ඉදිරිදර්ශන

සර්ව-පාක්ෂික පාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කරනු! ජාමූඅ කප්පාදු එපා! කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ගොඩනැගීමට සටන් කරනු!

[මෙය Reject all-party regime! No to IMF austerity! Fight to build Democratic and Socialist Congress of Workers and Rural Masses! මැයෙන් 2022 අගෝස්තු 8 පල වූ සසප ප්‍රකාශයේ පරිවර්තනයයි.]

පසුගිය සතියේ දී, සර්ව-පාක්ෂික ආන්ඩුවකට එක් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල ආයාචනයෙහි ඉලක්කය වන්නේ, ජාමූඅ රුදුරු කප්පාදු වැඩසටහන පටවන සහ කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව පූර්න පරිමාන පන්ති යුද්ධයක් දියත් කරන ධනපති පාලන තන්ත්‍රයක් ශක්තිමත් කරගැනීම බව, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවයි.

ඕනෑ ම සර්ව-පාක්ෂික හෝ අන්තර්-කාලීන ආන්ඩුවක් ක්‍රියා කරනු ඇත්තේ කම්කරු පන්තිය හා ගම්බද පීඩිතයන් තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රැක ගැනීමට කරන අරගලය මර්දනය කිරීමේ උපකරනයක් ලෙසය. අර්බුදයේ කිඳුනු පාලක පන්තිය එල්ලකරන අනවරත ප්‍රහාරයට එරෙහි ව, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ අවශ්‍යතා සඳහා සටන් වැදීමේ උපකරන ලෙස, ස්වාධීන ක්‍රියාකාරී කමිටු මත පදනම් වන ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් නොපමාව ගොඩනගන ලෙස සසප ඉල්ලා සිටියි.

රනිල් වික්‍රමසිංහ (මූලාශ්‍රය-එක්සත් ජාතික පක්ෂයේ මුහුනු පොත) [Photo: United National Party Facebook]

මහජන විරෝධතා මධ්‍යයේ, ජූලි 14දා රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, දැඩි එක්සත් ජනපද ගැත්තෙකු හා ජාමූඅ කප්පාදු පටවන්නෙකු වන වික්‍රමසිංහ වැඩකරන ජනාධිපති ලෙස පත්කලේ ය. ජූලි 20දා අපකීර්තිමත් පාර්ලිමේන්තුව තුල පවත්වන ලද ප්‍රජාතන්ත්‍ර-විරෝධී ඡන්දයකින්, ඔහු ජනාධිපති ධූරයෙහි පිහිටුවනු ලැබී ය. පසුගිය මාසයේ දී, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සඳහා මිලිටරිය මුදා හැරීමට, පක්ෂ හා සංවිධාන තහනම් කිරීමට, වැඩ වර්ජන තහනම් කිරීමට සහ මාධ්‍ය වාරනය කිරීමට තමන්ට අතට පුලුල් බලතල ලබාගනිමින්, විෂඝෝර හදිසි නීතිය පැනවීමට වික්‍රමසිංහ ක්‍රියා කලේ ය.

ජනාධිපති ලෙස වික්‍රමසිංහ ගත් එක් මුල් පියවරක් වුයේ, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා අවට කලාපයෙන් ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් ප්‍රචන්ඩත්වය යොදා ඉවත් කිරීමට, ජූලි 22දා මිලිටරියට නියෝග කිරීමයි. විරෝධතාවන්හි සහ වෘත්තීය සමිතිවල නායකයන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබීම තීව්‍ර කල පසුගිය සතියේ, මූලික ආර්ථික අංශවල වැඩ වර්ජන හා කාර්මික ක්‍රියා තහනම් කිරීමේ බලතල ලබාදෙන අත්‍යවශ්‍ය මහජන සේවා පනත බලාත්මකවීමේ කාලය දීර්ඝ කිරීමට ඔහු ක්‍රියා කලේ ය.

කප්පාදුවේ හා මර්දනයේ පාලක පන්ති න්‍යාය පත්‍රය සඳහා, සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතයේ විවෘත සහයෝගය ලබාගැනීමට, වික්‍රමසිංහ දැන් උත්සාහ දරමින් සිටී. පසුගිය බදාදා ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී, රට පෙර නුවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දෙන බව ප්‍රකාශ කලේ ය. “රටේ යහපත වෙනුවෙන්...සර්ව-පාක්ෂික ආන්ඩුවක් තැනීමට ... එකමුතු” වන ලෙස විරුද්ධ පක්ෂවලින් ඉල්ලා සිටි ඔහු, “අප සිටින්නේ ඉතා අන්තරායකාරී තත්ත්වයක” බව කීවේ ය.

වික්‍රමසිංහ “ඉතා අන්තරායකාරී තත්ත්වය” ගැන කතා කිරීමේ දී, අන් සියල්ලටමත් වඩා ඉහලින් අනතුරු අඟවන්නේ, දරාගත නො හැකි වර්තමාන ජීවන කොන්දේසි හේතුවෙන් ඉස්මතු වන මහජන විරෝධය, ධනපති පන්තියටත්, එහි බලයට, වරප්‍රසාදවලට හා ධනයටත් මතු කරන තර්ජනය ගැන යි. අප්‍රේල් 28, මැයි 6, 10 හා 11 දිනවල පැවති කම්කරුවන් මිලියන ගනන් සහභාගි වූ මහා වැඩ වර්ජන ඇතුලු මහජන විරෝධතාවල මාස තුන, ධනේශ්වර පාලනය අරටුවට ම සොලවා දැමුවේ, ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වීමට බල කරමිනි.

කම්කරු පන්තියට හා පීඩිත මහජනයාට එරෙහි ව ඒකාබද්ධ ප්‍රති-ප්‍රහාරයක් දියත් කිරීම සඳහා, උපායාත්මක මතභේද පසෙකින් තබන ලෙස, දැන් වික්‍රමසිංහ දේශපාලන සංස්ථාපිතයට ආයාචනා කරයි..

ශ්‍රී ලංකාව තුල පෙර නුවූ විරූ ආර්ථික අර්බුදයක් නිර්මානය කර ඇති, යුක්‍රේන යුද්ධය හා කෝවිඩ්-19 වසංගතය ඇතුලු “අහිතකර ජාත්‍යන්තර ආර්ථික සාධක” ජනාධිපතිවරයා ඉදිරිපත් කලේ ය. මේ වසරේ දී, ලංකාවේ ආර්ථිකය සියයට 7.6කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි. විදෙස් සංචිත වියලී යද්දී, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන හා ඖෂධ ආනයනය කිරීම් අරටුවට ම කපා දමනු ලැබ ඇත. ඉමහත් දුෂ්කරතා නිර්මානය කරමින්, ජූලි මාසයේ දී උද්ධමනය සියයට 60 දක්වා ඉහල නැගුනු අතර, ආහාර උද්ධමනය සියයට 90 දක්වා අහස උසට නැගුනේ ය.

ආර්ථිකය “උත්තේජනය කිරීමේ” හා “නවීකරනය කිරීමේ” නාමයෙන්, වැඩකරන ජනයා මත නව බර පැටවීමට වික්‍රමසිංහ සූදානම් වෙමින් සිටී. පසුගිය වසරේ සියයට 12.2ක් වූ අයවැය හිඟය, 2025 වන විට අයවැය අතිරික්තයක් දක්වා ගෙන යාමට ඔහුගේ ඉලක්කය ලඟා කරගත හැක්කේ, යෝධ ලෙස බදු ඉහල දැමීම, රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනින් විනාශ කිරීම, ඉතුරු පහදු වී ඇති සොච්චම් මිල සහනාධාර අවසන් කිරීම, සියලු රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම සහ අධ්‍යාපනය හා සෞඛ්‍යාරක්ෂනය වැනි රාජ්‍ය සේවාවන් වඩා ගැඹුරට කප්පාදු කිරීම හරහා පමනි.

මෙම කම්කරු පන්ති-විරෝධී න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීම සඳහා, “දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක්” ද විවිධ සංවිධාන ඇතුලු “අවශ්‍යතා සහිත සියලු පාර්ශවවල අදහස් ලබාගැනීමේ යාන්ත්‍රනයක් වන මහජන සභාවක්” ද ස්ථාපිත කරනු ඇති “නව ආකල්ප සහිත නව ව්‍යවස්ථාවක්” ඈති කිරීම වික්‍රමසිංහ යෝජනා කලේ ය.

මෙම යෝජිත යාන්ත්‍රනයන් තුල කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් නැත. ඒ වෙනුවට මෙම යෝජනා යොමුව පවතින්නේ, කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට විරුද්ධ ව, දූෂිත දේශපාලන පක්ෂ, මධ්‍යම පන්තික “සිවිල් සමාජ” කන්ඩායම් සහ වෘත්තීය සමිති රැලි කරගැනීම සඳහා ය.

දැනටමත් උසිගන්වා ඇති පොලිස් කඩාපැනීම් සාධාරනීකරනය කිරීම සඳහා, ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට වික්‍රමසිංහ විසින් “ෆැසිස්ට්වාදීන්” හා “ත්‍රස්තවාදීන්” ලෙස මඩගැසීම තුල ගැබ්වී පවතින්නේ මෙම න්‍යාය පත්‍රයෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවයයි. වර්තමානයේ දී අත්අඩංගුවට ගනු ලබන්නේ විරෝධතා නායකයන් හා වෘත්තීය සමිති නායකයන් වන අතර, ඔවුන් මෙන් ම, සිය කප්පාදු න්‍යාය පත්‍රයට එන ඕනෑ ම විරුද්ධ පාර්ශවයක් “ෆැසිස්ට්වාදීන්” හා “ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගසා පුලුල් මැඩලීමකට ලක් කිරීමට ද ඔහුගේ ආන්ඩුව සූදානම් වෙමින් සිටී.

ඇඩ්වොකාටා චින්තන පර්ෂදය සංවිධානය කල රැස්වීමක දී කතා කල වික්‍රමසිංහ, “පලමු මාස හය දුෂ්කර වෙනවා... (එහෙත්) මෙම දුෂ්කර ක්‍රියා මාර්ගය ගැනීම හැර වෙනත් මාවතක් නැත” යි ප්‍රකාශ කරමින්, ජාමූඅට විකල්පයක් ඉදිරිපත් කරන ලෙස ඕනෑ ම අයෙකුට අභියෝග කලේ ය.

කිසිදු පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයකට ජාමූඅ හැර විකල්පයක් නැත. ඔවුන් සියලු දෙනා ම පාහේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය “ධනාත්මක” එකක් ලෙස උත්කර්ෂයට නැංවූ හ.

කලින් වික්‍රමසිංහ සමග වැඩ කිරීම ප්‍රතික්ෂේප කර සිටි සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස, සිකුරාදා සම්පූර්න කරනමක් ගසා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වූයේ ය. “(සාකච්ඡාවට ලක් වුනු) සමහර කරුනු ධනාත්මක යි, සමහර ඒවා ඍනාත්මක යි. එහෙත් ශ්‍රී ලංකාවට අර්බුදයෙන් ගොඩ ඒමට උදවු කරන්නේ කෙසේදැයි ගවේෂනය කිරීමට සියලු දෙනා එකඟ වුනා” යි සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශ කල සජබ නායකයෙක් වැඩිදුර සාකච්ඡා සඳහා යන බව පොරොන්දු වූයේ ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුලු සජබ සමග සම්බන්ධ ව සිටින මුස්ලිම් පක්ෂ සහ දේශපාලන පක්ෂ ලෙස ක්‍රියාත්මක වතුකරයේ වෘත්තීය සමිති -ජාතික කම්කරු සමිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුපෙරමුන, කඳුරට පෙරමුන- සියල්ල වික්‍රමසිංහ සමග සම්බන්ධ වීමට කැමැත්ත පලකර ඇත. වතුකරයේ පදනම් වන ලංකා කම්කරු කොංග්‍රසය ද මෙම කම්කරු පන්ති-විරෝධී පෙලගැසීමට එකඟ වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ලෙලි කැබැල්ල සර්ව-පාක්ෂික පාලන තන්ත්‍රයකට සම්බන්ධ වීමට ඉත සිතින් එකඟ වී ඇති අතර, එම පියවර “කඩාකප්පල්” කිරීමට උත්සාහ දරන්නේ යයි කියමින් අනෙක් පක්ෂවලට පහර දෙයි. මන්ත්‍රීවරුන් පස් දෙනෙකු දැනට මත් ආන්ඩුවට එක් වී ඇමති තනතුරු භාරගෙන ඇති නිසා, ශ්‍රීලනිපයට සිටින්නේ මන්ත්‍රීවරුන් නව දෙනෙක් පමනි.

දෙමල පාලක ප්‍රභූන් නියෝජනය කරන දෙමල ජාතික සන්ධානය (දෙජාස) ද වික්‍රමසිංහ සමග සාකච්ඡා පවත්වා වැඩි දුර සාකච්ඡා සඳහා එකඟ වී ඇත. එහෙත් එය මූලධර්මයක් ලෙස සර්ව-පාක්ෂික යෝජනාවට එකඟ වී තිබේ.

සර්ව-පාක්ෂික ආන්ඩුවකට විරුද්ධ නො වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), යෝජිත ආන්ඩුවට සහභාගි නො වන බව ප්‍රකාශ කර ඇත. “සෑම පක්ෂයකට ම ප්‍රතිපදානය කල හැකි” අයිතීන් සහිත අන්තර්-කාලීන සර්ව-පාක්ෂික ආන්ඩුවක් සඳහා ජවිපෙ කල යෝජනාව සැලකිල්ලට ගෙන නැතැයි එහි නායක අනුර කුමාර දිසානායක කනිපින්දම් කීවේ ය. දැඩි ලෙස අපකීර්තිමත් පාර්ලිමේන්තුවට සුජාත භාවයක් ලබා දීමට ද කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සෑම ස්වාධීන ක්‍රියාවක්ම වැලැක්වීමට ද මංමුලා සහගත ව උත්සාහ දරන ජවිපෙ “හදිසි මැතිවරනයක්” ඉල්ලා සිටී.

ඒ අයුරින් ම, පලල් ලෙස අපකීර්තිමත් වික්‍රමසිංහ නායකත්වය දෙන කිසිදු ආන්ඩුවකට සහයෝගය දීම සම්බන්ධයෙන්, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ප්‍රවේසම් සහගතය. ජනාධිපතිවරයාගේ යෝජනාව මහජන විරෝධය තලා දැමීමට බව ප්‍රකාශ කල පෙසප නායක කුමාර් ගුනරත්නම් පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂවලින් ඉල්ලා සිටියේ, එම යෝජනාව ප්‍රතික්ෂේප කර පෙසප “මහජන අරගලය” සමග ඒකාබද්ධ වන ලෙස යි. වෙනත් වචනවලින් කියතොත්, පෙසප උත්සාහ දරමින් සිටින්නේ, වික්‍රමසිංහ මෙන් ම ජාමූඅ පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට කැප වී සිටින ධනපති විපක්ෂවලට කම්කරුවන් හා ගම්බද පීඩිතයන් ගැටගසා දැමීමට යි.

අප්‍රේල් හා මැයි මාසවල මහා වැඩ වර්ජනවල කාලය හා දේශපාලන හැකියාව අන්තර්-කාලීන ධනපති ආන්ඩුවක් සඳහා වන ඉල්ලීමට සීමාකිරීමේ ද්‍රෝහී භූමිකාවක වෘත්තීය සමිති යෙදී ගත්තේය. දැන් වෘත්තීය සමිති යාන්ත්‍රනයෙහි කොටස් වික්‍රමසිංහ සමග විවෘත ව පෙලගැසෙමින් සිටිති.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ නායක රවී කුමුදේශ් සෙනසුරාදා වික්‍රමසිංහ මුනගැසුනේ, දුර දිග යන වැඩ වර්ජන වැලැක්වීමට තමන්ට හැකි සෑම දෙයක් ම කරන බව පැහැදිලි කරමිනි. “අපි මේ ගතකරන හැම මොහොතක්ම අපට අරගල කර කර ඉන්න පුලුවන් මොහොතක් නෙවෙයි. අපි එකතු වෙලා කැප වෙලා රට ගොඩ නගන්න ඕන වෙලාවකයි ඉන්නේ. ඒ්ක ඔබ තුමාට තමයි වෙනස් කරන්න පුලුවන්” යැයි ඔහු ජනාධිපතිවරයාට කීවේ ය.

කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසුම් මාවත් අවහිර කරමින් රැස් ව සිටින විරෝධතාකරුවන්. 2022 ජූලි 9 වැනි දා සෙනසුරාදා (ඒපී ඡායාරූපය/අමිත තෙන්නකෝන්) [AP Photo/Amitha Thennakoon]

ජාමූඅ කප්පාදු විධානයන් පිලිගැනීම හැර වෙනත් විකල්පයක් නැති බවට වික්‍රමසිංහ සමග එකඟ වන මෙම කිසිදු පක්ෂයක් හෝ සංවිධානයක් පිලිබඳ ව කම්කරුවන් කිසිදු විශ්වාසයක් නො තැබිය යුතු ය. ධනපති පන්තිය හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය වෙනුවෙන්, ආන්ඩුව පටවමින් සිටින තීව්‍ර වන ප්‍රහාරවලට එරෙහි ව, කම්කරු පන්තියට හා ගම්බද ජනයාට සටන් කල හැකි විකල්ප සමාජවාදී ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කර ඇත්තේ සසප පමනි.

කිසිදු ආකාරයක අන්තර්-කාලීන ධනපති ආන්ඩුවකට කවර ලෙසකින් සහයෝගය දීම හෝ සම්බන්ධ වීම සසප විසින් ප්‍රතික්ෂේප කර ඇත. සෑම වැඩපොලක, වත්තක, නගරයක, නිවහන් ප්‍රදේශයක හා ගමක ම, වෘත්තීය සමිතිවලින් හා සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසත්, තීන්දු තීරන ගැනීම තමන්ගේ ම අතට ගන්නා ලෙසත් අපි කම්කරුවන්ගෙන් හා ගම්බද පීඩිතයන්ගෙන් ඉල්ලා සිටිමු.

ජාමූඅ විධානයන්ට විරුද්ධ ව, වැඩකරන ජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීමටත්, ක්‍රියාකාරී කමිටුවලට සටන් කල හැකි වන්නා වූත්, ප්‍රතිපත්ති මාලාවක් සසප විසින් ඉදිරිපත් කර ඇත. සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරු පන්තියේ පාලනයට ගැනීම; බැංකු, ප්‍රධාන සංගත හා වතු ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම; බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගැනීම; සහ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම මේවාට ඇතුලත් ය.

වැඩකරන ජනයාගේ සමාජ අයිතීන් සඳහා සටන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය සමග මුලුමනින් සම්බන්ධ වේ. ඒකාධිපති විධායක ජනාධිපති ධූරය වහා ම අහෝසි කිරීම, හදිසි නීතිය, අත්‍යවශ්‍ය සේවා පනත හා ත්‍රස්තවාද-විරෝධී නීතිය ඇතුලු සියලු මර්දන නීති අවලංගු කිරීම සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සසප කැඳවුම් කරයි.

සර්ව-පාක්ෂික හෝ අන්තර්-කාලීන හෝ වෙනත් ඕනෑ ම වර්ගයක ධනපති ආන්ඩුවකට විරුද්ධ ව, කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමට අවශ්‍ය දේශපාලන ලීවරය ලෙස ක්‍රියාකාරී කමිටු මගින් තෝරා පත් කරගන්නා නියෝජිතයන් මත පදනම් වන “කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්” සඳහා සසප කැඳවුම් කරයි.

ජූලි 20දා නිකුත් කල ප්‍රකාශය තුල සසප මෙසේ විස්තර කලේ ය: එවන් සම්මේලනයක් “එහි බලවේග ශක්තිමත් කරගැනීමටත්, ගම්බද ජනයාගේ ක්‍රියාශීලී සහයෝගය දිනාගැනීමටත්, සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේ ම පාලනයට පදනම දැමීමටත්, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කරන කැඳවුම මගින්, කම්කරු පන්තියට දේශපාලන මූලෝපාය සම්පාදනය කරයි. ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් හා ගම්බද ජනයා ගෙනයන දේශපාලන සටන වේගවත් වන තරමට, පාලක පන්තිය විසින් සූදානම් කරමින් තිබෙන විනාශයට විරුද්ධ ව කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයන්ගේ සම්මේලනයක් කැඳවනු ලැබීම ඉක්මන් වනු ඇත. මෙම සටන අතට ගැනීම අවශ්‍ය කරන සියල්ලන්ට අපි සියලු දේශපාලනික සහයෝගය සම්පාදනය කරමු.”

වැඩකරන ජනයා බෙදීමටත්, ධනවාදය විසින් නිර්මිත අර්බුදයන්ට සමාජවාදී විසඳුමක් සඳහා වන සටන දුර්වල කිරීමටත්, පාලක පන්තිය යලි යලිත් යොදාගෙන ඇති සිංහල ස්වෝත්තමවාදය හෝ දෙමල ප්‍රජාගනවාදය ඇවිලවීමට දරනු ලබන ඕනෑ ම උත්සාහයකට දෘඪතර ව විරුද්ධ වන ලෙස, සසප කම්කරුවන්ට කැඳවුම් කරයි. මෙම අරගලයේ දී, කම්කරුවන්ගේ හා දුගීන්ගේ සහකරුවා වන්නේ, ඉහල නගිමින් පවතින උද්ධමනයටත්, රැකියා හා වැටුප් කප්පාදුවටත් එරෙහි ව, රටක් රටක් පාසා අරගලයට පිවිසෙමින් සිටින ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භකත්වය ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග සිය ක්‍රියාකාරී කමිටු සම්බන්ධ කිරීම මගින්, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට තමන්ගේ අරගල ජාත්‍යන්තර කම්කරුවන්ගේ අරගල සමග සම්බන්ධීකරනය කොට එක්සත් කල හැකි ය.

මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් කිරීමට සසපට බැඳෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading