සිංගප්පූරුවට පලා යාමෙන් පසු රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වෙයි

[මෙය Rajapakse formally resigns as Sri Lankan president after fleeing to Singapore යන මැයෙන් 2022 ජූලි 15 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකා ජනාධිපති ධූරයෙන් ගෝඨාභය රාජපක්ෂගේ නිල ඉල්ලා අස්වීම කොලඹට යවා ඇති අතර, එය නිල වශයෙන් පිලිගැනීම අද උදෑසන අගනුවරදී ප්‍රකාශයට පත් කරන ලදී. මීට වසර තුනකට පෙර රාජපක්ෂ විශාල බහුතරයකින් ජනාධිපති ලෙස තේරී පත් විය. ඔහු අඟහරුවාදා අලුයම මාලදිවයිනට පලා ගියේ, ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත්විය යුතු බවටත්, ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවටත් ඉල්ලමින් මාස තුනකට වැඩි කාලයක් රටපුරා පැවති දැවැන්ත විරෝධතා සහ මහා වැඩ වර්ජන තුනකින් පසුව ය.

ගෝඨාභය රාජපක්ෂ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

ඊයේ පස්වරුවේ සිංගප්පූරුව බලා පියාසර කල රාජපක්ෂ රාත්‍රියේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත විද්‍යුත් තැපෑලෙන් යොමු කලේය. රාජපක්ෂ ට රැකවරනය ලබා දී නොමැති බව සහ ඒ සඳහා ඉල්ලීමක් ද නොකෙරුනු බව පෙන්නුම් කරමින්, ඔහු පෞද්ගලික සංචාරයක යෙදී සිටින බව සිංගප්පූරුව නිවේදනය කලේය.

මීට පෙර රාජපක්ෂ විසින් වැඩබලන ජනාධිපති ලෙස පත් කරන ලද පුලුල් ලෙස පිලිකුලට බඳුන් වූ රනිල් වික්‍රමසිංහ, 'පාලනය යතා තත්වයට පත් කිරීමට අවශ්‍ය දේ' කරන ලෙස වහාම මිලිටරියට සහ පොලිසියට උපදෙස් දුන්නේය. ඔහු, 'දේපල හා ජීවිත විනාශය වැලැක්වීමට' ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රධානීන් ඇතුලත් කමිටුවක් පත් කර ඇත.

වික්‍රමසිංහ ඊයේ දහවල් සිට අද අලුයම 5 දක්වා කොලඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවූවේය. ඒ, ඔහු විසින් දිවයින පුරා හදිසි තත්වයක් සහ බස්නාහිර පලාත සඳහා පෙරේදා පැය 24 ක ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවය. ඊයේ රාත්‍රියේ දහස් ගනන් ජනයා රාජපක්ෂගේ ඉල්ලා අස්වීම සැමරුවේ මෙම ඇඳිරි නීතිය බොහෝ දුරට නොසලකා හරිමිනි.

විරෝධතාවන්ට එරෙහිව මිලිටරිය මුදා හැරීමට විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ වික‍්‍රමසිංහට පුලුල් බලතල ඇතත්, මේ මොහොතේ පූර්න පරිමානයේ ප‍්‍රචන්ඩ රාජ්‍ය මර්දනයක් මුදාහලහොත් එය ආපසු කැරකී විත් ආන්ඩු විරෝධී කැරැල්ල තවත් තීව්‍ර කිරීමට තුඩු දෙනු ඇතැයි පාලක පන්තිය තුල සැක සාංකාවන් පවතී.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති පරිදි, “රනිල්ට, හමුදාව ලවා බලය පාවිච්චි කිරීමට අවශ්‍යව ඇතත්, ශ්‍රී ලංකා හමුදාව විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට නොහැකි බව පවසයි.”

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් ඊයේ ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීය, 'අපි සියලු ප්‍රචන්ඩත්වය හෙලා දකින අතර නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා සිටිමු.' “දිගුකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විසඳුම් ක්‍රියාත්මක කිරීමට” එක්ව කටයුතු කරන ලෙස ඇය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියාය.

වෙනත් වචන වලින් කිවහොත්, මෙම අවස්ථාවේදී මිලිටරිය සහ පොලිසිය මුදා නොහැරිය යුතු අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කුරිරු කප්පාදු පියවරයන් ක්‍රියාවට නැංවීම සඳහා අන්තර්වාර පාලන තන්ත්‍රයක් සූදානම් කරන අතරම, මහජන ව්‍යාපාරය මැඩපැවැත්වීමට සහ අපසරනය කර හැරීමට විරුද්ධ පක්ෂ ඔවුන්ගේ ප්‍රයත්නයන් තීව්‍ර කල යුතුය.

බදාදා මාධ්‍ය හමුවක් අමතමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගෙන් සහ විශේෂයෙන්ම තරුනයන්ගෙන් ඉල්ලා සිටියේ, 'නව ජනාධිපතිවරයෙකු පත්වන තුරු නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උදව් කරන ලෙස' ය. මෙම ආයාචනා තිබියදී, විරෝධතාකරුවන්ට එරෙහි මිලිටරි සහ පොලිස් ප්‍රහාර දිගටම පවතින අතර, අවම වශයෙන් විරෝධතාකරුවන් 84 දෙනෙකු රෝහල් ගත කර ඇත, පසුගිය සතිය පුරා ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින් තුවාල ලැබූ එක් තරුනයෙක් මිය ගියේය.

රාජපක්ෂගේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩබලන ජනාධිපති වික්‍රමසිංහගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් වහාම 'නීතිය හා සාමය යතා තත්ත්වයට පත් කරන' ලෙස ඉල්ලා සිටියේය. “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුලු පුද්ගලයන් කිහිප දෙනෙකු ඝාතනය කල මෙන්ම පොදු සහ පෞද්ගලික දේපල විනාශ කල” නීති කඩකරන්නන් ලෙස උද්ඝෝෂකයන් හංවඩු ගැසීමට එම ප්‍රකාශය යත්න දරා තිබුනි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මූලාශ්‍රයන් රොයිටර් පුවත් සේවයට පැවසුවේ, ජනාධිපති ධුරය සඳහා පක්ෂයේ පලමු තේරීම වික්‍රමසිංහ බවයි. මෙම පියවරයන් මගින් මතුකර පෙන්වනුයේ, විරෝධතාකරුවන්ට එරෙහිව අනාගත මිලිටරි-පොලිස් මර්දනයක් සහ දුරදිග යන රාජ්‍ය මර්දනයක් සඳහා රාජපක්ෂගේ පක්ෂය සහ වික්‍රමසිංහ අතර පවතින සහයෝගීතාවයයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, විරෝධතාකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලින් සෙබලුන් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. හමුදා සොල්දාදුවන් දෙදෙනෙකුට “තදබල ලෙස පහර දී, ඔවුන්ගේ ආයුධ සහ පතොරම් විරෝධතාකරුවන් විසින් සොරකම් කර ඇති” බවට ද ඔහු චෝදනා කලේය. මෙම ආයුධ, විරෝධතාකරුවන් විසින් ප්‍රචන්ඩත්වය පතුරුවා හැරීම සඳහා භාවිතා කල හැකි බව ඔහු පැවසීය, එය විරෝධතාකරුවන්ට එරෙහිව අනාගත රාජ්‍ය ප්‍රකෝපකරනයන් සූදානම් වෙමින් පවතින බවට පැහැදිලි දර්ශකයකි.

බදාදා පැවැත්වූ රූපවාහිනී කතාවකදී වාඩි ලා සිටින්නන් හෙලා දුටු වික්‍රමසිංහ, ඔවුන් ඉවත් කිරීමට ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බව පැවසීය. විරෝධතාකරුවන්ට අරලියගහ මන්දිරය (අගමැති නිවස), ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමට ඉඩ නොදිය යුතු බව ඔහු පැවසීය, මන්ද ඔවුන් ලිපි ලේඛන රැගෙන යනු ඇත, නැතහොත් විනාශ කරනු ඇත. මෙම ගොඩනැගිලිවල වාඩි ලා ගැනීම අවසන් කරන බව ආන්ඩු විරෝධී විරෝධතාකරුවෝ ඊයේ නිවේදනය කලහ.

ඊයේ දිනයේ, රාජපක්ෂගේ සමීපතමයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පැරැන්නෙකු වන පාර්ලිමේන්තු කථානායක අබේවර්ධන අද පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය අවලංගු කලේය. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබීමෙන් පසු දින තුනක් ඇතුලත එය නැවත ආරම්භ කරන බව ඔහු පැවසීය. ජුලි 19 වැනිදා ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා භාරදීමට ද පාර්ලිමේන්තුව විසින් ජුලි 20 වැනිදා නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට ද නියමිතව තිබුනි.

විරුද්ධ පක්ෂ ඇතුලු දේශපාලන සංස්ථාපිතයේ මෙම පක්ෂ කිසිවක් වික්‍රමසිංහගේ ආඥාදායක පියවර හෙලා දැක නැත. උපරිම වශයෙන් ඔවුන් කර ඇත්තේ, හමුදාවට සහ වැඩබලන ජනාධිපතිවරයාට දුබල ආයාචනා නිකුත් කිරීම ය.

පාර්ලිමේන්තු විපක්ෂයේ සහ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුදාවට ආයාචනා කරමින්, 'මම අපේ හිතවත් ආරක්ෂක හමුදාවන්ගෙන් ඉල්ලා සිටින්නේ පීඩාකාරී පාලනයක අතකොලු නොවන ලෙස' යයි ප්‍රකාශ කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ, “දෙවියන්ගේ නාමයෙන් මම ආයාචනා කරන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මනින් ඉල්ලා අස්වන ලෙසයි” යනුවෙනි. ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ද එවැනිම ආයාචනා නිකුත් කර තිබේ.

ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ ප්‍රතිගාමී ස්වභාවය සහ එය ජනාධිපතිට ලබාදෙන ඒකාධිපති බලතල හෙලිදරව් කර ඇත.

ඒකාධිපති පාලනයක් සඳහා සූදානම් වෙමින් සිටින අන්තර්වාර සර්ව පාක්ෂික ආන්ඩුවක උගුල ප්‍රතික්ෂේප කරමින් සසප අවධාරනය කරන්නේ, කම්කරු පන්තිය කාරනා තම අතට ගත යුතු බවයි.

අවශ්‍ය වන්නේ කම්කරු පන්තිය වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් මිදී ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමයි. දැන් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙසත්, සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා සටන් කරන ලෙසත්, හදිසි අවශ්‍යතාවන්—ආහාර, පිහුම් ගෑස්, පෙට‍්‍රල්, සෞඛ්‍ය සහ අනෙකුත් දැවෙන සමාජ අවශ්‍යතාවන්—මහජනතාවට සපයන ලෙසත් මෙම කොමිටි ඉල්ලා සිටිය යුතුය.

කම්කරු පන්තියේ මෙම ස්වාධීන ඒකාබද්ධ ව්‍යාපාරය, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා පුලුල් අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත්වලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට ගම්බද දුගීන් හා තරුනයින් පෙල ගැස්විය යුතුය.