වැඩ බලන ජනාධිපති ලෙස නිල වශයෙන් පත්වීමෙන් පසු රාජ්‍ය මර්දනය මුදාහැරීමට වික්‍රමසිංහ තර්ජනය කරයි

(මෙහි පලවන්නේ Wickremesinghe threatens state repression following his formal installation as acting Sri Lankan president මැයෙන් 2022 ජූලි 16 පලවූ ලිපියේ පරිවර්තනය යි.)

ලංකාවේ ඉතිහාසය තුල විශාලතම විරෝධතා හා මහා පරිමාන වැඩ වර්ජනය මධ්‍යයේ, බදාදා රටින් පලාගිය ගෝඨාභය රාජපක්ෂ නිල වසයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, අගමැති රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස ඊයේ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

සිය සහෝදර මහින්ද රාජපක්ෂට මැයි 9දා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට බලකෙරුනු පසුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එක ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන වික්‍රමසිංහ මැයි 12දා අගමැති ධූරයට පත්කලේ ය. බදාදා අලුයම ලංකාවෙන් පිටතට ගුවන්ගත වූ රාජපක්ෂ, ජූලි 13දා වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ධූරයට පත්කලේ ය.

1993 සිට හය වතාවක් ලංකාවේ අගමැති ධූරය දරා ඇති වික්‍රමසිංහ, ධනේශ්වර පාලනය ආරක්ෂා කරන දීර්ඝ කාලීන එක්සත් ජනපද-ගැත්තෙකු ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට කැපවීමෙන් සහයෝගය දෙන්නෙකු ද වේ.

දිවුරුම් දීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, කොලඹ ගාලු මුවදොර පිටිය වටා කේන්ද්‍රගත ව පැවැත්වෙන විරෝධතාවන්ට තර්ජනය කරමින්, වික්‍රමසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කලේ ය.

“රට තුල නීතිය හා පාලනය ස්ථාපිත කිරීමට අවශ්‍ය ක්ෂනික පියවර මම ගන්නවා” යැයි ඔහු ප්‍රකාශ කලේ, තමන් “සාමකාමී අරගලයන්ට විරුද්ධ නො වන” බව කියාපාන අතර ය. “එහෙත් කැරලිකරුවන් හා විරෝධතාකරුවන් අතර වෙනස හඳුනාගැනීම” අවශ්‍ය බව ඔහු වැඩි දුරටත් කීවේ ය.

ඉන්පසු වික්‍රමසිංහ අවධානය යොමුකලේ, සොල්දාදුවන් 24 දෙනෙකු තුවාල ලද බව හා සොල්දාදුවන් දෙදෙනෙකුගේ ආයුධ සොරකම් කර ඇතැයි කියන, හමුදා භටයන් හා ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් අතර මෑත දී සිදු වූ ගැටුම්වලට ය. “ලබන සතියේ කැලඹීමක් නිර්මානය කිරීමට මෙම කැරලිකරුවන් උත්සාහ කරමින් සිටිනවා. අපට එයට ඉඩදීමට බැහැ” යි ඔහු කීවේ ය.

විරෝධතාකරුවන් ධනේශ්වර පාලනයට අභියෝග කලහොත්, ඔවුන් මතට කඩාපැනීම සඳහා මිලිටරියට හා පොලීසියට බලතල ලබාදීමට ඔහු කලින් ගත් පියවර ගැන සඳහන් කල වික්‍රමසිංහ මෙසේ මෙසේ කීවේ ය: “මම හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයාගෙන් සැදුම් ලත් කමිටුවක් පත්කර තිබෙනවා. නීතිය හා සාමය පවත්වාගැනීම ඔවුන්ට භාරයි.”

ඉන්පසුව, විනාශකාරී ආර්ථික අර්බුදය හා මිලියන ගනන් ලාංකිකයන් මුහුන දෙමින් සිටින මංමුලා සහගත තත්ත්වය සමග “නීතිය හා සාමය” සම්බන්ධ කිරීමට වික්‍රමසිංහ නරුම ලෙස ඉදිරියට ගියේ ය. “නීතිය හා සාමය බිඳවැටීම ආර්ථිකයට බලපාවි. ඉන්ධන, විදුලිය, ජල සම්පාදනය හා ආහාර සැපයීම බිඳවැටිය හැකියි” යි ඔහු ප්‍රකාශ කලේ ය.

වෙනත් වචනවලින් කියතොත්, ආහාර, ඉන්ධන, පිසින ගෑස් හා අනෙකුත් හිඟ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල අහස උසට නගින මිල ගනන් අරබයා කම්කරුවන්, තරුනයන් හා ගම්බද ජනයා ගෙන යන විරෝධතා මෙම අර්බුදය ගැඹුරු කරන බැවින්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට හා “පාලනය ස්ථාපිත” කිරීමට රාජ්‍ය මර්දනය අවශ්‍ය කරයි.

එදින පසු භාගයේ, මාධ්‍යවේදීන්, ඡායාරූප ශිල්පීන් හා රූපවාහිනී කාර්ය මන්ඩල පිරිවරාගත් වික්‍රමසිංහ, රෝහල්ගත ව සිටින සොල්දාදුවන් 24 දෙනා බැලීමට ගියේ ය. මේ සතියේ දී පොලීසිය හා යුද හමුදාව විසින් පහර දීම නිසා දැන් රෝහල්ගත ව සිටින විරෝධතාකරුවන් 84 දෙනා ගැන හෝ මෙම ගැටුම්වල දී මරා දැමුනු තරුන විරෝධතාකරුවා ගැන හෝ ඔහු කිසිදු සඳහනක් නො කලේ ය.

එක්සත් ජනපද හා අනෙකුත් තානාපති කාර්යාල සමගින්, සංගත ක්ෂේත්‍රය, සිවිල් සමාජ සංවිධාන හා ආගමික සංස්ථාපිතය, ව්‍යවස්ථාව හා ව්‍යවස්ථාමය රාමුව -මෙය ධනපති පාලනය සඳහා කේත පදයයි- පවත්වාගෙන යා යුතු බව කියා තිබේ.

හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් දැනට මත් යොදාගෙන ඇති, අත්‍යවශ්‍ය සේවා පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ආරක්ෂක ආඥා පනත හා අනෙකුත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්පියවර පැනවීම ඇතුලු මර්දනීය පියවර මාලාවක් පැනවීමේ බලතල වික්‍රමසිංහට ලබා දෙන විධායක ජනාධිපති ධූරය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුලත් වේ.

“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථාමය රාමුව ඇතුලත සාමකාමී බල මාරුවක් අත්‍යවශ්‍ය” බව, එක්සත් ජනපද තානාපතිනි ජුලී චං බ්‍රහස්පතින්දා ට්විටරි පනිවුඩයක සඳහන් කලා ය.

ලංකාවේ පවතින ආන්තික දේශපාලන අස්ථාවරත්වය පිලිබඳ තම චකිතය පිලිබිඹු කරමින් මෙම “උත්සුකතා” පලකරන අතර ම, දැන් පවතින ආන්ඩු-විරෝධී මහජන ව්‍යාපාරය සමග ගනුදෙනු කරන්නේ කෙසේදැයි, දේශපාලන විපාර්ශවයට, මිලිටරියට හා පොලීසියට උපදෙස් දෙමින්, චං හා විවිධාකාර “නිශ්ශබ්ද ඇමරිකානුවෝ” ඔවුන් සමග උපාමාරු දමමින් සිටිති.

වඩා පලල් කඩා පැනීමක් සිදුකිරීම පිනිස මිලිටරිය හා පොලීසිය යොදාගැනීමට කරන තර්ජන නො තකා, කම්කරුවෝ, තරුනයෝ හා ගම්බද ජනයා අඛන්ඩ ව විරෝධතා පවත්වමින් සිටිති. පහලින් පියාසර කල හෙලිකොප්ටර් යානා බදාදා විරෝධතාකරුවන්ට තර්ජනය කල අතර, බ්‍රහස්පතින්දා ගාලු මුවදොර විරෝධතා භූමිය අසලට පොලීසියේ හා මිලිටරියේ විශාල භට කන්ඩායම් ගෙන එනු ලැබීම මාධ්‍ය විසින් පෙන්වන ලදී.

එක්සත් ජනපදය අරමුදල් සපයන මිලිටරි අධ්‍යාපන හා පුහුනු වැඩසටහනේ ශ්‍රී ලංකාවේ උපාධිධාරීන් සමග එක්සත් ජනපද තානාපතිනි ජුලී චං ජූලි 6දා. ට්විටර් පනිවුඩය මෙසේ කියයි: “අද දිනයේ බොහෝ අභියෝග ද මිලිටරිය මහජනතාවට වග වී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ තහවුරු කිරීමේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා අපේ තිරසර ආරක්ෂක හවුල්කාරීත්වය යොදාගන්නේ කෙසේ ද යන්න ගැන ද අපි සාකච්ඡා කලෙමු.” (ඡායාරූපය: තානාපතිනි ජුලී චං)

“මාරාන්තික බලය යොදාගැනීම සඳහා අනුමැතිය දෙයි” යනුවෙන් ඊයේ අයිලන්ඩ් පත්‍රයේ පලවූ ලිපියක්, “මහජන දේපොල, මූලික ස්ථාන, අනතුරට ගොදුරු විය හැකි ස්ථාන හා මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය වුවහොත් මාරාන්තික බලය” යොදාගැනීමට සන්නද්ධ හමුදාවන්ට නියෝග කර ඇති බව වාර්තා කලේ ය.

කොරෝනා වෛරස් වසංගතයෙන් සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධයෙන් ගැඹුරු කෙරී වඩාත් නරක අතට හැරෙමින් පවතින සමාජ-ආර්ථික අර්බුදය විසින් මෙම තීව්‍ර වන දේශපාලන ව්‍යාකූලත්වය ධාවනය කෙරේ.

සමහර අවස්ථාවල දී, ලක්ෂ ගනනක් වන පීඩිත මහජනයා, දින කිහිපයක් තිස්සේ ඉන්ධන අපේක්ෂාවෙන් පෝලිම්වල රැඳී සිටිති. බ්‍රහස්පතින්දා වන විට මෙම පෝලිම්වල සිදුවූ මරන සංඛ්‍යාව 19 දක්වා නැගුනි.

වෛද්‍යවරුන් ද ඇතුලු සෞඛ්‍ය කම්කරුවන්ට ඉන්ධන පෝලිම්වල බලා සිටීමට බලකෙරෙන අතරතුර, ඖෂධ, උපකරන හා කාර්ය මන්ඩල හිඟයන් හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් හා රජයේ රෝහල් බිඳ වැටෙමින් පවතී. අහස උසට නගින ආහාර මිල හේතුවෙන්, ජනගහනයෙන් සියයට 75ක් ම ආහාර වේල් මගහරිමින් සිටී. පසුගිය මාසයේ දී වාර්ෂික ආහාර උද්ධමනය සියයට 80 කරා ලඟා විය.

ඊයේ දිනයේ, පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ජූලි 20දා පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා ගනු ඇති බව ප්‍රකාශ කල අතර, නව ජනාධිපති ධූරය වලංගු වන්නේ 2024 අවසන් වන තෙක් පමනි.

ජනාධිපති ධූරය හා අගමැති ධූරය සඳහා, දේශපාලන සංස්ථාපිතය සහ නායකයන් අතර තිරයෙන් පිටුපස ගනුදෙනුවල කලබැගෑනියක් සිදුවෙමින් පවතී.

පාර්ලිමේන්තුවේ වැඩි ම ආසන සංඛ්‍යාවක් දරන, රාජපක්ෂගේ ඉරි තැලුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) මහ ලේකම් සාගර කාරියවසම් නිවේදනය කලේ තම පක්ෂය ජනාධිපති ධූරය සඳහා වික්‍රමසිංහට සහයෝගය දෙන බවයි. එහෙත් ශ්‍රීලපොපෙ සභාපති ජී. එල්. පීරිස් ප්‍රකාශ කලේ පක්ෂය තමාගේ ම අපේක්ෂකයාට සහයෝගය දිය යුතු බවයි. ශ්‍රීලපොපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධූරය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කර ඇත.

වික්‍රමසිංහගේ ශේෂ වී ඇති එජාපයෙන් බිඳුනු විපාර්ශවික සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් අතරට අයත් වේ. ප්‍රේමදාස හා අලහප්පෙරුම අතර ජනාධිපති ධූරය හා අගමැති ධූරය බෙදාගත යුතු යයි ද යෝජනාවක් පවතී. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), දෙමල ජාතික සන්ධානය හා අනෙකුත් පාර්ලිමේන්තු පක්ෂ ජනාධිපති මැතිවරනය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට නියමිත ය.

තවමත් සාකච්ඡා මට්ටමේ පවතින ජාමූඅ විධානය කරන කප්පාදු න්‍යාය පත්‍රය පැටවීම ආරම්භ කිරීම සඳහා, අගමැති හා ජනාධිපති තෝරාගැනීමේ මැතිවරනයෙන් පසු අන්තර්-කාලීන සර්ව-පාක්ෂික ආන්ඩුවක් ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවට තීරනාත්මක ය. සහනාධාර කැපීම්, පුද්ගලීකරනයන් සහ ඉහල දමන ලද හා වඩා පලල් බදු ඇතුලු නව බර, ජාමූඅ පියවර මගින් වැඩකරන ජනයා මත පැටවෙනු ඇත.

පාලක පන්තිය ඇතුලත පවතින කාංසාවට හඬක් දෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ජාත්‍යන්තර මාධ්‍යයට පැවසුවේ, ශ්‍රී ලංකාව තුල ස්ථාවර ආන්ඩුවක් ඉක්මනින් ස්ථාපිත කර නො ගත හොත් රට ඇන හිටිනු ඇති බවයි.

වෘත්තීය සමිති අඛන්ඩ ව මුලුමනින්ම ප්‍රතිගාමී භූමිකාවක් ඉටු කරති. ජූලි 9දා පැනනැගි, ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙහි වඩාත් ම පලල් ආන්ඩු-විරෝධි විරෝධතාවටත්, ඉන්පසුව ජනාධිපතිගේ හා අගමැතිගේ නිල නිවාසවලට මහජනයාගේ කඩාවැදීමටත්, වෘත්තීය සමිතිවල ප්‍රතිචාරය වූයේ කම්කරු පන්තියේ සියලු ස්වාධීන ක්‍රියාවලට ඇබ ගැසීම යි.

ජූලි 13දා වන විට රාජපක්ෂ හා වික්‍රමසිංහ ඉවත් නො වුනහොත්, ජූලි 14දා මහා වැඩ වර්ජනයක් හා හර්තාලයක් දියත් කරන බව, වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය සහ වෘත්තීය සමිති හා මහජන සංවිධාන එකමුතුව ප්‍රකාශ කල හ. මෙය සිදු නොවුනහොත්, ජූලි 18දා තම ක්‍රියාව සංවිධානය කරන බව ඔවුහු පවසති.

මෙය සිදු වුව ද, අප්‍රේල් 28, මැයි 6 හා මැයි 10 යන දිනයන්හි ඔවුන්ට කැඳවීමට බලකෙරුනු අනෙකුත් එක් දින මහා වැඩ වර්ජන මෙන් ම, ඒවා යොදාගනු ඇත්තේ, කෝපය වාෂ්ප කොට කම්කරුවන් ව අන්තර්-කාලීන සර්ව-පාක්ෂික ආන්ඩුවක් සඳහා වන කැඳවුම් පිටුපසට අපසරනය කිරීමට යි.

මෙම ධනපති-ගැති න්‍යාය පත්‍රයට විරුද්ධ ව, තම දැවෙන අවශ්‍යතා සඳහා සමාජවාදී පිලිවෙත් මත පදනම් වන තමන්ගේ ම විප්ලවවාදී විසඳුම් වෙනුවෙන් සටන් කිරීමට, තරුනයන් හා ගම්බද දුගීන් රැලි කරගනිමින් මෙම දේශපාලන තත්ත්වයට ස්වාධීන ව මැදිහත් වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියට කැඳවුම් කරයි.

ඒ සඳහා, සෑම වැඩපොලක, කම්හලක, වත්තක, නිවහන් ප්‍රදේශයක හා ගම්බද ප්‍රදේශයක ම, සියලු ධනේශ්වර පක්ෂවලින් හා ඒවායේ වෘත්තීය සමිති ඒජන්තයෙන්ගෙන් ස්වාධීන ව, කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හදිසි අවශ්‍යතාවකි. මෙම ක්‍රියාකාරී කමිටුවල ජාල ස්ථාපිත කොට, මෙම සටන ඉදිරියට ගෙන යාම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග සම්බන්ධ කරනු ලැබිය යුතු ය.

Loading