරිම, වැට් ආදී වක්‍ර බදු ඉහල දැමීම, මහජනතාවගෙන් වඩාත් සුවිසල් ප්‍රමානයක් ආවරනය වනසේ ආදායම් බදු දැල ප්‍රසාරනය කිරීම මෙලෙස ක්‍රියාවට නංවා ඇති විධානයන් ය.

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිනි ජාමූඅ නියෝජිත පිරිස අගමැති වික්‍රමසිංහ සහ මහ බැංකුවේ නිලධාරින් සමග කල සාකච්ඡා වලින් පසු ව පැවසුවේ, අපේක්ෂිත නය නිකුත් කිරීමට නම් නය ආපසු ගෙවීම සහතික කෙරෙන ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙල ක්‍රියාවට නැංවෙන බව අගෝස්තු වනවිට තහවුරු කලයුතු බවයි. සමාජ ව්‍යසනය ගැඹුරු කෙරන වඩාත් රුදුරු ප්‍රහාර මාලාවක් නුදුරේ ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෙහි අර්ථය යි.

අර්බුදයට විසඳුම් සඳහා ජාමූඅ වෙතට හැරියයුතු බව මුල සිට ම කියා සිටි සජබ, මෙම 'එකඟතා සාකච්ඡා' පවත්වනුයේ, එම ප්‍රහාර ඉදිරියට ගෙන යාම සඳහා සියලු ධනපති පක්ෂ, මධ්‍යම පංතික සංවිධාන සහ ව්‍යාජ-වාම පක්ෂ ඒකාග්‍ර කර ගැනීමේ අරමුනෙනි. දැනටමත්, 'පුරවැසි බලය' වැනි මධ්‍යම පංතික සංවිධාන සජබ සමග 'එකඟතා සාකච්ඡාවන්ට' බඩ ගා එවන් පෙරමුනකට කොල එලිය දල්වා ඇත.

පුරවැසි බලය, ජවිපෙ සහ ව්‍යාජ-වාම කන්ඩායම්, 2015 ජනාධිපතිවරනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට දරදිය ඇද්දේ, 'යහපාලනයක්' ඇතිකොට, යලි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවටත්, වංචාව සහ දූෂනය තුරන් කරන බවටත් සපථ වෙමිනි. ඔවුන් මෙම 'යහපාලන' කඩතුරාවට මුවාවෙමින් දායක වූයේ, වොෂින්ටනය අත යොදා සිදු කරන ලද තන්ත්‍ර මාරුවකට බව පෙන්වා දුන්නේ සසප පමනකි. ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් බීජිනය වෙතට නැඹුරු වෙමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා දෙසට හරවා ගැනීම සඳහා පීඩනය යොදමින් සිටි වොෂින්ටනය අවසානයේ දී නවදිල්ලිය සමග එක්ව කල කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් ලෙස මෙම තන්ත්‍ර මාරුව සිදුවිය.

ජාමූඅ රුදුරු කප්පාදු විධානයන් ක්‍රියාවට නැංවූ ජනාධිපති සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, එයට එරෙහිව පැනනැගි පංති අරගල කුරිරු ලෙස තලා දැමුවේය. ඒ සමගම චීනයට එරෙහි එක්සත් ජනපදයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරක ව්‍යාපාරයට ශ්‍රී ලංකාව වඩවඩාත් ඒකාග්‍ර කලේය. එවකට වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකයන්ව සිටි ඔබ ඇතුලු වත්මන් සජබ නායකයෝ එම ආන්ඩුවේ ඇමතිධුර දරමින්, කම්කරු-පීඩිත මහජනතාවන්ට එරෙහි ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාරයන් සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන් ක්‍රියාවට නැංවීමේ දී එකාවන්ව සහභාගි වූහ.

අවසානයේදී ඔබ ඇතුලු කන්ඩායමක් එජාපයෙන් බිඳී වෙන්වූයේ, වික්‍රමසිංහගේ එජාපයට එරෙහිව වැඩුනු දැවැන්ත මහජන විරෝධයෙන් දුරස්ථවීමේ උපාමාරුවක් ලෙසින් මිස, එජාපයේ දේශපාලනික සහ ආර්ථික පිලිවෙත් සමග පවත්නා කවර හෝ නොඑකඟතාවක් මත නොවේ. 2019 ජනාධිපතිවරනයේ දී ඔබ පරාජයට පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිනියේ ඔබට ද එරෙහිව වැඩී තිබූ එම මහජන වෛරය ගසා කමිනි.

2015 දී සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය බලයට ගෙන ඒමට දායක වූ, නව සම සමාජ පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය වැනි පාරාජිකා වූ ව්‍යාජ-වාම පක්ෂ සහ මහජනයා අතර කුජීත වූ පුරවැසි බලය වැනි සංවිධාන වලින් ඔබේ 'සර්ව-පාක්ෂික එකඟතාව' ට වලංගුභාවයක් ලබා ගැනීමට නොහැකි බව ඔබ දනී. අඩ සියවසකට වැඩි කාලයක් සප්‍රතිපත්තික ව, ජාත්‍යන්තරවාදී සමාජවාදී මූලධර්ම මත කම්කරු පංතිය තුල සටන් වැදී ඇති සසප වෙත ඔබ හැරී ඇත්තේ එබැවිනි.

ඔබේ ආරාධනය ප්‍රතික්ෂේප කරන සසප සටන් වදින්නේ, ආන්ඩුවේ මෙන් ම සජබ වැනි විරුද්ධ පක්ෂවල ද කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ ව, තම සමාජ බලය බලමුලු ගන්වමින්, දරුනු සමාජ හා ආර්ථික අර්බුදයට සිය විසඳුම ඉදිරිපත් කිරීම සඳහා, ආයෝජකයන්ගේ ලාභවලට ඉහලින් මානව අවශ්‍යතා ඉදිරියෙන් තබා ක්‍රියාකාරී වීමේ වැඩපිලිවෙලක් කම්කරු පන්තියට ඉදිරිපත් කරමිනි.

අප්‍රේල් 07 දා ප්‍රකාශයෙන් සසප මෙසේ කියා සිටියේය:

'ධනපතියාගේ ජාතික රාජ්‍ය හා පුද්ගලික දේපොල පද්ධතිය ඇතුලත, ඔහුට දරා සිටිය හැකි දෙයට ගැලපෙන ලෙස කම්කරු පන්තිය පටි තද කරගත නො යුතු යයි සසප අවධාරනය කරයි. ඒ වෙනුවට, කම්කරු පන්තිය සමාජ හා ආර්ථික අර්බුදයට තමන්ගේ ම පන්ති විසඳුම ඉදිරිපත් කල යුතුය.'

එම කම්කරු පන්ති විසඳුමේ කොටසක් ලෙස, මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා, බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කලයුතු බව සසප කියා සිටී.

'කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ අධිෂ්ඨානවත් අරගලයක් හරහා පමනක් ලඟා කරගත හැකි මෙම අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනස්කම්වල අභිප්‍රාය වන්නේ, සමාජවාදී පිලිවෙත් ඔස්සේ ආර්ථිකය මූලික ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමකට ආරම්භය ලබා දීම බව', සසප අවධාරනය කරයි.

මෙම වැඩපිලිවෙල සඳහා සටන් වැදීමේදී කම්කරු පංතියේ ජාත්‍යන්තරවාදී එකමුතුව අත්‍යවශ්‍යම සාධකයක් වෙයි. ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහි මහජන නැගිටීමේදී මිලියන සංඛ්‍යාත කම්කරුවන්, අප්‍රේල් 28 සහ මැයි 06 මහවැඩවර්ජන වලට සහභාගිවූයේ, 1948 නාමික නිදහසේ සිට කම්කරු පංතිය බෙදිම සඳහා ඔබ ද ඇතුලු ධනපති පාලකයන් විසින් ප්‍රවර්ධනය කල වාර්ගික බෙදිම් රේඛා කපා දමමින් තමා සතු දැවැන්ත සමාජ බලය ප්‍රදර්ශනය කරමිනි.

මෙම සමාජ බලය ඉදිරියේ බියවැදී සිටින සජබ ඇතුලු ධනපති පාලක පංතිය යලි වාර්ගික භේදයන් ඉස්මත්තට ගැනීමට මාන බලනු ඇත. 1949 දී දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතීන් අහෝසි කල කොලඹ පාලකයෝ 1956 දී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කරමින් මෙම වෙනස්කම් කිරීම් සමස්ත දෙමල ජන වර්ගයට එරෙහිව ව්‍යාප්ත කලහ. 1972 දී බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කල මෙම පාලකයෝ වර්ගභේදවාදය වඩාත් ඉස්මත්තට ගනිමින් 1983 දී එය වර්ගවාදී යුද්ධයක් ලෙස කුලු ගැන්වීය. දසදහස් සංඛ්‍යාත ජනයා ඝාතනය කරමින් 26 වසරක් ඇදීගිය රුදුරු යුද්ධයේ ලේ වලින් ඔබ ඇතුලු සජබ නායකයන්ගේ ද දෑත් නෑවී ඇත.

එපමනක් නොව, 1988-89 වසරවල 60,000 කට අධික ගම්බද තරුනයන් ඝාතනය කරමින්, ඔබේ පියා වන ජනාධිපති ආර්. ප්‍රේමදාස ප්‍රමුඛ එජාප ආන්ඩුව ගෙනගිය සංහාරයේ ලේ වලින්ද එවකට එම ආන්ඩුවේ සිටි සජබ නායකයින්ගේ දෑත් තෙත් වී පවතී.

වර්ගවාදී යුද්ධයට සහ ගම්බද තරුන ඝාතනයට එරෙහි ජාත්‍යන්තරවාදී කම්කරු පංතික ආස්ථානයක් ගෙන සටන් කලේ, කම්කරුවන්ගේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප සහ 1968 දී ආරම්භ කරන ලද එහි පූර්වගාමී සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පමනි.

වසර 54 ක සමස්ත ඉතිහාසය තුල විකොස සහ සසප සටන් වැදී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ධනපති පාලකයන්ගේ වර්ගභේදවාදී දේශපාලනයට එරෙහිව සිංහල සහ දෙමල කතා කරන කම්කරුවන්ගේ පංති එකමුතුවට යි. යුද්ධය ආරම්භ වීමෙන් පසු, 'වර්ගවාදී යුද්ධය නතර කරනු!' සහ 'උතුරෙන් සහ නැගෙනහිරෙන් ශ්‍රී ලංකා හමුදා ඉවත් කරනු!' යන සටන් පාඨ යටතේ උද්ඝෝෂනය කල සසප සහ විකොස, ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන්, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒමේ ඉදිරි දර්ශනය යටතේ සිංහල සහ දෙමල කම්කරුවන් බලමුලු ගැන්වීමට සටන් වැදුනි.

කෝවිඩ්-19 වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවතියදී, රාජපක්ෂ ආන්ඩුව මහධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් කම්කරුවන්ගේ ජීවිත නොතකා ඔවුන් වැඩට දක්කද්දී ඔබ එම ආන්ඩුව සමග වටමේස සාකච්ඡාවන්ට බඩගාමින්, එම මිනීමරු පිලිවෙතට සහයෝගය ලබා දුන්නේය. සසප එම පිලිවෙතට එරෙහිව, අත්‍යවශ්‍ය නිෂ්පාදන පමනක් පූර්න සෞඛ්‍ය ආරක්ෂාව යටතේ පවත්වාගෙන යන ලෙසටත්, අත්‍යවශ්‍ය නොවන කර්මාන්ත, ආයතන සහ පාසල් වසංගතය පාලනය කරන තුරු වසා දමන ලෙසටත් -- මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය පවත්වාගෙන යාම පිනිස අවශ්‍ය සියලු තාක්ෂනික පහසුකම් ගුරුවරුන්ට හා සිසුන්ට නොමිලේ ලබා දෙමින් -- ඉල්ලා සිටියේ, වසංගතය මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර මූලෝපාය මත පාදක වෙමිනි.

සජබ උත්සාහ කරන්නේ, සසප තම 'සර්ව පාක්ෂික සාකච්ඡා' වලට කැඳවා ගනිමින් එය සතු මෙම සප්‍රතිපත්තික කීර්ති නාමය ගසා කෑමට යි.

ඔබේ ආරාධනය යලිත් වරක් පිලිකුලෙන් ප්‍රතික්ෂේප කරන සසප, ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම තුල එයට නායකත්වය සහ ජාත්‍යන්තරවාදී සමාජවාදී ඉදිරි දර්ශනය සම්පාදනය කලහැකි මහජන විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට සටන් වදී. මෙහිදී සසප තම සමාජ පදනම ලෙස දැක ගන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධය, කෝවිඩ්-19 වසංගතය සහ සමාජ කාලකන්නිභාවය අවසන් කලහැකි එකම සමාජ බලවේගය වන ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පංතියයි.

මෙයට,

දීපාල් ජයසේකර,

ප්‍රධාන ලේකම්,

සමාජවාදී සමානතා පක්ෂය

Loading