සසප/සසජාතශි, එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ මැතිවරන ගැන සාර්ථක රැස්වීමක් පවත්වයි

[මෙය Sri Lankan SEP/IYSSE holds successful meeting on the US and Sri Lankan elections මැයෙන් 2024 දෙසැම්බර් 10දා පල කල ලිපියේ පරිවර්තනය යි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ මැතිවරනවල දේශපාලන පාඩම් සාකච්ඡා කිරීම සඳහා, දෙසැම්බර් 7දා කොලඹ දී මනා සහභාගීත්වයක් සහිත රැස්වීමක් පැවැත්වී ය. නොවැම්බර් 5දා ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට තේරී පත්වුනි. සැප්තැම්බර් 21දා, ජනතා විමුක්ති පෙරමුනේ/ජාතික ජන බලවේගයේ (ජවිපෙ/ජාජබ) නායක අනුර කුමාර දිසානායක ලංකාවේ ජනාධිපති ධූරයට තෝරා පත්කරන ලදී. ඉන් පසු ව නොවැම්බර් 14දා පැවති මහ මැතිවරනයේ දී, මෙම පක්ෂය වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී තනතුරුවලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමානයක් ජය ගත්තේය.

උතුරු පලාතේ යාපනයෙන් සහ මධ්‍යම කඳුකර නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සහභාගි වූවන් ඇතුලු ව, 100ක පමන ශ්‍රාවකයක් කොලඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමට සහභාගි වූ හ. රැස්වීමේ ප්‍රධාන කථිකයා ලෙස, එක්සත් ජනපදයේ සසප උපජනාධිපති අපේක්ෂක ජෙරී වයිට්, රැස්වීම අන්තර්ජාලය හරහා ඇමතී ය.

සසප දේශපාලන කමිටු සාමාජික හා ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන (දකුනේ) 2024 දෙසැම්බර් 7දා පැවති කොලඹ රැස්වීම අමතමින්

ලංකාවේ සසප ජනාධිපති අපේක්ෂක හා සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන රැස්වීමේ මුලසුන දැරී ය. සහභාගි වූවන් සාදරයෙන් පිලිගත් විජේසිරිවර්ධන, ජනාධිපතිවරනයට හා පාර්ලිමේන්තු මැතිවරනයට සසප මැදිහත් වූයේ, යුද්ධයට, කප්පාදුවට හා ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට බව පැවසී ය. අධිරාජ්‍යවාදී යුද්ධයේ තර්ජනය ගැන මැතිවරනවල දී අනතුරු ඇඟවූ එක ම දේශපාලන සංවිධානය සසප වූ බව ඔහු කීවේ ය.

“වර්තමානයේ අතිශයින් ජාත්‍යන්තර ව සම්බන්ධිත ලෝකය තුල, එක්සත් ජනපදය තුල සිදු වන දේශපාලන වෙනස්කම් සතු ව දුරදිග යන ගම්‍යයන් පවතිනවා. අපි එහි සිදු වන දේශපාලන වර්ධනයන්ට බැරෑරුම් අවධානයක් යොමු කරන්නේ ඒ නිසා” යි විජේසිරිවර්ධන කීවේ ය. එක්සත් ජනපද ඉතිහාසයේ පලමු වරට, ෆැසිස්ට් ජනාධිපතිවරයෙකු තේරී පත් වී ඇති අතර, එම සිද්ධිය එක්සත් ජනපදයේ සසප හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විස්තර කර ඇත්තේ දේශපාලන භූමිකම්පාවක් ලෙස යි.

ලංකාවේ මැතිවරන වෙත අවධානය යොමු කල විජේසිරිවර්ධන, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු දිසානායක “ශක්තිමත් ආන්ඩුවක්” සඳහා කල කැඳවුම ගැන කතා කලේ ය. දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් ජවිපෙ/ජාජබ ආන්ඩුව “මාක්ස්වාදී,” “සමාජවාදී” හෝ “වමට යොමුවුනු” ආන්ඩුවක් ලෙස ඉදිරියට දැමීම ප්‍රතික්ෂේප කරමින්, විජේසිරිවර්ධන දිසානායකගේ පක්ෂයෙහි දක්ෂිනාංශික, අධිරාජ්‍ය-ගැති හා සිංහල ස්වෝත්තමවාදී ස්වභාවය විමර්ශනය කලේ ය.

1960 ගනන් අග, මාඕවාදයේ, ගුවේරාවාදයේ හා සිංහල ජනතාවාදයේ සාරසංග්‍රහවාදී මිශ්‍රනයක් මත පදනම් ව, සුලු-ධනේශ්වර සංවිධානයක් ලෙස ජවිපෙහි ඉස්මතු වීම ද 1988-89 සමයේ සිංහල-බෞද්ධ අධිපතිවාදයේ රේඛා ඔස්සේ එහි පසුකාලීන පිරිහීම ගැන ද 1990 ගනන්වල දී එය ධනපති දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් ලෙස පරිවර්තනය වීම ගැන ද විජේසිරිවර්ධන කෙටියෙන් විමර්ශනය කලේ ය.

රැස්වීමේ ඊලඟ කථිකයා වූ, එක්සත් ජනපදයේ සසප උපජනාධිපති අපේක්ෂක ජෙරී වයිට්, එක්සත් ජනපද මැතිවරනයේ දේශපාලන පාඩම් විග්‍රහ කලේ ය.

“නොවැම්බර් 5දා එක්සත් ජනපදයේ පැවති මැතිවරනය සැබවින් ම දේශපාලන භූමිකම්පාවක්. වසර හතරකට පෙර, එනම් 2020 මැතිවරන පරාජයෙන් පසු ව, එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව පෙරලා දමමින්, බලයේ දිගට ම රැඳී සිටීම සඳහා උත්සාහ දැරූ ෆැසිස්ට්වාදියෙක් මහජන ඡන්දය හා මැතිවරන විද්‍යාලය යන දෙක ම ජයග්‍රහනය කලා” යැයි වයිට් පැවසීය.

රිපබ්ලිකන් පක්ෂයේ ට්‍රම්ප්ගේ සම-කුමන්ත්‍රනකරුවන් ද එක්සත් ජනපද සෙනෙට් සභාවේ පාලනය ජයග්‍රහනය කලේ ය. මෙහි අර්ථය වන්නේ, ජනවාරි 20දා ට්‍රම්ප් ධූරයේ දිවුරුම් දෙන විට, ජනාධිපති ධූරය, කොංග්‍රසය සහ සෙනෙට් සභාව, ශ්‍රේෂ්ඨාධිකරනය යන මධ්‍යම ආන්ඩුවේ සියලු මට්ටම්වල පාලනය දරන්නේ රිපබ්ලිකානුවන් බව යි.

එක්සත් ජනපදයේ සසප උපජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් 2024 දෙසැම්බර් 7දා කොලඹ රැස්වීම අමතමින්

සසප විස්තර කර ඇති ලෙස, ට්‍රම්ප්ට ඡන්දය දුන් මිලියන 77ක් වන ජනයාගේ අතිමහත් බහුතරය ෆැසිස්ට්වාදීන් නො වන අතර, ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ ඔහුගේ සැලසුම්වලට සහයෝගය නො දක්වති. ට්‍රම්ප්ගේ මහා පරිමාන පිටුවහල් සැලසුම්වලට මුහුන දෙනු වෙනුවට, සංක්‍රමනිකයන්ට පුරවැසි භාවය ලැබීමේ මාවතක් තිබිය යුතු බව විශ්වාස කරන බව ඡන්දය දී පිටවන විශාල බහුතරයන්, කියා සිටියහ.

ට්‍රම්ප් මැතිවරනය ජයග්‍රහනය කලේ කෙසේදැයි විස්තර කරමින්, වයිට් මෙසේ කීවේ ය: “කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් මත යෝධ ප්‍රහාරයක් එල්ල කිරීම සහ ගෝලීය ආධිපත්‍යය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයෙහි යුද්ධයන් විස්තාරනය කිරීම පසුගිය වසර හතර තිස්සේ අධීක්ෂනය කර ඇති ඩිමොක්‍රටික් පක්ෂය මහජනයා විසින් ප්‍රතික්ෂේප කිරීමක් ලෙස ඡන්දය පැවතුනා. එක්සත් ජනපද පිටුබලය ලබන ඊස්රායල ජනසංහාරය, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ කුලීකාර යුද්ධය සහ එක්සත් ජනපද මිලිටරිය ‘මහා යුද්ධය’ ලෙස හඳුන්වන චීනයට එරෙහි යුද්ධය සඳහා කරන සැලසුම් මෙයට ඇතුලත් වෙනවා.”

ට්‍රම්ප්ට වාසි සහගත ලෙස පැවතුනු ඡන්දය දීමේ ආකාරයන් හි වැටිසනක් ද වයිට් විසින් ඉදිරිපත් කෙරුනේ, ට්‍රම්ප්ගේ තේරී පත්වීම කම්කරුවන් හා තරුනයන් දකුනට යාමේ මහජන ව්‍යාපාරයක් අර්ථවත් නො කල බව පෙන්නුම් කරන අතර ය.

“ධනපති-ගැති හා ජාතිකවාදී වෘත්තීය සමිති නිලධරයට එරෙහි කැරැල්ලක රූපය වඩ වඩා අත්පත් කරගෙන ඇති කම්කරු සටන්කාමීත්වයේ හා වැඩ වර්ජනවල නැගෙන රැල්ලක් මැතිවරනයට පෙර වසර ගනනාව තුල දැකගෙන තිබෙනවා. අනන්‍යතා දේශපාලනය දිරිමත් කිරීමටත්, කම්කරු පන්තිය ඩිමොක්‍රටික් පක්ෂයට යටත් කිරීමටත්, 'ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියෝ' හා අනෙකුත් ව්‍යාජ-වාම සංවිධාන දරන ප්‍රයත්නයන් විසින්, ට්‍රම්ප් දෙවන වරට ජනාධිපතිධූරයට පත්වීමේ විනාශය නිෂ්පන්න කෙරී තිබෙනවා” යැයි වයිට් කීවේ ය.

වයිට්ගේ කතාව ශ්‍රාවකය වෙතින් උද්‍යෝගීමත් ප්‍රශ්න පැනනැංවී ය. එක් අයෙක්ට අවශ්‍ය වූයේ, විවෘතවම ෆැසිස්ට්වාදියෙකු වන අපේක්ෂකයෙක් ඇමරිකාවේ කම්කරුවන් හා තරුනයන්ගෙන් ඡන්ද දිනා ගැනීමට සමත් වූයේ කෙසේදැයි දැන ගැනීමට යි.

ඇමරිකාවේ ප්‍රතිගාමී ද්වි-පක්ෂ ක්‍රමය විමර්ශනය කරමින් මෙයට පිලිතුරු දුන් වයිට්, ට්‍රම්ප්ට ඡන්දය දුන් කම්කරුවන් හා තරුනයන් එසේ කලේ, ඔහුගේ ෆැසිස්ට් න්‍යාය පත්‍රය සමග එකඟ වූ නිසා නො ව, ඩිමොක්‍රටික් පක්ෂය කෙරෙහි ගැඹුරට ගිය කෝපය හා අතෘප්තිය ප්‍රකාශ කිරීමට බව පැහැදිලි කලේ ය.

“එක්සත් ජනපදය තුල සමාජ ප්‍රතිසංස්කරන ගෙන එන පක්ෂය ලෙස සාම්ප්‍රදායික ව ඩිමොක්‍රටික් පක්ෂය සැලකී ඇතත්, එය එම භූමිකාව දශක ගනනාවකට පෙර අත්හැර දැමුවා. පසුගිය වසර හතර පුරා, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා සමාජ පදනම් මත එය එකකට පසු තවෙකක් වසයෙන් ප්‍රහාර එල්ල කලේ, රටින් පිටත අධිරාජ්‍යවාදී යුද්ධ පවත්වාගෙන යන අතරතුර” යැයි වයිට් කීවේ, මෙම තත්ත්වය එම ප්‍රහාරවල විරුද්ධවාදියෙකු ලෙස ප්‍රෝඩාකාරී ලෙස පෙනී සිටීමට ට්‍රම්ප්ට මාවත විවෘත කල බව ගෙනහැර දක්වමිනි.

එලඹෙන ට්‍රම්ප් පරිපාලනය සමාජ ප්‍රතිවිප්ලවයක් ක්‍රියාවට දමමින්, මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් විනාශ කරද්දී, එයට විරුද්ධ ව අනිවාර්යයෙන් පුපුරනසුලු අරගලවලට පිවිසෙනු ඇති කම්කරු පන්තියට නායකත්වය, ක්‍රියාමාර්ගය හා ඉදිරි දර්ශනය සම්පාදනය කිරීමේ ආරම්භකත්වය එක්සත් ජනපදයේ සසප විසින් ගෙන ඇති බව වයිට් සඳහන් කලේ ය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා එක්සත් ජනපදය තුල වැඩෙන කම්කරු-පන්තික අරගල ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමග එකමුතු කිරීමට සසප ගෙන යන සටන ගැන කථිකයා විස්තර කලේ ය.

ශ්‍රාවකයේ සිටි තවත් අයෙක් ධනපති ලාභ පද්ධතිය හා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයේ ගිලී සිටිය දී, එක්සත් ජනපදයේ යෝධ සංගත වාර්තාගත ලාභ ඉපයීමට සත් වූයේ කෙසේදැයි විමසී ය. ඩොලර් ට්‍රිලියන 36ක නය ලබා ගැනීමට ඇමරිකාව සමත් වූයේ කෙසේ ද? ඔවුන්ට එම මුදල් ලැබුනේ කොහින් ද?

එක්සත් ජනපදය තුලත් ලෝකය පුරාත් කම්කරු පන්තිය සුපිරි සූරාකෑමට යටත් කිරීම හරහා සංගත ලාභ යෝධ ලෙස වැඩිවූ බව වයිට් කීවේ ය. ඇමරිකාවේ නයවලින් අතිමහත් ප්‍රමානයක් චීනය දරන බව පෙන්නුම් කල ඔහු, එක්සත් ජනපදය එහි ආර්ථික පරිහානියේ පාඩුව, මිලිටරි සුපිරි බලය සහ ප්‍රතිමල්ලවයන්ට එරෙහි ව යුද්ධ දියත් කිරීමෙන් පිරිමසා ගැනීමට උත්සාහ දරමින් සිටින බව විස්තර කලේ ය.

මෙඩිකෙයා හා මෙඩිකේඩ් වැනි සමාජ වැඩසටහන් කපා හරින අතර ම, මිලියන ගනන් ජනයා මරනයට බිලිකරමින් සිටින එක්සත් ජනපදයේ පාලක පන්තිය, සංගතවලට හා කතිපයාධිකාරයට බදු සහන ප්‍රදානය කරමින් සිටින බව ඔහු තව දුරටත් සඳහන් කලේ ය.

මෙම පිලිවෙත් ඇමරිකානු කම්කරු පන්තියේ අරගලවල පුපුරා යාමකට තුඩු දෙමින් තිබෙන බව වයිට් කීවේ ය. ධනපති ක්‍රමයේ ගැඹුරු වන අර්බුදය ප්‍රගතිශීලී පදනමකින් විසඳිය හැක්කේ කම්කරු පන්තිය විසින් ලාභ පද්ධතිය පෙරලා දැමීම හරහා පමනක් බව ඔහු පැහැදිලි කලේ ය.

රැස්වීමේ අවසන් කථිකයා වූ ශ්‍රී ලංකාවේ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර “ලංකාව තුල දේශපාලන තත්ත්වය අවබෝධය කරගත හැක්කේ ලෝක සන්දර්භය තුල තැබීමෙන් පමනයි. ජවිපෙ/ජාජබ තේරී පත්වීම අපි දැකගන්නේ, මේ කුඩා දිවයිනට සීමා වූ හුදකලා සිද්ධියක් ලෙස නො ව, ගෝලීය දේශපාලන වර්ධනයන් ප්‍රකාශයට පත්වීමක් ලෙස” යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර 2024 දෙසැම්බර් 7දා කොලඹ රැස්වීම අමතමින්

සාම්ප්‍රදායික පක්ෂ බිඳවැටෙද්දී හා අනුප්‍රාප්තික ආන්ඩු විසින් මහජනයාගේ සමාජ තත්ත්වයන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහි ව මහජන විරුද්ධත්වය වැඩෙද්දී, ධනේශ්වර පාලනයට මුක්කුව දීම සඳහා දක්ෂිනාංශික ප්‍රජාගනවාදී හා ෆැසිස්ට්වාදී සංවිධානවල සේවය ගෝලීය ව පාලක පන්තිය විසින් සොයමින් සිටින බව ජයසේකර කීවේ ය.

“ජවිපෙ/ජාජබ ජනාධිපතිවරනයෙන් හා තවත් වැඩි ඡන්ද සහිත ව මහ මැතිවරනයෙන් ජයග්‍රහනය කිරීම, ජවිපෙහි දක්ෂිනාංශික අධිරාජ්‍ය-ගැති සිංහල ස්වෝත්තමවාදී පිලිවෙත්වලට මහජන සහයෝගයක් පවතින බව අඟවන්නේ නැහැ. කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන් මිලියන ගනනින් ජවිපෙ/ජාජබට ඡන්දය දුන්නේ, මෙම නව ආන්ඩුව මුලුමනින් ම ක්‍රියාවට දැමීමට කැප වී සිටින රුදුරු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට ඔවුන් සහයෝගය හා අනුමැතිය දෙන නිසා නො වේ” යැයි ජයසේකර සඳහන් කලේ ය.

සාම්ප්‍රදායික පක්ෂවලට ද ඒවා මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එල්ල කල ප්‍රහාරවලට ද එරෙහි ව වැඩෙන මහජන කෝපය ජවිපෙ/ජාජබ විසින් ගසා කෑ බව කථිකයා පෙන්වා දුන්නේ ය. මෙම පක්ෂවලට කිසිදු මහජන සහයෝගයක් නැති කොන්දේසි යටතේ, ලංකාවේ පාලක පන්තියෙහි සැලකිය යුතු කොටස් හා අධිරාජ්‍යවාදී බලයන්, ධනේශ්වර පාලනය පවත්වාගෙන යාමේත්, ජාමූඅ කප්පාදුව ක්‍රියාවට දැමීමේත්, එක්සත් ජනපදය හා ප්‍රධාන වසයෙන් ඉන්දියාව ඇතුලු එහි සගයන්ගේ භූ-දේශපාලනික න්‍යාය පත්‍රය සමග දිවයින යලි කාන්ඩ ගැස්සීමේත් එක ම මාධ්‍යය ලෙස ජවිපෙ/ජාජබ දැක ගනිමින් එයට සහයෝගය දුන් හ.

ජවිපෙ/ජාජබ ආන්ඩුව “ප්‍රගතිශීලී” යයි ප්‍රවර්ධනය කරන්නා වූත්, වමෙන් එන පීඩනයට එය යටත්වනසුලු බව කියාපාන්නා වූත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන විසින් ඉටු කෙරෙමින් පවතින දේශපාලන භූමිකාව, ජයසේකර විසින් විස්තර කලේ ය.

ඊනියා ජන අරගල සන්ධානය (පීඑස්ඒ) යන්න යටතේ කරගෙන ගිය පෙසප මැතිවරන උද්ඝෝෂනයෙහි සටන් පාඨය වූයේ “විපක්ෂය වෙනස් කරනු” හෙවත්, මහජන ප්‍රතිලාභය පිනිස ආන්ඩුවෙහි පිලිවෙත් වෙනස් කිරීමට පීඩනය යොදන පෙසපට ඡන්දය දෙන ලෙස යි. මෙය අනතුරුදායක මිථ්‍යාවකි.

“පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භ කරමින් ජනාධිපති දිසානායක ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී, රුදුරු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් මුලුමනින් ක්‍රියාවට දමන බවට ඔහු පැහැදිලි ව නිවේදනය කලා” යි ජයසේකර පැහැදිලි කලේ ය. “රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ජාමූඅ සමග අත්සන් කල එකඟතාව කිසි ලෙසකින් වත් වෙනස් කරන්නේ නැහැ. කප්පාදු වැඩපිලිවෙලේ වඩා ප්‍රහාරක‌ කොන්දේසි වෙනස් කිරීම සඳහා ජාමූඅ සමග යලි සාකච්ඡා කරන බවට එය කල කියාපෑම් මහජනයා රැවටීමට කියූ බොරු පමනයි.”

මෙම තත්ත්වය තුල කම්කරු පන්තියට අවශ්‍ය කරන විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගය, කම්කරුවන් වෙතට ගෙන ඒම සඳහා ජනාධිපතිවරනයේ දී හා පාර්ලිමේන්තු මැතිවරනයේ දී සසප උද්ඝෝෂනය කල බව සඳහන් කරමින් ජයසේකර සිය කතාව සමාප්තියකට ගෙන ආවේ ය. ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි පක්ෂයේ විරෝධය ද කම්කරුවන්ගේ හා තරුනයන්ගේ වඩාත් ම අභිවර්ධිත කොටසක් පක්ෂයට බඳවාගෙන සංවිධානය කිරීමේත් නුදුරේ දී ම පුපුරා යන අරගලවලට අවශ්‍ය ක්‍රියාමාර්ගික, උපායාත්මක හා සංවිධානාත්මක නායකත්වය වර්ධනය කිරීමේත් සටන ද පදනම් කරනු ඇත්තේ එම ක්‍රියාමාර්ගය ම මත යයි ඔහු කීවේ ය.

Loading