වෘත්තීය සමිති නායකයෝ ජනාධිපති වික්‍රමසිංහ සමග පෙලගැසෙති

[මෙය Sri Lankan trade union leaders line up with President Wickremesinghe මැයෙන් 2022 අගෝස්තු 10 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

වේගවත් වන උද්ධමනය සහ ආහාර, ඉන්ධන හා ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය මධ්‍යයේ, ලංකාවේ වැඩකරන ජනයා දැරිය නො හැකි ජීවන කොන්දේසිවලට මුහුන දෙති. පසුගිය මාසයේ දී, උද්ධමන අනුපාතනය සියයට 60 කරා නැගුනු අතර, ආහාර උද්ධමනය සියයට 90 කරා ලඟා විය. සිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් මත එල්ල කරන අනවරත ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර කැකෑරෙන වෛරය නො තකා, වෘත්තීය සමිති ඔවුන්ගේ අරගල මර්දනය කරමින් සිටිති.

කිසිදු ආකාරයකින් කම්කරු පන්තිය ආරක්ෂා කරනු වෙනුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විධානය කරන රුදුරු කප්පාදු දියත් කිරීමට ආන්ඩුව සූදානම් වෙද්දී පවා වෘත්තීය සමිති ප්‍රතිඥා දෙමින් සිටින්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට හා ඔහුගේ ආන්ඩුවට සිය සහයෝගය පුදකිරීමට යි. වික්‍රමසිංහට කෙලින්ම පිටුබලය දෙන්නන් අතර සෞඛ්‍ය හා වතු වෘත්තීය සමිති මුලින්ම සිටිති.

සමන් රත්නප්‍රිය රාජකාරී භාරගනිමින් හා මාධ්‍ය වෙත කතා කරමින් (ඡායාරූපය: ෆේස්බුක්/ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය)

අත්‍යසාමාන්‍ය පියවරක් ගනිමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) නායක සමන් රත්නප්‍රිය ඍජු ව රාජ්‍ය යාන්ත්‍රනය තුලට ඒකාග්‍ර කරගනු ලැබ ඇත. අගෝස්තු 2දා, වික්‍රමසිංහ, අලුතින් නිර්මානය කරන ලද වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට රත්නප්‍රිය පත්කලේ ය. ඔහු, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පෙරමුනක් වන, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ (සෞවෘස) නායකයෙකු ද වේ.

රත්නප්‍රියගේ සමීප සගයා වන සෞවෘස සභාපති රවී කුමුදේශ්, සෙනසුරාදා උදෑසන වික්‍රමසිංහ මුනගැසී, සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගල වැලැක්වීමට පොරොන්දු විය.

වික්‍රමසිංහ හමුවූ කුමුදේශ් “මේ රටේ ඔබ තුමාට සම්පූර්නයෙන්ම විරුද්ධ කන්ඩායමේ වුනත් අදහසක් තියෙනව මේ වගේ අර්බුදයක් මැද්දෙ ඔබ තුමාට කාර්ය භාරයක් කිරීමේ හැකියාව තියෙනව කියල....” යි ප්‍රකාශ කලේ, තවදුරටත් මෙසේ ද පවසමිනි: “අපි මේ ගතකරන හැම මොහොතක්ම අපට අරගල කර කර ඉන්න පුලුවන් මොහොතක් නෙවෙයි. අපි එකතු වෙලා කැප වෙලා රට ගොඩ නගන්න ඕන වෙලාවකයි ඉන්නේ. ඒක ඔබතුමාට විතරයි වෙනස් කරන්න පුලුවන්. ඒහෙම නැතුව අපි විරුද්ධවාදීන් හතුරෝ නෙවෙයි කියන ඒක තමයි අපිට කියන්න තියෙන්නේ.”

වික්‍රමසිංහ ඉදිරියේ එලෙස බඩගෑ දිනයේ ම, වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව (වෘසසක), ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් විසින් නුගේගොඩ සංවිධානය කරන ලද රැලියකට කුමුදේශ් සහභාගි විය. ඔහු වෘසසකහි සම-කැඳවුම්කරුවෙකි.

කුමුදේශ් රැලියේ දී වාචාල ලෙස මෙසේ කීවේ ය: “මේ දක්වා ‘අරගලයේ’ (ආන්ඩුවට එරෙහි විරෝධතාවල) අපේක්ෂාවන් කිසිවක් සම්පූර්න වී නැහැ.” ඉන්පසු ඔහු මෙසේ ගිගුරුවේ ය: “ජයග්‍රහනය ලබන තෙක් මේ අරගලය අවසන් වන්නේ නැහැ.”

රවී කුමුදේශ් (ලෝසවෙඅ)

රත්නප්‍රියගේ හා කුමුදේශ්ගේ ක්‍රියා, වෘත්තීය සමිතිවල භූමිකාව පිලිබඳ සුපැහැදිලි හෙලිදරවුවකි. “අවසානය තෙක් සටන් කරන” බවට හිස් බස් දොඩවන අතර, එම සටන කඩාකප්පල් කරන බවට ඔවුහු වික්‍රමසිංහට ප්‍රතිඥා දෙති. ඔවුන් සිදුකරන්නේ කම්කරුවන් ධනපති පන්තියට හා එහි දේශපාලන සේවකයන්ට ගැටගසා තැබීමයි.

2020 පසුභාගයේ පටන් විරෝධතා හා වැඩ වර්ජනවල සෞඛ්‍ය කම්කරුවෝ පෙරමුනේම සිටියහ. කෝවිඩ්-19 වසංගතය කඩා වදින තතු තුල, ආරක්ෂක පියවරයන් හා ඖෂධවල හිඟය, රෝගීන්ට පහසුකම් අප්‍රමානවත්වීම, වැඩිකරන ලද වැඩබර සහ එකතැන පල්වන වැටුප් හා දීමනා ප්‍රශ්න නිසා, සෞඛ්‍ය සේවකයන් අතර නැගුනු කෝපය හේතුවෙන්, කාර්මික අරගල කැඳවීමට වෘත්තීය සමිතිවලට බලකෙරුනි.

සෞඛ්‍ය බලධාරීන් හා ආන්ඩුවේ ඇමතිවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව, කම්කරුවන්ගේ කිසිදු ඉල්ලීමක් ජයග්‍රහනය නො කර සියලු අරගල නතර කිරීමට වෘත්තීය සමිති ක්‍රියා කල හ. වෘත්තීය සමිති වැඩ වර්ජන හා විරෝධතා කැඳවූයේ, කම්කරුවන්ගේ කෝපය “කලමනාකරනය කිරීමට” පමනක් බව රත්නප්‍රිය හා කුමුදේශ් යන දෙදෙනා ම පසුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල හ.

දැන්, ධනපති පාලනයේ පෙර නුවූ විරූ අර්බුදයක් මධ්‍යයේ, ආන්ඩුව පැටවීමට නියමිත කප්පාදු න්‍යාය පත්‍රයට වැඩකරන ජනයාගෙන් මතු වන විරෝධය මර්දනය කිරීමෙහි ආන්ඩුවේ සැලසුම් තුලට, වෘත්තීය සමිති අන්කවරදාටත් වඩා සමීප ව ඇදගනු ලැබෙමින් පවතී.

කම්කරුවන් මිලියන ගනනක සහභාගීත්වයෙන්, අප්‍රේල් හා මැයි මාසවල පැවති මහා වැඩ වර්ජනවලින් ද ජුනි මාසයේ පැවති ආන්ඩුවට එරෙහි මහජන විරෝධතාවලින් ද පසුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට බලකෙරුනු බවට, දීර්ඝ-කාලීන ජාමූඅ පිලිවෙත් පටවන්නෙකු වන වික්‍රමසිංහ හොඳින්ම දැනුවත් ය.

වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ රාජකාරී භාරගැනීමෙන් පසු, කම්කරු පන්තිය හා ගම්බද ජනයා විසින් ආන්ඩුව පෙරලා නො දමන බවට ආන්ඩුවට සහතික කිරීමේ සිය සැලසුම් ගැන, රත්නප්‍රිය අරුන පුවත්පතට කතා කලේ ය.

සිය නව දේශපාලන ස්වාමියා උත්කර්ෂයට නංවමින් රත්නප්‍රිය කියා සිටියේ, ජනාධිපති වීමට පෙර මැයි මාසයේ දී වික්‍රමසිංහ පලමුව අගමැති ලෙස පත්කරන ලද අවස්ථාවේ, තමා ද ඇතුලු බොහෝ දෙනා “මේ රටේ වැටුනු ආර්ථිකය ගොඩගන්න හැකියාව තියෙන' පුද්ගලයා වන්නේ වික්‍රමසිංහ යයි විශ්වාස කල බව යි.

තමන් කම්කරු පන්තිය පාලනය කිරීමට උත්සාහ දරා සිටින්නේ කෙසේදැයි රත්නප්‍රිය විස්තර කලේ ය. 'එවැනි අවස්ථාවක නිශ්ඵල සටන් පාඨ පාවිච්චි කරන්න එපා කියලා මම වෘත්තීය සමිතිවලටත් කිව්වා. දැන් එතුමා ජනාධිපති වෙලා තියෙනවා. මේ කාර්යය කරන්න පුලුවන් වෙයි කියන විශ්වාසය මත අපි එතුමාට සහාය දෙනවා.'

“රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින වෙලාවක ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතිව, මාසෙන් මාසෙට ආන්ඩු මාරු කරන එක ප්‍රායෝගික නැහැ.” වැඩකරන ජනයා වික්‍රමසිංහට “කාලය දිය යුතු” බව රත්නප්‍රිය අවධාරනය කලේ ය.

කුමුදේශ් හා රත්නප්‍රිය, අනෙකුත් වෘත්තීය සමිති හා සංවිධාන සමග අප්‍රේල් 28දා හා මැයි 6දා එක් දින මහා වැඩ වර්ජන කැඳවුම් කල, වෘසසකහි සම-කැඳවුම්කරුවන් වූ හ. ඒවාට කම්කරුවන් මිලියන ගනන් සහභාගි වූ හ. ග්‍රාමීය හා නගරබද දුගී ජනයා ද මෙම වැඩ වර්ජන වටා රැලි වූ හ.

එහෙත්, මෙම වැඩ වර්ජන හිතා මතා ම එක්-දින ක්‍රියාවන්ට සීමා කල වෘත්තීය සමිති, සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුන යන ධනේශ්වර විරුද්ධ පක්ෂවල ඉල්ලීම වූ, අන්තර්-කාලීන ආන්ඩුවක් හෙවත් තවත් ධනපති ආන්ඩුවක් සඳහා වන ඉල්ලීමට දේශපාලනික ව ඒවා යටත් කල හ.

කොලඹ දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් කොටස් මෙන් වෘත්තීය සමිති ද වැඩකරන ජනයාගේ මහජන නැගිටීම හා එය ධනපති පාලනයට එල්ල කල තර්ජනය හේතුවෙන් භීතියට පත් වූ හ.

ජනාධිපති ලෙස ස්ථාපනය කරනු ලැබීමෙන් අනතුරු ව, ආන්ඩුවට එරෙහි විරුද්ධත්වය මැඩීම සඳහා වික්‍රමසිංහ ක්ෂනික ව පියවර ගත්තේ ය. හදිසි නීතිය පැනවීම, සියලු මූලික අංශවල කාර්මික ක්‍රියා තහනම් කිරීම පිනිස අත්‍යවශ්‍ය මහජන සේවා පනත දීර්ඝ කිරීම සහ ගාලු මුවදොර පිටිය වාඩිලාගෙන සිටි ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට විරුද්ධ ව පොලිස්-මිලිටරි කඩාපැනීමක් දියත් කිරීම සඳහා ඔහු ක්‍රියා කලේ ය. විරෝධතා නායකයන් දුසිම් ගනනක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම පොලිස්-රාජ්‍ය මර්දනයට දොර විවෘත කලේ, වෘත්තීය සමිති විසින් කම්කරු-පන්තික විරුද්ධත්වය මර්දනය කිරීම මගිනි. කැපිපෙනෙන කරුනක් නම්, අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ තහනම් කිරීම්වලට බඳුන් කරන ලද එක් අංශයක් වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වීමයි. වැඩට ඒමට අසමත් වීම හේතුවෙන් සෞඛ්‍ය කම්කරුවන් දඩවලට හා සිර දඬුවම්වලට මුහුන දිය හැකිය. රත්නප්‍රිය, කුමුදේශ් හා සෞඛ්‍ය වෘත්තීය සමිති, මෙම විෂඝෝර පියවරට විරුද්ධ ව කිසිදු පියවරක් ගෙන නැත.

වික්‍රමසිංහ දැන් උත්සාහ දරමින් සිටින්නේ, ජාමූඅ කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතයම රැලි කරගැනීමට යි. රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම, රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීම, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා රාජ්‍ය සහනාධාර අවසන් කිරීම සහ බදු බර කිසිසේත් ම දරාගත නො හැකි අය මතට බදු වැඩිකිරීම පැටවීම මෙයට අඩංගු වනු ඇත.

වික්‍රමසිංහ වෘත්තීය සමිතිවල සහයෝගය පතමින් සිටින අතර, රත්නප්‍රිය හා කුමුදේශ් දැනට මත් එයට එකඟ වී ඇත. කලින් පැවති සම්මුඛ සාකච්ඡාවක දී කුමුදේශ් ලෝසවෙඅ වෙත කීවේ, දුෂ්කර කොන්දේසි පැමිනිය හැකි බව දැන සිටියත්, හදිසි අරමුදල් පතා ජාමූඅ වෙත යාමට ඔහු “පුද්ගලික ව” සහයෝගය දෙන බව යි. රත්නප්‍රිය යනු, ජාමූඅ විධානයන්ට සෑමවිට ම පිටුබලය දී ඇති හා ඒවා ක්‍රියාවට දමා ඇති, වික්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කම්කරු සමිතිය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පෙරමුන හා කඳුරට ජනතා පෙරමුන ඇතුලු වතු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සියල්ල වික්‍රමසිංහගේ සර්ව-පාක්ෂික ආන්ඩුවේ කොටස්කරුවන් වීමට එකඟ වී ඇත. ඔවුන් සියලු දෙනා ජාමූඅ කප්පාදුවලට සහයෝගය දෙති.

දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාත්මක වන වතු වෘත්තීය සමිතිවලට, සුවපහසු හා සුඛෝපභෝගී ඇමති තනතුරුවලට හිලවු ලෙස, එක් හෝ තවත් කොලඹ ධනපති ආන්ඩුවකට පිටුබලය දීමේ දීර්ඝ සහ ගඳගහන ඉතිහාසයක් ඇත. වෘත්තීය සමිතිවල නායකයන් ආන්ඩුවේ සේවය කරන අතර, ඉහල වැටුප් සහ ශිෂ්ට සම්පන්න වැඩ හා සමාජ කොන්දේසි සඳහා කම්කරුවන්ගේ අරගල කඩාකප්පල් කිරීමට ඒවා වතු සමාගම් වෙනුවෙන් කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වෙති.

රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප්, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය මෙන් ම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට අනිවාර්යයෙන් පුපුරා යනු ඇති අරගල සඳහා සූදානම් වීම සඳහා නම් වෘත්තීය සමිතිවල මෙම දක්ෂිනාශික ක්‍රියා කලාපය පිලිබඳව අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගැනීමට කම්කරුවන් ක්‍රියා කල යුතු ය.

කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා තීන්දු ගැනීම ඔබගේ ම අතට ගැනීම හදිසි කර්තව්‍යයක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) පෙන්වා දෙයි. සෑම වැඩපොලකම, වත්තක හා නිවහන් ප්‍රදේශයක ම, වෘත්තීය සමිතිවලින් හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනගන්න.

මෙම අරගලයේ දී, තමන් හා සමාන ප්‍රහාරයන්ට මුහුන දෙන ගම්බද ජනයා වෙතට කම්කරුවන් හැරිය යුතු ය. නගර හා ගම්වල තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු තනන ලෙස සසප ගම්බද පීඩිතයන්ගෙන් ඉල්ලයි.

ඕනෑම පන්නයක අන්තර්-කාලීන හෝ සර්ව-පාක්ෂික ධනපති ආන්ඩුවකට විරුද්ධ ව, ක්‍රියාකාරී කමිටු විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගන්නා නියෝජිතයන් මත පදනම් වන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන උද්ඝෝෂනයකට සසප ආරම්භකත්වය ගෙන ඇත. මහජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කරන සමාජවාදී ප්‍රතිපත්ති සඳහාත්, එම ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයටත්, එවන් සම්මේලනයක් මගින් සටන ඉදිරියට දැමිය හැක.

Loading