විජේ ඩයස් සහෝදරයා වෙනුවෙන් ඩේවිඩ් නෝර්ත්ගේ උපහාරය

[මෙය David North’s tribute to Wije Dias මැයෙන්, 2022 ජූනි 30 පල කෙරුනි.]

පහත දැක්වෙන්නේ ජූලි 30 සෙනසුරාදා කොලඹදී පැවති, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති විජේ ඩයස්ගේ අවමංගල්‍යයේදී, සසප (එක්සත් ජනපදය) සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කල උපහාරයයි. ඩයස් සහෝදරයා ජූලි 27දා ඔහුගේ 81 වැනි උපන්දිනයට මාසයක් තිබියදී තම නිවසේදී හදිසි හෘදයාබාධයකින් මිය ගියේය. අවමංගල්‍යයේ වාර්තාවක් මෙතැනින් කියවිය හැක.

ඩේවිඩ් නෝර්ත්

ආදරනීය සහෝදරවරුනි,

විජේ සහෝදරයා අවසන් ගමන් යන අද දවසේ මට ඔබ සමග මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වීම ගැන මම කනගාටු වෙනවා. කායික දුරස්ථ බව අද අප අත්දකින වියෝ දුක අඩු කරන්නේ නෑ වගේ ම එය ජාත්‍යන්තර කමිටුවේ ලෝකය පුරා සාමාජිකයන්ට විජේ සහෝදරයා වසර 35ක් පුරා, එනම් සියවසකින් තුනෙන් එකක කාලයක් පුරාවට නායකත්වය දුන් ශ්‍රී ලංකාවේ ශාඛාව සමග පවතින සහෝදරත්වයේ බලගතු බැඳීම හීන කරන්නේ ද නෑ.

අද දින විජේ සහෝදරයාට සමු දීමට මෙහි රැස් ව සිටින ඔබ සියලු දෙනා තමන් සිටින්නේ ඉතිහාසයක් ඉදිරියේ බවට දැනුවත්. වසර හැටක් පුරා විජේ ඩයස් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමේ අරගලය තුල දැවැන්ත කාර්යභාරයක් ඉටුකල බව නිසැකයෙන් ම ප්‍රකාශ කල හැකියි. විජේගේ චරිතාපදානය ලියන්නේ නම් නිසැකයෙන් ම එය සමස්ත අද්‍යතන ශ්‍රී ලංකා ඉතිහාසය ම අඩංගු කර ගනු ඇත. ලංකා සම සමාජ පක්ෂය තමන් පිහිටුවනු ලැබූ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී මූලධර්ම පාවා දී බන්ඩාරනායකගේ ධනේශ්වර සභාග ආන්ඩුවට ඇතුලු වද්දී විජේට වයස අවුරුදු 22ක් වුනා. ඔහුගේ ජීවිතයේ ඉතුරු අවුරුදු 58 ම ඔහු කැප කලේ මේ පාවා දීමේ ඛේදජනක විපාක ජය ගැනීමටත් අව්‍යාජ විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදයේ අධිකාරිය කම්කරු පන්තිය තුල යලි තහවුරු කිරීමටත්.

විජේ ඇතුලු දීප්තිමත් තරුන ට්‍රොට්ස්කිවාදීන්ගේ කේඩරයක් කීර්ති බාලසූරියගේ නායකත්වයෙන් මෙහෙයවනු ලැබ 1968 දී සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවා ගත්තා. ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීමට විකොසට මුහුන දීමට සිදු වුනේ වරක් ට්‍රොට්ස්කි “ප්‍රවාහයට එරෙහි ව උඩු ගං බලා පීනිමක්” ලෙස හැඳින් වූ දෙයෙහි නිරත වීමටයි. එහෙත් විජේ, කීර්ති, රත්නායක සහ සෙසු සහෝදරවරු මේ කටයුත්තේ නිරත වුනේ ඓතිහාසික සත්‍යයේ බලගතු බවත්, හතර වැනි ජාත්‍යන්තරයේ ඉදිරිදර්ශනයේ සහ ක්‍රියාමාර්ගයේ නිරවද්‍ය බවත් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ගැනත් නොසැලෙන විශ්වාසයකින්.

විජේ අසාමාන්‍ය ලෙස නිහතමානී පුද්ගලයෙක්. මට සිහියට නංවා ගත හැකි ආකාරයට ඔහු කිසි දිනක පක්ෂ නායකත්වය උදෙසා තම දායකත්වයන් ඉස්මතු කලේ නෑ. නමුත් කීර්ති සහෝදරයාගේ අකල් මරනයෙන් විකොස කම්පනයට පත් වද්දී විජේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකත්වයේ වගකීම භාර ගත්තා. කොලඹ තන්ත්‍රය දෙමල ජනතාවට එරෙහි ව ලේ වැකි ප්‍රහාරයක් දියත් කර තිබූ පසුබිමකයි විජේ විකොස ප්‍රධාන ලේකම් තනතුර භාර ගත්තේ. කොලඹ ආන්ඩු සහ ජනතා විමුක්ති පෙරමුන ඔජවැඩූ සිංහල වර්ගවාදයට යටත් නොවූ විරෝධයක් ඔහුගේ නායකත්වය යටතේ විකොස/සසප ගෙන ගියේ එල්ටීටීඊ සංවිධානයේ සුලු ධනේශ්වර ජාතිකවාදයට මොන යම් ම හෝ දේශපාලන සහනයක් ලබා දීම ප්‍රතික්ෂේප කරමින්.

තම සමස්ත දේශපාලන ජීවිතය තුල ම පාහේ, විජේ සහෝදරයාට සටන් කිරීමට සිදු වුනේ ප්‍රතිගාමී බලවේග අනවරත ප්‍රහාරයකට එලඹී ගත්තා වූත් ලංකා සම සමාජ පක්ෂය, වෘත්තීය සමිති, සහ සෙසු අවස්ථාවාදී සංවිධාන විසින් පාවා දෙනු ලැබූ කම්කරු පන්තිය පසුබසිමින් සිටියාවූත් කොන්දේසි යටතේ යි.

සසප ජාතික සභාපති විජේ ඩයස් (ලෝසවෙඅ මාධ්‍ය)

එහෙත් තම ජීවිතයේ අවසන් මාසවල දී, කම්කරු පන්තිය යලි අරගලයට අවතීර්න වීම අත්දැකීමට විජේ සහෝදරයාට හැකි වුනා. පාලක පන්තියට එරෙහි ප්‍රහාරයකට යාමට ලැබුනු අවස්ථාව ඔහු උද්‍යෝගයෙන් භාර ගත්තා. හීන වන කායික ශක්තීන් පවතිද්දී ම විජේ ශේෂ ව පැවති තම සියලු ශක්තීන් ඒකාග්‍ර කොට ගත්තේ තම පෘථුල අත්දැකීම් මත පාදක ව, බලගතු ස්වයංසිද්ධ ව්‍යාපාරයට දේශපාලනය නායකත්වය සැපයීමටයි.

ජූලි 9 තරම් මෑතක දී, රාජපක්ෂ තන්ත්‍රයේ අර්බුදයට සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රතිචාරය සූත්‍රගත කිරීම සඳහා පැවැත් වුනු දේශපාලන කමිටු රැස්වීමකට විජේ සහෝදරයා සම්බන්ධ වුනා. ධනේශ්වර අන්තර්වාර පාලනයකට මොන යම් ම හෝ දේශපාලන සහයක් ලබා දීමට එරෙහි ව ඔහු බලගතු ලෙස අදහස් ඉදිරිපත් කලා. රාජ්‍ය බලය කම්කරු පන්තිය අතට ගැනීමට පක්ෂය කම්කරුවන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා කැඳවුම් කල යුතු බවට පක්ෂ ව අදහස් ඉදිරිපත් කලා.

දේශපාලන මන්ඩලය සමග සමීප ව වැඩ කරමින් විජේ තම ජීවිතයේ අවසන් දින කීපය කැප කලේ ප්‍රධාන ක්‍රියාමාර්ගික ලේඛනයක් කෙටුම්පත් කිරීමටයි. මේ ලේඛනය ජූලි 20 වැනි දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් පල කෙරුනා. සමාජවාදී සමානතා පක්ෂය අන්තර්වාර ආන්ඩුවකට මොන යම් හෝ සහයක් හෝ එවැන්නකට සහභාගී වීම හෝ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි දැයි පැහැදිලි කරමින් එම ලේඛනය ජීවිත කාලයක දේශපාලන අත්දැකීම් ගෙන හැර පෑවා.

අන්තර්-කාලීන ආන්ඩුවක් තැනීම පිලිබඳ සාකච්ඡාවන්ට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමේ දී, ට්‍රොට්ස්කිවාදයේ සාරභූත දේශපාලන මූලධර්ම ලංකා සම සමාජ පක්ෂය (ලසසප) විසින් 1964 දී විනාශකාරී ලෙස පාවාදීමේ කටුක දේශපාලන පාඩම් මත සසප මෙහෙයවුනි. ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, කම්කරු පන්තියේ බලගතු “ඉල්ලීම් 21” ව්‍යාපාරයට මුහුන දෙමින් සිටි ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා අගමැතිනි සිරිමා බන්ඩාරනායක, ධනේශ්වර පාලනයට මුක්කුව ලබාගැනීම පිනිස, ලසසප නායකයන් වෙත හැරුනි. බන්ඩාරනායකගේ ධනේශ්වර “සිංහල පලමුව” ආන්ඩුවට ලසසපයේ ඇතුලු වීම සලකුනු කලේ හුදෙක් “ඉල්ලීම් 21” ව්‍යාපාරයෙහි අවසානය පමනක් නො වේ. මහජනතාව දිරිසුන් කරමින්, පන්ති අරගලයට ඉහලින් ජනවාර්ගික-භාෂාමය ගැටුම දිරිමත් කල එය, ප්‍රතිගාමී වාර්ගික දේශපාලනයට හා දශක ගනනක සිවිල් යුද්ධයට මාවත පාදා දුන්නේ ය.

සසප, ලසසපයේ පාවාදීමේ මාවතෙහි කිසිදිනක ගොස් නැති අතර, යන්නේ ද නැත. ධනපති ආන්ඩුවලට ලබා දෙන සියලු ඍජු හා වක්‍ර සහයෝගයන් අපි ප්‍රතික්ෂේප කරමු. කම්කරුවන්ගේ බලය සඳහා වන අරගලයෙහි කුලුනු වන සමාජවාදී ජාත්‍යන්තරවාදය හා පංති ස්වාධීනත්වයේ දේශපාලනය ලසසපය විසින් ප්‍රතික්ෂේප කිරීමට ඍජු ලෙස ප්‍රතිවිරුද්ධ ව, සසප පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය 1968 දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස පිහිටුවනු ලැබී ය.

මරනයට පත් වීමට සතියකට මත්තෙන් විජේගේ නායකත්වය යටතේ නිකුත් කෙරුනු මේ පක්ෂ ප්‍රකාශය මෙසේ අවසන් කෙරුනා.

මානව වර්ගයාට සමාජවාදී අනාගතයක් උදා කරදීම සඳහා වන ඒකාබද්ධ අරගලයකට එක් වන ලෙස ඉන්දියාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්ට අපි විශේෂ ආයාචනයක් නිකුත් කරමු. ශ්‍රී ලංකාවේ සටන්කාමී කම්කරුවන්ට හා තරුනයන්ට අපි කැඳවුම් කරන්නේ, සසපට බැඳී, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා වන විප්ලවවාදී අරගලය තුල ඔබගේ ස්ථානය තහවුරු කරගන්නා ලෙස යි.

“සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා වන විප්ලවවාදී අරගලය” උදෙසා බලගතු කැඳවුමක් කරමින් විජේ සහෝදරයාට තම දිගු දිවි ගමනට සමු දීම ඔහුගේ ජීවිතයට උචිත ම සමාප්තියක්.

විජේ සහෝදරයා තම තරුන දිවියේ පරමාදර්ශයන් හීන නොවූ අධිෂ්ඨානයකින් තම වැඩිහිටි වියේදීත් දරා ගෙන මිය ගියේ අරගලයක් මැදයි. ධෛර්යසම්පන්න බව, මූලධර්මවලට කැපවීම, සමාජවාදයට කැපවීම ආදි ඔහුගේ උරුමය මානව වර්ගයාගේ ඉරනම විසඳාලන මහ පන්ති අරගලවලදී කම්කරු පන්තියට අනුප්‍රානයක් වෙනවා ඇත.

විජේ ඩයස් සහෝදරයා පිලිබඳ මතකය දිගුකල් දිනේවා!

සමාජවාදී සමානතා පක්ෂය දිගුකල් දිනේවා!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දිගුකල් දිනේවා!

ඩේවිඩ් නෝර්ත්

Loading