ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු යූඒඩබ්ලිව් සභාපතිත්වය සඳහා විල් ලීමන්ගේ උද්ඝෝෂනයට සහාය දක්වයි

[මෙය Workers action committees in Sri Lanka support Will Lehman’s campaign for UAW president මැයෙන් 2022 අගෝස්තු 06 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පහත ප්‍රකාශයට පත් කර ඇත්තේ, එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ සංගමයේ සභාපති ධූරය සඳහා විල් ලීමන්ගේ ව්‍යාපාරයට සහය දැක්වීමට වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව සහ ගුරු, සිසු සහ දෙමාපිය ආරක්ෂක කමිටුවේ සාමාජිකයින් විසින් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයකි.

***

ආරම්භයේ සිටම, ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් මෝටර් රථ සේවක සංගමයේ (යූඒඩබ්ලිව්) සභාපති ධුරය සඳහා තරඟ වදින විල් ලීමන් සහෝදරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයට, ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු වෙතින් අපගේ උපරිම සහයෝගය සහ සුබ පැතුම් පිරිනැමීමට අපි කැමැත්තෙමු.

මැක් ට්‍රක් රථ කම්කරුවකු වන යූඒඩබ්ලිව් සභාපති ධූර අපේක්ෂක විල් ලීමන්

එලඹෙන නොවැම්බරයේ මැතිවරනයේදී යූඒඩබ්ලිව් සභාපති ධූරය සඳහා මැක් ට්‍රක් රථ කම්කරුවෙක් වන විල් ලීමන් ගේ උද්ඝෝෂනය, එක්සත් ජනපදයේ පමනක් නොව, ශ්‍රී ලංකාව ද ඇතුලු ලොව පුරා වෘත්තීය සමිති නිලධරයන්ට එරෙහි අරගලයේ වැදගත් අංගයකි.

ලීමන් සහෝදරයා ප්‍රකාශ කර ඇති පරිදි, ඡන්දය යනු බලයේ සිටින නිලධරය වෙනුවට වෙනත් දූෂිත නිලධාරි තන්ත‍්‍රයක් පත් කිරීම වෙනුවට, එය පෙරලා දැමීමයි. ලීමන්ගේ උද්ඝෝෂනය යූඒඩබ්ලිව් එහි නායකත්වය වෙනස් කිරීමෙන් “ප්‍රතිසංස්කරනය” කිරීමේ උත්සාහයක් නොව, නිලධරය දියකර හැරීම, බලය සාමාන්‍ය කම්කරුවන් වෙත පැවරීම සහ එහි සම්පත් සාමාන්‍ය කම්කරුවන් වෙත ආපසු ලබා දීම සඳහා මහජන ව්‍යාපාරයක් තුල මෝටර් රථ කම්කරුවන් බලමුලු ගැන්වීමයි.

මහා සංගත හා ධනේශ්වර ආන්ඩු සමග සන්ධානගතව යූඒඩබ්ලිව් සහ අනෙකුත් වෘත්තීය සමිති නිලධරයන් විසින් එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරය නැවැත්විය යුතුය.

මෙය කල හැක්කේ එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හරහා කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන බලය බලමුලු ගැන්වීමෙන් පමනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ සමාජවාදී සමානතා පක්ෂ විසින් ආරම්භ කරන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ (ක්‍රික-ජාකස) වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාමේ දී ලීමන් සහෝදරයාගේ උද්ඝෝෂනය ඉතා වැදගත් ඉදිරි පියවරකි.

ලීමන් පැහැදිලි කර ඇති පරිදි, ක්‍රික-ජාකස ගොඩ නැගීම යනු ජාත්‍යන්තර සංගතවල ලාභ සඳහා වන ගෝලීය ධාවනයට එරෙහිව සහ යූඒඩබ්ලිව් විසින් ප්‍රවර්ධනය කරන විසකුරු ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තරව කම්කරුවන් ඒකාබද්ධ කිරීමයි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ නායකත්වය යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන, වතුකරයේ සහ ග්‍රාමීය ගොවි ජනතාව අතර ක්‍රියාකාරී කමිටු ගොඩනගා ඇති අතර, ප්‍රකාශනයේ සහ කලාවේ නිදහස සඳහා සටන් කරන ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කර ඇත. වාර්ගික රේඛා කපාගෙන කම්කරුවන් සහ ග්‍රාමීය ගොවීන් සංවිධානය කිරීමට සම්බන්ධ මෙම කමිටු, ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ කාර්මික කම්කරුවන්ට සහ ග්‍රාමීය ජනතාවට මෙම මුලපිරීමේ වැදගත්කම පැහැදිලි කරයි.

අප්‍රේල් 28දා මහනුවර රෝහලෙන් පිටත බලමුලු ගැන්වී සිටින සෞඛ්‍ය කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

අප්‍රේල් 28 සහ මැයි 6, 10 සහ 11 යන දිනවල, පාලක පන්තිය විසින් ප්‍රවර්ධනය කරන ලද වාර්ගික හා ආගමික බෙදීම් කපාගෙන කල, බලගතු ජාතික වැඩ වර්ජනවලට මිලියන ගනන් ශ්‍රී ලාංකික කම්කරුවන් සහභාගී විය. කෙසේ වෙතත්, සෑම අංශයකම වෘත්තීය සමිති, කම්කරු පන්තියේ නැගී එන කෝපයෙන් ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා සහ කම්කරු පන්තිය ස්වකීය ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් මත බලමුලු ගැන්වීම වැලැක්වීම සඳහා මෙම අරගල එක්දින ක්‍රියාමාර්ගවලට සීමා කලහ.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නිලධරයන්, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිටින ඔවුන්ගේ සගයන් මෙන්, කම්කරු පන්තිය ඉදිරියට යාම නැවැත්වීමට ඔවුන්ට කල හැකි සෑම දෙයක්ම කර ඇත. ඔවුන්ගේ සාමාජිකයින්ගේ වැඩෙන ඉල්ලීම්වලට මුහුන දී සිටින සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ලොක්කන් වන රවී කුමුදේශ් සහ සමන් රත්නප්‍රිය ප්‍රසිද්ධියේ පිලිගත්තේ තම සාමාජිකයින්ගේ කෝපය 'කලමනාකරනය' කිරීම සඳහා පමනක් වැඩවර්ජන ක්‍රියාමාර්ග කැඳවූ බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආන්ඩුවට එරෙහිව කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ දුගීන්ගේ මහජන නැගිටීම් අප්‍රේල් මාසයේ ආරම්භ වූ විට, අන්තර්වාර ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවීම සඳහා වූ පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂවල ව්‍යාපාරවලට වෘත්තීය සමිති සහාය දුන්නේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පියවර පැනවීමට සියලු විරුද්ධ පක්ෂ කැපවී සිටින කොන්දේසි යටතේ වෘත්තීය සමිති මෙම ප්‍රතිගාමී වැඩ කටයුතු කරගෙන යයි.

මේ සතියේ එක්සත් ජනපද ගැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බලතල යොදා ගනිමින් නව තනතුරක්—වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්—නිර්මානය කර එහි අධ්‍යක්ෂවරයා ලෙස රත්නප්‍රිය පත් කලේය. මෙය රත්නප්‍රියගේ පාවාදීම්වලට ත්‍යාගයක් පමනක් නොව අනාගත කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීම සඳහා වෘත්තීය සමිති තවදුරටත් බඳවා තබා ගැනීමකි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) සභාපති සමන් රත්නප්‍රිය

ශ්‍රී ලංකාවේ සසප, ක්‍රියාකාරී කමිටු තුලින් දේශපාලන අරගලයක් ගෙන යාම වටා පහත ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගොස් ඇත. මේවා, ආන්ඩුව හා විරුද්ධ පක්ෂ විසින් ප්‍රවර්ධනය කරනු ලබන අනුකම්පා විරහිත ජාමූඅ කප්පාදු ඉල්ලීම් වලට සෘජුවම අභියෝග කරයි.

  • ජන ජීවිතයට තීරනාත්මක සියලුම අත්‍යවශ්‍ය භාන්ඩ හා සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට! බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!
  • සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකුකරුවන් සහ මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු ඉල්ලීම් එපා!
  • අපනයන සහ ආනයන ක්‍රියාවලීන්හි දූෂනය තුරන් කිරීමට සහ සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සහතික කිරීමට විදේශ වෙලඳාමේ රාජ්‍ය ඒකාධිකාරයක් ස්ථාපිත කරනු!
  • බිලියනපතියන්ගේ සහ සංගතවල දැවැන්ත ධනය අත්පත් කර ගනු!
  • දිලිඳු හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලුම නය අවලංගු කරනු! ගොවීන් සඳහා පොහොර ඇතුලු සියලු මිල සහනාධාර නැවත ලබා දෙනු!
  • යහපත් සහ ආරක්ෂිත සේවා කොන්දේසි සහිතව සැමට රැකියා සහතික! ජීවන වියදමට අනුව වැඩි වන වැටුප්!

ඕනෑම රටක කම්කරු පන්තිය මුහුන දෙන කිසිදු ගැටලුවකට ජාතිකවාදී විසඳුමක් නොමැති බව අපි අවධාරනය කරමු. මෙම ඉල්ලීම් ඉදිරියට ගෙන යමින් අපි සටන් කරන්නේ කම්කරු හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමටයි. මෙම ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයේ කොටසක් ලෙස, මෙම සංක්‍රාන්ති ප්‍රතිපත්තිවල අරමුන වන්නේ සමාජවාදී කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමයි.

ලෝකයේ වඩාත්ම සංවර්ධිත කාර්මික ආර්ථිකයන්ගෙන් එකක් වන එක්සත් ජනපදය තුල ලීමන් සහෝදරයාගේ අරගලය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය පුරා අපගේ අරගලයට බලගතු දේශපාලන දිරිගැන්වීමකි.

Loading