ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාර්ලිමේන්තු ඡන්දය භංගවේවා!

[මෙහි පලවන්නේ Down with the anti-democratic Sri Lankan presidential election! මැයෙන් 2022 ජූලි 18දා පලවූ සසප ප්‍රකාශයේ පරිවර්තනය යි.]

නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සඳහා, ජූලි 20දා ලංකාවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්දය, ප්‍රෝඩාවක් සහ කම්කරු පන්තියට, තරුනයන්ට හා ගම්බද දුගීන්ට එරෙහි කුමන්ත්‍රනයක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) හෙලා දකී. පාර්ලිමේන්තුව, සමාජයේ අතිමහත් බහුතරයක් වන වැඩකරන ජනයාගේ දේශපාලන මනෝගතීන් හා අවශ්‍යතා කිසිදු ලෙසකින් නියෝජනය නොකරයි.

2022 ජූලි 11 සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටින මහජනයා (ඡායාරූපය: ලෝසවෙඅ)

ජනාධිපති ධූරය “පුරප්පාඩු” වීම, ගෝඨාභය රාජපක්ෂට රටින් පලායාමටත්, පසුව ඔහුගේ ඉල්ලා අස්වීම භාර දීමටත් බල කල කම්කරු පන්තියේ මහා වැඩ වර්ජනවල හා ජූලි 9දා කොලඹ නගරයේ සිදු වූ විශාල නැගිටීමේ ප්‍රතිඵලය යි. දැන්, රටෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ව්‍යවස්ථාව යටතේ, දුර දිග යන ඒකාධිපති බලතල සහිත තනතුරක් වන, ඊලඟ ජනාධිපතිවරයා තෝරාගැනීමට පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

පසුගිය මාස තුන පුරා පැවැත්වෙන මහජන විරෝධතාවල වඩාත් ම ප්‍රමුඛ සටන් පාඨයක් වන්නේ “225 දෙනා ම හෙලනු” -එනම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනා- යන්න යි. විපක්ෂවලට සමිප විරෝධතා නායකයන් මෙම සටන් පාඨය නො තකා හැරීමට උත්සාහ කර ඇති අතර, එහි ජනප්‍රියත්වය වෛෂයික ව පිලිබිඹු කරන්නේ, පසුගිය වසර 75 පුරා පැවතී ඇති සමස්ත පාර්ලිමේන්තු ක්‍රමය ම ප්‍රතික්ෂේප කිරීමකි.

මහජනයාගෙන් මුලුමනින් ම දුරස්ථ අනුප්‍රාප්තික පාර්ලිමේන්තු, දරාගත නො හැකි මට්ටම්වලට ජීවන කොන්දේසි ඛාදනය කිරීම්වලට වගකිව යුතු නිසා, මෙම සටන් පාඨය මහජනයා අතර ගැඹුරින් මුල් බැස ඇත. වර්තමාන පාර්ලිමේන්තුව සලකන විට, ජනාධිපතිවරයෙකු තෝරාගැනීම තබා, එයට ම පැවතීමට වත් දේශපාලන සුජාත භාවයක් නැත. ඔවුන්ගේ දේශපාලන වර්නයන් කවරක් වුවත්, සියලු මන්ත්‍රීවරු හා සියලු පක්ෂ, 2020 මහ මැතිවරනයේ දී ලබා දුන් මැතිවරන පොරොන්දු කැපී පෙනෙන ලෙස පාවා දී තිබේ.

අප්‍රේල් මාසයේ දී රට පුරා පුපුරා ගිය මහජන විරෝධතාවල කේන්ද්‍රීය ඉල්ලීම වූයේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වියයුතු බවයි. මහා වැඩ වර්ජන හා විරෝධතාවලින් අනතුරු ව, මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට බල කෙරුනු විට, ජනාධිපති රාජපක්ෂ එම තනතුරට දූෂිත දේශපාලකයෙක් හා ශේෂ වී ගිය දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකයා වන රනිල් වික්‍රමසිංහ පත්කලේ ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගැත්තෙකු ලෙස ක්‍රියාකිරීමේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමීමේ දීර්ඝ වාර්තාවක් සහිත වික්‍රමසිංහ පලල් ලෙස අපකීර්තියට බඳුන් වී ඇත. 2020 මහ මැතිවරනයේ දී එජාපය එහි සියලු ම ආසන අහිමි කරගත් අතර, වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙනි.

එහෙත්, මෙම අපකීර්තිමත් පුද්ගලයා, පලමුව අගමැති ලෙස පත්කරන ලද අතර, ඉන්පසු පසුගිය සිකුරාදා වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය. දැන්, දේශපාලන හා සංගත ප්‍රභූ කොටස්වල පිටුබලය සමගින්, ඊලඟ ජනාධිපති ලෙස පත්වීමට ඔහු පාර්ලිමේන්තුව තුල උද්ඝෝෂනය කරමින් සිටී. ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකරන විරෝධතා ශක්තිමත් වෙමින් හා පැතිරෙමින් තිබීම පුදුමයට කරුනක් නො වේ.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

සෙනසුරාදා රාත්‍රීයේ, මහනුවර හා මාතර “ගෝඨා ගෝගම” විරෝධතා භූමි “රනිල් ගෝගම” ලෙස වෙනස් කරනු ලැබී ය. කොලඹ අගමැති නිල නිවසින් පිටත විරෝධතා අඩවිය ද ඒ හා සමාන ව යලි නම් කරනු ලැබ තිබේ.

ජනාධිපති ධූරය සඳහා වන රහස් කාමර ගනුදෙනු තීව්‍ර වෙද්දී, තවත් පුද්ගලයන් තිදෙනෙක් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කර ඇත: එ් වනාහි, විපාර්ශවික සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස; රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ඩලස් අලහප්පෙරුම සහ විපාර්ශවික ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක යි.

මේ තිදෙනා ම, වැඩකරන ජනයාගේ ජීවන කොන්දේසි කාබාසිනියා කිරීමට වගකිව යුතු ආන්ඩුවලට එක්කෝ සහභාගි වී ඇත; නැතහොත් ඒවාට සහයෝගය දී ඇත. පුද්ගලීකරනයේ, රාජ්‍ය වියදම් ගැඹුරින් ම කපා දැමීමේ හා ඉතිරි පහදු වී තිබෙන මිල සහනාධාර අවසන් කිරීමේ ජාමූඅ රුදුරු කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීම හැර වර්තමාන අර්බුදයට වෙනත් විසඳුමක් නැතැයි එම තිදෙනා ම අවධාරනය කරති.

ශ්‍රී ලංකාව වනාහි ඉහල නය සහිත රටවලට “අනතුරු හඟවන සංඥාවක්” බව, ජාමූඅ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සෙනසුරාදා ඉන්දුනීසියාවේ දී පැවති ජී20 මුදල් ඇමතිවරුන්ගේ හා මහ බැංකු අධිපතීන්ගේ රැස්වීමේ දී කිවා ය. ධනවාදයේ ගෝලීය අර්බුදය, හුදෙක් ඊනියා අසංවර්ධිත රටවල් තුල පමනක් නො ව, අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල ද ශ්‍රී ලංකාවේ වැනි මහජන නැගිටීම්වලට කොන්දේසි නිර්මානය කරනු ඇති බවට ජාත්‍යන්තර ව පාලක කවයන් තුල පවතින භීතිය එමගින් පිලිබිඹු කරයි.

ශ්‍රී ලංකාවේ ආන්ඩුවට එරෙහි විරෝධතා ධාවනය කරනු ලැබ ඇත්තේ, රටෙහි ගැඹුරු වන ආර්ථික හා සමාජ අර්බුදය විසිනි. කිලෝමීටර ගනන් දිග පෝලිම්වල පැය ගනන් ඉන්ධන අපේක්ෂාවෙන් බලා සිටීමෙන් පසු පුද්ගලයන් දහනව දෙනෙක් මියගොස් ඇත. ඉන්ධන සලාක ක්‍රමයක් වන “ජාතික ඉන්ධන බලපත්‍රය” සෙනසුරාදා හඳුන්වා දුන් බලශක්ති ඇමති කාන්චන විජේසේකර වැඩි දුර සීමා නිවේදනය කලේ ය. ආන්ඩුවේ තහවුරු කිරීම් තිබුන ද තමන්ට වැඩට වාර්තා කිරීම සඳහා ඉන්ධන නැති බව පවසමින්, මාවනැල්ල, ගම්පහ හා පොලොන්නරුව ඇතුලු ප්‍රාදේශීය නගරවල සෞඛ්‍ය කම්කරුවෝ එයට විරෝධතා දැක්වූහ.

ඖෂධ, පිසීමට ගන්නා ගෑස්, කිරි නිෂ්පාදන සහ මූලික ආහාර ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩ අතිශයින් හිඟ අතර, බොහෝ ජනයාට ඒවායේ මිල ගනන් දරාගත නො හැක. පේරාදෙනිය විශ්ව විද්‍යාලය මෑත දී කල අධ්‍යයනයකට අනුව, අඩු ආදායම් ලාභී පවුල් 900,000කට දිනකට දරාගත හැක්කේ ආහාර වේල් එකක් හෝ සමහර විට දෙකක් පමනි. ආර්ථික අර්බුදයෙහි ප්‍රතිඵලයක් ලෙස, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර 16,300ක් නොහොත් සියයට 20ක් වසා දැමීම නිසා, රැකියා මිලියන තුනක් අතුගෑවී ගොස් ඇත.

වෘත්තීය සමිති මැදිහත් වී ඇත්තේ, කම්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සටන් වැදීමට නො ව, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම වැලැක්වීමට යි. ඕනෑ ම වැඩ වර්ජන ක්‍රියාවක් අතිශයින් සීමා කොට, කෝපය වාෂ්ප කිරීමට සැලසුම් කොට, කම්කරු පන්තිය බංකොලොත් විරුද්ධ පක්ෂ වෙතට ගාල් කිරීමට සමිති උත්සාහ දරා ඇත.

ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් නො වුනහොත්, ජූලි 14දා මහා වැඩ වර්ජනයක් හා හර්තාලයක් දියත් කරන බව, වෘත්තීය සමිති හා මහජන සංවිධාන එකමුතුව ප්‍රකාශ කලේ ය. තවත් වෘත්තීය සමිති පෙරමුනක් වන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ (ටීයූසීසී) සම-කැඳවුම්කරු වන රවී කූමුදේශ් එදින ම අනතුරු ඇඟවූයේ, පාර්ලිමේන්තුවේ කථානායක ඇතුලු වගකිව යුතු පුද්ගලයන් රටෙහි දේශපාලන අර්බුදයට ව්‍යවස්ථාමය විසඳුමක් සම්පාදනය නො කලහොත්, වෘත්තීය සමිති අරගලයක් දියත් කරනු ඇති බව යි.

දේශපාලන සංස්ථාපිතය කෙරෙහි කම්කරු පන්තිය තුල ගැඹුරින් මුල්බැස ඇති හතුරුකමට ප්‍රතිචාර ලෙස වෘත්තීය සමිති කරන මෙම තර්ජන, අත්‍යන්තයෙන් ම නරුම හා හිස් ඒවා වේ. වෘත්තීය සමිති ප්‍රමුඛ වසයෙන් යෙදී සිටින්නේ, කම්කරුවන් මුහුන දෙන පීඩිත ජීවන කොන්දේසි සමග වෙනුවට, ධනපති රාජ්‍යයට හා ධනේශ්වර පාලනයට මුක්කුව දීම සමග බව,“ව්‍යවස්ථාමය විසඳුමක්” සඳහා කරන කැඳවුම මගින් ඉතා හොඳින් ප්‍රදර්ශනය කරයි.

මෙම වෘත්තීය සමිති යාන්ත්‍රනය ම, ජූලි 13දා රාජපක්ෂ ඉල්ලා අස් නො වුනහොත් “පූර්න-පරිමාන” අරගලයක් දියත් කරන බව ප්‍රකාශ කල ද එවන් අරගලයක් දියත් කරනු නො ලැබී ය. තව ද වික්‍රමසිංහ ඉල්ලා අස්වී නැතිවාක් පමනක් නො ව, දැන් ජනාධිපති වීමට ද උත්සාහ දරයි. සෙනසුරාදා වික්‍රමසිංහට ලියූ විවෘත ලිපියක් තුල කුමුදේශ් අයැද සිටියේ, අවම වසයෙන් ඊලඟ මැතිවරන වන තෙක් වත්, ආන්ඩුවට එරෙහි විරෝධතාවන්ගේ අපේක්ෂාවන් ඉටු කරමින් “අවංක සහයෝගයක්” දෙන ලෙසයි.

ජනාධිපති ලෙස තමන් කුමක් කරනු ඇද්දැයි වික්‍රමසිංහ දැනට මත් ඉතා හොඳින් පැහැදිලි කර ඇත. මැයි මාසයේ දී අගමැති ලෙස පත්කරනු ලැබීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ ඔහු අනතුරු ඇඟවූයේ, අතිශයින් ම දුෂ්කර කාල පරිච්ඡේදයක් ඉදිරියේ එන බවත්, මහජනයාට අනිවාර්යයෙන් ම නව බර දරා සිටීමට සිදුවනු ඇති බවත් ය. වැඩකරන ජනයා සඳහා ආන්තික දුෂ්කරතාවන් අර්ථවත් කරනු ඇති රුදුරු කප්පාදු පියවරයන් විධානය කරමින් සිටින ජාමූඅ සමග වන සාකච්ඡාවන්හි දී ඔහු මුල් තැන ගෙන තිබේ.

විරුද්ධත්වය මර්දනය කිරීමේ දී අත්‍යන්තයෙන් අනුකම්පා විරහිත වන බවට ඔහුගේ මනාපය ප්‍රදර්ශනය කරමින්, පාලක කවවල පිටුබලය ලබාගැනීම සඳහා වික්‍රමසිංහ උත්සාහ දරමින් සිටී. පසුගිය සතියේ දී වැඩ බලන ජනාධිපති ලෙස පත්කරනු ලැබීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, ඔහු රට පුරා හදිසි තත්ත්වයක් හා ඇඳිරි නීතිය පැනවී ය. රූපවාහිනී කතාවක දී ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් “ෆැසිස්ට්වාදීන්” ලෙස හංවඩු ගැසූ ඔහු, “නීතිය හා පාලනය ප්‍රතිස්ථාපනය” කිරීමට අවශ්‍ය දේ කරන ලෙස මිලිටරියට නිදහස දුන්නේ ය.

ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ, ඔවුන්ගේ ව්‍යාජ-වාම අන්තේවාසිකයින් සහ වෘත්තීය සමිති නිලධරයට එරෙහි ව, තමන් මුහුන දෙන යෝධ සමාජ අර්බුදය විසඳීමේ එක ම ක්‍රමය වන විප්ලවීය සමාජවාදී ක්‍රියා මාර්ගයක් සඳහා සටන් කරන ලෙස, සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියට, තරුනයන්ට හා ගම්බද දුගීන්ට කැඳවුම් කරයි.

සංස්ථාපිතයේ පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කිරීමට, සෑම වැඩපොලක, කම්හලක, වත්තක, නිවහන් ප්‍රදේශයක හා ගම්බද ප්‍රදේශයක ම කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි කැඳවුම් කරමු. ක්‍රියාකාරී කමිටුවල ජාලයක් ස්ථාපනය කොට, ධනවාදයට එරෙහි පොදු අරගලයක් තුල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භකත්වය ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග ඒවා සම්බන්ධ කරනු ලැබිය යුතු ය.

ක්‍රියාකාරී කමිටුවලට සටන් වැදිය හැකි, වැඩකරන ජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ඍජු ව ආමන්ත්‍රනය කරන ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී ඉල්ලීම් වෙනුවෙන් සසප පෙනී සිටී. මහා ව්‍යාපාර හා බැංකු ජනසතු කිරීම, බිලියනපතියන්ගේ ධනය අත්පත්කර ගැනීම, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, දුගී ගොවීන්ගේ නය අහෝසි කිරීම, විදේශ වෙලඳාමේ රාජ්‍ය ඒකාධිකාරය පිහිටුවීම සහ උද්ධමනය අනුව කම්කරුවන්ගේ වැටුප් ඉහල දැමීම මේවාට ඇතුලත් ය.

නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා බදාදා පාර්ලිමේන්තුව තුල කරන ඡන්ද විමසීමේ ප්‍රෝඩාව ප්‍රතික්ෂේප කරන අපි, ඒකාධිපති විධායක ජනාධිපති ධූරය වහා ම අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමු.

සිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් කරන කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක්, සමාජවාදී පිලිවෙත්වලට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක පදනම මත තරුනයන් හා ගම්බද දුගීන් තමන්ගේ පාර්ශවයට රැලි කරගනු ඇත. මෙය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පලල් අරගලයේ කොටසකි.

මෙම විප්ලවීය සමාජවාදී ක්‍රියා මාර්ගයට සටන් වැදීම සඳහා සසපට බැඳෙන ලෙස අපි කම්කරුවන්ට, තරුනයන්ට, ශිෂ්‍යයන්ට හා ගම්බද දුගීන්ට ආයාචනා කරමු.

Loading