ශ්‍රී ලාංකික කෘතහස්ත ට්‍රොට්ස්කිවාදී විජේ ඩයස් ගේ අවමංගල්‍යයේදී දහස් සංඛ්‍යාත ජනයා ගෞරව දක්වති

[මෙය Thousands pay their respects at funeral of veteran Sri Lankan Trotskyist Wije Dias මැයෙන් 2022 අගෝස්තු 1 දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති, අභාවප්‍රාප්ත විජේ ඩයස් සහෝදරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා, පවුලේ සාමාජිකයන්, පක්ෂ සහෝදරවරුන් සහ ආධාරකරුවන් ඇතුලු දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිනි දහසකට ආසන්න පිරිසක්, සෙනසුරාදා (30), කොලඹ බොරැල්ල කනත්තට රැස් වූහ.

දෙන භාරව සිටින්නන් විජේ ඩයස් සහෝදරයාගේ දේහය රැගෙන යයි [ඡායාරූපය: ලෝසවෙඅ]

සසප සාමාජිකයින් සහ හිතවතුන් ඇතුලු 500 දෙනෙකුගෙන් යුත් ගාම්භීර පෙරහැරකින් අවමංගල්‍ය ශාලාවේ සිට කිලෝමීටර් දෙකක් දුරින් පිහිටි සුසාන භූමිය වෙත විජේගේ දේහය රැගෙන යන ලදී. අවමංගල්‍ය පෙරහැර පුරා ජාත්‍යන්තර කම්කරු ගීතය වාදනය විය.

සිය 81 වැනි ජන්මදිනයට මසයට පෙර ජූලි 27 දින අලුයම විජේ ඩයස් බරපතල හෘදයාබාධයකින් මිය ගියේය. වි‌ජේට අවසන් ගෞරව දැක්වීම සඳහා බ්‍රහස්පතින්දා උදෑසන සිට කොලඹ බොරැල්ලේ පිහිටි 'ජයරත්න රෙස්පෙක්ට් හෝම්' හි ඔහුගේ දේහය තැන්පත් කර තිබුනි.

ඔහු සසපයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භක සාමාජිකයෙකි. 1987 දෙසැම්බරයේදී විකොස ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරියගේ අකල් අභාවයෙන් පසු, පසුගිය මැයි මාසයේ දී පක්ෂයේ නව සභාපති ධූරයට තේරී පත් වන තෙක් විජේ ප්‍රධාන ලේකම් ධූරයේ වගකීම භාරගෙන සිටියේ ය.

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම සසප සාමාජිකයන්, ආධාරකරුවන්, පවුලේ සාමාජිකයන්, කලාකරුවන්, බුද්ධිමතුන්, කම්කරුවන් සහ ශිෂ්‍යයන් ඇතුලු 2,000 කට ආසන්න ජනතාවක් දින තුනක් පුරා සිය ගෞරව දැක්වීමට පැමිනියහ. උතුරේ සහ දකුනේ ද මධ්‍යම වතුකරයේ දිස්ත්‍රික්කවල ද කන්ඩායම් අවමංගල්‍යයට පැමිනියේ උග්‍ර ඉන්ධන හිඟය නිසා පවතින බරපතල ප්‍රවාහන බාධා මධ්‍යයේ ය.

අවමංගල්‍ය පෙරහැරේ කොටසක් [ඡායාරූපය: ලෝසවෙඅ]

විජේ සහෝදරයාගේ මරනය සහ ඔහුගේ අවමංගල්‍යය, පෞද්ගලික මෙන්ම රාජ්‍ය රූපවාහිනී නාලිකා කිහිපයකම ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තිවල, ඡායාරූප සහ විජේගේ දේශපාලන භූමිකාව පිලිබඳ කෙටි විස්තර ද සමඟින් වාර්තා විය. සිංහල, දෙමල සහ ඉංග්‍රීසි ප්‍රධාන පුවත්පත් ද ප්‍රමුඛ වාර්තා පල කල අතර ඒවා සියල්ලම, ඩයස්, සිය වැඩිහිටි ජීවිතය ට්‍රොට්ස්කිවාදයට කැප කල නොසැලෙන සටන්කරුවෙකු ලෙස හඳුන්වමින් සසප සහ හජාජාකට එහි ඇති සම්බන්ධය සටහන් කලේය.

පුලුල් ලෙස සංසරනය වන ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වන ඩේලි මිරර් හි වාර්තාවේ සිරස්තලය වූයේ “කීර්තිධර ට්‍රොට්ස්කිවාදී විජේ ඩයස් තවදුරටත් නැත” යන්නයි. ශ්‍රී ලංකා මිරර් මෙසේ ප්‍රකාශ කලේය: 'ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ප්‍රතිරූපකය අභාවප්‍රාප්ත වේ.'

රතු ඇඳුමින් සැරසුනු පාක්ෂිකයින්ගෙන් සැදුම්ලත් අවමඟුල් පෙරහැර මග දෙපස බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. 'හජාජාකයේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප සභාපති විජේ ඩයස් සහෝදරයාට අපගේ විප්ලවවාදී ආචාරය' යන සටහන සහිත ඔහුගේ ඡායාරුපය අවමංගල්‍ය පෙරහැරේ ඉදිරිපස තිබූ බැනරයක අන්තර්ගත විය. සෞඛ්‍ය, අධ්‍යාපන හා වතුකරයේ ක්‍රියාකාරී කමිටු සාමාජිකයෝ ශෝක පනිවිඩ සහිත බැනර් රැගෙන ගියහ.

සම්පූර්න අවමංගල්‍ය උත්සවය සසප ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශනය කෙරුනි. එයට එක්සත් ජනපදය, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, මැද පෙරදිග සහ තවත් රටවල් කිහිපයකින් ද ඇතුලුව 1,000 කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් සම්බන්ධ වී සිටියහ. මේ වන විට 3000 කට අධික පිරිසක් මෙම වීඩියෝව නරඹා ඇති අතර 450 කට ආසන්න පිරිසක් එය බෙදාහැර (share) ඇත. සසප සහෝදර පක්‍ෂවල සාමාජිකයන් ද ඇතුලුව බොහෝ අය සිය ශෝක පනිවුඩ සහ විප්ලවවාදී ආචාරය එක් කරමින් අදහස් දක්වා තිබේ.

දීර්ඝ කාලීන සසප සාමාජිකයෙකු, ලෝසවෙඅ ශ්‍රී ලංකාවේ ජාතික කර්තෘ සහ ඩයස්ගේ ඉතා සමීප සහෝදරයෙකු වන කේ. රත්නායක අවමංගල්‍ය සභාවේ මුලසුන දැරීය. 1964 දී ලංකා සමසමාජ පක්ෂය (ලසසප), අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර සභාග ආන්ඩුවට ඇතුලු වී සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම පාවාදීමෙන් ඉක්බිතිව, 1968 දී විකොස ආරම්භ කිරීම ගැන ඔහු මුලින්ම සඳහන් කලේ ය.

“1968 කාලය දෙස ආපසු හැරී බලන විට එය දේශපාලනික වශයෙන් එතරම් පහසු කාලයක් නොවේ. පාර්ලිමේන්තු මාවත හරහා සමාජවාදය කරා යාම පිලිබඳ බංකොලොත් සහ ප්‍රතිගාමී සභාග දේශපාලන රැල්ල පැතිරෙමින් තිබුනි. එකල මාඕවාදය, කැස්ත්‍රෝවාදය, ගුවේරාවාදය සහ සන්නද්ධ අරගලය ජාත්‍යන්තර දේශපාලන විලාසිතාව විය. මාක්ස්වාදය සහ කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කෙරුනි. මේ මතවාද ශ්‍රී ලංකාව තුල ද ප්‍රතිරාවය විය. 1968 දී විකොස පිහිටවූ කීර්ති, විජේ සහ අනෙකුත් සහෝදරවරු මෙම මාක්ස්වාද විරෝධී න්‍යායන් ප්‍රතික්ෂේප කොට ජාත්‍යන්තර කමිටුව විසින් පමනක් ආරක්ෂා කරන ලද මාක්ස්වාදයේ අඛන්ඩතාවය නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදය මත පක්ෂය පදනම් කරගත්හ.”

විජේගේ මරනය ශ්‍රී ලංකා ශාඛාවට මෙන්ම ජාත්‍යන්තර කමිටුවට ද විශාල පාඩුවක් බව පැවසූ රත්නායක මෙසේ ද පැවසුවේ ය: “නමුත් ඔහු සිය මුලු ජීවිතයම කැප කල ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය වෙනුවෙන් අප්‍රතිහත ලෙස සටන් කරමින් ඔහුට ගෞරව කිරීමට අපි ප්‍රතිඥා දෙමු.” විජේ පසුගිය මාස තුන පුරා ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා පීඩිතයන්ගේ අරගල ඉතා ශුභවාදී ලෙස දුටු බවත්, එම වර්ධනයන් මධ්‍යයේ සසප දේශපාලනිකව සන්නද්ධ කිරීමට සහ මෙහෙයවීමට ඔහුගේ ජීවිතයේ අවසාන මොහොත දක්වා කැප වූ බවත් ඔහු පැහැදිලි කලේය.

ශ්‍රී ලංකාවේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාතික කර්තෘ කේ. රත්නායක [ඡායාරූපය: ලෝසවෙඅ]

එක්සත් ජනපදයේ සසප සහ ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් අන්තර්ජාලය හරහා රැස්ව සිටි පිරිස ඇමතීය. ඔහු සිය ප්‍රකාශය ආරම්භ කලේ විජේ සහෝදරයාගේ අවමංගල්‍යය වෙනුවෙන් කොලඹට පැමිනීමට නොහැකි වීම පිලිබඳ කනගාටුව පල කරමිනි. ඩයස්ගේ අවමංගල්‍යයට රැස්ව සිටින සියලුම දෙනා, “ඔවුන් ඉතිහාසයට අභිමුඛව සිටින බව දනී” යැයි නෝර්ත් පැවසීය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමේ අරගලයේ දී විජේ ඩයස් වසර හැටක් පුරා අනුස්මරනීය කාර්යභාරයක් ඉටු කල බව අවිවාදයෙන් ප්‍රකාශ කල හැකිය.”

විකොස පිහිටුවීමේදී විජේ ද ඇතුලු කීර්ති බාලසූරියගේ නායකත්වයෙන් යුත් තරුන ට්‍රොට්ස්කිවාදීන්ගේ විශිෂ්ට කේඩරයකට “උඩු ගං බලා පිහිනීමට” සිදු වූ බව නෝර්ත් පැවසීය. එහෙත් නෝර්ත් පැවසුවේ, විජේ, කීර්ති සහ ඔවුන්ගේ සහෝදරයන් “එසේ කලේ ඓතිහාසික සත්‍යයේ බලය, හතරවන ජාත්‍යන්තරයේ ඉදිරිදර්ශනයේ සහ වැඩපිලිවෙලේ නිවැරදිභාවය සහ ශ්‍රී ලංකාව තුල සහ ලොව පුරා කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව කෙරෙහි නොසැලෙන විශ්වාසයකිිනි.”

ඩේවිඩ් නෝර්ත්ගේ උපහාරයේ සම්පූර්න උපහාර ප්‍රකාශය මෙහි පල වේ.

සසප දේශපාලන කමිටු සභික විලානි පීරිස්, විකොස පිහිටුවීමේ දී ඩයස් ඉටු කල තීරනාත්මක භූමිකාව විස්තර කලා ය. ලසසප විසින් කරන ලද මහා පාවාදීමේ මූලයන් ජාතික වශයෙන් නොව ජාත්‍යන්තර වශයෙන් පැබ්ලෝවාදී සංශෝධනවාදය තුල පවතින බව පැහැදිලි කල, ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන මගපෙන්වීම සහ තීරනාත්මක මැදිහත්වීම, ඩයස්, කීර්ති බාලසූරිය සමග දීප්තිමත් ලෙස උකහා ගත් බව ඇය පැහැදිලි කලාය.

ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින වත්මන් පන්ති අරගලය සඳහා පක්ෂය සූදානම් කිරීමට විජේ සහෝදරයා ඉතා උද්‍යෝගයෙන් ක්‍රියා කල බව සසප සහකාර ලේකම් සමන් ගුනදාස පැහැදිලි කලේය. ශ්‍රී ලංකාවේ සසප තුන්වන ජාතික සම්මේලනයට ඔහුගේ ක්‍රියාකාරී මැදිහත්වීම සහ හජාජාක සමග සමීප සහයෝගීතාවයෙන් “කම්කරුවන්ගේ සහ ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා” යන සසපයේ තීරනාත්මක නවතම ප්‍රකාශය කෙටුම්පත් කිරීමේදී—විජේගේ අවසන් කාලයේ නොපසුබට උත්සාහයට ඔහු උපහාර දැක්වීය. විජේ ක්‍රියා කලා සේම, ඔහු අපේක්ෂා කලා සේම පක්ෂය හතරවැනි ජාත්‍යන්තරය සඳහා අරගලය ඉදිරියට ගෙන යන බවට ප්‍රතිඥා දෙමින් සමන් සිය කතාව අවසන් කලේය.

දෙමල බසින් කතා කරමින් සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා මෙසේ පැවසීය: “මට විජේ මුනගැසුනේ 1976 දී, එනම් මා පක්ෂයට බැඳී මාස දෙකකට පසුව ය. ඔහු යාපනයට පැමිනියේ ලෙනින්ගේ කල යුත්තේ කුමක්ද යන ග්‍රන්ථය පිලිබඳ න්‍යායාත්මක පන්ති පැවැත්වීම සඳහාය. කම්කරු පන්තිය එකම විප්ලවවාදී පන්තිය බවත් සමාජවාදී විඥානය සම්පාදනය කල හැක්කේ විප්ලවවාදී පක්ෂයකට පමනක් බවත් ඔහු අවධාරනය කලේය. සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සඳහා මාක්ස්වාදී පක්ෂයේ කාර්යභාරය ඔහු අවධාරනය කලේය. වසර 45 කට පසු එය කොතරම් දුරට තහවුරු වී ඇත්දැයි අපට දැකගත හැකිය...

එම්. දේවරාජා

“නොයෙකුත් ජාතිකවාදී ප්‍රවනතා මධ්‍යයේ, විජේ සහෝදරයා, කීර්තිගේ නායකත්වයෙන් යුත් විකොස අධිෂ්ඨානශීලී තරුන සහෝදරවරු සමග, කම්කරු පන්තිය ජාත්‍යන්තර විප්ලවවාදී පන්තිය ය යන අවබෝධය මත පදනම් වූ ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති සඳහා දැඩි ලෙස සටන් කලේය. අපි විජේ සහෝදරයාගේ ජීවිතයෙන් පාඩම් ඉගෙන ගෙන කම්කරු පන්තිය බලයට ගෙන ඒමට කැපවිය යුතුය.”

විජේගේ දොලොස් හැවිරිදි මිනිබිරිය වන ජනාර්ථී ඔහුගේ පවුල වෙනුවෙන් සභාව ඇමතුවාය. සීයා තමා ගැන නිරතුරුවම සැලකිල්ල දක්වන විස්මිත පුද්ගලයෙක් බවත්, ඔහු ගැන අන් සියල්ලන්ම පැවසූ දෙයින් ඔහු මෙන්ම අධිෂ්ඨානශීලීව සිටීමට තමා පෙලඹුනු බවත් ඇය පැවසුවාය. “කම්කරුවන්ගේ විප්ලවයක් කිරීමට ඔහු දැරූ උත්සාහය පුරාවට, ඔහු ඔහුගේ පවුල සහ මා වෙනුවෙන් කැප කිරීමට කාලය සොයාගත්” බව ඇය පැවසුවාය. පවුලේ අය වෙනුවෙන් ඇය මෙම අවස්ථාවට සහභාගී වූ සැමට ස්තුතිය පුද කලාය.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයේ කැඳවුම්කරු සහ සසප දේශපාලන කමිටු සාමාජික කපිල ප්‍රනාන්දු මෙසේ පැවසීය: “මහජන රැස්වීම් සංවිධානය කිරීමේදී සහ නිදහස් අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාර, තරුන විරැකියාව සහ අනෙකුත් සංස්කෘතික ප්‍රශ්න සම්බන්ධයෙන් ලෝසවෙඅ ට ලිපි ලිවීමේදී, තරුන ව්‍යාපාරයේ සියලුම සහෝදරවරුන්ට විජේ සහෝදරයාගෙන් ඉමහත් මග පෙන්වීමක් ලැබුනු බව විශේෂයෙන් සඳහන් කල යුතුය.” ඇතැම් අවස්ථාවල තරුන ව්‍යාපාරය වර්ධනය කිරීමට අවශ්‍ය විග්‍රහයන් ඔහු විසින්ම ලියා තැබුවේ ඔහු සතු අතිමහත් දැනුම හා දේශපාලන තියුනු බව විදහා දක්වමිනි.

1986 නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හලාවත පැවති රැස්වීමක් අමතමින් සිටියදී විජේ අත්අඩංගුවට ගත් බව කපිල සිහිපත් කලේය. එවකට එක්සත් ජාතික පක්ෂ (එජාප) පාලනය විසින් මුදා හරින ලද මර්දනයේ කොටසක් ලෙස පොලිසිය විසින් තවත් පක්ෂ සාමාජිකයින් දෙදෙනෙකු සමඟ ඔහු සති හයක් සිරගත කරන ලදී.

“තරුන ව්‍යාපාරයේ අපි හැමෝම ඔහු සමඟ වැඩ කිරීමට ලැබීම විශාල භාග්‍යයක් ලෙස සලකනවා” යැයි ඔහු පැවසී ය.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර [ඡායාරූපය: ලෝසවෙඅ]

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සමාප්ති කතාව කලේ ය. ලසසප පාවාදීමට එරෙහි සටනින් පටන් ගෙන, ට්‍රොට්ස්කිවාදී සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම කෙරෙහි විජේ සහෝදරයාගේ කැපවීම ඔහුගේ මුලු දේශපාලන ජීවිතය පුරා නොබිඳී පවතින බව ඔහු පැවසීය. “අපේ පක්ෂය 1968 සිට 1996 දක්වා විකොස ලෙසත්, එතැන් සිට සසප ලෙසත් ධනේශ්වර පන්ති පාලනයේ දුෂ්ට ස්වභාවය නිසා ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් මුහුන දුන් සියලු දුෂ්කරතා මධ්‍යයේ, ඔහු පැකිලීමකින් තොරව සහ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව එම මූලධර්ම සඳහා සටන් කලා.”

සිංහල-දෙමල කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැගීම සඳහා සසප අරගලය ඉදිරියට ගෙන යාමේ දී විජේගේ නායකත්වයේ තීරනාත්මක බව පැහැදිලි කරමින් ජයසේකර මෙසේ පැවසීය: “කොලඹ ආන්ඩුවේ සිංහල ස්වෝත්තමවාදයට මෙන්ම සහ එල්ටීටීඊයේ දෙමල බෙදුම්වාදයට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලය සඳහා විජේ සහෝදරයා ඉතා දැඩි ලෙස කැප වුනා...

“ශ්‍රී ලංකාව තුල සසප ද ජාත්‍යන්තරව හජාජාක ද මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීම මගින් සහ ඔහු තම මුලු වැඩිහිටි ජීවිතයම කැප කල සමාජවාදී ජාත්‍යන්තරවාදය ඉදිරියට ගෙන යාම මගින්, විජේ සහෝදරයාට ඔහුට හිමි ගෞරවය ලබා දෙනු ඇත.”

අවමංගල්‍ය උත්සවය අවසන් කෙරුනේ ජාත්‍යන්තර කම්කරු ගීතය ගායනා කිරීමෙනි.

Loading