පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහි පොලිස් වැටලීම් සසප හෙලා දකී

[මෙය Sri Lankan SEP condemns police raids on Frontline Socialist Party යන මැයෙන් 2022 අගෝස්තු 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සතියේ නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ප්‍රධාන කාර්යාලයට සිදුකල පොලිස් වැටලීමත් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට එරෙහි සිය දඩයම තීව්‍ර කලේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ 2022 අප්‍රේල් 3 වැනි දින පෙර පැවති විරෝධතාවය කැරලි මර්දන පොලිසිය විසින් අවහිර කරයි [ලෝසවෙඅ මාධ්‍ය]

පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩට අනුව, සිකුරාදා පෙරවරු 7.30 ට පමන සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් 10 දෙනෙකු සහ නිල ඇඳුමින් සැරසුනු තවත් නිලධාරියෙකු ඇතුලු පොලිස් කන්ඩායමක් පක්ෂ කාර්යාලය වැටලූහ. එහි සිටි පාක්ෂිකයින් පරිශ්‍රය සෝදිසි කිරීමට විරුද්ධ වූ අතර සෝදිසි වරෙන්තුවක් ඉල්ලා සිටියේය. පොලිසිය ප්‍රතිචාර නොදැක්වූ අතර ඔවුන් කුමන පොලිස් ස්ථානයෙන්ද යන්න පවා හඳුනා නොගත් නමුත් බලහත්කාරයෙන් පරිශ්‍රයට ඇතුලු වී පක්ෂයේ බඩු භාන්ඩ සෝදිසි කර පොත් රාක්ක අවුස්සා බලා පිටව ගියහ.

පෙරවරු 8.10 ට නිල ඇඳුමින් සැරසුනු නිලධාරීන් 30 දෙනෙකුගෙන් යුත් දෙවන පොලිස් කන්ඩායමක් පෙසප කාර්යාලයට පැමිනියහ. තමන් අසල පිහිටි මිරිහාන පොලිස් ස්ථානයෙන් යැයි කියාගත් අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සොයමින් සිටින බව කීහ.

පක්ෂ සාමාජිකයන් සෝදිසි වරෙන්තුවක් ඉල්ලා සිටි විට පොලිසිය, ගාලුමුවදොර පිටියේ වාඩි ලාගෙන සිටි ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් අතර ක්‍රියාකාරීව සිටි මුදලිගේ අත්අඩංගුවට ගන්නා ලෙසට නිකුත්කල මහේස්ත්‍රාත් අධිකරනයේ වරෙන්තුවක් පෙන්වීය. නැවතත්, පොලිසිය පෙසප සාමාජිකයින්ගේ විරෝධය නොතකා, පරිශ්‍රය සෝදිසි කර පිටව ගියේය.

පොලිස් වැටලීම් පෙසපයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන අතර සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. ඔවුන්, සියලු ආන්ඩු විරෝධී විරුද්ධත්වයන් තලා දැමීමේ අරමුනෙන් ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් මුදා හරින තීව්‍ර වන මර්දන රැල්ලක කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂයට (සසප), ව්‍යාජ-වාම පෙසප සමග පවත්නා අතිමූලික හා සුප‍්‍රසිද්ධ දේශපාලන වෙනස්කම් නොතකා, එය මෙම සංවිධානයට එරෙහිව වික‍්‍රමසිංහගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා මර්දනකාරී පොලිස් වැටලීම් වලට විරුද්ධ වන අතර එය හෙලා දකියි.

වැඩබලන ජනාධිපති ලෙස පත්කිරීමෙන් පසු, දක්ෂිනාංශික, එක්සත් ජනපද ගැති සහ එහි ගෝලයෙකු වන වික්‍රමසිංහට, ජූලි 17 දා හදිසි තත්වයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින්, අත්තනෝමතික ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම, විරෝධතා මැඩීම, සංවිධාන තහනම් කිරීම, පුද්ගලික දේපල සෝදිසි කිරීම සහ වාරනය පැනවීම සඳහා මිලිටරිය යෙදවීමට බලය ලබා දුන්නේය.

අපකීර්තිමත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනාධිපති ලෙස පත් කිරීමෙන් පසු ඔහුගේ පලමු ක්‍රියාව වූයේ, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා ජූලි 22 දා ප්‍රචන්ඩ පොලිස්-මිලිටරි මෙහෙයුමකට අවසර දීමයි. ආරක්ෂක අංශ බොහෝ විරෝධතාකරුවන්ට පහර දී තුවාල සිදු කල අතර නව දෙනෙකු අත්අඩංගුවට ගත්හ. පුලුල් මහජන කෝපය මධ්‍යයේ එදින සවස මහේස්ත්‍රාත්වරයෙකු විසින් අත් අඩංගුවට ගත් අයට ඇප ලබා දෙන ලදී.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලුමුවදොර පිටියේ මාස ගනනාවක් තිස්සේ පැවති විරෝධතාවලට නායකත්වය දුන් සමහර පුද්ගලයන් ඇතුලු දුසිම් දෙකක් පමන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් සමග මෙම ප්‍රහාර දිගටම පැවතුනි. රාජපක්ෂ රටින් පලා ගිය පසු විරෝධතාකරුවෝ තම සටන් පාඨය 'රනිල් ගෝ හෝම්' ලෙස වෙනස් කලහ.

සමූහ අත්අඩංගුවට ගැනීම් සඳහා සූදානම් වෙමින්—ජනාධිපති මන්දිරය, අගමැති නිල නිවස සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලු විරෝධතාකරුවන් විසින් වාඩිලාගෙන සිටි ස්ථානවල සීසීටීවී දර්ශන, ඡායාරූප සහ ඇඟිලි සලකුනු ලබාගනිමින්—පොලිසිය දැන් 'සාක්ෂි' රැස්කරමින් සිටී. රටින් පිටවීමට උත්සාහ කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඇඟිලි සලකුනු ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත යවා තිබේ. “සැකකරුවන්ගේ” ඡායාරූප මාධ්‍යවල පල කර ඇත්තේ වැඩිදුර තොරතුරු පොලිසියට ලබාදෙන ලෙස ඉල්ලමිනි.

පසුගිය සති අන්තයේ, සන්ඩේ ටයිම්ස්, නම සඳහන් නොකල ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් කියා සිටියේ, “ආන්ඩුව ප්‍රචන්ඩ ක්‍රියාවල යෙදෙන, බලය අල්ලා ගැනීමට හෝ රාජ්‍ය ගොඩනැගිලිවල පාලනය ගැනීමට උත්සාහ කිරීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම භාවිතා කරන ඕනෑම කන්ඩායමක්, සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් තහනම් කිරීම ගැන සලකා බලමින් සිටින බවයි.'

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය “එවැනි ක්‍රියාකාරකම්වලට ආධාර හෝ අනුබල දෙන ඕනෑම සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් තහනම් කිරීමේ හැකියාව පිලිබඳව නීති උපදෙස් ඉල්ලා ඇති” බව ද පුවත්පත වාර්තා කලේය.

එහි තීව‍්‍ර වන මර්දනය යුක්ති සහගත කිරීම සඳහා වික‍්‍රමසිංහ සහ ආන්ඩුවේ මන්ත්‍රීවරු ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට එරෙහිව ඔවුන්ගේ නීච මඩ ගැසීම් උත්සන්න කර ඇත.

සෙනසුරාදා මහනුවරදී ආන්ඩුවේ මන්ත්‍රීවරුන් සහ ආධාරකරුවන් අමතමින් වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කලේය: “අපට මේ මොහොතේ කටයුතු කිරීමට සිදුව ඇත්තේ ෆැසිස්ට් ත්‍රස්තවාදය සමඟයි. උද්ඝෝෂනයට මුවා වී බොහෝ පිරිස් නිවාස හා වාහන ගිනි තබමින් රාජ්‍ය දේපල විනාශ කරමින් සොරකම් කලහ.”

මොනතරම් කැත ඉඟියක්ද! අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන සහ ජීවිතයේ අනෙකුත් මූලික අවශ්‍යතා ඉල්ලා උද්ඝෝෂන කරන කම්කරුවන්ට, තරුනයන්ට සහ ගම්බද දුගීන්ට එරෙහිව පොලිස්-මිලිටරි ප්‍රහාර මුදා හැරියේ හිටපු රාජපක්ෂ පාලනය සමග වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව ය.

රාජ්‍ය මර්දනය උග‍්‍ර කරන අතරතුර, වික‍්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඇපදීමේ ගනුදෙනුවක්, වැටුප් හා විශ‍්‍රාම වැටුප් කප්පාදුව සහ මහා රාජ්‍ය අංශයේ රැකියා විනාශයක් ද ඇතුලු ඊට සම්බන්ධ කප්පාදු පියවර තීන්දු කිරීමට උත්සාහ කරයි.

මෙම කුරිරු පියවර සඳහා දේශපාලන නීත්‍යානුකූලභාවය ලබා ගැනීමේ උත්සාහයක් ලෙස, වික්‍රමසිංහ සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරයි. සිකුරාදා, ඔහු සියලුම විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යවමින් ප්‍රකාශ කලේ, “අප ඉදිරියේ ඇති අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ, විද්වත් කන්ඩායම්, සිවිල් සමාජ සංවිධාන සහ ඊට සම්බන්ධ සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල යුතු” බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම ඊට පක්ෂව ප්‍රතිචාර දක්වා ඇත. දෙමල ජාතික සන්ධානය සහ සමගි ජන බලවේගය සර්ව පාක්ෂික අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව සංඥා කර තිබේ. ජනතා විමුක්ති පෙරමුන 'දේශපාලන ස්ථාවරත්වය' පැනවීම සඳහා හදිසි මහ මැතිවරනයක් සහ ආර්ථිකය 'පුනර්ජීවනය' සඳහා පාලන තන්ත්‍රයක් ඉල්ලා සිටියි.

ඔවුන්ගේ උපායික වෙනස්කම් නොතකා, මෙම පක්ෂ සියල්ලම ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීම සහ 'දේශපාලන ස්ථාවරත්වය'—එනම්, ශ්‍රී ලංකාවේ මහජනතාව මුහුන දෙන ව්‍යසනකාරී සහ නරක අතට හැරෙමින් පවතින සමාජ තත්වයන්ට එරෙහි සියලු මහජන සමාජ විරෝධය යටපත් කිරීම පිලිබඳව එකඟ වෙති.

පෙසපට එරෙහි පොලිස් වැටලීම් හෙලා දකින අතරම, සර්ව පාක්ෂික අන්තර්වාර ආන්ඩුව සඳහා වූ කැඳවීම සමග මෙම ව්‍යාජ-වාම පක්ෂයට මූලික වෙනස්කම් නොමැති අතර විවිධ විරුද්ධ පක්ෂ සමග සමීප සබඳතා පවත්වන බවට සසප අනතුරු අඟවයි.

පුබුදු ජයගොඩ මේ වසර මුලදී මාධ්‍ය හමුවක් අමතමින් [ෆේස්බුක් පින්තූරය] [Photo: Facebook]

පොලිස් වැටලීම් වලින් පසු මාධ්‍ය හමුවක් අමතමින් පෙසප නායක පුබුදු ජයගොඩ ප්‍රකාශ කලේ, වික්‍රමසිංහ ආන්ඩුව 'නීත්‍යානුකූල ආන්ඩුවක් නොවන නිසා.. [සහ] සැලසුමක් නැති' නිසාත්, 'රැඳී සිටීම සඳහා හමුදා බලය පාවිච්චි කිරීමට උත්සාහ කරන නිසාත්' කිසිම ප්‍රධාන රටක් හෝ ආයතනයක් ශ්‍රී ලංකාවට උදව් නොකරනු ඇත, යනුවෙනි.

වෙනත් වචන වලින් කිවහොත්, පෙසප විරුද්ධ වන්නේ වික්‍රමසිංහ ආන්ඩුවට මිස කම්කරුවන් හා මහජනතාව මුහුන දෙන දුෂ්කරතා බෙහෙවින් තීව්‍ර කරන එහි ප්‍රතිගාමී ආර්ථික හා සමාජ වැඩපිලිවෙලට නොවේ. වික‍්‍රමසිංහට එරෙහි පෙසපයේ විරුද්ධත්වය වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ප‍්‍රධාන බලවතුන්ගේ “සහාය” ලබා ගැනීමට අවශ්‍ය කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීමට නීත්‍යානුකූල භාවයක් සහ ජාත්‍යන්තර ස්ථාවරයක් ඊට නොමැති වීමයි.

පුලුල්ව පිලිකුලට ලක් වූ වික‍්‍රමසිංහ නොමැතිව විරුද්ධ පක්ෂ සමග පිහිටුවන ලද ධනේශ්වර අන්තර්වාර ආන්ඩුවකින් සහන ලබාගැනීම සඳහා බලපෑම් කල හැකිය යන මිත්‍යාව පෙසප පෝෂනය කරයි.

වික‍්‍රමසිංහ තන්ත‍්‍රයට හෝ අනාගත අන්තර්වාර ආන්ඩුවට කුමන විරෝධතා හෝ ආයාචනා කලත්, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම තබා, කම්කරු පන්තිය හා ග‍්‍රාමීය ජනතාව මුහුන දෙන ජීවිතය සහ මරනය පිලිබඳ ප‍්‍රශ්න හෝ විසඳන්නේ නැත.

කඩිනමින් අවශ්‍ය වන්නේ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් මත ග්‍රාමීය දුප්පතුන්ගේ සහයෝගය රැස්කර ගනිමින් කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමයි. මෙය සසප ජූලි 20 ප්‍රකාශයේ, “කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!” යන ප්‍රකාශයේ දක්වා ඇත. එවැනි සම්මේලනයක්, “ගෝඨාභය රාජපක්ෂගේ සහ රනිල් වික්‍රමසිංහගේ අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජමිතුරන් විසින් පිහිටුවන ප්‍රතිගාමී ධනේශ්වර අන්තර්වාර ආන්ඩුවට විප්ලවවාදී දේශපාලන විකල්පයක්” බව එය පවසයි.

එවන් සම්මේලනයකට සහයෝගය ගොඩනැගීම සඳහා, ඔවුන්ගේ පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට සෑම වැඩපොලකම, වත්තකම, අසල්වැසි ප්‍රදේශයකම සහ ග්‍රාමීය ප්‍රදේශයකම සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස අපි කම්කරුවන්ගෙන් හා ග්‍රාමීය ජනතාවගෙන් ඉල්ලා සිටිමු. එවැනි ක්‍රියාකාරී කමිටු මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට විධික්‍රම සපයනු ඇත.

ඒ අතරම, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගත හැක්කේ බැංකු, ප‍්‍රධාන සමාගම් සහ වතු කම්කරුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් යටතේ ජනසතු කිරීම, දූෂිත හා තුච්ඡ පාලක ප‍්‍රභූන්ගෙන් බලය අල්ලා ගැනීම ඇතුළු සමාජවාදී ඉල්ලීම් සඳහා සටන් කිරීමෙන් පමනක් බව අපි කියමු.

'කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්' සඳහා වන සටන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය ඉදිරියට ගෙනයාමට පදනම සපයනු ඇත. දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස මෙම දේශපාලන සටන අතට ගන්නා ලෙස සසප කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

Loading