ශ්‍රී ලංකාවේ ආන්ඩුව ම්ලේච්ඡ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ජාමූඅ සමග එකඟ වේ

[මෙය Sri Lankan government agrees with IMF to implement savage austerity measures යන මැයෙන් 2024 නොවැම්බර් 25 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 3 ක ඇප නය වැඩසටහන යටතේ, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ)/ජාතික ජන බලවේගයේ (ජාජබ) නව ආන්ඩුව සමඟ කාර්ය මන්ඩල මට්ටමේ ගිවිසුමකට එලැඹ ඇති බවත්, එහි 'විශිෂ්ට සහයෝගීතාවය' වෙනුවෙන් ස්තූතිවන්ත වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නොවැම්බර් 23 දා නිවේදනය කලේය.

ගිවිසුම ප්‍රකාශයට පත් කෙරුනේ, කොන්දේසි 'යලි සාකච්ඡා කිරීම' සඳහා වූ තම පෙර පොරොන්දුව ඉවත දමමින්, ජාමූඅ ඉල්ලීම් සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව කැපවී සිටින බව, ජනාධිපති අනුර දිසානායක, නොවැම්බර් 21 දා සිය ප්‍රතිපත්ති දේශනය තුල දී පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමෙන් දින දෙකකට පසුව ය.

ශ්‍රී ලංකාවේ “අර්බුදයේ පරිමානය නිසා, කුඩාම වරදක් පවා සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති කල හැකි...' බවත්, එහෙයින් 'වැරදි සඳහා ඉඩක් නැති” බවත් දිසානායක පාර්ලිමේන්තුවට පැවසීය.

2024 නොවැම්බර් 23, සෙනසුරාදා, ශ්‍රී ලංකාවේ කොලඹදී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වීමට පැමිනි, ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර්. [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කන්ඩායම නොවැම්බර් 17 සිට සතියක් පුරා ජනාධිපතිවරයා, අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

නව ආන්ඩුවේ ජනවරම, ප්‍රතිසංස්කරන පුනර්ජීවනය කර ව්‍යාපාරික විශ්වාසය නැවත ගොඩනඟනු ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව, බෘෘවර් තවදුරටත් මෙසේ පැවසීය: 'කනගාටුවට කරුනක් නම්, ආන්ඩුව වෙනස් වුවද ශ්‍රී ලංකාවේ අභියෝග අඩු වී නැත.' කප්පාදු පියවරයන් සමඟ ඉදිරියට යාමට එයට සිදු වී තිබේ.

ජාමූඅ දඬුවම්කාරී කොන්දේසිවලට එකඟව, “ජාමූඅ කලමනාකාරීත්වයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මන්ඩලයේ අනුමැතියට යටත්ව” ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333 ක පමන මූල්‍යකරනයකට ප්‍රවේශය ලැබෙනු ඇත. “2025 දී වැඩසටහන් අරමුනුවලට අනුකූල අයවැයක් ඉදිරිපත් කිරීම” සහ නය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන “ප්‍රමානවත් ප්‍රගතියක්” මත ජාමූඅ හි අනුමැතිය රඳා පවතී.

ලබන වසරේ අයවැය, පෙබරවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, මාර්තු මාසයේ දී එයට අනුමැතිය අපේක්ෂා කරන බවත්, මුදල් අමාත්‍යවරයා ද වන දිසානායක ප්‍රකාශ කර ඇත.

ජාමූඅ ඉල්ලා සිටින්නේ, 2025 අයවැය මගින් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක ප්‍රාථමික අතිරික්තයක්—එනම්, පසුගිය වසරේ අතිරික්තය වූ සියයට 0.6 මෙන් හතර ගුනයක් අත්කර ගත යුතු බවයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, වැඩකරන ජනතාවගේ සමාජ තත්වයන්ට ඊටත් වඩා ගැඹුරු ප්‍රහාරයක් එල්ල කිරීමට ආන්ඩුවට සිදුවනු ඇත.

දිසානායක විසින් නිකුත් කරන ලද, “මැතිවරනයට පෙර අයවැය තත්වය පිලිබඳ වාර්තාවකට” අනුව, ආන්ඩුවේ ආදායම, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මේ වසරේ මුල් මාස අට තුල දැනටමත් සියයට 41 කින් ඉහල ගොස් ඇත—එනම්, රුපියල් බිලියන 2,557 දක්වා ලඟා වී තිබේ. ප්‍රධාන වශයෙන් කම්කරුවන් හා දුප්පතුන් විසින් උර දී ඇති මෙම වැඩිවීම, සියයට 41 කින් සහ රුපියල් බිලියන 2,348 කින් ඉහල ගොස් ඇති අති විශාල බදු එකතුවකි.

අනෙකුත් ප්‍රධාන යෝජනා අතරට කම්කරුවන් මත තවදුරටත් බදු වැඩිකිරීම්, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් සඳහා ගැඹුරු කප්පාදු සහ අවම වශයෙන් රාජ්‍ය අංශයේ රැකියා 500,000 ක් අතුගා දැමීමට හේතු විය හැකි රාජ්‍ය ව්‍යවසායන්ගේ (රාව්‍ය) විස්තීර්න ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුද්ගලීකරනය ඇතුලත් වේ. රාජ්‍ය අංශයේ දැනට මිලියන 1.4 ක පිරිසක් සේවය කරති.

මේ සියල්ල සිදු කරනු ලබන්නේ “නය තිරසාරභාවය” ස්ථාපිත කිරීමේ නාමයෙනි—එනම්, පසුගිය ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව 2022 අප්‍රේල් මාසයේදී නය පැහැර හැරීමෙන් පසු, නය ආපසු ගෙවීම නැවත ආරම්භ කිරීමට කොන්දේසි නිර්මානය කිරීමයි. 2028 සිට ශ්‍රී ලංකා ආන්ඩුව, ජාත්‍යන්තර නයදෙන මෝරුන්ට වාර්ෂිකව ඩොලර් බිලියන 5 බැගින් ගෙවීම නැවත ආරම්භ කල යුතුය.

නය ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ ජාමූඅ ඉල්ලීම් වලට තම ආන්ඩුව ඉක්මනින් ඇදවැටී ඇති බව දිසානායක පාර්ලිමේන්තුවේ සමාරම්භක කතාවේදී පැහැදිලි කලේය. සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත්—පසුගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව සම්බන්ධයෙන් තමා විසින් කරන ලද විවේචන මුලුමනින් පාහේ නිෂ්ප්‍රභ කරමින්—සැලැස්ම “හොඳද නරකද” යන්න “විවාද නොකර” තම ආන්ඩුව ද්විපාර්ශ්වික නය සම්බන්ධයෙන් පොදු අවබෝධයකට එලඹෙන බවත් ඔහු පැවසීය.

උපයන විට (ගෙවන) බදු සහ විදුලි ගාස්තු අඩු කිරීම ඇතුලු අනෙකුත් මැතිවරන පොරොන්දු ද ඉවත දමා ඇත. එහි මුල්‍ය තත්වය පවත්වා ගැනීමට නම්, “නව බදු නිදහස් කිරීම්” මගහැර, “ඉන්ධන සහ විදුලි මිලකරනයේ දී පිරිවැය අයකර ගැනීම සහ ගෙවීමට නියමිත නය නිරාකරනය කර ගැනීම” සහතික කල යුතු බව ජාමූඅ ආන්ඩුවට පැහැදිලි කලේය.

කලින් පැවති වික්‍රමසිංහ ආන්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද, 2025 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අප්‍රමානවත් වැටුප් වැඩිවීමක් දිසානායක විසින් දැනටමත් නවතා ඇත.

අඩු ආදායම්ලාභීන් සඳහා ඉහල පුද්ගලික ආදායම් බදු සහන ලබා දෙමින්, ඇතැම් අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා සඳහා එකතු කල අගය මත බද්ද ඉවත් කරන බවට දිසානායක පාර්ලිමේන්තු මැතිවරනයට පෙරාතුව පොරොන්දු විය. මේ සියල්ල බොරු බව ඔප්පු වී ඇත.

අන්ත දුප්පතුන් සඳහා සොච්චම් ‘අස්වැසුම’ දීමනා ලබා දීමට පවා අවශ්‍ය, මූල්‍ය ඉලක්ක සපුරාලීම සඳහා “වැඩි උත්සාහයක්” ගන්නා ලෙස, එනම්, බදු සහ වෙනත් මාර්ග හරහා කම්කරුවන්ගෙන් වැඩි ආදායමක් ගරා ගන්නා ලෙස ජාමූඅ ආන්ඩුවෙන් ඉල්ලා ඇත.

පනවා ඇති කප්පාදු පියවරවල බලපෑම දැනටමත් දැඩි වී ඇත. ජනගහනයෙන් හතරෙන් එකකටත් වැඩි ප්‍රමානයක් දරිද්‍රතාවයේ ජීවත් වන අතර ලමුන් අතර මන්දපෝෂනය ලෝකයේ ඉහලම අගයන් ගනී. මූර්ත වැටුප් හා ආදායම් අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ජනගහනයෙන් සියයට 60 කට වැඩි පිරිසකට තම ආහාර ගැනීම වෙනස් කිරීමට සිදුවී ඇත.

ඔක්තෝබර් 10 වන දින නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිලිබඳ ලෝක බැංකුවේ යාවත්කාලීනයක් ප්‍රකාශ කලේ, 2024 දී “ආහාර අනාරක්ෂිතභාවය ඉහල මට්ටමක පවතින අතර දරිද්‍රතාවය දෙගුනයකට ආසන්න අගයක් දක්වා ඉහල ගොස්” ඇති බවත්, එය 2026 දක්වා පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශය අපැහැදිලි ලෙස පවසා ඇත්තේ, “අඛන්ඩව පවතින ගෝලීය අවිනිශ්චිතතාවයට” එරෙහිව “ශක්තිමත් සංචිත සමුච්චය කිරීම හරහා බාහිර අවරෝධකයන් (external buffers) නැවත ගොඩ නැගීමේ” ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම පිලිබඳව ය. යථාර්ථයේ දී, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වනාහි, හුදෙක්, කෝවිඩ්-19 වසංගතයෙන්, එක්සත් ජනපදය විසින් යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව සහ මැද පෙරදිගට එරෙහිව සිදු කරන ලද යුද්ධයන්ගෙන් අවුලුවන ලද ධනවාදයේ ගෝලීය අර්බුදයේ තීව්‍ර ප්‍රකාශනයකි.

සමහන් වනවා වෙනුවට, ගෝලීය අර්බුදය නරක අතට හැරෙමින් පවතී; එනම්, ශ්‍රී ලංකාව වැනි රටවල්, කප්පාදු සඳහා නිමක් නැති ඉල්ලීම් මාලාවන්ට පමනක් මුහුන දෙනු ඇත. ජාත්‍යන්තරව “අඩු වර්ධනයක සහ ඉහල නයක සමාවක් නැති සංකලනයක්— එනම්, දුෂ්කර අනාගතයක්” පවතින බව ජාමූඅ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා, ඔක්තෝබර් මාසයේදී ඇගේ වාර්තාව තුල, පෙන්වා දුන්නාය.

ජනාධිපති දිසානායක, පසුගිය සතියේ ඔහුගේ පාර්ලිමේන්තු දේශනයේදී ඇඟවුම් කර ඇති පරිදි, ඕනෑම ව්‍යවස්ථාමය සහ නීතිමය සීමාවක් අභිබවා යමින්, ජාමූඅ දැඩි පියවර පාර්ලිමේන්තුව හරහා බලයෙන් සම්මත කර ගැනීමට, ආන්ඩුවේ තුනෙන් දෙකක බහුතරය භාවිතා කරනු ඇත.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් ක්‍රියාවට නැංවීම වැඩකරන ජනතාවගෙන් පුලුල්ව පැතිරුනු විරෝධයක් අවුලුවාලන බව ජනාධිපතිවරයා හොඳින් දනී; බොහෝ දෙනෙක් ජවිපෙ/ජාජබ ට ඡන්දය දුන්නේ, එය ඔවුන්ගේ ඉරනම නරක අතට නොහරවන බවටත්, යහපත් කරවනු ඇති බවටත් විශ්වාස කරගෙන ය. විරෝධතා සහ වැඩ වර්ජනවලට එරෙහිව පොලිස් රාජ්‍ය පියවරයන් භාවිතා කිරීමට ආන්ඩුව පසුබට නොවනු ඇත.

තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව දිසානායක ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට මුහුන දීමට කම්කරු පන්තිය දේශපාලනිකව හා සංවිධානාත්මකව සූදානම් විය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සියලු ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව සෑම කම්හලකම, වැඩබිමක, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයකම තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ග්‍රාමීය දුප්පතුන් ද ඔවුන්ගේ ප්‍රජාවන් තුල එවැනිම කමිටු පිහිටුවිය යුතුය.

වැඩකරන ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා මූලෝපායක් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමේ මාධ්‍යයක් ලෙස, මෙම ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගත් නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප උද්ඝෝෂනය කරයි.

සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ග්‍රාමීය දුගීන් සමග ඒකාබද්ධ වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට, විදේශ නය ප්‍රතික්ෂේප කරමින්, බැංකු සහ ප්‍රධාන සංගත ජනසතු කිරීමේ අරගලය ගෙන යන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading