ඉදිරිදර්ශන

යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා විල් ලීමන්ට සහයෝගය දෙන්න!

[මෙය Support Will Lehman for UAW president! මැයෙන් 2022 ජූලි 31 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පෙන්සිල්වේනියාවේ මැකුන්ගීහි මැක් ට්‍රක්ස් කර්මාන්තශාලාවේ 34 හැවිරිදි මෝටර් රථ කම්කරුවෙකු හා සමාජවාදියෙකු වන විල් ලීමන් ව, එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) සභාපති ධූරය සඳහා තරඟ කිරීම පිනිස ජූලි 27 සවස නාම යෝජනා කරනු ලැබුනි. ලීමන්, යූඒඩබ්ලිව්හි සියලු කම්කරුවන්ගෙන් මෙන් ම, එක්සත් ජනපදයේ හා ලෝකය පුරා කම්කරුවන්ගේ ද පලල් ම සහයෝගය ඉල්ලා සිටියි.

සම්මෙලන නීති අනුව, අවසර දෙනු ලබන වැඩි ම සංඛ්‍යාව වන, නියෝජිතයන් දෙදෙනෙකු මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට්හි පැවති යූඒඩබ්ලිව් සම්මේලනයේ දී ලීමන්ගේ නම යෝජනා කලෝ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, ක්‍රියාකාරී සමාජිකයන් 400,000ක් හා විශ්‍රාමික සමිති සාමාජිකයන් 500,000ක් ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබන මැතිවරනයේ ඡන්ද පත්‍රිකා මත දැන් ඔහුගේ නම ප්‍රදර්ශනය වෙයි.

එලැඹෙන ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී තැපැල් ඡන්ද ඔස්සේ පවත්වනු ලැබීමට නියමිත මැතිවරයේ දී, ලීමන් පහත සඳහන් ඔහුගේ ප්‍රතිවාදීන්ට අභියෝග කරනු ඇත: අධිකරනයෙන් වැරැදිකරුවෙකු යැයි නිගමනය කරන ලද හිටපු සභාපති ගැරී ජෝන්ස්ගේ අන්තේවාසිකයෙක් වන වත්මන් යූඒඩබ්ලිව් සභාපති රේ කරී; දීර්ඝ-කාලීන යූඒඩබ්ලිව් නිලධරයෙක් වන ෂෝන් ෆේන්; ජාතිකවාදියෙක් හා සමාජවාද-විරෝධියෙක් වන බ්‍රයන් කෙලර් සහ 163 වන ලෝකලයේ සභාපති මාක් ගිබ්සන්.

හිටපු යූඒඩබ්ලිව් විධායක නිලධාරීන් “සොරුන්” ලෙස හෙලා දුටු, දූෂන වසං කිරීම හේතුකොටගෙන වත්මන් විධායක මන්ඩලයත් හෙලා දුටු ඩිට්‍රොයිට්හි 174 වන ලෝකලයේ නියෝජිතයෙක් ලීමන්ගේ නම යෝජනා කලේ ය. චිකාගෝහි තවත් නියෝජිතවරියක් කියා සිටියේ, ලීමන්ගේ උද්ඝෝෂනය යූඒඩබ්ලිව් නිලධරයට විරුද්ධ වන නිසාත්, කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය සඳහා කැඳවුම් කරන නිසාත්, තමන් ලීමන්ගේ නම යෝජනා කරන බව යි.

නියෝජිතයන් ලීමන් නම් කිරීමෙන් වැලක්වීම සඳහා, යූඒඩබ්ලිව් නායකත්වය ඔවුන් මත යෝධ පීඩනයක් යෙදීය. වැඩ වර්ජන දීමනාව වැඩිකිරීම සඳහා කලින් දී තිබූ ඡන්දයක් අහෝසි කිරීම පිනිස, නියෝජිතයන්ගෙන් බොහෝ දෙනෙක් ඩිට්‍රොයිට් වෙතින් පිටත් වී යන තුරු නායකයින් විසින් ප්‍රමාද කරනු ලැබූ, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහසනයක් බවට සම්මේලනය පත් විය. එහෙත්, මෝටර් රථ සමාගම් සමග එක් ව යූඒඩබ්ලිව් නායකත්වය යෙදුනු සාපරාධී සහයෝගිතාව මගින් නිර්මානය කරන ලද යූඒඩබ්ලිව් තුල අර්බුදය කොතරම් විශාල ද යත්, මෙම වේල පිරිමසා ගන්නා සම්මේලනයට සහභාගි වූ නියෝජිතයෝ පවා, ධූරාවලිය බිඳ දමා, ලීමන්ගේ නම ඡන්ද පත්‍රිකාවේ අඩංගු කිරීම සඳහා ඡන්දය දුන්නෝ ය.

සම්මේලනයේ දී ලීමන් හා ඔහුගේ ආධාරකරුවන් කල මැදිහත් වීම පැහැදිලි කලේ, ඔහුගේ උද්ඝෝෂනය සාමාන්‍ය කම්කරුවන් වෙනුවෙන් කතා කරන බව යි. නියෝජිතයන් අතර මැදිහත් වීමටත්, සාමාන්‍ය කම්කරුවන්ගේ පිටුබලය ලැබෙන එකම උද්ඝෝෂනය ඔහුගේ මැදිහත් වීම බව පෙන්වාදීමටත්, ලීමන් කම්කරුවන් කන්ඩායමක් ගෙන ආවේ ය. නාම යෝජනාවලට පෙර දින ස්ටෙලන්ටිස්හි වොරන් ට්‍රක් රථ කම්හලේ පැවති රැලියක දී, ලීමන්ට ඡන්ද පත්‍රිකාව මත ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා සිටි සාමාන්‍ය කම්කරුවෝ, යූඒඩබ්ලිව්හි දශක ගනනාවක පාවාදීම් කෙරෙහි කෝපය පල කල හ.

2022 ජූලි 5දා වොරන් ට්‍රක් කම්හලේ කම්කරුවෙකුට කතා කරන යූඒඩබ්ලිව් සභාපති ධූරාපේක්ෂක විල් ලීමන් (ඡායාරූපය: ලෝසවෙඅ)

නාම යෝජනාවෙන් පසුව ප්‍රකාශයක් පල කල ලීමන්, ඔහුගේ උද්ඝෝෂනයේ “ඉලක්කය වන්නේ එක් නිලධරයෙකු තවත් නිලධරයෙකුගෙන් විස්ථාපනය කිරීම නො වන” බව කීවේ ය. “අපිම සංවිධානය වීමෙන් තොර ව, අපට අවශ්‍ය දේවල් සඳහා සටන් කල නො හැකි යි.” “බලයේ සැබෑ අයිතිකරුවන් වන වැඩබිමෙහි සිටින කම්කරුවන් වෙත බලය මාරු කිරීමට සෑම වැඩපොලක ම කම්කරු ක්‍රියාකාරී කමිටු” ගොඩනැගීම අවශ්‍ය බව ඔහු කීවේ ය.

එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර කම්කරුවන් එකමුතු කිරීමටත්, සංගතවලට එරෙහි ව සැබෑ අරගලයක් දියත් කිරීමටත්, කම්කරුවන්ගේ කැරැල්ලක් අවශ්‍ය බව ලීමන් තව දුරටත් කීවේ ය. “අපේ අරගලය මර්දනය කිරීමට පමනක් පවතින නිලධර යාන්ත්‍රනය ප්‍රතිසංස්කරනය කරනු ලැබිය නො හැක. එය අතුගා දැමිය යුතු ය.”

සංගත පාලිත යාන්ත්‍රනයෙන් බිඳී වෙන්වීම පිනිස කම්කරුවන් අතර වැඩෙන ව්‍යාපාරයක්, ලීමන්ගේ උද්ඝෝෂනය මගින් පිලිබිඹු කරයි. යූඒඩබ්ලිව් පිටුබලය ලබන කොන්ත්‍රාත්තු අතිමහත් බහුතරයෙන් ප්‍රතික්ෂේප කිරීම් මාලාවක් මගින් ද පසුගිය වසර පුරා වෘත්තීය සමිතිය විසින් මර්දනය කිරීමට වෑයම් කෙරුනු බලගතු වැඩ වර්ජන මගින් ද කම්කරුවන්ගේ මෙම ව්‍යාපාරය පිලිබිඹු කෙරුනි. ඒ අතර ම, මෙම කම්කරු පන්තික ව්‍යාපාරයේ වර්ධනය, එක්සත් ජනපද තුල ද ලෝකය පුරා ද වර්ධනය කිරීමට, එමගින් ඉඩහසර සලසයි.

එක්සත් ජනපදය තුල පන්ති අරගලයේ දැවැන්ත වර්ධනයක් සමග ලීමන්ගේ උද්ඝෝෂනය සමපාත වනු ඇති බව සහ උද්ඝෝෂනය එයින් ප්‍රතිලාභ ලබනු ඇති බවට සෑම දර්ශකයක් ම පවතී. එය එසේ වන්නේ, යූඒඩබ්ලිව් අන් කවරදාටත් වඩා ශක්තිමත් යැයි ද සෑම අලුතු කොන්ත්‍රාත්තුවක් තුලම “‌ඓතිහාසික ජයග්‍රහන” අඩංගු වෙතැයි ද යන ඇදහිය නො හැකි බොරුව, මෙම වෘත්තීය සමිතිය විසින් අනවරතව කම්කරුවන්ට දේශනා සිටින තත්වයක් යටතේ පවා ය.

වෘත්තීය සමිති යාන්ත්‍රනයට එරෙහිව කම්කරුවන්ගේ කැරැල්ලක් සඳහා කැඳවීමට අමතර ව, ලීමන්ගේ උද්ඝෝෂනය කරුනු දෙකක් අවධාරනය කර ඇත:

ප්‍රථමයෙන් එය, සෑම ආකාරයකම ජාතිකවාදයට විරුද්ධ ව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා කැඳවුම් කර ඇත. සියලු යූඒඩබ්ලිව් සාමාජිකයන්ට යවන ලද ප්‍රකාශ හා ඊමේල් පනිවුඩ තුලදී, පසුගිය වසරේ මැයි මාසයේ දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ආරම්භකත්වය ගත් කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට (කක්‍රිකජාස), ලීමන්ගේ සහාය පලකර තිබේ.

දෙවනුව, ප්‍රධාන ආර්ථික ජයග්‍රහන සඳහා කරන සටන, අසමානතාවේ හා දරිද්‍රතාවේ මූලාශ්‍රය වන ධනපති ක්‍රමයට එරෙහි අරගලයක් සමග මෙම උද්ඝෝෂනය හරහා සම්බන්ධ කර ඇත. “මම සමාජවාදියෙක් වෙමි. සමාජවාදය සමාජය පන්තිවලට බෙදී තිබෙන බව හඳුනාගනී. මේ දැන් පන්ති යුද්ධයක් පවතින අතර, සටන් වදින්නේ එක් පන්තියක් පමනි. සමාජවාදයෙහි අර්ථය වන්නේ, ලෝකයේ නිෂ්පාදන බලවේග කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීම සහ අතලොස්සක් බිලියනපතියන් ධනවත් කිරීම වෙනුවට සමස්ත මානව වර්ගයාගේ අවශ්‍යතා ඉටු කිරීමට සම්පත් බෙදාහැරීම යි” යි යූඒඩබ්ලිව් සම්මේලනයට පෙරාතුව ලීමන් සාමාජිකත්වයට යැවූ ඊමේල් පනිවුඩයක් තුල ලීවේ ය.


“පාලක ප්‍රභූව විසින් පාලනය” කරන බව ඔහු කියන ධනපති දේශපාලන පක්ෂ දෙකට කම්කරු පන්තිය යටත් කිරීමට, ප්‍රකාශය විවෘත ව පහර දුන්නේ ය. ඔහු මෙසේ එකතු කලේ ය:

“යූඒඩබ්ලිව් යනු වැඩකරන ජනයාට කිසිදු ආකාරයක හෝ හඬක් අහිමි කිරීම ඉලක්ක කරගත් මෙම දේශපාලනික පාලන ජාලයේ කොටසකි. පාසල්, පොදු යටිතල පහසුකම් හෝ සමාජ සේවාවන් සඳහා “මුදල් නැති” බව දශක ගනනාවක් තිස්සේ අපට කියලා තියෙනවා. එහෙම කියන, යූඒඩබ්ලිව් පිටුබලය සහිත ව තෝරා පත්කර ගන්නා දේශපාලනඥයන් ද ඇතුලු [රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික්] පක්ෂ දෙක, මානව වර්ගයා විලෝපනය කිරීමේ හැකියාව ඇති යුක්‍රේනය දඩමීමා කරගනිමින් රුසියාවට එරෙහි යුද්ධයක් තීව්‍ර කිරීමට ඩොලර් බිලියන 40ක් සපයා ගැනීමේ කාරනයම පිලිකුල දනවන්නක්.”

පැහැදිලිවම සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා නිල වසයෙන් අපේක්ෂකයෙකු නම් කිරීම, ‌එ‍ෙතිහාසික සැතපුම් කනුවක් මෙන් ම, ඇමරිකානු කම්කරු පන්තිය තුල මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පවතින යෝධ විභවයෙහි ප්‍රකාශනයක් ද වේ.

එක්සත් ජනපදය තුල තරම්, වෘත්තීය සමිති තුල සමාජවාදීන්ගේ පෙනී සිටීමට එරෙහි ව, කවර බටහිර ප්‍රජාතන්ත්‍රයක් තුල වත්, මෙවන් අනුකම්පා විරහිත යුද්ධයක් දියත් කර නැත. ස්ටැලින්වාදීන්ගේ කුනු වූ දේශපාලනය ගසාකමින්, 1940 ගනන්වල දී ප්‍රති-කොමියුනිස්ට්වාදී දඩයම් කිරීම ආරම්භ වූ තැන් පටන්, සමාජවාදය වෘත්තීය සමිතිවලින් සම්පූර්නයෙන් ම පිටමං කරනු ලැබ තිබේ.

කම්කරුවන්ගේ සටන්කාමීත්වය ප්‍රතික්ෂේප කිරීම, දුෂ්ට ප්‍රති-කොමියුනිස්ට්වාදය හා කම්කරු පන්තිය ඩිමොක්‍රටික් පක්ෂයට යටත් කිරීමක් මත, 1955 දී ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිතිය එක්සත් කිරීම පදනම් කෙරුනි. 1970 ගනන් අගභාගයේ හා 1980 ගනන්වල දී, වෘත්තීය සමිති යාන්ත්‍රනය, සංගත කලමනාකාරීත්වයෙහි ඍජු උපකරන බවට පරිවර්තනය කිරීම සඳහා, මෙමගින් කොන්දේසි නිර්මානය කලේ ය.

කෙසේවෙතත්, කම්කරු පන්තිය පෙරලා සටන් කිරීම අරඹා ඇත. යූඒඩබ්ලිව් උද්ඝෝෂනය සිදු වන්නේ, තීව්‍ර දේශපාලන හා ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ය. වසංගතය අබාධිත ව පැතිරෙන අතරේ, මිල ගනන් පිම්බෙමින් හා මූර්ත වැටුප් ඛාදනය ‌වෙමින් පවතී. වැටුප් පහත හෙලීමේ අරමුනින් යුතු ව ‌ෆෙඩරල් රිසර්ව් බැංකුව පොලී අනුපාත ඉහල දමමින් සිටී. ගිවිසුම් හරහා උද්ධමන අනුපාතයට වඩා බොහෝ පහලින් වැටුප් තල්ලු කරගෙන යාම සඳහා ආන්ඩුව වෘත්තීය සමිති මත විශ්වාසය රඳවයි. මේ සියල්ල සිදුවන්නේ, රුසියාවට එරෙහි යුද්ධය සඳහා යුක්‍රේන ආන්ඩුව සන්නද්ධ කිරීම පිනිස, ආන්ඩුව ඩොලර් බිලියන ගනන් වියදම් කරන තතු තුල ය.

මේවායේ ප්‍රතිවිපාක ගැන පාලක පන්තිය පසුවන්නේ භීතියෙනි. ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් කතා කරමින්, යූඒඩබ්ලිව් සම්මේලනය ගැන එක් ලිපියක් නිව් යෝක් ටයිම්ස් පත්‍රය පලකලේ, ලීමන් ගැන නොතකා හරමිනි. “එලඹෙන වසරේ කොන්ත්‍රාත්තු පිලිබඳ සාකච්ඡාවල දී පරදුවට තැබී ඇති මූලික ප්‍රශ්න ගැන” සභාපති ධූරයට තරඟ වදින සියලු අපේක්ෂකයෝ “එකඟ වෙති” යි කියාපෑම දක්වා ටයිම්ස් ඉදිරියට ගිය අතර, මෙය අමූලික පචයකි.

ඩිමොක්‍රටික් පක්ෂය හා වෘත්තීය සමිති යාන්ත්‍රනය වටා සිටින සංවිධාන සලකන කල, ඒවා ලීමන්ගේ උද්ඝෝෂනය සම්බන්ධයෙන් පරිපූර්න නිශ්ශබ්දතාවක් පවත්වාගෙන ගොස් ඇත. සමාජවාදියෙක් ලෙස විවෘත ව තරඟ කරන එකම අපේක්ෂකයා නම් කිරීමට, ඇමරිකානු ඩිමොක්‍රටික් සෝෂලිස්ට්වාදීන් (ඩීඑස්ඒ) හෝ ලේබර් නෝට්ස් සමග පෙලගැසී සිටින කිසිදු නියෝජිතයෙක් ඉදිරිපත් වූයේ නැත. මෙයට හේතුව වන්නේ, මධ්‍යම පන්තියෙහි වරප්‍රසාදිත කොටස් නියෝජනය කරන මෙම ව්‍යාජ-වාම සංවිධාන, කම්කරු පන්තිය මත පොලිස් බලයක් ලෙස සේවය කරන යාන්ත්‍රනයක් තුල තානාන්තර ලබාගැනීමට මුලුමනින් ම යොමු වී සිටින නිසා ය.

යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා වන විල් ලීමන්ගේ උද්ඝෝෂනය, ව්‍යාජ-වමේ රැඩිකල් දේශපාලනය ද ඇතුලුව දක්ෂිනාංශික කම්කරු පන්තියක් පිලිබඳ නිල ආඛ්‍යානය පුපුරුවා හරියි. සංගත හා දේශපාලන සංස්ථාපිතයේ සමස්ත පිලිවෙතට විරුද්ධ වීමේ මාවතක් සොයමින්, කම්කරු පන්තිය වමට ගමන් කරමින් සිටී. මෙම උද්ඝෝෂනය, සංගත-ගැති වෘත්තීය සමිති යාන්ත්‍රනයට එරෙහි කැරැල්ලක් සහ කම්කරු පන්තියේ අව්‍යාජ, වාමාංශික හා සමාජවාදී ව්‍යාපාරයක් වාත්තු කරගැනීම සඳහා පවතින යෝධ විභවය ප්‍රදර්ශනය කරයි.

එහෙත්, මෙම උද්ඝෝෂනයෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ, සමස්ත කම්කරු පන්තියේ ක්‍රියාකාරී සහයෝගය මත යි. නාමයෝජනාවෙන් පසුව, ලීමන් කම්කරුවන්ට කී පරිදි: “මට මෙය තනිව ම කිරීමට බැහැ, මම ප්‍රාතිහාර්යයන් පාන කම්කරුවෙක් නෙවෙයි. මෙම උද්ඝෝෂනය ඔබ පිලිබඳ එකක් මිස මා පිලිබඳ එකක් නෙවෙයි. මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ, සටන් කිරීමට හා ජයග්‍රහනය කිරීමට මෙම උද්ඝෝෂනය හරහා සංවිධානය අප විසින් වර්ධනය කිරීම සඳහා ඔබ නිරත වන ප්‍රමානයට යි.”

යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා විල් ලීමන්ගේ උද්ඝෝෂනයට ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනුමැතිය දී තිබේ. සෑම වැඩපොලක ම මැතිවරන කමිටු ස්ථාපනය කිරීම හරහා එයට සහයෝගය දෙන ලෙස, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර ව සියලු කම්කරුවන්ට අපි කැඳවුම් කරමු. හැකිතාක් මෙම උද්ඝෝෂනය පතල කරන්න. සංගතවල සූරාකෑමටත්, සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි ව කම්කරුවන්ගේ කැරැල්ලක නායකත්වය බවට මෙම උද්ඝෝෂනය පත්කල හැකිවන්නේ, මෙම ආකාරයෙන් පමනි.

විල් ලීමන්ගේ උද්ඝෝෂනය පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: WillforUAWpresident.org.

Loading